අපේ බුදුහාමුදුරුවෝ 137

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 32

අප මහා බෝසතාණන් වහන්සේ හට දුන් වර අට පිළිගැනීමෙන් පසු වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මෙලෙස කීවා. ” ඔබගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්ත්වයන්වහන්සේට අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය….

සියල්ල එලෙසම නිමා වුයේ නැහැ. බෝධිසත්ත්වයන්වහන්සේත් මද්‍රී දේවියද ඉතාමත් සතුටට පත්ව සක් දෙවිදුන් විසින් දෙන ලද පන්සලෙහි නැවත වාසයට ගියා.

දෙමාපිය වෙස්ගෙන දරුවනට සත්කාර කල දෙවිවරු.

මේ අතර බමුණාද දෙදරුවන් රැගෙන තම ගම්බිම් බලා යාමට සැටයොදුන් මගට පිළිපන්නා. දෙවියන් විසින් දෙදරුවන්ගේ ආරක්ෂාව සිදුකළා. ජූජකයාද හිරු බැසගිය කල්හි ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් ගසක බැද බිම තබා තෙමේ චණ්ඩ වූ සතුන්ට බියෙන් ගසකට නැග අතු අතර නිදන්නට වුණා. ඒ මොහොතේ එක් දිව්‍ය පුත්‍රයෙක් වෙස්සන්තර රජු ලෙසත් එක් දෙව් දුවක් මද්‍ර දේවිය ලෙසත් වෙස් ගෙන අවුත් දරුවන් දෙදෙනා ඉන් මුදා අත්පා මිරිකා නාවා සරසවා භෝජන අනුභව කරවා හිරු උදාවෙන කල්හි බැද ඇති සැටියෙන්ම තබා නිදිකරවා අතුරුදහන් වෙයි. මෙසේ දරු දෙදෙනා දේවතාවන්ගේ සැළකිල්ලෙන් නිරෝගීව සතුටෙන් ගමන් කරා. ඒ විතරක් නෙවෙයි. තවත් අරුම පුදුම දෙයක් වුණා. බමුණාටද දෙවියකු අධිගෘහිත වී තම ගම වූ කලිගු රටට යමියි සිතා අඩමසෙකින් දරුවන්ගේ සීයා සහ ආච්චිය වන වෙසතුරු කුමරුගේ දෙමාපියන් වූ රජ යුවළ වෙසෙන දිවිතුරු නගරයටම පැමිණියා.

සිව්මහරජ දුටු සිහිනය

ඒ දිනයේම අළුයම සිවිමහරජ වූ සංජය රජු සිහිනයක් දුටුවා. එය මෙබදු සිහිනයක්. මහාධිකරණ කාර්යයේ රජු යෙදී සිටින අවස්ථාවේ එක් පුරුෂයෙක් නෙලුම් මල් දෙකක් ගෙනවුත් රජුගේ අතේ තැබුවා. රජු ඒ මල් දෙකන්හි පැළද ගත්තා. ඒ පුෂ්පයන්ගේ රේණු ගැලවී රජුගේ උදරයට වැටෙන්නට වුණා. රජු උදයේ පිබිදී බ්‍රාහ්මණයන්ගෙන් තමා දුටු සිහිනයේ අරුත විචාරා සිටියා. එවිට බ්‍රාහ්මණයන් මෙලෙස ඒ සිහිනයේ තතු පහදා දුන්නා.

“දේවයන් වහන්ස, එහි අදහස බොහෝකලක් වෙන්ව සිටිය නෑයෝ පැමිණෙනවා යන්නයි.” රජු උදයෙන්ම නොයෙක් රජභොජුන් වළදා විනිශ්චයාසනයේ අසුන්ගත්තා. ඒ මොහොතේ දේවතාවුන් විසින් බමුණා දෙදරුවන් සමග රජගෙදර මිදුලටම එවනු ලැබුවා.

දරුවන් රජමිදුලටම දෙවියන්ගේ ආශීර්වාදයෙන් පැමිණීම.

ඒ මොහොතේ රජගෙදර මිදුලට පැමිණි සිටි කුමරුවා සහ කුමරිය දැක රජතුමා මෙසේ කිවා.

“ගින්නෙන් තවන ලද රත්‍රන් මෙන් උදුනෙහි ලා පැහැ ගැන්වූ රන් ගඩොලක් සෙයින් තෙල කාගේනම් මුහුණක් බබළන්නේද? දෙදෙනාම සමාන වූ අගපසගින් යුක්තය. දෙදෙනාම සමාන වූ ලක්‍ෂණ ඇත්තාහ. එකෙක් ජාලිය කුමරු හා සමානය අනිකා ක්‍රිෂ්ණජිනා කුමරිය හා සමානය. දෙදෙනාම ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහයෙන් නික්මුණු සිංහ පැටවුන් වැනියහ. මේ දරුවන් රනින් මවන ලද රූපයන් මෙන් පෙනෙයි.” මෙසේ කියා රජතුමා එක් ඇමතියෙකුට මෙලෙස අණ කරනු ලැබුවා. “යව මේ බමුණාව දරුවන් සමග මෙහි කැදවාගෙන එව.” එම ඇමතියා ඉක්මණින් ගොස් දරු දෙදෙනාත් බමුණාත් කැදවාගෙන ආව. ඉන්පසේ බමුණාට රජු මෙසේ පැවසුවා.

පින්වත් බමුණ, මේ දරුවන් කොහිසිට ගෙනෙන්නෙහිද? එවිට බමුණා සදමහ රජතුමනි, මේ දරුවෝ මා හට ප්‍රසාදයට පත් වූවකු විසින් දෙන ලදහ. මේ දරුවෝ යම් දවසක මට ලද්දාහුද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රීයයි. රජතුමාට එන්න එන්නම සැකය වැඩි වුණත් තවමත් දරුවන්ව හඳුනාගත්තේ නැහැ. එවිට රජු නැවත විචාලේ “බමුණ තා විසින් කවරනම් ප්‍රිය වචනයකින් ලබන ලද්දාහුද? සත්‍ය කරුණෙන් පහදව. කවරෙක් තොපට තමන්ගේ දරුවන් උතුම් දානයක් ලෙස සළකා දන් දුන්නේද?”

එවිට බමුණා, “යමෙක් සත්ත්වයනට මහපොළොව මෙන්ද, යදියනට පිහිටවී ද, ඒ පින්වත් වෙසතුරු මහරජ වනයෙහි වසන්නේ තම දරුවන් මට දුන්නේය. යමෙක් ගංගාවන්ට සාගරය මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වනයෙහි වසනුයේ තම දරුවන් මට දන් දිනි.

දරුවන් දන්දීම ගැන කිපුණු රාජකීය පිරිස වෙසතුරු කුමරුට දොස් පැවරීම.

ඒ වචන පිටවූ සැණින්ම රජගෙදර මහා ගාලගෝට්ටියක ස්වභාවය ගත්තා. ඒ ඇසූ ඇමතිවරු වෙස්සන්තර රජුට නින්දා කරමින් මෙසේ කීවා. භවත්නි,මෙහි යම්තාක් දෙනා රැස්වූවාහුද ඒ හැමදෙනා මේ අසව්. වෙසතුරු රජ වනයෙහි වසනුයේ කුමට දරුවන් දන් දුනිද? හේ දාසයකද දාසියකුදු අශ්වයකු ද අශ්වතරයන් යෙදු අගනා රථයක්ද දන් දෙනු ලැබුවා. උතුම් වූ ඇතෙකු ද දන් දෙනු ලැබුවා.හේ කුමට නම් මේ දරුවන් දන් දුන්නේද? ශ්‍රද්ධා සම්පන්න ගිහිගෙයි වසන්නා රජු විසින් නුසුදුසු අකටයුත්තක් කරන ලදී. රටින් නෙරපන ලද්දේ වනයෙහි වසන සේක. පින්වත් නගරවැසියනි, මෙහි පැමිණි යම්තාක් දෙනා සිටීද, ඒ සියල්ලෝම මෙය අසත්වා. කල්පනා කර බලත්වා. කෙසේ නම් වෙස්සන්තර රජු තම දරුවන් දාසයන් ලෙස දුන්නේද? කවරකු විසින් නම් මෙබදු වූ කටයුත්තක් කරන ලදදැයි කෑගසා අසන්නට වුණා.

ඒ ඇසු ජාලිය කුමරා සිය පින්වත් වූ පියාට නින්දා කිරීම නොඉවසුවා. වාතයෙන් කම්පා වූ සිනේරුවේ අතක් ඔසවන්නාක් මෙන් මෙසේ කිවා.

“මුත්තණුවනි, යමෙක් හට තම ගෙයි දාසයෙක් හෝ අශ්වයකු හෝ උතුම් අශ්වයන් යෙදු රියක් හෝ ගැඹුරු හඩ ඇති උතුම් ඇතෙක් හෝ නැත්නම් හේ කුමක් දෙන්නේද? “

දරුවන් දාසභාවයෙන් ගලවාගැනීම.

එවිට රජතුමා මෙසේ කිවා. “දරුවනි, ඔබ පියාගේ දානය පසසමි. දරුවන් යදියාට දී ඔහුගේ ළය කෙසේ වීද?” එවිට කුමරු පියාගේ දුකගැන විස්තර කරන්නට වුණා.

“ඔහුගේ ළය දුක්වී, මියෙන් උණු උඩුහුරු කළ වායුව විහිදුවන ලද රෝහණ නැකත මෙන් තඹ පැහැ ඇස් ඇති මාගේ පියාගේ දෙනෙත් කඳුලෙන් තෙත්වුණා.”

මුත්තණුවනි, මේ ක්‍රිෂ්ණජිනා විසින් කියන ලද එක් වචනයක් අසා ඔහුගේ සිත මහත් වූ දුකට පැමිණියා. තඹවන් රෝහිණිය මෙන් තඹවන් ඇස්වලින් මාගේ පියාගේ ඒ මොහොතේ කදුළු උතුරන්නට වුණා. කියමින් ක්‍රිෂ්ණජිනා බමුණාගෙන් පළාගොස් තම පියා හමුවේ කියූ වදන් මතක් කළා.

” පියාණෙනි ! මේ බමුණා ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි. පියාණෙනි! මේ බමුණෙක් නෙවෙයි. බමුණෝ ධාර්මිකය. පියාණෙනි ! යකෙකු විසින් ගෙනයනු ලබන කල්හි කුමක් නිසා උපේක්‍ෂාවෙන් බලා සිටිවූදැයි? ඇසුවා.

ඒ කෙසේ වෙතත් දරුවන් දෙදෙනා ඒ නපුරු බමුණාව අත්හැරියේ නැහැ. ඊට හේතුව තම පියාගේ වදනට කීකරු වීමයි. මෙලෙස කිය කියාත් ඒ දරුවන් දෙදෙනා බමුණාව අත්නොහරින බව දැක රජතුමා මෙසේ ඇසුවා. තොපගේ මවු රජ දියණියකි, තොප පියා රාජපුත්‍රයෙකි. ඔබ පෙර මාගේ ඇකයෙහි නැගී හිදියි. කුමක් නිසා දැන් දුරින් සිටින්නහුද? හරිම පුදුමයි එවිට දරුදෙදෙනා, පියාණෙනි ! අප දැන් බමුණාගේ දාසයෝ වෙමු” යැයි පැවසුවා. එවිට පියරජතුමා දරුවනි! එසේ නොකියන්න.මාගේ ළය දැවෙයි.මාගේ සිරුර ගින්නට නැගු කලක වැන්න. කය අගුරු සෑයකට දමන ලද එකක් බදුය. හුනස්නෙහි සුව නොලබමි.මට බොහෝ සේ ශෝකය දැනෙයි. මා ධනය දී ඔබව මුදවා ගන්නෙමි. ඔබ දෙදෙනා ඔහුට දාස නොවන්න. දරුවනි,තොපගේ පියා තොප දෙදෙනා කොතෙක් මිලකොට මේ බමුණාට දෙන ලදද? ඇත්ත කියව. බමුණාට ධනය දෙනු ලැබේවා.”

මුත්තණුවෙනි! මගේ පියා මා තිස් දහසක් මිළකොට බමුණාට දුන්නා . ක්‍රිෂ්ණජිනා ඇතුන් සියයෙන්ද අශ්වයන් සියයක්, රථ සියයක්, යටත් පිරිසෙන් ඇදපුටු ආදී සෑම දේම සියය බැගින්ද අගය කරනු ලැබුවා. රජු ඒ මොහොතේම මිළ ගෙවන්නට අණ කළා. “කාර්යයන් කරවන ඇමතිය, නැගී සිටව, වහාම මොහුට දිය යුතු තාක් දෙන්න. දැස්සන් සියයකුදු, අසුන් සියයකුදු, ඇතුන් සියයකුදු, ගොනුන් සියයකුදු, දෙනුන් සියයකුදු, රත්‍රන් තිස්දහසකදු දරුවන්ට මිළ ගෙවන්න. ඒ විතරක් නෙවෙයි. රජු විසින් බමුණාට සත්මහල් ප්‍රාසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුණා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රාසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.

 
error: Content is protected !!