අපේ බුදුහාමුදුරුවෝ 136

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 31

හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය, මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී ගිය ගින්දර මෙවරද සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය. මෙසේ ඔවුනොවුන් සතුටුසාමීචියේ යෙදී සිටියදී ශක්‍ර දෙවියන්හට මෙලෙස සිතිවිල්ලක් හටගත්තා. ශක්‍ර දේවරාජෝත්තමයන් වහන්සේ පැමිණ මද්‍රි බිසව ලබා ගැනීම. ” වෙස්සන්තර රජුන් ඊයේ මහපොළොව කම්පා කරමින් දරුවන් ජූජකයාට දන් දුන්නා. දැන් කිසියම් හීන වූ ගති ඇති පුද්ගලයෙක් පැමිණ සියළු අගපසගින් හෙබි සිල්වත්වූ ගුණවත්වූ මද්‍රි දේවිය ඉල්වා රජ තනිකොට මද්‍රි දේවිය ගෙන යා හැකිය. එවිට ඔහු පිහිටක් නැති අනාථයෙක් වන්නේය. එමනිසා බ්‍රාහ්මණ රූපයක් මවාගෙන වෙස්සන්තර රජු වෙතට පැමිණ මද්‍රි දේවිය ඉල්ලා පාරමී මුදුන් පමුණුවා කිසිවකුට නැවත නොදෙන ලෙස පොරොන්දුකොට නැවත පින්වත් මද්‍රි දේවිය වෙස්සන්තර රජුටම දී එන්නෙමියි” සිතුවා. එහෙම හිතු දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේව රාජෝත්තමයන් වහන්සේ හිරු උදාවෙන කල්හි බ්‍රාහ්මණ රූපයක් මවාගෙන වෙස්සන්තර රජු සහ මද්‍රි දේවියට පෙනෙන පරිදි පෙනී සිටියා. පෙනී සිටි ශක්‍ර දෙවියන් මෙසේ ඇසුවා. “කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමල් පලයන්ගෙන් යැපෙන්නේද? කීම අල හා පළවැල බොහෝ තිබේද? කිම මැසිමදුරුවෝද සර්ප ජාතීහුද අල්ප වෙත්ද, චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද? එවිට බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ පැවසුවා. බමුණානෙනි, අපට රෝග නැත්තේමය. තවද බමුණානෙනි, අපට දුක් නැත්තේමය. තවද අප වනයේ පලවලින් යැපෙන්නෙමු. අල හා පලවැල බොහෝ තිබේ. මැසිමදුරුවෝද, සර්පයෝද, අල්ප වෙති. නපුරු වනසතුන් ගැවසීගත් වනයෙහි අපට හිංසා නොපෙනෙයි. සත්මසක් වනයෙහි වසන ජීවශෝකී වූ අප වෙතට සැරයටිය ගෙන ආවා වූ අදුන්දිවිසම් දරන දෙවියන් පසස්නා මේ දෙවෙනි බමුණා නන්ද දකිමු. බ්‍රාහ්මණය.තොපගේ යහපත් වූ ගමනෙකි. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. ඔබට යහපතක් වේවා.”ඔබගේ දෙපා දෝවනය කර පන්සල තුලට පිවිසෙන්න. තිඹිරිපලය, පියල්පලය, මීපලය, කටුඑරමිණිය යන මේ පලවැල මිහිරිය. බමුණානෙනි, හොද හොද පල ගෙන වළදන්න. පර්වතය තුළින් ගලා ආ හෙයින් ගෙනෙන ලද මේ පැන් ද සිසිල්ය. බමුණානෙනි ඉදින් ඔබ පැන් බොනු කැමතිනම් එයින් ගෙන පානය කරන්න. මෙසේ ඔහු සමග පිළිසදර කථා කොට, තවද ඔබ කිනම් කරුණක් නිසා මේ මහා අරණට පැමිණියාහුද?” මෙසේ ආගන්තුක සත්කාරයෙන් අනතුරුව පැමිණි කාරණය විචාරන්නට වුණා. එවිට ශක්‍රයා මෙලෙස කිවා. “මහරජ, මහළු මම මෙහි එන්නේ නුඹගේ බිරිද වූ මද්‍රි දේවිය ඉල්ලන්නටයි. ඇයව මට දෙන්න. මෙසේ පිරුණු ගංගාවෝ හැමකල්හි නොසිදේද, එබදු වූ තොපගෙන් ඉල්ලීමට ආවෙමි. මා විසින් අයදනා ලද ඔබගේ බිරිද මට දෙන්න. මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ බ්‍රාහ්මණය ඊයේ මම දරුවන් දෙන ලදී. දිගුකල අතෙහි දහසින් බැදි පසුම්බියක් තබන්නාක් මෙන් නොගැටී නොබැදී නොසැගවනු සිතැත්තේ පර්වතය සිසාරා නදදෙමින් මෙසේ කිව්වා.  මද්‍රී බිසව දන්දීම. ” බමුණානෙනි ඔබ යමක් මා අතින් ඉල්ලුවානම් එය දෙමි. දෙන්නට නොසැලෙමි.ඇති දෙය නොසගවමි. මා සිත දානයෙහි ඇලෙයි. මෙසේ කියා කෙන්ඩියෙන් පැන් ගෙන අත පැන් වත්කොට බමුණාට දුන්නේය. එකෙණෙහිම දරුවන් දෙදෙනා දන්දුන් ආකාරයටම මහත්වූ ආශ්චර්යයන් සිදුවුණා. එදවස යම් බිහිසුණු බවක් වීද, එදවස ලොමුදැහැ ගැන්මක් වීද එලෙසම මද්‍රි දේවිය දන් දෙත්ම මහපොළොව කම්පා විය. මද්‍රි දේවියගේ මුව නොහැකිලුනි. දුර්මුඛ නොවුණි. ඇය හැඩුවේද නැත. මියෙන් නොබැන වෙසතුරු රජු මට යම් වෘද්ධියක් ඇත්ද එය දනියි. ඔහුගේ මුහුණ බලමින්ම සිටියාය. ” එම්බා බ්‍රාහ්මණය, මට මද්‍රි දේවියට වඩා සිය දහස් ගුණයකින් සර්වඥතා ඥානය ප්‍රියතරය. මාගේ මේ දානය සර්වඥතා ඥානය අවබෝධ කරගැනීම පිණිසම හේතුවේවායි” කියා මද්‍රි දේවිය මහළු බමුණාට දන් දුන්නේය. තවද මෙසේද කීවේය, මා පුතු ජාලියද ක්‍රිෂ්ණජිනා දියණියද ප්‍රිය බිරිද වූ මද්‍රි දේවියද සංසාර සාගරයෙහි අතරමන්ව මහත් දුක් විදින්නාවූ සත්ත්ව වර්ගයා සංසාර දුකින් එතෙරකරවීම පිණිස, සම්මා සම්බුදු බව පතා ත්‍යාග කරනුයෙමි. කිසිවක් නො සිතමි. දෙදරුවන් මට අප්‍රිය නොවෙති, මද්‍රි දේවියද මට අප්‍රිය නොවෙයි, ඔවුන්ට වඩා සර්වඥතා ඥානය මට ප්‍රිය වෙයි. එහෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දුන්නෙමි. ඒ මොහොතෙහි, රජු මහළු බමුණකුට මා දෙයි කියා ක්‍රෝධ වශයෙන් මද්‍රි දේවියගේ මුහුණෙහි බුකුටි බවක් නොවීය. මකු වුයේ නැත.ඇස් පුරවාගෙන හැඩුයේ නැත. ඉක්බිති නිහඩව මා වැනි ස්ත්‍රියක දෙන තැනැත්තා භේද රහිතව නොදෙයි.මොහු යමක් උතුම්ද එය දනීයි. පිපුණු පියුමක් මෙන් පෙනේයැයි බලමින්ම සිටියාය. ඉක්බිත බෝධිසත්ත්වයන්වහන්සේ මද්‍රි දේවිය කෙසේදැයි අසා මුහුණ බැලීය. එවිට ඇය. ඇයි ස්වාමීනි, මා දෙස කුමක් නිසා බලන්නේදැයි අසා මෙලෙස සිංහනාද පැවැත්වුවා. “කුමාරි වූ මම යමෙක් හට භාර්යාව වීම්ද ස්වාමී වූ තෙපි මට ඉසුරු වව. යමෙක්හට දාසියක් දෙනු කැමතිනම් ඕ හට මා දෙන්න. නැතහොත් ධනයෙන් වැඩක් ඇත්තේ නම් මා විකුණන්න. මස්වලින් වැඩක් ඇත්තේ නම් මා මරා දමන්න. ඒ නිසා ඔබට යමක් කැමති වන්නේද එය කරන්න. මම නොකිපෙමි. මේ සියල්ල අසා සිටි ශක්‍රදේවරාජෝත්තමයන් වහන්සේ ඔවුන්ගේ ඒ උතුම් වූ අදහස් දැනගෙන ස්තුතිය පලකළා. ඉන්පසු සක්දෙව් රජ ඔවුන්ගේ අදහස් දැන මේ වචන පැවසුවා.  “යම් දිව්‍යමය වුත් මානුෂික වුත් සතුරෙක් වූ නම් ඒ හැම දෙන තොප විසින් දිනන ලදහ. සතුරෝ දේවත්වයට විරුද්ධය මනුෂ්‍යත්වයට විරුද්ධය. ඔවුන් වනාහි කවරහුද යත් මසුරුබව ස්වාභාවකොට ඇති සියල්ලන්වම දුදරුවන් දන් දුන්නාවූ බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දිනන ලදී. තොප විසින් පෘථිවිය හඩවන ලදී. ඒ කීර්ති ඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත සිසාරා ගියේය. පර්වත්යන්ගේ ප්‍රතිරාවය නැගුනේය. තොපගේ ඒ දානය නාරදය, පර්වතය, යන නිකාය දෙකේම දෙවියෝ අනුමෝදන් වෙති. ඉන්ද්‍රය, බ්‍රහ්මය, ප්‍රජාපතිය, සෝමය, යමය යන දෙවිවරු ද වෙසමුණි මහරජද අනුමෝදන් වෙති. අසත්පුරුෂයෝ වනාහි නොදිය හැකි දෙය දෙනුවන් නොකටහැකි දෙයක් කරනුවන් අනුකරණය නොකරති. සත්පුරුෂයන්ගේ අදහස් සිතාගත නොහැක. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙලොවින් චුතව යන පරලෝගමන් වෙන් වෙන් ව වෙයි. අසත්පුරුෂයෝ නිරයට යත්. සත්පුරුෂයෝ ස්වර්ගයට යත්. යම්හෙයකින් වනයේ වාසය කරමින් දරුවන් දිනී ද අඹුව දිනී ද ඒ බ්‍රාහ්මණයා අපාය භූමියට නොබැස ස්වර්ගයේ තොපට විපාක වේ. වෙස්සන්තර රජුන් විසින් හුදෙකලාව වනයෙහි වසන්නේ බිරිදව බමුණාට දුන්නේ ඉතා දුෂ්කර වූ දෙයක් කරේය. ශ්‍රේෂ්ඨ වූ මාර්ගය, සුචරිත ධර්මය තුන්වැදෑරුම්ය. මෙබදු වූ මේ දාන ධර්මය ආර්ය මාර්ගය ලැබීමට හේතු වන්නේය. ඒ නිසා අද යම් මේ දානයක් දෙන්නහුට අපායභුමියේ බැස නොගෙන ස්වර්ගයෙහි මෙය පලදේවා. විපාක කෙළවර සර්වඥතා ඥානය ලබාදෙන්නක් වේවා.  සක්දෙවිඳු සැබෑ රුවෙන් පෙනීසිටීම. මෙසේ කියා ඔහුට අනුමෝදන් කොට දැන් මා විසින් මෙහිදී ප්‍රමාද නොවී මැයව මොහුටම දී යන්නට වටනේ යයි සිතා මෙසේ පවසනු ලැබුවා. සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය භවතාට භාර්යාකොට දෙමි. මද්‍රි දේවියට සුදුසු වන්නේ තොපමයි. මද්‍රි දේවියද ස්වාමියා සමග වාසයට සුදුසුය. යම්සේ කිරිත්, සේදු සංඛයන් යන දෙකම සමාන පැහැ ඇත්තාහුද එසේයින්ම ඔබද මද්‍රියද සම වූ සිතින් යුක්ත වන්නේය. මව්පිය දෙපසින් සුජාත වූ ගෝත්‍රයෙන් සමෘද්ධ වූ ක්‍ෂත්‍රිය වූ ඔබ දෙදෙන රටින් නෙරපන ලදව මේ වනයේ අසපුවක වාසය කරන්න. යළි යළිත් දන්දෙමින් හැකි පමණින් පින් කරන්න. මෙසේ කියා සක්දෙව් රජ වරයක් දීමට තමාව හෙළිදරව් කරමින් මෙසේ කීය. “මම දෙවියන්ට අධිපති වූ සක්දෙව්රජ වෙමි. තොප සමීපයට ආවෙමි. රජ තුමනි කැමති වරයක් අයදින්න, තොපට වර අටක් දෙමි. මෙසේ කියත්ම දිවය ආත්මභාවයෙන් දිළිසෙමින් පිරුණු හිරු මෙන් අහසෙහි සිටියේය. ඉක්බිත බෝධිසේත්ත්වයන්වහන්සේ මෙසේ කිවා.  අප මහා බෝසතාණන් වහන්සේ ඉල්ලු වර අට.
  1. සියළු දෙවියන්ට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙන්නේ නම් මාගේ පියා මේ වනයෙන් සිය ගෙදරට පැමිණීම පිලිගනීවා. සිහසුනෙන් පවරාවා.මේ වරය පළමු කොට ඉල්ලමි.
  2. පුරැෂයකු හට වධය රුචි නොකෙරෙම්වා. දරුණු ක්‍රියාකොට වධයට පැමිණිය යුතු කෙනාද වධයෙන්ම දවන්නෙම්වා. ධර්මයෙන් දිනත්වා. දැහැමින් රාජ්‍ය කරත්වා. මේ වරය දෙවැනි කොට ඉල්ලමි.
  3. යම් මහළු මිනිස් කෙනෙක් ඇත්ද, යම් ළදරු කෙනෙක් ඇද්ද යම් මධ්‍යම පුරුෂ කෙනෙක් ඇද්ද ඒ හැමදෙනාම මා නිසාම ජීවත් වෙත්වා. මේ වරය තුන්වනුව ඉල්ලමි.
  4. පරඹුවන් කරා නොයෙම්වා. තම අඹුවගෙන්ම සන්තෝෂයෙහි නියැලෙවා .මාගමුන් වශයට නොයෙම්වා. මේ වරය සතරවෙනිව ඉල්ලමි.
  5. සක්දෙව් රජුනි, මට පුතෙක් උපදීවා.හේද දීර්ඝායු ඇතිවේවා.පෘථිවිය දැහැමෙන් දිනාවා.මේ වරය පස්වනු කොට ඉල්ලමි.
  6.  ජයතුරා නුවරට පැමිණි ඉක්බිති රාත්‍රී අවසානයේ හිරු උදාවෙත්ම දිවබෝජුන් පහළ වේවා. මේ වරය සවනුකොට ඉල්ලමි.
  7. මා දන්දෙත්ම ක්‍ෂය නොවේවා. මම දන් දී පසුව නොතැවෙම්වා.දෙමින් සිත පහදම්වා.මේ වරය සත්වනු කොට ඉල්ලමි. 
  8. මම මේ ජාතියෙන් මිදුණුයෙම් වෙසෙස් ගමන් ඇතිව සුගති ගමන් ඇතිවෙම්වා. ඉක්බිත භවයෙහි පුනර්භව නැත්තෙක් වෙම්වා. සර්වඥතා ඥානය ලබන්නේම්වා. මේ වරය අටවනුව ඉල්ලමි.
ඒ වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මේ වචන කීය.තොපගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්ත්වයන්වහන්සේට අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය.

ශක්‍ර කාණ්ඩය නිමි.

 
error: Content is protected !!