අපේ බුදුහාමුදුරුවෝ 376 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 12

ඔහු සතුව තිබූ වස්තුවෙන් මදක් එලෙස විස්තරවුනා. එක්දිනක් ඔහු අලංකාරව සැරසූ අසකු පිට නැගී, ජනයා පිරිවරාගෙන කෘෂිකර්මාන්ත කරන්නා වූ වගා බිමකට ගොස්, කුඹුරු කෙළවර සිටගත්තා. මිනිසුන් සුපුරුදු පරිදී කෘෂිකර්මාන්තයේ යෙදී සිටියා. එදා නුගුලෙන් පස් පෙරලනවා. නගුලෙන් සිඳින ලද භූමියෙන් නැගුණා වූ ගැඩිවිල් ආදී නොයෙකුත් පණුවන් කපුටාන් ආදී කුරුල්ලන් විසින් කන හැටි එතුමා බලා සිටියා. ඔහු ඔවුන්ගෙන් මෙසේ ප්‍රශ්ණ කොට සිටියා. “දරුවනි! මේ කුරුල්ලෝ කුමක් කත්ද?”, “ස්වාමීනි! ගැඩවිල්ලෝය.”මොවුන් කරන පාපය කාහට අයත් වේද?” “ස්වාමීනි! නුඹවහන්සේටම අයිති වේ.” එවිට තරුණයා මෙලෙස සිතුවා. “ඉදින් මොවුහු කරන ලද පවු මා හටම වේනම් අසූහත් කෙළක් වූ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක්ද? දොළොස් යොදුන් කර්මාන්තයෙන් කවර වැඩක්ද? යන්ත්‍ර බැඳි තඩාග සැටෙන් කවර වැඩක්ද? දාසගම්වලින් කවර ප්‍රයෝජනයක්ද? මේ සියලු සම්පත් කපිලානියට ම පවරා මම පැවිදි වන්නෙමි. ගිහිගෙන් නික්මෙමි”යි යනුවෙන්.

හරිම පුදුමයි, කාපිලානිය ද මේ මොහොතෙහි නිවසේ මැද මිදුලෙහි තල කළ තුනක් අතුරා – කිරිමවුවරු පිරිවරාගෙන එය ඔවුන් වේලනා අයුරු බලා සිටියා. ඒ මොහොතේ තලවල සිටින පණුවන් කන කපුටන් දැක “මෑණියනි! මොවුහු කුමක් කත්ද?”, “ස්වාමි දුවණියනි! පණුවන්ය.” “මොවුන් කරන්නා වූ මේ පාපය කාහට අයත් වේද?” “ස්වාමි දුවණියනි! නුඹටම අයත්වේ” යැයි පැවසූ වදන් අසා “මට රියන් හතරක වස්ත්‍රයක් ද නැළියක් පමණ බත් ද ලැබීම සුදුසුය. මෙපමණ ජනයා විසින් කරන අකුසල් මාහට වේනම් ආත්ම භාව දාහකින්වත් සසර පැවැත්ම නිමකර, හිස එසවීමට මට නොහැකි වේ. මේ සියලුම සම්පත් ආර්ය පුත්‍රයාටම පවරා දී ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි. දෙදෙනාටම අවසානයේ සිතට පැමිණියේ එකම සිතිවිල්ල. ඒ සියලු සැප සම්පත් අතහැර විමුක්තිය සොයා ගිහි ගෙයින් නික්මීමට. ”

මෙවැනිම සිතකින් නිවසට පැමිණි තරුණයා දියනා උතුම් පහයට නැග, මහත් අනර්ඝ පළඟක මත සිටියා. එදා ඔහුට යෝග්‍ය වූ භෝජනයක් (සක්විති රජකුට සුදුසු වූ) පිළිගැන්වුණා. අඹුසැමි යුවලම ආහාර කිස නිමවා අවසානයේ මාළිගයේ රහසිගත තැනකට පැමිණියේ සුවිශේසී සාකච්චාවකට.

ඉන්පසු තරුණයා “භද්‍රාවෙනි, භද්‍රාවෙනි ! නුඹ මේ ගෙදරට එනවිට කොපමණ ධනයක් රැගෙන ආවේද?”යි ඇසුවා. “ආර්ය පුත්‍රය! පනස් පන්දාහක් කරත්තවලින් ධනය රැගෙන ආවෙමි.” “භද්‍රාවෙනි. එම සියලුම ධනයත්, මේ ගෙදර ඇති අසූකෙළක් ධනයත්, යන්ත්‍ර බැඳි සැටක් තඩාගාදී සියලුම සම්පත් නුඹට ම පවරා දෙමි.” තරුණයා කියා සිටියා. “ආර්ය පුත්‍රය! නුඹ ඉන්පසු කුමක් කරන්නේද?” “මම පැවිදි වන්නෙමි”, “ආර්ය පුත්‍රය! මමද නුඹගේ පැමිණීම බලමින් ම මෙහි සිටියෙමි. මමද පැවිදි වන්නෙමි.” මෙසේ ඔවුනොවුන්ට ගිනිගත් කොළසෙවිලි කළා වූ ශාලාවක් මෙන් ත්‍රිවිධ භවයෝ වැටහුන. ඒ දෙදෙන වෙළඳසැළකින් කහපැහැති වස්ත්‍ර ද මැටි පාත්‍රා ද ගෙන්වාගෙන, ඔවුනොවුන්ගේ කෙස් බැහැර කරවාගෙන, “ලොව යම් රහත් කෙනෙක් වේනම් ඔවුන් උදෙසා අපගේ පැවිද්ද වේවා!” යි පවසා පැවිදි දිවියට පිවිසිය. හොරරහසේම පසුම්බිවල පාත්‍රා දමාගෙන උරයේ එල්ලාගෙන ප්‍රාසාදයෙන් බැස ගියා. ගෙදර දැසිකම්කරුවෝ ඇතුළු කිසිවෙක් ඔවුන්ව හඳුනාගත්තේ නැහැ. .

ඔවුන් ඒ බමුණු ගමින් නික්ම දාසගම් දොරින් යනවිට පැවැත්ම, විලාශය, ගමන, ප්‍රභාස්වර භාවය අකාරාදියෙන් දාසගම් වැසියෝ ඒ දෙදෙනාව හඳුනාගත්තා. ඔවුන් ඒ දෙදෙන පාමුල හඩාවැටෙමින් “ආර්යයෙනි! කිම අපි අනාථ කරවුද?”යි අසා සිටියා. එවිට කුමරු ඔවුන්ව මෙලෙස සැනසුවා. “අපි ත්‍රිවිධ භවයම ගිනිගත් කොළසෙවිලි කළ ශාලාවක් මෙන් වැටහී පැවිදි වූයෙමු. ඉදින් නුඹලාගෙන් එක් එක් පුද්ගලයා දාස බවින් මුදවත් නම්, ඒ සඳහා වර්ෂ සීයකුත් ප්‍රමාණවත් නොවේ. නුඹලා ම නුඹලාගේ හිස් සෝදාගෙන දාසකමින් නිදහස් වී ජීවත් වෙවු”යි කියා ඔවුහු හඬද්දී ම පිටත්ව ඉදිරියටම පියමැන්නා.

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව