අපේ බුදුහාමුදුරුවෝ 375 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 11

දෛවය සහ සංසාර බැඳීම් කියන්නේ හරිම පුදුම දේවල්. පිප්ඵලි කුමාරයා රනින් ස්ත්‍රියකගේ මනරම් පිළිරුවක් නෙලා ඒ හා සමාන කන්‍යාවක් සොයා දුන්නොත් විවාහ වන බවට පොරොන්දු වුනේ එය කිසිදා කල නොහැක්කක් බව දන්නා නිසා ඒ මගින් විවාහ නොවී කාලය ගතකොට දෙමාපියන්ගේ මරණයෙන් පසු මහණ දිවියට ඇතුළු වීමට. එහෙත් ඒ සඳහා පිටත්කොට යවනු ලැබූ බමුණන් රනින් නිමවූ පිළිරුවක් වන එවැනි ස්ත්‍රියක් දැන් සොයාගෙන.

ඔවුන් කපිල බමුණාට, “දැරියක් ලද්දෙමු. කළයුත්තක් කරන්න”යි හසුනක් යවනු ලැබුවා. ඔහු හසුන කියවා බලා ඉතාමත් සතුටුව පිප්ඵලි මානවකයාට ඒ බව දන්වනු ලැබුවා. මානවකයා, “මම නොලැබේ යැයි සිතුවෙමි. මොවුහු දැරියක් ලැබුණු බව කියති. ඇයට මා පැතීමේ අනර්ථ බව දන්වා ඉක්මනින්ම ලිපියක් යවන්නට ඕනේ ”යි රහසිගතව ලිපියක් ලියන්නට වුනා.

“භද්‍රාවනි! ඔබ තුමියට දෑකුලගොත් ( ජාතිය,කුලය,ගෝත්‍රය) සමාන වූ තරුණයකු ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදිවෙමි. ඒ නිසා පසුව විපිළිසර නොවනු මැනවි”යි යනුවෙන් ලිපියක් ලියා ඇය වෙත යවනු ලැබුවා. ඇයත් සිටියේ ඒ මතයේමයි. හේතුව මේ දෙදෙනාම බඹලොව සිට මෙහි පැමිණි අයවීමයි. භද්‍රාවද මෙම මංගල යෝජනාව දැනගෙන රහසිගත ලිපියක් ලියන්නට වුනා. “ආර්ය පුත්‍රය! තමාට දෑකුලගොත් සමාන වූ සුදුසු තරුණියක් ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි. පසුව විපිළිසර නොවනු මැනවි”යි ලියා පිප්ඵලි තරුණයාට යවනු ලැබුවා. ඒ කාලේ ලියුම් අරගෙන ගියේ විශේෂ රාජකීය පණිවිඩ කරුවන් වෙන්නට ඇති. දෙමාපියන්ගේ දැනුවත්වීම මත වෙන්නට ඕනේ ඒ අය මගදී හමුවී ලිපිදෙක රසිගතවම කියවා බැලුවා. බලා “දරුවන්ගේ වැඩ බලවු!”යි කියා එම ලිපි දෙක ඉරා විසිකර, වෙනත් ලිපි දෙකක් ලියා දෙතැනට යැවූවා. අවසානයේ මෙලෙස ඔවුන්ගේ නොකැමැත්තෙන්ම එක්වීම සිදුවුණා.

දෙමාපියන්ගේ බලපෑමෙන්වි මෙලෙස මේ දෙදෙනා විවාහ දිවියට ඇතුලත් වුනත් සිත ඒ වනවිටත් මහණ වී අවසන්. ඒ නිසා විවාහ ජිවිතයට ඇතුළත්වූ දිනම පිප්ඵලිද කාපිලානියද සුවිශේෂී මල්දම් දෙකක් ගොතනු ලැබුවා. ඉන්පස්සේ කලේ ඒවා ඔවුන් දෙදෙනා සැතපෙන සයනයේ හරි මැදින් තැබීමයි. රාත්‍රී අහරගෙන, දෙදෙනම “ඇඳට යන්නෙමු”යි පැමිණ තරුණයා දකුණුපසින්ද භදාව වම්පසින් ද ඇඳට ගොඩවුණා. ඒ යම් පොරොන්දුවකට එකඟ වීමෙන්. එනම් “යමෙකුගේ පැත්තෙහි මල්දම මැල වූයේ ද එම සංඥාවෙන් ඔහුට හෝ ඇයට ‘රාග සිතක් පහලවියැ’යි දැනගන්නෙමු. එබැවින් මේ මල්දම නො අල්වමු”යි කියා සිටියා. ඔවුන් “තම ශරීර ඔවුනොවුන් හා ගැටෙති’යි බියෙන් රාත්‍රියෙහි නොනිදාම පහන් කරනු ලැබුවා. එලෙසම දහවලටද ඔවුන් එසේ සිටීමට වගබලා ගත්තා. මේ දෙදෙනම ලෞකික ආමිෂයන්හි නොඇලී මෙසේ මවුපියවරු ජීවත්ව සිටින තාක් ‘පවුල’ පිළිබඳව නොවිමසා සිට ඔවුහු මියගිය පසුව තම සම්පත් පිළිබඳව සොයා බැලූව, විමසුවා. කුමරුගේ සම්පත් මෙතෙකැයි කියන්නට බැහැ. එක්දිනක් ශරීරයේ අලේපකොට අත්හැර දමන රන් චූර්ණයම මගධ නැළියෙන් දොළොස් ගුණයක් පමණ වනබව කියනවා. යන්ත්‍ර බැඳි වැව් පොකුණු ආදිය හැටක්,. කෘෂිකර්මාන්තයෝ දොළොස් යොදුනක් පුරා පැතිර තිබුනා. අනුරපුරය හා සමාන වූ දාසගම් දාහතරක්, යුධ ඇත්තු දාහතරක්. යුධ අශ්වයෝ දාහතරක්. යුධ රථ දාහතරක් වැනි මහා ධනයකට බලයකට හිමිකම් කීවා.

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව

error: Content is protected !!