භාවනා.

 

භාවනා යන වචනය සාමාන්‍ය සම්මතයේදී භාවිතා වන්නේ යම් කිසි පුද්ගලයකු වාඩි වී සිටින ඉරියව්වෙන් දෙනෙත් පියා ගෙන කරන්නා වූ ක්‍රියාවක් ලෙස ය. එම නිසා “භාවනා” යන වචනය කියන විට බොහෝ දෙනකුට සිතට නැගෙන්නේ මෙම කාරණය යි.

නමුත් බුද්ධ ධර්මයේ “භාවනා” යන වචනය යෙදෙන්නෙ “සිත වැඩීම” / “සිත දියුණු කිරීම” යන තේරුම සහිතව ය.

වාඩි වී සිටීම පමණක් නොව සිට ගෙන සිටීම, ඇවිදීම, සැතපී සිටීම යන සතර ඉරියව්වෙන් ද

එම සතර ඉරියව් හැර අන්‍ය ඕනෑම ඉරියව්වකින් ද සිත වැඩිය හැකි බව සතිපට්ඨාන සූත්‍රයෙහි සඳහන් වේ. 

( යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති )

ඒ අනුව පැවසිය හැක්කේ “සිත වැඩීම” නොහොත් “භාවනා” කිරීමෙන් තොරව මාර්ග ඵල හෝ නිවන අවබෝධ කරගත නොහැකි බවයි.

 

අංගුත්තර පඤ්චක නිපාතයේ විමුක්තායතන සූත්‍රයේ සඳහන් වන පරිදි
නිවන අවබෝධ වන ප්‍රධාන ක්‍රම 5කි.

 

1 වන ක්‍රමය :- ශාස්තෘන් වහන්සේ හෝ ගරු ස්ථානයක සිටින්නාවූ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මය දේශනා කරන විට අසා සිටින පුද්ගලයාට අර්ථය ධර්මය වැටහී ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුවය සහ සමාධිය ඇතිවී නිර්වානය අවබෝධ වීම.

2 වන ක්‍රමය :- භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ම, පරම්පරානුගතව අසා ඇති පරිදි ම විස්තර වශයෙන් අනුන්ට ධර්මය දේශනා කිරීමේදී තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින් ) නිර්වානය අවබෝධ වීම.

3 වන ක්‍රමය :- භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ම, පරම්පරානුගතව අසා ඇති පරිදි ම විස්තර වශයෙන් ධර්මය සජ්ඣායනා කිරීමේදී තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින්) නිර්වානය අවබෝධ වීම.

4 වන ක්‍රමය:- භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ම, පරම්පරානුගතව අසා ඇති පරිදි ම ධර්මය තම සිතින් අනුවිතර්කනය, අනුවිචාරය කර මනසට මනා ලෙස නගා ගැනීමේදී තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින්) නිර්වානය අවබෝධ වීම.

5 වන ක්‍රමය :- එක්තරා සමාධි නිමිත්තක් මනා ලෙස ග්‍රහණය කර මනා ලෙස මනසට නගා ගෙන මනා ලෙස මනසින් දරා ප්‍රඥාවෙන් විනිවිද දැකීමෙන් තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින්) නිර්වානය අවබෝධ වීම.

මෙම ක්‍රම පහේ දීම මනස දියුණු වීම එකම ආකාරයකින් සිදු වේ. ආරම්භ වන ක්‍රමය පමණක් වෙනස් වේ.

එම නිසා මෙම ක්‍රම පහේදීම “භාවනා” සිදු වේ යැයි පැවසිය හැකිය.

නමුත් සම්මත ක්‍රමයට කරන භාවනාවකට ආසන්නව හෝ සමාන වන්නේ පස්වෙනි ක්‍රමය පමණි.

අනෙකුත් ක්‍රම සම්මත ක්‍රමයට :-

1. ධර්ම ශ්‍රවණය

2. ධර්ම දේශනාව

3. ධර්ම සජ්ඣායනාව

4. ධර්මය මෙනෙහි කිරීම

ලෙස හැඳින්වීමට පුළුවන.

මජ්ඣිම නිකායෙහි රථ විනීත සූත්‍රයෙහි සඳහන් වන පරිදි සෝතාපන්න ආදී මාර්ග ඵල අවබෝධ වීමට ප්‍රථමයෙන් පියවර 7 කින් සිත පිරිසිදු විය යුතු ය.

1. සීල විසුද්ධිය

2. චිත්ත විසුද්ධිය

3. දිට්ඨි විසුද්ධිය

4. කංඛාවිතරණ විසුද්ධිය

5. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය

6. පටිපදා ඤාණ දස්සන විසුද්ධිය

7. ඤාණ දස්සන විසුද්ධිය.

සීල විශුද්ධිය යනු අංග අටකින් යුත් ආර්යකාන්ත සීලය තමා තුළ පිරිසිදු වීම යි.

( බොහෝ මිත්‍යා දෘෂ්ටිකයන් සිතන්නේ සීලය පිරිසිදු නොකර අන්‍ය ක්‍රමවලින් මාර්ග ඵල ලැබිය හැකි බව ය )

චිත්ත විශුද්ධිය යනු ධ්‍යාන මට්ටම් වලට සමානව සිත සමාධි ගත වීමයි.

( බොහෝ මිත්‍යා දෘෂ්ටිකයන් සිතන්නේ සිතෙහි සමාධියක් ඇති කර ගැනීමෙන් තොරව බණ ඇසීම ආදී ක්‍රම වලින් මාර්ගඵල අවබෝධ කරගත හැකි බවය )

දිට්ඨි විසුද්ධිය යනු චිත්ත, චෛතසික, රූප යන පරමාර්ථ ධර්මයන් සිහිය සහ ප්‍රඥාව මුදුන් පැමිණීම හේතුවෙන් වෙන් කර හඳුනා ගැනීම ය.

( මෙකල මුලා වූ අන්ධ බාලයන් සිතන්නේ තමන්ට නාම රූප පිලිබඳ අවබෝධයක් නැති වුනත් වෙන ක්‍රමයකින් හෝ තමන් සෝවාන් ව ඇති බවයි )

මෙලෙස මෙකල මුලා වූවන් පිළිබඳව විස්තර නම් එමට ය.

අවංකව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද කරන ලද ක්‍රමය අනුවම නිවැරදි ව මාර්ග ඵල නිර්වානය අවබෝධ කිරීමට කැමති පින්වතුන් තේරුම් ගත යුත්තේ :-

මුලින් සඳහන් කරන ලද ක්‍රමවේද පහෙන් නිර්වාණය අවබෝධ කළ හැකි වුවත්, එම ක්‍රම පහ තුළ සප්ත විශුද්ධීන් අනුව තමන් ගේ සිත පිරිසිදු වීමෙන් තොර ව නිර්වානය අවබෝධ නො වන බව ය. “එකායනො අයං භික්ඛවෙ මග්ගො” යනුවෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන ලද මාර්ගයත් මෙය ම ය.

error: Content is protected !!