Ape Budu Hamuduruwo 66

අපේ බුදුහාමුදුරුවෝ 66

 

පියදස්සි බුදුහාමුදුරුවෝ 06

 පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා.

’’පියදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සුධඤ්ඤ’’ නම් වී. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුවන්දා’’ නම් වූවාය.

ඒ බුදුරජතෙම අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිී. ’’සුනිමාල’’ ය, ’’විමල’’ ය, ’’ගිරිගුහා’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. බිරින්ද ’’විමලා’’ නම් වූවාය. පුත් තෙම ’’කඤ්චනවෙල’’ නම් වී.

පුරුෂයන්ට උතුම්වූ (පියදස්සී) බුදුරජතෙම සතර පෙර නිමිති දැක රියයානයෙන් මහබිනික්මන් කෙළේය. සමසක් මුලුල්ලේ ප්‍රධාන චර්‍ය්‍යාව කෙළේය.

මහාවීරවූ පියදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ, සිත් අලවන ’’උස්සාවන’’ නම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

පියදස්සී ශාස්තෲන් වහන්සේට ’’පාලිත’’ ය, ’’සබ්බදස්සී’’ ය යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’සෝභිත’’ නම් වී.

’’සුජාතා’’ ද, ’’ධම්මදින්නා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’කුඹුක්’’ ගස යයි කියනු ලැබේ.

’’සන්දක’’ ද, ’’ධම්මික’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’විසාඛාව’’ ද, ’’ධම්මදින්නා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අපමණ යසස් ඇති, දෙතිස් මහා පුරුෂ ලකුණෙන් යුත් ඒ බුදුරජතෙම අසූ රියනක් උස්වූයේ, (මල් පිපුණු) සල් රුකක් මෙන් දක්නා ලැබේ.

අසමවූ, මහර්ෂීවූ, ඒ (පියදස්සී) බුදුරදුන්ගේ ශරීර ශෝභාව යම්සේ වීද, එබඳු ශෝභාවක් (බැබලීමක්) ගිනිය, සඳය, හිරුය, යන මොවුන්ට නැත.

දෙවියන්ට දෙවිවූ ඒ (පියදස්සී) බුදුරදුන්ටද අවුරුදු අනූ දහසක් ආයුෂය වී. පසැස් ඇති බුදුරජාණන් වහන්සේ  ඒ තාක් කල් ලෝකයෙහි වැඩ සිටි සේක.

අසමසමවූ ඒ බුදුරද තෙමේද, අසමවූ ඒ අගසව් දෙනමද, යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

ඒ පියදස්සී මුනිවර තෙම ’’අස්සත්‍ථ’’ නම් ආරාමයෙහිදී පිරිනිවි සේක. ඒ ආරාමයෙහිම ඒ බුදුරදුන්ගේ ජිනථූපය (දාගැබ) තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)

තෙළෙස්වන බුද්ධවංස වර්ණනාව සමාප්තයි.

Ape Budu Hamuduruwo 65

අපේ බුදුහාමුදුරුවෝ 65


පියදස්සි බුදුහාමුදුරුවෝ 05

ප්‍රථම සන්නිපාතය

පියදස්සී බුදුහාමුදුරුවෝ දෝණමුඛ හස්ති රාජයා දමනය කරපු වෙලාවේ අසූ කෙළක් මිනිස්සුන්ට ධර්මාවබෝධ වුණා කියලා මීට ඉහත කීවා. ඒ සියලුම දෙනා ඊට පස්සේ මහණ වෙලා රහත් වුණා. පියදස්සී බුදුහාමුදුරුවෝ ඉන්පසු දිගටම ධර්ම චාරිකාවේ යෙදුනේ ඒ අසූ අසූකෙළක් වූ මහරහතන් වහන්සේලා සමග.  ඒ අතරතුර තවත් විශේෂ සිද්ධියක් වුණා. සුමංගල නුවර පාලි නම් රජතුමාගේ රාජ පුත්‍රයා ද එම රජතුමාගේම  පුරෝහිතයා ගේ පුත්‍රයාද  හොඳම යාලුවො. ඒ අයත් පියදස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම චාරිකාවේ දී තම නුවරට වැඩි බව අසා කෙළ ලක්ෂයක් පිරිවර සමඟ පෙර ගමන්කර උන්වහන්සේලා හමුවට පැමිණුනා. ඉන් පසුව ඔවුන් පියදස්සී බුදුරජාණන් වහන්සේගෙන් දින හතක් පුරා ම බණ අහන්නට වුනේ  සංසාර පුරුද්දටම වෙන්න ඇති. බණ අසා ඉමහත් ශ්‍රද්ධාවට පත් ඔවුන් බුදුරජාණන් වහන්සේ ඇතුළු කෝටි ගණනක් වූ මහරහතන් වහන්සේලාට විශාල දානයක් පිරිනැමුවා. දානයෙන් පස්සේ ඒ කෙළ ලක්ෂයක් වූ රාජ කුමාරවරු  ඇතුළු පිරිස මහණ වී අර්හත්වයට පැමිණුනා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස සහ උන්වහන්සේ හා වැඩි රහතුන් වහන්සේලා පිරිස පිරිවරා පාමොක් දේශනා කළා. එය පියදස්සී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සන්නිපාතය නමින් හඳුන්වනවා.

දෙවන සන්නිපාතය

ඊට පසු කාලෙක සුදස්සන දේවරාජ සභාවේ අනු කෙළක් රහත් වුනා. එදා භාග්‍යවතුන් වහන්සේ උන් වහන්සේලා පිරිවරාගෙන පාමොක් දේශනා කළා. එය  දෙවැනි සන්නිපාතය වුනා .

තෙවන සන්නිපාතය

නැවත මීට ඉහත සදහන් කල දෝණමුඛ හස්ති දමනයෙන් පසු බණ අසා රහත් වූ අසූකෙළක් මහ රහතන් වහන්සේලා පිරිවරා ඔවුන් මැද පාමොක් දේශනා කළා. එය උන්වහන්සේගේ තෙවන සන්නිපාතයද  වුණා.

අප මහා බෝසතාණෝ තෙළෙස්වන නියත විවරණ ලැබීම.

ඒ කාලෙ අප මහා බෝසතාණෝ  ත්‍රිවේදයෙහි කෙල පැමිණුනි බමුණු තරුණයෙක්ව වාසය කළා . ඒ වගේම ඔහු මහා ධනවතෙක්. ඔහු ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ බණ අසා තිසරණයේ පිහිටියා. ඉන් අනතුරුව කෝටි ගණනක් වූ රහතන් වහන්සේලාට කෙළ ලක්ෂයක් පරිත්‍යාගයෙන් පරම රමණීය සංඝාරාමයක් කරවා පූජා කරනු ලැබුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහු මතු ගෞතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරණු ලැබුවා.

නැවතත් දෙවියන්ගේ සාදු කාර හඬ සහ අත්පොළසන් හඬ සක්වළ පුරා පතුරුණා. අප මහා බෝසතාණෝ තවත් බුදුවරයෙකු දැක නිවන අතහැර ඔබ සහ අප වෙනුවෙන් මේ රුදුරු සසරේම නැවතුනා.

Ape Budu Hamuduruwo 64

අපේ බුදුහාමුදුරුවෝ 64

 

හස්තිරාජයෙකු හට ඔහුගේ මනසට වැටහෙන පරිදී ධර්ම දේශණා කරන ලද 

පියදස්සි බුදුහාමුදුරුවෝ 04

ඒ මහා ප්‍රපාත වත් ඇත් රාජයා බුදුරජාණන් වහන්සේ අභියස දැන ගැහුවෙ පුංචි ළමයෙක් වගේ. තිරිසන් යෝනියේ උපන් සතෙකු සතෙකු එලෙස දන ගැසුවත්  මොලෙන් වැඩි මිනිසුන්ව දන ගස්සන්න සමහරවිට බුදු කෙනෙකුට වත් ඒ තරම් ලේසි නැහැ. ඒ මොහොතේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ තිරිසන් මනස ට  වැටහෙන, ඔහුගේ ද්වේශය  බිඳිය හැකි ඔහුව සුගතිය කරා ගෙනයා හැකි සරල සුමදුර ධර්ම දේශනාවක් දේශනා කරන්නට වුණා පමණක් නොවෙයි ඔහුට අවබෝධ වෙන්නට සැලැස්සුව.

පින්වත් හස්ති රාජය, මාගේ වචනය අසව. තමාට සැබැවින්ම හිතවත් අර්ථවත් අය ඇසුරු කරව. වදයෙහි නිරත තොපගේ දුෂ්ට බව අතහැරව. සුන්දර දළ ඇත. ශාන්ත වෙව. ලෝභයෙන් ද්වේශයෙන් හෝ මෝහයෙන් යමෙක් ප්‍රාණීන්ට හිංසා කරයි ද ඒ ප්‍රාණඝාතයා බොහෝ කල් නිරයේ දුක් විඳී. හස්තිය  ප්‍රමාදයෙන් හෝ මදයෙන් නැවත මෙවැනි පාප කර්ම නොකරව. ප්‍රාණඝාත ඒ කරන්න නොඉවසිය හැකි දුක්දෙන අවීචියට පැමිණෙයි. අපායෙහි ගොරබිමේ දුක් විද නැවත මිනිස් ලොව පැමිණියද බෙහෙවින් අල්පායුෂ්ක වෙයි. විරූප දේහ ඇත්තේ වෙයි.  විහිංසකයා  නිරන්තරයෙන්ම දුක් විශේෂයට භාජනය වෙයි. හස්තිරාජය  යම්සේ තොප ජීවිතයට පරම ප්‍රිය ද එසේම අනුන්ටත් ප්‍රිය බව සිතා  ප්‍රාණඝාතය  දුරු කළ යුතුය. හිංසාවේ හි නිරත වීමේ දොස් ද ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ ද දැන ප්‍රාණඝාතය අතහැර පරලොව සුගතිසැප කැමැති වෙව. ප්‍රාණඝාතයෙන් වැළකුණු පුද්ගලයාගේ මෙලොව  ප්‍රිය ද මනාප ද වෙයි. කය බිඳී පරලොව සුගතියට යතැයි ද බුදුවරු පවසති. ලොව  කිසිවෙක් දුක කැමැති නොවෙති. උපන් සියල්ලෝම සැපම  සොයති. එබැවින් මහා හස්තිය, හිංසාව අතහැර සුදුසු අවස්ථාවෙහි මෛත්‍රිය හා කරුණාව වඩව. “

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අසා සිටි ඒ ඇත් රාජයා සිහි එළඹ පරම විනීත විනය ආචාර සම්පන්න ශිෂ්‍යයකු මෙන් වුණා. මෙසේ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගේ  කාලයේ සිටි ධනපාල ඇතු මෙන් ද දොණමුඛ ඇතු දමනය කොට ඒ මහජන සමාගමෙහි ධර්ම දේශනා කරනු ලැබුවා. ඒ අවස්ථාවේ අසූ කෙළ ලක්ෂයක් ජනයාට ධර්මාවබෝධය වුණා. මේ උන්වහන්සේගේ තෙවන මහා ධර්මාභිසමය ද වුණා.

Ape Budu Hamuduruwo 63

අපේ බුදුහාමුදුරුවෝ 63


පියදස්සි බුදුහාමුදුරුවෝ 03

වර්තමානයේ සමහර දේවල් කල්ප කාලාන්තරයකට එහා අතීතයේ දී ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අතීතයේ  සිදු වූ යම් යම් සිද්ධීන් වර්තමානයේ දීත් ඒ විදිහටම සිදුවෙනවා. මේ කියන්න යන්නේ පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වුණු  එවැනි ම සිදුවීමක් ගැන .

පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ කුමුද  කියලා නුවරක් තිබුණා. ඒ නුවර දෙව්දත් තෙරුන් වගේම බුදුරදුන්ට පසු මිතුරු වූ පසුව පැවිදි වූ සෝණ කියලා භික්ෂුවක් හිටිය. මේ සෝණ භික්ෂුවගේ ක්‍රියා කලාපයත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි දෙව්දත් තෙරුන්ගේ ක්‍රියා කලාපයන් අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඒ සෝණ  භික්ෂුවත් පියදස්සී බුදුරජාණන් වහන්සේව ඝාතනය කිරීමට බොහෝ උපක්‍රම යෙදුවා. ඒ භික්ෂුව ප්‍රථමයෙන් ම කළේ ඒ ජනපදයේ රජතුමාගේ පුත්‍රරත්නයත් එක්ක දැඩි මිත්‍රත්වයක්  ඇති කර ගැනීමයි. ඒ කුමාරයාගේ නම මහා පදුම. ඉන්පසුව  ඔහු ලවාම කුමන්ත්‍රණය කොට ඔහුගේ  පියාව ඝාතනය කිරීමට කටයුතු සැලැස්සුවා. අහෝ පාපමිත්‍ර ඇසුරක විපත. මහා පදුම කුමරු තම පියාණන් වහන්සේ ව ඝාතනය කොට ආනන්තරිය පාපකර්මයකට උරුමකම් ලැබුවා. එයින් ඔහු නොනැවතුනා. මහා පදුම කුමරු ලවා බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීමට විවිධ උපක්‍රම යොදනු ලැබුවා. ඒ සෑම උපක්‍රමයක් ම ව්‍යාර්ථ වුනා. අවසානයේ ස්වභාවික ලෙසම නගරය නගරය මැදම ඝාතනය කිරීමට උපක්‍රමයක් යෙදුවා . ඒ රජුගේ මහා බලසම්පන්න සද්දන්ත මඟුල් ඇතා යෙදවීමෙන්. එ සද්දන්ත ඇතාගේ නම දොණමුඛ. ඔවුන් ඒ ඇතාව බලා ගන්නා ඇත්ගොව්වාව කැදවනු ලැබුවා. කැඳවා අවශ්‍ය කාරණය සැල කොට ඔහුව ඒ සඳහා පොළඹවනු ලැබුවා.” යම් විටෙක පියදස්සී ශ්‍රමණයා මේ නුවරට පිඬු පිණිස පිවිසෙයි ද පිවිසෙනවිට දොණමුඛ ඇත් රජු මෙහෙයවා පියදස්සී ශ්‍රමණයා මරවන්න” යැයි අණ කරනු ලැබුවා. එය අසා ඇත්ගොව්වා බොහෝ අසරණ වුණා. ඔහුට රාජ අණට පිටුපා යන්නට පුළුවන් කමක් තිබුණෙ නැහැ. තම ජීවිතයත් තම තනතුරක් දෙකම ඔහුට ආරක්ෂා කර ගන්නට සිදු වූ නිසා අකමැත්තෙන් හෝ ඔහු කැමැති වුණා. පසු දින පියදස්සී බුදුරජාණන් වහන්සේ නුවරට පිඬුසිඟා වඩින වේලාව බලා ඔහු තමාට ලැබුණු රාජ අණ ඉටු කිරීමට සියල්ල සැලසුම් කරනු ලැබුවා.. ඒ ඇත් රජුගේ ස්වභාවය ගැන සහ හස්ති දමනය පිළිබඳව අලංකාර වර්ණනාවක් බුද්ධවංශඅට්ඨ කතාවේ තියෙනවා. එය ඔබගේ රස වින්දනය පිණිස එලෙස ම ලියන්නට හිතුවා.

පිඩුවූ කුම්භස්ථල සහිත සුජාත මස්තක ඇති දුනුවැනි දික් සොඬතල ඇති පුළුල් මෘදු කන් ඇති පිඟුවන් නුවන් යුත් සොඳුරුකඳ දසුන් ඇති අනුවත ඝන කොණ්ඩා ඇති දණ අතර සැඟවුණු ගුය්හ ඇති හීවැනි සොදුරු දළ ඇති මනා වලඟ යුත් සොදුරු වලගමුල් ඇති සියලු හස්ති ලක්ෂණ සම්පන්න නිල් වළාවක් මෙන් සුන්දර දසුන් ඇති සිංහ වික්‍රානත ලීලෝපෙත ගමන් ඇති ජංගම පර්වතයක් බඳු සත්තැන් බිම පිහිටි සත් අයුරින් විශේෂත්වයට පත් සර්වප්‍රකාරයෙන් මදවැහෙන විභ්‍රමණ මාරයා වැනි ඇතු ලගට ගොස්  පිඬු අහර අඳුන් බූප අලේපාදි විශේෂයෙන්  වඩාත් මත්ත ප්‍රමත්ත කොට සතුරු ඇතුන්  මඩින ඵෙරාවණ වාණරයා වැනි සතුරන් නසාලන ඇතු මුනිවරයාණයන් මරණු පිණීස පිටත් කොට හැරියා.

ඉක්බිති ඒ ඇත් රජ මිදූ කෙණෙහිම  ඇත් මිහි අස් ස්ත්‍රී පුරුෂයන් නසා ලේ තැවරුණු හිරුවැනි රතු සිරුරු ඇතිව  බඩවැල් ජාලයෙන් වැසුණු ඇසින්  ගැල්කවුළු  කූටාගාර දොරටු තොරණ ආදිය බිඳ කාක උකුසු ගිජුලිහිණි ආදීන් විසින් වටේ හැසිරුණු ලබන්නේ මල මිහි කුරංගාදීන්ගේ අඟපසඟ කඩා දමා මිනී කන යකෙකු මෙන් කටින් සිසුගණ පිරිවරා දුරින් වඩින බුදුන් දැක අහසේ සැරිසරණ  ගුරුළකුට බඳු වේගයෙන් ඉදිරියට දිව ගියා. එවිට පුරවැසි ජනයා භය සන්ත්‍රාසය පිරුණු හදින් ප්‍රසාද ප්‍රාකාර ගොඩනැගිලි ගස්වලට නැග තථාගතයන් වහන්සේ ඉදිරියට පනිනු දැක හා හා කියා කෑ ගසනු ලැබුවා.සමහර උපාසකයෝ නන් අයුරින් ඔහු වැළැක්වීමට පටන් ගත්තා. එවිට ඒ මහා කාරුණිකයන් වහන්සේ එන්නාවූ හස්තිරාජයා බලා කරුණාව පැතිරීමෙන් සිසිල් වූ හදින් ඔහුට මෛත්‍රිය පතුරුවමින් ඉදිරියටම යන්නට වුණා. ඉන්පසු ඒ  හස්තිරාජයා මෙත් පැතිරවීමෙන් මොළොක් වූ සිත් සතන් ඇතිව  තමාගේ දෝෂාපරාධය දැන ලැජ්ජාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටිය නොහැකිව පොළොවට පිවිසෙන්නත් මෙන් හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැටුණා. මෙසේ වැටුණා වූ ඒ හස්තිරාජයා අඳුරු ගොඩක් බඳු සිරුර ඇති සැන්දෑ කාන්තිය රැඳි රන්ගිරිකුලක් ළඟට වන් නිල්මේකළු ගොඩක් මෙන් බැබලී ගියා. එවිට මෙසේ මුනිරාජ පාදමූලයෙහි වැටීසිටි ඇත්රජු දැක නුවර වැස්සෝ ප්‍රීති හරිත හදින් සාදුකාර සිංහනාද ද මහත් ඝෝසාද පැවැත්වුවා. සුවඳ මල්මාලා සඳුන් සුවඳසුණු අලංකාරාදියෙන් උන්වහන්සේට නානාප්‍රකාරයෙන් පුද පූජා පවත්වන්නට පටන් ගත්තා. හාත්පස පිළිසිසැරීම් පැවැත්තුවා. අහසේ දෙව් බෙර නාදවුනා. එවිට භාග්‍යවතුන් වහන්සේ අඳුර ගිරි කුලක් මෙන් තම පාමුල වුන් ඇත් රජු දෙස බලා අංකුස ධජ්ජාල සංඛචක්‍රදියෙන් අලංකෘත අත්ලෙන් ඇතුගේ කුඹ පිරිමැද ඔහුගේ සිතට අනුකුල ධර්මදේශනයකින් ඒ ඇත් රාජයාට අනුශාසනා කරනු ලැබුවා. එයත් හරි ලස්සනයි. අවස්ථාවක් ලැබුනොතින් හෙට ලියන්නම්.

Ape Budu Hamuduruwo 62

අපේ බුදුහාමුදුරුවෝ 62


පියදස්සි බුදුහාමුදුරුවෝ 02

මිථ්‍යාදෘෂ්ටික දෙවියන් දමනය කිරීම.

අපි මෙතෙක් කල් වැඩි පුර අසා තිබුණේ බුදුරජාණන් වහන්සේලා යක්ෂයෝ මිනිස්සු, වගේම සත්තුත්  දමනය කරනවා කියලා. ඒ එක්කම බුදු වරු දෙවියන්ට බණ කියනවා මිසක් දෙවියොත් සමග යුද වදිනවා කියලා  අපි අහලා තිබුනෙත් නෑ. මේ එහෙම කතාවක්.

ඒ කාලේ සුභවතී  නම්  නුවරට නොදුරු සුදස්සන නම් පර්වතයෙහි සුදර්ශන කියලා දිව්‍ය රාජයෙක් වාසය කළා. ඔහු මිත්‍යා දෘෂ්ටිකයි. සියලු සුදර්ශන වැසියෝ ඒ දිව්‍ය රාජයාට අවුරුදු පතා ලක්ෂයක් වටිනා බලි  පුද පූජා පවත්වනු ලැබුවා. ඒ සුදස්සන  දිව්‍යරාජයා නර රජුත් සමඟ එකම අසුනෙහි හිද  බලි පූජා පිළිගැනීමට පුරුදු වෙලා හිටියා. එකල පියදස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍යරාජයාගේ දෘෂ්ටි ගතිය දුරු කරනෙමෙයි සිතා ඒ දිව්‍යරාජයා යක්ෂ සමාගමයට ගිය කල්හි ඔහුගේ භවනට අහසින් වැඩම කළා. ඉන් අනතුරුව ඔහුගේ සිරි යහනට නැඟී සවණක් රැස් පතුරවමින් යුගදුරු පර්වතයෙහි සරා හිරු මෙන් දසත බබළවමින් වැඩ සිටියා. සුදස්සන යක් රජුගේ පිරිවර පරිවාරිකා දෙවඟනන් මල්ගඳ විලවුන් ආදියෙන්  දසබලයන් වහන්සේට පූජා කොට පිරිවරා ගෙන සිටියේ බුදුකෙනෙකුගේ පරාක්‍රම බලමහිමය ද වෙන කිසිවක් කරගත නොහැකිවය. සුදස්සන දෙව්රජ යක්ෂ සමාගමෙන් පිට වී තම භවනට එනවිට මුළු පර්වතයෙන් ම  සවණක් රැස් විහිදුණු දැක මෙසේ සිතන්නට වුණා.

“වෙනදා  කිසි දිනෙක මාගේ බවනෙන් මෙවැනි නානා රශ්මි ජාලාවන්ගෙන් බබළන අසිරියක් නොදුටුවෙමි. කවරනම් දෙවියකු විසින් මෙවැන්නක් කරනු ලබන්නේ ද?”, යනුවෙන් බලමින් විපරම් කරන්න වුනා. එවිට උදාගිරි කුළු මුදුන් හි සරාකළ හිරු මෙන් සවනක් රැස් දැලින් බබළමින්  වැඩ සිටි  භාග්‍යවතුන් වහන්සේ දැක මේ මුඩුමහන මාගේ පිරිවර ජනයා පිරිවරා මාගේම සිංහාසනේ සිටින්නේ යැයි මහත් වූ ක්‍රෝධයෙන් වෙවුලන්නට වුණා. මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු දැනගෙන සිටියේ නැහැ බුදුවරයෙකුගේ ශක්තිය, බල මහිමය, විෂය ක්ෂේත්‍රය, ඒ වගේම දස දහසක් සක්වල ආඥා පැතිරෙන බව. අණසක පැතිරෙන බව. එහෙත් ඔහුගේ අණසක පැවතුණේ ඔහුගේ භවන තිබූ ඒ කඳු මුදුනට පමණයි. එහෙත් බුදුවරයකු හමුවේ එයත් වියාර්ථ වී ගියා.

 මහා සද්දන්ත රාජකීය ඇතකු අසල සිටි කුඩා කූඹියකු වැනි ඒ මිථ්‍යාදෘෂ්ටික දෙවියන් මොහු හට මාගේ බලය පෙන්වමි යැයි  සිතා මොහොතකින් ඒ මුළු මහත් පර්වතයම එකම ගිනි ජාලාවක් බව ට  පත්කළා. ඒ මහා ගිනි ජාලාවෙන් මුඩු මහණ අළු දුවිලි බවට පත්වෙන්නට ඇතැයි සිතා පිරික්ෂණ ඔහුට දකින්නට ලැබුනේ පෙර පරිදීම බබලමින් රැස් විහිදමින් ප්‍රභාෂ්වර  වූ සිරුරෙන්ම එක් රෝමකුපයක් හෝ නොදැවී වැඩ සිටිනා බුදුරජාණන් වහන්සේයි. “මේ මහණ අග්නිදාහය ඉවසයි. දැන් මම මේ මහණව සැඩදිය දහරේ ගිල්වා එක මොහොතකින් මරා දමන්නෙමියි” සිතා ගැඹුරු සැඩ දියදහරක් විමානයට අභිමුඛ කොට පවත්වන්නට වුනා. ඒ විමානයම රුදුරු සැඩ දියදහරෙන් පිරුණත් භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි රෝම මාත්‍රයක්වත් තෙමන්නට නොහැකිවුණා. එවිට සුදස්සන දෙවු රජ මෙයින් ශ්‍රමණතෙම හුස්මගැන්මට නොහැකිව මිය යන්නට ඇතැයි සිතමින් දිය වළකා බලන කල නිල්මේකළු විවරගත සරාකල සඳ මෙන්  නා නා රැස්දැලින් බබළමින් සිය පිරිස් පිරිවරා හුන් භාග්‍යවතුන් වහන්සේ දැක ක්‍රෝධය දරාගත නොහැකිව දැන්නම් මොහුව මරන්නේ යනුවෙන් මහා ආයුධ වර්ෂාවක් වස්සවන්නට වුනා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ  ආනුභාවයෙන් සියලු ආයුධ නන්වැදෑරුම් පරම රුචිර දැකුම් ඇති සුවඳ මල් මාලා බවට පත්ව භාග්‍යවතුන් වහන්සේගේ පාමුල රැඳෙන්නට වුනා.

එවිට ඒ අසිරිය දැක සුදස්සන දෙවු රජ පරම කුපිත මනසින් භාග්‍යවතුන් වහන්සේගේ දෑතින් දෙපයින් ගෙන සිය භවනින් ඇද දමනු රිසිව ඔසවා මුහුද ඉක්මවා සක්වළගලට ගොස් ජිවත් වෙයිද මලේදැයි බලන කල එම අසුනෙහිම හිඳුනු දැක, ආශ්චර්යයක්. මෙම මහණ මහානුභාව සම්පන්නයි. මම මේ මහණ මෙතනින් නෙරපීමට අසමත් වෙමි. කවුරුන් හි දැනගතහොත් අපමණ අපකීර්තියකි. ඒ නිසා කිසිවෙකු දකින්නට පෙර මොහු වැඳ නමස්කාර කොට මෙතනින් එළවාදමන්නෙමි සිතන්නට වුනා. ඔහුගේ සිත හඳුනා ගත බුදුපියාණන් වහන්සේ

සියලුම දෙවු මිනිසුන්ට පෙනෙන පරිදි අධිෂ්ඨාන කරනු ලැබුවා. එදින දඹදිව සියයක් පමණ රජවරු ඔහුට උපහාර පිණිස රැස්වෙලා හිටියේ. ඒ නරරජවරු භාග්‍යවතුන්වහන්සේගේ සිරිපා වැඳගෙන සිටින සුදස්සන දෙවු රජ දැක අපගේ දෙවු රජ පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මෙහෙවර කරයි. අපොයි බුදුවරු නම් ආශ්චර්ය වෙති. බුදුගුණ විශිෂ්ටයි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත පහන් සිතින් සියල්ලෝම බුදුන්ට නමස්කාර කරමින් හිසෙහි ඇඳිලි බඳිමින් සිටියා. එහිදී පියදස්සි භාග්‍යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්‍ය රාජයා ප්‍රමුඛ කොට ධර්මදේශනා කරනු ලැබුවා. එදින අනුකෙළ දහසක් දිව්‍යමනුෂ්‍යයෝ ධර්මාබෝධයට පත්වුණා. එය උන්වහන්සේගේ දෙවැනි ධර්මාභිසමය වුනා.

Ape Budu Hamuduruwo 61

අපේ බුදුහාමුදුරුවෝ 61

 

 

පියදස්සි බුදුහාමුදුරුවෝ 01

සුජාත බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසුව කල්ප සීයකට අධික කාලයක් මේ ලෝකයේ බුදුවරු පහළ වුණේ නැහැ. අවිද්‍යා අන්ධකාරයේ අඳුර මුළු ලෝකයම ගිල ගත්තා. ඊට පස්සේ ඒ අඳුර පහවෙන්නට වුනේ ලොවට යළිත් වර කල්පයක හිරු උදා වීමත් සමඟ. වර කල්පයක් කියන්නේ බුදුවරු තුන්නමක් ම ලෝකයේ පහලවන කල්පයක්. ඒ වර කල්පයේ පියදස්සී, අත්ථදස්සි, ධම්මදස්සී, කියලා බුදුරජාණන්වහන්සේලා තුන්නමක් ලොව පහල වන්නට නියමිතව තිබුණා. මේ කියන්නට යන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා තුන්නම අතරින්  පළවෙනි බුදුරජාණන් වහන්සේ වන පියදස්සී බුදුරජාණන් වහන්සේ ගැන.

පියදස්සි බුදුන් වහන්සේත් පෙරුම්පුරා අවසානයේ  තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් කල් වැඩසිට තුසීපුරෙන් චුතව සුධඤ්ඤවතී නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව පුර්ණ චන්ද්‍රයා මෙන් පැහැපත්  චන්‍දා දේවියගේ කුසයේ පිළිසිඳ ගත්තා. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි ම දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිවම දස මස් ඇවෑමෙන් වරුණ උයන්හි දී මව් කුසින් මෙලොවට බිහිවුණා. කුමාරයාට නම් තබන දිනයෙහි  ලොවට ප්‍රිය පෙළහර වෙසෙස් දැක්වූ හෙයින් නම් කරන්නාහු පියදස්සී යැයි නම් තැබුවා.

උන්වහන්සේත් අවුරුදු නම දහසක්ම ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත් සුනිම්මල, විමලා, ගිරිබුහා, නමින් සෘතු තුනට  ප්‍රාසාද තුනක් තිබුණා. උන්වහන්සේ ගේ අග මෙහෙසිය උනේ වුනේ විමලා දේවියයි. විමලා දේවිය ඇතුළුව තිස්තුන් දහසක් ස්ත්‍රීන් උන්වහන්සේට දිවා රාත්‍රී උවටැන් කළා. උන්වහන්සේත් අනෙකුත් බුදුවරු මෙන්ම සතර පෙර නිමිති දැක සසර කලකිරුණා. අගමෙහෙසිය වූ විමලා දේවියට කඤ්චන කුමරු උපන් දිනම ඒ මහා බෝසතාණෝ අභිණික්මන් කරනු ලැබුවා. ඒ තනියම නෙවෙයි කෝටියක් පිරිවර සමග. ඒ මහා පුරුෂයාණෝ ඔවුන් පිරිවරා සය මසක් ප්‍රධාන වීර්ය කොට වෙසක් පුන් පොහෝ දිනක වරුණ නම් බමුණුගම වසභ බමුණාගේ දියණිය විසින් පිදූ මී කිරිබත් වළඳා සල් වනයේ දී දිවාවිහාර කොට  සුජාත ආජීවක දුන් අට තණමිට ගෙන කුඹුක් බෝධිය වෙත පැමිණ තෙපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය  වැළඳ සර්වඥතා ඥානය ප්‍රතිවේධ කොට ලොවුතුරා බුද්ධත්වයට පැමිණුනා. ඉන් අනතුරුව උදන් අනා  එහි ම සත්සතිය ගෙවා  තමන් වහන්සේ අනුව පැවිදි වූවන්ගේ සිව් සස්  අවබෝධයට සමර්ථතා  දැන අහසින් වැඩ උසභවතී නුවර අසල උසභවන උයනෙහි බැස කෙලක් භික්ෂූන් පිරිවරා දම්සක් දේශනා කරනු ලැබුවා. කෙළ ලක්ෂයක් දෙනාට එදා ධර්මාවබෝධ වුනා. ඒ උන්වහන්සේගේ ප්‍රථම අභිසමයයි.