අපේ බුදුහාමුදුරුවෝ 63


පියදස්සි බුදුහාමුදුරුවෝ 03

වර්තමානයේ සමහර දේවල් කල්ප කාලාන්තරයකට එහා අතීතයේ දී ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අතීතයේ  සිදු වූ යම් යම් සිද්ධීන් වර්තමානයේ දීත් ඒ විදිහටම සිදුවෙනවා. මේ කියන්න යන්නේ පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වුණු  එවැනි ම සිදුවීමක් ගැන .

පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ කුමුද  කියලා නුවරක් තිබුණා. ඒ නුවර දෙව්දත් තෙරුන් වගේම බුදුරදුන්ට පසු මිතුරු වූ පසුව පැවිදි වූ සෝණ කියලා භික්ෂුවක් හිටිය. මේ සෝණ භික්ෂුවගේ ක්‍රියා කලාපයත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි දෙව්දත් තෙරුන්ගේ ක්‍රියා කලාපයන් අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. ඒ සෝණ  භික්ෂුවත් පියදස්සී බුදුරජාණන් වහන්සේව ඝාතනය කිරීමට බොහෝ උපක්‍රම යෙදුවා. ඒ භික්ෂුව ප්‍රථමයෙන් ම කළේ ඒ ජනපදයේ රජතුමාගේ පුත්‍රරත්නයත් එක්ක දැඩි මිත්‍රත්වයක්  ඇති කර ගැනීමයි. ඒ කුමාරයාගේ නම මහා පදුම. ඉන්පසුව  ඔහු ලවාම කුමන්ත්‍රණය කොට ඔහුගේ  පියාව ඝාතනය කිරීමට කටයුතු සැලැස්සුවා. අහෝ පාපමිත්‍ර ඇසුරක විපත. මහා පදුම කුමරු තම පියාණන් වහන්සේ ව ඝාතනය කොට ආනන්තරිය පාපකර්මයකට උරුමකම් ලැබුවා. එයින් ඔහු නොනැවතුනා. මහා පදුම කුමරු ලවා බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීමට විවිධ උපක්‍රම යොදනු ලැබුවා. ඒ සෑම උපක්‍රමයක් ම ව්‍යාර්ථ වුනා. අවසානයේ ස්වභාවික ලෙසම නගරය නගරය මැදම ඝාතනය කිරීමට උපක්‍රමයක් යෙදුවා . ඒ රජුගේ මහා බලසම්පන්න සද්දන්ත මඟුල් ඇතා යෙදවීමෙන්. එ සද්දන්ත ඇතාගේ නම දොණමුඛ. ඔවුන් ඒ ඇතාව බලා ගන්නා ඇත්ගොව්වාව කැදවනු ලැබුවා. කැඳවා අවශ්‍ය කාරණය සැල කොට ඔහුව ඒ සඳහා පොළඹවනු ලැබුවා.” යම් විටෙක පියදස්සී ශ්‍රමණයා මේ නුවරට පිඬු පිණිස පිවිසෙයි ද පිවිසෙනවිට දොණමුඛ ඇත් රජු මෙහෙයවා පියදස්සී ශ්‍රමණයා මරවන්න” යැයි අණ කරනු ලැබුවා. එය අසා ඇත්ගොව්වා බොහෝ අසරණ වුණා. ඔහුට රාජ අණට පිටුපා යන්නට පුළුවන් කමක් තිබුණෙ නැහැ. තම ජීවිතයත් තම තනතුරක් දෙකම ඔහුට ආරක්ෂා කර ගන්නට සිදු වූ නිසා අකමැත්තෙන් හෝ ඔහු කැමැති වුණා. පසු දින පියදස්සී බුදුරජාණන් වහන්සේ නුවරට පිඬුසිඟා වඩින වේලාව බලා ඔහු තමාට ලැබුණු රාජ අණ ඉටු කිරීමට සියල්ල සැලසුම් කරනු ලැබුවා.. ඒ ඇත් රජුගේ ස්වභාවය ගැන සහ හස්ති දමනය පිළිබඳව අලංකාර වර්ණනාවක් බුද්ධවංශඅට්ඨ කතාවේ තියෙනවා. එය ඔබගේ රස වින්දනය පිණිස එලෙස ම ලියන්නට හිතුවා.

පිඩුවූ කුම්භස්ථල සහිත සුජාත මස්තක ඇති දුනුවැනි දික් සොඬතල ඇති පුළුල් මෘදු කන් ඇති පිඟුවන් නුවන් යුත් සොඳුරුකඳ දසුන් ඇති අනුවත ඝන කොණ්ඩා ඇති දණ අතර සැඟවුණු ගුය්හ ඇති හීවැනි සොදුරු දළ ඇති මනා වලඟ යුත් සොදුරු වලගමුල් ඇති සියලු හස්ති ලක්ෂණ සම්පන්න නිල් වළාවක් මෙන් සුන්දර දසුන් ඇති සිංහ වික්‍රානත ලීලෝපෙත ගමන් ඇති ජංගම පර්වතයක් බඳු සත්තැන් බිම පිහිටි සත් අයුරින් විශේෂත්වයට පත් සර්වප්‍රකාරයෙන් මදවැහෙන විභ්‍රමණ මාරයා වැනි ඇතු ලගට ගොස්  පිඬු අහර අඳුන් බූප අලේපාදි විශේෂයෙන්  වඩාත් මත්ත ප්‍රමත්ත කොට සතුරු ඇතුන්  මඩින ඵෙරාවණ වාණරයා වැනි සතුරන් නසාලන ඇතු මුනිවරයාණයන් මරණු පිණීස පිටත් කොට හැරියා.

ඉක්බිති ඒ ඇත් රජ මිදූ කෙණෙහිම  ඇත් මිහි අස් ස්ත්‍රී පුරුෂයන් නසා ලේ තැවරුණු හිරුවැනි රතු සිරුරු ඇතිව  බඩවැල් ජාලයෙන් වැසුණු ඇසින්  ගැල්කවුළු  කූටාගාර දොරටු තොරණ ආදිය බිඳ කාක උකුසු ගිජුලිහිණි ආදීන් විසින් වටේ හැසිරුණු ලබන්නේ මල මිහි කුරංගාදීන්ගේ අඟපසඟ කඩා දමා මිනී කන යකෙකු මෙන් කටින් සිසුගණ පිරිවරා දුරින් වඩින බුදුන් දැක අහසේ සැරිසරණ  ගුරුළකුට බඳු වේගයෙන් ඉදිරියට දිව ගියා. එවිට පුරවැසි ජනයා භය සන්ත්‍රාසය පිරුණු හදින් ප්‍රසාද ප්‍රාකාර ගොඩනැගිලි ගස්වලට නැග තථාගතයන් වහන්සේ ඉදිරියට පනිනු දැක හා හා කියා කෑ ගසනු ලැබුවා.සමහර උපාසකයෝ නන් අයුරින් ඔහු වැළැක්වීමට පටන් ගත්තා. එවිට ඒ මහා කාරුණිකයන් වහන්සේ එන්නාවූ හස්තිරාජයා බලා කරුණාව පැතිරීමෙන් සිසිල් වූ හදින් ඔහුට මෛත්‍රිය පතුරුවමින් ඉදිරියටම යන්නට වුණා. ඉන්පසු ඒ  හස්තිරාජයා මෙත් පැතිරවීමෙන් මොළොක් වූ සිත් සතන් ඇතිව  තමාගේ දෝෂාපරාධය දැන ලැජ්ජාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටිය නොහැකිව පොළොවට පිවිසෙන්නත් මෙන් හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැටුණා. මෙසේ වැටුණා වූ ඒ හස්තිරාජයා අඳුරු ගොඩක් බඳු සිරුර ඇති සැන්දෑ කාන්තිය රැඳි රන්ගිරිකුලක් ළඟට වන් නිල්මේකළු ගොඩක් මෙන් බැබලී ගියා. එවිට මෙසේ මුනිරාජ පාදමූලයෙහි වැටීසිටි ඇත්රජු දැක නුවර වැස්සෝ ප්‍රීති හරිත හදින් සාදුකාර සිංහනාද ද මහත් ඝෝසාද පැවැත්වුවා. සුවඳ මල්මාලා සඳුන් සුවඳසුණු අලංකාරාදියෙන් උන්වහන්සේට නානාප්‍රකාරයෙන් පුද පූජා පවත්වන්නට පටන් ගත්තා. හාත්පස පිළිසිසැරීම් පැවැත්තුවා. අහසේ දෙව් බෙර නාදවුනා. එවිට භාග්‍යවතුන් වහන්සේ අඳුර ගිරි කුලක් මෙන් තම පාමුල වුන් ඇත් රජු දෙස බලා අංකුස ධජ්ජාල සංඛචක්‍රදියෙන් අලංකෘත අත්ලෙන් ඇතුගේ කුඹ පිරිමැද ඔහුගේ සිතට අනුකුල ධර්මදේශනයකින් ඒ ඇත් රාජයාට අනුශාසනා කරනු ලැබුවා. එයත් හරි ලස්සනයි. අවස්ථාවක් ලැබුනොතින් හෙට ලියන්නම්.

error: Content is protected !!