Ape Budu Hamuduruwo 162

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 162

 

දෙව්දත් කුමරුගේ අරගල

සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරු ද ඇමති පුත් කාලුදායි වත්ස ආදීහු ද, රියදුරු පුත් ඡන්න ආදීහු ද, බෝසත් සිදුහත් කුමරාණන්ගේ බොහෝ මිතුරෝ වුනා . එහෙත් කිසිවිටෙකත් දෙව්දත් කුමරු සිදුහත් කුමාරයන්ගේ කෙළි මඩලට පැමිණියේ නැහැ. හෙතෙම ක්ෂත්‍රියමානයෙන් මත්වුවෙක් වගේම සැඩපරුෂ පුද්ගලයෙක්. සිද්ධාර්ථ කුමාරයාණන් ඡන්න ආදී සේවකයන්ගේ දරුවන් හා මිත්‍ර ලීලාවෙන් ගැවසීම ඔහු ඉවසුවේ නැහැ. තමාට පහත් අය හා සමාගම් නොපවත්වන්න යනුවෙන් ඔහු බෝසතාණන්ට නිතරම උපදෙස් දුන්නා. එවැනි අවස්ථාවල එහෙත් බෝසතාණන් වහන්සේ ඔහුගේ බසට කිසිම විදිහකින්වත් කන් දුන්නේ නැහැ. එවැනි අවස්ථාවල දෙව්දත් කුමරා කලේ සුදොවුන් මහ රජුන් වෙත ගොස් සිදුහත් කුමරු පහත් කුලවල අය හා සමග සමානයන් හා සේ එක්ව වෙසෙතැයි යනුවෙන් පැමිණිලි කිරීමයි. එහෙත් බෝසතාණන්ගේ හැටි දන්නා රජතුමා ඒ සඳහා කිසිවක් කීවේ නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ.

හංසයා අරභයා වූ නඩුව.

දවසක් බෝසතාණෝ තමන්ගේ කෙළි මඩලෙහි සිට එනවිට තමා ඉදිරියේ කිසිවක් වැටෙනු දැක දිවගොස් විපරම් කළා. ඒ එක් තටුවක ඊයක් ඇනී බිම වැටුණු හංසයෙක්. බෝසතාණන් වහන්සේ වහාම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙදරට පැමිණියා. දෙව්දත් කුමරු තමා විද බිම හෙලූ හංසයා කොහෙදැයි සොයමින්

එන විට සිදුහත් කුමරුන් දැක “ඔය මම විද බිම හෙළු හංසයා ඒ නිසා වහාම එය මට දෙන්න” කියා හඬ නගන්න වුනා . බෝසතාණන් වහන්සෙ ඔහු කී දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔහුට ඇහුම්කන් නොදීම තුවාල වූ හංසයාව රජමාලිගාව තුලට රැගෙන ගියා. ඊට පස්සේ උන්වහන්සේ කළේ ඔහුගේ තුවාලයට බෙහෙත් කිරීම. දෙව්දත් කුමරු ගොස් සුද්ධෝදන රජ්ජුරුවන්ට මේ සම්බන්ධව පැමිණිලි කළා. රජතුමා පුත් කුමරු කැඳවා ප්‍රශ්න කර සිටියා. තමාට හමුවූ ඒ අසරණ සතා සුවපත් කොට මුදා හරිනු මිස ඔහුට හිංසා පීඩා කරන්නෙකුට නැවත ලබා නොදෙන බව බෝසතාණන් වහන්සේ තරයේම කියා සිටියා. මතු රටේ පාලනය භාර ගන්ට සිටින මේ දරුවන් කුඩා වියේ සිටම රටේ නීතියට අනුව සිතන්නට කටයුතු කරන්නට පුරුදු විය යුතු යැයි සිතූ රජතුමා නුඹලාගේ නඩුව රාජ සභාවට පැමිණිලි කරන්නැයි දෙව්දත් කුමරුට කීවා. ඔහුත් ඒ අයුරින්ම එසේ පැමිණිලි කළා. රජතුමා රාජ සභාව කැඳවා තම පුතාත් බෑණනුවනුත් අතර ඇති ආරවුල විසඳා අවවාද කොට තීන්දුව දෙනමෙන් නියෝග කළා.

සිදුහත් කුමරු හා දෙව්දත් කුමරු අතර ඇති වූ අරගලය විසඳීමට රාජ සභාව රැස්වීම.

රාජ සභාව රජුගේ අණින් රැස්වුණා. කුමරුන් දෙදෙනාම රාජ සභාවට කැඳවනු ලැබුවා. එම හංසයා දෙව්දත් කුමරුවාණන් විසින් විද බිමැ හෙලූ බැවින් ඒ හංසයා ඒ කුමරුන්ටම අයිති බවත් එමනිසා දෙව්දත් කුමරුනට හංසයා භාරදිය යුතු බවත් එක්කෙනෙක් හැර අනිත් සියලු සහ සගයෝ තීන්දු කරමින් ප්‍රකාශයට පත්කලා. එය ඇසු සැණින්ම සිද්ධාර්ථ කුමාරයෝ නැගී සිටියේ විදුලියක් වගේ. නැගී සිටි ඔහු රාජ සභාවෙන් මෙලෙස විමසා සිටියා.

රාජ සභාවක් නිරුත්තර කල සිදුහත් කුමරුගේ තර්කය

“අහසේ නිදහසේ පියාසර කරන කිසිදු පක්ෂියෙක් මිනිසුන්ට අයත් නැත. උන් පෙළීමට ද කිසිවකුට අයිතියක් නැත. එබැවින් උන් පිළිබඳ අයිතිවාසිකම් පැවැසීම වියරුවකැයි පවසා සිටි ඔහු ජීවියකු අයත් වෙතොත් අයත්වියයුත්තේ උගේ දිවි නසන්නාට ද? එසේත් නැතහොත් ඔහුගේ දිවි රකින්නාට ද ?යනුවෙන් ප්‍රශ්නකර සිටියා. බෝසතාණන් වහන්සේ ඉදිරිපත් කළ යුක්තිසහගත ප්‍රකාශයට සවන් දුන් රාජ සභාවම ගොළු වුනා . මද වේලාවක් යනතුරු මුළු පරිසරයම නිහඬ වුනා . ස්වල්ප වේලාවකින් පසු එක් මහලු සහ සගයෙක් නැගිට මෙලෙස අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

“ජීවියකු අයත් වන්නේ ඔහුගේ ජීවිතය රකින්නාට මිස නසන්නාට නොවේ” යැයි එම වයෝවෘද්ධ රාජ අමාත්‍යවරයා කියා සිටියා. එබැවින් හංසයා තවද දිවි ඇති බැවින් සිදුහත් කුමරුට ඔහුගේ සම්පුර්ණ අයිතිය හිමිවන බව කියා සිටියා. එවිට සියල්ලන්ටම කාරණය අවබෝධ වුනා . නඩුවෙන් පැරදුණු දෙව්දත් කුමරු කෝපයෙන් හා ලැජ්ජාවෙන් සභා ශාලාවෙන් බැස තමාගේ නිවෙස කරා යන්නට පිටත්වුණා. බෝසතාණෝ ද නික්ම ගියා. කීප දිනක් සාත්තු කොට සුවපත් වූ හංසයා පසුව බෝසතාණන් වහන්සේ විසින් මුදා හරිනු ලැබුවා.

මෙය කියවන ඔබත් සමහරවිට සතුන් දඩයමේ යන හෝ දඩමස් හෝ සත්ත්ව ආහාරයට ගැති වුවෙක් වියහැකියි. මෙය ඔබ විසින් ඔබගෙන්ම ප්‍රශ්ණ කල යුත්තක්. “ජීවියකු අයත් වන්නේ ඔහුගේ ජීවිතය රකින්නාටද? නසන්නාටද? “

මෙලෙස අපේ බුදුපියාණන් වහන්සේ අප වෙත පැනවූ ප්‍රථම ශික්ෂා පදය පටන් ගැනුනේ එතැනින් කියලයි මට හිතුණේ. 

අපව සතර අපා බියෙන් මුදවාලු ඒ මහා කරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

 

බෝසතාණන් වහන්සේ ඈත ගමන් අත්හැරීම

එක් දවසක් නෑ රජ කුමාරවරු කිහිප දෙනෙක් ඇවිත් සිද්ධාර්ථ කුමාරයන් ද කැඳවාගෙන ඇවිදින්නට ගියා. එදා කුමාරවරුන් සඳහා පිළියෙල කොට තිබුණු කෙළිබිම ද ඉක්මවා ඈත වන පෙදෙසකට ඔවුන් කුමාරයාව රැගෙන ගියා. එය ඉතාම සුන්දර හිංසාකාරී නොවෙන ඈත මෑත දිව ඇවිදින ගෝනුන් මුවන් ආදී සතුන්ගෙන් ගහන වන ලැහැබක්. කුමරා ඒ වනයේ සුන්දර පහස විඳමින් දසුන් නරඹමින් ඔවුන් හා සතුටු වුනා . එහෙත් හැම කණ්ඩායමකම ඉන්නවා නොසන්ඩාල වැඩ කරන කිහිප දෙනෙක්. මෙම මිතුරන් පිරිස අතරෙත් එවැන්නන් සිටියා. ඔවුන් අන් අය වගේ දසුන් නරඹමින් පමණක්ම සතුටු වුණේ නැහැ. සතුන් ලුහුබැඳ ගොස් ඉන් ඔවුන් විද මරා දඩයම් කරන්නටත් වුනා . මෙය දුටු සිද්ධාර්ථ කුමාරයාණන් මහත් වූ කම්පනයට පත්වුණා. ” අනේ තමන්ගේ දුක මිනිස් බසින් කියන්නට නොහැකි ගොළුවන් රැසක් බඳු වූ මේ අසරණ සතුනට ඇයි මෙහෙම හිරිහැර කරන්නේ? ඔවුන් මොන වරදක් කලාටද? කළේ හැදෙන වල් පැළෑටි අනුභව කරමින් තමන්ගේ පාඩුවේ නිදැල්ලේ ජීවත්වන මේ අසරණ සතුන්ට හිංසා කරන්නේ කුමක් නිසාද? කියා කලකිරී වහාම එහි නොසිට ආපසු මාලිගාව වෙත පියමැන්නා. ඉන්පසු ඔවුන් හා යළිත් කිසිම දවසක දුර ඈත කැළයට ඇවිදින්නට ගියේ නැහැ.

බාල වියේ සිටම සිදුහත් කුමාරයාණන්ගේ ජීවිතයෙහි කරුණාව මෛත්‍රිය ශාන්තිය පරෝපකාරය සමානාත්මතාවය යනාදී ශ්‍රේෂ්ඨ ගුණයෝ පිළිබිඹුව පැවතුණා. ඔහුගේ මේ ගති පැවැතුම් ඇසූ දුටු හැම දෙනාම ඔහු කෙරෙහි මහත් ආදරයක් දැක්වුවා. මෙලෙස බෝසතාණන්ගේ කීර්තිය හැම තැනම පැතිර ගියේ රජ වීමටත් පෙරාතුව. මගධ රට රජය කරවන මහා පද්ම මහරජ ද තම පුත් බිම්බිසාර කුමරු ලවා සිද්ධාර්ථ කුමාරයාට තුටු පඩුර යැවීම ආදියෙන් ඒ කුමාරවරුන් අතර මිත්‍ර සම්බන්ධකම් ඇති කළා. ඒ ආකාරයට තමයි බිම්බිසාර කුමරා හා සිද්ධාර්ථ කුමරා අතර ප්‍රථමයෙන්ම මිත්‍ර සම්බන්ධය ඇති වුණේ. ඒ සම්බන්ධ කම් බුද්ධත්වයෙන් පසුවත් බොහෝ කල් පැවතුණ ආකාරය ඔබහට ඉදිරියේදී කියවන්නට ලැබේවි. ලිච්ඡවී රජ දරුවනුත් විටින් විට බෝසතාණන් හට තුටුපඬුරු එවනු ලැබුවා. සෑම රජකෙනකුගෙන්ම බෝසතාණන් වහන්සේ වෙත සුබ හසුන් ලැබුණා. මෙලෙස ළමා වියේ සිටම සිද්ධාර්ථ කුමරා ජනපද අතර සියලු රජවරුන්ගේ ප්‍රසාදයටත් ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණේ සක්විති රජෙකුට අවැසි කීර්ති රාවය පෙරනිමිති පතුරවමින්.

උපකාරක ග්‍රන්ථ -. බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේගේ සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය,

Ape Budu Hamuduruwo 161

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 161

 

රාජභෝජන සැකසෙන අයුරු.

ළදරු වියේ සිටම සිද්ධාර්ථ කුමාරයන්ට මවගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද, ප්‍රජාපතී දේවිය එතුමන්ගේ ද මෑණියෝමයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ නන්ද කුමාරිද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙලෙන් සුවසේ වැඩුණා. පසුකාලයේ සිද්ධාර්ථ කුමාරයන්ටසේම නන්ද කුමරුටද පිරිවර වශයෙන් තෝරා ගත් ශාක්‍යවංශික කුමරුවන්ද මහා පිරිසක් නිතර රජ ගෙය ඇසුරු කළා.

සිප්සතර ඉගැන්වීම

සිය දරුවන්ට සිප්සතර ඉගැන්වීමට කාලයයි සැලකූ සුද්ධෝදන රජතුමා සුදුසු ඇදුරන් සොයන්නට වුනා . එදා පැවති සැම සිප්සතරෙහිම ප්‍රවීණ “සර්වමිත්‍ර” නම් බමුණු පඬිවරයා ගැන අසා ඔහුව මාලිගාවට කැඳවනු ලැබුවේ සිදුහත් කුමරාගේ ආරක්ෂාවත් සසර කලකිරිමෙහි අනාවැකිත් පියාණන්ගේ හිත තුල අනිසි බියක් ඇති කරන නිසා වෙන්නට ඇති. ඔහුව “විශ්වාමිත්‍ර” යනුවෙන් ද හඳුන්වන බව කියනවා. ඔහුගේ සියලු සුදුසුකම් සළකා බැලීමෙන් පසු ඔහුව මාළිගයේහිම රඳවාගෙන සිදුහත් කුමරු ඇතුළු රජ පවුලේ දරුවන්ට ඉගැන්වීම සිදු කරනු ලැබුවා. ඔවුන්තුරෙන් සිදුහත්කුමරා බොහෝකල් නොයවාම ඇදුරු බමුණා දත් සියලු සිප් සතර ඉගෙන ගත්තා.

 ළමා විය

සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරුන්ද, ඇමති පුත් කාළුදායි වත්ස ආදීහු ද, රියදුරු ඡන්න ආදීහු ද බෝසත් සිදුහත් කුමරාණන්ගේ මිතුරු කැල අතරින් ප්‍රධාන වුනා . දෙව්දත් කුමරු සිදුහත් කුමරාණන්ගේ කෙලිමඩලට ආවත් ඔවුන් හා සමග බොහෝ කුළුපග වුණේ නෑ.

එකල රජ කුමරුන් හට බත සැකසුණු අයුරු!

ඒ කාලේ රාජ රාජ කුමාරවරුණට ආහාරපාන සැකසුවේ හරිම පුදුමාකාර විදිහට. මේ කියන්නට යන්නේ අප බෝධිසත්වයන් වහන්සේ ලොව පහල වී සිටි කල්හි පසුකලෙක සාසනයේ අසුමහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු වූ සොණ කොළිවිස සිටු කුමරු හට කිරිබත් සැකසු අයුරුයි. මෙය කියවන ඔබට සිදුහත් කුමරුට බත සරිකල අයුරු සිතා ගත හැකිවේවි.

ඔහුට මෙබදු වූ ආහාරවිධානයක් වුනා . කිරිය සැටක් (මිනුම් දණ්ඩක්) පමණවූ තැනක් වපුරා ත්‍රිවිධ වූ ජලයකින් පෝෂණය කරනු ලබනවා. එනම් කෙතට පිවිසෙන්නාහු ජල මාර්ගයන්හි කිරිදියද, සුවදද, සුවද දියද, සැලි දහස් ගණන් එක් කරනු ලබනවා. ඇල්වී කිරිවදින කල්හි ගිරා ආදී ප්‍රාණීන්ගේ ඉදුල් කිරීම් වැලැක්වීම සදහාත්, වී ගැබේ සියුමැලි බව සදහාත්, කෙළවර සීමාවැටෙහිද අතරතුරද කණු සිටුවා ඒ මත්තෙහි දඩු තබා කලාලවලින් වසා හාත්පසින් තිර වටකොට සියල්ලට පසුව රැකවල්ලනවා. ශශ්‍ය නිපන් කල්හි ගබඩාවෙහි සිවුදෑ සුවදින් පිරිබඩ ගන්වා ඒ මත්තෙහි උතුම් සුවඳ මුසු කරනු ලබනවා. නොයෙක් දහස් ගණන් මිනිස්සු කෙතට බැස ඇල්හිස් නටුවෙන් සිද මිටි මිටි කොට රැහැනින් බැද වියලවනවා. ඉන්පසු ගබඩාවෙහි යටම මහලෙහි සුවද අතුරුවා ඒ මත්තෙහි ඇල්වී කරල් අතුරුවනු ලබනවා. මෙසේ එකක් හැර එකක් කොට අතුරන්නාහු ගබඩාව පුරවා දොර වසා තබනවා. නැවත ගබඩාව අරිනු ලබන්නේ තෙවසක් පැමිණුනායින් පසුවයි. මෙලෙස ගබඩාව විවරකල කල්හි සියලු නුවරම එහි සුවදින් සුවදවත් වෙනවා. ඇල් කෙටූවිට ධූර්තයෝ දහයියා විකුණා ගන්නවා. සහල් ඇගිටි (සුණු සහල්) සුළුසේවකයෝ ලබා ගන්නවා. සහල් කොටන කල්හි ඇල් සහල් තෝරා බේරා ගන්නවා. ඒවා රන්තීරු ඇති පසුම්බියක බහා සියවරක් පෙරා ගනු ලබනවා. ඉන්පසු එය කකාරවන ලද පිඩු රසෙහි එක්වරක් බහා උඩට ගනු ලබනවා. ගෑවුණු ගෑවුණු තැන රස වෑහෙන මෙම භෝජනය සමන් මල් බඳුනක මෙන් සුවඳ හමයි. ඒ දිව්‍යමය භෝජනය රන් තලියක බහා පැසවූ දිය අඩු මී පායාසයෙන් පිරවූ රිදී තලියක් මත්තෙහි තබා ගෙන ගොස් සිටු පුත්‍රයාගේ ඉදිරියෙහි තබනවා. හෙතෙම තමාට අවශ්‍ය ප්‍රමාණය පමණක් වළදා සුවද කැවූ දියෙන් මුව සෝදා අතපය සෝදනු ලබනවා. ඉන්පසු සෝදනලද අත්පා ඇති ඔහුට නොයෙක් ආකාර මුව සුවද ගල්වන දෑ පිළිගන්වනු ලබන්නේ ඉඳුල් සුවඳ යන්තමින්වත් මුව මතෙහි නොරැඳීමට. මේ සිටු පුතෙකුගේ එක් ආහාර වේලක්. රජකුමරෙකුගේ ආහාර වේලක් ගැන ඔබට දැන් සිතා ගත හැකියි. ඒ සිටු කුමාරටත් සිද්ධාර්ථ කුමාරට වගේම මාළිගා තුනක් තිබුණා. ඔහුට ඒ සැප සම්පත් ලැබීමට හේතුවාසනා වූ කුසලයට පාදක වූ සම්පුර්ණ කතාව මම ජීවතුන් අතර සිටියොත් ඉදිරියේදී අසූමහා ශ්‍රාවකයන් ගැන ලියවෙනවිට ඔබට කියවන්නට ලැබේවි.

Ape Budu Hamuduruwo 160

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 160

 

වප්මගුල් උත්සවය සහ සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම.

රන් සහ රිදී නගුලෙන් කරනු ලැබූ රාජකීය වප්මගුළ

මෙසේ ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවුනා . එක් දිනක් රටේ මෙන්ම රජුගේත් වප් මඟුල උත්සවය එළැබ තිබුණා. එදිනට සියලු නුවරම දෙව් විමනක් මෙන් සරසනු ලබනවා. එදාට සියලු දැසිදස් කම්කරු ආදීහු ද නව වස්ත්‍ර හැද සුවද මල් ආදියෙන් සැරසී රාජ භවනට රැස් වෙනවා. රජතුමාගේ වප් මංගල උත්සවය සඳහා නගුල් දහසක් යොදනු ලබනවා. එදවස වනාහි එකක් අඩු අටසියයක් නගුල් වුනා. ඒවා ගොනුන් රැහැන් යොත් සමගම රිදියෙන් ආලේප කොට තිබුණා. ඒ වුනත් රජුන් සී සානා නගුල රන් ආලේපිත කරලයි තිබුණේ. ගොනුන්ගේ අං සහ යොත් ද කෙවිට ආදිය ද රනින් විසිතුරු වුනා .

බෝසත් බිලිඳා වප්මගුල් උත්සවය සඳහා රැගෙන යාම.

බෝසත් කුමරාව වප්මගුල් උත්සවයට ගෙනයාම සඳහා කිරිමවුවරුන් විසින් සුවඳ පැනින් නහවනු ලැබුවා. ඒ සඳහා රනින් කල භාජනද, ඉස්තරම් වර්ගයේ විලවුන් වර්ගද, අනෙකුත් ආලේපනද තියෙන්නට ඇති.

රජතුමා මහත් පිරිවරින් වප් උත්සවය සඳහා නික්මුණේ පුත් කුමරු ද රැගෙන. වප් මඟුල ආසන්නයේ ඝනව වැඩුණු කොළ ඇති එනිසා ම සිසිල් සෙවන ඇති දඹගසක් තිබ්බා. එම ගස මුල අසුනක් පනවා රන්වන් කැටයම් කළ උඩු වියනක් බැද වටකුරු තිර ඇද රැකවරණ සලසා එහි බෝසත් කුමරාව සතපා රජතුමා සර්වාභරණයෙන් සැරසී ඇමතියන් පිරිවරා වප් මගුල් ස්ථානයට ගියා.

සීසාන භූමියෙන් මහා නිධාන මතුවීම.

එහි දී රජතුමා රන් නගුල ද ඇමතියෝ එකක් අඩු අටසියයක් රිදී නගුල්ද ගෙන කුඹුරට බැස්සා. ගොවියෝ සෙසු නගුල් ගනු ලැබුවා. ඔවුන් ඒවා ගෙන ඒ ඒ තමන්ට නියමිත ප්‍රදේශයන්හි සී සාන්නට පටන්ගත්තා. රජතුමාත් තමන්ට නියමිත රාජකීය භූමිභාගයේ අන් අය සමග හරි හරියට සී සාන්නට වුනා . මෙලෙස එක්කොනක සිට තව කොනකටත් එතැන් සිට අනෙක් කොනටත් පස පෙරළන අතරතුරේ සිදුවුණේ තවත් ආශ්චර්යයක්. කවුරුත් නොසිතූ ලෙස එම භුමිය තුලින් මහත් වූ සම්පත් මතු වන්නට පටන්ගත්තා. මෙම පුවත පැමිණි සිටි ජනයා අතරත් ඉක්මණින් පැතිර ගියා. බෝසතුන් පිරිවරා සිටි කිරි මව්වරුන්ට ද මෙම ආරංචිය පැමිණීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. එතෙක් වෙලා බෝසත්කුමරා පිරිවරා සිටි කිරිමවුවරුත් රජුගේ සම්පත් බැලීමට බෝසත් කුමරා සතපා වටකොට තිබු වට තිරයෙන් පිටතට පැමිණියා.

බෝසත් කුමරුන්හට තම පියා දෙවැනි වරටත් වැඳීම.

ඒ මොහොතේ සිදුවුනේ තවත් ආශ්චර්යයක්. බෝසත් කුමරුවෝ වටපිට බලා කිසිවකු නොදැක වහා නැගිට පළක් බැද ආනාපාන සති කමටහන් වඩා පළමු ධ්‍යානය ලබාගත්තා. කිරි මව්වරු ආහාර පාන ගැනීම සඳහා මදක් කල්ගත කළා. ඒ අවස්ථාවෙහි සෙසු ගස්හි සෙවණැල්ල හිරු හැරුණ ද නොවෙනස්ව දඹ ගස වට කොට සිටියා. කිරි මව්වරු බෝසතුන් හුදෙකලා බව දැන අවුත් තිරය ඔසවා බලනා විට සයනයෙහි පළක් බැද වැඩහුන් බෝසතුන් වහන්සේ දැක මහත් වූ පුදුමයට පත්වුණා. ඉන්පසු ඉක්මණින් ඒ බව රජතුමාට සැලකොට සිටියා. දේවයිනි, කුමාරයෝ මෙසේ බද්ධපරියන්කයෙන් සිටිති. ඒ අවස්ථාවේ සෙසු ගස්වල සෙවණද හිරු අනුව නොවෙනස්ව තිබුණා. දඹ ගසේ සෙවණද මණ්ඩලාකාරව තිබුණා. රජතුමා වේගයෙන් අවුත් ඒ පෙළහර දැක “පුත, මේ මාගේ දෙවන වැදුම” යැයි පුතුට දොහොත් දී වඳිනු ලැබුවා.

Ape Budu Hamuduruwo 159

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 159

 

මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම 02

පසුගිය ලිපියෙන් – මාතෘ දේවපුත්‍ර

අවසන් දින කිහිපය මහමායා දේවිය ගතකලේ හරිම සතුටෙන්. එයට හේතුව අසිත දේවල තවුසාද, නම් තැබීමට පැමිණි බමුණන්ද තම පුත්‍ර රත්නය ලොව්තුරා බුදුවන බව පැවසීම නිසා වෙන්න ඇති. තම නැගණිය වූ ප්‍රජාපතී ගෝතමියත් අනෙකුත් ඥාතී ස්ත්‍රීන්ද සමග ඒ ගැන කතා කරමින් ප්‍රීති වෙමින් සිටියදී මෙලොව හැර ගියේත් ඒ චිත්ත ප්‍රීතියෙන්මයි. මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනුව පහල වී වදාල ගෞතම අප මහා මුනීන්ද්‍රයන් වහන්සේට බෝසත් මාතාව වූ ඇය එලෙස මෙලොවෙන් සමුගෙන දෙනෙත් පියාගත්තේ තුසිත දෙව්ලොවෙහි සොළොසැවිරිදි දෙව් කුමරෙකු බඳු වූ දිව්‍යමය ශරීරයක් සහිතව දෙව් පුත්‍ර රත්නයක් ලෙස නෙත් ඇරියා. ඒ නිසා ඔහු දෙවියන් අතර මාතෘ දේවපුත්‍ර (මව් දෙව්පුත්) නමින් ප්‍රකටව සියලු දෙවියන් අතර මහත් වූ ගෞරවයට පාත්‍ර වෙමින් අදටත් වැඩසිටිනවා.

මිහිරි කිරි ඇති කිරි මවුවරු.

බෝසත් බිළිඳා අනේකවිද සම්පත් මැද වැඩෙන්නට වුණා. බිළිඳාට කිරිදීම සඳහා අති විශේෂ කිරිමවුවරු ශුද්ධෝදන රජතුමා විසින් සොයන්නට වුණා. අන්තපුර වාසි කොතරම් ස්ත්‍රීන් සිටියත් සෑම ස්ත්‍රියකම එවැනි තනතුරකට සුදුසු වුණේ නැහැ. ඒ අයට තිබිය යුතු සුවිශේෂ දේහ ලක්ෂණ තිබුණා. අතිශය රූමත් විය යුතුව තිබුණා. ඒ විතරක් මදි. සීලයෙනුත් අගතැන්පත් විය යුතුයි. ඒ විතරක් නෙවෙයි. ඒ මවුවරුන් ගේ කිරි උසස් මිහිරි රසයෙන්ද යුක්ත විය යුතු වුණා. මේ සියල්ලම අප මහා බෝසතාණන් වහන්සේ සසරේ වැඩු දාන පාරමිතාවන්හි ප්‍රතිඵල හැටියටමයි මට හිතෙන්නේ. එහෙත් කිරිමවුවරුන්ගේ කිරි බෝසත්බිළිඳාහට දීමට ප්‍රජාපතී ගෝතමිය ඉඩහැරියේ නැහැ. කිරිමවුවරුන් හට තමා බිහි කල නන්ද කුමරුන්ව පවරා තමාගේම පුතු වෙනුවෙන් එරුණු මව්කිරි තම දෙතනෙන්ම සිදුහත් කුමරුන්හට දෙමින් ඔහුව පෝෂණය කරනු ලැබුවා.

නන්ද කුමරු මෙලොව එළිය දැකීමට අවුරුදු දෙකකට පෙර ඇයට නන්දා නමින් දුවක්ද සිටියා. නන්ද කුමරුත් නන්දා කුමරියත්, සිදුහත් කුමරුත් යන සියලු දරුවන්ට මව වූ හෙයින් “දරුවන් ඇති ගෞතමී” යන අර්ථය අනුව ප්‍රජාවතී ගෞතමී (ප්‍රජාපතී ගෝතමී) යන නම ඇයට සුදුසුම වුණා.

බොහෝ රාත්‍රීදන්නියන් අතර අග්‍රස්ථාන ලැබීමට පෙරුම් පිරූ ප්‍රජාපතී ගෝතමිය.

තවත් පුදුම සිදුවීමක් තියෙනවා මම කියවපු දුරේ නිධානයේ. ඇය මිට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්ස්ගේ කාලයේ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳ සිටියා. පසුකලෙක පියුමුතුරා බුදුරජුන්ගේ ධර්මදේශනයක් අසමින් සිටි එක භික්ෂුණියක “බොහෝ රාත්‍රීදන්නියන්” අතුරින් අගතනතුරෙහි තබන්නා වූ ශාස්තෘන් වහන්සේ දැක පින්දහම් කොට ඇයද මතු ඒ තනතුරම පතා සිටියා. එලෙස “බොහෝ රාත්‍රීදන්නියන්” දන්න අය අතරින් අගතනතුරෙහි විවරණ ලැබූ ඇය අප සාසනයේ ගෞතම බුදුපියාණන් වහන්සේ තමදෙතනේ කිරිපොවා ඇතිදැඩි කරගැනීමටද වාසනාව ලැබූ ඇය පසුකාලයේ “බොහෝ රාත්‍රීදන්නියන්” අතරින් අගතනතුරද ලැබුවා. ( එනම් ප්‍රථම භික්ෂුණිය ලෙස. එය පුරුෂ පක්ෂයේ කොණ්ඩඤ්ඤමහරහතන් වහන්සේට ලැබූ තනතුර මෙනි) ඇය එලෙස සසර පුරා කරගත්තා වූ කුසල කර්මයන් අපමණයි. ඇය ගැන ඉදිරියේදී තවදුරටත් ලියවෙනවා. එහිදී ඒ සියලු කරුණු ඔබහට කියවන්නට ලැබේවි.

බෝසත්කුමරා හට ප්‍රජාපතී ගෝතමිය සුලු මව්ලෙස නොදැනීමට කටයුතු කිරිම.

ළදරු වියේ සිටම සිද්ධාර්ථ කුමාරයන්ට මව ගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද ප්‍රජාපතීම එතුමන්ගේ ද මෑණියෝමයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ නන්ද කුමාරිද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙලෙන් සුවසේ වැඩුනා. පසුකාලයේ සිද්ධාර්ථ කුමාරයන්ටසේම නන්ද කුමරුටද පිරිවර වශයෙන් තෝරාගත් ශාක්‍යවංශික කුමරුවන්ද මහා පිරිසක් නිතර රජ ගෙය ඇසුරු කළා.

මෙලෙස තම වැදූ මව හා සමානම පින්වත් වූ සුලුමවකගේ ස්නේහය උණුසුම ලබමින් වැඩෙන බෝසත් බිලිඳා පිලිසිදගත් දිනයේ තම නෑ පරපුර විසින් පරිත්‍යාග කරනු ලැබූ අසුහාරදහසක් වූ කුමාරවරුන්ද, උතුම් රූසපුවෙන් යුත් සියලු දෝශයෙන් මිදුණු කිරි මව්වරු, තවත් අනෙකුත් සැපසම්පත් පිරිවරින් ද යුතුව සොෟභාග්‍යයෙන් වැඩෙන්නට වුණා.

උපකාරක ග්‍රන්ථ :- අඞ්ගුත්තර නිකායටඨ කතා – ථෙරි පාළි වර්ණනාව මහාපජාපති ගෝතමී තෙරණිය / ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 158

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 158

 

මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම

මම මිට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශාසනයක පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ, වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ බිසෝවරු, සෙනෙවිවරු. ඉහතින් කී අයුරින් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී නමින් රජකෙනෙකු හිටියා. රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවයින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් සත්දෙනෙක් ලැබුණා.

ඔවුන් පිළිවෙලින්,

1.සමණී 2. සමණගුත්තා 3. භික්ඛුණී 4. භක්ඛදායිකා 5. ධම්මා 6.සුධම්මා 7. සංඝදාසි යන සත්දෙනායි.


ඔවුන් අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පිළිවෙලින්

1.ඛේමා 2. උප්පලවණ්ණා 3. පටාචාරා 4. ගෝතමී 5. ධම්මදින්නා 6.මහාමායා 7. විශාඛා යනුවෙනුයි.

මේ සහෝදරියන් සියලුම දෙනා මේ වනවිට ඉපදී හෝ මවුකුසක් බලාපොරොත්තුවෙන් සිටියේ පිරූ පාරමිතා සඵල කරගැනීමට. ඔවුන් අතරින් සුධම්මා දියණිය තමයි මිට අනුඑක් කල්පයකට ප්‍රථම විපස්සි බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු පුජා කොට බුදුකෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රර්ථනා කලේ. ඇය ඉන්පසු ආත්මභාවයක කිකී රජතුමාට දාව සුධර්මා රජ කුමරිය ලෙස ඉපිදී තව තවත් පිංකම් කොට සඳුන්සුනු පුජාවේ පුණ්‍යාණුබල මහිමයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසුකලෙක ශක්‍රදෙවිදුන්ගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍යමහිමයෙන් අප මහා බෝධිසත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන “එූසති” දේවියද, අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහාමායා දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ සම්බන්ධව විස්තරයක් මා විසින් “අපේ බුදුහාමුදුරුවෝ 107” කොටසේ සිට ලියා තිබෙනවා.

මෙලෙස අවුරුදු කල්ප ලක්ෂයක් අවම වශයෙන් පාරමී පුරමින් බුද්ධමාතාවගේ තනතුර ප්‍රාර්ථනා කරමින් පැමිණි මහාමායා දේවිය අවසානයේ අප මහා බුදුපියාණන් වහන්සේගේ බුද්ධ මාතාව වශයෙන් කිරුලු පැළඳියා.

බුද්ධමාතාව කියන්නේ සුළුපටු චරිතයක් නෙවෙයි. ඒ තනතුර ලැබීමට අවම වශයෙන් අවුරුදු කල්ප ලක්ෂයක්වත් පෙරුම් පිරිය යුතයි. පියා දරුවන් මෙන්ම භාර්යාවද එලෙසමයි. ඔබට මතක ඇති මිට පෙර “අපේ බුදුහාමුදුරුවෝ 152” වෙනි කොටසේ තථාගතයන් වහන්සේ නමකට පමණක් පිහිටි ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයන් ගැන සඳහන් කළා. එහිදී බෝසත්මවකගේ ගුණ සහ මහේශාක්‍ය බව මෙලෙස සඳහන් කළා

  1. බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුවෙන්ද,
  2. යම් කලෙක බෝසත්තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය” යනුවෙන්ද,
  3. යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාගසිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹියද නොහැක .” යනුවෙන්ද,
  4. යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි” යනුවෙන්ද,
  5. යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, එතැන්පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. යනුවෙන්ද,
  6. බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලෝකයෙහි උපදී ” යනුවෙන්ද, තව බොහෝ කරුණුද කිවා.

මෙහිදී ඒ ආශ්චර්ය අද්භූත කරුණු අතරේ බෝසතාණන් වහන්සේ මෙලොව උපත ලබා සත් දිනකින් මව මේ කුණුකය අතහැර කළුරිය කොට තුසිත දෙවුලොව ඉපදෙන බව සඳහන්. එය සෑම බෝසත් මවකටම උරුමවුවක්. එයට විශේෂ වූ හේතුන් කිහිපයක් තිබ්බා. එකක් තමයි බුදුවරයෙකු මෙලොවට බිහිකළ මව්කුස තුල තව දරු උපතකට අවස්ථාවක් නැතිකම. එමෙන්ම බෝසත්වරයෙකු කුස පිළිසිඳ ගත් පසු එම ස්ත්‍රී රත්නය සමග යහන්ගත වීමට තවත් සැමියා හෝ වෙනත් පුද්ගලයෙකුට නොහැකිවීම. ඇයගේ ආයුෂ උපතේ සිට දින හතෙන් අවසන් වීම, සහ එවන් අතිශය ශ්‍රේෂ්ඨ චරිතයක් තව දුරටත් ගැහැණියක් වශයෙන් නොසිටීම. පුරුෂයෙක් ලෙස ඉපදීමට වරම් තිබුණත් තම අභිලාෂය ලෝකෝත්තර හෙයින් ඇය බෝසත් උපත තෙක් බෝධිසත්ත්ව මාතෲත්වය පමණක් මනසින් සම්මර්ශනය කලනිසා ඇය පාරමී පුරන සමයේ පවා බෝසතුන්ට මව වී උපත ලබා ඇති ආකාරය දැකිය හැකියි.

කාන්තාවක් යනු ස්වභාවයෙන්ම පුරුෂයෙකුට වඩා බොහෝ සෙයින් ජීවිතයේ අපහසුතා වලට ලක් වන පිරිසකි. රාග නිශ්‍රිත ලෝකයේ කාන්තාවකට සිදුවන ගැහැට එමටයි. එහෙත් ඒ සා විශාල ගැහැට ඇති ස්ත්‍රී භාවය හිසෙහි තබා ගත් නෙලුමක් සේ ගෞරවයෙන් ගෙන ස්ත්‍රීයක විසින් විදිය යුතු සියලු ගැහැට සැනසුම් සහිත පහසක් හැටියට ගෙන ඝෝර සසරට වැදී පාරමී පූරණය කොට තිලොවට යහපත සදන බෝසතුන් කුසෙන් දැරීමට මහාමායාව ගත් වෑයම පූජනීයයි. මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනුව පහල වී වදාල ගෞතම අප මහා මුනීන්ද්‍රයන් වහන්සේට බෝසත් මාතාව වූ ඇය බෝසත් උපතින් සත් වන දින කලුරිය කිරීමට සිදුවන බව දැන දැනම එයද ආශිර්වාදයක් සේ සලකා බෝසත් මවක් වීමේ අභිලාෂය ඇතිව පාරමී පිරූ බව සිහි කටයුතුව ඇත. 

මේ සියලු හේතු ප්‍රත්‍යවීම නිසා ඇය බෝසත් උපතෙන් පසු නම් තැබීමේ මංගල්‍යයට ද සහභාගී වී සත්වන දිනයේ සුවපහසුව සැතපුන පසුව නැවත අවදිවුයේ නැහැ. ඇය ඒ මොහොතේම සොළොස් අවුරුදු දෙව් කුමරෙකු ලෙස (පුතෙකු ලෙස) තුසිත දෙව්ලොව උපන්නා. ඒ වෙනකිසිවක් නිසා නොව එතරම්ම පාරමී දම් වඩා තවදුරටත් ස්ත්‍රී ආත්මභාවයකට සුදුසු නොවී සිටි නිසයි. එහෙත් මානව වර්ගයාට ඇති අප්‍රමිත මෛත්‍රියෙන් ඇය බෝසත් උපත දක්වා ඒ පුරුෂ භාවය නැමති කිරුළ පැළඳුවේ නැහැ.

ඇයගේ ඇවෑමෙන් සුදොවුන් රජතුමා බෝසතාණන් වහන්සේගේ සුළුමව වූ මහාප්‍රජාපතී ගෝතමිය අගමෙහෙසිය බවට පත්කරනු ලැබුවා. ඒ දිනවලම නන්ද කුමරුත් ඉපදී සිටියා. ඇය ඔහුව කිරිමවුවරුනට දී අප මහා බෝසතාණන් වහන්සේට මෑණියන් වී මවුතුමිය නොමැති අඩුව පුරවනු ලැබුවා. 

උපකාරක ග්‍රන්ථ :- අඞ්ගුත්තර නිකායටඨ කතා – ථෙරි පාළි වර්ණනාව මහාපජාපති ගෝතමී තෙරණිය / ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 157

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 157

 

නාමකරණ මංගල්‍යය

නම් තැබීම සහ ඵලාපල සඳහා බමුණන් එකසිය අටදෙනෙක් පැමිණීම.

එදා බෝසතුන් උප්පත්තියෙන් පස් වැනි දිනයයි. කුමරුන්ගේ හිස නහවා නම් තැබීම සදහා රජ මැදුර සියලු සුගන්ධයන්ගෙන් සුවඳවත් කොට ලදපස් මල් විසුරුවනු ලැබුවා. ඉන්පසු දිය නුමුසු කිරි බත් පිසවා ත්‍රිවේදය මනාව දත් බමුණන් එකසිය අටදෙනෙක් රජ මැදුරට කැඳවා අසුන්හි වඩා හිදවා මිහිරි බොජුන් වළදවා මහත් සේ සම්මාන කොට කුමරුනට කුමක් සිදුවන්නේ දැයි ශරීරාංග ලක්‍ෂණ විමසන්නට වුනා. ඔවුන් අතුරින් රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදන්ත යන බමුණන් අට දෙනා ප්‍රවීණයන් වූ නිසාම ඔවුනට රාජසභාවේ ප්‍රමුඛස්ථානය ලැබුණා. ඔවුන් සැවැදෑරුම් වේදාංග මන්ත්‍ර අනුව කුමරුන්ගේ ශරීර ලක්‍ෂණ විමසන්නට වුණා. මේ බමුණන් අට දෙනාම අංග ලක්ෂණ පරීක්ෂා කිරීමෙහි කෙළ පැමිණියන්. බෝසතුන් පිළිසද ගත් දිනයෙහි ද බෝසත් මව දුටු සිහිනය පරීක්ෂා කරනු ලැබුවේද මොවුන්මයි. ඔවුනතුරින් කොණ්ඩඤ්ඤ බමුණා හැර අනෙකුත් සත්දෙනා ඇගිලි දෙකක් ඔසවා මෙලෙස දෙවිදියකින් අනාවැකි ප්‍රකාශ කරනු ලැබුවා. ඒ මෙලෙසයි.

“මේ අංග සලකුණුවලින් යුක්ත වුවෝ ගිහි ගෙයි වසන්නෝ නම් සක්විති රජ වන්නෝය. පැවිදි වන්නෝ නම් බුදු වන්නාහ.” මෙසේ ප්‍රකාශ කළ බමුණෝ සක්විති රජුගේ ශ්‍රී විභූතිය වර්ණනා කරනු ලැබුවා.

ඔවුනතුරින් ලාබාලම වියේ සිටියේ කොණ්ඩඤ්ඤ නම් මානවකයයි. ඔහු විසින් බෝසතුන්ගේ සර්වප්‍රකාරයෙන් උතුම් වූ ශරීර ලක්ෂණ විමසාබලා ඒ අතර ඇති විශේෂිත ඌර්ණ රෝම ධාතුව ද සැළකිල්ලට ගෙන”මේ උත්තමයාණන්ට ගෘහ ජීවිතයේ විමසීමට හේතු කාරණා නැත. ඒකාන්තයෙන් කෙළෙස් ඉවත් කළ බුදු කෙනෙක් වන්නාහුයයි” ස්ථිර වශයෙන් දැන එකම ඇගිල්ලක් පමණක් දිගු කොට එලෙස එකම එක අනාවැකියක් පමණක් පලකළා. මේ කොණ්ඩඤ්ඤ බමුණා වනාහි මේ අන්තිම අත්බව ඇත්තෙක්. නුවණින් ද අනෙක් සත් දෙනා අභිබවා සිටිය කෙනෙක්.

ඉන්පස්සේ පැමිණියේ නම් තබන හෝරාවයි. එහිදී සියලු කරුණු සැළකිල්ලට ගත් බමුණන් මොහු තුන් ලොවටම අර්ථ සිද්ධිය කරන බැවින් ‘සිද්ධත්‍ථ’ යනුවෙන් නම් කරනු ලැබුවා.

පස්වග මහණුන් එළිදැකීම.

ඒ සියලු කටයුතු නිමවුණායින් පස්සේ ඒ බමුණෝ තමතමන්ගේ ගෙවල්වලට ගියේ යුහුසුළුව. එසේ ගොස් තම පුත්‍රයන් අමතා මෙසේ කිවා. ” අපිට අද ශුද්ධෝදන රජ්ජුරුවෝ මාළිගාවට එන්න කියලා තිබුණා. ඒ අලුත උපන් කුමාරයා පෙන්වන්නට. ඔහු එසේ මෙසේ කෙනෙක් නොවෙයි. අපේ ජිවිත කාලය තුලම දැක්ක සුවිශේෂ දෙතිස් පුරුෂ ලක්ෂණයන්ගෙන් පිරි ප්‍රථම පුද්ගලයා. සියල්ල දත් ඔහු ඒකාන්තයෙන්ම අනාගතයේ බුදු බවට පත්වන පින්වත් කුමරෙක්. “අපි දැන් මහල්ලෝ. ඒ නිසාම ඔහුගේ බුද්ධත්වය දැකගැනීමට ලැබීම හෝ නො වීම විය හැකිය. නුඹලා එතුමා සියල්ල දත් බවට පැමිණි කල්හි එතුමාගේ සසුනෙහි පැවිදි වන්න” යැයි පවසා ආයු ඇතිතාක් සිට මෙළොව අතහැර ගියා.

කොණ්ඩඤ්ඤ මානවකයා ඒ වනවිට නිරෝගීව තරුණ වියේ පසුවුණේ. පසුකලෙක බෝසතුන් වැඩිවිය පත්ව මහබිනික්මන් කොට පිළිවෙළින් උරුවේලාවට ගොස් “මේ භූමි භාගය ඉතා සිත්ගන්න සුළුය. මහා විර්යය කෙරෙනු කැමති කුල පුත්‍රයකු ව ප්‍රධන් වීර්යය කිරීමට ඉතා සුදුසුයැයි” එහි සිත් අලවා වාසයට පැමිණි කාලයේ කොණ්ඩඤ්ඤ බමුණා තෙම අනෙක් සත් බමුණන්ගේ පුතුන් වෙත ගොස් මෙලෙස කිවා. සිද්ධාර්ථ කුමරු පැවිදි දිවියට ඇතුළත් වුණා. එතුමාණෝ නිසැකයෙන් බුදුවනවා. ඉදින් ඔබලාගේ පියවරු ජීවත්ව සිටියෝ නම් අද ම පැවිදි වනවා නිසැකයි. ඉදින් ඔබලා කැමති නම් එනු මැනව. මම ඒ උත්තමයාණන් අනුව පැවිදි වන්නෙමි.” පවසනු ලැබුවා. එහෙත් ඒ සියලු දෙනාම එකම අදහස් ඇත්තන් වීමට නොහැකි වූණා. තිදෙනෙක් පැවිදි නොවූණා. ඉතිරි සතර දෙනා කොණ්ඩඤ්ඤ බමුණු දෙටු කොට පැවිදි වූණා. මොවුන් පස් දෙනා පසු කල පස්වග තෙරවරුන් නමින් හඳුන්වනු ලැබුවා.

නාමකරණ මංගල්‍යය

එදිනම රජතුමා පුත් කුමරු කුමක් දැක පැවිදි වන්නේදැයි බමුණන්ගෙන් විමසනු ලැබුවා. ඔවුන් පැවසුවේ මහලු, රෝගී, මළ, පැවිදි යන සිව් පෙර නිමිති දැක බවයි. එය අසා බොහෝ තැතිගත් රජතුමා “මෙතැන් සිට එවැනි අයට මෙගේ පුතු ළගට එන්ට ඉඩ නොදෙව්, මෙගේ පුතුට බුදු බවෙන් කම් නැත, මම මගේ පුතු දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයට අධිපති ව සතිසක් යොදුන් වට සිටීමට ප්‍රමාණවත් පිරිස පිරිවරා සක්විති රාජ්‍යය කරනු දකිනු රිසියෙමි”. කියා මෙලෙස රාජ ආඥාවක් නිකුත් කරනු ලැබුවා. ඉන්පසු එකී සිව් වැදෑරුම් පුරුෂයන්ට කුමරුන්ගේ ඇස් හමුවට පැමිණීම වැළක්වීම සදහා සිව් දිශාවෙන්හි ගව්වක් පමණ ආරක්ෂාව යොදවන්නට අණකරනු ලැබුවා.

එදා ඒ නාමකරණ මංගල්‍යයට සිව් දිශාවෙන් අසුහරදසක් පමණ වූ ඤාති කුල වලට අයත් ඤාතින් ඇවිත් සිටියා. ඒ අය අතර මෙලෙස කතාබහක් ඇතිවුනා. කුමරු බුදුවුවත් සක්විති රජ වුවත් අපට කම් නැත. “අප කුමරා වෙනුවෙන් එක එක පුත්‍රයා දෙමු”. ඉතින් ඔහු බුදු වී නම් ක්‍ෂත්‍රිය ශ්‍රමණයන් පිරිවරා ගෙන හැසිරේවි. රජවන්නේනම් ක්‍ෂත්‍රිය කුමාරවරු පිරිවරා හැසිරේවි. මෙසේ කතිකා කොටගත් ඔවුන් සිදුහත් කුමරා වෙනුවෙන් එක් එක් කුමරෙකු බැගින් අසුදහසක් කුමරුන් දීමට එකඟතාවය පලකරා.

උපකාරක ග්‍රන්ථ :- අපදානටඨකතා නිධානය / ජාතකට්ඨ කතා නිධානය