අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 162

 

දෙව්දත් කුමරුගේ අරගල

සිය මලණුවන් වූ නන්ද කුමරු ද, තවත් ශාක්‍ය කෝලිය කුමාරවරු ද ඇමති පුත් කාලුදායි වත්ස ආදීහු ද, රියදුරු පුත් ඡන්න ආදීහු ද, බෝසත් සිදුහත් කුමරාණන්ගේ බොහෝ මිතුරෝ වුනා . එහෙත් කිසිවිටෙකත් දෙව්දත් කුමරු සිදුහත් කුමාරයන්ගේ කෙළි මඩලට පැමිණියේ නැහැ. හෙතෙම ක්ෂත්‍රියමානයෙන් මත්වුවෙක් වගේම සැඩපරුෂ පුද්ගලයෙක්. සිද්ධාර්ථ කුමාරයාණන් ඡන්න ආදී සේවකයන්ගේ දරුවන් හා මිත්‍ර ලීලාවෙන් ගැවසීම ඔහු ඉවසුවේ නැහැ. තමාට පහත් අය හා සමාගම් නොපවත්වන්න යනුවෙන් ඔහු බෝසතාණන්ට නිතරම උපදෙස් දුන්නා. එවැනි අවස්ථාවල එහෙත් බෝසතාණන් වහන්සේ ඔහුගේ බසට කිසිම විදිහකින්වත් කන් දුන්නේ නැහැ. එවැනි අවස්ථාවල දෙව්දත් කුමරා කලේ සුදොවුන් මහ රජුන් වෙත ගොස් සිදුහත් කුමරු පහත් කුලවල අය හා සමග සමානයන් හා සේ එක්ව වෙසෙතැයි යනුවෙන් පැමිණිලි කිරීමයි. එහෙත් බෝසතාණන්ගේ හැටි දන්නා රජතුමා ඒ සඳහා කිසිවක් කීවේ නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ.

හංසයා අරභයා වූ නඩුව.

දවසක් බෝසතාණෝ තමන්ගේ කෙළි මඩලෙහි සිට එනවිට තමා ඉදිරියේ කිසිවක් වැටෙනු දැක දිවගොස් විපරම් කළා. ඒ එක් තටුවක ඊයක් ඇනී බිම වැටුණු හංසයෙක්. බෝසතාණන් වහන්සේ වහාම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙදරට පැමිණියා. දෙව්දත් කුමරු තමා විද බිම හෙලූ හංසයා කොහෙදැයි සොයමින්

එන විට සිදුහත් කුමරුන් දැක “ඔය මම විද බිම හෙළු හංසයා ඒ නිසා වහාම එය මට දෙන්න” කියා හඬ නගන්න වුනා . බෝසතාණන් වහන්සෙ ඔහු කී දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔහුට ඇහුම්කන් නොදීම තුවාල වූ හංසයාව රජමාලිගාව තුලට රැගෙන ගියා. ඊට පස්සේ උන්වහන්සේ කළේ ඔහුගේ තුවාලයට බෙහෙත් කිරීම. දෙව්දත් කුමරු ගොස් සුද්ධෝදන රජ්ජුරුවන්ට මේ සම්බන්ධව පැමිණිලි කළා. රජතුමා පුත් කුමරු කැඳවා ප්‍රශ්න කර සිටියා. තමාට හමුවූ ඒ අසරණ සතා සුවපත් කොට මුදා හරිනු මිස ඔහුට හිංසා පීඩා කරන්නෙකුට නැවත ලබා නොදෙන බව බෝසතාණන් වහන්සේ තරයේම කියා සිටියා. මතු රටේ පාලනය භාර ගන්ට සිටින මේ දරුවන් කුඩා වියේ සිටම රටේ නීතියට අනුව සිතන්නට කටයුතු කරන්නට පුරුදු විය යුතු යැයි සිතූ රජතුමා නුඹලාගේ නඩුව රාජ සභාවට පැමිණිලි කරන්නැයි දෙව්දත් කුමරුට කීවා. ඔහුත් ඒ අයුරින්ම එසේ පැමිණිලි කළා. රජතුමා රාජ සභාව කැඳවා තම පුතාත් බෑණනුවනුත් අතර ඇති ආරවුල විසඳා අවවාද කොට තීන්දුව දෙනමෙන් නියෝග කළා.

සිදුහත් කුමරු හා දෙව්දත් කුමරු අතර ඇති වූ අරගලය විසඳීමට රාජ සභාව රැස්වීම.

රාජ සභාව රජුගේ අණින් රැස්වුණා. කුමරුන් දෙදෙනාම රාජ සභාවට කැඳවනු ලැබුවා. එම හංසයා දෙව්දත් කුමරුවාණන් විසින් විද බිමැ හෙලූ බැවින් ඒ හංසයා ඒ කුමරුන්ටම අයිති බවත් එමනිසා දෙව්දත් කුමරුනට හංසයා භාරදිය යුතු බවත් එක්කෙනෙක් හැර අනිත් සියලු සහ සගයෝ තීන්දු කරමින් ප්‍රකාශයට පත්කලා. එය ඇසු සැණින්ම සිද්ධාර්ථ කුමාරයෝ නැගී සිටියේ විදුලියක් වගේ. නැගී සිටි ඔහු රාජ සභාවෙන් මෙලෙස විමසා සිටියා.

රාජ සභාවක් නිරුත්තර කල සිදුහත් කුමරුගේ තර්කය

“අහසේ නිදහසේ පියාසර කරන කිසිදු පක්ෂියෙක් මිනිසුන්ට අයත් නැත. උන් පෙළීමට ද කිසිවකුට අයිතියක් නැත. එබැවින් උන් පිළිබඳ අයිතිවාසිකම් පැවැසීම වියරුවකැයි පවසා සිටි ඔහු ජීවියකු අයත් වෙතොත් අයත්වියයුත්තේ උගේ දිවි නසන්නාට ද? එසේත් නැතහොත් ඔහුගේ දිවි රකින්නාට ද ?යනුවෙන් ප්‍රශ්නකර සිටියා. බෝසතාණන් වහන්සේ ඉදිරිපත් කළ යුක්තිසහගත ප්‍රකාශයට සවන් දුන් රාජ සභාවම ගොළු වුනා . මද වේලාවක් යනතුරු මුළු පරිසරයම නිහඬ වුනා . ස්වල්ප වේලාවකින් පසු එක් මහලු සහ සගයෙක් නැගිට මෙලෙස අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

“ජීවියකු අයත් වන්නේ ඔහුගේ ජීවිතය රකින්නාට මිස නසන්නාට නොවේ” යැයි එම වයෝවෘද්ධ රාජ අමාත්‍යවරයා කියා සිටියා. එබැවින් හංසයා තවද දිවි ඇති බැවින් සිදුහත් කුමරුට ඔහුගේ සම්පුර්ණ අයිතිය හිමිවන බව කියා සිටියා. එවිට සියල්ලන්ටම කාරණය අවබෝධ වුනා . නඩුවෙන් පැරදුණු දෙව්දත් කුමරු කෝපයෙන් හා ලැජ්ජාවෙන් සභා ශාලාවෙන් බැස තමාගේ නිවෙස කරා යන්නට පිටත්වුණා. බෝසතාණෝ ද නික්ම ගියා. කීප දිනක් සාත්තු කොට සුවපත් වූ හංසයා පසුව බෝසතාණන් වහන්සේ විසින් මුදා හරිනු ලැබුවා.

මෙය කියවන ඔබත් සමහරවිට සතුන් දඩයමේ යන හෝ දඩමස් හෝ සත්ත්ව ආහාරයට ගැති වුවෙක් වියහැකියි. මෙය ඔබ විසින් ඔබගෙන්ම ප්‍රශ්ණ කල යුත්තක්. “ජීවියකු අයත් වන්නේ ඔහුගේ ජීවිතය රකින්නාටද? නසන්නාටද? “

මෙලෙස අපේ බුදුපියාණන් වහන්සේ අප වෙත පැනවූ ප්‍රථම ශික්ෂා පදය පටන් ගැනුනේ එතැනින් කියලයි මට හිතුණේ. 

අපව සතර අපා බියෙන් මුදවාලු ඒ මහා කරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

 

බෝසතාණන් වහන්සේ ඈත ගමන් අත්හැරීම

එක් දවසක් නෑ රජ කුමාරවරු කිහිප දෙනෙක් ඇවිත් සිද්ධාර්ථ කුමාරයන් ද කැඳවාගෙන ඇවිදින්නට ගියා. එදා කුමාරවරුන් සඳහා පිළියෙල කොට තිබුණු කෙළිබිම ද ඉක්මවා ඈත වන පෙදෙසකට ඔවුන් කුමාරයාව රැගෙන ගියා. එය ඉතාම සුන්දර හිංසාකාරී නොවෙන ඈත මෑත දිව ඇවිදින ගෝනුන් මුවන් ආදී සතුන්ගෙන් ගහන වන ලැහැබක්. කුමරා ඒ වනයේ සුන්දර පහස විඳමින් දසුන් නරඹමින් ඔවුන් හා සතුටු වුනා . එහෙත් හැම කණ්ඩායමකම ඉන්නවා නොසන්ඩාල වැඩ කරන කිහිප දෙනෙක්. මෙම මිතුරන් පිරිස අතරෙත් එවැන්නන් සිටියා. ඔවුන් අන් අය වගේ දසුන් නරඹමින් පමණක්ම සතුටු වුණේ නැහැ. සතුන් ලුහුබැඳ ගොස් ඉන් ඔවුන් විද මරා දඩයම් කරන්නටත් වුනා . මෙය දුටු සිද්ධාර්ථ කුමාරයාණන් මහත් වූ කම්පනයට පත්වුණා. ” අනේ තමන්ගේ දුක මිනිස් බසින් කියන්නට නොහැකි ගොළුවන් රැසක් බඳු වූ මේ අසරණ සතුනට ඇයි මෙහෙම හිරිහැර කරන්නේ? ඔවුන් මොන වරදක් කලාටද? කළේ හැදෙන වල් පැළෑටි අනුභව කරමින් තමන්ගේ පාඩුවේ නිදැල්ලේ ජීවත්වන මේ අසරණ සතුන්ට හිංසා කරන්නේ කුමක් නිසාද? කියා කලකිරී වහාම එහි නොසිට ආපසු මාලිගාව වෙත පියමැන්නා. ඉන්පසු ඔවුන් හා යළිත් කිසිම දවසක දුර ඈත කැළයට ඇවිදින්නට ගියේ නැහැ.

බාල වියේ සිටම සිදුහත් කුමාරයාණන්ගේ ජීවිතයෙහි කරුණාව මෛත්‍රිය ශාන්තිය පරෝපකාරය සමානාත්මතාවය යනාදී ශ්‍රේෂ්ඨ ගුණයෝ පිළිබිඹුව පැවතුණා. ඔහුගේ මේ ගති පැවැතුම් ඇසූ දුටු හැම දෙනාම ඔහු කෙරෙහි මහත් ආදරයක් දැක්වුවා. මෙලෙස බෝසතාණන්ගේ කීර්තිය හැම තැනම පැතිර ගියේ රජ වීමටත් පෙරාතුව. මගධ රට රජය කරවන මහා පද්ම මහරජ ද තම පුත් බිම්බිසාර කුමරු ලවා සිද්ධාර්ථ කුමාරයාට තුටු පඩුර යැවීම ආදියෙන් ඒ කුමාරවරුන් අතර මිත්‍ර සම්බන්ධකම් ඇති කළා. ඒ ආකාරයට තමයි බිම්බිසාර කුමරා හා සිද්ධාර්ථ කුමරා අතර ප්‍රථමයෙන්ම මිත්‍ර සම්බන්ධය ඇති වුණේ. ඒ සම්බන්ධ කම් බුද්ධත්වයෙන් පසුවත් බොහෝ කල් පැවතුණ ආකාරය ඔබහට ඉදිරියේදී කියවන්නට ලැබේවි. ලිච්ඡවී රජ දරුවනුත් විටින් විට බෝසතාණන් හට තුටුපඬුරු එවනු ලැබුවා. සෑම රජකෙනකුගෙන්ම බෝසතාණන් වහන්සේ වෙත සුබ හසුන් ලැබුණා. මෙලෙස ළමා වියේ සිටම සිද්ධාර්ථ කුමරා ජනපද අතර සියලු රජවරුන්ගේ ප්‍රසාදයටත් ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණේ සක්විති රජෙකුට අවැසි කීර්ති රාවය පෙරනිමිති පතුරවමින්.

උපකාරක ග්‍රන්ථ -. බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේගේ සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය,

error: Content is protected !!