අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 159

 

මහාමායා දේවිය කළුරිය කිරීම සහ මහා පජාපතී ගෝතමියහට මවු පදවිය ලැබීම 02

පසුගිය ලිපියෙන් – මාතෘ දේවපුත්‍ර

අවසන් දින කිහිපය මහමායා දේවිය ගතකලේ හරිම සතුටෙන්. එයට හේතුව අසිත දේවල තවුසාද, නම් තැබීමට පැමිණි බමුණන්ද තම පුත්‍ර රත්නය ලොව්තුරා බුදුවන බව පැවසීම නිසා වෙන්න ඇති. තම නැගණිය වූ ප්‍රජාපතී ගෝතමියත් අනෙකුත් ඥාතී ස්ත්‍රීන්ද සමග ඒ ගැන කතා කරමින් ප්‍රීති වෙමින් සිටියදී මෙලොව හැර ගියේත් ඒ චිත්ත ප්‍රීතියෙන්මයි. මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනුව පහල වී වදාල ගෞතම අප මහා මුනීන්ද්‍රයන් වහන්සේට බෝසත් මාතාව වූ ඇය එලෙස මෙලොවෙන් සමුගෙන දෙනෙත් පියාගත්තේ තුසිත දෙව්ලොවෙහි සොළොසැවිරිදි දෙව් කුමරෙකු බඳු වූ දිව්‍යමය ශරීරයක් සහිතව දෙව් පුත්‍ර රත්නයක් ලෙස නෙත් ඇරියා. ඒ නිසා ඔහු දෙවියන් අතර මාතෘ දේවපුත්‍ර (මව් දෙව්පුත්) නමින් ප්‍රකටව සියලු දෙවියන් අතර මහත් වූ ගෞරවයට පාත්‍ර වෙමින් අදටත් වැඩසිටිනවා.

මිහිරි කිරි ඇති කිරි මවුවරු.

බෝසත් බිළිඳා අනේකවිද සම්පත් මැද වැඩෙන්නට වුණා. බිළිඳාට කිරිදීම සඳහා අති විශේෂ කිරිමවුවරු ශුද්ධෝදන රජතුමා විසින් සොයන්නට වුණා. අන්තපුර වාසි කොතරම් ස්ත්‍රීන් සිටියත් සෑම ස්ත්‍රියකම එවැනි තනතුරකට සුදුසු වුණේ නැහැ. ඒ අයට තිබිය යුතු සුවිශේෂ දේහ ලක්ෂණ තිබුණා. අතිශය රූමත් විය යුතුව තිබුණා. ඒ විතරක් මදි. සීලයෙනුත් අගතැන්පත් විය යුතුයි. ඒ විතරක් නෙවෙයි. ඒ මවුවරුන් ගේ කිරි උසස් මිහිරි රසයෙන්ද යුක්ත විය යුතු වුණා. මේ සියල්ලම අප මහා බෝසතාණන් වහන්සේ සසරේ වැඩු දාන පාරමිතාවන්හි ප්‍රතිඵල හැටියටමයි මට හිතෙන්නේ. එහෙත් කිරිමවුවරුන්ගේ කිරි බෝසත්බිළිඳාහට දීමට ප්‍රජාපතී ගෝතමිය ඉඩහැරියේ නැහැ. කිරිමවුවරුන් හට තමා බිහි කල නන්ද කුමරුන්ව පවරා තමාගේම පුතු වෙනුවෙන් එරුණු මව්කිරි තම දෙතනෙන්ම සිදුහත් කුමරුන්හට දෙමින් ඔහුව පෝෂණය කරනු ලැබුවා.

නන්ද කුමරු මෙලොව එළිය දැකීමට අවුරුදු දෙකකට පෙර ඇයට නන්දා නමින් දුවක්ද සිටියා. නන්ද කුමරුත් නන්දා කුමරියත්, සිදුහත් කුමරුත් යන සියලු දරුවන්ට මව වූ හෙයින් “දරුවන් ඇති ගෞතමී” යන අර්ථය අනුව ප්‍රජාවතී ගෞතමී (ප්‍රජාපතී ගෝතමී) යන නම ඇයට සුදුසුම වුණා.

බොහෝ රාත්‍රීදන්නියන් අතර අග්‍රස්ථාන ලැබීමට පෙරුම් පිරූ ප්‍රජාපතී ගෝතමිය.

තවත් පුදුම සිදුවීමක් තියෙනවා මම කියවපු දුරේ නිධානයේ. ඇය මිට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්ස්ගේ කාලයේ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳ සිටියා. පසුකලෙක පියුමුතුරා බුදුරජුන්ගේ ධර්මදේශනයක් අසමින් සිටි එක භික්ෂුණියක “බොහෝ රාත්‍රීදන්නියන්” අතුරින් අගතනතුරෙහි තබන්නා වූ ශාස්තෘන් වහන්සේ දැක පින්දහම් කොට ඇයද මතු ඒ තනතුරම පතා සිටියා. එලෙස “බොහෝ රාත්‍රීදන්නියන්” දන්න අය අතරින් අගතනතුරෙහි විවරණ ලැබූ ඇය අප සාසනයේ ගෞතම බුදුපියාණන් වහන්සේ තමදෙතනේ කිරිපොවා ඇතිදැඩි කරගැනීමටද වාසනාව ලැබූ ඇය පසුකාලයේ “බොහෝ රාත්‍රීදන්නියන්” අතරින් අගතනතුරද ලැබුවා. ( එනම් ප්‍රථම භික්ෂුණිය ලෙස. එය පුරුෂ පක්ෂයේ කොණ්ඩඤ්ඤමහරහතන් වහන්සේට ලැබූ තනතුර මෙනි) ඇය එලෙස සසර පුරා කරගත්තා වූ කුසල කර්මයන් අපමණයි. ඇය ගැන ඉදිරියේදී තවදුරටත් ලියවෙනවා. එහිදී ඒ සියලු කරුණු ඔබහට කියවන්නට ලැබේවි.

බෝසත්කුමරා හට ප්‍රජාපතී ගෝතමිය සුලු මව්ලෙස නොදැනීමට කටයුතු කිරිම.

ළදරු වියේ සිටම සිද්ධාර්ථ කුමාරයන්ට මව ගේ මරණය කිසිසේත් නොදැනෙන ලෙසටද ප්‍රජාපතීම එතුමන්ගේ ද මෑණියෝමයයි හැගෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝම කතා බස් ආදී හැම එකක දී ම පරිස්සමින් ක්‍රියා කළා. මෙසේ බෝසතාණන් වහන්සේද නන්ද කුමරු ද ඒ දෙදෙනාටම වැඩිමාලු වූ නන්ද කුමාරිද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙලෙන් සුවසේ වැඩුනා. පසුකාලයේ සිද්ධාර්ථ කුමාරයන්ටසේම නන්ද කුමරුටද පිරිවර වශයෙන් තෝරාගත් ශාක්‍යවංශික කුමරුවන්ද මහා පිරිසක් නිතර රජ ගෙය ඇසුරු කළා.

මෙලෙස තම වැදූ මව හා සමානම පින්වත් වූ සුලුමවකගේ ස්නේහය උණුසුම ලබමින් වැඩෙන බෝසත් බිලිඳා පිලිසිදගත් දිනයේ තම නෑ පරපුර විසින් පරිත්‍යාග කරනු ලැබූ අසුහාරදහසක් වූ කුමාරවරුන්ද, උතුම් රූසපුවෙන් යුත් සියලු දෝශයෙන් මිදුණු කිරි මව්වරු, තවත් අනෙකුත් සැපසම්පත් පිරිවරින් ද යුතුව සොෟභාග්‍යයෙන් වැඩෙන්නට වුණා.

උපකාරක ග්‍රන්ථ :- අඞ්ගුත්තර නිකායටඨ කතා – ථෙරි පාළි වර්ණනාව මහාපජාපති ගෝතමී තෙරණිය / ජාතකට්ඨකථාව.

error: Content is protected !!