Ape Budu Hamuduruwo 216

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)216

 

අසිරිමත් බුදුගුණ වරුණ 09

උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 03

සංස්කාර හෙවත් සංඛාර යනු කුමක් දැයි තවදුරටත් හඳුන්වන  බුදුරජාණන් වහන්සේ එහි මුලික වශයෙන් ලක්ෂණ තුනක් ඇති බව අඞ්ගුත්තරනිකායේ » තිකනිපාතපාළියෙහි » චූළවග්ගයෙහි » සංඛත ලක්‍ෂණ සූත්‍රයේ මෙලෙස පෙන්වා දෙනවා.

“මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්‍ෂණයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්‍ෂණ තුන වෙත්. එම ලක්ෂණයන්ගෙන් හෙබි සංස්‌කාර ලෝකය පිළිබඳ ව විශුද්ධිමාර්ගයේ මෙලෙස සඳහන් වෙනවා.

සංස්කාර ලෝකය.

“ලෝක එකෙකි – එනම් සියලු සත්ත්‍වයෝ ප්‍ර‍ත්‍යයෙන් පවත්නෝ ය.

“ලෝක දෙකෙකි – එනම් නාම – රූප ය.

“ලෝක තුනෙකි – එනම් සුඛ, දුඃඛ, උපෙක්‍ෂා යන ත්‍රිවෙදනාය.

“ලෝක සතරෙකි – එනම් කබලීකාර, ඵස්ස, මනො සඤේචතනා,විඤ්ඤාණ යන සතර ය.

“ලෝක පසෙකි – එනම් පංච උපාදානස්කන්‍ධයෝ ය.

“ලෝක සයෙකි – එනම් ආධ්‍යාත්මික ආයතන සය ය.

“ලෝක සතෙකි – එනම් විඥාන සථිති සත ය.

“ලෝක අටෙකි – එනම් අෂ්ට ලෝක ධර්‍ම ය.

“ලෝක නවයෙකි – එනම් සත්ත්‍වාවාස නව ය.

“ලෝක දසයෙකි – එනම් ආයතන දස ය.

“ලෝක දෙලොසෙකි – එනම් ආයතන දොලොස ය.

“ලෝක අටලොසෙකි – එනම් ධාතු අටලොස ය.”

මේ සංස්කාර ලෝක යි. මේ සංස්කාර ලෝකයන්හි සියල්ල තමන්විසින්ම අවබෝධකොටගත් බැවින් උන්වහන්සේ මෙලෙසද “ලෝකවිදූ යන නාමයෙන් හඳුන්වනවා. (නිර්‍වාණය ද, මාර්‍ග-ඵල ද සංස්කාර ලෝකයට ඇතුළත් නොවේ. නිර්‍වාණය ප්‍ර‍ත්‍යයෙන් නො පවත්නේ ය. මාර්‍ග-ඵල ප්‍ර‍ත්‍යයෙන් නිපන් ද ලෝකොත්තර බැවින් සංස්කාර නො වන්නේ ය. සංස්කාර වනාහි අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත යි.)

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

අඞ්ගුත්තරනිකාය » තිකනිපාතපාළි » චූළවග්ගො » සංඛත ලක්‍ෂණ සූත්‍රය

 

Ape Budu Hamuduruwo 215

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)215

 

අසිරිමත් බුදුගුණ වරුණ 08

උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 02

ලෝකවිදූ නම් වූ අපේ බුදුහාමුදුරුවෝ සත්ත්‍වලෝකය තව දුරටත් මෙලෙස විස්තර කරනවා.

‘සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො’ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයෙහි විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඥානස්ථිති යනු ප්‍රතිසන්ධි විඥානය ඇතිවන ස්ථානයෝ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති වන්නේ සත්ත්වයන් කෙරෙහි ය. එබැවින් සත්ත්වයෝ ම විඥානස්ථීතීහු නම් වෙති.

  1. නානත්වකාය නානත්වසඤ්ඤීහුය
  2. නානත්වකාය ඒකත්වසඤ්ඤීහූය
  3. ඒකත්තකාය නානත්තසඤ්ඤීහුය
  4. එකත්වකාය එකත්ව සඤ්ඤීහුය
  5. අකාසානඤ්චායතනූපගයෝය
  6. විඤ්ඤාණඤ්චායතනූපගයෝය
  7. ආකිඤ්චඤ්ඤායතනූපයෝගය කියා ඒ ඒ සත්වයන්ගේ විඥානස්ථිතීන් මත පිහිටන රූපස්කන්ධ සහ සංඥාස්කන්ධ අනුව ද මෙලෙස සත්වලෝකය සත් කොටසකට බෙදා දක්වනවා.

 

නානත්වකාය නානත්වසඤ්ඤීහු

කයෙහි හා ප්‍රතිසන්දි සංඥාවෙහි වෙනස්විම් ඇති සත්ත්වයෝ නානත්වකාය නානනත්වසංඤී සත්ත්වයෝය. මනුෂ්‍යයෝ ය, චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝක සයෙහි දෙවියෝ ය, ඇතැම් විනිපාතිකයෝ ය යන මොවුහු නානාත්වකාය නානාත්වසංඤීහු ය.

අනන්ත චක්‍රවාළයන්හි වෙසෙන සියලූම මනුෂ්‍යයෝ වර්ණ සංස්ථානාදියෙන් එකිනෙකට වෙනස් වනවා. ඔවුන් අතර සර්වාකාරයෙන් සමාන දෙදෙනෙක් නැති තරම්. නිවුන් දරුවෝ ද ඔවුනොවුන් බෙහෙවින් සමානවුවත් සර්වාකාරයෙන් සම නොවෙනවා. ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, එබැවින් ප්‍රතිසන්ධි සංඥාවෙන් ද ඔවුහූ එකිනෙකා වෙනස් වූවෝය. එබැවින් සියලුම මනුෂ්‍යයෝ නානත්වකාය නානත්වසංඤීහූ වනවා. කාමාවචර දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද නොයෙක් පැහැ ඇත්තෝ ය. නොයෙක් සටහන් නොයෙක් ප්‍රමාණ ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිභේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය. එබැවින් ඔවුහු නානත්වකාය නාවත්වසංඤීහූ වනවා.

නානත්වකාය ඒකත්වසඤ්ඤීහූය,

විනිපාතිකයෝ නම්, ප්‍රේතයන්ට ද අයත් නොවන, දෙවියන්ට සේ යස ඉසුරු නැති, සෑහෙන තරමට ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, චාතුර්මහාරාජිත දිව්‍යලෝකයට අයත් වන මේ මිනිස්ලොව ම හැසිරෙන දුප්පත් සත්ත්ව කොට්ඨාසයක්. ඔවුහු නානාවර්ණ ඇත්තෝය. නොයෙක් සටහන් ඇත්තෝ ය. ඇතැම්හු කෘෂයෝ ය. ඇතැම්හු ස්ථුලයෝ ය. ඇතැම්හු කුඩා සිරුරු ඇත්තෝ ය. ඇතැම්හු මහත් සිරුරු ඇත්තෝය. ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුකයෝ ය. ඇතමෙක් ද්විහේතුකයෝ ය. ඇතමෙක් ත්‍රිහේතුකයෝ ය. එබැවින් ඔවුහු ද නානත්ත්වකාය නානත්වසංඤීහූ ය, විනිපාතිකයන් දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් වුව ද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහේතුක ප්‍රතිසංධිකයෝ මඟ පල ද ලබති. උත්තරමාතා නම් විනිපාතිකාව අනුරුදු තෙරුන් වහන්සේගේ ධර්මසජ්ඣායනාවක් අසා සෝවාන් වූ බවද, පුනබ්බසුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයා ද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන් දි සෝවාන් වූ බව ද යක්ඛසංයුත්තයේ දක්වා තිබෙනවා.

ඔවුනොවුන්ට වෙනස් කය ඇති ව එක ම ප්‍රතිසන්ධි සංඥාවක් ඇත්තෝ නානත්වකාය එකත්වසංඤීහු වනවා. බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන රූපාවචර භූමි තුනෙහි බ්‍රහ්මයන් හා සතර අපායට අයත් සත්ත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධි සංඥාවක් ඇති සත්ත්වයෝ ය. බ්‍රහ්මපාරිසජ්‍යවාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්මපුරෝහිත භූමි වාසින්ට ඇත්තේය. ඔවුන්ගේ කයට ද මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේය. ශරිරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැම දෙනම පිළිසිඳ ගන්නේ ප්‍රථමධ්‍යාන විපාක සංඥාව නමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු යි සතර අපායෙන් නරකයෙහි ඇතැම් සත්ත්වයන්ගේ ශරීරිය ගව් පමණ වේ. ඇතැමෙකුගේ ශරීරය අඩ යොදුන, යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුගෙන් ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝ ය. ඇතැම්හු මහත් ශරීර ඇත්තෝ ය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝ ය. අනේක සටහන් ඇත්තෝ ය. ප්‍රේතයෝ ද එසේම ය. ඇතැම් ප්‍රේතයෝ සැටරියන් පමණ කය ඇත්තෝ ය. ඇතැම්හු අසුරියන් පමණ කය ඇත්තෝ ය’ දීඝපිට්ඨික නම් සැට යොදුනක් කය ඇති ප්‍රේතයන් ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් නානාප්‍රකාර වන ඔවුන් සැම දෙනම පිළිසිඳ ගන්නේ අකුශලවිපාකාහේතුක සංඥාව නමැති එකම සංඥාවකිනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු නම් වනවා.

ඒකත්තකාය නානත්තසඤ්ඤීහු

පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන ද්වීතීයධ්‍යාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරිරයෙන් සමාන වනවා. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිසිඳ ගන්නේ ද්විතීයධ්‍යාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමෙකු පිළිසිඳ ගන්නේ රූපාවචර විපාක තෘතියධ්‍යාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්තසඤ්ඤීහු වනවා.

ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූ

පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණ යන භූමි තුනෙහි බ්‍රහ්මයෝ සමාන ශරීර ඇත්තෝය. ඔවුන් සෑම දෙනම රූපාවචර චතූර්ථධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුන් ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූ වනවා. වේහප්ඵල භූමියෙහි බ්‍රහ්මයෝ ද සමාන ශරීර ඇත්තෝ වනවා. ඔවුන් පඤ්චමධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝයි. එබැවින් ඔවුහු ද ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූ වනවා..

අසංඥ භූමියෙහි ප්‍රතිසන්ධිවිඥානයක් නොලැබෙන බැවින් එහි සත්ත්වයෝ මේ විඥානස්ථිති විභාගයට භාජනය කොට නැහැ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝකසිණ භාවනාවෙන් චතූර්ථධ්‍යානය උපදවා එයින් නැගිට සිත පිළිකුල් කළ යුතුය. සිත නැති බවම යහපති, වධබන්ධනාදි අනේක දුක් නැතය’යි සලකන යෝගීහු’ ධී චිත්තං ධී චිත්තං යි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමති ව කාලක්‍රියා කොට අසංඥ භවයෙහි රූපය පමණක් ඇතිව ඉපද කල්ප පන්සියයක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චල ව ජීවත් වනවා.

අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන ශුද්ධාවාසභූමිහු අනාගාමී, අරහත් ආර්යයන්ගේ වාසස්ථානයෝ ය. අනාගාමින් හා රහත්හු ලෝකයෙහි සැම කල්හි නැත. ඒවායේ වෙසෙන අනාගාමී, රහතුන් පිරිනිවී ගිය පසු ලෝකයෙහි බුදු කෙනකුන් පහළ නොවුව හොත් ඒ භූමි හිස් වනවා. සෑම කල්හිම ඒ භූමින්හි සත්ත්වයන් නැති බැවින් ඒවා මේ විඥානස්ථිති විභාගයට නොගත යුතුයයි ද කියනවා.

පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්න, වේහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන නව භූමියෙහිම බ්‍රහ්මයෝ ඒකත්වකාය එකත්වසංඤී සත්ත්වයන් වශයෙන් ගත යුත්තාහ යි ද කියනු ලබනවා. නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප භූමියෙහි, සත්ත්වයනට ඇතය යි ද නො කිය හැකි, නැතය යි ද නො කිය හැකි ඉතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්ත්වයෝ ද විඥානස්ථිති විභාගයට නො ගන්නා ලදී. මෙ සේ සත්ත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ “සූවිසි මහ ගුණය” ග්‍රන්ථය, රෝහිතස්ස සුත්‍රය

Ape Budu Hamuduruwo 214

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)214

 

අසිරිමත් බුදුගුණ වරුණ 07

උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 01

එක් කලෙක රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් භගවත් බුදුන් කරා එළඹැ “ස්වාමීනි! මම පෙර රොහිතස්ස නම් සෘෂියෙක් වැ සෘද්ධිබලයෙන් ලෝකාන්තය දක්මි”යි සිතා ගමන් කෙළෙමි. ඒ මම ලෝකාන්තය දැකැ ගන්නට නො හැකි වැ අතර දීම කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි! පා ගමනින් ගොස් ලෝකාන්තය දැකැ ගන්නට නො හැකිදැ”යි විචාළේය. එවිට බුදුහු මෙසේ වදාරනු ලැබූ බව ඔබද අසා ඇත.

‘ඇවැත්නි, යම් තැනෙක්හි පහළ නොවේද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද,පා ගමණින් ගොස් ලෝකයාගේ ඒ කෙළවර දත හැකියයිද, දැක්ක හැකියයිද, පැමිණිය හැකියයිද, නොකියමි’. ඇවැත්නි මම ලෝකයෙහි කෙළවරට නොපැමිණ, දුක්ඛයාගේ කෙළවර කිරීම ද නොකියමි. ඇවැත්නි, මම නැවතද, සංඥාව සහිතවූ, සිත් සහිතවූ, බඹයක් පමණවූ, මේ ශරීරයෙහි, ලෝකය ද හෙවත් දුක්ඛ සත්‍යයද, සමුදය හෙවත් දුකට හේතුවද, දුක්ඛ නිරෝධය හෙවත් නිවන ද දුක්ඛ නිරෝධයට යන ප්‍රතිපදාව ද පනවමි.

“පා ගමනින් ලෝකයෙහි කෙළවරට කිසිකලෙක නොපැමිණිය හැක. ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදමක්ද නැත්තේය. යනුවෙන් වදාරනු ලැබුවා.

එලෙස පැවසුයේ “ලෝක” නම් වූ අනන්ත විශ්වය පුරා විසිරී පවත්නා වූ අති විශාල දැනුම් සම්භාරය සාමාන්‍ය මිනිස් මනසට විෂය නොවූ නිසා බව බුදුරජාණන් වහන්සේගේ “ලෝකවිදූ” නම් වූ බුදුගුණය කියවූ විට ඔබට යන්තමින් හෝ වැටහේවි. එය සම්මා සම්බුදුවරයෙකුට අයත් විෂය ක්ශේත්‍රයක් මිස ඉන් මෙහා ඇති කිසිවෙකුට සිතා හෝ ගොස් දැකබලා ඉවර කරගැනීමකට නොහැකි විෂයකි.

කෙටියෙන් පවසතොත් ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වප්‍ර‍කාරයෙන් මේ සියලු ලෝක දන්නා බැවින් “ලෝකවිදූ” නම් වනවා. මිනිස් මනසට හසුකරගැනීමට ලෙහෙසිවන පරිදීද නිර්වාණයට උපකාරී වන අයුරින්ද මෙම විශ්වය පුරා විසිරී පවතින ලෝක මූලික වශයෙන් වෙන්කරගැනීමේ පහසුව පිණිස ත්‍රිවිධාකාර ලෙස වර්ගීකරණයට ලක් කරනවා. ඒ මෙසේයි.

  1. සත්ත්‍ව ලෝක
  2. සංස්කාර ලෝක
  3. අවකාශ ලෝක යනුවෙන්.

සත්ත්ව සමූහය සත්ත්වලෝක නම් වනවා. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව-කඳු-ගස්-වැල් ආදිය අවකාශ ලෝක නම් වනවා. ඒ ලෝක දෙකට අයත් රූප වේදනාදි සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වනවා.

රූපාදීන්හි ඇලී සිටින්නෝ ය යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්ත්ව නම් වනවා. ‘ලෝකීයති එත්ථ කුසලාකුසලං තබ්බිපාකොචාති ලොකො’ යි දැක්වෙන පරිදි කූශලාකුශලයන් හා විපාක ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ත්ව සමූහය ලෝක නම් වනවා. සත්ත්වයන් හා සංස්කාරයන් එහි දැකිය හැකිය යන අර්ථයෙන් පොළොව-කඳු-ගස්-ගල් ආදිය ද ලෝක නම් වේ. ‘ලූජ්ජති පලූජ්ජතීති ලොකො’ යි දැක්වෙන පරිදි සම්පූර්ණයෙන් විනාශ වීම, කොටස් වශයෙන් විනාශ වී පලූදු වීම ඇති බැවින් සංස්කාර සමූහය ලෝක නම් වේ. මේ තුන් ආකාර ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ‘ලෝකවිදු’ නම් වන සේක.

සත්ත්‍වලෝකය

භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්‍වයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා බැවින්ද, එසේ ම අප්පරජකඛ, මහාරජක්ඛ, තික්ඛින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, සුවිඤ්ඤාපය, දුවිඤ්ඤාපය, භව්‍ය, අභව්‍ය සත්ත්‍වයන් දන්නා බැවින්ද, එලෙස උන්වහන්සේ සත්ත්‍ව ලොකය ද දන්නා බැවින් ලෝකවිදු නම් වනවා. ( ලිපිය දීර්ඝ වන නිසා එක් එක් වෙන් වෙන් වශයෙන් විස්තර කරන්නේ නැහැ.)

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ “සූවිසි මහ ගුණය” ග්‍රන්ථය, රෝහිතස්ස සුත්‍රය

Ape Budu Hamuduruwo 213

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)213

 

අසිරිමත් බුදුගුණ වරුණ 06

උන්වහන්සේ මෙසේ “සුගත” නම් වූ සේක 02

අප භාග්‍යවතුන් වහන්සේගේ “සුගත” නම් වූ ගුණය පිළිබඳව විශුද්ධි මාර්ගයේ සඳහන් පිළිවලින් සංශික්ප්ත වශයෙන් මිට පෙර සදහන් කළා. උන්වහන්සේගේ ඒ සුන්දර වූ වැඩපිළිවල ලෝකෝත්තර වූ ආර්යෂ්ඨාංගික මාර්ගයේ නිවන දක්වාත්, ලව්කික ලෝකයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් නිවී යනතෙක් එදිනෙදා ආහාරපාන ගැනීම, ඇවිදීම, වචන හසුරවීම, හිඳගැනීම නැගිටීම සැතපීම වැනි සරළ කරුණු පවා මෙම තුන් ලොවෙහිම කිසිවෙකුට සමාන කල නොහැකි අයුරින් ගෙන ගිය ශ්‍රේෂ්ඨ වැඩපිළිවලක් නිසා උන්වහන්සේ මෙම දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ “සුගත” නම් විශේෂ නාමයකින් හඳුන්වනවා. එහි ගිහි පැවිදි අපටද ආදර්ශමත් බොහෝ කරුණු ඇති නිසා උන්වහන්සේගේ සාමාන්‍ය ලෞකික ලොව තුල පරිනිර්වාණය දක්වා ගෙවුණු දිවිය තව දුරටත් බ්‍රහ්මායු සුත්‍රය අනුසාරයෙන් මෙලෙස ලියන්නට සිතුවා.

දෙපා හසුරවන ආකාරය ත්‍රිපිටකයේ සදහන් අයුරු

“ඒ භවත් ගෞතමයන් වහන්සේ පියනගන සේක් දකුණු පසින් පළමුව යන සේක. උන්වහන්සේ ඉතා දුර පාදය නොඔසවනසේක. ඉතා ළඟ පාදය ද නොතබන සේක. උන්වහන්සේ ඉතා ඉක්මණින් නොවඩිනසේක. ඉතා සෙමින් ද නොවඩිනසේක. පිරිසෙන් වෙන්ව නොවඩිත්, දණහිසින් දණහිස ගටමින් නොවඩින්නාහ. ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් නොවඩින්නාහ. උන්වහන්සේ වඩිනසේක් කලවය උඩට නොනැමෙයි. කලවය පහළට නොනැමෙයි. කලවය දැඩිකොට පය නොතබයි. කලවය එහා මෙහා නොසලවයි. වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට කයම සෙලවෙයි, කයින් වෙර ගමනින් නොවඩිත්. උන්වහන්සේ උඩ නොබලනසේක. යට ද නොබලනසේක, වට පිට බලමින් ද නොවදින සේක, වියදඬු පමණම ඉදිරියට ( අඩි හයක පමණ ප්‍රමාණයක් ඉදිරියට) බලත්. ඉන් එහා උන්වහන්සේගේ කිසිම ආවරණයක් නැති ඤාණයෙන් (අණාවරණඤාණ) බැලීම වෙයි. එයින් කියවෙන්නේ උන්වහන්සේ වඩිනා විට අඩි හයක පමණ ප්‍රමාණයක් දෙස නේත්‍රා යොමුවුනත් ඊට එහා ඇති සියලු දර්ශණ ආවරණය වී නැති බවයි.

උඩුකය හසුරවන ආකාරය ත්‍රිපිටකයේ සදහන් අයුරු

උන්වහන්සේ ගෙයක් තුළට ඇතුල්වනවිට කය පහළට නොනමන සේක. ඊට හේතුව උළුඅස්ස උන්වහන්සේගේ උස ප්‍රමාණයට වඩා උසින් අඩුනම් එය ඉබේම බුදුරජාණන් වහන්සේගේ කයේ ප්‍රමාණයට උස් වීමයි. කය උඩට ද නොඔසවන සේක, කය දැඩිකොට නොතබයි. කය එහා මෙහා නොසොළොවයි. ඒ භවත් ගෞතමයන්වහන්සේ වනාහි හැරී බලනසේක් සියලු කයම හරවා බලයි.

අසුන්ගන්නා අයුරු ත්‍රිපිටකයේ සදහන් අයුරු

උන්වහන්සේ ඉතාදුර ඉතා ළංවද ආසනයට නොයත්. “අතින් තදකොට ආසනයෙහි නොඉඳිත්. ආසනයෙහි කය නොහෙළත්, උන්වහන්සේ ඇතුළුගෙහි හුන්නේ හස්ත විකාර නොකරත්. පාද විකාර නොකරත්. පයක් පිට පයක් දමා නොහිඳිත්. ගොප් මස්පිට ගොප්මස (බත්කෙන්ඩ) නගා නොඉඳිත්, නිකට අත තබා නොහිඳිත්. උන්වහන්සේ ඇතුළුගෙහි බියවූ ස්වභාවයෙන් නොඉඳිත්. උන්වහන්සේ භය නොවූ කම්පා නොවූ නොසෙල්වෙන තැති නොගෙන පහවූ ලොමුදැහැ ගැනීම් ඇතිව නිවන් ඇසුරු කරන සිත් ඇතිව ඒ භවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ගමෙහි වැඩ හිඳිත්.

පාත්‍රය භාවිතාකල අයුරු

“උන්වහන්සේ පාත්‍රයට වතුර පිළිගැනීම සදහා පාත්‍රය උඩට නොඔසවත්, පාත්‍රය පහලට නොනමත්, පාත්‍රය දැඩිකොට නොතබත්, පාත්‍රය එහාමෙහා නොසොළොවයි, උන්වහන්සේ පාත්‍රයට වතුර වැඩියත් නොව අඩුවත් නොව පිළිගන්නා සේක, උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගිනසේ පාත්‍රය නොසෝදනසේක, පෙරල පෙරලා පාත්‍රය නොසෝදන්නාහ, පාත්‍රය බිම තබා අත් නොසෝදන්නාහ, අත් සේදූ කල්හි පාත්‍රය සෝදන ලද්දේවෙයි, පාත්‍රය සේදූකල්හි අත් සෝදනලද්දේ වෙයි, උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරත් නොව ඉතා ළඟත් නොව දමනසේක, උන්වහන්සේ බත් පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමත්, පාත්‍රය පහලට නොනමත්, පාත්‍ර තදකොට නොතබත්, පාත්‍රය එහා මෙහා නොසොළොවත්, උන්වහන්සේ බත් වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නා සේක.

ආහාර වැළඳීම

ඒ භවත් ගෞතමයන් වහන්සේ බතින් හතරෙන් කොටසක් පමණ ව්‍යඤ්ජන පිළිගන්නා සේක. බත් ආලොපය ව්‍යඤ්ජනයෙන්ම වැඩිමනත් නොකරන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ මුඛයෙහි බත් පිඩු දෙතුන් වරක් පෙරළා වළඳනසේක. උන්වහන්සේගේ කිසි බත් උලක් නොබිඳී කයට නොපැමිණෙයි. උන්වහන්සේගේ මුඛයෙහි කිසි බත් උලක් ඉතුරු නොවෙයි. ඉක්බිති නැවතද බත් පිඩක් මුඛයට පමුණුවයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ රසය දැන ආහාර වළදනසේක. රස තෘෂ්ණාවෙන් රස විඳිමින් නොවළඳනසේක, ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි අංගඅටකින් යුක්තවූ ආහාරය වළඳනසේක.

මල්ලවපොර බැදීම පිණිස, මද වැඩීම පිණිස, ශරීරයේ අඩු තැන් පිරවීම පිණිස, අලංකාරය පිණිස නොවළඳනසේක. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස දුක් නැතිකරගැනීම පිණිස බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳන සේක. මෙසේ පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවන්නෙමි යන්න මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. වරද නැති බවද, පහසු විහරණයද, වන්නේය’ යන අදහසින් වළඳන සේක

පාත්‍ර පරිහරණය

උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයට වතුර පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමනසේක. පාත්‍රය පහලට නොනමනසේක. පාත්‍රය නොඔබන සේක. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ පාත්‍රජලය ඉතා වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නාසේක. උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගනසේ පාත්‍රය නොසෝදන සේක. පෙරළ පෙරළා පාත්‍රය නොසෝදන සේක. “පාත්‍රය බිම දමා අත නොසෝදන්නාහ. අත සේදූ කල්හි පාත්‍රය සෝදනලද්දේ වෙයි. පාත්‍රය සේදූ කල්හි අත සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරද ඉතා ළඟද නොදමන්නාහ. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රය ඉතා දුරද, ඉතා ළඟද, බිම නොතබනසේක. පාත්‍රයෙහි බලාපොරොත්තුව අත්හරින්නේද නොවෙත්. සීමාව ඉක්මවා රක්නේද නොවෙත්.

දන් වැළඳීමෙන් පසු හැසුරුණු ආකාරය

උන්වහන්සේ වළඳා අවසන්වී මොහොතක් නිශ්ශබ්දව හිඳිනසේක. අනුමෝදනාවට කාලය නොඉක්මවනසේක. උන්වහන්සේ වළඳා අවසානව අනුමෝදනා කරන සේක. ඒ බතට නින්දා නොකරනසේක, අන් බතක් බලාපොරොත්තු නොවනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිසට දක්වයි. කුශල ධර්මයෙහි සමාදන් කරවයි. උත්සාහවත් කරවයි, සතුටු කරවයි. උන්වහන්සේ ඒ පිරිසට ධර්ම කථාවක් දක්වා, කුසල ධර්මයන්හි සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා, හුනස්නෙන් නැගිට වඩින සේක.

සිවුරු පැළඳීම

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ කයෙහි සිවුර හනුඇටයෙන් උඩට පොරවා උදරය පෙනෙනසේ නොවඩියි, එක් උරයක් පොරවා තනය පෙනෙනසේ නොවඩියි, කයෙහි සිවුර දහඩියෙන් ඇලෙනසේ තදකොටද නොවඩිනසේක, සිවුර කයින් වෙන් වූයේද නොවේ, ඒ භවත් ගෞතමයන්ගේ කයින් සිවුර වාතයෙන් ඉවතට නොයවයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි, සිවුරෙහි රජස්දැලි නොගැල්වෙයි.

ආරාමය තුළ වැඩසිටීම සහ ධර්ම දේශණය

උන්වහන්සේ ආරාමයට වැඩියේ පැනවූ අස්නෙහි වැඩ හිඳිනසේක. හිඳ පාදයන් සෝදන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ පාදයන් සැරසීමෙහි නොයෙදෙන සේක. උන්වහන්සේ පාදයන් සෝදා පර්යංක බැඳ කය කෙලින් තබා සිහිය එළවාගෙන වැඩ හිඳිනසේක. උන්වහන්සේ තමාහට විනාශය පිණිස අනුන්පෙළන්නේ විනාශය පිණිස නොසිතන සේක. දෙදෙනාගේම විනාශය පිණිස නොසිතන සේක. තමාට හිතවූවක් අනුන්ට හිතවූවක් දෙදෙනාටම හිතවූවක් සියලු ලෝකයටම හිතවූවක් ඒ භවත් ගෞතමයන් වහන්සේ සිතමින් වැඩහිඳින සේක. උන්වහන්සේ ආරාමයට වැඩියේ පිරිසට ධර්මය දේශනා කරනසේක. ඒ පිරිස උසස් තන්හිලා කථා නොකරන සේක. ඒ පිරිස පහත් තන්හිලා කථා නොකරනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිස දක්වත්. කුසල් දහම් සමාදන් කරවත්. උත්සාහවත් කරවත්. සතුටුකරවත් පැහැදිලිවද, දැනීමෙහි පොහොසත් බවද, මිහිරි බවද, කනට සුව බවද, විහිදී නොයනබවද, නොවිසිරෙන බවද, ගැඹුරු බවද, බොහෝ නාද ඇති බවද යන අංග අටන් යුක්තවූ ඝොෂයක් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙයි. පිරිසේ පමණට ශබ්ද නගන ස්වරයන්වූ සේක. උන්වහන්සේගේ ඝොෂය පිරිසෙන් පිටතටද නොයයි. ඒ භවත් ගෞතමයන් විසින් ධර්මකථාවෙන් දක්වන ලද්දාවූ කුසල් දහම්හි සමාදන් කරවන ලද්දාවූ, උත්සාහවත් කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ඔව්හු උන්වහන්සේ හැරයාමට නොකැමැත්තෙන් හුනස්නෙන් නැගිට ‘පින්වත්නි, වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ අපි බලන්නෙමු. සිටියාවූ උන්වහන්සේ බලන්නෙමු. ඇතුළුගමට වඩින්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඇතුළුගෙහි තුෂ්ණිම්භූතව වැඩ උන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. වළඳා අවසන්වී අනුමෝදන් කරන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට වඩින්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට ඇතුල්ව නිශ්ශබ්දව වැඩඋන්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට පැමිණි පිරිසට දම්දෙසන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳුය. මෙබඳුය, මෙයටත් වඩා අධික ගුණ ඇතිසේකැයි ගුණ කියමින් යන්නාහ.”

මෙම කෙටියෙන් පැවසු බුදුරජාණන් වහන්සේලාගේ “සුගත” ගුණය ලියා අවසන් කල නොහැක.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය

බ්‍රහ්මායුසුත්‍රය (මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » බ්‍රාහ්මණවග්ගය » බ්‍රහ්මායුසුත්‍රය)

Ape Budu Hamuduruwo 212

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)212

 

අසිරිමත් බුදුගුණ වරුණ 05

උන්වහන්සේ මෙසේ “සුගත” නම් වූ සේක 01

හැඳින්වීම

මෙහි සුගත යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ගමනය. එනම් දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය දක්වාම ශාන්තව සුන්දර ගමණින් වැඩියා වූ ඒ සුන්දර නිවන් මගෙහි සම්මුති ලෝකයට අයත් එදිනෙදා ජිවන රටාව තුල මෙන්ම පරමාර්ථ එසේත් නැතහොත් ලෝකෝත්තර භුමිය තුලත් උන්වහන්සේ විසින් අනුගමනය කල අසිරිමත් වැඩ පිළිවෙල හැඳින්වන සම්මුති නාමය “සුගත” නම් වනවා. මෙම සුගත ගුණය මැනවින් විස්තර කිරීම ලෞකික මෙන්ම ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන සැමටම ඉතාමත් වැදගත් බව හැඟී ගියෙන් කොටස් දෙකකට විස්තර කිරීමට සිත්වුණා.

විශුද්ධි මාර්ගයේ සුගත ගුණය හඳුන්වා තිබු සැටි.

ඒ භාග්‍යවතුන් වහන්සේ

  1. ශෝභන ගමන් ඇති බැවින් ද
  2. සුන්‍දර තැනට ගිය බැවින් ද
  3. මනා කොටැ ගිය බැවින් ද
  4. මනා තෙපුල් ඇති බැවින් ද සුගත වන සේක.

 

  • ගත නම් ගමන ය. භාග්‍යවතුන් වහන්සේගේ ගත-ගමන ශෝභන ය, පරිශුද්ධ ය, නිරවද්‍ය යි ඒ ගත නම් – ගමන නම් කිම? ආර්‍ය්‍ය මාර්‍ගය යි. උන්වහන්සේ ආර්‍ය්‍යමාර්‍ග සංඛ්‍යාත ගතයෙන් නො ලැගෙමින් නිවන්දිගට ගිය සේක. එබඳු ශොභන ගමන් ඇති බැවින් උන්වහන්සේ සුගත ය.
  • සුන්‍දර තැන නම් නිර්‍වාණය යි. ඒ නිර්‍වාණ සංඛ්‍යාත සුන්‍දර තැනට ගිය බැවින් ද උන්වහන්සේ සුගත ය.
  • උන්වහන්සේ මනා කොටැ ගිය සේක. ඒ ඒ මාර්‍ගයෙන් ප්‍ර‍හීණ ක්ලේශයන් කරා පෙරලා නො ගිය සේක. එහෙයින් උන්වහන්සේ සුගත ය. කීයේ මැ යි – “සොතාපත්ති මග්ගෙන යෙ කිලෙසා පහිණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො. -පෙ- අරහත්ත මග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො”යි. අර්‍ථ සුගම යි. තවද උන්වහන්සේ දීපංකරපාදමූලයෙහි පටන් බෝ මැඩ දක්වා සමත්‍රිංශත් පාරමී සංඛ්‍යාත සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් මුළු ලොවට හිත සුව එළවමින් ශාස්වතඋච්ඡෙද වශයෙන් හෝ කාමසුඛ-අත්තකිලමථ වශයෙන් හෝ අන්තද්වයයට නො පැමිණ ගිය සේක. එබැවින් ද උන්වහන්සේ සුගත ය.
  • උන්වහන්සේ මනා කොටැ ගදනය කරන සේක. කියන සේක යුතු තැන්හි යුතු වූ ම තෙපුල් තෙපලන සේක. එහෙයින් ද උන්වහන්සේ සුගත ය.

 

භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර තෙපුල් පැවසූ විලාසය.

‘තථාගතයන් වහන්සේ තමන් වහන්සේ දන්නා යම් වචනයෙක් අසත්‍ය ද, අනර්‍ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද, එබඳු වචන නො වදාරන සේක.

එසේම උන්වහන්සේ තමන් දන්නා යම් වචනයක් සත්‍ය ද, අනර්ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන ද නො වදාරන සේක.

එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද, අර්‍ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (අර්‍ථයෙක් වේ නම් අනුනට අප්‍රිය වුව ද සත්‍ය වචනය වදාරන සේකැ යි සේයි)

උන්වහන්සේ යම් වචනයෙක් අසත්‍ය නම් අනර්‍ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක.

එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය වුව ද අනර්‍ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක.

එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද අර්‍ථයෙන් යුක්ත ද එද අනුනට ප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (කාලානුරූප වැ එබඳු වචන වදාරන සේකැ යි සේයි.)

මෙසේ මනා තෙපුල් ඇති බැවින් ද උන්වහන්සේ සුගත ය. (“සුගඳ’ය යි කිය යුතු තන්හි-නිරුක්ත නයයෙන් “සුගත” විය.)

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය –

බෝධිරාජ කුමාර සුත්‍රය ( සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » රාජ වර්ගය)

Ape Budu Hamuduruwo 211

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)211

 

අසිරිමත් බුදුගුණ වරුණ 04

උන්වහන්සේ මෙසේ “විජ්ජා-චරණ සම්පන්න” නම් වූ සේක.

නව අරහාදී සම්බුදුගුණ අතුරෙන් තෙවැන්න විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණය යි. තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගෙන් යුක්ත හෙයින් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න නමින් හඳුන්වනු ලබනවා. විසුද්ධිමග්ගයේ ජඅනුස්සති නිද්දේසයට අනුව “විජ්ජා” යන්නෙන් ත්‍රිවිද්‍යා හා අෂ්ටවිද්‍යා ගණනය කරණු ලබනවා. අෂ්ට විද්‍යා හෝ ත්‍රි විද්‍යාව භයභෙරව සූත්‍රයෙන් ද, අෂ්ට විද්‍යාව අම්බට්ඨ සූත්‍රයෙන්ද විසිතර සහිතව දැනගන්න පුළුවනි.

අෂ්ටවිද්‍යාවන් පහත දැක්වේ.

  1. විපස්සනා ඤාණය – නාම රූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්‍ෂණ අවබෝධ කරගන්නා ඥානය
  2. මනෝමය ඉද්ධි ඤාණය – මනෝමය කයක් නිර්මාණය කිරීමේ (තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට එය තමාගේ කයින් පිටතට ගැනීමේ) හැකියාව ඇති ඤාණය
  3. ඉද්ධිවිධ ඤාණය – විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව ඇති ඥානය
  4. දිබ්බසෝත ඤාණය – පියවි කනට නො ඇසෙන සියුම් වූ ඉතා දුර ඇති ශබ්ද ඇසීමේ ඥානය
  5. පරචිත්තවිජානන /චෙතෝපරිය ඤාණය – අනුන්ගේ සිත්වල ස්වභාවය හඳුනාගන්නා ඥානය
  6. පුබ්බේනිවාසානුස්සති ඤාණය – තමන්ගේ ද සෙස්සන්ගේද පෙර ඉපිද සිටි ජාතීන්ගේ පිළිවෙළ නාම ගෝත්‍ර වශයෙන් දක්නා ඥානය
  7. දිබ්බචක්ඛු / චුතූවුපපාත ඤාණය – කර්මානුරූපීව උපදින මැරෙන සත්වයන්ගේ ස්වරූපය දක්නා ඥානය
  8. ආසවක්ඛය ඤාණය – චතුස්සත්‍යය තත් වූ පරිදි දැන කාම ආදි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ලැබෙන ඤාණය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම විද්‍යා අටෙන් යුක්ත බැවින් උන්වහන්සේ විජ්ජා සම්පන්න නම් වනවා.

​මෙම සම්බුදු ගුණයෙහි දෙවැනි ලක්‍ෂණය චරණයයි. එය බුද්ධ ගුණයක් සේ දැක්වෙන නමුත් බුදුවරුන්ගේ චරණ ධර්ම විවරණය වී ඇති සූත්‍රයක් ත්‍රිපිටකයේ ඇතුළත් වී නැහැ. ශ්‍රාවකයන් අරමුණු කොට පැහැදිලි කළ චරණ ධර්ම නවයක් දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයෙහි ඇතුළත් වනවා. මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි එබඳු ධර්ම පසළොසක් විස්තර වනවා.

  1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය
  2. ඉන්ද්‍රිය සංවරය
  3. ආහාරයෙහි පමණ දැනීම
  4. ජාගරියානුයෝගය
  5. ශ්‍රද්ධාව
  6. හිරිය
  7. ඔත්තප්පය
  8. බහුශ්‍රැත භාවය
  9. වීර්යය
  10. සිහිය
  11. ප්‍රඥාව
  12. ප්‍රථම ධ්‍යානය
  13. ද්විතීය ධ්‍යානය
  14. තෘතීය ධ්‍යානය
  15. චතුර්ථ ධ්‍යානය

උන්වහන්සේ මේ දැක්වුණු විජ්ජායෙන් ද, චරණයෙන් ද යුක්ත වනවා. එහෙයින් විජ්ජා චරණ සම්පන්න වනවා.

මේ විජ්ජා චරණ අතුරෙන් විද්‍යාසම්පත්තිය උන්වහන්සේගේ සර්‍වඥතාඥානය ද, චරණසම්පත්තිය මහාකාරුණිකත්‍වය ද, පිරිවරා සිටිනවා. උන්වහන්සේ සර්‍වඥතාඥානයෙන් ලෝකයාගේ අර්‍ථානර්‍ථ දැනැ වදාරා මහාකාරුණිකත්‍වයෙන් අනර්‍ථය හැරැ පියා අර්‍ථයෙහි යොදනු ලබනවා. විජ්ජා-චරණ සම්පන්නයෙන් කරන්නේ එසේයි. ඒ නිසාම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙනවා. දුප්පටිපන්න නො වෙනවා. විජ්ජාචරණසම්පන්න නො වූ ශාස්තෘවරයන්ගේ ශ්‍රාවකයෝ දුප්පටිපන්න වැ අත්තන්තප, පරන්තප, උභයන්තප වෙනබව විශුද්ධි මාර්ගයේ පවසනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය – භයභෙරව සූත්‍රය, අම්බට්ඨ සූත්‍රය, සේඛ සූත්‍රය