Ape Budu Hamuduruwo 110

අපේ බුදුහාමුදුරුවෝ 110

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  05

වෙස්සන්තර බිළිඳා හට විශ්වයෙන් ලද තිළිණය වූ  ශ්වේතවර්ණ හස්ති රාජයා.

පසුගිය කලාපයේ වෙස්සන්තර කුමරු මෙලොව පහල වීම සහ එදින සිදු වූ විශේෂ ආශ්චර්යමත් සිදුවීම් ගැන ලීවා. ඒ වෙස්සන්තර කුමරුගෙ පැත්තෙන් සහ මෑණියන්ගේ පැත්තෙන් සිදු වූ දේ. දැන් කියන්න යන්නේ විශ්වයෙන් වෙස්සන්තර බිළිඳාට ලැබූ ආශ්චර්යක්ම තෑග්ග ගැනයි.

එදා හරිම ලස්සන දීප්තිමත් දිනයක්. අහසින් ලොවට සුර්යය නැගී ආවේ ලොවට තවත් අලුත් ත්‍යාගයක් රැගෙන. එදා ජෙතුත්තර නගරය මහා මංගල්‍යයකට සරසලා වගේම සරසලා තිබුණා. විශේෂයෙන්ම වෙස්සන්තර කුමරා උපන් වෙළඳ වීථිය. හරියට කුමරාගේ අභිෂේකය පිණිස සරසලා වගේ. බිළිඳා වෙළද විථියේ උපත ලබන විටම තවත් ආශ්චර්යයක් කාටත් හොරා තව තැනක සිදු වුණා.  ඒ කුමරා උපන් මොහොතේම  අහසෙහි හැසිරෙන එක් ඇතින්නක් අතිශයින් මංගල සම්මත වූ සම්පුර්ණයෙන් ශ්වේතවර්ණ වූ හස්ති පෝතකයෙකු ගෙනවුත් මගුල් ඇතුගේ අසළින්  තබා අහසට නැග යන්නට ගියා. එය ඒ මහා විරයණන්හට සක්වලින් ලද ත්‍යාගය කියලයි මට හිතෙන්නේ. ඒ හස්ති පෝතකයා බෝධිසත්ත්වයන් වහන්සේ  ප්‍රත්‍ය කොට උපන් බැවින් “පච්චය” යැයි නම් කරනු ලැබුවා. ඒ හස්ති රාජයා විශේෂයි. මහා භාග්‍යවන්තයි. ඔහු ඉන්නා රාජ්‍යය සියලු යස ඉසුරෙන් පිරෙනවා. කිසි දිනක දුර්භික්ෂයක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම මහා සද්දන්තයි. සුදු වර්ණයෙන් යුක්තයි. එම හස්ති රාජයා එතරම්ම භාග්‍ය සම්පන්න වූ නිසා ඔහුට ආභරණ පළදනා පැළඳුවේ සක්විති රජ කෙනෙකුට වගේ. ඔබ දන්නවා අපි අපේ දන්තධාතුන් වහන්සේ වැඩම කරන රාජා ඇත්රාජයාට කොතරම් ගරුබුහුමන් දැක්වූවාද කියලා. මේ හස්ති රාජයා වෙස්සන්තර කුමරුත් සමග එකට වැඩෙන්න වුණා; ඇතුට පලන්දපු ආභරණ ගැන මෙහෙම විස්තරයක් අටුවාවල තියෙනවා.

පච්චය හස්තිරාජයාගේ ආභරණ වල වටිනාකම සහ පිරිවර.

ඇතාගේ පා සතරෙහි ඇති සැරසිලි හාරලක්ෂයක් වටිනාකමින් යුක්තයි.

දෙපැත්තේ ඇති ඒවා ලක්ෂ දෙකක් වටී.

උදරය යට කම්බිලිය ලක්ෂයක්.

පිටෙහි මුතු දැල රත්‍රන් දැල මැණික් දැල යන දැල් තුන තුන් ලක්ෂයක වටිනාකමින් යුක්තයි.

දෙකන්හි ඇති ඝණ්ටා දෙක ලක්ෂයක්.

පිටෙහි අතුරා ඇති කම්බිලිය ලක්ෂයකි.

කුම්බස්ථල අලංකාර ලක්ෂයකි.

හිස්පලදනා තුන තුන්ලක්ෂයක් වටී.

කණෙහි සුළු පලදනාව ලක්ෂ දෙකකි.

දළ දෙකේ සැරසිලි ලක්ෂ දෙකකි.

සොඩෙහි ස්වස්තික අලංකාරය ලක්ෂයක් වටී.

අනර්ඝ වූ භාණ්ඩ හැර පිටට නැගීමට ඇති ආධාරකය ලක්ෂ විසිදෙකකි.

නගින හිණිමග ලක්ෂයකි.

ඇතාට ආහාර දෙන කටාරය ලක්ෂයකි.

ඊට අමතරව සේසතෙහි මත්තෙහි මාණික්‍යය, අංකුසයෙහි මැණික, ඇතාගේ ගෙලෙහි වෙළන මුතුහරෙහි මාණික්‍ය, අත්කුඹෙහි මාණික්‍ය, යන මේ ඉතා අනර්ඝ මැණික් හා අනෙකුත් ආභරණ වල මිල සඳහන් නැත.

 ඒ විතරක් නොව ඔහුව රැකීමට ඇත්ගොව්වන් පන්සියක්ද , එසේම ඇතාගේ ආවතේව සදහා පන්සියයක් කුල අත්වෙදුන් ගෙන්ද සමන්විත වුණා.

මිහිරි කිරි ඇති කිරි මවුවරු.

බෝසත් බිළිඳා අනේකවිද සම්පත් මැද වැඩෙන්නට වුණා. බිළිඳාට කිරිදීම සඳහා ඇති විශේෂ කිරිමවුවරු හැටහතර දෙනෙක් යොදවා තිබ්බා. ඒ අයට තිබිය යුතු විශේෂ දේහ ලක්ෂණ තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ මවුවරුන් ගේ කිරි උසස් මිහිරි රසයෙන් යුක්ත විය යුතු වුණා. ඒ එක්කම බෝසතාණන් වහන්සේ සමග දෙවුලොවින් පැමිණ මැති ඇමති වරුන්ගේ නිවෙස්වල ඉපදුන අනෙකුත් හැටදහසක් වූ පිරිසටත් එවැනිම අතිවිශේෂ කිරිමවුවරු යොදවනු ලැබුවා. මේ සියල්ලම අප මහා බෝසතාණන් වහන්සේ සසරේ වැඩු දාන පාරමිතාවන්හි ප්‍රතිඵල හැටියට තමයි මට හිතෙන්නේ. මෙලෙස රජකුමරා  හැටදහසක් රාජකුමාරවරු සමග මහත් සැපසම්පතින් වැඩෙන්නට වුණා.

Ape Budu Hamuduruwo 109

අපේ බුදුහාමුදුරුවෝ 109

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  04

වෙස්සන්තර කුමරුගේ මවට ඇති වූ අපූරු දොළදුක.

වෙස්සන්තර කුමරුගේ මවගේ (ඵුසති කුමරිය) විවාහය.

ඵුසති රාජ කන්‍යාව මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි චු කළ උතුම් රූප ඇත්තියක් වුනා. ඒ කාලයේම ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුට පින්වත් පුතෙකු ලැබුනා. ඔහු සංජය නම් වුනා. සංජය කුමාරයා හට නිසි වයස පැමිණි කල විවාහය සඳහා පින්වත් කුල කුමරියක් දෙමාපියන් විසින් සොයනු ලැබුවා. ඒ කාලේ තමයි අතිශය රූමත් ඵුසති දේවිය ගැන දැනගන්න ලැබුනේ. රජවරුන් අතර පණිවුඩ හුවමාරුවෙන් පසුව මහත් වූ හරසරින් ඵුසති කුමරිය කැදවා සේසත් නන්වා මහත් අලංකාර වූ පෙරහැරකින් රජමාළිගය වෙත රැගෙන විත් ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට සංජය කුමරුගේ අග මෙහෙසිය තනතුරෙහි තැබුවා. ඕතොමෝ සංජය රජුට ප්‍රිය මනාපම ස්ත්‍රියද  වුණා.

වෙස්සන්තර කුමරුට මනුලොව ඉපදීම සඳහා දේවාරාධනය.

ඒ මොහොත වන විට සක්දෙව්රජ  ඵුසතිදේවිය ගැන  විමසිලිමත්ව සිටියා.  එවිට ඔහුට පෙනුණා ඔහු විසින් ලබාදුන් වර දහය අතුරෙන්  මේ වනවිටත් වර නවයක් සමෘද්ධ වී ඇති බව. “පුතුවරය සමෘද්ධ නොවීය. එයද සමෘද්ධ කරවන්නෙමි යි” සිතූ සක්දෙවිදුන් ඒ වන විටත් තව්තිසා දෙව්ලොව ක්‍ෂය වූ ආයුෂ ඇති බෝධිසත්ත්වයන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයට ගොස්, “නිදුකාණෙනි, නුබ වහන්සේ  මිනිස්ලොවෙහි  සංජය රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිද ගැනීමට වටියි” යැයි කියමින් ආරාධනය කොට සිටියා. උන්වහන්සේත් එය සතුටින් පිළිගත්තා. ඒ තනිවම නොවෙයි. නිරන්තරයෙන්ම උන්වහන්සේගේ පසුපසින් පැමිණි සැටදහසක් වූ  (බුද්ධ) පිරිවරද සමග. දෙව්ලොවින් චුත වන්නාවූ අනිකුත් හැටදහසක් දිව්‍ය පුත්‍රයන්ගෙන්ද ප්‍රතිඥා ගෙන ශක්‍ර රාජයා ශක්‍ර භවනයටම ගියා. බෝධිසත්ත්වයන් වහන්සේ ද එතනින් චුතව පිරිවර සමගින්ම මෙළොව උපන්නා.

ඵුසති දේවියගේ සුවිසේසි දොළදුක.

බෝසතාණන් වහන්සේ රජ මැදුරේත් සෙසු දිව්‍ය පුත්‍රයෝ හැට දහසක් අමාත්‍යවරුන්ගේ නිවෙස් වලත් උපන්නා. බෝධිසත්ත්වයන් කුස පිළිසිද ගත් විට  ඵුසති දේවියට අන් ස්ත්‍රියකට පහල නොවෙන සුවිසේසි දොළදුකක් පහල වුණා. ඒ ප්‍රධාන  නගර දොරටු හතරෙහි ද නගරය මැද ද රජවාසල දොරටුවෙහි ද වෙන් වෙන් වශයෙන් දාන ශාලා හයක් කරවා දිනපතා හය ලක්ෂයක් වියදම් කොට දන් දීමටයි. රජතුමා එතුමියගේ දොළ දුක අසා නිමිති දන්නාවූ බ්‍රාහ්මණයන් කැදවා මේ ගැන විමසා සිටියා. ඔවුන් “මහරජ දේවියගේ කුසෙහි දානයෙහි ඇලුම් ඇති උදාර සත්ත්වයෙක් පිලිසිදගත්තේය ඔහු දානයෙන් තෘප්තියට නොපැමිණෙන්නේයැයි” යැයි පවසනු ලැබුවා. එය අසා මහත් වූ සතුටට පත් වූ පින්වත් රජතුමා අග මෙහෙසිය කී පරිදිම තම රාජධානියේ ස්ථාන සයක දාන පොළවල් පිහිටවනු ලැබුවා.

ශ්‍රමණ බ්‍රාහ්මණයන්, මහල්ලන් රෝගීන්, දුගී මගී යාචකයින් මෙම රාජකීය දානය අනුභව කොට අතිශයින් සතුටු වුණා වගේම ඔවුන්ව සතුටු කරවනු ලැබුවා. බෝධිසත්ත්වයන් වහන්සේ පිළිසිදගත් දින පටන්ම රජුගේ ආදායම මෙතෙකැයි ප්‍රමාණ කල නොහැකි වුණා. උන්වහන්සේගේ පුණ්‍යානුභාවය නිසාම කොතරම් දනට පිනට දුන්නත් රාජකීය වත්කම්වල අඩුවක් සිඳීමක් වුණේම නැහැ. එතුමන්ගේ පුණ්‍යානුභාවයෙන් සියලු දඹදිව රජවරු නිරන්තරයෙන්ම තුටු පඩුරු එවන්නට වුණා. බෝසතුන් වහන්සේගේ තේජසින්  රජබිසව දාන වස්තු පරිත්‍යගයේහි ඇලුණු ස්ත්‍රියක් වුණා. ධනය නැති අයට ද ලෙඩුන්ටද, වයස් ගත වුවන්ටද, යාචකයන්ටද, මගී ජනයාටද, කිසිවක් නොපතන මහණ බමුණන්ටද, ධනයෙන් පිරිහුණු මිනිසුන්ටද, දිනපතා දන් දුන්නා. මෙය ලියනවිට මටත් එලෙසම දන් දෙන්නට ඇත්නම් යන මගේ සිතේ නිරන්තරයෙන්ම ඇති ආශාව නැවතත් ලියලන්නට පටන් ගත්තා. ඔබටත් එසේම විය යුතුයි. 

වෙස්සන්තර කුමරුගේ උපත සහ නම් තැබීම.

දේවිය මහත් ආරක්ෂාවෙන් යුක්තව ගැබ දරන්නී දසමසක් පිරුණු කල්හි නගරය දකිනු කැමති වී රජුට ඒ බව දන්වා සිටියා. රජතුමා නගරය  දෙවු පුරයක් මෙන් අලංකාර කරවුවා. හරියට අර ගුත්තිල කාව්‍යයේ වර්ණනා කරන නගරය වගේම වෙන්න ඇති. ඇයව ඉතාමත් අලංකාර වූ රථයක නංවා වීථි සංචාරය කරවුවා. ඇය එම නගරයේ ප්‍රධාන වෙළඳ වීදිය සංචාරය කරන අතර තුරදී ඇගේ  කර්මජ වාතය කම්පා වුණා. ඇමතියෝ රජුට ඒ බව දන්වා සිටියා. රජතුමා වෙළදුන්ගේ විදියෙහිම ඇයට සුතිකාගාරයක් කරවා එයට මහත් වූ ආරක්ෂාවක්ද පිහිටෙවුවා. ඇය එහිදී ඇය ඒ භාග්‍යවන්ත පින්වත් බෝසත්කුමරා මෙලොවට බිහිකරනු ලැබුවා. වෙළදුන්ගේ වීදියෙහි උපන් බැවින් ඒ පුත් කුමරාට වෙස්සන්තර යන නම තැබුවා. ඒ නිසා බෝසතුන්වහන්සේගේ නාමය මවගේ පරපුරෙන්ද පිය පසින්ද ලද දෙයක් නෙවෙයි.

වෙස්සන්තර කුමරු ඉපදුන මොහොතේම කතා කිරීම සහ දන්දීමට යමක් ඉල්ලීම.

අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ මව් කුසින් නික්මෙන මොහොතේම පිරිසිදු වුවෙක්ව ලෙසම ඇස් දල්වා බිහිවුණා. පිරිසුදු කරන්නට දෙයක් තිබුනේ නැහැ. බිහි වූ ඇසිල්ලෙහිම මව දෙසට අත දිගුකොට “මෑණියෙනි, දානයක් දෙන්නෙමි. කිසිවක් ඇත්තේදැයි”  විමසන්නට වුණා. එවිටම ඔහුගේ මෑණියෝ “දරුව, කැමති පරිදි දන් දෙවයි”  දහසක් ඇති පසුම්බියක් තැබුවා.

අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි උම්මග්ග ජාතකයෙහි ද, මෙම ජාතකයෙහි ද, අවසාන ආත්ම භවයෙද, යන අවස්ථා තුනෙහි දීම උපන් ඇසිල්ලෙහිම කථා කළා. ඒ සිගිති හඬ රිදී සීනු හඬ මෙන් දෙවුලොව කරා පැතිර යන්නටත් ඇති. සක්දෙවිඳු කොතරම් සතුටු වෙන්නට ඇතිද? එවැනි බෝධිසත්ත්වයන් වහන්සේ නමක් අපගේ ශාස්තෘන්වහන්සේ වීමට අප කොතරම් භාග්‍යවන්ත වුණාද?

Ape Budu Hamuduruwo 108

අපේ බුදුහාමුදුරුවෝ 108


මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  03

සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෘන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි”ප්‍රාර්ථනා කල කුමරිය ගැන මිට ඉහත ලිපියේ කිවා.   ඒ සදුන් කුඩු පුජාවේ විපාක වශයෙන් රන් හදුන් ඉසින ලද්දක් වැනි ශරීර ඇතිව දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරන්නී තව්තිසා භවනයෙහි සක්දෙව් රජුගේ අගමෙහෙසිය වී ඉපදී බොහෝ කල් එහි දිව්‍යමය සම්පත් වින්දා. ඒත් දිව්‍ය තලයේත් පැවැත්ම සදාකාලික නැහැ. පින් ක්ෂය වුනහම එයිනුත්  නික්මෙන්නට ඕනේ.  ඒ ධර්මතාවයට අනුවම ඇයගේත්  ආයු කෙළවරවීමේ  පෙරනිමිති පහළ වුණා.  එය දුටු සක් දෙව් රජ ඇයව මහත් හරසරින් නන්දන උයන වෙත කැඳවාගෙන පැමිණියා. එහි විශේෂ අලංකෘත සයනක් මත ඇයව සැතපු සක්දෙවිදුන් ඇය අසලින් ඉඳගත්තා. එලෙස එය අසලින් හිද  ඇයට අනුකමපා පිණිස මෙලෙස කිවා.

“සොඳුරිය ඵුසතිය, ඔබහට දැන් සදෙවූ ලොවෙන් නික්මීමට කාලය පැමිණ ඇත. මම නුබට වර දහයක් දෙමි.  ඒවා ගන්න ”  මහ පොළව මත යමක් ඔබ සිතට ප්‍රිය වේද එය ගන්න. .

ඒවිට ඒ දෙවුලියට එතුමියගේ ආයුෂය ක්ෂය වී ඇති බව එක්වරම වැටහුනේ නැහැ. එය සක්දෙවිදුගේ ඒ වදනෙන් කම්පනයටත් ශෝකයටත් පත්වුණා. ඇය මෙලෙස බැගෑපත් වන්නට වුණා.

“සක්දෙව් රජුනි, ඔබට නමස්කාර වේවා! කිම මා කුමන වරදක් කර  ඇත්තේද? කුමන කරුණකින් මම නුබ වහන්සේට අප්‍රිය වෙම්ද?  මනරම්ව වැඩුණු ගසක් බිම හෙලන්නාක් වූ මාරුතයක් මෙන් කුමක් හෙයින් සිත්කලු වූ තැනින් මා පහ කරන්නේද?

මොහොතෙන් මොහොත ඇයගේ චුතවිමේ කාලය ලගා වෙමින් තිබුණා. එය ශක්‍ර දිව්‍ය රාජයාහටවත් වෙනස් කරන්න නොහැකි වුණා. ඇයට ද තමා ගත යුතු අවසන් කැමැත්ත නොහොත් වරය ගැන අවධානයක් තිබුණේ නැහැ. ඒ නිසාම සක්දෙවිඳු මහත් කරුණාවෙන් නැවත නැවතත් ඇයට මතක් කරන්නට් වුණා.

“ඔබ විසින් වරදක් නොකරන ලද්දේමය.  ඔබ  මට අප්‍රිය ද නොවෙයි.  එහෙත් ඔබගේ ආයුෂ කෙලවර වී ඇත. ඒ නිසා මෙම වර දහය ගන්න. “

එවිට මෙහෙසිය තමාගේ ආයු කෙලවර වී ඇති බව දැන සක්දෙව් රජ විසින් වර ලබාගනු  සදහා කරන ලද අවකාශ ඇතිව  සියලු දඹදිව්තලය දෙස උපතක් සඳහා බලන්නට වුණා. එවිට තමාට සුදුසු සිවිරජුගේ නිවෙස්න දැක මෙලෙස වර දහයක් සක්දෙවිදුගෙන් ඉල්ලා සිටියා.

වෙස්සන්තර රජුගේ මව සක්දෙවිදුගෙන් ලැබූ වර දහය !

  1. සිවිරජුගේ භවනෙහි අගමෙහෙසිය වේවා,
  2. නිල්වන් ඇස් ඇති වේවා,
  3. නිල්වන් බැම ඇති වේවා,
  4. එහිදී ඵුසති යන නමින් යුක්ත වේවා,
  5. කැමති සම්පත් දන්දෙන, කැමති දේ ඉල්ලන්නට සුදුසු, කිර්ති ඇති, පිරිවර ඇති, ගුණ විශේෂයන් යුත් යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා
  6. ගැබ් දරණ මගේ කුස උස් නොවේවා. සමසේ ලියවුණු දුනු මිටක් සෙයින් උස් නොවූ මැද පෙදෙස වේවා,
  7. සක්දෙවූ රජුනි, මගේ පියවුරු පහතට කඩා නොවැටේවා,
  8. කිසිකළෙක සුදුකෙස් ඇති නොවේවා,
  9. සියුම් සමක් ඇති වේවා,,
  10. වදයට පැමිණි ජනයන් එයින් මුදවන්නට හැකි වේවා ,යන මේ වර දහය ලබා ගනු ලැබුවා.

මෙසේ ඈ වරයන් ගෙන දෙවුලොවින්  චුතව මදුරජුගේ අගමෙහෙසිය කුස උපන්නා.  ඇය උපදින විට සදුන්සුනු  තවරන ලද්දක් බදු සුන්දර වතක්  ඇතිව සිටි හෙයින් ඇයට නම් තබන දිනයෙහි “ඵුසති” යයි නම් කරනු ලැබුවා.  ඈ මහත් පිරිවර සහිතව වැඩී සොළොස් හැවිරිදි කළ උතුම් රූප ඇත්තියක් වුණා. ඉන්පසු  ඇය ජෙතුත්තර නගරයෙහි සිව්මහ රජුගේ පුතා වූ සංජය කුමාරයා සදහා කැදවා සේසත් නන්වා ඇය සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අග මෙහෙසිය තනතුරෙහි තැබුවා.  ඒ වගේම ඕතොමෝ සංජය රජුට ප්‍රිය මනාප ස්ත්‍රියද වුණා. මේ වෙන කවුරුත් නෙවෙයි. අප මහා බෝසතාණන් වහන්සේගේ  මෑණියන් වහන්සේ වූ මහාමායා දේවියගේ එක් ආත්මභාවයක්.

Ape Budu Hamuduruwo 107

අපේ බුදුහාමුදුරුවෝ 107

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  02

වෙස්සන්තර රජුගේ මව සහ මහා මායා දේවිය

මෙයින් අනු එක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූණා. උන්වහන්සේ  පිළිබඳව මිට ඉහත අප විසින් දීර්ග විස්තරයක් කළා.   උන්වහන්සේ බන්ධුමති නුවර ඇසුරු කොට ක්‍ෂේම වූ මිගදායෙහි වැඩ වසන කාලයේ බන්ධුමතී නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාට කිසියම් රජකු විසින් ඉතා වටිනා සදුන් අරටුවකුත් ලක්ෂයක් වටිනා රන්මාලයකුත් තුටු පඬුරු වශයෙන් එවනු ලැබුවා. රජතුමා ඒ රන්මාලය තම බාල දියණියටත් සඳුන් අරටුව තමාගේ දෙටු දියණියටත් තෑගි වශයෙන් දුන්නා. ඒ දියණියන් දෙදෙනාම මහත් වූ සිල්වත් ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් වූ භක්තියකින් දැහැමි සිල්වත් ජිවිතයක් ගත කල දානාදියට ඉමහත් කැමැත්තක් ඇති කුමරියන් දෙදෙනෙක්.  ඔවුන් දෙදෙනාම එකවර තීරණය කලේ මේ වටිනා ත්‍යාගයන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට නොගෙන එකල ලොව පහල වී සිටි විපස්සි බුදුහාමුදුරුවන්ට පුජා කිරීමටයි. දැන් අප අතරෙත් එහෙම අය ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්නටත් බැරි නැහැ. බලන්න මේ ප්‍රාර්ථනා වල බලවත්කම. වැඩිමහල් කුමරිය ඒ ඉතා වටිනා සඳුන් අරටුව සියුම් ලෙස සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි” ප්‍රාර්ථනා කලා. බාල නැගෙණිය ඒ රන් මාලය උණුකරවා රන්නුලකින් තැනු පපුවැස්මක් තනා තථාගතයන් වහන්සේගේ රන්වන් සිරුර මත පුදා  (පැතිකඩ) ස්වාමිනි යම් දිනක රහත්බවට පත්වනතෙක්ම මෙම පලදනාව මගේ ශරීරයෙන් ඉවත් නොවේවා යනුවෙන් ප්‍රාර්ථනා  කළා. ශාස්තෘන් වහන්සේ ඔවුන් දෙදෙනාටම අනුමෙවෙනි බණ දේශනා කලා. ඒ දෙදෙනාම දිවි ඇති තෙක් සිට දෙව්ලොව උපන්නා.

ඔවුන් අතරින් බාල දියණිය ඒ කිවේ රනින් කල පැතිකඩ පුජා කල දියණිය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී රජුගේ දියණිය වී උපන්නා. සිතුවමකින් කලාක් මෙන් උරස්මාලයකින් සැරසීගත් පපුපෙදෙසෙකින් යුක්තවූ බැවින් උරච්චදා නම් වූ කුමාරිකාව වී සොලොස්වියේදී ශාස්තෘන් වහන්සේ භුක්තානුමෝදනා ධර්මදේශනයක් අසා සෝවාන් පලයෙහි පිහිටා පසුකාලෙක භුක්තානුමෝදනාව අසද්දීම පියා සෝවාන්ඵලයට පත් දවසේම රහත්බවට පත්ව පැවිදිවී පිරිනිවන්පෑවා. බාල සොහොයුරියගේ සසර ගමන එලෙස එතැනින් අවසන් වුණා.

මම මීට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශාසනයක පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ,  වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ සෙනෙවිවරු බිසෝවරු. ඉහතින් කී අයුරින් කිකී රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවයින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් සත්දෙනෙක් ලැබුණා.

  1. සමණී 2. සමණගුත්තා  3. භික්ඛුණී  4. භක්ඛදායිකා  5. ධම්මා  6.සුධම්මා 7. සංඝදාසි යන සත්දෙනායි.

ඔවුන් අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පිළිවෙලින්

  1. ඛේමා 2. උප්පලවණ්ණා 3. පටාචාරා 4. ගෝතමී 5. ධම්මදින්නා 6.මහාමායා 7. විශාඛා යනුවෙනුයි.

ඔවුන් අතරින් සුධර්මා දියණිය තමයි විපස්සි බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු  පුජා කොට බුදුකෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කළේ. ඇය මේ අත්මභාවයේ කිකී රජතුමාට දාව සුධර්මා රජ කුමරිය ලෙස ඉපිදී තව තවත් පිංකම් කොට සඳුන්සුනු පුජාවේ පුණ්‍යාණුබල මහිමයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසුකලෙක ශක්‍රදෙවිදුන්ගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍යමහිමයෙන්   අප මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන “ඵුසති”  දේවියද,  අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහමාය දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. දැන් මෙතැන සිට දිගහැරෙන්නේ ඒ සුධර්මා දේවිය ඵුසති දේවිය වශයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ අගමෙහෙසිය වී ආයුෂ ඇතිතාක් කල් දෙවු සැපවිඳ  දෙව්ලොවින් චුතවී වෙස්සන්තර රජුගේ මෑණියන් දක්වා පැමිණි මනහර කතා පුවතයි.

Ape Budu Hamuduruwo 106

අපේ බුදුහාමුදුරුවෝ 106

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු 01

මිට පෙර ලිපියේ පාරමිතා පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ ඒ ඒ පාරමිතා පුරණය කල ජාතක කතා පිළිබඳව කෙටි විස්තරයක් කළා. දැන් මේ ලියන්න යන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ බුදුවීමට ප්‍රථම මෙළොව ගත කල අවසන් ආත්මභාවයත් එහිදී මහ පොළව සත්වරක් කම්පා කරමින් සිදුකල මහා දාන පාරමිතා පිළිබඳව සෑම නෙතකටම කඳුලක් එක් කරන වෙස්සන්තර කතා පුවතයි.

වර්තමාන කතාව

“ථුසතිවර වණණාහෙ” යන මේ ගාථා කොටසින් ඇරබෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ කපිලවත්ථුපුරය ආශ්‍රයකොට නිග්‍රෝධාරාමයේ වැඩවසද්දී දේශනා කරනු ලැබුවා.

යම්කලෙක ශාස්තෘෘන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් රජගහනුවරට ගොස් එහි ශිතකාලය ගත කොට මාර්ගදේශක වූ කාලුදායී තෙරුන් සමග  විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරා කපිලවස්තු පුරයට වැඩම කළා. ඒ කාලයේ ශාක්‍ය රජවරු අපගේ ඤාති ශ්‍රේෂ්ඨයාව දකිමුයි රැස්වී භාග්‍යවතුන් වහන්සේට වැඩසිටීමට යෝග්‍ය තැනක් සොයන්නාහු නිග්‍රෝධ ශාක්‍යාගේ ආරාමය සුන්දරයි සළකා එහි සියළු සංස්කරන වැඩ යොදා සුවද මල් ආදිය ගත අත් ඇතිව පෙරගමන් කරන්නට වුනා. හැබැයි වැඩිමල් ශාක්‍ය වංශිකයෝ ඉදිරියෙන් ගියේ නැහැ. සියළු අලංකාරයන්ගෙන් සැරසුණු ලාබාල නගර දරුවන් ද දැරියන්ද පළමුකොට යවනු ලැබුවා. ඒ පසු පස තරුණ රාජකුමරයන්ද, කුමාරිකාවන්ද ඔවුන්ට පසුව තමන්ද  ගදමල් සුවදසුණු ආදියෙන් ශාස්තෘෘන් වහන්සේට පුජා පවත්වමින් භාග්‍යවතුන් වහන්සේව වැඩමවාගෙන නිග්‍රෝධාරාමයට ගියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතන් පිරිවරාගෙන පනවන ලද උතුම් ආසනයෙහි වැඩ සිටියා.

ශුද්ධෝදන රජු ඇතුළු ශාක්‍යයන් බුදුහාමුදුරුවන්ට නොවැඳ මාන්නයෙන් පසුපසට වී සිටීම.

මානයෙන් පෙළුණු ශාක්‍යයෝ,  සිද්ධාර්ථ කුමාරයන් අපට වඩා බාලය,අපගේ බෑනාය, පුතාය, මුණුබුරාය ආදී ලෙස සිතා, තරුණ රාජකුමාරවරුන්ට මෙසේ කීවාය.

” නුබලා වදීව්. අපි පසුපසින් සිටින්නෙමු.”

ශාක්‍යයන්ගේ මානය බිඳීම සහ යමක ප්‍රාතිහාර්ය පෑම.

මෙසේ වයෝ වුර්ධ ශාක්‍යයෝ නොවැද මෙසේ හුන්කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැනගෙන ” නෑයෝ මට නොවදිත්.දැන් වන්දවන්නේමි” යි අභිඥාපාදක ධ්‍යානයකට සමවැදී ඉන් නැගිට අහසට නැගී තේජෝ සමාපත්තියටත් ආපෝ සමාපත්තියටත් වේගයෙන් සම වදිමින් ඔවුන්ගේ හිසට පාදුවිලි ඉසින්නාක් මෙන් ගණ්ඩබ්බ වෘක්ෂමුලයේ පැවැත්වූ යමක ප්‍රාතිහාර්යට සමාන ප්‍රාතිහාර්ය පාන්නට වුණා.  රජු ඒ ආශ්චර්ය දැක මෙසේ කීවා.

“ස්වාමීනි, ඔබවහන්සේ උපන් දිනයේ කාලදේවල තාපසයාට වැන්දවීම පිණිස යොමුකළ ඔබගේ පා පෙරළී ගොස් බ්‍රාහ්මණයාගේ හිසෙහි පිහිටි සැටි බලා මම ඔබවහන්සේට වැන්දෙමි.මේ මාගේ පළමු වැදීමයි. වප්මගුල් දිනයේ දඹරැක්මුල ශ්‍රී යහනාවේ සිටියා වූ ඔබවන්සේ දඹ සෙවනෙහි නොසිටි බව දැකීමෙන් ද ඔබවහන්සේගේ පා වැඳිමි. මේ මාගේ දෙවැනි වැදීමයි. දැන් මේ නුදුටුවිරු ප්‍රාතිහාර්ය දැක ද ඔබවන්සේගේ පා වදිමි. මේ මාගේ තුන්වන වැදීමයි.” 

රජු වැන්ද කල්හි නොවැද සිටිය හැකි එක් ශාක්‍යයෙක්වත් හිටියේ නැහැ. සියල්ලෝම වැන්දා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑදෑයන් ලවා වන්දවා අහසින් බැස පැනවූ ආසනයෙහි වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල්හි නෑයෝ එක්රැස් වුණා. සියළුදෙනාම එක්සිත් ඇත්තෝ වුණා.

ආශ්චර්ය අද්භූත පොකුරු වැසි වැස්සවීම.

ඉන් අනතුරුව අප මහා බුදුපියාණන් වහන්සේ තව දුරටත් ඔවුන්ගේ මානය සිඳලීම සඳහා මහා පොකුරු වැස්සක් වස්සවන්න අධිෂ්ඨාන කළා. එවිටම මහා මේඝයක් නැගී පොකුරු වැස්සක් වසින්නට පටන් ගත්තා.  තඹවන් ජලය පහතට නද දෙමින් ගාලා බසින්නට වුනා.  ඒ පොකුරු වැස්සේ අනික් වැස්සට වඩා විශේෂයක් තියෙනවා. යමෙක් තෙමෙනු කැමැත්තෙ ද, ඔවුන් තෙමෙනවා. යමෙක් නොතෙමෙනු කැමතිනම් ඔවුන්ගේ ශරීරයේ ජලබිදුවක්වත් දැවටෙන්නේ නැහැ. මේ මහා පොකුරු වැස්ස දැක සියල්ලෝම ආශ්චර්ය අද්භූත සිත් ඇත්තන් වුණා. “අහෝ පුදුමය. බුදුවරුන්ගේ ආනුභාවයෙන්”  නෑ සමාගමයෙහි මෙබදු පොකුරු වැස්සක් වැස්සේ ද යන කථාවක් පැතිර ගියා. එය අසා ශාස්තෘෘන් වහන්සේ “මහණෙනි, දැන් පමණක් නොවෙයි, පෙරද මාගේ ඤාති සමාගමයේදී මහා මේඝයක් ඇතිවී පොකුරු වැස්සක් වස්සේයයි වදාරා ඔවුන් විසින් ආයාචනා කරන ලද්දේ වෙස්සන්තර අතීත කථාව මෙලෙස ගෙනහැර දක්වන්නට වුනා.