අපේ බුදුහාමුදුරුවෝ 111

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු.  06

මෙම බෝසත් කතා පුවත හොඳින් කියවූ ඔබහට යම් සුවිශේෂ කරුණක් වැටහී යන්න ඕනේ. ඒ තමයි බෝසත් චරිතය මෙතරම්ම දන් දීමට තරම් යස ඉසුරු ඇතිව සෑම උපතක්ම ලැබීම සහ යලි යලිත් ඒවා දනට පිනට දීම. එයම දස දහස් ගුණයකින් වැඩිවී යලි යලිත් ඔහු වෙත ළගාවීම. සත්‍ය වශයෙන්ම වෙස්සන්තර ජාතකය පුරාම ඇත්තේ බෝසතාණන් වහන්සේ විසින් පුරනු ලැබූ සුවිශේෂ වූ දාන පාරමිතා සමුහයයි. එනම් ඉපදුන දින පටන් මෙලොවින් සමුගැනීම දක්වා  මහ පොළව සත් වතාවක් කම්පා කරවමින් සිදුකරනු ලැබූ දාන පාරමිතාවයි.

කිරි මවුවරුනට තම රාජකීය පළඳනා වයස අවුරුදු හතරේ සිට දන්දීම.

අප මහා බෝසතාණෝ මෙලෙස ඉමහත් වූ රාජකීය සත්කාර මැද හැටදහසක් වූ තමා හා සමග දෙවුලොවින් පැමිණි රාජ කුමාරවරු  සමග උස්මහත් වන්නට වුණා. වයස අවුරුදු හතර වනවිට රජතුමා විසින් කුමරු හට ලක්ෂයක් වටිනා  කුමාර පැළදුම් කරවා දුන්නේය. එහෙත් උන්වහන්සේ  සතරපස් වයස් කාලයේ පටන්ම  ඒ පළදනා ගලවා කිරිමව්වරුන්ට දී නැවත ඒ තැනැත්තියන් විසින් ආපසූ දෙනවිට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කිරිමව්වරු ඒ පුවත රජුට දන්වනු ලැබුවා. එවිට රජතුමා “මාගේ පුත්‍රයා විසින් දෙන ලද, මනා දීමනාව බ්‍රහ්මයා විසින් දෙන ලද්දක් මෙන් වේවායි වෙනත් පළදනාවක් කරවාපීය.” යනුවෙන් පවසමින් වෙනත් පළඳනාවක් ඒ වෙනුවෙන් කරවනු ලැබුවා. එහෙත්  කුමාරයා එය ද පෙර පරිදිම දන්දුන්නා. හෙතෙම කුඩා කාලයේම කිරිමව්වරුන්ට මෙලෙස නව වාරයක්ම  පළදනා දැන් දෙනු ලැබුවා.

අභ්‍යන්තර අවයව දන්දීමට සිත් පහළවීම.

මෙසේ විවිධ දෑ දන් දෙමින් පැමිණි කුමරා අටවෙනි  වියේදී සයනය මත සිටිමින් මෙසේ සිතන්නට වුණා.

“මම ශරීරයේ අභ්‍යන්තරික දෙයක් දෙනු කැමැත්තෙමි.ඉදින් කිසිවෙක් මගේ හදවත ඉල්ලන්නේද පපුව පලා හදවත බැහැරට ගෙන දෙන්නෙමි. ඉදින් ඇස් ඉල්ලන්නේ නම් ඇස් උගුලා දෙන්නෙමි. ඉදින් සිරුර ඉල්ලන්නේද මුළු සිරුරෙන්ම මස් ගලවා දෙන්නෙමි.”

පළමු වරට මහ පොළව කම්පාවීම සහ මහාමේරු පර්වතය සමග සදෙව්ලෝ උද්‍යාන පහක්  රජ මාළිගාව ඉහළින් රැඳීම.

මෙසේ ඔහුට මෙබදු සිතිවිල්ලක් ඇතිවනවිට සිව් නහුතයක් අධිකකොට ඇති යොදුන් දෙලක්‍ෂයක් ඝන වූ මේ පොළොව මත් හස්තිරාජයෙක් මෙන් ගුගුරමින් කම්පා වන්නට වුණා.  සිනේරුව (මහාමේරු පර්වතරාජයා) හුමාලයෙන් මනාව තැම්බූ වේවැල් අංකුරයක් මෙන් නැමී නටන්නාක් මෙන් ද වෙළද නගරයට අභිමුඛව සිටියා. ඒ මත පිහිටි නන්දන වනය, ඵාරුසක වනය, මිස්සක වනය, චිත්තලතා වනය ආදිකල්පික තරු වනය, ඇතුළු සිනේරු වනද ඒ  අතර වුණා. පෘතුවිය මහා ශබ්දයෙන් මේඝ ගර්ජනා කරමින් හදිසියේ මහා වර්ෂාවක් වස්සන්නට වුණා.  විදුලිය සතර දෙස නික්මුණා. සාගර ජලය මහා සුනාමි ජලකඳ මෙන් උඩට නැග සිටියා. ශක්‍ර දේවේන්ද්‍රයා අත්පොළසන් දුන්නා. මහා බ්‍රහ්මයා සාදුකාර දුන්නා. බඹලොව තෙක් එකකෝලාහලයක් පැතිරුණා. මසුරු බැවින් නොපිහිටි අචල වූ දන්දෙනු කැමති ස්වභාවය සිතන වෙසතුරු කුමරුන්ගේ සිත අනුව මෙරගල මුදුන්මල්කොට ඇති පෘතුවිය ඇතුළු මුළු විශ්වයම කම්පිත වුණා.

රජකම ලැබීම සහ දවසට හයලක්ෂයක් වියදම් කොට දානශාලා පැවැත්වීම. 

බෝධිසත්වයෝ සොළොස්විය වන විට සියළු ශිල්පයන්හි පරතෙරට පැමිණුනා. ඒ නිසාම උන්වහන්සේගේ  පියා රාජ්‍ය දෙනු කැමැත්තෙන් මව සමග මන්ත්‍රණයකොට මදුරජ කුලයෙන් මාතුල දියණිය වූ මද්දි නම් වූ කුමරිය ගෙනවුත් සොළොස් දහසක් ස්ත්‍රීන්ට දෙටු අගමෙහෙසිය කොට මහසත්ත්වයන්ව රාජ්‍යයෙහි අභිෂේක කරනු ලැබුවා. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ දන්දීමේ ආශාව නිමා වුණේ නැහැ. රජකමේ  පිහිටි කාලයේ පටන් දිනපතා හයලක්ෂයක් වියදම්කොට මහදන් පවත්වන්නට වුණා.

ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා මෙලොව එළිය දැකීම.

මෙලෙස දැහැමින් සෙමින් රජකම් කරන අතර මද්‍රි දේවිය පළමු පුතා මෙලොවට බිහිකරනු ලැබුවා. ඒ මොහොතේ ඔහුව රන්දැල්කින් වසනු ලැබුවා. ඒ නිසාම ඔහුට ජාලිය කුමාරයා යැයි නම් කළා. ඔහු ඇවිදින කාලයේ මද්‍රි දේවිය දෙවැනි දුවක් වැදුවා. ඇයව කළු අදුන්දිවිසමකින් වැසුවා. ඒ නිසා ඇයට ක්‍රිෂ්ණජිනා යනුවෙන් නම් කළා. 

error: Content is protected !!