Ape Budu Hamuduruwo 136

අපේ බුදුහාමුදුරුවෝ 136

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 31

හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය, මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී ගිය ගින්දර මෙවරද සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය. මෙසේ ඔවුනොවුන් සතුටුසාමීචියේ යෙදී සිටියදී ශක්‍ර දෙවියන්හට මෙලෙස සිතිවිල්ලක් හටගත්තා. ශක්‍ර දේවරාජෝත්තමයන් වහන්සේ පැමිණ මද්‍රි බිසව ලබා ගැනීම. ” වෙස්සන්තර රජුන් ඊයේ මහපොළොව කම්පා කරමින් දරුවන් ජූජකයාට දන් දුන්නා. දැන් කිසියම් හීන වූ ගති ඇති පුද්ගලයෙක් පැමිණ සියළු අගපසගින් හෙබි සිල්වත්වූ ගුණවත්වූ මද්‍රි දේවිය ඉල්වා රජ තනිකොට මද්‍රි දේවිය ගෙන යා හැකිය. එවිට ඔහු පිහිටක් නැති අනාථයෙක් වන්නේය. එමනිසා බ්‍රාහ්මණ රූපයක් මවාගෙන වෙස්සන්තර රජු වෙතට පැමිණ මද්‍රි දේවිය ඉල්ලා පාරමී මුදුන් පමුණුවා කිසිවකුට නැවත නොදෙන ලෙස පොරොන්දුකොට නැවත පින්වත් මද්‍රි දේවිය වෙස්සන්තර රජුටම දී එන්නෙමියි” සිතුවා. එහෙම හිතු දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේව රාජෝත්තමයන් වහන්සේ හිරු උදාවෙන කල්හි බ්‍රාහ්මණ රූපයක් මවාගෙන වෙස්සන්තර රජු සහ මද්‍රි දේවියට පෙනෙන පරිදි පෙනී සිටියා. පෙනී සිටි ශක්‍ර දෙවියන් මෙසේ ඇසුවා. “කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමල් පලයන්ගෙන් යැපෙන්නේද? කීම අල හා පළවැල බොහෝ තිබේද? කිම මැසිමදුරුවෝද සර්ප ජාතීහුද අල්ප වෙත්ද, චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද? එවිට බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ පැවසුවා. බමුණානෙනි, අපට රෝග නැත්තේමය. තවද බමුණානෙනි, අපට දුක් නැත්තේමය. තවද අප වනයේ පලවලින් යැපෙන්නෙමු. අල හා පලවැල බොහෝ තිබේ. මැසිමදුරුවෝද, සර්පයෝද, අල්ප වෙති. නපුරු වනසතුන් ගැවසීගත් වනයෙහි අපට හිංසා නොපෙනෙයි. සත්මසක් වනයෙහි වසන ජීවශෝකී වූ අප වෙතට සැරයටිය ගෙන ආවා වූ අදුන්දිවිසම් දරන දෙවියන් පසස්නා මේ දෙවෙනි බමුණා නන්ද දකිමු. බ්‍රාහ්මණය.තොපගේ යහපත් වූ ගමනෙකි. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. ඔබට යහපතක් වේවා.”ඔබගේ දෙපා දෝවනය කර පන්සල තුලට පිවිසෙන්න. තිඹිරිපලය, පියල්පලය, මීපලය, කටුඑරමිණිය යන මේ පලවැල මිහිරිය. බමුණානෙනි, හොද හොද පල ගෙන වළදන්න. පර්වතය තුළින් ගලා ආ හෙයින් ගෙනෙන ලද මේ පැන් ද සිසිල්ය. බමුණානෙනි ඉදින් ඔබ පැන් බොනු කැමතිනම් එයින් ගෙන පානය කරන්න. මෙසේ ඔහු සමග පිළිසදර කථා කොට, තවද ඔබ කිනම් කරුණක් නිසා මේ මහා අරණට පැමිණියාහුද?” මෙසේ ආගන්තුක සත්කාරයෙන් අනතුරුව පැමිණි කාරණය විචාරන්නට වුණා. එවිට ශක්‍රයා මෙලෙස කිවා. “මහරජ, මහළු මම මෙහි එන්නේ නුඹගේ බිරිද වූ මද්‍රි දේවිය ඉල්ලන්නටයි. ඇයව මට දෙන්න. මෙසේ පිරුණු ගංගාවෝ හැමකල්හි නොසිදේද, එබදු වූ තොපගෙන් ඉල්ලීමට ආවෙමි. මා විසින් අයදනා ලද ඔබගේ බිරිද මට දෙන්න. මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ බ්‍රාහ්මණය ඊයේ මම දරුවන් දෙන ලදී. දිගුකල අතෙහි දහසින් බැදි පසුම්බියක් තබන්නාක් මෙන් නොගැටී නොබැදී නොසැගවනු සිතැත්තේ පර්වතය සිසාරා නදදෙමින් මෙසේ කිව්වා.  මද්‍රී බිසව දන්දීම. ” බමුණානෙනි ඔබ යමක් මා අතින් ඉල්ලුවානම් එය දෙමි. දෙන්නට නොසැලෙමි.ඇති දෙය නොසගවමි. මා සිත දානයෙහි ඇලෙයි. මෙසේ කියා කෙන්ඩියෙන් පැන් ගෙන අත පැන් වත්කොට බමුණාට දුන්නේය. එකෙණෙහිම දරුවන් දෙදෙනා දන්දුන් ආකාරයටම මහත්වූ ආශ්චර්යයන් සිදුවුණා. එදවස යම් බිහිසුණු බවක් වීද, එදවස ලොමුදැහැ ගැන්මක් වීද එලෙසම මද්‍රි දේවිය දන් දෙත්ම මහපොළොව කම්පා විය. මද්‍රි දේවියගේ මුව නොහැකිලුනි. දුර්මුඛ නොවුණි. ඇය හැඩුවේද නැත. මියෙන් නොබැන වෙසතුරු රජු මට යම් වෘද්ධියක් ඇත්ද එය දනියි. ඔහුගේ මුහුණ බලමින්ම සිටියාය. ” එම්බා බ්‍රාහ්මණය, මට මද්‍රි දේවියට වඩා සිය දහස් ගුණයකින් සර්වඥතා ඥානය ප්‍රියතරය. මාගේ මේ දානය සර්වඥතා ඥානය අවබෝධ කරගැනීම පිණිසම හේතුවේවායි” කියා මද්‍රි දේවිය මහළු බමුණාට දන් දුන්නේය. තවද මෙසේද කීවේය, මා පුතු ජාලියද ක්‍රිෂ්ණජිනා දියණියද ප්‍රිය බිරිද වූ මද්‍රි දේවියද සංසාර සාගරයෙහි අතරමන්ව මහත් දුක් විදින්නාවූ සත්ත්ව වර්ගයා සංසාර දුකින් එතෙරකරවීම පිණිස, සම්මා සම්බුදු බව පතා ත්‍යාග කරනුයෙමි. කිසිවක් නො සිතමි. දෙදරුවන් මට අප්‍රිය නොවෙති, මද්‍රි දේවියද මට අප්‍රිය නොවෙයි, ඔවුන්ට වඩා සර්වඥතා ඥානය මට ප්‍රිය වෙයි. එහෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දුන්නෙමි. ඒ මොහොතෙහි, රජු මහළු බමුණකුට මා දෙයි කියා ක්‍රෝධ වශයෙන් මද්‍රි දේවියගේ මුහුණෙහි බුකුටි බවක් නොවීය. මකු වුයේ නැත.ඇස් පුරවාගෙන හැඩුයේ නැත. ඉක්බිති නිහඩව මා වැනි ස්ත්‍රියක දෙන තැනැත්තා භේද රහිතව නොදෙයි.මොහු යමක් උතුම්ද එය දනීයි. පිපුණු පියුමක් මෙන් පෙනේයැයි බලමින්ම සිටියාය. ඉක්බිත බෝධිසත්ත්වයන්වහන්සේ මද්‍රි දේවිය කෙසේදැයි අසා මුහුණ බැලීය. එවිට ඇය. ඇයි ස්වාමීනි, මා දෙස කුමක් නිසා බලන්නේදැයි අසා මෙලෙස සිංහනාද පැවැත්වුවා. “කුමාරි වූ මම යමෙක් හට භාර්යාව වීම්ද ස්වාමී වූ තෙපි මට ඉසුරු වව. යමෙක්හට දාසියක් දෙනු කැමතිනම් ඕ හට මා දෙන්න. නැතහොත් ධනයෙන් වැඩක් ඇත්තේ නම් මා විකුණන්න. මස්වලින් වැඩක් ඇත්තේ නම් මා මරා දමන්න. ඒ නිසා ඔබට යමක් කැමති වන්නේද එය කරන්න. මම නොකිපෙමි. මේ සියල්ල අසා සිටි ශක්‍රදේවරාජෝත්තමයන් වහන්සේ ඔවුන්ගේ ඒ උතුම් වූ අදහස් දැනගෙන ස්තුතිය පලකළා. ඉන්පසු සක්දෙව් රජ ඔවුන්ගේ අදහස් දැන මේ වචන පැවසුවා.  “යම් දිව්‍යමය වුත් මානුෂික වුත් සතුරෙක් වූ නම් ඒ හැම දෙන තොප විසින් දිනන ලදහ. සතුරෝ දේවත්වයට විරුද්ධය මනුෂ්‍යත්වයට විරුද්ධය. ඔවුන් වනාහි කවරහුද යත් මසුරුබව ස්වාභාවකොට ඇති සියල්ලන්වම දුදරුවන් දන් දුන්නාවූ බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දිනන ලදී. තොප විසින් පෘථිවිය හඩවන ලදී. ඒ කීර්ති ඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත සිසාරා ගියේය. පර්වත්යන්ගේ ප්‍රතිරාවය නැගුනේය. තොපගේ ඒ දානය නාරදය, පර්වතය, යන නිකාය දෙකේම දෙවියෝ අනුමෝදන් වෙති. ඉන්ද්‍රය, බ්‍රහ්මය, ප්‍රජාපතිය, සෝමය, යමය යන දෙවිවරු ද වෙසමුණි මහරජද අනුමෝදන් වෙති. අසත්පුරුෂයෝ වනාහි නොදිය හැකි දෙය දෙනුවන් නොකටහැකි දෙයක් කරනුවන් අනුකරණය නොකරති. සත්පුරුෂයන්ගේ අදහස් සිතාගත නොහැක. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙලොවින් චුතව යන පරලෝගමන් වෙන් වෙන් ව වෙයි. අසත්පුරුෂයෝ නිරයට යත්. සත්පුරුෂයෝ ස්වර්ගයට යත්. යම්හෙයකින් වනයේ වාසය කරමින් දරුවන් දිනී ද අඹුව දිනී ද ඒ බ්‍රාහ්මණයා අපාය භූමියට නොබැස ස්වර්ගයේ තොපට විපාක වේ. වෙස්සන්තර රජුන් විසින් හුදෙකලාව වනයෙහි වසන්නේ බිරිදව බමුණාට දුන්නේ ඉතා දුෂ්කර වූ දෙයක් කරේය. ශ්‍රේෂ්ඨ වූ මාර්ගය, සුචරිත ධර්මය තුන්වැදෑරුම්ය. මෙබදු වූ මේ දාන ධර්මය ආර්ය මාර්ගය ලැබීමට හේතු වන්නේය. ඒ නිසා අද යම් මේ දානයක් දෙන්නහුට අපායභුමියේ බැස නොගෙන ස්වර්ගයෙහි මෙය පලදේවා. විපාක කෙළවර සර්වඥතා ඥානය ලබාදෙන්නක් වේවා.  සක්දෙවිඳු සැබෑ රුවෙන් පෙනීසිටීම. මෙසේ කියා ඔහුට අනුමෝදන් කොට දැන් මා විසින් මෙහිදී ප්‍රමාද නොවී මැයව මොහුටම දී යන්නට වටනේ යයි සිතා මෙසේ පවසනු ලැබුවා. සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය භවතාට භාර්යාකොට දෙමි. මද්‍රි දේවියට සුදුසු වන්නේ තොපමයි. මද්‍රි දේවියද ස්වාමියා සමග වාසයට සුදුසුය. යම්සේ කිරිත්, සේදු සංඛයන් යන දෙකම සමාන පැහැ ඇත්තාහුද එසේයින්ම ඔබද මද්‍රියද සම වූ සිතින් යුක්ත වන්නේය. මව්පිය දෙපසින් සුජාත වූ ගෝත්‍රයෙන් සමෘද්ධ වූ ක්‍ෂත්‍රිය වූ ඔබ දෙදෙන රටින් නෙරපන ලදව මේ වනයේ අසපුවක වාසය කරන්න. යළි යළිත් දන්දෙමින් හැකි පමණින් පින් කරන්න. මෙසේ කියා සක්දෙව් රජ වරයක් දීමට තමාව හෙළිදරව් කරමින් මෙසේ කීය. “මම දෙවියන්ට අධිපති වූ සක්දෙව්රජ වෙමි. තොප සමීපයට ආවෙමි. රජ තුමනි කැමති වරයක් අයදින්න, තොපට වර අටක් දෙමි. මෙසේ කියත්ම දිවය ආත්මභාවයෙන් දිළිසෙමින් පිරුණු හිරු මෙන් අහසෙහි සිටියේය. ඉක්බිත බෝධිසේත්ත්වයන්වහන්සේ මෙසේ කිවා.  අප මහා බෝසතාණන් වහන්සේ ඉල්ලු වර අට.
  1. සියළු දෙවියන්ට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙන්නේ නම් මාගේ පියා මේ වනයෙන් සිය ගෙදරට පැමිණීම පිලිගනීවා. සිහසුනෙන් පවරාවා.මේ වරය පළමු කොට ඉල්ලමි.
  2. පුරැෂයකු හට වධය රුචි නොකෙරෙම්වා. දරුණු ක්‍රියාකොට වධයට පැමිණිය යුතු කෙනාද වධයෙන්ම දවන්නෙම්වා. ධර්මයෙන් දිනත්වා. දැහැමින් රාජ්‍ය කරත්වා. මේ වරය දෙවැනි කොට ඉල්ලමි.
  3. යම් මහළු මිනිස් කෙනෙක් ඇත්ද, යම් ළදරු කෙනෙක් ඇද්ද යම් මධ්‍යම පුරුෂ කෙනෙක් ඇද්ද ඒ හැමදෙනාම මා නිසාම ජීවත් වෙත්වා. මේ වරය තුන්වනුව ඉල්ලමි.
  4. පරඹුවන් කරා නොයෙම්වා. තම අඹුවගෙන්ම සන්තෝෂයෙහි නියැලෙවා .මාගමුන් වශයට නොයෙම්වා. මේ වරය සතරවෙනිව ඉල්ලමි.
  5. සක්දෙව් රජුනි, මට පුතෙක් උපදීවා.හේද දීර්ඝායු ඇතිවේවා.පෘථිවිය දැහැමෙන් දිනාවා.මේ වරය පස්වනු කොට ඉල්ලමි.
  6.  ජයතුරා නුවරට පැමිණි ඉක්බිති රාත්‍රී අවසානයේ හිරු උදාවෙත්ම දිවබෝජුන් පහළ වේවා. මේ වරය සවනුකොට ඉල්ලමි.
  7. මා දන්දෙත්ම ක්‍ෂය නොවේවා. මම දන් දී පසුව නොතැවෙම්වා.දෙමින් සිත පහදම්වා.මේ වරය සත්වනු කොට ඉල්ලමි. 
  8. මම මේ ජාතියෙන් මිදුණුයෙම් වෙසෙස් ගමන් ඇතිව සුගති ගමන් ඇතිවෙම්වා. ඉක්බිත භවයෙහි පුනර්භව නැත්තෙක් වෙම්වා. සර්වඥතා ඥානය ලබන්නේම්වා. මේ වරය අටවනුව ඉල්ලමි.
ඒ වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මේ වචන කීය.තොපගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්ත්වයන්වහන්සේට අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය.

ශක්‍ර කාණ්ඩය නිමි.

 

Ape Budu Hamuduruwo 135

අපේ බුදුහාමුදුරුවෝ 135

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 30

දරුවන් නොලද සොවින් සිහිසුන්වූ මද්‍රී දේවිය.

ඉක්බිත බෝධිසත්ත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව යන්නට වුණා.

 දරුවන් සොයමින් වැළෙපෙමින් පටාචාරාව සේ වනය පුරා දිව ගිය වෙස්සන්තර දේවිය.

මම දඩමඩුළු දරන්නී බඹසර රකින්නි අතවැසි මානවකයෙක් ඇදුරහුට මෙන් හිමියන්ටද දරුවන්ටද දිවා රෑ අප්‍රමාදීව මෙහෙ කලෙමි. එහෙත් මම ලෝකයේ බඹසර පිහිටකොට ඇති බොහෝ ඇසුපිරූ තැන් ඇති සිල්වත් මහණුන්ටද බමුණන්ටද ශාප කර ඇත්තාක් සේය. එහෙයින් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නොදකිමි. දරුවනි, මම තොප කැමැත්තෙන් අදුන්දිවිසම් පොරවා වනමුල් පලවැල ගෙනයමින් දිවාරාත්‍රී ඇවිදිමි.

දරුවනි, මේ රන්වන් කසාය, කල්ක ගෙනෙන ලදී. ඔබලාට සෙල්ලම් කිරීමට රන්වන් බෙලිපල ගෙනෙන ලදය. ගස්වල ඉදුණු මිහිරිපලද ගෙන ආමි. ඔබලාට කෙළිබඩු රැගෙන ආමි. මේ නෙලූඹුදැලි වළලුය, ඕලුය, පිඤ්ජර යුෂය යන මේවා තිබේ. රජතුමනි, දඩුයෙල්බෑ මීයෙන් හනන ලදුවැ දරුවන් හා එක්ව වලදන්න. මේ පියුම් ජාලියට දෙන්න. ඇඹුලමල කුමරියට දෙන්න. මල් පැළවන් නටන දරුවන් බලන්න, සිවි රජතුමනි දරුවන් කැදවන්න. ,ඇය මෙසේ කිය කියා හඩයි.

රජතුමනි, මියුරු හඩ ඇති සිත්කළු ස්වභාව ඇති ක්‍රිෂ්ණජිනාවද අසපුව කරා යන්නීය. බලන්න. රටින් නෙරපන ලද අප දෙදෙනා සමාන සුවදුක් ඇත්තෝ වෙමු. සිවි මහරජුනි, ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දුටුවාද? සිවිරජතුමනි දරුවන් දකින්නෙහිද? දකීනම් මට පෙන්වන්න. ඇයි මා වෙහෙසට පත් කරන්නෙ. මෙසේ වැළපෙන්නාවූ ඇයට බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක් පැවසුවේ නැත.

ඇය ඔහු කිසිවක් නොකියන කල්හි කම්පාවෙමින් සදඑළියෙන් දරුවන් සොයන්නී ඒ ඒ දඹරුක් ආදී තැන්වල පෙර ඔවුන් ක්‍රීඩා කළේද ඒ ඒ තැන්වලට ගොස් වැලපෙමින් මෙලෙස කියන්නට වුනා. මේ දරුවන් සෙල්ලම් කළ තැන්වල දඹරුක්ය, එල්ලෙන අතු ඇති සිදුවරය. නන්වැදෑරුම් පලරුක්දෑය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙර යම්තැනක හිද ක්‍රීඩා කලේද මේ ඒ අරම එලෙසම පවතී. මේ සිහිල් දිය ඇති හොයද තිබේ. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක මල්වර්ග පැළදියාහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පුෂ්පවර්ග ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. පෙර දිනක යම් ඵලාජාති වැළලුහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පලජාති ඇත. එහෙත් දරුදෙදෙනා නැත. පෙර දිනක යම් පෙතලිරුවින් ක්‍රීඩා කළාහුද මේ ඒ ඇත්රූපය අස්රූපය මේ ඒ ගොනුන්ගේ පෙතලි රූපද ඇත. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි පර්වතය මත්තේ දරුවන් නොදැක හඩන්නී ඉන් බැස නැවත අසපුවට අවුත් එහි ඔවුන් ගැන සිතන්නී ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩයන් දැක මෙසේ කීවාය.පෙර යම් කෙනෙකුන් හා සමග ක්‍රීඩා කළාහු නම් ඒ කුඩා සමවන් මුවෝය. සාවෝය. බකමූණෝය. බොහෝ වූ කෙහෙල්මුවෝය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. පෙරයම් කෙනෙකු හා ක්‍රීඩා කළාහුද මේ ඒ හංසයෝය. කොස්ලිහිණියෝය. විසිතුරු පිල්කළඹ ඇති මොනරුය. එහෙත් දරුදෙදෙනා නොපෙනෙති. එහි කුඩා මුවෝ, රන් මුවෝ, හාවෝ ද මහ මුහුණෝ ද ඇත දරුවන් දෙදෙනා නොමැත. ඇය අසපුවෙහි ප්‍රිය දරුවන් නොදැක ඉන් නික්ම මල් පිපුණු වනරොදට පිවිස ඒ ඒ තැන බලන්නී මෙසේ කීවාය. පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් මේ ඒ හැමතැන්හි මල් පිපී ඇති වනලැහැබ්ය. ඒ දරුදෙදෙනා නොපෙනෙති.

පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් ඒ සක්වාලිහිණියන් ළග හිද කුල්නා හෙල්මැලිවලින් ද පියුම්වලින් ද උපුල්වලින් ද ගැවසීගත් රමණීය පොකුණු ඇත. ඒ දරුදෙදෙනා නොපෙනෙති. මෙසේ කැලෑ රොදවල් වල හඩ හඩා දරුවන් සොයන්නාවූ ඇය කිසිතැනක දරුවන් නොදැක නැවත බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් දුර්මුඛව සිට මෙසේ පැවසුවා. රජතුමනි, ඔබ විසින් දර නොබිදින ලද්දේ තොප විසින් දිය නොගෙන ලද්දේ තොප විසින් ගිනිද නොදල්වන ලද්දේ කිම නොදන්නා බාලයකු මෙන් සිතිවිලි පරවශව සිටීද? තෙපි මට ප්‍රියව, ප්‍රිය වූ තොප හා සමග එක්ව විදිනා දුක් මා විසින් නසනු ලැබේ. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදක්මි. ස්වාමිනි ඔබ පෙර දර කඩන්නෙහි, ජලය ගෙන තබන්නෙහි ගිනිකබලෙහි ගිනි මෙල්විය. අද එයින් එකක්වත් නොකොට සිටී. ඔබේ මේ ක්‍රියාවන් මට රුචි නොවේ. වෙස්සන්තර රජු මට ප්‍රියය. මීට වඩා මට ප්‍රියකෙනෙක් නම් නැත. මේ ප්‍රියයා සමග එක්වී පෙර දුක පහව යයි. අද වනාහි මොහු දකින්නා වූ මාගේ ශෝකය පහව නොයයි. කවර කරුණක් නිසාද? මා විසින් කරුණ දක්නා ලදී. අද ඒ අප ප්‍රිය දරුවන් නොදකිමි. රජු දකින්නාවූ නමුත් මා හට ශෝකය පහව නොයයි. ඈ විසින් මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ නිහඩව හුන්නේය.

දරුවන් නොලද සොවෙන් සිහිසන්වූ වෙසතුරු දේවිය.

ඇය ඔහු කථා නොකර සිටිනවිට ශෝකයෙන් මඩනා ලද්දේ පහරකෑ කිකිළියක් මෙන් නැවත කලින් සොයාබැලූ තැන්වලට ගොස් නැවත බලා ආපසු ඇවිත් මෙලෙස කියන්නට වුණා. දේවයිනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුහු ගෙන යන ලදහුද? නොහොත් මළාහුද? වනකවූඩෝද නොහඩති. මාගේ දරුවෝ කිසිවක් විසින් ගෙනයන ලද්දෝ වත්ද? මෙසේ කී කල්හිද බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක්ම කිවේ නැහැ. ඇය දරුසොවින් දරුවන් ගැන සිතන්නී තුන්වන වරටත් ඒ ඒ තැන්වලට වාතවේගයෙන් ගියා. එක්රැයක් තුළ ඇවිද්ද තැන් ගණන් කරන්නේ නම් යොදුන් පසළොසක් පමණ කියලයි කියන්නේ. රාත්‍රිය ගතවිය. අරුණ නැගි කල්හි ඕතොමෝ නැවත ගොස් බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයේ සිට හැඩුවා. දේවයෙනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුන් ගෙනයන ලදද? නැතහොත් මළාහුද? වනකවුඩෝද නො හඩති. මාගේ දරුවෝ කිසිවෙක් විසින් ගෙනයන ලද්දේ විය යුතුයි.දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම්කිසිවක් විසින් ඔව්හු ගෙනයන ලදහුද? නොහොත් මළාහුද? පක්ෂීහු නොහඩති. මාගේ දරුවන් මළා විය යුතුය. දේවයිනි පර්වතයෙහි රුක්මුල්හි ගල්ලෙන්වල ඇවිදින්නී අපගේ දරුවන් නොදක්මි. ඔවුන් යම්කිසිවෙක් විසින් ගෙනයන ලදද? නැතහොත් මළාහුද? මෙසේ යසස් ඇති උතුම් ශරීර ඇති අභිරූපත්වූ මදුරජ දූ දොහොත් හිස බැද හඩා වෙස්සන්තර පාද මූලයේ කපා දැමූ රන්වන් කෙසෙල් ගසක් මෙන් සිහිසුන්ව බිම පතිත වුවා.

 සිහිසුන්ව වැටුන මද්‍රී බිසව මියගිය බව සිතා ශෝකයෙන් හැඬු අප මහා බෝධිසත්ත්වයාණෝ.

මද්‍රි දේවිය දරුවන් නොදැක නිසැකවම මළා විය යුතුයැයි රජු සිතුවා. බෝධිසත්ත්වයන්වහන්සේ ඇය මළායැයි සිත කම්පා වන්නේ මද්‍රි දේවිය අස්ථානයෙහි පිටරටකදී මළාය. ඉදින් ඇගේ මරණය ජයතුරා නුවරදී සිදුවූවානම් මහත් වූ පෙරහැර වන්නේය. රටවල් දෙකම කම්පා වන්නේය. මම වනාහි වනයෙහි හුදෙකලා වීමි. කුමක් කරන්නේම්දැයි හටගත් බලවත් ශෝක ඇත්තේ සිහිය පිහිටුවාගෙන පළමුව දැනගන්නෙමියි නැගිට ඇගේ හදවතට අත තබා සන්තාපයට පත්වූ බව දැනගෙන කෙණ්ඩියෙන් ජලය ගෙනවුත් සත්මසක් කාය සංසර්ගයක් නුවූ නමුත් හටගත් බලවත් ශෝකයෙන් පැවිදිබව සළකා ගන්නටද නොහැකිව කදුළු පිරි දෙනෙතින් යුතුව ඇගේ හිස ඔසවා උකුලෙහි තබාගෙන වතුර ඉස මුහුණද හදවතද පිරිමදිමින් සිටියා. මද්‍රි දේවිය ටිකවෙලාවකිනි සිහි එළවා නැගිට ලැජ්ජාභය පිහිටුවා ගෙන බෝධිසත්ත්වයන්වහන්සේ හට වැද පසෙකට වුණා. ඒ එක්කම ඇයට යලිත් මතක් වුණේ දරුවන්ව. ස්වාමීනි, ඔබගේ දරුවෝ කොහි ගියාහුදැයි නැවතත් ඇසුවා. මෙතෙක් වෙලා නිහඬව සියලු දේ වසන් කරමින් සිටි වෙසතුරු රජු සියලු තතු පවසන්නට වුණා.

 දරුවන් දාස කමට දන්දුන් බව මද්‍රි බිසවට හෙළිකිරීම.

මද්‍රි දෙවියනි දරුවන් බමුණකුගේ දාස බවට දැන් දුන්නා. බිම වැටුනා වූ රජදුවගේ මුහුණ දියෙන් තෙමී ගිහින්. ඉක්බිත ඇය පියවි බවට පත්වූ සැටි දැන ඇයට මේ වචන ඔහු විසින් පවසනු ලැබුවා. හරිම පුදුමයි ඇයගේ පිළිතුර. දේවයන්වහන්ස දරුවන් බමුණාට දන් දුන් බව මුළු රැයම හඩමින් ඇවිදින මට නොකීවේ ඇයිදැයි විමසන්නට වුණේ සන්සුන් වූ මනසින්. බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ ඇයට පවසනු ලැබුවා.

” මද්‍රි දෙවියනි, මුලදීම ඔබව දුකට පත්කරන්නට නොකැමැති විමි. ඉදින් මම නුඹට කලින්ම ඒ කාරණය කියුව්වේ නම් ශෝකය දරාගත නොහැකිව හදවත පැලෙන්නේය. ඒ නිසා මද්‍රි දෙවියනි ඔබට දුකක් ඇතිකරන්නට කැමති නොවූයෙමි. දිළිදු වූ මහලු වූ යාචක බමුණෙක් ගෙට ආවේය. ඔහුට මා විසින් දරුවෝ දෙන ලදිමි. මද්‍රි දෙවියනි බිය නොවන්න.සැනසෙන්න. මද්‍රි දේවියනි,මා බලව දරුවන් ගැන නොබලව. දැඩිකොට නොහඩන්න. ජිවත්වන්නමෝ නිරෝගීවන්නමෝ නම් දරුවන් ලබම්හ. සත්පුරුෂයා යදින්නා ආ කල්හි දැක දරුවනුත් සිව්පාවනුත් ගෙහි ඇති යම් ධනයක් ඇද්ද ඒ සියල්ල ද දන් දෙන්නේය. මද්‍රි දේවියනි දරුවන් කෙරෙහි පිහිටි මාගේ උතුම් දානය අනුමෝදන් වන්න. සත්පුරුෂයා වනාහි උතුම් කරුණක් ප්‍රර්ථනා කරමින් පපුව පළා හෘදයමාංශයද දෙන්නේය. එය විය මද්‍රි දේවයිනි, ඔබ දරුවන් කෙරෙහි පිහිටි උතුම් දන අනුමෝදන් වෙන්න. දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.” දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.

දේවියනි, සිවිරට වඩනා යම්බදු ඔබ මසුරුමලින් මැඩුනු මිනිසුන් අතුරෙහි බමුණහුට පුත්‍රදානය දුන් දූන්නාහුය. දසමසක් කුසෙහි දරාගෙන දවසට දෙතුන්වතාවක් නාවා පොවා කවා ළයෙහි හොවාගෙන පෝෂණය කළ දරුවන් බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දන් දුන්කල්හි තමන්ගේ පින අනුමෝදන් වෙමින් මෙසේ කීවාය.(මේ කරුණෙන් පියාම ස්වාමියා ලෙස දතයුතුය.)

 දරුවන් දන්දුන් කුසලය අනුමෝදන් වූ මද්‍රි බිසව.

මහරජ, මත්තෙහිද නැවත නැවත දන් දෙන්නෙක් වව. යම් ඒ ඔබ මසුරුබවින් මඩින ලද සත්ත්වයන් ඇති ලෝකයේ ප්‍රිය දරුවන් දන් දුන්නේද, මා විසින් මනාකොට දෙනලද දානයෙහි සිත පහදවා ගත්තෙමි. මෙසේ කී කල්හි බෝධිසත්ත්වයන්වහන්සේ මද්‍රි දෙවියනි, ඔබ මේ කුමක් කියන්නෙහිද? ඉදින් වනාහි මා විසින් දරුවන් දන් දී සිත ප්‍රසාදයට පත්නුවුයේ නම් මාගේ මේ විශ්මය වන සිද්ධීන් සිදුනොවන්නේ යැයි සියළු මහපොළොව කම්පාවීම ආදිය කීවේය. ඉක්බිත මද්‍රි දේවිය ඒ පුදුමයන් ගැන සිතා දානයේ පින අනුමෝදන් වෙමින් මෙසේ පැවසුවා.

ඔබ විසින් රජතුමනි මහපොළොව හඩවන ලදී. ඔබගේ කීර්තිඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත් පෙදෙසෙහි හාත්පස අවට හැසිරිණි. පර්වතවලින් ප්‍රතිරාවය මෙන් මහත් හඩක් නැගුණේය.

තොපගේ ඒ පුත්‍රදානය නාරදය, පර්වතය යන දෙකොටසෙහි දෙවිවරු අනුමෝදන් වෙති. ඉන්ද්‍ර, බ්‍රහ්ම, ප්‍රජාපතී, සෝමදේව, යමදේව, වෙසමුණි රජ ද ඉන්ද්‍රයා ප්‍රමුඛ තව්තිසාවේ සියළු දෙවියෝද අනුමෝදන් වෙත්. ශක්‍රයා ප්‍රමුඛ තව්තිසා වැසි සියළු දෙවිවරු ඔබගේ දානය අනුමෝදන් වෙත්. හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය ,මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල සසර පුරාවට මෙවැනිම ඇවිලී ගින්දර තවත් වරක් සිත තුලම ගුලි කරගත්තා. ඒ තමයි අද වැලන්ටයින් දිනයේ මා දුටු උතුම්ම ප්‍රේම වෘතාන්තය.

මද්‍රි දෙවි කාණ්ඩය නිමි

 

Ape Budu Hamuduruwo 134

අපේ බුදුහාමුදුරුවෝ 134

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 29

මෙසේ ඇය වැලපෙන්නී බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඩව සිටින බෝධිසත්ත්වයන්වහන්සේ දැක දරුවන්ද ඔහු ළග නැති බව දැක මෙසේ පවසමින් හඬා වැළපෙන්නටවුවා.

ස්වාමිනි, ඔබ ඇයි අද නිහඬ? මාගේ සිත ඉතා අළුයම සිහිනයක් දුටු කලෙක මෙනි. අද වනකවූඩෝද නො හඩති. මාගේ දරුවෝ මළාහුද? කිම ස්වාමිනි, මාගේ දරුවෝ චණ්ඩ සිව්පාවෝ කෑවාහුද? ජනශුන්‍ය වූ ඕජස් නැති වනයෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙනයන ලද්දාහුද? එසේ නැතහොත් ඔබ විසින් සිවිරජුගේ සමීපයට දුතයන් ලෙස දූත මෙහෙයට යවන ලද්දාහුද? නැත්නම් ප්‍රිය තෙපුල් ඇති දරුවෝ නිදාගත්තාහුද? නැත්නම් ඔවුහු ක්‍රීඩාවෙහි යෙදී බැහැර ගියාහුද? ඔවුන්ගේ අදුන්වන් කේශයෝ නොපෙනෙති. රන්දැළින් විසිතුරු වූ අත්පා නොපෙනේ. හිමවත් පෙදෙසෙහි ඇත්ගිජුළිහිණියෝ නම් පක්ෂීන් සිටියි. ඔවුන් විසින් මාගේ දරුවන් ගෙනයන ලද්දාහුද? දරුවෝ කවරක්හු විසින් ගෙනයන ලද්දාහුද? මෙසේ කී කල්හි ද බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක් නොකීවා. නොකීවාට වැඩිය දියහැකි පිළිතුරක් නොතිබෙන්නට ඇති.

ඇයි ස්වාමීනි, කුමක් නිසා මා සමග නොකියන්නේද? මාගේ වරද කුමක්ද? කියා මෙසේ කීවා. අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නො දකිම්ද? ඒ දුකට වඩා ඔබ කථා නොකරන එක ඉතා දුකක්ය. හුළින් විදින ලද වනයක් මෙනි. අද මම ඒ දරුවන් නොදක්මි. ඔබද මා හා කථා නොකරයි. මේ දෙවැනි හුළද මාගේ ළය කම්පා කරවයි. රාජපුත්‍රයාණෙනි, අද මේ රාත්‍රිය මා හා කථා නොකරන්නාහු නම් පැහැව ගිය දිවි ඇති මා උදයේ මළ එකකු ලෙස දකින්න. ස්වාමිනි, රටින් නෙරපන ලද වනයෙහි වාසය කරන දරුවන් දකින්නට නැති මා සමග මේ දුක නොකියා සිටීම ඊටත් වඩා දුකකි. ඔබ වනාහි ගින්නෙන් දැවුනු මා නැවත දවන්නාක් මෙනි. තල්ගසින් වැටුනහුට මුගුරකින් ගසන්නාක් මෙන් නිහඩතාවයෙන් මා වෙහෙසට පත්කරන්නෙහිය. මේ මාගේ හදවත ආයුධයකින් විදින ලද්දක් මෙන්ද එසේම වනයක් මෙන්ද වේදනාවට පත්වෙයි. කම්පාවෙයි. 

වෙසතුරු කුමරු මද්‍රී දේවියගේ සිත වෙනතකට යොමු කිරීම සඳහා ඇයට අභූත චෝදනා කිරීම.

මහාසත්ත්වයෝ කර්කශ කථාවෙන් ඇගේ දරුශෝකය දුරු කරන්නෙමියි සිතා මෙසේ ඇසුවා.

“රුපශ්‍රියෙන් යුත් යසස් ඇති මද්‍රිරාජදේවිය, ඔබ වනමුල් පළවැල පිණිස උදයෙන්ම ගියා නොවේද? කුමන කරුණකින් ප්‍රමාදවී ආවාහුද? මද්‍රි දේවිය, නුඹ රූමත්ය,පැහැපත්ය,හිමවත වනාහි වනයේ හැසිරෙන බොහෝ තාපස විජ්ජාධරයන්ගෙන් යුක්තය. ඔබ විසින් කුමක් කරන ලද්දේ දැයි කවුරු දනීද? ඔබ අළුයම ගොස් කුමක් නිසා මේ සවස එන්නෙහිද? සිගිති දරුවන් දමා වනයට ගිය ස්ත්‍රීහු නම් ස්වාමිවරුන් සහිත නම් මෙසේ නොකරන්නාහ. මාගේ දරුවන්ගේ තොරතුරු මොනවාද? මාගේ ස්වාමියාට කුමක් වීද? යන මෙපමණක්වත් ඔබට සිතුනේ නැත. උදේම ගොස් සදඑළියේ එන්නෙහිය. මේ මාගේ දුගී බවෙහි දෝෂයක්මයැයි තර්ජනයකොට වංචාකර මෙලෙස පැවසුවේ ඇයගේ සිත වෙනතකට යොමු කිරීමට.

එම අභූත චෝදනාව නිසා දරුවන් අරඹයා ලතවිම මොහොතකට අමතකවීම.

මද්‍රි දේවිය ස්වාමියාගේ කථාව අසා මෙසේ කීය. යම් සිව්පා කෙනෙක් දිය බොන්නට විලට ආවාහුද ඔවුනතුරෙන් වෙසෙසින් නාදකරන සිංහයාගේද ව්‍යාඝ්‍රයාගේද අනිකුත් ඇත් ආදීන්ගේ කුරුළු සමුහයාගේද කුජනය ඒ නින්නාද කිම ඔබට නොඇසුනාහුද? ( ඒ ශබ්දය බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දරුවන්ව දන් දෙන ලද වෙලාවේ විය.) මහාවනයෙහි සැරිසරන මට පෙරනිමිති පහළ වී මා අතින් අල කණන හුල ගිලිහී වැටුණේය. දසරුවෙන් පලවැල පැස ගිලිහී වැටුණේය. එකල්හි මට කම්පා වී බියපත්ව වෙන වෙනම ඇදිලි බැදගෙන මෙයින් ශාන්තියක් වන්නේයැයි සිතා හැම දිශාවන්ටම වැන්දෙමු. අප හිමි රාජපුත්‍රයා සිංහයකු විසින් හෝ දිවියකු විසින් නොනසාවා.දරුවෝ ද වලස් වෘක යන සතුන්ගේ හිංසාවට පත්නොවෙත්වායි ප්‍රාර්ථනා කරමින් නමස්කාර කලෙමි. ස්වාමිනි, මම වනාහී මේ බිහිසුණු මහත් වූ නරක සිහිනයක්ද දුටුවෙමි. පල සහිත ගස් පල නැති ගස් ලෙසත් ගෙඩි නැති ගස් ගෙඩි ඇති ගස් ලෙසත් දකින්නී අපහසුවෙන් පළාපල ගෙන ගිරිදොරකඩට පැමිණියෙමි. ඒ මග අවුරමින් සිංහය, ව්‍යාඝ්‍රය, දිවිය යන සැඩ වනමෘගයෝ තිදෙනෙකි. ඔවුහු මට මග ඇවුරූහ. ඒ නිසා ප්‍රමාද වී සවස ආවෙමි. ස්වාමිනි මට සමාවෙන්න. ඉක්බිති බෝධිසත්ත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව යන්නට වුණා.

 

Ape Budu Hamuduruwo 133

අපේ බුදුහාමුදුරුවෝ 133

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 28

දරුවන් දන්දීමේ තොරතුර බඹලොව දක්වා පැතිරයාම සහ දෙවියන් මද්‍රි බිසවගේ පැමිණීමට බාධා කිරීම.

මහාපොළොව කම්පා කරමින් රජු විසින් බමුණාට තම දරුවන් දීම බඹලොව දක්වා පැතිර ගියා. එයින් බිදුණු හදවත් ඇති හිමවත් වැසි දේවතොවෝ බමුණා විසින් ගෙනයනු ලබන ඔවුන්ගේ විලාපය අසා මෙසේ කතිකාකර ගත්හ. ඉදින් මද්‍රි දේවිය කල්ඇතිව අසපුවට පැමිණියහොත් එහි දරුවන් නොදැක වෙස්සන්තර රජුගෙන් අසා බමුණාට දන් දුන් බව දැනගෙන බලවත් සෙනෙහසින් පසුපස්සේ දුවගොස් මහත් දුකකට පත්වියහැකියි. එලෙසෙ සිතූ ඒ දේවතාවෝ සිංහ,ව්‍යාඝ්‍ර,දිවි,යන වෙස්ගෙන මද්‍රි දේවියගේ ගමන්මග බාධාකරමින් ඇය නැවත අසපුවට එන මග අහුරා සිටියා. එහෙම කරලා නිකම්ම හිටියේ නැහැ. ඉර බැසයනතුරු මාර්ගයේ ඉඩ නොදී සිටීම නිසා යම්සේ සද එළියෙන් අසපුවට පැමිණේද එවිට සත්‍ය වශයෙන්ම කැළයේ වසන සිංහ ආදී සතුන්ගෙන් පීඩාවක් ඇයට නොවන ලෙස ඇයව ආරක්ෂා කරන්නටද කතිකා කරමින් මෙලෙස පැවසුවා.

” අපගේ රජදේවිය සන්ධ්‍යාවේ වනයෙන් නොඒවා. අප නිරන්තරයෙන් පරිභෝග කරන වනයෙහි චණ්ඩ මෘගයෝ ඇයට පීඩාවක් නොකරත්වා. සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ ඒ ශ්‍රීමතිය වෙහෙසට පත්කරන්නේනම් ජාලිය කුමරුන්හට පැවැත්මක් නැතිවෙනවා. ක්‍රිෂ්ණජිනා කෙසේ පවතීද? ඒ පින්වත් බිසෝ තොමෝ ස්වාමියාගෙනුත් දරුවන්ගෙනුත් යන දෙකොටසටම අහිමිවෙනවා. එමනිසා ඇයට ආරක්ෂාව මනාව සංවිධානය කරව්.”

වැසි දෙවියන් නපුරු සතුන් මෙන් මද්‍රි දේවිය එන මග පෙනීසිටීම. 

 ඉන්පසු ඒ දේවපුත්‍රයෝ යහපතැයි ඒ දේවතාවන්ට ප්‍රතිඥා දී සිංහ, ව්‍යාඝ්‍ර ,දිවියන් ගේ වෙස් ගෙන ඇය එන ගමන්මග පිළිවෙලින් සිටියා. මද්‍රි දේවිය මෙසේ සිතුවා. “මා විසින් නරක සිහිනයක් දකින ලදී. ඉක්මනින් මූලපලාදිය ගෙන අසපුවට යන්නෙමියි” කම්පාවෙමින් මූලපලයන් සොයා බලන්නට වුණා. ඉක්බිති ඇගේ අතින් අලවංගුව බිම වැටුණා. එසේම පසෙකින් එල්ලාගත් පැස ද වැටුණා. දකුණු ඇසද සෙලවෙන්නට වුණා. ඵල දරන ගස් ඵල නැති ඒවා ලෙසත්, ඵල නැති ගස් ඵල ඇති ලෙසත් පෙනෙන්නට වුණා. ක්‍රමක්‍රමයෙන් මද්‍රි දේවියට දස දිසාවම නොපෙනී ගියා. ඇය මේ කුමක් සිදුවන්නේදැයි බලා අද සිදුවන්නේ කලින් කිසි දිනක සිදු නොවූවක්යැයි මෙසේ සිතන්නට වුණා.

මද්‍රි දේවියට දස දිසා අමතකවීම.

“මා අතින් පොළොව කණින හුල ගිලිහුණි, දකුණු ඇසද සැලෙයි. පළ ඇති රුක් පළ නැති සේය. මට සැට දිශාවක් මුලාව පෙනෙයි. මා සවස් වේලෙහි හිරු අවරට ගිය කල්හි අසපුව දෙසට එනකල්හි සැඩ සිව්පාවෝ පෙරමග නැගී සිටියහ. හිරුද බැසයයි. අසපුවද ඉතා දුරය. දරුවන්ට යමක් මෙයින් ගෙනයම්ද ඔවුහු ඒ බොජුන් වළදන්නාහ. වෙස්සන්තර රජුන් මා නො එන්නා දැක සාගිනි ඇති හඩන දරුවන් සනසමින් අසපුවෙහි හුදෙකලාව හිදින්නේයැයි සිතමි. මාගේ බැගෑ වූ පින් නැති දරුවෝ සවස බොජුන් වේලෙහි කිරිබොන ඒ දරුවෝ කිරි නොලැබ නිදිතීයි සිතමි. බඩගින්නේ සිටින ඔවුන් මව්දෙන එනකම් පෙරමග පැමිණ සිටින වසුපැටවුන් මෙන් මා එනතෙක් පෙරමග බලා සිටිතීයි සිතමි. මාගේ දරුවෝ විල්පිට හංස පෝතකයන් මෙන් මා එනතෙක් බලා සිටිතීයි සිතමි. මාගේ දරුවෝ මා එනතෙක් අසපුව අබියස පෙරමග බලා සිටිතීයි සිතමි. එක් අඩිපාරක් ඇත.එය එකම මගය. දෙපසම විල් හා හෙල්ය. යම් මගකින් අසපුවට යන්නේමි නම් එබදු අන් මගක් නොදකිමි. ඇය වෙනත් මගක් නොදැන පළාපල පැස හිසෙන් බිමට බා ඇදිලි බැදගෙන වදිමින් මෙසේ කීවාය.

මද්‍රී බිසවගේ අධිෂ්ඨානය

“වනයේ මහා බලැති මුවරජහට නමස්කාර වේවා. දැහැමින් මට සොහොයුරෝ වව්. මා විසින් අයදනා ලද තෙපි මට මග ඉඩදෙව්. මා රටින් නෙරපන ලද සිරිමත් වෙසතුරු මහරජුගේ අඹු වෙමි. මම ඔහු රාම රජහට අනුගත වූ සීතා දේවිය මෙන් ඔහු ඉක්මවා වෙනකෙකු ගැන නොසිතමි. එපරිද්දෙන්ම මම ද වෙස්සන්තර රජුහට උපස්ථාන කරයි. තෙපිදු සවස ගොදුරු ගන්නා වේලෙහි තොප දරුවන් බලව්. මමද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දකින්නෙමි. මේ අල හා පළවැල බොහෝය. මෙහි කෑ හැකි දේ බොහෝය. එයින් අඩක් තොපට දෙමි. මා විසින් අයදනා ලද තෙපි මට මාර්ගයේ ඉඩ දෙන්න. අප මව් රජුය, අප පිය රජුය තෙපි මට දැහැමින් සොහොයුරු වව්. මා විසින් අයදනා ලද තෙපි මට මාර්ගයේ ඉඩ දෙන්න. “

ඉක්බිති ඒ දෙවපුත්‍රයෝ වේලාව බලා දැන් මැයට මාර්ගය ඉඩ දිය යුතුයැයි දැනගෙන නැගිට පිටව ගියා. වැලපෙන්නාවූ ඇගේ බැගෑබවින් මුසුවූ බොහෝ මියුරුතෙපුල් වචන අසා සැඩ නපුරු වෙස් ගත් දේවපුත්‍රයෝ මගින් බැහැර වුණා. මද්‍රි දේවියද මෘගයන් ඉවත්ව ගිය කල්හි අසපුවට ගියා. එදිනද පුන්පොහෝ දිනයක්. ඇය සත්වන කෙළවර සිට යම්තැනක් පෙර දරුවන් දකීද ඒ තැන්වල දරුවන් නොදැක මෙසේ කීවාය.

පෙරමගට දරුවන් නොපැමිණි සොවින් භීතියෙන් කම්පනයට පත්වූ මද්‍රි බිසව.

පස් වැකුණු සිරුරු ඇති දරුසිගිත්තෝ පෙරනම් මව්දෙන පෙරමගට ආ වසුපැටවුන් මෙන් මා ඉදිරියට ආවාහු. මේ මේ තැන්හි පෙර සිටිති. පස් තැවරුණු සිරුරු ඇති දෙදරු බිළින්දෝ විලේ මතුපිට හංස පෝතකයන් මෙන් පෙරනම් මා ඉදිරියට එයි. ඒ දෙදරුවෝ කන් ඔසවාගත් මුවපොව්වන් මෙන් මා දැක සතුටු වෙයි. ප්‍රමුදිත වෙයි. යම් සේ මුවපොව්වෝ මව දැක කන් ඔසවා ගෙල දිගු කොට මව ලගට ගොස් තුටුපහටු වූවාහු හාත්පස දුවති. පනනුවන් මෙන් මාගේ ළය කම්පා කරයි. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.

පැටවුන් අතහැර ගොදුරට ගිය එළුදෙනක මෙන් මුවපෙල්ලක මෙන් කැදැල්ල හැරගිය කිරිල්ලියක මෙන් ගොදුරට ගිජු සිංහ දෙනක මෙන් දරුවන් හැරපියා අහර සොයා නික්මුණෙමි. යම්සේ එළුදෙන, මුවදෙන, මැදිරි සංඛ්‍යාත වූ කුඩුවෙන් මිදුණු පක්ෂියෙක් මෙන් තමන්ගේ පැටවා තබා ගොදුර සදහා යන්නීද එපරිද්දෙන්ම මම දරුවන් දමා ආහාර සෙවීමට ගියෙමි.

 ඒ මට ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත. පර්වතයෙහි ඇතුන්ගේ පියසටහන් ලෙසින් මේ ඔවුන් ඇවිදි පියසටහන් පෙනෙයි. අසපුව අබියස වැලි සෑයවල් විසිරී ඇත. ඔවුන්ගේ ක්‍රීඩා කරන ස්ථානයෙහි එහෙමෙහෙ දුවනලද අඩි පාරවල් පෙනෙයි. ගොඩනගන ලද වෙලිගොඩවල් විසිරී ගොස් ඇත. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.

තවරාගත් වැලිවලින් ගැවසීගත් දරුවෝ වෙනදාට මා සිසාරා දිවයෙති. ඒ දරුවන් අද දක්නට නැත.

පෙර යම් දරු කෙනෙක් වනයෙන් එන මා දුරදීම දැක පෙරමගට එත්ද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.

පෙර ඔවුන් අසපුවෙන් පෙරමගට අවුත් මව් එළුදෙන මව් මුවදෙන එනතෙක් බලාසිටිනා පැටවුන් මෙන් දුරසිට මා එනකම් බලා සිටී. අද ඒ දරුවන් පෙනෙන්නට නැත.

මේ ද ඔවුන්ගේ කෙළිබඩු වූ ගිලිහී වැටුණා වූ ඉදුණු ඵලය. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් අද දක්නට නැත.

මාගේ දෙතන් කිරියෙන් පිරී ඇත. ළය පැළෙනු වැනියි. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් අද මා නොදකියි.

එකෙක් මා හින සොයයි. අනිකා තනයෙහි එලබගනී. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදකිමි.

යම්දරු කෙනෙක් පස් වැකුණු සිරුරු ඇතිව සවස් වේලෙහි මාගේ ඇකයෙහි පෙරළෙත්ද ඒ දරුවන් අද නොදකිමි.

පෙර දවස යම් අසපුවක් කෙළි මඩලක් මෙන් මට වැටහුනේ වේද මේ ඒ අසපුවයි. අද ඒ දරුවන් නොදක්නා මට අසපුව භ්‍රමණය වෙන්නාක් මෙන් දැනේ. මේ කුමක්ද? අසපුව නිහඩව මෙන් මට වැටහෙයි. වන කවුඩෝද නො හඩති. මාගේ දරුවෝ මළාහු දෝ වෙත්දැයි? මේ කීම? නැතහොත් කවරෙකු විසින් ගෙනයන ලදද?

මෙසේ ඇය වැලපෙන්නී බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඩව සිටින බෝධිසත්ත්වයන්වහන්සේ දැක දරුවන්ද ඔහු ළග නැති බව දැක මෙසේ පවසමින් හඬා වැළපෙන්නටවුවා.

 

Ape Budu Hamuduruwo 132

අපේ බුදුහාමුදුරුවෝ 132

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 27

 මෙලෙස නින්දා පරිභව කරමින් තලමින් තම දරුවන් රැගෙන යනතෙක් බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට දරුවන් අරභයා මහා ශෝකයක් උපන්නා. හෘදයමාංශයම රත්වුණා. කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන්, රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වාභාවික ලෙස සිටින්නට අපොහොසත් වී කදුළු පිරි දෙනෙතින් පන්සලට පිවිස වේදනානෙන් හැඩුවා. ඒ හඬ වනය පුර රැවු පිළිරැවු දෙන්නට ඇති. ඒ සියලු කැප කිරීම් නිසාම ඔබද මාද ඇතුළු ප්‍රකෝටි ගණනක දෙවු මිනිස් බඹුන් මේ බියකරු සංසාරේ යම්තමට හෝ දුගතියක නොවැටී යන්නට තරම් වාසනාව ලැබුවා.

ක්‍ෂත්‍රිය වූ වෙස්සන්තර රජු දරුවන් දන් දී පසුව දරුවන් හඩන හඩ අසා පන්සලට පිවිස බැගෑපත්ව වැළපෙන්නට වුණා.

 ” මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාටනම් හඩා කියත්ද? සවස ආහාර ගන්න වේලෙහි කවරෙක් ඔවුන්ට බොජුන් දෙත්ද? මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාහට හඩා කියත්ද? සවස ආහාර ගන්න වේලෙහි මෑණියනි, බඩගිනියි අපට ආහාර දෙන්න කියා අද කාහට කියන්නහුද? පා ගමනින් යන පාවහන් නැති මාගේ නොදරුවෝ ගමනේදී මිරිකුණාහු ඉදිමුණු පයින් සැටයොදුන් මග කෙසේනම් යයිද? ඔවුන්ගේ විඩාහැරීමට කවරෙක් ඔවුන් අතට ගනිත්ද? මාගේ නිදොස් දරුවන්ට මා හමුවේදී පහර දෙන ඒ බමුණා කෙසේ නම් ලැජ්ජා නොවන්නේද? ඒ බමුණාට ලැජ්ජා නැත්තේමය. යමෙක් වනාහි මාගේ දාසියකගේ දාසයෙක් විද නැතහොත් අන් මෙහෙකරුවෙක් හෝ වීද ඕහට ද වඩා හීනතරයෙක් වීද ඕහට පවා ලැජ්ජා ඇති කවරෙක් පහර දෙන්නේද?

කෙමණෙහි බැදුණු මසකු මෙන් මා බලාසිටියදීම මාගේ ආදරණීය දරුවන්ට ආක්‍රෝෂ කරයි. පහරදෙයි. මෙසේ මහා බෝධිසත්ත්වයන්වහන්සේට දරුවන් පිළිබදව ආදරයෙන් සිතෙහි තර්ක විතර්ක ඇතිවුණා. මේ බමුණා මාගේ දරුවන්ට අතිශයින් වෙහෙසට පත්කරයි. බමුණාව ලුහුබැද ගොස් දිවිතොරකොට ඒ කුමාරවරුන් ගෙන එන්නමි. දරුවන්ට දෙන වධහිංසා මහා දුකකි. එය සුදුසු වුවක් නොවේ. මෙසේ දන් දී පසුතැවිලි වීම සත්පුරුෂයන්ගේ ස්වභාවය නොවෙයි සිතුවේය. යම්හෙයකින් දරුවෝ වෙහෙසෙත්ද ඒ වෙහෙස මට ඒකාන්තයෙන්ම බොහෝ දුක් ගෙන දෙන සුළුයි. ඉන්පසු බෝධිසත්ත්වයන්වහන්සේ පෙර බෝධිසත්ත්වයන්වහන්සේලාගේ ප්‍රවේණි ධර්මය, බෝධිසත්ත්වයන්වහන්සේලාගේ පරම්පරා ධර්මය සිහිපත් කරනු ලැබුවා.

දරුවන් දන්දී සොවින් වැලපෙන අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ සිත සදා ගැනීම.

 සියලුම බෝධිසත්ත්වයන්වහන්සේලා ධන පරිත්‍යාගයෙන්, අංග පරිත්‍යාගයෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, දරුවන් පරිත්‍යාගයෙන්, බිරිද පරිත්‍යාගයෙන් යන මේ මහා පරිත්‍යාග පස කඩකර බුදු වූ කෙනෙක් නම් නැත. මමද ඒ කොටසට අයත් වෙමි. මා විසින්ද දූදරුවන් දන් නොදී බුදුවන්නට නොහැකිය සිතා, කිම! වෙස්සන්තර නුඹ අනුන්ට දාසපිණිස දුන් දරුවන්ගේ දුක්බව නොදන්නෙහිද? යම්හෙයකින් ලුහුබැද ගොස් ඔහුව මරා දමන්නෙමියි අදහසක් ඇතිකර ගත්තෙහිද, දනක් දී පසුතැවිලි වීම නම් නුඹට නුසුදුසු දෙයකි. මෙසේ තමන්ට නින්දා කරගෙන ඉදින් ඔහු දරුවන් මරන්නේද දෙන ලද කාලයේ පටන් මට කිසිවක් නොඇසේවායි මෙසේ දැඩි ලෙසේ අධිෂ්ඨාන කරගෙන පන්සලින් නික්ම පන්සල්දොර අසල ගල්තලාවේ රන්පිළිමයක් මෙන් සිටියා. පුජකයාද කුමාරයන්ට බැටදෙමින් ගෙන ගියා.

ජාලිය කුමාරයා වැළපෙමින් මෙසේ පවසනු ලැබුවා. “මේ ලෝකයේ ඇතැම් මිනිස් කෙනෙක් යමක් අබියස සිට මව යම්සේ නැද්ද ඔහු ද නැතැයි සැබෑවක්ම කීහ. ක්‍රිෂ්ණජිනාවෙනි! ධනය සොයන ඉතා රෞද්‍ර බමුණාට පියරජ විසින් අපි දෙනු ලදුම්හ. එන්න මියම්හ. ගවයන්ට මෙන් අපට පහර දේද, ඔහු ලග අපට ජීවිතයෙන් වැඩක් නැත.”

නැවතද බමුණා වැටී දරුවන් පළායාම .

නොදරුවන් දෙදෙනාට මහත් දුක් දෙමින් බමුණා ගෙනයන අතරතුරේ නැවතද බමුණා එක් විෂම තැනක පැටලී වැටුනේය. ඔවුන්ගේ අත්වලින් බැමි ගැලවී ගියේය. ඔවුහු පහරදෙන ලද කුකුළන් මෙන් කම්පාවෙන් පලාගොස් එකවේශයෙන්ම පියා සමීපයට ආවාහ. බැදගෙන යනු ලබන ක්‍රිෂ්ණජිනා දෙකුමාරයෝ බමුණා අතින් මිදී ඒ ඒ තැන්හි දිවගියහ. ඔහුගෙන් මිදුණු කෙණෙහිම යම්පැත්තක පියා සිටීද, එහි දුවගෙන ගියාහ. බමුණා වේගයෙන් නැගිට දණ්ඩක් ගත ඇත්තේ කල්ප විනාශයෙන් නැගී ගින්නක් මෙන් ගුගුරමින් අවුත් නුඹලා පැනයන්නට දක්ෂයි කියා අත්බැද නැවත ගෙන ගියේය. ක්‍රිෂ්ණජිනා පියරජුහට මෙසේ කියා වැලපුනේය. පියාණෙනි මේ බමුණා තමාගේ ගෙයි උපන් දාසියකට මෙන් වැල්කොනින් පහරදෙයි. පියාණෙනි මේ බමුණෙක් නෙවෙයි. බමුණෝ දැහැමි වෙති. පියාණෙනි යමෙක් බමුණු වෙසින් අපව කන්නට හෝ පිසින්නට ගෙනයයි. පියාණෙනි යකකු විසින් අපව කන්නට ගෙනයන කල්හි කුමට උපේක්ෂාවෙන් බලා සිටින්නේ ඇයි? පියාණෙනි ඔබ සැමදා සුවෙන් සිටින්න.

පළා පැමිණි ක්‍රිෂ්ණජිනාගේ ශෝකාලාපය අසා දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු ලේ බවට පත්වීම.

සියල්ල ඉවසාවදාරමින් සිටි බෝසතාණන්වහ්න්සේට ලාබාල කුමරිය වැලපෙමින් කම්පා වෙමින් යන කල්හි මහා බලවත් ශෝකයක් යලි උපන්නා. හදවත උණුසුම් වුණා. ඒ ගලාගෙන පැමිණි මහා සුසුම්දාරාවට නාසය නොසෑහෙන බැවින් මුඛයෙන්ද උණුසුම් ආශ්වාස ප්‍රාශ්වාස පිටකලා. ඒ මහා පිය සෙනෙහසට ඒ මොහොතේ කදුළු ලේ බවට පත්වී නේත්‍රයන්ගෙන් ගලා ගියා. ඒ ලේකඳුලින් දෙකොපුල් සිරුර තෙත් වෙද්දී අප මහා බෝසතාණන් අප වෙනුවෙන් සිත හදාගැනීමට මෙලෙස සිතන්නට වුණා.

දුක ස්නේහයේ දෝෂයක් බව දකිමින් යලිත් සිත සාදාගැනීම.

” මේ බදුවූ දුකක් සෙනෙහසේ දෝෂයෙන්ම උපදී. වෙන කරුණක් නිසා නොවේ. සෙනෙහෙ නොකොට මා මධ්‍යස්ථ වියයුතුයි. එබදු වූ ශෝකය හුලක්.” මෙසේ සිතා තමන්ගේ ඤාණබලයෙන් දුක බැහැර කරගෙන ස්වභාවික ස්වභාවයෙන්ම ගල්රුවක් සේ සිටියා. ගිරිදොරටුව විවර නොවූ නිසාම කුමරිය වැළපෙමින් යන්නට ගියා. අපේ මේ කුඩා පතුල් රිදෙයි. මාර්ගයද දුරය. දුෂ්කරයි. හිරුද පහතින් එලබෙයි. මේ බමුණා අපව ඉක්මන් කරවයි.

කිසිවෙකුගේ හව්හරණක් නැති දරුවන් දෙවියන්ට ආයාචනය කිරීම.

අවසානයේ කිසිම හවූ හරණක් නැති වූ දරුවන් සියලුම දෙවියන්ට යදින්නට වුණා. “පර්වතයෙහි උපන් දෙවියන්ටද වනයෙහි උපන් දෙවියන්ටද යටපත්ව හඩගා යදිමු. මේ විල්වලට අරක්ගත් දෙවියන්ද හිස් මුදුනින් වදුම්හ. සුන්දරවූ තොටුපොළවල් ඇති නදියෙහි උපන් දෙවියන් වදුම්හ. තෘණ දෙවියනි, ලිය දෙවියනි ඖෂධීය දෙවියනි, ගිරි දෙවියනි වන දෙවියනි අම්මාට අප නිරෝගී බව කියන්න. මේ බමුණා අප මරමින් ගෙනයයි. භවත්නි ඉදින් අප ලුහුබැද කැමතිනම් වහා අප අනුව එන්න. අප මෑණියන් මද්‍රි දේවියට කියන්න. මේ අඩිපාර අප කරා එයි. ඍජුව අසපුවට යයි. ඒ මාර්ගයෙන්ම එන්න ඔවුන් වහා දකින්නට ඇත්නම් යෙහෙකැයි කියන්න. අහෝ විපතකි දළමඩුලු ඇත්තිය. වනමුල්ඵල ගෙනෙන්නිය. අප නැති හිස් අසපුව දැක ඇයට මහත් වූ දුකක්ම වන්නේය. යමෙක් අපට ගවයන් සේ බැටදෙමින් ගෙනයාද ඒ ඉතා රුදුරු ධනය සොයන බමුණා විසින් බදනා ලද අපගේ තොරතුරු යම් මවක් නොදනීද ඒ මව විසින් වේලාව ඉක්මවා බොහෝ අල පලාපල ලද්දේය. අලමුල් පළවැල නෙළාගෙන සවස වනයෙන් ආ මව දක්නට ලැබේනම් හොදය. අම්මා දදුයෙල්බෑ මීයෙන් අනන ලද පළවැල මේ බමුණාට දෙන්නීය. එකල්හි ඒ පළවැල අනුභව කළ එහෙයින්ම තෘප්තිමත් වූ මේ බමුණා අපව ඉක්මනින් නොගෙනියයන්නේය. අපගේ පාද ඉදිමී ඇත. මේ බමුණා අපව වෙලමින් ගෙනයයි” කියා මවට ආදරය කරන ඒ දරුවෝ ඒ මහා මාර්ගයේ වැළපුනහ. 

කුමාර කාණ්ඩය නිමි.