Ape Budu Hamuduruwo 141

අපේ බුදුහාමුදුරුවෝ 141

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 36

අපේ බුදුහාමුදුරුවෝ පළමු කොටස නොහොත් දුරේ නිධානයේ අවසානය. 

මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුණා. “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුණා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුණා. මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා.

ජිවිත අවදානමක් මැද්දේ පාරමිතා පුර්ණය සඳහා උදවු කල දරුවනට පුණ්‍යානුමෝදනා කිරීම.

සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව අතිශයින් සතුටු වෙමින් මෙසේ දරුවන්ට පවසන්නට වුණා,

දරුවෙනි, ජූජක බමුණා ඔබ රැගෙන ගියබව දැනගත් පසු ඔබ පතමින් නිරතුරුවම එක්වේලක් පමණක් වළදන්නට වුණෙමු. බිම නිදාගන්නට වුණෙමු. මෙසේ මට මෙය ඔබ වෙනුවෙන් ඔබ බලපොරෝතුවෙන් දිනපතා කෙරෙන වෘතයක් විය. දරුවෙනි, මාගේ ඒ වත සමාදානය අද තොප හා සමෘද්ධ විය. මව කෙරෙන්ද පියා කෙරෙන්ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. සදමහරජ එය රකීවා. මා විසිනිදු තොප පියා විසිනිදු කරන ලද යම්කිසි පිනක් ඇද්ද ඒ හැම පිනෙන් ඔබ දෙදෙනා අජර අමර වේවා. දරුවෝ මව නිසා හටගත් සොම්නස ද පියා නිසා හටගත් සොම්නසද පාලනය කෙරේත්වා. මව්පියන් සතු පින ඔහුව පාලනය කෙරේවායි හඬනගා කිවා.

වෙසතුරු කුමරුගේ මව මද්‍රි දේවියට යවනු ලැබූ ආභරණ.

ඉන්පසු වෙසතුරු කුමරුගේ මව ඵුසති දේවියද “මෙතැන් පටන් මාගේ ලේලිය මේ වස්ත්‍රම හදීවා. මේ ආභරණ ද පලදීවයි” කරඩුවක දමා ලබා දුන්නා. යම් වස්ත්‍රයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එයට නිසි කපුපිළි ද කිහිරිපිළිද කොමුපිළිද කොදුම්බර රට නිපන් පිළිද නැන්දා වූ ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. ඉක්බිති යම් අලංකාරයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද, එබදු රන්මුවා ග්‍රීවාභරණද, අගුපලදනාද, මිණිමෙවුල් ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යැවුවා. ඉක්බිති යම් ආභරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එබදු රන්මුවා ග්‍රීවාභරණද මිණිමුවා ග්‍රීවාභරණද ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. යම් ආභරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද එබදු රන් බුබුළු ද නන්පැහැ මැණිකෙන් කරන ලද තිලකාභරණ ද ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. යම් පළදනාවකින් මද්‍රිදේවි ශෝභමාන වූද එබදු රන්කසුකම් කළ තනපටද, රන් වොරසුද, මෙවුල්දම්ද, පාදාභරණ ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. හුයෙන් ඇමුණු ආභරණ ද හුයක් නැති ආභරණද පරීක්ෂාවක් කර බලා සැරසී සිටි උතුම් රූ දැරූ රාජපුත්‍රී නදුන් වනයේ දෙවගනක් මෙන් ශෝහමාන ව බබළන්නට වුණා. ස්නානය කොට පවිත්‍ර ඇදුම් ඇදගත් සියළු ආභරණයන්ගෙන් සෑදුනු රජ දු තව්තිසා වැසි දිව්‍ය අප්සරාවක් මෙන් ශෝභමාන වුවා. 

එදින මද්‍රී දේවියගේ රූප සෝභාව තවදුරටත් අටුවාවෙහි මෙලෙස විස්තර කරනවා.

බිඹුපලවන් ලවනින් යුතු රාජපුත්‍රිය චිත්‍රලතා වනයේ හටගත් සුළගින් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභමාන විය. ඉදුණු නුගපල බිඹුපලවන්ලවන් ඇති ඒ රජ දු උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිදුරු ලිහිණියක මෙන් ශෝභමාන විය. ස්වර්ණමය ගෙල පලදනාවද අගුපලදනාවද මිණිමෙවුලද ස්වර්ණමය වූ වනයෙහි ඉදිගෙඩ්වලට සමාන වූ ගෙළ පළදනාව තවත් මාණික්‍යමය ගෙළ පළදනාවක් නළලත බදින බුබුළුද තිලකාභරණද නොයෙක් වර්ණ ඇති මාණික්‍යමය ආභරණ විශේෂ දෙකක් රන් හා රිදීමය මෙවුල පා පළදනාවන් නුලෙන් අමුණු හා නුලෙන් අමුණු නැති ආභරණ, මේ නූලෙහි අමුණන ලද හා නූලෙහි නො අමුණන ලද ආභරණ ඒ ඒ හිස්තැන් බලා සරසා සිටියා වූ උත්තම රූප ඇති මද්‍රිය නන්දන වනයේ දෙව්ලියක් මෙන් බැබළින. චිත්‍රලතා වනයෙහි හටගත් රන්කෙසෙල් ගසක් මෙන් ඒ දවස ඇය බැබලෙමින් සිටියාය. බිඹුපල හා සමාන වූ තොල්වලින් යුක්ත යම්සේ මිනිස් සිරුරෙන් හටගත් මානුසිනී නම් වූ විසිතුරු පියාපත් ඇතිව අහසෙහි සැරිසරන්නේ පියාපත් දිගුකර යන්නී ඉතා අලංකාරය. මෙසේ ඇය රතු පැහැයෙන් නුගගෙඩි හා බිඹුපල හා සමාන වූ තොල්වලින් බබලන්නීය. ඇයටද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන හස්තියකු විය. ඒ මද්‍රි දේවිය තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන ඇතුපිට නැගුණි. ඉක්බිත ඔවුන් දෙදෙනාම මහත් වූ යසසින් කදවුරට ගියහ.

වෙසතුරු රජතුමා ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත යලි රැගෙනයාමට රැස්වුණ පරිවාර සේනාව. 

සංජය රජු මසක් පමණ සැණකෙළි පවත්වා සේනාපතියා කැදවා දරුව, අප බොහෝ කලක් වනයෙහි විසුවෙමු. “කිම, මාගේ පුත්‍රයාගේ ගමන්මග සරසන ලද්දේදැයි” අසා “එසේය දේවයන් වහන්ස,ඔබවහන්සේලාට ගමන් ඇරඹීමට කාලයයි” කී කල්හි වෙස්සන්තර රජුට දන්වා සේනාව ගෙන පිටත් වුණා. වංකගිරියේ සිට ජයතුරා නුවර දක්වා වූ මග මනාලෙස අලංකාර කරන ලද සැටයොදුන් මගට මහත් පිරිවර සමග බෝධිසත්ත්වයන්වහන්සේ පිළිපන්නා. වෙස්සන්තර රජු යම්තැනක විසීද එතැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මල් අතුරන ලද රාජමාර්ගය පිළියෙළ කරන ලැබුවා. ඉක්බිති සිවිරට යන්නා වූ වෙස්සන්තර රජු නික්මුණු කල්හි යහපත් දර්ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජ නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝ ද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්මුණු කල්හි ඇත්රුවෝද අසරුවෝද රථාචාරීහුද පාබල සේනාද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝද නියම්ගම් වැසියෝද රැස්වුණා . සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පලගදරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පොරවාගත් අය රජු පෙරටුකොට පිළිපන්නා.(වෙසක් සැණකෙළි කාලයේ මෙන් අලංකාර කරන ලදී ) 

වෙසතුරු රජුගේ තේජසින් සහ මෛත්‍රියෙන් සන්සුන්වූ වනසතුන් එකට රැස්ව කම්පාවීම.

සංජය රජු මෙලෙස මාසයක් පමණ පර්වත ක්‍රීඩා, වන ක්‍රීඩා පැවැත්වුවා. අප මහා බෝධිසත්ත්වයන්වහන්සේගේ තේජසින් විශාල වූ ආරණ්‍යයේ කිසිම නපුරු සතෙක් හෝ පක්‍ෂියෙක් හෝ කිසිවකුටත් පීඩා කලේ නැහැ. ඒ සෑම වනයකම යම් පමණ සැඩ සිව්පාවෝ වුහුද ඔවුන් බෝධිසත්ත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන්ද නොපෙලූවා. ඒ මුළු වනයෙහිම යම් පමණ ලිහිණියෝ වූවාහු ද ඔවුහු බෝධිසත්ත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන් නොපෙලූවා. සිවිරට වර්ධනය කරන වෙස්සන්තර රජු එම වනයෙන් නික්ම ගියකල්හි ඒ මුළු වනයෙහි යම් පමණ සිව්පාවෝ වූවාහුද ඔවුහු එක් තැනක රැස්වුණා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්ම ගියකල්හි ඒ හැම වනයෙහි යම් පමණ සියොතුන් වූවාහුද ඔවුහු සියල්ලෝමත් එක්රැස් වුණා. ඒ සැම ඉන්පසු මියුරු ලෙස කුජනය කලේ නැහැ. ඔවුන් එක්රැස්වී මෙතැන් පටන් අපට ඔවුනොවුන් අතර ලැජ්ජාවක් හෝ සංවරයක් හෝ නොවේ යැයි දොම්නස් වුණා. බෝධිසත්ත්වයන්වහන්සේගේ වෙන්වීමේ වියෝදුකින් මිහිරි නදින් පෙරසේ නාද නොකළා.

වෙස්සන්තර රජු ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත රැගෙන යාම සඳහා ආරක්ෂාව ලබාදුන් සැටදහසක් යෝධයෝ.

කෙසෙල් පුන්කලස් ධජ පතාක ආදියෙන් විසිතුරු වූ ලදපස්මල් විසුරුවා යම්තැනක වංකගිරියේ වෙස්සන්තර රජ වාසය කළේද එතැන් පටන් ජයතුරා නුවර තෙක් අලංකාර කරනු ලැබුවා. හිසෙහි පළදනා ඇති යෝධයෝ ඊතල පහරවල් වලක්වන සම් දරණ විසිතුරු දැල්වලින් මනාව යුධ ඇදුම්වලින් සැරසී මෙබදු මත්ඇතුන්ද එනකල්හි නොනවතින සුර යෝධයෝ වෙස්සන්තර රජු පෙරටුකොට ගියා. රජු සැටයොදුන් මග දෙමසකින් ගෙවා ජයතුරා නගරයට සැපත් වුයේ මනාලෙස අලංකාර කර පිළියෙළ කරන ලද නගරයට පිවිස ප්‍රසාදයට ගොඩවුණා. ආහාරපානවලින්ද ගීනැටුම්වලින්ද යන දෙකින් යුක්ත වූ බොහෝ පවුරු හා තොරණ් ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔවුහු පිවිසිය. සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපද වැසියෝද නියම්ගම් වැසියෝද බොහෝ ලෙස සතුටුවුණා. මහජනයාට ධනය දෙන්නාවූ වෙස්සන්තර රජු සිය නුවරට පැමිණි කල්හි පිළිහිස සිසෑරීම් පැවැත්වුණා. සතුටු බෙර හැසිරවූවා. රජුගේ අණ යැයි නගරයෙහි බෙර හැසිරුවුවා. සියළු සතුන් බන්ධනයෙන් මිදිය යුතු යැයි ඝෝෂා කළා. යටත් පිරිසෙන් බළලුන් ඇතුළුව සියළු සතුන් බෝධිසත්ත්වයන්වහන්සේ අණින් නිදහස් කරවුණා. වෙසතුරු රජු නගරයට පිවිසි දිනයේම අළුයම් වේලෙහි මෙලෙස සිතන්නට වුණා. රෑ පහන් වූ කල්හි මා පැමිණි බව අසා යම් යාචක කෙනෙක් පැමිණෙත්ද ඔවුන්ට මම කුමක් දෙන්නේම්ද? ඒ මොහොතේම ශක්‍ර දෙවිදුගේ ආසනය උණුසුම් වුණා. සක් දෙවිදුන් විසින් රජගෙදරට බටහිර හා පෙරදිග නිවාසවල තුනටිය තෙක් ප්‍රමාණයේ පිරෙන්නට තද සත්රුවන් වර්ෂාවක් වැස්සවනු ලැබුවා. එයින් මුළු නගරයෙහිම දනක් පමණ සත්රුවනීන් වැසී ගියා. පසුදා බෝධිසත්ත්වයන්වහන්සේ ඒ ඒ නිවෙස්වලට බටහිරින් හා පෙරදිගින් වැසි වසින ලද ධනය ඔවූන්ටම වේවායි ඔවුන්ට දී ඉතිරිය ගෙන්වාගෙන තමන්ගේ වාසස්ථානයේ ධනයත් සමග භාණ්ඩාගාරවල විසිරුවා දන්දීම ආරම්භ කරනු ලැබුවා. 

මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෘන් වහන්සේ මෙසේ වදාරනු ලැබුවා.

සිවිරට වසන වෙසතුරු රජු නුවරට පිවිසි කල්හි එකෙණෙහිම පැමිණි වලාකුළු ස්වර්ණමය වැසි වස්සුවා. ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති පින්වත් අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ බොහෝ සේ දන්දී කය බිදීමෙන් මරණින් පසු එයින් චුතවුයේ දෙවැනි චිත්තයෙන් තුසිත පුරයෙහි උපන්නා.

නගර කාණ්ඩය නිමි

අප මහා බුදුපියාණන් විසින් ජාතක කතාවෙහි එන චරිත ගැලපීම. 

සම්මා සම්බුදු රජාණන්වහන්සේ මේ ගාථා දහසකින් සමන්විත මහා වෙස්සන්තර ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව මෙලෙස ගලපා වදාළ සේක. එකල්හි බමුණා වුයේ දෙව්දත්ය. අමත්තතාප වුයේ චිංචිමානවිකාවය. චේත පුත්‍රයා වුයේ චන්න ඇමතිය. අච්චුත තාපසයා වුයේ සැරියුත් තෙරුන් වහන්සේය.ශක්‍රයා වුයේ අනුරුද්ධ තෙරුන්ය.සංජය රජුනම් සුද්ධෝදන මහරජතුමාය.ඵුසති දේවිය නම් මහාමායා දේවියයි.මද්‍රි දේවිය නම් රාහුල මාතාවය.ජාලිය කුමරුනම් රාහුලය. ක්‍රිෂ්ණජිනා නම් උප්පලවණ්ණාය.ඉතිරි පිරිස බුදුපිරිසය.වෙස්සන්තර රජුනම් සම්මා සම්බුදු රජාණන්වහන්සේයි.

මහා වෙස්සන්තර ජාතකය නිමි

 
 
 

Ape Budu Hamuduruwo 140

අපේ බුදුහාමුදුරුවෝ 140

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 35

මහජනයා පුදුමයට පත්වුණා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුණා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණා. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුණා. මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුණා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ලග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි, ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.

වෙසතුරු කුමරු ඔටුන්න ප්‍රතික්ෂේප කිරීම. 

මේ සියල්ල ඉවසීමෙන් අසාසිටි අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ තම පියරජු සමග කථා කරමින් මෙසේ පැවසුවා. “ඔබද දනව්වැසියෝද නියම්ගම් වැසියෝද එක්ව දැහැමින් රජකෙරූ මා රටින් නෙරපවනු ලැබුවා.” උන්වහන්සේ කිවේ එපමණ වූවත් කිවයුතු බොහෝ කරුණු එහි සඳහන්ව තිබ්බා. ඉන්පසු රජතුමා පුතණුවන්ගෙන් සමාව අයදිමින් ” පුත, අප විසින් අකටයුත්තක් කරන ලදී. මා විසින් රටෙහි අභිවෘද්ධිය නසන ලදී. මම සිවිරට වැසියන්ගේ වචනයෙන් ඔබව රටින් නෙරපූයෙමි.” ඉන්පසු තමාගේ දුක නැතිකර ගැනීම පිණිස ඉල්ලමින් මෙසේ කීවා. පුතණුවනි, යම්කිසි අයුරකින් තමා ජිවිතයද පුදා පියා හට උපන් දුක්ද මවට හා සොයුරියට උපන් දුක් ද පහකරන්නේද, එලෙසම දරුවකු විසින් ජීවිතය හැරදමා හෝ මව්පියන්ගේ ශෝකය දුක නැති කළ යුතුය. දරුව, එය සිතෙහි තබා තවුස්වෙස් අත්හැර රජවෙස් ගන්නැයි” කිවේ බැගෑපත්ව.

රජතුමා ඇතුළු සියලු රටවැසියන්ගේ ආරාධනයෙන් පසු යලිදු රජකම බාරගැනීම.

බෝධිසත්ත්වයන්වහන්සේ රාජ්‍ය කරනු කැමැත්තේ නමුත් මෙපමණක්ම නොකියූ දෙයෙහි සැලකිල්ලක් නැතැයි කීවා. ඉන්පසු රජතුමා මහා බෝධිසත්ත්වයන්වහන්සේට ආරාධනා කරනු ලැබුවා. බෝධිසත්ත්වයන්වහන්සේත් එය පිළිගනුලබුවා. ඉන්පසු ඔහුගේ ඉවසීම දැනගෙන සහජාත හැටදහසක් ඇමතිවරු මහරජතුමනි, දැන් ජලස්නානයට කාලයයි. රජස් දැලි ඉවත්කරන්න යැයි පවසනු ලැබුවා. බෝධිසත්ත්වයන්වහන්සේ ටික වේලාවක් ඉවසන්න යැයි කියා පන්සලට පිවිස තවුස් උපකරණ බැහැරකොට ඒවා තැන්පත් කර පන්සලින් නික්ම මේ මා විසින් මාස හතක් මහණදම් පිරූ තැන, පාරමිතා මුදුන්පත් කර දන් දී මහපොළොව කම්පා කළ තැන කියා පන්සලට තුන්වරක් පැදකුණු කර වැද, පසග පිහිටුවා වැද සිටියා. ඉන්පසු වෙසතුරු රජු රජස්කදැල් සෝදා, කපුවෝ හිසකෙස් රවුල් කැපීම් ආදියද කරනු ලැබුවා. සියළු ආභරණින් අලංකාර වූ ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් බබලන වෙසතුරු රජුව රාජ්‍යයෙන් අභිෂේක කරනු ලැබුවා.

වංකගිරියේ පැවැත්වූ සැණකෙළිය.

එතැන්පටන් ඔහුගේ යසස් මහත් විය. බැලු බැලු තැන කම්පා වෙයි. ස්තෝත්‍ර ගායකයෝ මංගල ගී ගායනා ගැයුවා. සියළු තූර්ය භාණ්ඩ ඔසවා ගත්තා. මහා සමුද්‍රය තුළ හෙණ ගිගුරුම් මෙන් නාද වෙන්නට පටන්ගත්තා. මේ සියලු කරදර වලටද පාරමිතා පූර්ණයටද එකසේ හේතුවූ ඒ දන්දුන් හස්ති රත්නය සුදානම් කර සමීපයට ගෙන ආවා. වෙසතුරු රජු උතුම් කඩුව පැළදගෙන තමන් උපන් දිනයේම උපන් ඒ සතුරන් නසන මංගල හස්තියා පිටට නැග්ගා. එවිටම සියලු අලංකාරයන්ගෙන් සැරසුණු සහජාත හැටදහසක් ඇමතියෝ ඔහු පිරිවරා ගත්තා. ඉක්බිති වෙසතුරු රජ සමග උපන් මනා දැකුම් ඇති සැටදහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරාගත්තා. සිවි කන්‍යාවෝ රැස්ව මද්‍රි දේවිය නැහැවුවා. ඉන්පසු සිවි රජුගේ බිසෝවරුන් රැස්වී ඇයව නැවතවරක් සුවද පැනින් නාවනු ලැබුවා. මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුණා. “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුණා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුණා. මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා. මීට පෙර තමන් වනයෙහි වාසය කිරීම් නැමැති කිලිටි සිහිකර වංකගිරි පර්වතය තුළ වෙස්සන්තර රජුගේ ආඥාව යැයි වැල් ඔතන ලද ආනන්දය භේරිය හසුරුවා සැණකෙළි පැවැත්වුහ. සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව තව තවත් අතිශයින් සතුටු වුණා.

 
 

Ape Budu Hamuduruwo 139

අපේ බුදුහාමුදුරුවෝ 139

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 34

අජානීය අශ්වයෝ හේසරාව කරනු ලැබුවා. නිම්වළලු හඩ මතුවුණා. දුවිල්ලෙන් අහස වැසුනා. චතුරංගනී සේනාව ගමන්හි යෙදුනා. නිල් තණබිම් හරහා ගමනෙහි යෙදුණු ඒ සේනාව විශාල වුණා. ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසුණා. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සැටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක් ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.

අසපුව අසලට පැමිණි මහා සේනාව දැක වෙසතුරු කුමරු බියවීම.

ජාලිය කුමාරයා මුචලින්ද විල ඉවුරේ කදවුරු බදවා දහහතර දහසක් රථ ආවා වූ මාර්ගයට අභිමුඛව තබ්බවා ඒ ඒ ප්‍රදේශවල සිංහ,ව්‍යාඝ්‍ර, වැනි බිහිසුණු සතුන් ගැවසීගත් මාර්ගයන්හි ආරක්‍ෂාව යොදවනු ලැබුවා. ඇත් ආදීන්ගේ ශබ්දය මහත්විය. බෝධිසත්ත්වයන්වහන්සේ එම ශබ්ද අසා” කිම මාගේ සතුරෝ පියා ඝාතනය කොට මා සොයා ආවාහු” යැයි සිතා මද්‍රි දේවියද ගෙන පර්වතයට නැග සේනාව දෙස බලා මෙසේ පවසනු ලැබුවා.

” මද්‍රි දේවියනි,වනයෙහි යම්බදු මහා හඩක් ඇද්ද එය පිරික්සව. අජානේය අශ්වයෝ හේසරාව කරති. රථයන්හි නැගූ දද අග පෙනෙයි. ඒකාන්තයෙන් මොවුන් වනාහි වනයෙහි මුවසමූහයා වරදැලින් හාත්පස බැද වළට හෙළා එකෙණෙහි මරව, තලව ආදී විවිධාකාරයෙන් නපුරු හඩ නගමින් ඔවුනතුරෙහි හොද හොද මුවන් තියුණු ආයුධවලින් යම්සේ සැණින් මරාදමත්ද එසෙයින් අපවද නසතියි සිතමි. අපි නිදොස් වෙමු. රටින් නෙරපන ලදුව වනයෙහි සිරකරනු ලැබුවාහු සතුරන් අතට පත්වූයෙමි. දුර්වලයන් මරණ සැටි බලව. තමන්ගේ සේනාව කියා හෝ පරසේනාව කියා හෝ කල්පනා කරයි. මද්‍රිය, යම්සේ වනයෙහි වැද්දෝ මෘග සමුහයාව වරදැල් දමා හෝ වළවල්වලට හෙළා හෝ එවෙලේම නසන්නාහුය. දුෂ්ට මෘගයන් කියමින් නිග්‍රහ කරමින් තියුණු මෘගයන් මරණ ආයුධවලින් ඒ මුවන්ගෙන් හොද හොද මුවන් නසති. මොවුන් වනාහි ඒකාන්තයෙන් අපව අසභ්‍ය වචනවලින් නිග්‍රහ කරමින් තියුණු ආයුධවලින් නසත්. අපි ද නිවැරදිකාරයෝ වෙමු. රටින් නෙරපන ලද්දාහු වනයෙහි වසමු. මෙසේ මරණ සැටි බලව කියා තැතිගෙන පවසන්නට වුණා.

මද්‍රී දේවිය වෙසතුරු කුමරුගේ බිය දුරු කිරීම.

මද්‍රි දේවිය රජුගේ වචනය අසා සේනාව දෙස බලා එය තමන්ගේ සේනාව විය යුතුයැයි වෙසතුරු රජුන් අස්වැස්සුවේ නියම එඩිතර බිරිඳක් ලෙසින්.

“තණහුලෙක ගින්න ගැඹුරු දිය ඇති මුහුද මැඩිලිය නොහැකි සෙයින් සතුරන්හට ඔබව මැඩිලිය හැකි නොවෙත්. මේ බලකායෙන් සෙතක් වන්නේය. යම්සේ තණ ගිණිහුල ආදියෙන් ගෙනෙන ගින්න මහා සාගර සංඛ්‍යාත විශාල ජලකදක් මැඩපවත්වන්නට අසමත් වෙයි. රත් කරන්නට නොහැකි වෙයි. එපරිද්දෙන් ඔබව අභිභවනය නොකරත්. ශක්‍රයා විසින් ඔබට වරයක් දී මහරජ නොබෝකලකින් ඔබගේ පියා එන්නේයැයි කියන ලදී. මේ බලකායෙන් අපට යහපතක් වන්නේය.බිය නොවන්න.

ඒ මහා වීර්යවන්ත පින්වත් බිරිඳගේ වදන් ඇසු බෝධිසත්ත්වයන්වහන්සේ ශෝකය දුරුකොට ඇය සමග පර්වතයෙන් බැස, ” අපි පැවිද්දෝ වෙමු. අපට කවරෙක් කුමක් කරන්නේදැයි” සිත දැඩි කොටගෙන පන්සල් දොරටුවට පිවිසියා.

පළමුව පියරජ පමණක් වෙසතුරු කුමරු අභියසට පැමිණීම.

ඒ මොහොතේ වෙසතුරු කුමුරුගේ අසපුව ආසන්නයටම පැමිණි සිටි සංජය රජු ඵුසති දේවියට අමතා ” සොදුර, අපි සියළු දෙනාම එකට ගියකල්හි ශෝකය මහත් වන්නේය. මම පළමුව යන්නෙමි. එයින් ශෝකය නැතිකොට හුන්නේ යැයි සළකා නුඹ මහත් පිරිවරින් එන්නයැයි” කියා රථය නතරකොට පැමිණ මගට අභිමුඛව ඒ ඒ තැන්හි ආරක්ෂාව යොදා අලංකාර කරන ලද ඇතාපිට නැගී එයින් බැස පුතාගේ සමීපයට යන්නට පිටත්වුණා. පියමහරජ රිය නවත්වා සෙනෙවියන්ට නියෝග කොට හුදෙකලාව වනයේ වාසය කරන පුතු වෙත එළඹියා. ඇත්කදින් බැස ඒකංස කළ උතුරුසළු ඇතියේ ජනයා විසින් කරන ලද ඇදිලි ඇතියේ ඇමතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට පැමිණියා. එසද මහරජ ඒ අසපුවෙහි පන්සල් දොර හුන් රම්‍ය වූ ස්වභාව ඇති එකග සිත් ඇති ධාන්‍ය කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරු දුටුවා. වෙසතුරු රජු ද මද්‍රි දේවිය ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැක පෙරමගට ගොස් ඔහුට වැන්දා. දේවයිනි මම ඔබ ලේලීය වන මද්‍රි වෙමියි කියා මද්‍රි බිසව මාමණ්ඩිගේ පා යුගල හිස තබා වැන්දා. පියරජු එහිදී ඇයව වැළදගෙන සෙනෙහසින් අත්ලෙන් පිට පිරිමැද්දා. ඉන්පසු දුපුතුන් දෙදෙනාම ඒ ශක්‍රයා විසින් දෙන ලද අසපුවෙහි වැළදගෙන හදවතේ හොවා ගෙන සිඹ මොළොක් අතින් ඔවුන්ගේ පිට පිරිමදින්නට වුණේ මහත්වූ සෙනෙහසින්.

ඉන්පසු හඩා වැළපී ශෝකය තුනිවු කල්හි රජුඔවුන් සමග පිළිසදර කථා කරමින් මෙසේ කීවා. “පුතණුවෙනි, කිම තොප සුවසේද? පුතණුවනි කිම දුක් නැද්ද? කිම වනමුල් පලයෙන් යැපෙව්ද? කිම අල හා පළවැල බොහෝ ඇද්ද? කිම මැසිමදුරුවෝ ද සර්පයෝද අල්ප වෙත්ද? චණ්ඩ මෘගයන්ගෙන් යුතු වනයෙහි පීඩා නැද්ද? පියාගේ වචනය අසා බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ කිවා. දේවයිනි,අපගේ දිවිපැවත්මක් ඇත. එයද යම්තම් වනුයේය. සිගාකෑමෙන් පවත්වන අපගේ ජීවිතය වනමුල් පලවැලින් දිවිපැවැත්ම වෙයි. දුකින්ම දිවි පැවැත්වෙමු. මහරජතුමනි සම්පත් නැති දුප්පත් දිළිදු පුරුෂයා වනාහි එම දිළිදු බව විසින්ම දමනය කරයි. දක්‍ෂ රථාචාර්යයා අශ්වයකු දමනය කරන්නාක් මෙනි. දුප්පත්කම විසින්ම අපව දමනය කරයි. මහරජතුමනි, රටින් නෙරපන ලදුව වනයෙහි වසන ජීවශෝකී වූ අපගේ මව්පියන් නොදැක්මෙන් ශරීරයේ මස්ද කෘශ විය. පහනොවූ ශෝක ඇති අපට කුමන නම් සැපයෙක්ද? මෙසේද කියා නැවත දරුවන්ගේ තොරතුරු අසමින් මෙසේ කීවා.

ජාලිය ක්‍රිෂ්ණජිනා ජූජක බමුණාගෙන් නිදහස් කරගත් බව පැවසීම.

ඒ ජාලිය ,ක්‍රිෂ්ණජිනා දෙදෙරුවන් සිවිමහ රජුගේ දායාද නොලත් සම්පුර්ණ නොවූ මනදොළ ඇතිව ඉක්මන් වූ රුදුරු බමුණකු යටතට පත්විය. ඒ බමුණා ගවයන්ට පහරදෙන්නාක් මෙන් ඔවුන්ට පහරදෙයි. ඉදින් ඒ දරුවන් තතු දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ දනිව් නම් මේ රජදූට කියව. සර්පයකු විසින් දෂ්ට කරන ලද මානවකයන් හට බෙහෙත් කරන්නාක් මෙන් වහා අපට කියන්න.

එවිට මහරජ, ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා බමුණාට ධනය දී නිදහස්කොට ගන්නා ලදහ. පුත,බිය නොවන්න.සැනසෙන්න. ධනය ගෙවා දරුවන් ගත්තේය. ඒ අසා බෝධිසත්ත්වයන්වහන්සේ ලබන ලද අස්වැසීම් මෙතෙකැයි කියන්නට බැහැ. එය අසා සතුටුව නැවතත් පියා සමග පිළිසදර කථාවේ යෙදුනා.

කියන්න, පියාණෙනි, සුවසේද? කිම පියාණෙනි දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් කදුළින් නොපිරිහේද? පුත්‍ර ශෝකයෙන් අඩන්නියගේ ඇස් නොපිරිහෙයි.රජු කීවා. පුතණුවනි,මට රෝග නැත, තවද පුතණුවනි, මට දුක් නැත, තවද පුතණුවනි තොප මවගේ ඇස් නොපිරිහේ. එවිට වෙසතුරු රජු, කිම තොපගේ ධූර දරන්නෝ සුවසේද? කිම වාහන උසුලාද? කිම ජනපද සමෘද්ධ ද? වැසිද නොසිදේද? . මෙසේ කථාසල්ලාපයේ යෙදෙන අතරතුර ඒ දෙදෙනා අතර දෙබස මෙසේ යනවිට ඵුසති දේවියට තව දුරටත් සැඟවී සිටිය නොහැකි වුණා. දේවිය දැන් ශෝකය තුනීකොට ඇතැයි සිතමින් මහා පිරිවර සමග පුතා සමීපයට පැමිණියා. .මව්රජ දුවමින් පාවහන් නැතිව පා ගමනින් පැමිණෙන බව පර්වත දොරටුව සිටි වෙසතුරු යුවළ දුටුවා. පුතු කෙරෙහි ගිජු වූ ඒ මව එන්නී දැක වෙස්සන්තර රජු ද මද්‍රි දේවියද පෙරගමන්කොට ඇයට වඳිනු ලැබුවා.

ජාලිය ක්‍රිෂ්ණජිනා, වෙසතුරු යුවළ, පියරජ යුවළ සහ හැටදහසක් අමාත්‍ය මණ්ඩලය සිහි නැතිව වැටීම.

“ආර්යාවෙනි,මම තොපගේ ලේලිය මද්‍රි වෙමි. තොපගේ පා යුවළ වදිමියි”. මද්‍රි දේවියද නැන්දණියගේ පා යුගවල හිසතබා වැන්දා. ඔවුන් ඵුසති දේවියට වැදසිටි අතරතුර කුමාර කුමරියන් පිරිවර සමගින් පැමිණියා. මද්‍රිය දේවියද ඔවුන් එනමග බලමින්ම සිටියා. දුර සිට සුවසේ ආ දරුවෝ මද්‍රි දේවිය දැක මුවදෙන කරා දුව එන පැටියන් මෙන් හඩමින් පෙරට දුව ආවා.

මද්‍රි දේවිය දුරින් සුවසේ ආ දරුවන් දැක භූතාවේශ වූවකු මෙන් වෙව්ලමින් මහත් හඩින් හඩ හඩා කම්පා වී සිහි නැති වී බිම පතිත වුණා. කුමාරවරුද වේගයෙන් අවුත් සිහි නැතිව මව් මත්තේම වැටුනා. ඒ මොහොතේ මහත් වූ දරු සෙනෙහෙන් ලය පිරී තිබු ඇගේ දෙතනයෙන් කිරි ධාරා දෙකක් නික්ම ඔවුන්ගේ මුඛයටම පතිතවුණේ තවත් ආශ්චර්යයක් ලෙසින්. එසේ ඒ සා වූ අස්වැසිල්ලක් නොවන්නට දරුවෝ දෙදෙනා හදවත් වියළි නැසිය හැකි බවයි සඳහන් වන්නේ. වෙසතුරු රජුත් ප්‍රිය පුතුන් දැක ශෝකය දරාගන්නට නොහැකිව සිහි නැතිව එහිම වැටුණා. මව්පියවරුද සිහි නැතිව එහිම වැටුණා . 

එසේම සහජාත වූ හැටදහසක් ඇමැතිවරු ද ඒ ශෝකී දර්ශනය බලන්නවුන්ගෙන් එක් අයෙක්වත් එය දරාගන්නට නොහැකිවුණා.

මහපොළව කම්පාවීම සහ ශක්‍ර දෙවිඳු විසින් පොකුරු වැසි වැස්සවීම. 

මුළු අසපු පෙදෙසම යුගාන්ත වාතයෙන් කම්පා වූ සල්වනයක් මෙන් හඬ නැගුවා. ඒ මොහොතේ පර්වතයෝද හඩ නැගුවා. පොළොව කම්පා වුණා. මහා සමුද්‍රය කැළබිණ. සිනෙරු පර්වතය නැමී ගියා. කාමාවචර දිව්‍යතල සය දක්වාම මෙම කෝලාහලය පැතිර ගියා. මෙලෙස ක්‍ෂත්‍රියයන් සය දෙනාම සිය පිරිස් සමග සිහි නැතිව වැටුණා. ඔවුනතුරෙන් කිසිවෙක් නැගිට කිසිවකුගේ ශරීරයකට ජලය ස්වල්පයක් ඉසින්නට සමර්ථ නැතැයි සිතු සක් දෙවිදුන් පොකුරු වැස්සක් වස්වා පියවිසිහිය ගෙනදෙනුයයි සිතා ක්‍ෂත්‍රිය සමාගමයෙහි මතට පොකුරු වැස්සක් වැස්සවුවා. පොකුරු වැස්සේ විශේෂත්වය යමෙක් එහි තෙමනු කැමති වෙත්ද ඔවුහු තෙමෙනවා. යමෙක් එහි තෙමෙනු අකමැති නම් ඒ අය මතට ජලබිදුවක් වත් නොවැටෙයි. නෙලුම්පතකට වැටුණු ජලය මෙන් පෙරලී යයි. මෙසේ එය පොකුරු වනයෙහි වට වැස්සක් මෙන් විය. ක්‍ෂත්‍රියයෝ සයදෙනා හට සිහිය ආවේ ඒ මොහොතේ. ඤාති සමාගම මතටත් පොකුරු වැසි වස්සා. මහපොළොව නැවත නැවතත් කම්පාවුණා.

වෙසතුරු කුමරු අභිෂේක කරනු ලැබීම.

මහජනයා පුදුමයට පත්වුණා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුණා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණා. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුණා. මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුණා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ළග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි,ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදෙනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.

ක්‍ෂත්‍රියයන් සයදෙනා පිළිබද කාණ්ඩය නිමි 

 
 

Ape Budu Hamuduruwo 138

අපේ බුදුහාමුදුරුවෝ 138


මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 33

රජු විසින් ජූජක බමුණාට සත්මහල් ප්‍රසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුනා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.

ජාලිය කුමරා මද්‍රී දේවිය ගැන කියූ දුක්බර කතාව.

ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා නහවා වළදවා සරසවා එක් දරුවකු මුත්තාගේත් එක් දරුවකු මිත්තණියගේත් උකුලෙහි හිදුවා ගත්තේ මහත් වූ සෙනෙහසින්. ඒ විතරක් නෙවෙයි. ඔවුන් වෙසතුරු කුමරුගේ හා මද්‍රි දේවියගේ තොරතුරු දැනගැනීමේ මහත් වූ ආශාවකින් හිටියේ. පිය මහරජ දරුවන් ඇකයෙහි හිදුවා මෙසේ ඇසුවා.

” ජාලිය කියන්න, ඔබගේ මව්පිය දෙදෙනා නිරෝගීද? වනමුල් පලයෙන් යැපෙත්ද? එහි අල හා පලවැලබොහෝ ඇත්ද? මැසිමදුරුවන් සර්පයෝ අල්ප වෙත්ද? නපුරු වනසතුන්ගෙන් ගහන වනාන්තරයෙහි ඔවුන්ට පීඩාවක් නැද්ද?”

“ජාලිය කුමරු, එසේය දේවයිනි, මාගේ මව්පිය දෙදෙනා නිරෝගී වෙත්. එසේම වනමුල් පලවැලයන්ගෙන් යැපෙති. එසේම අල හා පලවැල බොහෝ ඇත. එසේම මැසිමදුරුවෝද සර්පජාතීහුද අල්පමය. වන මෘගයන්ගෙන් ගැවසීගත් වනයෙහි ඔවුන්ට පීඩාවක් නැත. ඒ අපගේ පින්වත් මව්තොමෝ අලද හුරුඅලද කටුඅලද කෙකටිය අලද කණිමින් ඩෙබර පලද බදුලු පලද බෙලිපලද ගෙනවුත් අප පෝෂණය කරයි. වනමුල් පල ගෙනෙන ඒ අපගේ පින්වත් මව්තුමෝ යම් දෙයක් ගෙන ඒද අපි හැමදෙනම එක්ව ඒවා රාත්‍රියෙහි වළදම්හ. දහවල් නොවළදම්හ. අපගේ මව්තුමෝ සියුමැලි වුවා රුක් පලාගෙන එන්නී අව් සුළගින් බැහැර සුදුව ගියාය. අතින් මඩින ලද පියුමක් වැන්න. නපුරු වන සතුන්ගෙන් ගැවසී ගත් කගවෙහෙණුන් දිවියන් විසින් සෙවුනා ලද මහා වනයෙහි ඇවිදින අපගේ පින්වත් මව් ගේ හිසකෙස් ඉතා තුනීව ගියේය. කෙස් දළ මඩුළු ලෙස බැදී සිටී. එහි අල ද හුරු ද සරන්නී අපට ලබා දෙන්නේය.එසේ මව්පියන්ගේ කාර්ය බහුල ජීවිකාව වර්ණනා කරන ලදී.

දේවයිනි, මහා වනයෙහි ඇවිදින්නා වූ මාගේ පින්වත් මව්ගේ බඹරපත් වැනි කළුකෙස් ගස් අතු ආදියෙහි පැටලී තුනීව ගොස්ය. කිලිටිව හැසිරෙයි. දෙකිසිලි දැලි දරයි.සම් හැදින්නීය. බිම සිටී. ගිණි පුදයි. 

ජාලිය කුමරුගේ දෝෂාරෝපණයෙන් මිත්තනුවන් ලැජ්ජාවට පත්වීම.

මෙසේ මවගේ දුක්ඛිත බව කියා මුත්තණුවන්ට චෝදනා කරමින් මෙසේද කීවා. ඊට හේතුව දන්දීමේ වරදට තම පියණන්ව වංක ගිරියට පිටමංකිරීමයි.

මුත්තනුවණි, ලෝකයේ මිනිසුන්ට දරුවෝ ප්‍රියව උපදෙති. අපගේ මුත්තණුවන්ට දරු සෙනෙහස නුපන් වනැයි සිතම්හ.

ඉක්බිත රජු තමන්ගේ වරද හෙළිකරමින් මෙසේ කීවා. දරුව, අප විසින් නපුරක් කරන ලදි. මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරන ලදී. ඒ මම සිවිරට වැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරපීමි. පුත, මෙහි මා සතු යමක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද ඒ හැම දෙමි. වෙසතුරු රජ ඒවා සිවිරට නගරයට අනුශාසනා කෙරේවා. එවිට ජාලිය කුමාරයා මෙසේ කිවා.

“දේවයිනි සිවිරට වැසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නොඑයි. දේවයෝ තුමුම ගොස් පුතණුවන් සම්පතින් අභිෂේක කරන්න. “

ඉන්පසු රජතුමා සෙනෙවියා හට මෙසේ කීවා.

වෙසතුරු කුමරු රැගෙන ඒමට සංවිධානය කල අරුම පුදුම චතුරංග සේනාව.

“ඇත්,අස්,රිය,පාබළ,සේනාවෝ සන්නද්ධ වෙත්වා. නියම්ගම් වැසියෝද පෙරවි බමුණෝ ද මා අනුව එත්වා. මාගේ පුත්‍රයා හා සහජාත වූ හැටදහසක් ඇමතිවරු ,ඇතැම් කෙනෙක් නීල වස්ත්‍ර ධරව ,ඇතැම් කෙනෙක් පීත වස්ත්‍ර ධරව අන්‍යයෝ රක්ත වර්ණ නළල් පට ධරව. ඇතැම් කෙනෙක් ශ්වේත වර්ණ වස්ත්‍ර ධරව, මෙසේ නන් වස්ත්‍රයෙන් සැරසී ඉක්මනින් එත්වා. සුවද මල්පල ඇති එහෙයින්ම ගන්ධමාන නම් නොයෙක් රුකින් වැසුණු යක්‍ෂ රක්‍ෂාදී මහා භූත සමුහයා ට නිවාස වූ හිමවත් පර්වතය යම්සේ දිව ඔසුවෙන් දිසා බබළාද සුවද හමාද එසෙයින් සන්නද්ධ වූවාහු ඉක්මනින් එත්වා. පැලදී අභරණින් දිසා බබළත්වා. තවරාගත් විලවුන් සුවද හමත්වා. ඉක්බිති රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැදින් සාදන ලද අඩයටි හා අකුසු ගත් අත් ඇති ඇත්රුවන් විසින් අරා හිදුනා ලද තුදුස් දහසක් ඇතුන් යොදත්වා. දක්වන ලද විභුෂණ ඇති සන්නද්ධ භටයෝ ඇතුන්පිටින් වහා එත්වා. ඉක්බිති දුනු හී දරන අසරුවන් විසින් හිදුනා ලද ජාතියෙන් අජානේය වූ සින්ධු දේශයේ උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා.අලංකෘත සන්නද්ධ වූවාහු අශ්වයන් විසින් වහා එත්වා. ඉක්බිත ලෝභයෙන් මොනවට කරන ලද නිම්වළලු ඇති රන්කම් කළ රථ ඇති තුදුස් දහසක් රිය යොදත්වා. ඒ රියෙහි ධ්වජ නගත්වා. ඵලකායුධයන් හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා. පහරදෙන දුනුවායෝ දුනුදිය නගත්වා. රියදුරෝ සන්නද්ධව රියෙහි හිද වහා එත්වයි” අණ කරනු ලැබුවා. 

මෙසේ රජතුමා සේනා අංගයන් විමසා බලා මාගේ පුත්‍රයාට ජයතුරා නගරයේ සිට වංකගිරිය දක්වා උසභ අටක් පමණ වූ ගමන්මග සමතලා කොට මග සැරසීම සදහා මේ මේ දේ කරවයි අණ කරමින් මෙසේ කීය.

රජතුමා කුමරු වඩින මග සරසන ආකාරය නියම කිරීම.

ඉස්නා ලද පස්මල් මල්දම් හා සුවද විලෙවුන් ප්‍රතිපාදන කරව. වෙස්සන්තර යම් මගකින් එයිද ඒ මග මල් ඇගෑ රුවන් ඇගෑද සිටුවා. යම් මෙගෙකින් ඒද ඒ මග ගම්දොරක් පාසා රහමෙර පුරවන ලද සියක් කළ තබාවා. යම් මගෙකින් ඒද ඒ මග මස් ද කැවුම් ද ආස්මි ද මසින් යුතු කොමුද තිබේවා. යම් මගෙකින් ඒ ද එමගෙහි ගිතෙල් ද තලතෙල් ද දී ද කිරි ද තණපිටියෙන් හා වී පිටියෙන් කළ බොහෝ සුරාද තිබේවා. බත් පිසින්නොද මාළු පිසින්නොද නටන්නෝද නටා ගී කියන්නෝද අත්තල ගසනුවෝද කළබෙර වයනුවෝද මුණ්ඩකයෝද ශෝක නසනුවෝද එත්වා. හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණට කැරකුණු සක් පිඹිත්වා. පුෂ්කර වාදය වයත්වා. මෙසේ රජු මග සැරසීම් පිළියෙල කරවිය.

ජූජක බමුණාගේ හදිසි මරණය.

බමුණාද සීමාවට වඩා ආහාර අනුභවකොට දිරවා ගන්නට අසමත් වුයේ එහිම මළේය. රජු ඔහුගේ සිරුර කිස කරවවා නගරයෙහි බෙර හසුරුවා ඔහුගේ කිසි ඤාතියකු දුටුවේ නැත.ධනය නැවතත් රජුටම අයත් විය.

මහා චතුරංග සේනාව වංකගිරිය බලා පිටත්වීම.

එතැන් සිට සත්වන දිනයේ රජු අණ කල පරිදී සියළු සේනාවෝ එක්රැස් වුණා. රජු මහත් පිරිවරින් ජාලිය කුමරුව ගමන්මග ප්‍රධානියා කොට පිටත්ව ගියා. එසේ ගමන් ගත්තා වූ සිවිරජහු උසුළන ඒ සෙනග මහත්වී මග කියන ජාලිය හා සමග වංකගිරියට නික්මුණා. මහත් සිරුරු ඇති ගැඹුරු හඩ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන්පොරොදු බදනා ලබන කල්හි කුංචනාද කරයි. අජානීය අශ්වයෝ හේසරාව කළහ. නිම්වළලු හඩ මතුවිය. ධූලි අහස වැසීය.චතුරංගනී සේනාව ගමන්හි යෙදුනේය. ගමනෙහි යෙදුණු නිල් තණබිම් හරනා වූ ඒ සේනාව විශාල විය.ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසිය. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සැටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක් ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.

කලිඟුරටවැසියනට දන්දුන් මංගල හස්තිරාජයා යලි ලැබීම.

ඒ එක්කම තවත් ආශ්චර්යයක් වුණා. මේ සියල්ලටම මුල් වුන මංගල හස්තිරාජයා කලිගුරටවැසි බමුණෝ තමන්ගේ රටෙහි වැසි වට කල්හි ගෙන අවුත් සංජය රජුට ආපසු දුන්නා. ඒ හස්තියා තමන්ගේ ස්වාමියාව දැකගන්නට ලැබේයැයි සතුටින් කුංචනාද කළා. ගෙනයාමට ඇත් රජු රන්පටියෙන් බදිනු ලබනවිට සතුටින් කුංචනාද කළා.

මහා රාජ කාණ්ඩය නිමි.

 
 
 

Ape Budu Hamuduruwo 137

අපේ බුදුහාමුදුරුවෝ 137

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 32

අප මහා බෝසතාණන් වහන්සේ හට දුන් වර අට පිළිගැනීමෙන් පසු වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මෙලෙස කීවා. ” ඔබගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේය. නොසිතන්න. අප්‍රමාදී වන්න. මෙසේ බෝධිසත්ත්වයන්වහන්සේට අවවාද දී සක්දෙවිදුන් තමන්ගේ දෙව්ලොවටම ගියේය….

සියල්ල එලෙසම නිමා වුයේ නැහැ. බෝධිසත්ත්වයන්වහන්සේත් මද්‍රී දේවියද ඉතාමත් සතුටට පත්ව සක් දෙවිදුන් විසින් දෙන ලද පන්සලෙහි නැවත වාසයට ගියා.

දෙමාපිය වෙස්ගෙන දරුවනට සත්කාර කල දෙවිවරු.

මේ අතර බමුණාද දෙදරුවන් රැගෙන තම ගම්බිම් බලා යාමට සැටයොදුන් මගට පිළිපන්නා. දෙවියන් විසින් දෙදරුවන්ගේ ආරක්ෂාව සිදුකළා. ජූජකයාද හිරු බැසගිය කල්හි ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් ගසක බැද බිම තබා තෙමේ චණ්ඩ වූ සතුන්ට බියෙන් ගසකට නැග අතු අතර නිදන්නට වුණා. ඒ මොහොතේ එක් දිව්‍ය පුත්‍රයෙක් වෙස්සන්තර රජු ලෙසත් එක් දෙව් දුවක් මද්‍ර දේවිය ලෙසත් වෙස් ගෙන අවුත් දරුවන් දෙදෙනා ඉන් මුදා අත්පා මිරිකා නාවා සරසවා භෝජන අනුභව කරවා හිරු උදාවෙන කල්හි බැද ඇති සැටියෙන්ම තබා නිදිකරවා අතුරුදහන් වෙයි. මෙසේ දරු දෙදෙනා දේවතාවන්ගේ සැළකිල්ලෙන් නිරෝගීව සතුටෙන් ගමන් කරා. ඒ විතරක් නෙවෙයි. තවත් අරුම පුදුම දෙයක් වුණා. බමුණාටද දෙවියකු අධිගෘහිත වී තම ගම වූ කලිගු රටට යමියි සිතා අඩමසෙකින් දරුවන්ගේ සීයා සහ ආච්චිය වන වෙසතුරු කුමරුගේ දෙමාපියන් වූ රජ යුවළ වෙසෙන දිවිතුරු නගරයටම පැමිණියා.

සිව්මහරජ දුටු සිහිනය

ඒ දිනයේම අළුයම සිවිමහරජ වූ සංජය රජු සිහිනයක් දුටුවා. එය මෙබදු සිහිනයක්. මහාධිකරණ කාර්යයේ රජු යෙදී සිටින අවස්ථාවේ එක් පුරුෂයෙක් නෙලුම් මල් දෙකක් ගෙනවුත් රජුගේ අතේ තැබුවා. රජු ඒ මල් දෙකන්හි පැළද ගත්තා. ඒ පුෂ්පයන්ගේ රේණු ගැලවී රජුගේ උදරයට වැටෙන්නට වුණා. රජු උදයේ පිබිදී බ්‍රාහ්මණයන්ගෙන් තමා දුටු සිහිනයේ අරුත විචාරා සිටියා. එවිට බ්‍රාහ්මණයන් මෙලෙස ඒ සිහිනයේ තතු පහදා දුන්නා.

“දේවයන් වහන්ස, එහි අදහස බොහෝකලක් වෙන්ව සිටිය නෑයෝ පැමිණෙනවා යන්නයි.” රජු උදයෙන්ම නොයෙක් රජභොජුන් වළදා විනිශ්චයාසනයේ අසුන්ගත්තා. ඒ මොහොතේ දේවතාවුන් විසින් බමුණා දෙදරුවන් සමග රජගෙදර මිදුලටම එවනු ලැබුවා.

දරුවන් රජමිදුලටම දෙවියන්ගේ ආශීර්වාදයෙන් පැමිණීම.

ඒ මොහොතේ රජගෙදර මිදුලට පැමිණි සිටි කුමරුවා සහ කුමරිය දැක රජතුමා මෙසේ කිවා.

“ගින්නෙන් තවන ලද රත්‍රන් මෙන් උදුනෙහි ලා පැහැ ගැන්වූ රන් ගඩොලක් සෙයින් තෙල කාගේනම් මුහුණක් බබළන්නේද? දෙදෙනාම සමාන වූ අගපසගින් යුක්තය. දෙදෙනාම සමාන වූ ලක්‍ෂණ ඇත්තාහ. එකෙක් ජාලිය කුමරු හා සමානය අනිකා ක්‍රිෂ්ණජිනා කුමරිය හා සමානය. දෙදෙනාම ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහයෙන් නික්මුණු සිංහ පැටවුන් වැනියහ. මේ දරුවන් රනින් මවන ලද රූපයන් මෙන් පෙනෙයි.” මෙසේ කියා රජතුමා එක් ඇමතියෙකුට මෙලෙස අණ කරනු ලැබුවා. “යව මේ බමුණාව දරුවන් සමග මෙහි කැදවාගෙන එව.” එම ඇමතියා ඉක්මණින් ගොස් දරු දෙදෙනාත් බමුණාත් කැදවාගෙන ආව. ඉන්පසේ බමුණාට රජු මෙසේ පැවසුවා.

පින්වත් බමුණ, මේ දරුවන් කොහිසිට ගෙනෙන්නෙහිද? එවිට බමුණා සදමහ රජතුමනි, මේ දරුවෝ මා හට ප්‍රසාදයට පත් වූවකු විසින් දෙන ලදහ. මේ දරුවෝ යම් දවසක මට ලද්දාහුද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රීයයි. රජතුමාට එන්න එන්නම සැකය වැඩි වුණත් තවමත් දරුවන්ව හඳුනාගත්තේ නැහැ. එවිට රජු නැවත විචාලේ “බමුණ තා විසින් කවරනම් ප්‍රිය වචනයකින් ලබන ලද්දාහුද? සත්‍ය කරුණෙන් පහදව. කවරෙක් තොපට තමන්ගේ දරුවන් උතුම් දානයක් ලෙස සළකා දන් දුන්නේද?”

එවිට බමුණා, “යමෙක් සත්ත්වයනට මහපොළොව මෙන්ද, යදියනට පිහිටවී ද, ඒ පින්වත් වෙසතුරු මහරජ වනයෙහි වසන්නේ තම දරුවන් මට දුන්නේය. යමෙක් ගංගාවන්ට සාගරය මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වනයෙහි වසනුයේ තම දරුවන් මට දන් දිනි.

දරුවන් දන්දීම ගැන කිපුණු රාජකීය පිරිස වෙසතුරු කුමරුට දොස් පැවරීම.

ඒ වචන පිටවූ සැණින්ම රජගෙදර මහා ගාලගෝට්ටියක ස්වභාවය ගත්තා. ඒ ඇසූ ඇමතිවරු වෙස්සන්තර රජුට නින්දා කරමින් මෙසේ කීවා. භවත්නි,මෙහි යම්තාක් දෙනා රැස්වූවාහුද ඒ හැමදෙනා මේ අසව්. වෙසතුරු රජ වනයෙහි වසනුයේ කුමට දරුවන් දන් දුනිද? හේ දාසයකද දාසියකුදු අශ්වයකු ද අශ්වතරයන් යෙදු අගනා රථයක්ද දන් දෙනු ලැබුවා. උතුම් වූ ඇතෙකු ද දන් දෙනු ලැබුවා.හේ කුමට නම් මේ දරුවන් දන් දුන්නේද? ශ්‍රද්ධා සම්පන්න ගිහිගෙයි වසන්නා රජු විසින් නුසුදුසු අකටයුත්තක් කරන ලදී. රටින් නෙරපන ලද්දේ වනයෙහි වසන සේක. පින්වත් නගරවැසියනි, මෙහි පැමිණි යම්තාක් දෙනා සිටීද, ඒ සියල්ලෝම මෙය අසත්වා. කල්පනා කර බලත්වා. කෙසේ නම් වෙස්සන්තර රජු තම දරුවන් දාසයන් ලෙස දුන්නේද? කවරකු විසින් නම් මෙබදු වූ කටයුත්තක් කරන ලදදැයි කෑගසා අසන්නට වුණා.

ඒ ඇසු ජාලිය කුමරා සිය පින්වත් වූ පියාට නින්දා කිරීම නොඉවසුවා. වාතයෙන් කම්පා වූ සිනේරුවේ අතක් ඔසවන්නාක් මෙන් මෙසේ කිවා.

“මුත්තණුවනි, යමෙක් හට තම ගෙයි දාසයෙක් හෝ අශ්වයකු හෝ උතුම් අශ්වයන් යෙදු රියක් හෝ ගැඹුරු හඩ ඇති උතුම් ඇතෙක් හෝ නැත්නම් හේ කුමක් දෙන්නේද? “

දරුවන් දාසභාවයෙන් ගලවාගැනීම.

එවිට රජතුමා මෙසේ කිවා. “දරුවනි, ඔබ පියාගේ දානය පසසමි. දරුවන් යදියාට දී ඔහුගේ ළය කෙසේ වීද?” එවිට කුමරු පියාගේ දුකගැන විස්තර කරන්නට වුණා.

“ඔහුගේ ළය දුක්වී, මියෙන් උණු උඩුහුරු කළ වායුව විහිදුවන ලද රෝහණ නැකත මෙන් තඹ පැහැ ඇස් ඇති මාගේ පියාගේ දෙනෙත් කඳුලෙන් තෙත්වුණා.”

මුත්තණුවනි, මේ ක්‍රිෂ්ණජිනා විසින් කියන ලද එක් වචනයක් අසා ඔහුගේ සිත මහත් වූ දුකට පැමිණියා. තඹවන් රෝහිණිය මෙන් තඹවන් ඇස්වලින් මාගේ පියාගේ ඒ මොහොතේ කදුළු උතුරන්නට වුණා. කියමින් ක්‍රිෂ්ණජිනා බමුණාගෙන් පළාගොස් තම පියා හමුවේ කියූ වදන් මතක් කළා.

” පියාණෙනි ! මේ බමුණා ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි. පියාණෙනි! මේ බමුණෙක් නෙවෙයි. බමුණෝ ධාර්මිකය. පියාණෙනි ! යකෙකු විසින් ගෙනයනු ලබන කල්හි කුමක් නිසා උපේක්‍ෂාවෙන් බලා සිටිවූදැයි? ඇසුවා.

ඒ කෙසේ වෙතත් දරුවන් දෙදෙනා ඒ නපුරු බමුණාව අත්හැරියේ නැහැ. ඊට හේතුව තම පියාගේ වදනට කීකරු වීමයි. මෙලෙස කිය කියාත් ඒ දරුවන් දෙදෙනා බමුණාව අත්නොහරින බව දැක රජතුමා මෙසේ ඇසුවා. තොපගේ මවු රජ දියණියකි, තොප පියා රාජපුත්‍රයෙකි. ඔබ පෙර මාගේ ඇකයෙහි නැගී හිදියි. කුමක් නිසා දැන් දුරින් සිටින්නහුද? හරිම පුදුමයි එවිට දරුදෙදෙනා, පියාණෙනි ! අප දැන් බමුණාගේ දාසයෝ වෙමු” යැයි පැවසුවා. එවිට පියරජතුමා දරුවනි! එසේ නොකියන්න.මාගේ ළය දැවෙයි.මාගේ සිරුර ගින්නට නැගු කලක වැන්න. කය අගුරු සෑයකට දමන ලද එකක් බදුය. හුනස්නෙහි සුව නොලබමි.මට බොහෝ සේ ශෝකය දැනෙයි. මා ධනය දී ඔබව මුදවා ගන්නෙමි. ඔබ දෙදෙනා ඔහුට දාස නොවන්න. දරුවනි,තොපගේ පියා තොප දෙදෙනා කොතෙක් මිලකොට මේ බමුණාට දෙන ලදද? ඇත්ත කියව. බමුණාට ධනය දෙනු ලැබේවා.”

මුත්තණුවෙනි! මගේ පියා මා තිස් දහසක් මිළකොට බමුණාට දුන්නා . ක්‍රිෂ්ණජිනා ඇතුන් සියයෙන්ද අශ්වයන් සියයක්, රථ සියයක්, යටත් පිරිසෙන් ඇදපුටු ආදී සෑම දේම සියය බැගින්ද අගය කරනු ලැබුවා. රජු ඒ මොහොතේම මිළ ගෙවන්නට අණ කළා. “කාර්යයන් කරවන ඇමතිය, නැගී සිටව, වහාම මොහුට දිය යුතු තාක් දෙන්න. දැස්සන් සියයකුදු, අසුන් සියයකුදු, ඇතුන් සියයකුදු, ගොනුන් සියයකුදු, දෙනුන් සියයකුදු, රත්‍රන් තිස්දහසකදු දරුවන්ට මිළ ගෙවන්න. ඒ විතරක් නෙවෙයි. රජු විසින් බමුණාට සත්මහල් ප්‍රාසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුණා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රාසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා.