Ape Budu Hamuduruwo 176

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 176

 

මහාභිනිෂ්ක්‍රමණය 02

බෝසතාණන් වහන්සේ : ඔබ කවුද?

මම වසවර්ති මාරයා වෙමි.

මාරය සක්විති රාජ්‍යය පහළ වන බව මම දනිමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දස දහසක් සක්වළ ඒකාලෝක කොට බුදු වන්නෙමි. හිංසා සහගත සිතිවිල්ලක් හෝ සිතුවේ නම් කළ යුතු දෙය දනිමියි සිදුරු සොයමින් මාර දිව්‍ය පුත්‍රයාණන් සෙවනැල්ල මෙන් ඉවත් නොවී බෝසතාණන් වහන්සේ ලුහු බඳින්නට වුනා .

මහපොළව කරකැවී බෝසතාණන් වහන්සේට අවසන් වරට මාළිගය ඇතුළු නුවර පෙන්වීම.

මෙසේ බෝසතාණන් වහන්සේගේ අතට පත් සක්විති රාජ්‍යය කෙළ පිඩක් මෙන් අනපේක්ෂිතව හැරදමා උතුරුසල නැකත පවත්නා කාලවෙලාවේම නගරය සහ තමා මෙතෙක් කල් ජීවත් වූ මාළිගාවනද, ආදරණිය බිරිඳද, සිගිති පුතුද , පියා සුළුමව ඇතුළු මුළු නෑ හිතවත් සංහුරයම හැරදා යන්නට පිටත් වුනා. එහෙත් නගරයෙන් පිටත්වන මොහොතේම යලිත් තමා මෙතෙක් කල ජීවත් වූ නුවර දෙස ආපසු හැරී බලන්නට කැමැත්තක් ඇති වුයේ සමුගන්නට අවසර පැතීමට වාගේ. මේ සිතිවිල්ල උපන් කෙණෙහිම මහා පුරුෂය ඔබ පෙරුම්පිරුවෙ නැවතී ආපසු හැරී බැලීම සඳහා නොවෙයි කියන්නාක් මෙන් මහ පොළොව කුඹල් සකක් මෙන් කැරකැවී මාළිගය ඇතුළු නගරය බෝසතාණන් වහන්සේට පෙන්නුවේ ඔහුට ආපසු හැරෙන්නට අවසර නොදෙමින්. ඒ තමයි බුද්ධත්වය සඳහා මිහිකත දැක්වූ සහය එක අවස්ථාවක. බෝසතාණන් වහන්සේ නගරයට මුහුණලා නුවර දෙස බලා නැවතුණු ප්‍රදේශය කන්ථක අශ්වයා නැවතුණු සෑය වශයෙන් සනිටුහන් කොට යළි අසු ගමන්මගට අභිමුඛ කොට මහත් සිරි සොභාවයෙන් ඉදිරියටම ගියා.

මග දෙපස දෙවියන් විසින් දැල්වූ සැටදහසකට වඩා වැඩි පහන් වැටි සහ මදාරා මල් වැසි.

එදින දෙවියො බෝසතාණන් වහන්සේ යන මග පෙරටුව සැට දහසක් ආලෝක වැටි දල්වා සිටියේ ඒ මහා අභිනික්මනට ආශීර්වාද කරමින්. එසේම බෝසතාණන් වහන්සේගේ පිටුපස ද, දකුණු පස ද, වම්පස ද සැට සැට දහස බැගින් ආලෝක වැටි දරන්නට වුනා . සමහර දෙවිවරු හා නා, ගුරුළු ආදීහු ද දිව්‍යමය මල් සුවඳ සුණු ආදියෙන් පුදමින් පසුපසින් යන්නට වුනා. සමහර විට ඔබත් මමත් ඒ අතර ඉන්නටත් ඇති. ඝන වලාවකින් වැගිරෙන වැසී ධාරා මෙන් පරසතු මදාරා මල් වලින් අහස වැසී ගියා. දිව්‍යමය සංගීත හඬ දසත පැතිරී ගියා. හාත්පස අට වග බෙර සැටවග බෙර වශයෙන් සැට දහසක් බෙරවාදනය වුනා . ඒ එක්කම මහ මුහුද ඇතුළත් මහා මේඝනාදයක් ඇතිවුනා . යුගදුරු කුස මුහුද ගිගුම් දෙන කල මෙන් වුනා .

කන්ථක අශ්වරාජය බෝසතාණන් වහන්සේව ගමනාන්තය දක්වා එක් රැයකින් රැගෙන ඒම.

මෙසේ මහත් උපහාරයෙන් බෝසතාණන් වහන්සේ එක රැයකින් ම තුන් රජයක් ඉක්මවා තිස් යොදුනක් ගමන්කොට අනෝමා ගංතෙරට පැමිණ එහි නතර වුනා . ඔබ හිතනවද ඒ අශ්වරාජයාට ඊට වඩා දුර යන්නට බැරිව නතර වුනා  කියලා. නැහැ, නොහැකිව නො වෙයි. ඔහු වනාහි එක සක්වල වටයක් මැද අක්ෂයෙන් තබන ලද රිය සක නිම් වළල්ල වටා යන්නාක් මෙන් කෙළවරට ගොස් තමා සඳහා සැපයූ භෝජනය බුදීමට සමත්. එහෙත් එදා දෙව් නා ගුරුළු ආදීන් විසින් අහසෙහි සිට විසුරුවන ලද සුවඳ මල් ආදියෙහි කළවා පෙදෙස දක්වා ගිලුණු සිරුර ඔසවා මල්ගැට ආදිය ඉවත් කරමින් ගමන් කිරීමට සිදුවීම නිසා ගමන ඉතා ප්‍රමාද වුනා . එම නිසා එක රැයකට තිස් යොදුනක් පමණක් ගමන් කළ හැකි වුනා .

මෙලෙස සෙමින් සෙමින් අනෝමා ගංතෙර වෙත පැමිණි බෝසතාණන් වහන්සේ ගංතෙර සිට ඡන්න ඇමති අමතා මේ ගග කුමක් දැයි විමසුවා. දේවයිනි, මෙම නදිය අනෝමා නම් වන බව ඔහු පවසා සිටියා. එවිට එකවරම බෝසතාණන් වහන්සේට මෙලෙස කියවුනා .

අපගේ පැවිද්ද? අනෝම වේ. ලාමක නො වෙයි යැයි පවසා විළුඹින් අසුට සන් කරනු ලැබුවා. කන්ථක අශ්වයා ද උඩට පැන අට ඉස්බක් පළල්වූ ගඟෙහි එතෙරට ඔවුන්ව පමුණුවනු ලැබුවේ බෝසතාණන් වහන්සේට අවසන් වශයෙන් කෙරෙන උපහාරයක් ලෙස වෙන්නට ඇති.

බෝසතාණන් වහන්සේ පැවිදිවීම කෙටියෙන්

බෝසතාණන් වහන්සේ අසුපිටින් බැස රිදී පටක් සමාන වැලි තලාවෙහි සිට ඡන්න ඇමති අමතන්නට වුනා .

බෝසතාණන් වහන්සේ

යහළු ඡන්න, ඔබ මගේ ආභරණද කන්ථක අසු ද රැගෙන ආපසු යන්න. මම පැවිදි වෙමි.

ඡන්න ඇමති

දේවයාණන් වහන්ස, මම ද පැවිදි වෙමි.

මෙලෙස තුන් වතාවක්ම ඔහු වැළකූ බෝසතාණන් වහන්සේ ආභරණද කන්ථක අසු ද ඡන්නට දී ආපසු යන ලෙස අණ කරනු ලැබුවා.

අනතුරුව බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුනා . කෙස්කලඹ පැවිද්දන්ට සරුප් නොවේ. බෝසතාණන් වහන්සේ කෙස් කැපීමට සුදුසු කෙනෙකු නැති හෙයින් තමාම දකුණතින් කඩුව ගෙන වමතින් සිළුමිණ සහිත කෙස් වැටිය ගෙන කපා දැම්මා. දෑගුල් පමණ වූ කෙස් දකුණට කැරකැවී හිස සමග ඇලී සිටිය. රැවුල ද එපමණ ම වුනා . බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය තුළ කෙස්ද රැවුලද එපමණම වුනා . නැවත කිසිදිනක කෙස් රැවුල් බා තැබීමේ කාර්යයක් සිදුවුණේ නැහැ. ඉන් අනතුරුව බෝසතාණන් වහන්සේ සිළුමිණ සහිත කෙස්කලඹ ගෙන මම බුදු වන්නේ නම් අහසෙහි සිටිවා නොඑසේ නම් බිම වැටේවා යි අහසට විසි කලා. කෙස්කලඹ යොදුනක් පමණ අහසට ගොස් නැවතුණා. සක්දෙවිඳු දිවැසින් දැක අවුත් යොදුනක් පමණ රුවන් කරඬුවකින් පිළිගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය පිහිටුවූවා.

“ලෝකනායක බෝසතාණන් වහන්සේගේ උතුම් සුවඳ ගල්වන ලද ඒ කෙස් කළඹ අහසේම රැඳුනා. අප සාසනය නිරන්තරයෙන්ම සුරකින බෝසතාණන් වහන්සේගේ පාරමිතා පුර්ණයේ දී අවශ්‍ය සෑම විටකම උදවු උපකාර කල දහසක් නෙත් ඇතිi සක්දෙවිඳු ඒ මොහොතේදීත් එතැන අහසෙහි රැඳී සිටියා. අහසෙහි රැඳුන ඒ කෙස් කළඹ රන් කරඬුවකින් රැගෙන හිස් මුදුනින් පිළිගත්තා.”

නැවත බෝසතාණන් වහන්සේ ට මෙහෙමද සිතුණා. “මේ රාජකීය කසී සළුපිළි කිසිවක් ශ්‍රමණයන්ට සුදුසු නොවේ.” ඒ සමඟම කසුප් සම්බුදු කළ යහළු වූ ඝටීකාර මහා බඹු බුද්ධාන්තරයක් ගෙවුනද දැඩි මිත්‍ර භාවය නිසා “මාගේ යහළු බෝසතාණන් වහන්සේ අද මහබිනික්මන් කළහ. ඒතුමන්ට ද ශ්‍රමණයන්ට ද සුදුසු අටපිරිකර ගෙන යමි” සිතා, ශ්‍රමණ අටපිරිකර බෝසතාණන් වහන්සේට පිළිගැන්වූවා. අප මහා බෝසතාණන් වහන්සේ රහතන්වහන්සේගේ කොඩිය වූ තුන් සිවුර හැඳ පෙරවා උතුම් පැවිදි වෙස් ගෙන ඡන්නය, මාගේ වචනයෙන් මව්පියන්ට සුව බව කියව. බෝසතාණන් වහන්සේ ඡන්න ඇමතිට ආපසු ගමන සඳහා සමු දුන්නා. ඔහු බෝසතාණන් වහන්සේට වැද පැදකුණු කොට නැවත කපිලවස්තු පුරය බලා පිටත් වුනා .

කන්ථක අශ්වරාජයාගේ වියෝව සහ චන්න ඇමති හඬමින් ආපසු තනිවම රජමාළිගය කරා නික්මීම.

කන්ථක අසු මේ සියල්ල දෙස බලා සිටියා.බෝසතාණන් වහන්සේ ඡන්න ඇමැති සමඟ කළ කතාව අසා මාගේ හිමියාගේ දැකීමක් මට තව නැතැයි සිතා බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් ස්නේහයෙන් ලෙවකන්නට වුනා . ඔවුන් එකට ඉපදී එකට උස් මහත් වුණේ සහෝදරයන් වගේ. මෙවැනි සමුගැනීමක් කෙලෙස ඉවසන්නද? බෝසතාණන් වහන්සේ තම දර්ශනයෙන් ඉවත් වෙත්ම හටගත් ශෝකය ඉවසාගත නොහැකිව ළය පැලී එතැනම කළුරිය කොට තව්තිසා දෙව්ලොව කන්ථක නමින් දේව රාජයෙක්ව උපන්නා. ඡන්න ඇමැති හට පළමුව පැවතියේ බෝසතාණන් වහන්සේගේ වෙන්වීමේ දුක පමණයි. නමුත් කන්ථක අසුගේ මරණයෙන් දෙවෙනි ශෝකයක් ද හට ගැනුණා. ඔහු හඬමින් වැලපෙමින් කිඹුල්වත් පුරයට යන්නට පිටත් වුණේ තනිවමයි. මෙලෙස එකමග පැමිණි මෙම තුන් පිරිස අවසානයේ තුන් පෙදෙසකට වෙන්ව ගියා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා

Ape Budu Hamuduruwo 175

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 175

 

මහාභිනිෂ්ක්‍රමණය

බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ බෝසතාණන් වහන්සේ සියලු කටයුතු නිමකොට මහා අභිනික්මණ සඳහා දිව්‍ය මළිගයක් බඳු වූ ප්‍රසාදයෙන් එළියට පිය මැන්නේත් සසර පුරාවට පුරුදු කල මහා උපේක්ෂාවෙන්. ඒ එනවිටත් කන්ථක අසු අජාන් අස්වයෙකු මෙන් සරසා පිළියල කොට තිබ්බේ. සිදුහත් කුමරු උපත ලත් දිනයේම “සත සහජාත” නමින් තවත් උපත් සතක් සිදුවුන බව අප 156 වෙනි කොටසේ ලීවා. එයින් දෙදෙනෙක් තමයි ඡන්න ඇමතියා සහ කන්ථක අශ්ව රාජයා. ඒ බුද්ධත්වය සඳහාම අනුග්‍රහ දැක්වීමට. මෙතන මම දකින තවත් අසිරිමත් කරුණක් තිබෙනවා. එනම් මෙම තුන්දෙනාගේ නික්ම යාම කෙළවර වන්නේ එකිනෙකට වෙනස් අන්ත තුනකින්. ඡන්න ඇමතියා නැවත ආපසු රජමාළිගාවටම හැරී එනවා. ඒ ලව්කික දිවියට. කන්ථක අශ්වරාජයා ගේ ගමන අවසන් වන්නේ මෙලොවින් සමුගෙන දිව්‍ය කුමාරයෙකු ලෙස දිව්‍ය අප්සරාවන් පිරිවරමින් පූර්ව පක්ෂයෙහි නැකැත් තරු පිරිවරකොට ඇති චන්ද්‍රයා යම්සේද, තාරකාවන්ට අධිපති චන්ද්‍රයා හාත්පස හැසිරෙද්ද? අහසෙහිද රැස් ඇති සූර්යයා පහළවන්නාක් මෙන් එවැනි දිව්‍ය විමානකය. ඉදිරියේදී ඔබට ඒ කතාවද මෙම ලිපි පෙලින් කියවන්නට ලැබේවි. එහෙත් අප මහා බෝසතාණන් ගේ ගමන කෙලවර වුයේ සියලු සත්‍වයන් දුකෙන් එතෙර කරවූ එතෙර කරවීමට මග සැදුවා වූ ලොව්තුරා බුද්ධත්වයෙනි.

හක්ගෙඩියක පැහැයගත් කන්ථක අසු රාජකීය ඇඳුමින් සැරසී සමන් මල් විසුරුණු යායක් මැද ගාම්භීරව සිටියේ තවත් බුදුවරයෙකුගේ මහා අභිණික්මනක් සඳහා මවනු ලැබූ දිව්‍යමය අජාන් අශ්වයකු ලෙසයි. මෙසේ බෝසතාණන් වහන්සේ මාලිගයෙන් බැස කන්ඨක අසු ළඟට ගොස් ඔහුගේ කණට කොඳුරා මෙලෙස රහසක් කියන්නට වුනා .

“කන්ඨක ඔබ මා මේ රැය එතෙර කරවන්න. ඔබ නිසා මම බුදු වී දෙවියන් සහිත ලෝකයා එතෙර කරවන්නෙමි.”

අනතුරුව බෝසතාණන් වහන්සේ උඩ පැන අසු පිටට නැග්ගා. කන්ථක අශ්වරාජයා වනාහි බෙල්ලෙහි පටන් අටළොස් රියනක්. ඊට අනුරූප උසින් ද යුක්ත වුනා . ශක්තියෙන් හා ජවයෙන්ද අන් අශ්වයෙකුට සම නොකලහැකි වුනා . ඔහුගේ මුලු සිරුරම සුදු වන්ය. ඔප කළ හකක් හා සමානය. ඔහුගේ හේෂාරාවය සහ පිය ගැටෙන ශබ්දය මුළු නගරයේ පුරාම පැතිරෙනවා. ඒ නිසාම දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් ඔහුගේ පියසටහන් කිසිවකුට නො ඇසෙන සේ වළකා අසු තබන තබන පියවර අත්හළ පිරිනැමුවා. බෝසතාණන් වහන්සේ අසු පිට සිටියදී චන්න ඇමති අසු වලිගය අල්ලා ගෙන මැදියම් රැයෙහිම නගර දොරටුව ළඟට පැමිණියා. ඒ වනවිට පිය රජතුමා සිදුහත් කුමරුට යම්කිසි වේලාවක් නගර දොරටුව හැර නික්මීමට නොහැකි වන පරිදි දොර පවුරු දෙකෙහි එකක් පුරුෂයන් දහසකින් විවර කළ හැකි සේ තනවා තිබුණා. බෝසතාණන් වහන්සේ ඉතා ශක්තිමත් ඇතුන් ගණනින් කෙළ දහසක් ඇතුන්ගේ බල දරයි.

පුරුෂ ගණනින් දශ කෙළ දහසක් බල දරයි. දොරටුව අසළට එන විටත් එහි ආරකෂාව සඳහා යොදවා තිබූ සියලුම දෙනා පසුගිය දින හතෙහිම අක දිගටම නිදිවැරීමෙන්ද, දෙවිවරුන්ගේ අනුහසින්ද තද නින්දට වැටි සිටියා. එවිට බෝසතාණන් වහන්සේ මෙලෙස සිතන්නට වුනා . “ඉදින් දොර නො හැරුණේ නම් තමා අසුපිට සිටියදීම ඡන්න වලිගය ගෙන සිටිය දීම අසූ දෙකලව යෙන් තද කොටගෙන අටළොස් රියන් උස පවුරු උඩින් පැන යන්නෙමි.” මේ අතර චන්න ඇමතිත් මෙලෙස සිතන්නට වුනා . ‘ඉතින් මේ දොර නො හැරුණේ නම් බෝසතාණන් වහන්සේ උරහිසෙහි තබාගෙන කන්තක ගේ කුස දකුණු අතින් වෙළාගෙන කිසිලි අතරෙහි තබාගෙන පවුරු පැන යමි.’ කන්ථක ද මෙසේ සිතන්නට වුනා . “දොර නො හැරුණේ නම් තම ස්වාමියා පිට උඩ සිටියදීම වලිගය ගෙන සිටින ඡන්ද සමඟම උඩට පැන පවුරු ඉක්මවමි.”

වසා තිබු ඒ මහා දොරටුව අභියසට පැමිණි ඔවුන් තිදෙනා එලෙස වෙන් වෙන්ව සිතන්නට වුනා . මේ දොරටුවට අධිගෘහිත දෙවිකෙනෙක් හිටියා. මේ අය මෙලෙස සිතනකොට දොරටුවට අධිගෘහිතදෙවියාට මෙහෙම හිතුණා. යම් විදිහකින් මේ දොර නො හැරුණේ නම් තුන් දෙනාගෙන් එක් අයකු සිතූ පරිදි එම කාර්යය සිදු වන්නේය. ඒ නිසා දොරටුව විවුර්ත කල යුතුයි. මෙලෙස සිතූ දොරටුවට අධිගෘහිත දෙවියා දොර විවෘත කළා.

ඒ අතර තුර මේ සියල්ලම අහසෙහි සිට බලා සිටි තව කෙනෙක් සිටියා. ඒ මාර දිව්‍ය පුත්‍රයා. එකෙණෙහිම මාර දෙව් පුත් අහසෙහි සිට බෝසතාණන් වහන්සේගේ ගමන වළක්වමින් සිතා “නිදුකාණනේ නොයනු මැනවි. මෙයින් සත්වෙනි දවසෙහි ඔබට සක්විති රාජ්‍ය පහළ වන්නේය. දෙදහසක් කොදෙව් පිරිවරකොට ඇති සතර මහා ද්වීපයන්ට සක්විති රජ වන්නෙහිය. නවතිනු මැන”.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව. අපදානට්ඨ කතා

Ape Budu Hamuduruwo 174

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 174

 

සංසාර ගමනක සමුගැන්ම.

ගිහිහෙයි ගතකල අවසාන රාත්‍රිය.

මේ සිදුහත් කුමරු අභිණික්මනට සැරසෙන සහ යොමුකරන අවසාන රාත්‍රියයි. ඒ යොමු කරන්නේ වෙනත් කිසිවෙකු නොවෙයි. උන්වහන්සේ විසින් සරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පුර්ණය කරනු ලැබූ පාරමී ශක්තියයි. උන්වහන්සේ යසෝදරා දේවියගෙන් වෙන්වී පැමිණ මද වෙලාවක් විවේක සුවයෙන් ගතකොට රාත්‍රියේ නර්තන ශාලාව වෙත පැමිණියේ සුපුරුදු ලෙස. එකෙණෙහි ම සියලු අලංකාරයෙන් සැරසුණු නැටුම් ගැයුම් කලාවන්හි මනාව පුහුණු වූ දෙවගනන් මෙන් රුවින් අග තැන්පත් වනිතාවෝ නොයෙක් තුර්ය භාණ්ඩ ගෙන පිරිවරා කුමරුන් සතුටු කරවනු පිණිස නැටුම් ගැයුම් ආරම්භ කළා. බෝසතාණන් වහන්සේ ක්ලේශයන්ගෙන් නො ඇළුණු සිත් ඇති බැවින් නැටුම් ගැයුම් හි නොඇලීම නිසාවැඩි වෙලාවක් නොගොසින්ම නින්දට වැටුනා. ස්ත්‍රීන්ද “අපි යමකු සඳහා නැටීම් ආදිය කරමුද ඔහු දැන් නිදිගතව සිටී. අපි දැන් කුමකට වහෙසේමුදැයි” සිතා අත තිබු තුර්ය භාණ්ඩාදිය මැඩගෙන ම නින්දට වැටුනා. සුවද තෙල් පහන් තවමත් දැල්වෙනවා. හදිසියේ පිබිදුණ බෝසතාණන් වහන්සේ සිය යහනෙහි ම පළක් බැදගෙන අවට බලන්නට වුනා. ඒ වනවිටත් තැන තැන වැටි නිදමින් සිටි විප්‍රකාර වූ ඒ ස්ත්‍රීන් දුටවා. ඔවුන් මීට මොහොතකට පෙර සිටියේ දිව්‍යංගනාවන් වගේ. සමහර ගැහැණු කුණු කෙළ වගුරුවමින් නිදි. සමහරු ගොරවනවා. සමහරු දොඩවනවා. සමහරු අයාගත් මුඛ ඇත්තෝ වුනා . බෝසතාණන් වහන්සේ මේ විකාර රූප දැකීමෙන් වඩවඩාත් කාමයෙහි නො ඇලුණු සිත් ඇත්තෙක් වුනා . සර්වාලංකාරයෙන් පිළියෙළ වූ සක් දෙවිදු විමන හා සමාන වූ මාහැගි පැහැය තැන තැන දමන ලද මළ කුණු ඇති අමු සොහොනක් මෙන් වැටහුණා. කාම, රූප ,අරූප භාවත්‍රය ම ගිනි ගත් ගෙවල් මෙන් දැනිණ. පින්වතුනි,මේ ලෝකය උවදුරුවලින් පිරී ඇත. පින්වතුනි,මේ ලෝකය පීඩාවලින් පිරී ඇත. එවැනි හැගීම්බර වාක්‍යය මුවෙන් පිටවුනා . තව තවත් පැවිද්දටම සිත නැමුණා. අද ම මා මහබිනික්මන් කළ යුතු යි සිතුනා.

පසුගිය දින සතෙහිම නිදි වැරූ රජ මාළිගයේ වගේම ආරක්ෂාවට තබා සිටි සියල්ලන්ටම නින්ද ගිහින්. බෝසතුන් වහන්සේ සයනයෙන් නැගිට දොර ළගට ගොස් මෙහි නිදන්නේ කව්දැයි විපරම් කරලා බැලුව. එහි එළිපත හිස තබා අඩ නින්දේ නිදා සිටියේ ජන්න. සිද්ධාර්ථ කුමරු පැමිණි මොහොතේම ඔහු අවදිවුනා. තමා සඳහා අශ්වයකු සුදානම් කරන ලෙස ජන්නට අණ කරණු ලැබුවා. ස්වාමීනි මේ මැදුම් රෑ කොහි යන්නටද? යි ජන්න විමසුවේ විමතියෙන් වගේම බියෙන්. මම පැවිදි වන්නට ගිහිගෙයින් නික්මෙමියි” බෝසතාණන් වහන්සේ පවසා සිටියා. ස්වාමිනී මාපිය නෑදෑ පිරිස් හැරදමා කොහි වඩින්නද? එසේ නොම වඩින්න. ජන්න ඇමති අසරණව හඬන්නට වුනා . බෝසතාණන් වහන්සේ නොයෙක් සැටියෙන් කරුණු කියා දී ඔහුව කැමති කරව ගත්තා.

මහ හඬින් සිනාසුනු කන්ථක අශ්වරාජයා.

ජනන අශ්වයා සැදීමට අවශ්‍යය උපකරණ ගෙන අස් හළට ගොස් සුවද තෙල් පහන් දැල්වෙද්දී සමන් මල් විසුරුණු වියන යට සිත්කළු බිම් පෙදෙසක සිටින කන්ථක අශ්ව රාජයා දැක අද මොහුම සැකසිය යුතුයි සිතූ හෙතෙම ඔහු වෙත පියමැන්නා. සැකසෙන අයුරින් ම කන්ථක අශ්ව රාජයාට කාරණය දැනුණා. අද සැකසීම ඉතා දැඩිය. අන් දිනවල උයන්කෙළි අඩිය සඳහා යන ගමනට සැකසීම මෙන් නොවේ. මාගේ ආර්යය පුත්‍රයා අද මහබිනික්මන් කැමැත්තේ විය යුතුයැයි සිතූ අශ්ව රාජයා සතුටු සිතින් මහා සිනාවක් පහළ කළා. ඒ සිනා හඩ මුළු නුවර පුරාම පැතිර ගියා. එහෙත් දෙවියෝ එම ශබ්දය වලකා කිසිවකුට අසන්නට ඉඩ ලබා දුන්නේ නැහැ.

යසෝදරාව අවදිකිරීමට මහ හඬ නැගු ජන්න ඇමති.

කරුණු එසේ වුවත් ජන්න අසු සරසන අතරත් බෝසතාණන් වහන්සේගේ ගමන නතර කරන්න තවත් උත්සාහයක් ගත්තා. ඔහු කන්ථක අසු සරසන අතර යසෝදරාවට ඇසෙන මානයට ගොස් ඇය පුබුදුවන්නට මහා හඬක් පවත්වා පෙරළා පැමිණියා. එහෙත් යසෝදරවනට ඒ හඬ ඇසුණේ නැහැ. එසේත් නැත්නම් දෙවිවරුන් විසින් ඒ හඬ අහන්නට සැලැස්සුවේ නැහැ. යසෝදරාව තවමත් නිදි.

සංසාර ගමනක සමුගැන්ම.

සිදුහත් බෝසතාණන් වහන්සේ ජන්න ඇමති අසු සැකසීමට යවා පළමුවරට තම පුතු දකිමියි සිතා යශෝදරා දේවිය වෙසෙන ශ්‍රී යහන් ගැබ වෙත පියමණින්නට වුනා . කුමරිය සැතපෙන කාමරය වෙතට පැමිණ සෙමින් දොර විවර කළා. ඒ අවස්ථාව වනවිටත් යහන් ගැබ තුළ සුවද තෙල් පහන් දැල්වෙනවා.

රහල් මව දෑ සමන් සීනිද්ද ආදි මල් අමුණක් පමණ අතුරා සැරසූ යහනෙහි පුතු මත අත තබාගෙනම නින්දට වැටිලා. බෝසතාණන් වහන්සේ එළි පතෙහි පය තබා සිටි වන සිට බලා සිටම මෙලෙස සිතන්නට වුනා . “මම දේවියගේ අත ඉවත් කොට පුතු අතට ගන්නේ නම් දේවිය පිබිදෙනවා. එවිට මාගේ අභිනික්මන ට එය බාධාවක් වන්නට පුළුවන්. සම්බෝධියට පැමිණ ම පුතු දකින්නට එනවා.” මෙලෙස සිතමින්ම මව සහ පුතු දෙස මොහොතක් බලා සිටි අප මහා බෝසතාණෝ සංසාර ගමනකට එලෙස සමුදී අප වෙනුවෙන්ම ප්‍රසාදයෙන් බිමට බැස්සා. මෙලෙස ජාතක අටුවාවෙහි රාහුල කුමරුන් ඉපද සත්වෙනි දවසෙහි අබිනික්මන කළ බව සඳහන් වෙනවා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 173

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 173

 

යසෝදරා දුටු සිහිනය සහ ඇයගෙන් සමුගැනීම.

මිට පෙර ලිපියේ ලියූ පරිදි පිරජතුමාගෙන් අවසර ගන්න ගිය දිනයේ සිට අභිනිෂ්ක්‍රමණය සඳහා දින සතක් ඉතිරිව තිබුණා. ඒ නිසාම පියරජතුමා විසින් නව ආරක්ෂක සැලැස්මක් නුවර පුරා යොදවනු ලැබුවා. මේ ඒ සම්බන්ධවයි.

අනාවැකි කරුවන් පැවසූ පරිදී ගිහිගෙයින් නික්මීම යෙදී තිබුණේ වයසේ එකුන් තිස් වැන්න වූ පිරුණු තැනදීයි. ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියක් පමණයි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතුයැයි ශාක්‍යයෝ තීරණය කරනු ලැබුවේ බුද්ධත්වයට වඩා ඔවුන්ගේ සිතෙහි සක්විති රජකම කෙරෙහි තිබුණ දැඩි කැමැත්තට. ඒ නිසා එයට කළ යුතු දෑ නිශ්චය කරගත්තා.

 වනගතවිම වැළක්වීම සඳහා පියරජතුමා විසින් සකස් කල නව ආරක්ෂක සැලැස්ම.

ඒ අනුව එදා සිට නුවර දකුණු වාසල් දොර ද්‍රෝණෝදන රජු සමඟ පන්සියයක් ශාක්‍ය තරුණයෝ ද, බස්නාහිර පැත්තේ වාසල් දොර ශුක්ලෝදන රජු සමඟ එපමණම ශාක්‍ය තරුණ පිරිසක් ද, උතුරු වාසල් දොර අමිතෝදන රජ සහිත තරුණ ශාක්‍ය පිරිසක් ද, නැගෙනහිර වාසල් දොර පන්සියයක් පමණ ශාක්‍ය තරුණයන් සමඟ ශුද්ධෝදන මහරජ ද, රැකවල් කරන්නට නියම කර ගත්තා. ඔවුන්ගේ නියමය පරිදි නුවර සෑම දෙමංහංදි තුන්මං හංදි හතරමං හංදි ආදී සංධිස්ථාන වල මහලු ශාක්‍ය රජවරු රැකවල් කරන්නට භාර ගත්තා. නුවර මැද සංචාරය කරමින් ආරක්ෂා කරගැනීමට මහානාම කුමාරයාට පැවරුණ. මෙසේ ඔවුන් සදිනක්ම රෑ නිදිවරා නගරය ඇතුළත පිටත හැමතැනම මුර කළා. ඔවුන් ගත් ක්‍රියාමාර්ගය දැනගත් සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ ද සුදුසු දිනය හා වේලාව පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සිටියා. ප්‍රජාපතී ගෝතමී ද නුවර හැම ප්‍රසාදයකම හැම හැම ගෙයකම ඉන්නා ස්ත්‍රීන්ට එළිවනතුරු පහන් නොනිවා සෝදිසියෙන් ඉන්නට විධාන කළා.

යසෝදරාව දුටු සිහිනය

බෝසතාණන් වහන්සේ ද මේ කාලය තුළ ලොව දුක්ක තත්ත්වය නුවණින් සලකා බැලීම් තමන් ජාතිස්මරණ ඥානය ඇත්තකු බැවින් අතීත ජාතීන්හි කළ චිත්තප්‍රණිධීන් මෙනෙහි කිරීම් ආදී කටයුතු කරමින් තවුසකු සේ කල් යැවූවා. සිද්ධාර්ථ කුමරුන් හා සුදොවුන් රජු අතර ඇති වූ කතාව රජමළිගාවට තවදුරටත් රහසක් නොවුනා. යශෝධරා ආදී කවුරුත් එය දැනගත්තා. කවරදාක හෝ සිද්ධාර්ථ කුමාරයාණන් කැටුව තමාද ගිහිගෙයින් වෙන්ව දිවිය තවුස් දිවියට යෑමට සිතාගෙන සිටි යශෝදරාවෝ ඒ කිසිවක් අසා කලබලයට පත්වුණේ නැහැ. එහෙත් ඇයගේ සිත නොසන්සුන් වන්නට කරුණක් ඇති වුනා. ඊට හේතුවුනේ එකී සත්වැනි දින කලින්ම නිදා ගත් ඇය විසින් දුටු සිහිනයක්. එදා සැන්දෑවේ ඇය නිදාගද්දී සිහිනයක් දැක නැගිට සිද්ධාර්ථ කුමාරයාණන් වෙත ගියා. තමා දුටු සිහිනය ඔහුට කියා සිටියා. “ස්වාමීනි ඔබ මෙහි මා තනිකොට හැරදමා තපසට ගියා සිහිනෙන් දුටිමි. ස්වාමීනි ඔබ යන තැනට මම ද එන්නෙමි” කිවේ සංසාරේ හැමදාම හැම මොහොතකම ඔහු පසුපස හඹා පැමිණි බෝසත් බිරිඳක් ලෙස.

සංසාරය පුරා පසුපස පැමිණි ආදරණිය බිරිඳගෙන් සමුගැනීම.

මේ සියල්ල ඉවසීමෙන් අසා සිටි බෝසතාණන් වහන්සේ ද තමන් යනුයේ නිවන දෙසටය යන්න සලකා, එසේය මා යන තැනටම නුබත් පමුණුවමි කියනු ලැබුවා. එහි සැඟවුණු අරුතක් ඇති බව ඔබටද හැංගෙන්න ඕනේ. ඉක්බිති නිවන් අවබෝධ කරනු පිණිස මහත් දුක් පීඩා වින්ද යුතු බව බොහෝ වෙහෙස මහන්සි විය යුතු බව දරුවකු සහිත යශෝදරාවන් බඳු සියුමැලි ස්ත්‍රියකට එවැනි දුක් පීඩාවලට මුහුණ පෑ හැකි නොවන බවද පැහැදිලි කොට දී මම විමුක්ති සැපය අත්පත් කොට ගෙන ඇවිත් ඔබ හැම ට එය ලබා දෙන්නෙමි. යනුවෙන් ආදරයෙන් කියා සිටියා. එතෙක් ඉවසා දරුවා රැක ගන්න. මේ සියලු ධන සම්පත් ඔබට ඇත. මා පියාණෝ ද කුඩා මෑණියෝ ද ඔබේ ආරක්ෂාවට සිටිති යනුවෙන් සැනසිලි බස් කීවා. දුරදිග දක්නා නුවණ ඇති, ස්වාමි භක්තියේ ප්‍රතිමුර්තිය වූ, විනීත වූ යශෝදරාවෝ සසරේ හැමදාම වගේ කුමාරයාණන්ගේ අවවාදයට අවනත වුනා . ප්‍රිය විප්‍රයෝග දුක ඉවසා දරා ගන්නට නොයෙක් දේ සිතමින් උත්සාහ කරන්නට වුනා .

උපකාරක ග්‍රන්ථ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 172

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 172

 

අභිනිෂ්ක්‍රමනය සඳහා පියරජුගෙන් අවසර පැතීම.

මෙම ලිපියෙහි බෝසතාණන් වහන්සේ පියරජතුමා හමු වී අවසර ගැනීම පිළිබඳව යම් කුකුසක් ඔබ සිතට ඇතිවිය හැකියැයි සිතුණා. එයට හේතුව එවැනි කතා අපි අසා නොතිබීමයි. එහෙත් බෝසත් චරිතයක් ගැන අප ඊට වඩා ගැඹුරින් බුද්ධිමත්ව විමසිය යුතුයි. ඔබ හිතනවාද බුද්ධත්වය අපේක්ෂාවෙන් ගිහිගෙය හැර යන බෝසත්වරයෙක් තම දෙමාපියනට හොරෙන් ඒ ගමන යාවි කියලා. එවැනි සිතිවිල්ලක් ඇති වුවහොත් සිත එයට වසඟ නොවීම පිණිස සූත්‍ර පිටකයේ අරියපර්යේෂණ සුත්‍රයේ බුද්ධ වචනයෙන් සඳහන් කොටසක් මම උපුටා ගත්තා. එහි ඒ සියල්ලටම පිළිතුරු තියෙනවා.

අරියපරියෙසන සූත්‍රය

“මහණෙනි, මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ම සොයන්නෙම්ද? ඒ නිසා අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය.

“මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි,

මෙහි පැහැදිළිවම සඳහන් වෙනවා “මවුපියන් අඬද්දී හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි” කියලා. ඒ නිසා එය හොරෙන් ගිය ගමනක් නෙවෙයි. යන දිනයෙහි නොවුණත් දින සතකට පෙර පූර්ව දැනුම් දීමකින් පසුව ඔබ හා අප වෙනුවෙන් ගිය ගමනක් බව දැන් ඔබට වැටහෙන්නට ඕනේ.

ශරීර ආලෝකය

ඔබට මතක ඇති දුරේ නිධානයෙහි අපි ලියු සමහර බුදුවරු සිටියා මවු කුසට පැමිණි දිනයේ සිටම ශරීරයෙන් ආලෝකය බොහෝ දුරට විහිදුණ. අපේ බෝසතාණන් වහන්සේගේත් එලෙසයි. ස්වභාවයෙන්ම බෝසතාණන් වහන්සේගේ සිරුරේ ප්‍රභාව බඹයක් පමණ ඔහුගේ සිරුර වටා ආලෝකවත් කෙරෙනවා. යශෝධරාවන්ගේ ශරීර ප්‍රභාව ද එබඳු ම යි. විශේෂයෙන් මෙය ප්‍රකට වනුයේ රෑ අඳුරෙහි ඉන්නා විට යි.

අභිනිෂ්ක්‍රමණය සඳහා පියරජුගෙන් අවසර පැතීම

එදින රාත්‍රිහිම බෝසතාණන් වහන්සේ තම පිය රජතුමාගේ මාළිගාවට පියමැන්නේ තම විමුක්තිය සොයා යන ගමන සඳහා ඔහුගෙන් අවසර ගැනීමට. බෝසතාණන් වහන්සේ පියරජුගේ මාලිගයට පැමිණියේ රාත්‍රියේ නිසා ඔහුගේ ශරීර ප්‍රභාව පැතිර පෙදෙසම ආලෝකමත් වන්නට වුනා . එවිට රාත්‍රියේ පවා පුත් කුමරු ගැන නිතර සෝදිසියෙන් සිටින සුද්ධෝදන රජ සේවකයන් බණවා “රෑ පාන් වූයේ දැයි” විමසා සිටියා. එවිට සේවකයන් “නැත රජතුමනි තවම රැය පහන් වී නැත රාජ පුත්‍රයාණන් වහන්සේ වැඩිය සේක.” යැයි පවසා සිටියා.

ශුද්ධෝදන රජතුමා යහනෙන් නැගිට බෝසතාණන් වහන්සේ පිළිගෙන “පුතා මේ මහ රෑ මෙහි ආයේ කිසි උවමනාවක් දැයි” අසා සිටියා. එවිට බෝසතාණන් වහන්සේ “එසේය පියාණන් වහන්ස” යනුවෙන් පිළිතුරු සපයනු ලැබුවා.

“කිමෙක්ද මගේ පුතුණුව උවමනාව?

“පියාණන් වහන්ස මට දැන් ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේය. මට සමාවන්න. රට වැසියන් සහිත පියාණන් වහන්සේගෙන් සමාව යදිමි. මම පිටත්ව යන්නෙමි.”

එවිට පියරජ. “පුතා ඇයි මේ නෑදෑ පිරිසත් රාජ සම්පතත් කීකරු රට වැසියනුත් හැරදමා යන්නට සිතන්නේ? ඔබට උවමනා යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල සපයා දෙමි. “

ගිහිගෙය අත්හැර නොයාමට ඉල්ලු කරුණු සතර.

බෝසතාණන් වහන්සේ

“පියතුමණි, මට වුවමනා දෙය සපුරා දෙතොත් මේ රජ සැප හැර නොයමි. සපයා ගත හැකි නොවෙතොත් මට යන්නට ද අවසර ඇත්ද?

පියරජතුමා

මා විසින් සපයා දෙත නොහැකි කිසිවක් නැත. සියල්ල සපයමි. ඒ කිසිවක් මට නොහැකි වී නම් එය සොයා යන්නට අවසර ඇත.

බෝසතාණන් වහන්සේ

එසේනම් පියාණන් වහන්ස මට අවශ්‍යව ඇති දෑ සතරෙකි.

එනම් මහළු බව මට ඇති නොවේවා! මෙය මා ඉල්ලන එක් දෙයකි.

යොවුන් බව මනා පැහැපත් තරුණ බව හැමකල්හිම මා කෙරෙහි වේවා.මා මේ ඉල්ලන දෙවෙනි දෙයයි.

කිසිදු කලෙක මා සිරුරට රෝගයක් නොවැලදේවා. තුන්වෙනි දෙයයි.

කිසිදු කලෙක මා නොමැරෙම්වා.මේ මා ඉල්ලන සතරවැනි දෙයයි.

පියාණන්වහන්ස, මෙසේ මහලු නොවන බව සදා තරුණබව ලෙඩ නොවෙන බව නොමැරෙන බව යන කරුණු සතර හැර මට අවශ්‍ය අන් දෙයක් නැත. මේවා සපයා දෙත හැකි නම් රජගෙය හැර නොයමි. මෙහිම රැඳෙමි. මේවා සපයාදිය නොහැකි නම් මගේ පමණක් නොව ඔබ වහන්සේගේ පමණක් නොව මා වැඩු කුඩා මෑණියන්ගේ ද යශෝධරාවන්ගේ ද රාහුල නන්ද ආදී මගේ සහලේ නෑයන් ගේ ද පමණක් නොව ජරා ව්‍යාධි ආදී දුක් වලින් පෙලෙන සියලු අසරණ ලෝකයාගේ යහපත පිණිස ඒ හැම දෙනාට මෙකී සියලු දුකින් මිදෙන මඟ සොයා පිහිට වනු පිණිස මෙයින් පිටවන්නෙමි. එයට හේතුව එය මේ රජ ගේ තුළ රැඳී කල නොහැක්කක් බව පෙනෙන බැවිනි. එය සොයනු පිණිස මා මෙහෙන් නික්ම යා යුතු නොවේද?

ඉන්පස්සේ ඇතිවුණේ දැඩි නිහඬතාවයක්. බෝසතාණන්ගේ කතාව අසා සිටි සුද්ධෝදන රජතුමාට තමා මෙතෙක් කල් කොතරම් උපාය යෙදුවත් කොතරම් වෙහෙස මහන්සි ගත්තත් අසිත සෘෂිතුමා ගේ සහ නිමිත්ත පාඨක බමුණු කී අනාවැකි හරි යන බව තේරුම් ගත්තා. ඒ වගේම එය කෙලෙසකවත් වලක්වන්නට නොහැකි බවත් වැටහුණා.

ඉක්බිත කඳුළු පිරි මුහුණින් පුත්‍රයාණන් දෙස බලා හිඳ “පුත ඔබ ඉල්ලූ වර දීමෙහි ශක්තියක් මට නැත මහානුභාවසම්පන්න දීර්ඝායුෂ්ක ඍෂිවරු පවා කළුරිය කළහ. ඔබේ අදහස මට වැටහේ. ගමනට ඔබට අවසර ඇත. ඔබ තුළ පවත්නා ලොව ජරා මරණාදී දුකින් මුදාලීමේ ශ්‍රේෂ්ඨ අදහස එසේම සඵල වේවා. සම්පූර්ණ වේවා.

මෙසේ පියරජුගෙන් අවසර ගත් බෝසතාණන් වහන්සේ පිය රජුට ගරු බුහුමන් දක්වා එතැනින් සිය මාලිගයට පැමිණියා. පසුදින පහන් වූ සැණින් රජ සියලු ශාක්‍ය ප්‍රභූන් රැස්කරවා සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්න බව තමා හා පුත්‍රයාත් අතර ඇතිවූ කතාව පවසා අවසාන මොහොතේ හෝ ඔහුව වළක්වාලීම සඳහා කුමක් කළ යුතු දැයි විමසා සිටියා. ඊට හේතුවක් තිබුණා. නිමිත්ත පාඨකයන් කියා තිබෙන පරිදි පැවිදි වීම හෝ සක්විති රජ වීම වයසේ එකුන් තිස් වැන්න වූ පිරුණු තැනදී වීමයි. මේ මොහොත වන විට ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියක් පමණයි. මේ අප හට ලැබෙන අවසාන අවස්ථාවයි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතුයැයි ශාක්‍යයෝ තරයේ කියා සිටියා. එයට කළ යුතු දෑද ඒ මොහොතේම නිශ්චය කරගත්තා.

උපකාරක ග්‍රන්ථ අරියපරියෙසන සූත්‍රය (සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » ඕපම්ම වර්ගය) ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.