Ape Budu Hamuduruwo 261

අපේ බුදුහාමුදුරුවෝ 261 (සන්තිකේ නිධානය)

 

සත්සතිය 04 -02

පළමු වරට බුදුරැස් විහිදීම.

තව ද අභිධර්ම පිටකයට වැද ධඟුණු නම් වූ විජම් පාළි මේ ය. විභග නවූ විජම් පාළි මේ ය. ධාතුකථා නම් වූ විජම් පාළි මේ ය. පුද්ගල ප්‍රඥති නම් වූ විජම් පාළි මේ ය. කථාවස්තු නම් වූ විජම් පාළි මේ ය. යමක නම් වු විජම් පාළි මේ ය, පට්ඨාන නම් වූ විජම් පාළි මේ ය, අර්ථසාලිනි නම් වූ විජම් අටුවා මේ ය, සමොහවිනොදනී නම් වූ විජම් අටුවා මේ ය, පවක නම්වූ විජම් අටුවා මේ ය යි මෙසේ විජම් පිටකයෙහි ශ්‍රීමුඛ පාළි හා අටුවා කථා එක්ලක්ෂ විසිදහස් දෙසිය පනස් ග්‍රන්ථ දකිනු ලැබුවා.

මෙසේ තුන්පිටකය මුලපටන් අගදක්වා ය, අගපටන් මුල දක්වා ය, දෙකෙළවර පටන් මැද දක්වා ය, මැද පටන් දෙකෙළවර දක්වායයි මෙසේ අනුලොම ප්‍රතිලොමාදි වසයෙන් සකසා පරික්ෂා කොට බලා වදාරා. තව ද ඒ මාගේ ධමසංඛ්‍යාව විශේෂයෙන් බලම් නම්; රසවසයෙන් එකෙක් වෙයි, පිටක වසයෙන් තුන්දෙක් වෙ යි, නිකාය වසයෙන් පසෙක් වෙ යි, අග වසයෙන් නවයෙක් වෙ යි, ස්කන්ධ වසයෙන් සුවාසූ දහසක් පමණ වෙ යි. ශ්‍රී මුඛ පාළි වසයෙන් මම කරන්නා වූ දෙශනාවෝ දෙලක්ෂ පන් සැත්තෑදහස් දෙසිය පනසක් පමණ ග්‍රන්ථ වෙති.

මතු ශ්‍රී ලංකාද්වීපයෙහි දී කප් ලක්ෂයක් පැරුම් පුරා ආ බුද්ධඝෝෂ නම් ආචාර්ය ස්ථවිරයන් විසින් මාන්ගේ අභිප්‍රාය දැන ලියන ලද අටුවා කථා වසයෙන් තුල්ල එක් සැට දහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවෝ පමණ වෙති. ඒ මාගේ ආගම කථාවෝ හැමදෙන ම ග්‍රන්ථ සම්‍යා වෙන් සලක්ෂ සත්තිස් දහසක් පමණ වෙති. භාණවාර සංඛ්‍යා වෙන් පස්විසි ලක්ෂ අටසාලිස් දහසක් බණවර වෙති. අක්ෂර ගණනාවෙන් දෙකෙළ තුන්ලක්ෂ සුවාසූ දහසක් අක්ෂරයෙන් පිරුණේ යැ. නය වසයෙන් අසඞ්ඛ්‍ය ගණන් නය යැ. ඒ මාගේ සියලු ධර්ම සමූහයෝ මැ අවිනෂ්ටව පන්දහසක් අවුරුදු පවන්නාහු ය යි මෙසේ මාගේ ස්වාමිදරුවෝ “අනෙකජාති සංසාරං” කියා පළමු ඔසවාගත් ශබ්දයෙහි පටන් ගෙන කෙළවර යමහල වැදහොවැ “අප්පමාදෙන සම්පාදෙථ”යි යන මේ ශබ්ද ය අන්තකොට ඇති සියලු ධර්ම සමූහයන් ඒ දෙවියන් මැවූ රුවන් ගෙයි වැඩහිඳ ඒ සතරවන සති ය මුළුල්ලෙහි මෙනෙහි කොට නිමවා වදාළසේක. ඒ සද්ධර්ම රත්න ය වැඩහිඳ සම්මර්ශනය කළාවූ ස්ථාන ය දැන් රසරචේතිය නම් වි ය.

භාග්‍යවතුන්වහන්සේ මෙලෙස සිවු වන සතියෙහි බෝරුකින් වයඹ පැත්තේ රුවන්ගෙයි වැඩ හිඳ ධර්මය මෙනෙහි වැනි කොට, වෛනේය ජනයන් බලා ශීලයෙහි පිහිටා සමාධිය වඩා ප්‍රඥායෙන් විවසුන් කොට සත්ත්වයෝ ආර්යමාර්ගයට බසිතැ” යි ශීල සන්දීපක වූ විනය පිටකය ද, සමාධි සන්දීපක වූ සුත්‍රාන්ත පිටකය ද ඉක්බිති ප්‍රඥාසන්දීපක වූ අනන්තනය ඇති අභිධර්ම පිටකය ද සම්මර්ශනය කරන සේක් ප්‍රස්ථාන ධර්මය මෙනෙහි කිරීමට බැස ගත් සේක. සියල්ලට ම වඩා ගැඹුරු වූ ප්‍රස්ථාන ක්‍රමය මෙනෙහි කරත් කරත් ම උන්වහන්සේට බලවත් ප්‍රීතිය ඇති විය. හෘදයවාස්තු ගත ලෙය ප්‍රසන්න විය. වාස්තු රූපය ද විශේෂයෙන් පහන් විය. ඡවි වර්ණය ද පැහැදුණේ ය. චිත්ත සමූත්ථාන (සිත කරණ කොටැ සෘතුයෙන් හටගත්) වර්ණය හාත්පස අසූරියන් පමණ තැන පැතිරැ සිටියේ ය. එය වටා පෙදෙස සිය දහස් දෙව් දුනු පහළ වූවා සේ, ඉර සඳ සුවහසක් පහළ වූ කලෙකැ සේ එකාලෝක විය.

උපකාරක ග්‍රන්ථ

පුජාවලිය

Ape Budu Hamuduruwo 260

අපේ බුදුහාමුදුරුවෝ 260 (සන්තිකේ නිධානය)

 

සත්සතිය 04

රුවන් ගෙයි වැඩ සිටීම සහ අවබෝධකොටගත් අතිවිශාල ධර්ම සාගරය මෙනෙහි කිරීම.

ඉන්පසු දෙවියන් විසින් ඒ ශ්‍රී මහා බෝධියට වායඛ්‍ය කෝණ යෙහි රුවන් ගෙයක් බුදුරජාණන් වහන්සේට මවනු ලැබුවා. අප බුදුපියාණන් වහන්සේ තුන්වන සතියෙහි රුවන් සක්මනින් මෙලෙස දින සතක් පසුකොට සතරවන සතියෙහි දෙවියන් මැවු රුවන් ගෙට සක්මනින් බැස පලක් බැඳ වැඩ හිඳ රජයක් ලද්දාවූ සක්විති රජකු නොයෙක් රුවනින් පිරූ භාණ්ඩාගාරවල දොර හරවා එහි ඇති නන් විසිතුරු රුවන් බලා අගයකොට ලේකම් බලා සතුටුවන්නා සේ, මාගේ ඒ සද්ධර්ම චක්‍රවර්තීන් වහන්සේ ද බුද්ධරාජ්‍යය ලදින් සද්ධර්ම නමැති රන් සමූහයන් සද්දවසක් මුළුල්ලෙහි විශේෂයෙන් වෙන වෙන බලා වදාරනු ලැබුවා. කෙසේ බැලූ සේක් ද යත්:-

තුන්පිටකය සම්මර්ශනය කිරීම

මම බුද්ධරාජ්‍යය ලදින් පන්සාලිස් හවුරුද්දක් හිඳ බුද්ධ ශ්‍රී විඳිමි යි, මාගේ ශාසනයෙහි ශාරිපුත්‍ර ස්ථවිර ප්‍රධාන අසීති මහා ශ්‍රාවකදි කෝටිගණන් භික්ෂුණයා චන්ද්‍ර සූර්ය දිව්‍ය පුත්‍රයන් සේ ශෝභාමත් ව සසුන් බබුළුවති යි, මාගේ මේ ශාසන ය මෙයින් මතු පන්දහසක් හවුරුදු පවත්ති, මාගේ හික්ෂූන්ට අනුශාසනා පිණිස විනය පිටකය දේශනා කෙරෙමි යි, විනෙයජනයන් නිසා සූත්‍ර පිටකය දේශනා කෙරෙමි යි, මාගේ ප්‍රඥාවගේ සාර ය දක්වා දිව්‍ය බ්‍රහ්මයන්ට විජම්පිටකය දේශනා කෙරෙමි යි, මෙසේ සංක්ෂේපයෙන් තුන්පිටකය කල්පනාකොට බලා වෙන වෙන පරීක්ෂාකරන්නා වූ මාගේ ස්වාමිදරුවෝ:

විනය පිටකය සම්මර්ශනය

තවද: විනය පරිජි නම් මෙයය, (පාරාජිකාපාළිය) වින ය පවිති නම් මෙයය, (පාචිත්තපාළිය) විනය මහ වග නම් මෙයය, (මහාවග්ගපාළිය) විනය සුළුවග නම් මෙයය, (චුල්ලවග්ගපාලිය)

විනයපිටක අටුවා සම්මර්ශනය

විනය පරිවාර නම් මෙයය, ඊට සමන්තපාසාදිකා නම් වූ විනය අටුවා නම් මෙයය, සාරාර්ථදීපනි නම් වූ විනයටීකා නම් මේ ය යි මෙසේ ඒ විනය පිටකය මුඛ පාළි හා අටුවා ටීකා වසයෙන් නව අනූදහස් දෙසිය පනස් ග්‍රන්ථසංඛ්‍යාවකැයි බලා දැක.

සුත්‍ර පිටක සම්මර්ශනය

දීඝ නිකා සම්මර්ශනය

ඉන්පසු සුත‍්‍රපිටකය මෙනෙහි කොට එහි පමසඟියක් දැක, පළමු වන දික්සඟියෙහි ශීලස්කන්ධවර්ග ය නම් මේ ය, මහාවර්ගය නම්

මේය, පාථික වර්ගය නම් මේ යි තුන්වර්ගයක් දකින ලදී.

මජ්‌ඣිම නිකා සම්මර්ශනය

තව ද දෙවන මධ්‍යම සඟයෙහි මූලපණ්ණාස නම් මේ ය, මජ්ජිම පණාස නම් මේ ය, උපරිම පණ්ණාස නම් මේ ය යි තුණාසයක් දකිනු ලැබුවා.

සංයුත්‌ත නිකා සම්මර්ශනය

තව ද තුන් වන සංයුක්සඟියෙහි සගාථව ය නම් මේ ය, නිදාන වර්ගය නම් මේ ය, ස්කන්ධ වර්ග ය නම් මේ ය, සළායතන වර්ග ය නම් මේ ය, මහා වර්ග ය නම් මේ ය යි පමහා වර්ගයක් දැක;

අංගුත්තර නිකා සම්මර්ශනය

තවද සතරවනවූ අංගුත්තර සඟියෙහි එක-වික තිකනිපාත නම් මේ ය, චතුක්ක නිපාත නම් මේ ය, පකනිපාත නම් මේ ය, ඡ-සත්තක නිපාත නම් මේ ය, අය-නවක නිපාත නම් මේ ය, දසකාදස නිපාත නම් මේ ය යි ෂට්කාරයක් දැක,

ඛුද්දක නිකා සම්මර්ශනය

තවද පනක්ෂුද්‍ර ග්‍රන්ථ නම් සංගීතියෙහි වන චූලනිදෙශ නම් මේ ය, මහානිදෙශ නම් මේ ය, ප්‍රතිසම්භිදා නම් මේ ය, මහාව නම් මේ ය, ජාතකපාඨ නම් මේ ය, නෙත්පවුරුණු නම් මේ ය යි ෂට්කාරයක් සම්මර්ශනය කරනු ලැබුවා.

අටුවා සම්මර්ශනය

තව ද සුමඞ්ගල විලාසිනි නවූ සූත්‍ර අටුවා මේ ය, පපඤ්චසූදනී. නවු සුත්‍ර අටුවා මේ ය, සාරාර්ථප්‍රකාශනී නම් වූ සුත්‍ර අටුවා මේය, මනොරථ පූරණී නම් වූ සූත්‍ර අටුවා මේ ය. සද්ධර්ම ජොතිකා නම් වූ සූත්‍ර අටුවා මේ ය, ප්‍රතිසභිදා නම් වූ සූත්‍ර අටුවා මේ ය, පරමාර්ථ ජොතිකා නම් වූ සුත්‍ර අටුවා මේ ය, උදාන නවූ සුත්‍ර අටුවා මේ ය, විමානවස්තු නම් වූ සුත්‍ර අටුවා මේ ය, ප්‍රේත වස්තු නම් වූ සූත්‍ර අටුවා මේ ය, ථෙරගාථා නම් වූ සුත්‍ර අටුවා මේ ය, ථෙරිගාථා නම් වූ සූත්‍රය අටුවා මේ ය, චර්යයාපිටක නවූ සූත්‍ර අටුවා මේ ය, බුද්ධ වංශ නම් වූ සූත්‍ර අටුවා මේ ය, ධම්පියා නම් වූ සූත්‍ර අටුවා මේ ය, පන්සිය පනස් ජාතක නම් වූ සුත්‍ර අටුවා මේ ය. විශුද්ධිමාර්ග නම් වූ සූත්‍ර අටුවා මේ ය, මනෙත් පවුරුණු නම් වූ සූත්‍ර අටුවා මේ ය යි මෙසේ සූත්‍ර පිටකයට වැද වෙන වෙන බලා තමන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාරන පාළි හා අටුවා කථා සාරල : එකොළොස් දහස් පන්සියයක් ග්‍රන්ථයෙන් සම්පූර්ණ වී යයි මෙසේ සූත්‍ර පිටකය ම සම්මර්ශනය කරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ

පුජාවලිය

Ape Budu Hamuduruwo 259

අපේ බුදුහාමුදුරුවෝ 259 (සන්තිකේ නිධානය)

 

සත්සතිය 03

රුවන් සක්මන

බුදුවීමෙන් පසු දෙවන සතිය බුදුරජාණන් වහන්සේ ගතකලේ තමාට බුද්ධත්වයට සෙවණ දුන් ඇසටු බෝධිය දෙස ඇසපිය නොහෙළා බලා සිටිමින් තමා විසින් අවබෝධ කොටගත් ඒ අතිමහත් ධර්මය මෙනෙහිකරමින්ය. ඉක්බිති බෝ පළඟත් වැඩ සිටි තැනත් අතරැ නැගෙන හිරැ සිට බස්නාහිරට සක්මනක් මවා එහි සතියක් දහම් මෙනෙහි කරමින් සක්මනින් කල් ගත කළ බව සඳහන්. ඒ සමගම අප මහා බුදුපියාණන් වහන්සේ සතියක්ම ඇසටු බෝධිය දෙස බලා සිටීම නිසා ශ්‍රී දේහයේ ඇති වූ වෙහෙස නිවීමට සක්මන් භාවනාවේ යෙදමින් කල් ගෙව්වත් කියා කියනවා. ඊට වැඩි යමක් ඒ පිළිබඳව පෙළෙහි සඳහන් නැහැ. (මේ ස්ථානය රත්නචංක්‍රමණ චෛත්‍ය නම් වනවා.) ඒනිසා ම මා විසින් මෙතෙක් ලියු අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ කෙටිම ලිපියත් මෙය වනවා.

Ape Budu Hamuduruwo 258

අපේ බුදුහාමුදුරුවෝ 258 (සන්තිකේ නිධානය)

 

සත්සතිය 02

පළමුවන බෝධි පූජාව නොහොත් අනිමිසලෝචන පූජාව

එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියා. ඉන්පසු අටවෙනි දිනයෙහි යමක ප්‍රාතිහාර්යය පෑ බව අප මීට කලින් ලිපියේ සඳහන් කළා. (යමක ප්‍රාතිහාර්යය දාහතර වැනි දිනයේදී සිදුකල බව අභිධර්ම අටුවාවෙහි කියවෙනවා. සත්වෙනි දින අවසානයේ ලෙස සඳහන් කලේ විනය අටුවාවෙහි සඳහන් පිළිවෙලට.) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටියා. ඔබ මම හොඳින් දන්නා පරිදී බුදුවීමෙන් පසු දෙවන සතිය බුදුරජාණන් වහන්සේ ගතකලේ තමාට බුද්ධත්වයට සෙවණ දුන් ඇසටු බෝධිය දෙස ඇසපිය නොහෙළා බලා සිටිමින් තමා විසින් අවබෝධ කොටගත් ඒ අතිමහත් ධර්මය මෙනෙහිකරමින්ය. එහෙත් ඒ පිළිබඳව වැඩි විස්තරයක් සුත්‍ර පිටකයේ සොයාගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඒ අඩුව පිරවීමට මහාචාර්යය රෙරුකාණේ චන්දවිමල මහනායක ස්ථවිරයන් වහන්සේගේ බෝධි පුජාව නමැති ග්‍රන්ථයේ මෙම කොටස ඇතුලත් කරන්නට සිතුණා .

මහා බෝධිය

බෝධි වෘක්‍ෂවල සර්‍වඥවරයන්ට ඒ තත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නො ලබා බුදු විය නො හැකි ය. මහ බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධිමූලයන්ට එළඹෙන්නේ ඒ නිසා ය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණෙකි. එයින් ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුවරුන් පරිභෝග කළ වස්තූහු ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ බුදු වූ විගස ම ඒ අසුනෙන් නො නැඟී බෝධියට පිට දී සතියක් ම එතැන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසා ද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්‍ෂවලින් සියල්ලට උසස් වෘක්‍ෂය වන බැවින් ඒ වෘක්‍ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින් ද ශක්‍ර‍ බ්‍ර‍හ්මාදි මහත් වූ පුද්ගලයන්ගෙන් පුද ලබන බැවින් ද මහා බෝධි නම් විය.

බෝධි මණ්ඩලය

ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍ර‍ත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්වයට පැමිණිය හැකි ය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේ ය. මහා බෝධි සත්ත්වයනට එසේ කොතැනක දී හෝ බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. මිනිස් ලොවෙහි ම මිස දිව්‍ය‍ලෝක බ්‍ර‍හ්මලෝක නාගලෝකාදියෙහි ලොවුතුරා බුදුබව නො ලැබිය හැකි ය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහි ම ය. එහි ද සෑම තැනකදී ම බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නො හෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍ර‍හ්මයකුට වුව ද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැ යි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍යදේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.

සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.

පළමුවන බෝධි පූජාව නොහොත් අනිමිසලෝචන පූජාව

ශ්‍රී මහා බෝධීන් වහන්සේට පළමු වන පූජාව කෙළේ ද තථාගතයන් වහන්සේ විසිනි. ලොවුතුරා බුදු බව ලැබූ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝධි මූලයේ වජ්‍රාසනයේ ම පළමුවන සතිය ගෙවා ඉන් නැඟිට බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ මාගේ අදහස මේ බෝධිමූලයේ දී මස්තකප්‍රාප්ත වූයේ ය. මෙය නිකම් ම අත් හැර නො යා යුතු ය. මා හට බුදු බව ලැබීමට උපකාර වූ මේ බෝධි වෘක්‍ෂයට හා ආසනයට පූජාවක් කළ යුතුය යි සිතා බෝධිය දෙසත් වජ්‍රාසනය දෙසත් පඤ්ච වර්ණයෙන් බබලන්නා වූ නෙත් දෙකින් ඇසිපිය නො හෙළා ම සතියක් මුළුල්ලෙහි බලා ගෙන සිටි සේක. එය නේත්‍ර‍ පූජාවෙකි. එයට අනිමිසලෝචන පූජාව ය යි කියනු ලැබේ. එය ඉතා දුෂ්කර පූජාවකි. සාමාන්‍ය මිනිසුන්ට විනාඩි ගණනක් ඇසිපිය නො හෙළා විසීම ද දුෂ්කර ය. එහෙත් තමනට බුදු බව ලබා ගැනීමට ආධාර වූ ස්ථානය බව සලකා ඒ දෙස ඇසි පිය නො හෙළා බලාගෙන සතියක් ම ඇසින් පූජා කරමින් සමවත් සමවැද සිටිසේක. (මෙතැන අනිමිසලෝචන චෛත්‍ය නම් වී.)

උපකාරක ග්‍රන්ථ

මහාචාර්යය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත බෝධි පුජාව නම් ග්‍රන්ථය

පඨමං බෝධිපල්ලංකං – දුතියංච අනිම්මිසං

තතියං චංකමණං -සෙට්ඨං – චතුත්ථං රතනාඝරං

පඤ්චමං අජපාලඤ්ච – මුචලින්දේන ඡට්ඨමං

සත්තමං රාජායතනං – වන්දේ තං මුනිසේවිතං

Ape Budu Hamuduruwo 257

අපේ බුදුහාමුදුරුවෝ 257 (සන්තිකේ නිධානය)

 

සත්සතිය 02

බුද්ධත්වයට පත්වීමෙන් දෙවැනි සතිය පළමු දින යමා මහ පෙළහර පෑම.

බුදු වීමෙන් පසුත් උන්වහන්සේ මිට ඉහත කී පරිදී සමවතින් නොනැගිට දවස් හතක්ම නිවන් සුවය අත්විදිමින් සිටියා. සත්වෙනි දවසේ රාත්‍රියේ පටිච්ච් සමුප්පාද දරමයන් මෙනෙහි කල බව මීට ඉහතදී කීවා. පළඟ නො ලිහා ම බෝ මුලැ භාග්‍යවතුන් වහන්සේ ඉන්නා දුටු ඇතැම් දේවතා කෙනෙක්නට තව ම සිද්ධාර්ථයන් වහන්සේ විසින් කළ මනා කෘත්‍ය ඇත්තේ වන. පළඟෙහි ඇල්ම නො හැරියේ එහෙයින් දෝ”යි කල්පනා කරන්නට වුණා. එවිටැ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ඒ පරිවිතර්කය දැන, අහසට නැග ඔවුන්ගේ විතර්ක දුරු කිරීමෙහි සමර්ථ වූ යමා පෙළහරක් දක්වන්නට වුණා. ප‍්‍රාතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප‍්‍රාතිහාර්ය ඥානය ලෙස හඳුන්වනව. අතිශය දුෂ්කර මෙන්ම විරළ කාර්යයක් වන යමක ප‍්‍රාතිහාර්ය පෑම රහතන් වහන්සේලාටද පසේ බුදුවරුන්ටද අර්හත්වයේ අනුහසින් කළ නොහැකියි. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප‍්‍රාතිහාර්ය පෑමට අසමත් වනවා. එහෙයින් සම්මා සම්බුදුවරයෙකුම බව ලොවට පෙන්වීමට ඇති හොඳම මාර්ගය සම්මා සම්බුදුවරයෙකුට පමණක් සුවිසේෂි වූ යමක ප්‍රාතිහාර්යය පෑම පමණක් බව දැන් ඔබටත් වැටහෙනවා ඇති. එහෙත් එවැනි ප්‍රාතිහාර්යය පෑමක් සම්මා සම්බුදුවරයෙකු ලෙහෙසියෙන් ම නොකරණ බවත් අප මහා බුදුපියාණන් වහන්සේ විසින් යමක ප්‍රාතිහාර්‍ය පෑවේ ජිවිත කාලයටම තුන් වරක් පමණක් බවත්, එහි විස්තරත් මීට ඉහත ලිපිවල සඳහන් කළා. එම පෙළහර දැක්වීම පිළිබඳව ඛුද්දකනිකායේ » පටිසම්භිදාමග්ගපාළියෙහි » මහාවග්ගයේ » ඤාණකථාවල » යමකපාටිහීරඤාණ නිද්දේශයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් මෙලෙස දේශණා කොට වදාරා තිබෙනවා. එමනිසා එම සුත්‍ර දේශනාවේ ඇති අයුරින්ම මෙහි සඳහන් කරනවා.

යමකප්‍රාතිහාර්‍ය්‍යය

කුමක් නම් තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය වේද? මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට අසාධාරණවූ යමක ප්‍රාතිහාර්ය දක්වයි.

උඩුකයින් ගිනිකඳ පවතියි. යටිකයින් දිය දහර පවතියි.

යටිකයින් ගිනිකඳ පවතියි. උඩුකයින් දිය දහර පවතියි.

පෙර කයින් ගිනිකඳ පවතියි. පසුකයින් දිය දහර පවතියි.

පසු කයින් ගිනිකඳ පවතියි. පෙර කයින් ගිනිකඳ පවතියි.

දකුණු ඇසින් ගිනිකඳ පවතියි. වම් ඇසින් දිය දහර පවතියි.

වම් ඇසින් දිය දහර පවතියි. දකුණු ඇසින් ගිනිකඳ පවතියි.

දකුණු කණින් ගිනිකඳ පවතියි. වම් කණින් දිය දහර පවතියි.

වම් කණින් ගිනිකඳ පවතියි දකුණු කණින් දිය දහර පවතියි.

දකුණු නාස් පුඩුවෙන් ගිනි කඳ පවතියි. වම්නාස් පුඩුවෙන් දිය දහර පවතියි.

වම් නාස් පුඩුවෙන් ගිනිකඳ පවතියි. දකුණු නාස් පුඩුවෙන් දිය දහර පවතියි.

දකුණු උරහිසින් ගිනිකඳ පවතියි. වම් උරහිසින් දියදහර පවතියි.

වම් උරහිසින් ගිනිකඳ පවතියි. දකුණු උරහිසින් දියකඳ පවතියි.

දකුණු අතින් ගිනිකඳ පවතියි. වම් අතින් දියකඳ පවතියි.

වම් අතින් ගිනිකඳ පවතියි. දකුණු අතින් දියදහර පවතියි.

දකුණු අංසයෙන් ගිනිකඳ පවතියි. වම් අංසයෙන් දිය දහර පවතියි.

වම් අංසයෙන් ගිනිකඳ පවතියි. දකුණු අංසයෙන් දිය දහර පවතියි.

දකුණු පාදයෙන් ගිනිකඳ පවතියි. වම් පාදයෙන් දිය දහර පවතියි

වම් පාදයෙන් ගිනිකඳ පවතියි. දකුණු පාදයෙන් දිය දහර පවතියි.

ඇඟිල්ලකින් ඇඟිල්ලකින් ගිනිකඳ පවතියි. ඇඟිලි අතරින් දිය දහර පවතියි.

ඇඟිලි අතරින් ගිනිකඳ පවතියි. ඇඟිල්ලකින් ඇඟිල්ලකින් දිය දහර පවතියි.

එක් එක් රෝමයකින් ගිනිකඳ පවතියි. එක් එක් රෝමයකින් දිය කඳ පවතියි.

රෝම කූපයකින් රෝම කූපයකින් ගිනිකඳ පවතියි රෝම කූපයකින් රෝම කූපයකින් දිය දහර පවතියි.

සකල ශරීරයෙන් නීල පීත ලොහිත ඔදාත මංජ්‍යෙෂ්ට ප්‍රභාස්වර යන සවණක් රැස් පවතියි.

මෙවැනි මහා ප්‍රාතිහාර්යය පෑමක් කරන අවස්ථාවේ පරිසරයේ නැගෙන ආලෝකය සමහරවිට දෙව්ලොව බඹලොව දක්වා පැතිරෙනවා ඇති. මෙම දර්ශණ බලා මවිත වුනේ සාදුකාර දුන්නේ මිනිසුන් නෙවෙයි. ඔබ මම මහා ඉහලින් සළකන ලබන දෙවියන් බ්‍රහ්මයන්. මොකද ඔවුන්ටවත් මෙවැනි දර්ශනයක් තම දීර්ඝ වූ ජිවත කාලය තුල දකින්නට නොලැබෙන නිසා.

උපකාරක ග්‍රන්ථ

ඛුද්දකනිකායේ » පටිසම්භිදාමග්ගපාළියෙහි » මහාවග්ගයේ » ඤාණකථාවල » යමකපාටිහීරඤාණ නිද්දේශය