Ape Budu Hamuduruwo 316

අපේ බුදුහාමුදුරුවෝ 316 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 07

හිරු දෙවියන් පිදීම සහ ගිනි දෙවියන් පිදීම ඉන්දියාවේ තාපසයන් අතර කල්පගනනාවක සිට පැමිණි චාරිත්‍රයක් කියා පෙනෙන්නේ ජාතක කතා අට්ට කතා කියවීමේදී. අපේ බෝසතාණන් වහන්සේත් තපස් පැවිද්දෙන් සිටි අතීත අත්මභාවයන්හිදී එම චාරිත්‍ර පිළිපැද තිබෙන බව ඉදිරි ලිපිවලින් සමහරවිට ඒ ඒ අවස්ථානුකුලව ඔබට කියවන්නට ලැබේවි. මේ කියන්නට යන සිද්ධියත් එවැන්නක්. ඒ උරුවෙලකස්සප ජටිල තවුසා සහ ඔහුගේ පිරිසගේ ගිනි දෙවියන් පිදීම සම්බන්ධව.

අවිද්‍යා අන්ධකාරයෙන් අතරමං වුන මෙම පිරිස දමනය කරගැනීමට බුදුරජාණන් වහන්සේ තවමත් උරුවෙලෙහිම වැඩ සිටිනවා. මේ අය එදින ගිනිදෙවියන් පිදීම පිණිස ගිණිමැල ගැසීම සඳහා සැරසිලා. ගිනි මැලයක් නෙවෙයි. ගිනිමැල පන්සියයක්වත් ඕනේ පිරිස වැඩි නිසා. ඒත් ඒ සඳහා දරත් එපැය. ගිනිමැල පන්සියය සඳහා දර කොටන් පන්සියයක් ගෙනවිත් පලන්නයි දැන් ලැහැස්ති වෙන්නේ. එහෙත් එය පහසු දෙයක් නෙවෙයි. වෙහෙස කාරී දෙයක්. එදා හැමෝම එක්වෙලා දර කොටන් පලන්න පටන්ගත්තා. හරිම පුදුමයි. පලනවා, පලනවා ඒත් එක කොටයක්වත් පැලෙන්නේ නැහැ. දැන් හැමෝටම වෙහෙසයි. උරුවෙලකස්සප ට මෙහෙම හිතුනා. මෙය අර මහශ්‍රමනයා ගේ අනුභාවයෙන් වෙන දෙයක්ද දන්නේ නැහැ. ඔහු තවමත් භාග්‍යවතුන් වහන්සේව අමතන්නේ මහා ශ්‍රමණයා කියලා. ඒ සිතිවිල්ල ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේට ඒ බව පෙනුණා. උන්වහන්සේ ඔහු වෙතට පැමිණ “කාශ්‍යපය, දර පැළෙන්නේ නැද්ද දැ?” යි විමසා සිටියා. . ජටිලතෙමේ ද “මහාශ්‍රමණය, දර පැළේන්නේ නැහැ නොවැයි ” ය කියා සිටියා. පැලීමට අවශ්‍යනම් එය කල හැකියි. භාග්‍යවතුන් වහන්සේ පවසා සිටියා. මහාශ්‍රමණය එය කල හැකිනම් ලොකු දෙයක්. කස්සප තාපසයා පවසා සිටියා. තවත් ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ ඒ දර කොටන් දෙස බැලූ කල්හිම එකවර ම දරකොටන් පන්සියයම ගිණි දැල්වීමට අවශ්‍ය ආකාරයට පැළී ගියා. ඔහු විමතියට පත්වුනත් පසු බැස්සේ නැහැ. ආයෙත් පරණ සිතිවිල්ලේම එළඹ ගත්තා. “යමකුගේ අනුභාවයෙන් දර නො පැළෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” ය.

සියල්ලම ලෑස්තියි. ජටිලයෝ ගිනි පුදනු කැමැත්තෙන් රැස්වෙලා. දැන් ගිනිතබන වෙලාවයි. ඊට නියමත අය දර ගොඩට ගිණි තිබ්බත් හරිම පුදුමයි එක කොටයක්වත් ඇවිලෙන්නේ නැහැ. කස්සප තුමාට මෙහෙම සිතිවිල්ලක් පහල වුණා .

“යම් සේ අපි ගිනි දල්වන්ට නො හැකි වෙමු ද, එය ඒකාන්තයෙන් මහාශ්‍රමණයාගේ ඍද්ධානුභාවයක් විය යුතුයි”.භාග්‍යවතුන් වහන්සේ එම සිතිවිල්ලත් මනසින් දුටුවා. උන්වහන්ස් පැමිණ උරුවේලකාශ්‍යප ජටිලයාහට “කාශ්‍යපය, ගිනි දැල්වේවා දැ?” යි අසා සිටියා. එවිට “මහාශ්‍රමණය, ගිනි දැල්වේවා”යි ජටිලතෙමේ කියා සිටියා. එකවර ම ඒ දර ගොඩවල් පන්සියයම ඇවිලුනා. ඔහු නැවතත් මෙලෙසම “යමකුගේ අනුභාවයෙන් ගිනි නො දැල්වෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” යි අනුවණ සිතම පහල වුණා . බුදුහාමුදුරුවෝ ඒ සිත දැකලත් නොදන්නවා වගේ පෙරසේම නිහඬ වුනා.

ඒ මොහොතේ සිටම මුළු රාත්‍රිය පුරාම ගින්දර එක දිගට ඇවිලෙනවා. කාටවත් නැවත නැවත අවුලන්න ඕනේ උනේ නැහැ. හරිම පුදුමයි බුදුවරුන්ගේ ආනුභාවය. දැන් හරිම පර්ශ්නයක් යාගය අවසන්. ජටිලයෝ ගින්දර නිවීමට උත්සාහ කරනවා. ඒත් ගින්දර නිවෙන්නේ නැහැ.. කස්සපට දැන් මෙහෙම හිතෙනවා.

ජටිලයන්ට “යම්හෙයකින් අපි ගිනි නිවන්නට නො හැකි වෙමු ද, එය නිසැකයෙන් ම මහාශ්‍රමණයාගේ ඍද්ධ්‍යනුභාවයක් ම විය යුතුයි. ඒ සිතිවිල්ල ඔහුගේ සිතෙහි ජනිත වූ සැණින් බුදුපියාණන් වහන්සේ මෙලෙස ඔහුගෙන් විමසුවා.

“කාශ්‍යපය, ගිනි නිවේවා දැ?”. “මහාශ්‍රමණය, ගිනි නිවේවා” යි ජටිලතෙමේ කියා සිටියා. ඒ වදන් පිටවී නිමේෂයයි. එකවර ම ගිනි ගොඩවල් පන්සියයම නිවී ගියා. . ඉන්පස්සේත් ඔහුගේ සිතේ පහලවුනේ සුපුරුදු පරණ සිතිවිල්ලමයි. “යමකුගේ අනුභාවයෙන් ගිනි නො නිවෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම වේ. එහෙත් මා මෙන් රහත් නොවේ ම ය”

බුදුරජාණන් වහන්සේ නිහඬව තව දුරටත් වැඩ සිටියා. ඔබටත් මෙය හොඳ පාඩමක්. පරිස්සම් විය යුතු කරුණක්. . අනතිමානී ගුණය දැන් සිටම පුරුදු කරන්න. සමහරවිට ඒ අඩුපාඩුවෙන් යම් දිනක බුදුවරයෙකු වුවත් මෙලෙසම වෙහෙසට පත්විය හැකියි.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 315

අපේ බුදුහාමුදුරුවෝ 315 (සන්තිකේ නිධානය)

 

ඒ තවත් පැහැබර හිමිදිරියක්. බුදුපියාණන් වහන්සේ තවමත් උරුවෙලෙහි වැඩ සිටින්නේ. රන් හා සමාන කාලය දිනෙන් දින දියවෙන බව උරුවෙලකාශ්‍යපජටිල තවුසාට වැටහෙන්නේ නැති හැටි හරිම පුදුමයි. ඔබ බුදුන් බැහැදකින්න කියලා කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බුදුපියාණන් වහන්සේ දැන් ඔබ අසල. ඔබ ගානකට නොගෙන සුපුරුදු ලෙසම තවුස්වත් පුරමින් උඩඟු කමින් කල් අරිනවා. අන් අයට තිබෙන අවස්ථාවත් මග ඇරෙනවා. මගේ හිත එලෙස උරුවෙලකස්සපට දොස්කියන්නට පටන්ගත්තා. එහෙත් බුදුපියාණන් වහන්සේට එහෙම හිතුනේ නැතිව වෙන්නට ඇති. එදින ඔහු එනතෙක් පෙරමග සක්මනක යෙදිලා. ඒ රැය ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට උරුවෙලකස්සප ලහි ලහියේ පැමිණියා. . පැමිණ “මහාශ්‍රමණය, සුදුසු කාලය වේ. බත නිමියේ ය” කියා සිටියා. . “කාශ්‍යපය එසේනම් ගිනිහල්ගෙය වෙත යන්න මම වඩින්නම්. උරුවේලකාශ්‍යප තාපසය ඉස්සර වුනා. බුදුරජාණන් වහන්සේ ක්ෂණයකින් දඹදිව සුප්‍රසිද්ධ දඹගසක් තිබුණා. එහි ගෙඩි අති මිහිරි රසයෙන්ද සුවන්දින්ද යුක්ත වුණා . ඒ නිසාම ඒ ගස ජනයා අතර ප්‍රසිද්ධයට පත්වෙලා තිබුනේ. බුදුපියාණන් වහන්සේ ක්ෂණයකින්ම ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩ සිටියා. උරුවේලකාශ්‍යපජටිල තුමා ගිනිහල්ගෙට ඇතුළු වෙනකොටම භාග්‍යවතුන් වහන්සේ එහි වැඩසිටිනවා. ඔහු තිගැස්සුනා.

හරිම ආශ්චර්යයක් භාග්‍යවතුන් වහන්සේ කොහොමද මෙතනට ආවේ. මමනේ ඉදිරියෙන් ආවේ. උන්වහන්සේ වැඩියේ මට පහුවෙලා. ඔහුට ප්‍රශ්ණ වැලක්.

“මහාශ්‍රමණය, ඔබ කවර මගකින් ආසේක් ද? මම ඔබට පළමු ව පිටත් වූයෙමි. ඒත් ඔබ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩසිටිනවා! බුදුරජාණන් වහන්සේ ඔහුට සියල්ල පහදා දෙන්නට වුණා.

“කාශ්‍යපය, මෙහි මම ඔබ පිටත් කොට, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉදින් කැමැත්තෙහි නම් අනුභව කරව” යි වදාරනු ලැබුවා.

“මහාශ්‍රමණය, කම් නැත. ඔබ ම මේ දඹදෙහඩිය ගෙණ ආසේක. ඔබ ම මෙය අනුභව කරණු මැනැව.” ඔහු බුදුපියාණන් වහන්සේටම එම ගෙඩිය පූජා කරනු ලැබුවා. ඉන්පස්සේ ආයෙත් වෙනදා ලෙසම මෙහෙම හිතනවා.

“යමෙක් මා පළමු කොට පිටත් කර යවා, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” ඉතින් භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම නැවතත් වැඩසිටියා.

පසුදිනත්, ඊට පසු දිනත්, ඊටත් පසුදිනත් පෙර දිනයේ සේම අශ්චර්යන් තුනක් වුනා. එනම් ඊට පසුදින සිට පිලිවෙලින් දඹ ගසට නුදුරින් වූ අඹ ගසින්ද, අඹ ගසට නුදුරින් වූ නෙල්ලි ගසින්ද නෙල්ලිගසට නුදුරින් වූ අරළුගසින්ද, ගෙඩි කඩා ඔහුට පෙරවිත් ගිනිහල්ගෙහි වැඩ සිටියා. ඒ හැම අවස්ථාවකම ඔහුට සිතුනේ පෙර පරිදිමයි. මොනදේ කලත් මා මෙන් රහත් ඵලයට නම් පැමිණිලා නැහැ කියලා.

දැන් මේ ලෝකේ කොතැනක තියෙන දෙයක් ක්ෂණයකින් ගෙන පෙන්නුවත් උරුවෙල කස්සපගේ හිත වෙනස් නොවෙන බව බුදුපියාණන් වහන්සේ දන්නවා. ඒ එක්කම දැන් ඔහුගේ මාන්නයත් ක්‍රමක්‍රමයෙන් තුනිවන බවත් පෙනෙන්නේට ඇති කියලා මට හිතෙනවා. එදත් උදෑසන සුපුරුදුලෙස ඔහු දානයත් සමග පෙරමගට පැමිණියා. බුදුපියාණන් වහන්සේත් පෙර පරිදිම ඔහුව ගිණිහල වෙත යන්නට නියම කරා. එදා බුදුපියාණන් වහන්සේ ක්ෂණයකින් මතුවුනේ දඹදිව වෙනත් පෙදසකින් නොවෙයි. දෙවුලොව පරසතු ගසක් අසළින්. එයින් පරසතු මලක් රැගෙන ගිණිහල් ගෙයි වැඩසිටියේ උරුවෙල කස්සපට පෙර වැඩම කොට.

උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ගිනිහල්ගෙයි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේව දුටුවා. දැක භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, නුඹවහන්සේ කිනම් මගකින් ආසේක් ද? මම නුඹවහන්සේට වඩා පළමු කොට පිටත් වූයෙම් වෙමි. ඒ නුඹවහන්සේ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ” යැයි පවසා සිටියා. එවිට බුදුපියාණන් වහන්සේ මෙලෙස දේශණා කරනු ලැබුවා. . “කාශ්‍යපය, මම මෙහි ඔබ පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙම් වෙමි. කාශ්‍යපය, මේ පරසතුමල පැහැයෙන් යුක්ත ය. සුවඳින් යුක්ත ය” යි වදාරනු ලැබුවා. ඒ මොහොතේ මුළු ජනපදය පුරාම ඒ මල් සුවඳ විසිරෙන්නට ඇති. පරසතු මල් විතරක් නෙවෙයි දෙව් ලොව තියෙන සෑම මලක්ම එහෙම තමයි. ඉතින් පරසතු මල් ගැන කුමන කතාද? එවන් අසිරියක් දැකලත් ඒ මාන්නක්කාර සිත හිලෑ වුනේ නැහැ. ඔහු “යමෙක් මා පළමු කොට පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” ය

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 314

අපේ බුදුහාමුදුරුවෝ 314 (සන්තිකේ නිධානය)

ඒ තවත් එක් භාග්‍යවන්ත දිනයක්. මම එහෙම ලියුවේ භග්‍යවතුන් වහන්සේනමක් ජීවමානව මේ මිහිමඬල ස්පර්ශ කරමින් වැඩසිටින නිසා. උන්වහන්සේ වව බැහැ දැකීමට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරමින් පැමිණි පිරිස් මුළු දඹදිව පුරය පුරාම විසිරිලා. භාග්‍යවතුන් වහන්සේ තවමත් උරුවෙලකස්සප ඇතුළු පිරිසට විමුක්තිය උදා කිරීමට උරුවෙලෙහි වැඩසිටිනවා.

භාග්‍යවතුන් වහන්සේට පංසුකූලයක් හමුවෙලා. ඔබ දන්නවා පංසුකූලයක් කියන්නේ මෘතදෙහයක් ඔතා ගෙනැවිත් දැමු රෙද්දක් කියලා. උන්වහන්සේට “මම කොතැන්හි දී පංසුකූලය සෝදන්නේනම් දැ?” යි සිතක් පහළ වුණා . ක්ෂණයයි ගතවුනේ. දෙවියන්ට අධිපති වූ ශක්‍රදේව රාජෝත්තමයන් වහන්සේගේ සිතට මෙම කරණය දැනුණා. ඔහු වහාම උන්වහන්සේ ඉදිරියේ පහළවුනා. පහල වී උන්වහන්සේගේ අතින්ම පොකුණක් හාරා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය සෝදන සේක්වා” යි සැළ කොට සිටියා. දිව්‍යමය හස්තියක් කියන්නේ අපේ හස්තියක් වගේ නෙවෙයිනේ. තම සිතින් අධිෂ්ටාන කොට අත දික් කිරීම පමණයි අවශ්‍යය. මෙම ලිපි පෙලෙහිම දුරේ නිධානයේ එවැනි විශ්කම් බොහෝ මම ලියා තිබෙනවා.

ඉන් පස්සේ භාග්‍යවතුන් වහන්සේට තවත් සිතිවල්ලක් පහළ වුනා. “මම කුමක ලා පංසුකූලය පිරිමදින්නෙම් දැ?” ඇයි පොකුණක් තිබුනට මදිනේ. රෙද්දක් පිරිසිදු කරන්න ගලක් තියෙන්නත් ඕනනේ.

මෙම චිත්තවිතර්‍කය තම සිතින් දැනගත් සක්දෙවිඳු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය පිරිමදිනසේක්වා” යි විශාල ගලක් එහි තබනු ලැබුවා. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේට තවත් සිතිවිල්ලක් පහළවුනා.

“මම කොතැනක එල්බී ගොඩ නගින්නෙම්දැ?

හැබැයි ඒ අවස්ථාව සක්දෙවිඳුට ලැබුනේ නැහැ. ඒ අසල තිබු කුඹුක්ගසට අරක් ගත් දේවතාවත් මේ සියල්ලම බලා සිටියේ. ඒ දේවතාවුන් වහන්සේ “භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගින සේක් වා” යි තම විමානේ අත්තක් ඒ තොටුපල දෙසට නවනු ලැබුවා. මම හිතන්නේ සක්දෙවිදු නිහඬ වෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඕනේ. ඇයි තමන්ට අයත් නැති දෙපලක්නේ. ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේට “මම පංසුකූලය කොතැනක දිග හරින්නෙම් ද? (වේලීම සඳහා) සිතක් පහල වුණා. සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි දිග හරිණ (වනන) සේක්වා” යි මහත් ගලක් පසෙකින් තැබුවා.

බලන්න දනට පිනට දීමේ කුසල විපාක. සිතු පැතු දේ ඒ මොහොතේම පහළවන. මෙලෙස අපූරු අශ්චර්යන් තවත් රාත්‍රියක් ගෙවිලා ගියා. උරුවේලකාශ්‍යපජටිල තවුසා සුපුරුදු ලෙසම පසුදාත් උදැසනින්ම පොරොන්දු වූ පරිදි දානය රැගෙන . භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. හරිම පුදුමයි මුළු පරිසරයම වෙනස් වෙලා. පොකුණු ගල්තලා දියනෑමට තොටුපළවල්. ඔහුට බුදුරජාණන් වහන්සේ දන් වළදනතෙක් ඉවසා සිටීමටවත් නොහැකි වුණා. ප්‍රශ්ණ වැලක් භාග්‍යවතුන් වහන්සේ වෙත යොමුකරනු ලැබුවේ දන් වැළදීමටත් පෙරයි.

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහාශ්‍රමණය, කිමෙක් ද? මේ පොකුණ පෙර මෙහි නො වී ය. මෙහි ඒ මේ පොකුණ දැන් තිබේ. පෙර මේ ගල නො තිබුනි. කවරකු විසින් මේ ගල තබන ලද්දේ ද? පෙර මේ කුඹුක් ගසේ අත්ත නො නැමින. දැන් ඒ මේ අත්ත නැමිනැ’යි ප්‍රශ්ණ පත්තරයක් කියවගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් සෙමින් මහාකරුණා වෙන් ඔහුට තතු පැහැදිලි කළා.

“කාශ්‍යපය, මෙහි දී මට පංසුකූලයක් උපන්නේ ය. ‘කොතැනක මම පංසුකූලය සෝදන්නෙම් දැ?’ යි ඒ මට සිතක් උපන. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන අතින් පොකුණක් හාරා මට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි සෝදනසේක්වා’ යි කීයේ ය. ඒ මේ පොකුණ නො මිනිසකු අතින් සාරණලද්දේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම කො තැනක පංසුකූලය පිරිමදින්නෙම් දැ?’ යි සිතක් වූයේ ය. කාශ්‍යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පංසුකූලය මෙහි පිරිමදිනසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුවේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය. ‘කාශ්‍යපය, ඒ මට මම කො තැනක එල්බී ගොඩ නගින්නෙම් දැ’ යි සිතක් උපන්නේ ය. ඉක්බිති කාශ්‍යපය, කුඹුක්ගසෙහි අරක්ගත් දේවතාතොමෝ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගිනසේක්වා” යි අත්තක් නැමූ ය. ඒ මේ කුඹුක්ගස “ස්වාමීනි, අත දෙව” යි කියන්නා සේ ය. කාශ්‍යපය, ඒ මට ‘මම පංසුකූලය කො තැනක දිග හරින්නෙම් දැ?’ යි සිතක් වි ය. ඉක්බිති කාශ්‍යපය, සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි පංසුකූලය දිග හරිණසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය”

ඔබට සිනහා යනවා නොවනුමානයි. උරුවේලකාශ්‍යපජටිල තවුසාට පැරණි සිතිවිල්ලමයි පහල වුනේ.

“සක්දෙව් රජතෙමේත් යම් මහාශ්‍රමණයකුට වතාවත් කරන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධිඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය”

ඉතින් මොනවා කරන්නද? භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා තව දුරටත් ඔහු වෙනුවෙන්ම මහත් වූ කරුණාවෙන් ඒ වනලැහැබෙහි ම වැඩ සිටියා.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර

Ape Budu Hamuduruwo 313

අපේ බුදුහාමුදුරුවෝ 313 (සන්තිකේ නිධානය)

 

පඤ්චම ප්‍රාතිහාර්‍ය්‍යය

බලන්න මෙච්චර කාලයක් පාරමිතාවන් පුරමින් අනේකවිධි පින්කම් කරමින් පැමිණි උරුවෙලකස්සප බුදුරජාණන් වහන්සේ මුණගැහිලත් තවත් ප්‍රමාද වන සැටි. ඒ තමයි මේ භිහිසුණු සසරේ හැටි. බුදුරජාණන් වහන්සේ තවමත් නිශ්චිත හෝරාව එනතෙක් බලමින් උරුවෙල් දන්ව්වේම වැඩසිටිනවා. දැන් එයටත් බාධාවක් පැමිණෙමින් තිබෙන මොහොතක්.

ඒ පාර දැන් උරුවේලකාශ්‍යපජටිල තුමා මහායාගයක් සඳහා සුදානම් වනවා. මම හිතන්නේ එය වාර්ෂිකව කරනු ලබන්නක් විය හැකියි. මෙදින තමයි මුළු දනවුවැස්සෝ බොහෝ වූ කෑයුතු දේත් බෙදිය යුතු දේත් ගෙණ පැමිණෙන දිනය. සමහරවිට මුළු අවුරුද්ද පුරාවටම එළැඹෙන විශාල වශයෙන් ලාභසත්කාර ලැබෙන එකම එක දිනය හෝ දින කිහිපය වන්නටත් පුළුවන්. බල ලෝභය කොතරම්ද? ඒ නිසාම හින්දද කොහෙද ඒ ඔහුගේ සිතෙහි මෙලෙස පවිටු සිතිවිල්ලක් පහල වුණා.

“දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැස්සෝ බොහෝ වූ කෑ යුතු දේත් බිදියයුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාර ය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාරය පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ” යි මෙබඳු සිතක් උපන්න.

බලන්න කල්ප කාලාන්තරයක් ගුණදම් වඩමින් පාරමිතා පුරමින් පැමිණෙන පුද්ගලයන් හටත් ලභාසත්කාරය බුදුන් අභියසම සිත මෝහයට පත් කරයි නම් අපි ගැන කුමන කතාද?

ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ ඒ සිතිවිල්ල මනසින් දුටුවා. උන්වහන්සේ ඔහුට තව දුරටත් ඔහුව බියගැන්වීමට හෝ ඔහුගේ චිත්ත ඒකාග්‍රතාවට බාධාවක් වන සැටියට එහිම රැඳී සිටින්න උත්සාහ දැරුවේ නැහැ. එදිනම උතුරුකුරුදිවයිනට වැඩ එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කරමින් සමවත් සිතෙන් වැඩ සිටියා. ඒ සියල්ලම නිමා වීමට ඉඩහැර යලිත් උරුවේලයට වැඩම කරනු ලැබුවේ ඔහු වෙනුවෙන්ම මහත් වූ කරුණාවෙන් බව ඔහුවත් දැන සිටියේ නැහැ. හැබැයි ඒ මහත් වූ මෛත්‍රී සිත නිසාද මන්දා උරුවේලකාශ්‍යප ජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය සැනින් යලිත් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහා ශ්‍රමණය, කුමක් නිසා ඊයේ නො ආවහු ද? එහෙත් ‘අපි මහාශ්‍රමණතෙමේ කුමක් නිසා නො ඒ දැ?’ යි ඔබවහන්සේ සිහිපත් කෙළෙමු. කෑ යුතු දෙය ද බිදියයුතු දෙය ද පිළිබඳ ඔබ වහන්සේගේ කොටස තබන ලද්දේ ය” යි මොනවත් නොදන්නා ලෙස කියා සිටියා.

එවිට කවදත් බොරුවක් නොකියන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඔහුගේම පවිටු සිතිවිල්ල ගැන මෙසේ පහදා දුන්නා.

‘කාශ්‍යපය, නුඹට ‘දැන් මාගේ මහායාගය එළඹ සිටියේ ය. අඟුමගදදනවුවැසි ඉතා වැඩි දෙනෙක් බොහෝ වූ කෑ යුතු දේත් බිදිය යුතු දේත් ගෙණ එළඹෙන්නාහු ය. ඉදින් මහාශ්‍රමණ තෙමේ මහාජනසමූහයා මැද ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයක් කරන්නේ නම්, මහාශ්‍රමණයාගේ ලාභසත්කාරය වැඩෙන්නේ ය. මගේ ලාභසත්කාර පිරිහෙන්නේ ය. එහෙයින් මහාශ්‍රමණ තෙමේ හෙට නො එන්නේ නම් යෙහෙකැ’ යි මෙබඳු සිතක් නො වූයේ ද? යැයි අසා සිටියා.

“කාශ්‍යපය, ඒ මම නුඹගේ සිත මා සිතින් දැන උතුරුකුරු දිවයිනට ගොස් එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කෙළෙමි” යි පවසා සිටියා. හරිම පුදුමයි. මට හිතුනා ලජ්ජා හිතේවි කියලා. නැහැ මාන්නය ඒ සියල්ල යටපත් කරලා ඔහුට නැවතත් සිතුනේ පෙර පරිදිමයි.

“යමෙක් සිය සිතින් අනුන්ගේ සිත දැන ගන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේම ය. එහෙත් මා මෙන් රහත්, නො වේ මැ”

ඔබට සමහරවිට සිනහ යනවා ඇති. සමහරවිට තරහ යනවත් ඇති. මටත් එහෙමයි. එහෙත් අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලම ඉක්මවා ගොස ඉවරයි. ඒ කියන්නේ ඇලීම සහ ගැටීම. උන්වහන්සේ උරුවේලකාශ්‍යපජටිල තුමාගේ හිල්දානය වළඳා ඒ වනලැහැබෙහි ම තව දුරටත් ඔහු වෙනුවෙන්ම වැඩ සිටියා. හරිම පුදුමයි. .

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර

Ape Budu Hamuduruwo 312

අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය)

 

උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත

ඔබට දැන් හිතෙනවා ඇති ඇයි මෙතරම් කාලයක් බුදුපියාණන් වහන්සේ උරුවේල කාශ්‍යප වෙනුවෙන් උරුවෙල් දනව්වේ වැඩ සිටියේ කියලා.එයට එක් කරුණක් තමයි ඔහුගේ පිරිස. දෙවැන්න ඔහුගේ පාරමිතා පුර්ණය.

කස්සප කියන්නේ ඔහුගේ ගෝත්‍ර නාමයයි. උරුවෙල දනව්වේ වැඩසිටි නිසා කස්සප නාමයට ගමේ නමත් එකතුවෙලා උරුවෙලකස්සප නමින් ප්‍රසිද්ධ වුනා. පසුකාලයේ බුදුරජුන් වෙත පැමිණි මහණ වූ මහා තෙරවුරන්ටත් පිරිවර හිටියා. එහෙත් උරුවෙලකස්සප තෙරුන්ට තරමටම පිරිවර හිටියේ නැහැ. ඒ තෙරුන්වහන්සේලාගේ පිරිවර යම් කාල වල වැඩි වුණා . එහෙත් සමහර කාල වල හොදටම අඩුවුනා. එහෙත් උරුවෙලකස්සපගේ පිරිවර අවම වශයෙන් දහසක් වුනා. තම සහෝදරයන් දෙදෙනාගේ පිරිවරත් සමග එය දෙගුණ තෙගුණ වුනා. ඔවුන් කාලයෙන් කාලයට ගෝලයෝ පැවිදිකර ගත්තා. ඔවුන් එක් වී එක් කෙනෙකු එකිනෙකා බැගින් පැවිදිකරවන කාලයට පිරිස දෙදහසක් පමණ වුනා. . දෙදෙනා බැගින් පැවිදිකරවන කාලයට තුන්දහසක් ශ්‍රමණයෝ සිටියා. ඒ නිසාම පසුකාලයේ උන්වහන්සේ අසුමහා ශ්‍රාවකයන් අතර මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වුණා.

ඔවුන්ගේ පාරමිතා පුර්ණය මෙලෙසයි. ඔහු පියුමුතුරා බුදුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර කුලගෙයක පිළිසිඳගෙන වියපත්වියට පත්වී සිටියේ. දිනක් පියුමතුරා බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණි ඔහු ශාස්තෘන්වහන්සේගේ ධර්‍මකථාව අසමින් සිටියා. එම දර්මදේෂණය අවසානයේ එක් භික්‍ෂුවක මහත් පිරිවර ඇත්තවුන් අතුරෙන් අගතැන්හි තබන ශාස්තෘන්වහන්සේ දැක්ක ඔහු හට “අනේ මාවිසින්ද අනාගතයෙහි මෙබන්දකු වීම වටීයයි” සිතක් පහල වුනා. එදා සිටබ් සත්දිනක් බුදුපාමොක් මහසඟනට මහදන්දී තුන්සිවුරෙන් අන්දවා බුදුන්වහන්සේ වැඳ මහපිරිස් ඇත්තවුන්ට අග්‍රස්ථානය යම් බුදුවරයෙකු හමුවේ ලැබීමට ප්‍රාර්ථනය කරා. මේ දුටුව ශාස්තෘන්වහන්සේ එහි අනතුරක් නොදැක අනාගතයෙහි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සසුනෙහි මහපිරිස් ඇත්තවුන් අතුරින් අග්‍ර වන්නෙහිය’යි විවරණදී එම අධිෂ්ඨානය ස්ථිර කරනු ලැබුවා. ඉන්පස්සේ ඒ කුලපුත්‍රයා ඒ කියන්නේ එකල උරුවෙල්කස්සප තෙරුන් දිවිහිමියෙන් කුසල්දම් කොට දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරන්නට වුණා.

මෙයින් කල්ප අනූදෙකක් මත්තෙහි ඵුස්ස කියලා බුදුවරයෙකු ලොව පහලවුනා. මේ ලිපි පෙලේ දුරේ නිධානය කියන කොටසේ මේ බුදුවරු ගැනත් උන්වහන්සේලාගේ විශේෂතා ගැනත් ලියලා තියෙනව. ඒ බුදුරජාණන් වහන්සේගේ සුළුමවගේ කනිටු පුතු ලෙස මොහො උපත ලැබුවා. ඒ කියන්නේ ඵුස්ස බුදුපියාණන් වහන්සේගේ කණිටු සහෝදරයා. පියා මහින්‍ද නම් රජකෙනෙක්. මොහුට වෙනත් කනිටු සොහොයුරෝ දෙනනෙක් ද සිටියා. මෙසේ ඒ තුන්බෑයෝ වෙන්වෙන්ව රජුගෙන් තනතුරු ලැබූවා. එක් කාලයක ප්‍රත්‍යන්ත දේශයෙහි කැරැල්ලක් ඇතිවුණා. ඔවුන් විසින් ඒ කැරැල්ල සංසිඳුවනු ලැබුවා. මෙයින් සතුටට පත්වූ පියා විසින් ඔවුනට කැමති වරයක් ගන්නට කිවා. බලන්න සසරෙහි පින් කරපු උත්තමයෝ. ඔවුනට මෙහෙම අදහසක් පහල වුනා. . ‘දශබලයන්වහන්සේ පිළිදැගුම් කරන අප විසින් සුදුසු දෙයක් කිරීමට වටී’ යනුවෙනි. ඒ කියන්නේ ඒ වනවිටත් ඔවුන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් සිටියේ. එක් අමතියකු උපස්ථාන තනතුරෙහි තබලා තවකෙනෙකු අයවැය සාදන කෙනා කොට තවත් ඇමතියෙක් බුදු පාමොක් මහසඟනට අහර දෙමින් විධාන කරන්නෙකුගේ තනතුරෙහි තබා තමන් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රකින්නට අවසර ඉල්ලා ගත්තා. . ඔබ දන්නවද කවුද ඒ ඇමතිවරු තුන්දෙනා කියලා. ඔවුන් තමයි මේ බුද්ධෝත්පාදයෙහි බිම්බිසාර, විශාඛ හා රට්ඨපාල යන අය.

ඒ රාජකුමාරවරු මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානකොට භාග්‍යවතුන්වහන්සේ විසූවස් ඇති කල්හි සියතින් බුදුපාමොක් සඟනට ප්‍රත්‍යය පූජාවෙන් පුදා දිවිඇති තෙක් කුසල් දහම් කොට අපගේ බුදුන්වහන්සේ ගේ කාලයේ මෙලෙස බමුණුකුලයක ඉපදුනා. තමන්ගේ ගොත්‍ර වශයෙන් තිදෙනාම කාශ්‍යප නම් වුවා. වියපත් ඔවුහු ත්‍රිවේදයම ඉගෙනගනු ලැබුවා. ඔවුන්ගේ දෙටු බෑයාට පන්සියයක් මානවකයෝ පිරිවර සිටියා.. මැඳුම් බෑයාට තුන්සියයක් කනිටු බෑයාට දෙසියක් පිරිවර වුණා. . ඉන්පසු ඔවුන්ගේ දෙටු සොහොයුරා තමන්ගේ පිරිවර සමඟ උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිව උරුවෙලකස්සප නමින් වැඩසිටියා. මහගඟ නදීවංකයක පැවිදිවූ තැනැත්තේ නදීකස්සප නම් වවුණා . ගයා ශීර්ෂයෙහි පැවිදිවූ තැනැත්ත ගයා කස්සප නම්වුනා. දැන් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ ඇයි තවමත් මේ අය වෙනුවෙන් වැඩ සිටින්නේ කියලා.

උපකාරක ග්‍රන්ථ

උරුවෙලකස‍්සපත්‍ථෙරගාථා ඛුද‍්දකනිකායොථෙරගාථාපාළි ඡක‍්කනිපාතො

උරුවෙලකස‍්සපත්‍ථෙරාපදානං ඛුද‍්දකනිකායොඅපදානපාළිථෙරඅපදානපාළි. කච‍්චානවග‍්ගො සුත‍්ත අට‍්ඨකථා උරුවෙලකස‍්සපත්‍ථෙරවත්‍ථු

අඞ‍්ගුත‍්තරනිකායො අට‍්ඨකථාඑකකනිපාත-අට‍්ඨකථාඑතදග‍්ගපාළිචතුත්‍ථඑතදග‍්ගවග‍්ගො සුත‍්ත අට‍්ඨකථා උරුවෙලකස‍්සපත්‍ථෙරගාථාවණ‍්ණනා

ඛුද‍්දකනිකායො අට‍්ඨකථාථෙරගාථා-අට‍්ඨකථා ඡක‍්කනිපාතො