Ape Budu Hamuduruwo 341

අපේ බුදුහාමුදුරුවෝ 341 (සන්තිකේ නිධානය)

 

අපේ බුදු හාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 04

මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන් ම බුදුන් හමුවට එන්නෙමියි අස්සජී තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා උපතිස්ස පරිබ්‍රාජකයා එදා ආරාමය බලා පිටත්ව ගියා. කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා දුරසිටම දැක අද මගේ යහළුවාගේ මුහුණ වෙනත් දිනවලදී මෙන් නොවේ. ඒකාන්තයෙන් ම මොහු නිවන (නිවීම) සොයා ගන්නට ඇතියි සිතා, ඔබ නිවන් ලැබුවෙහිදැයි ඇසුවේ නොවිසිල්ලෙන්.. උපතිස්සද එසේය ඇවැත්නි, ප්‍රතිඋත්තරදී යථෝක්ත ගාථාවම සජ්ජායනා කරනු ලැබුවා. ඒ ගාථා කෙළවර කෝලිතද සෝවාන් පෙලෙහි පිහිටා පිහිටනු ලැබුවා.

යහළුව, අපේ ශාස්තෘවරයන්වහන්සේ කොහි වසනසේක්ද? එහෙම ඇසුවේ කෝලිත (මුගලන්) පිරිවැජියා. එවිට උපතිස්ස ඇවැත්නී, වේළුවනාරාමයෙහි යයි අපේ ආචාර්ය අස්සජි තෙරණුවන් විසින් දන්වන ලදැයි කියා සිටියා. යහළුවාණනි, එසේ නම් අප බුදුන් දැකීමට යම්හයි කෝලිත පිරිවැජිතෙම පවසා සිටියේ නොවසිල්ලෙන්. එහෙත් අපගේ සැරියුත්තෙරුන්වහන්සේ සැමදාමත් ගුරුවරුන්ටය ගෞරව කරනු ලැබුවා. එහෙයින් යහළුවාට මෙසේ කිවා. යහළුව අපි නිවන වෙත පැමිණියෙමු. ඒ බව අපේ ආචාර්ය සංජය පිරිවැජියාටද කියමු. අවබෝධය ඇති නිසා අප ගැන දැන ගනු ඇත. ඒ බව නොදතහොත් අපටද කියා බුදුන් හමුවට යනු ඇති. බුදුන්ගේ දේශනා අසා මාර්ගඵල ප්‍රතිවේධ කරනු ඇතියි සිතා දෙදෙනාම සංජය එනම් තම පැරණි ගුරුවරයා වෙත පියමැන්නා. .

සංජය ඔවුන් දෙදෙනා දැක, දරුවනි, කිම? තොපට අමාමග කියා දෙන යම්කිසි දේශකයකු ලැබුණේදැයි විචාරනු ලැබුවා. එසේය ඇඳුරුතුමනි, ලැබුවෙමු. බුදුහු ලොව උපන්හ. දහම උපන්නේය. සංඝයා ලොව උපන්හ. ඔබ තුච්ඡ වූ මේ සසරෙහි සැරිසරන්නහුය. බුදුන් ළඟට යෑමට අප හා එනු මැනවියි පවසමින් ආයාචනය කරනු ලැබුවා.

නුඹලා යන්න. මට යා නොහැකියි. ඇඳුරුතුමනි, ඒ ඇයි? මම මෙතෙක් මහජනයාට ආචාර්යව හැසුරුණෙමි. එසේ සිටි මා අතවැසි බවට පත්වීම සැළියක්ව සිට කෙණෙස්ස (දිය ගන්නා හැන්ද) වීමකි. මට යටත් වැසියකුව විසීම කළ නොහැකියි. ආවාර්යයෙනි, එසේ නොකරව්. කමක් නැහැ. දරුවනි නුඹලා යන්න. මට යෑම අමාරුයි.

ඇඳුරුතුමනි, ලොව බුදුන් උපන් කාලයේ පටන් මල් ගඳ විලවුන් අතින් ගත් මහජනයා බුදුන් හමුවට ගොස් උන්වහන්සේ පුදති. අපිත් එහිම යන්නෙමු. ඔබ කුමක් කරන්නෙහිදැයි මවිතයෙන් අසා සිටියා. එහෙත් ඔහු තමන් ගත් තීරණයේ දැඩිව එළඹ සිටියේ දැඩි මාන්නයෙන් විය හැකියි. ඔහු මෙසේ පෙරලා සාරිපුත්ත මොග්ගල්ලාන දෙපළගෙන් විලසා සිටියා.

 කිමෙක්ද දරුවනි, මෙලොව වැඩියෙන් සිටින්නේ මෝඩයන්ද, නැත්නම් පණ්ඩිතයන්ද? ඇදුරුතුමනි, මෙලොව මෝඩයෝ බොහෝය. පණ්ඩිතයෝ ඉතාමත් අල්ප දෙනෙකියි කීහ. එසේනම් දරුවනි, පණ්ඩිතයෝ පණ්ඩිත වූ ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයට යෙති. මෝඩයෝ මෝඩ වූ මා ළඟට එන්නාහුය. තෙපි යවු. මම නොයන්නෙමි. ඇඳුරුතුමනි, එසේනම් මේ ක්‍රියා පිළිවෙළින් ඔබගේම තතු ප්‍රකට වනු ඇතැයි පවසා ඔවුන් දෙදනා ගුරුතුමාගෙන් සමුගත්තා.

ඒ දෙදෙනා යන විට සංජයගේ පිරිසද බිඳී ගියා. ආරාමය හිස් වුණා. හිස් වූ ආරාමය දුටු සංජය එම ශෝකයෙන් උණුලේ වමනය කරන්නට වුණා. ඒ පිරිසෙන් දෙසිය පනසක් පමණ මේ දෙදෙනා සමඟ ගිය කල සෙසු පන්සියය සංජය සමඟ නැවතුණාහ. කෝලිත-උපතිස්ස දෙසිය පනසක් පිරිස ද කැටුව වේළුවනයට ගියා.

ඒ මොහොතේ බුදුරජාණන්වහන්සේ පිරිස මැද දහම් දෙසමින් සිටියේ. සමහරවිට ඔවුන්ව බලපොරෝතුවෙන්ම වැඩ ඉන්නත් ඇති. එන්නා වූ දෙදෙන දුර සිටම දැක හික්ෂූන් අමතා, මහණෙනි, අර එන කෝලිත උපතිස්ස දෙදෙනා මගේ අග්‍ර වූ ශ්‍රාවක යුගළය වන්නේයයි වදාරනු ලැබුවා. ඔවුන්ද බුදුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳගත්තා. පසුව මෙසේ දන්වා සිටිය.

 ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි ඔබවහන්සේ ළඟ පැවිදි උපසම්පදා ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. එවිට භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, මෙහි එන්නැයි වදාරනු ලැබුවා. ධර්මය මැනවින් දේශනා කර තිබේ. බඹසර හැසිරෙවව්. මැනවින් දුක් කෙළවර කර ගනිව් යයි වදාරනු ලැබුවා. ඒ සියලු දෙනා සෘද්ධිමය ශක්තියෙන් පා සිවුරු දරා වස් සියයක් ගිය තෙරවරුන් මෙන් පෙනී සිටියා.

ඉන්පසු එම පිරිසෙහි සිටියවුන්ගේ චරිතානුකූලව බුදුරජාණන් වහන්සේ දර්මය දේශණා කරනු ලැබුවා. අගසවු දෙනම හැර සෙස්සෝ අරහත්භාවයට පත්වුණා.

Ape Budu Hamuduruwo 340

අපේ බුදුහාමුදුරුවෝ 340 (සන්තිකේ නිධානය)

 

දහසක් නයින් ප්‍රතිමණ්ඩිත’ සෝවාන් මාර්ගය නොහොත් සෝවාන් මගට පැමිණිය හැකි මාර්ග දහස

පසුගිය ලිපියෙහි “උපතිස්ස පරිබ්‍රාජක තෙමේ “යෙ ධම්මා හෙතුප‍්පභවා” ගාථාවේ පළමු දෙපදය අසා දහසක් නයින්යුතු සෝවාන් පෙලෙහි පිහිටියා.” යනුවෙන් සඳහන් කළා. එහි දහසක් නය ක්‍රමය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතය ග්‍රන්ථයෙහි 344 පිටුවෙහි සඳහන් කොට ඇති අයුරුත් සටහන් කළා. එහි උන්වහන්සේ කෙටියෙන් ඒ බව සඳහන් කල නිසාත් ” එය විභංග ප්‍රකරණයෙහි සත්‍යවිභංගාදියෙන් දත යුතුය” යනුවෙන් මුලාශ්‍රය සඳහන් කොට තිබුනත් මට එම කරුණු විභංග ප්‍රකරණයෙහි සත්‍යවිභංගයෙන් සොයාගැනීමට නොහැකිවුණා. එහෙත් එය තවදුරටත් සොයා බලද්දී අපගේ ගෞරවනීය අතිපුජ්‍යය අතිපුජ්‍යය නා උයනේ අරියදම්ම මහනාහිමිපාණන් මෙසේ විස්තර කොට තිබුණා. ටිකක් ගැඹුරුයි. උන්වහන්සේ විස්තර කල කරුණු අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකරණයෙන් සොයාගැනීමට හැකිවුණා.

මොකක්ද මේ ‘දහසක් නයින් ප්‍රතිමණ්ඩිත’ සෝවාන් මාර්ගය කියන්නෙ. දහස් ආකාරයකින් සෝවාන් මාර්ගය ලැබෙන්නට තියෙනව, ඒකයි දහස් ආකාරයෙන් එක් ආකාරයකටයි කෙනෙකුට අවබෝධ වෙන්නෙ. අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකාරණයෙහි මේ දහසක් නය විස්තර කරලා තියෙනව. අට්ඨ කතාවෙහි තමයි එය පැහැදිලි කරලා තියෙන්නෙ. දහසක් නය වෙන්නෙ මෙන්න මෙහෙමයි.

ලෝකෝත්තර මාර්ගය පද දෙකකින් කියවනවා.

  1. සුඤ්ඤත මග්ගෝ
  2. අප්පණිහිත මග්ගෝ කියලා.

ඒ වාගේම ලෝකෝත්තර ධ්‍යානය,

  1. සුඤ්ඤත ධ්‍යාන
  2. අප්පණිහිත ධ්‍යාන

කියල දෙකකට බෙදනවා.

මේ සුඤ්ඤත ධ්‍යාන, අප්පණිහිත ධ්‍යාන කියන දෙක,

  1. දුක්ඛා පටිපදා දන්ධාභිඥා, එකයි,
  2. දුක්ඛා පටිපදා ඛිප්පාභිඥා, දෙකයි,
  3. සුඛා පටිපදා දන්ධාභිඥා, තුනයි,
  4. සුඛා පටිපදා ඛිප්පාභිඥා, හතරයි.

මේ හතරෙන් වැඩිවුණහම 8ක් වෙනවා. පටිපදා හතරෙන් වැඩි නොවී ශුද්ධික මග්ග වශයෙන් කියනකොට, ශුද්ධික සුඤ්ඤත, ශුද්ධික අප්පණිහිත වශයෙන් එතකොට 2යි. දැන් එතකොට 10යි.

ඔය දහය වැඩි වෙනවා වීසති නය ක්‍රමයකින්.

  1. ලෝකුත්තරං ධ්‍යානං භාවේති
  2. ලෝකුත්තරං මග්ගං භාවේති
  3. ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති
  4. ලෝකුත්තරං සම්ම පධානං භාවේති
  5. ලෝකුත්තරං ඉද්ධිපාදං භාවේති
  6. ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති
  7. ලෝකුත්තරං බලං භාවේති
  8. ලෝකුත්තරං බොජ්ඣංගං භාවේති
  9. ලෝකුත්තරං සච්චං භාවේති
  10. ලෝකුත්තරං සමථ භාවේති
  11. ලෝකුත්තරං ධම්මං භාවේති
  12. ලෝකුත්තරං ඛන්ධං භාවේති
  13. ලෝකුත්තරං ආයතනං ධාතුං භාවේති
  14. ලෝකුත්තරං ධාතුං භාවේති
  15. ලෝකුත්තරං ආහාරං භාවේති
  16. ලෝකුත්තරං ඵස්සං භාවේති
  17. ලෝකුත්තරං වේදනං භාවේති
  18. ලෝකුත්තරං සඤ්ඤං භාවේති
  19. ලෝකුත්තරං චේතනං භාවේති
  20. ලෝකුත්තරං ච්ත්තං භාවේති

කියලා පද 20කින් වැඩි වෙනවා. එතකොට 200ක් වෙනවා. කලින් සඳහන් කළ දහය විස්සෙන් වැඩි වුණාම දෙසීය යි. ඒ 200, අධිපති ධර්ම 4න් වැඩි වෙන කොට 800ක් වෙනවා. අධිපති අමිශ්‍ර ව 200 යි. අධිපති මිශ්‍ර ව 800 යි. එකතු වුණා ම 1000 යි. ඔන්න ඔය විදියට දහසක් නය ප්‍රතිමණ්ඩිත සෝවාන් මාර්ගය, ඵලය වෙන්නෙ.

උපකාර වූ මූලාශ්‍ර

අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකරණය,

Ape Budu Hamuduruwo 339

අපේ බුදුහාමුදුරුවෝ 339 (සන්තිකේ නිධානය)

 

අපේ බුදුහාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 03

මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන්ම බුදුන් හමුවට එන්නෙමියි අස්සජී තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා උපතිස්ස පරිව්‍රාජකයා ආරාමය බලා පිටත්ව ගියා. කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා දුරසිටම දැක අද මගේ යහළුවාගේ මුහුණ වෙනත් දිනවලදී මෙන් නොවේ. ඒකාන්තයෙන්ම මොහු නිවන (නිවීම) සොයා ගන්නට ඇතියි සිතා, ඔබ නිවන් ලැබුවෙහිදැයි ඇසුවේ නොවිසිල්ලෙන්.. උපතිස්සද එසේය ඇවැත්නි, ප්‍රතිඋත්තරදී යථොක්ත ගාථාවම සජ්ජායනා කරනු ලැබුවා. ඒ ගාථා කෙළවර කෝලිතද සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ විමසනු ලැබුවා.

ඒ බලවත් ගාථා රත්නය මෙසේයි.

යෙ ධම්මා හෙතුප්පභවා

තෙසං හෙතුං තථාගතො ආහ

තෙසං ච යො නිරොධො

එවංවාදී මහාසමණො

එහි තේරුම මහාවග‍්ග-අට‍්ඨකථාමහාඛන්‍ධකයෙහි සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපබ‍්බජ‍්ජාකථාහි මෙලෙස දක්වනවා.

යෙ ධම්මා හෙතුප්පභවා” හෙතුප්‍රභවයෝ නම් පඤ්චස්කන්‍ධයෝය. එයින් මේ පිළිබඳ දුඃඛසත්‍යය දක්වාලන්නේය. “තෙසං හෙතුං තථාගතො ආහ” ඔවුන්ගේ හෙතු නම් සමුදය සත්‍යයයි. එද තථාගතයන් වහන්සේ වදාළ සේකැයි දක්වාලන්නේය. “තෙසං ච යො නිරොධො” ඒ සත්‍ය ද්වයයෙහි යම් නොපැවැත්මක් යම් නිරොධයක්වේද, එද තථාගතයන් වහන්සේ වදාළ සේක. එයින් මේ පිළිබඳ නිරොධ සත්‍යය දක්වාලන්නේය. මෙහි මාර්‍ගසත්‍යය වනාහි ස්වරූප වශයෙන් නොදක්වන ලද්දේ ද, නයවශයෙන් දක්වන ලද්දේ වේ. නිරොධය දැක්වූ කල්හි එයට පමණුවන මාර්‍ගය දක්වන ලද්දේම වේ. නොහොත් “තෙසං ච යො නිරොධො” යන මෙහි ඔවුන්ගේ යම් නිරොධයක්වේද, නිරොධූපායයෙක් වේදැ’යි මෙසේ සත්‍යද්වය දක්වන ලද්දේවේයයි දතයුතුය. දැන් ඒ අර්‍ත්‍ථයම ප්‍රතිපාදනය කරණුයේ “එවං වාදී මහාසමණො”යි කීයේය.

ඒ සමගම පසුගිය ලිපියෙහි “උපතිස්ස පරිව්‍රාජක තෙමේ ඒ ගාථාවේ පළමු දෙපදය අසා දහසක් නයින් යුතු සෝවාන් පෙලෙහි පිහිටියා.” යනුවෙන් සඳහන් කළා. එහි දහසක් නය ක්‍රමය බළන්ගොඩ ආන්නදමෛත්‍රිය නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතය ග්‍රන්ථයෙහි 344 පිටුවෙහි මෙසේ සංශික්පත වශයෙන් සඳහන් කොට තිබෙනවා.

සුද්ධික පටිපදා, සුද්ධික සුඤ්ඤතා සුඤ්ඤත පටිපදා, සුද්ධික අප්පණිහිත පටිපදා යන කොටස් පසෙහි එක් එක් කොටස චතුෂ්ක පංචක නය විසින් ගුණිතව ලෝකෝත්තර ධ්‍යානයෙහි නය දශයෙකි. ධ්‍යාන, මාර්ග සතිපට්ඨාන, සම්‍යක්ප්‍රධාන, සෘද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොධ්‍යංග, සත්‍ය, සමථ, විදර්ශනා, ධර්ම ස්කන්ධ, ආයතන, ධාතු, ආහාර, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත, යන ධර්ම විස්ස කෙරෙහි එකි එකී ධර්මයකට යට කී දස දස නය වන බැවින් සියල්ල ම නය 200 කි. ඒ ඡන්ද චිත්ත විරිය විමංසා විසින් ගුණිත ව මිශ්‍රක නය 800 ක් වේ. ඡන්ද චිත්තාදින් මිශ්‍රිත නුවූ අමිශ්‍ර නය ද දෙසීයකි. එවිට සියල්ල නය දහසෙකි. විස්තර විභංග ප්‍රකරණයෙහි සත්‍යවිභංගාදියෙන් දත යුතු.

උපකාර වූ මුලාශ්‍ර

ධම්ම නාවා සූත්‍ර වර්ණනාව , අගසවු වස්තුව,

සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපබ‍්බජ‍්ජාකථා මහාවග‍්ග-අට‍්ඨකථාමහාඛන්‍ධකං

බළන්ගොඩ ආන්නදමෛත්‍රිය නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතය ග්‍රන්ථයෙහි 344 පිටුව

Ape Budu Hamuduruwo 338

අපේ බුදුහාමුදුරුවෝ 338 (සන්තිකේ නිධානය)

 

අපේ බුදුහාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 02

මෙලෙස 337 කොටසෙහි පැවසු පරිදී උපතිස්ස සහ කෝලිත අඹ යහළුවන් දෙදෙනා ‘නොමැරෙන බව’ ගැන සොයමින් හැසිරෙන කල, අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව උතුම් දම්සක් පවත්වා අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණිය. ඒ පිරිවැජියෝද, මුළු දඹදිවම ඇවිද ‘නොමැරෙන කෙනෙකු නොලබාම, නැවත රජගහනුවරටම පැමිණියා. ඒ කාලයේම මහණෙනි, බහුජනහිත පිණිස චාරිකාවේ හැසිරෙව් යයි රත්නත්‍රයෙහි ගුණ ප්‍රකාශ කරනු පිණිස පිටත්කර යැවූ සැටක් පමණ වූ රහතුන් අතරෙහි පස්වග තවුසන් ගෙන් එක්නමක්වූ අස්සජි මහරහතුන් වහන්සේ පෙරළා රජගහ නුවරටම වැඩියේ හරියටම අපේ බුදුහාමුදුරුවන්ට සැරයුත් මුගලන් අගසවු දෙනමම සොයලා දෙන්න වගේ. අවුත් දෙවෙනි දිනයෙහි උදැසනම පාසිවුරු ගෙන රජගහ නුවර දෙසට පිඬුසිඟා වඩින්නට පියමැන්නා.

මේ දිනයේම උපතිස්ස සහ කෝලිත යහළුවන් දෙදෙනාද ගුරුවරුන් සොයමින් ගොස් වෙහෙසට පත්ව නැවතත් රජගහ නුවරටම පැමිණ සිටියේ. ඔවුන් මෙහෙම කතා වුනා. යහළු කෝලිතයෙනි, අප අතරින් කවුරු හෝ පළමුව අමෘතපදය (නිවීම) ලදහොත් හෙතෙම අනිත් තැනැත්තා වෙත පැමිණ ඒ බව ප්‍රකාශ කළයුතුය. මෙලස කතිකා කොටගෙන මෙතෙක් කාලයක් එක මග නිවන සොයා ගිය ඔවුන් එතැන් සිට වෙන් වෙන් වශයෙන් යන්නට කතිකා කොට ගත්තා.

 එදින උපතිස්ස පිරිවැජියා උදෙන්ම ආහාර නිමවා පරිව්‍රාජකාරාමයට යන අතරමගදී පිඩු සිඟා වඩින අස්සජි තෙරුන් දුටුවේ හරියට මෙතෙක් සසර පුරාවට ප්‍රර්ථනා කරමින් පැමිණි අගසවු කිරුළ පළඳින මාවත විවිර කරන්නට වගේ.

 උපතිස්ස පිරිවැජියාට අස්සජී තෙරුන් දුටු සැණින් මෙලෙස සිතුනා.

මෙබඳු පැවිද්දෙක් මා මීට පෙර දැක නැත. ලොව රහත් කෙනෙක් හෝ රහත්මඟට පිළිපන් කෙනෙක් හෝ වෙත් නම් මුන්වහන්සේ ඒ අයගෙන් එක් කෙනකු විය යුතුය. මේ භික්ෂුව වෙත ගොස්, ඇවැත්නී, ඔබ කවුරුන්ද, ඔබ කාගේ දහමක් පිළිගන්නෙහිදැයි ඇසුවොත් මැනවැයි සිතූ නමුත් , ඔහුට එවෙලේ මෙබඳු සිතක්ද පහළ වුණා.

ඇතුළු ගමට පිවිස මේ භික්ෂුව පිඬු සිඟයි. මෙය ප්‍රශ්න ඇසීමට සුදුසු වේලාවක් නොවෙයි. මා මේ භික්ෂුව පිටුපසින් යායුතුය.

වැඩක් ප්‍රයෝජනයක් කැමති තැනැත්තා ඒ පිළිබඳව උචිත පිළිවෙළද දත යුතුය. ඔහු පිණ්ඩපාතය ලත්තෙරුන් වාඩිවීමට තැනක් සොයන බවදැක තමන්ගේ පරිව්‍රාජකපුටුව ඉක්මණින් උන්වහන්සේට සූදානම් කර දුන්නා. මෙසේ ආචාර්ය වතාවත් කොට වළඳා අවසානයේ තම කෙණ්ඩියෙන් පැන්ද පිළිගන්වනු ලැබුවා.

මෙසේ සියලු වතාවත් කොට වළඳා අවසන් වූ පසු තෙරුන් සමඟ මිහිරි පිළිසදර කථා කොට –

ඇවැත්නි, ඔබේ ඉඳුරන් අතිශයින් ප්‍රසන්නය. සමේ පැහැයද පැහැපත්ය. ඔබ කා ළඟ පැවිදි වූයෙහිද, ඔබේ ගුරුවරයා කවුරුන්ද, ඔබ කාගේ දහමක් ප්‍රිය කරන්නෙහිදැයි? අසා සිටියා. එහෙත් අස්සජි රහතන් වහන්සේ එක්වරම තමා කවුද කියා කිවේ නැහැ. උන්වහන්සේ මෙහෙම හිතුවා. මේ පිරිවැජියෝ අපේ සසුනට ප්‍රතිපක්ෂයහ. මොහුට අපේ සසුනේ ගම්භීරත්වය පෙන්විය යුතුය. මෙසේ සිතා තමන් මේ සසුනට නවකයකු බව දක්වමින් මෙසේ පවසන්නට වුණා

ඇවැත්නි මම නවකයෙක්මි. මේ ළඟදී පැවිදි වූවෙමි. මේ ධර්මවිනයට අලූතෙන් පැමිණියෙක්මි. එහෙයින් ඔබට සවිස්තරව දහම කියා දීමට අපොහොසත් වෙමි.

එවිට උපතිස්ස පරිව්‍රාජකයා හරිම ලස්සන කතාවක් කීවා, මගේ නම උපතිස්ස. ඔබ හැකි තරමින් ටිකක් හෝ හුඟක් හෝ දන්නා තරමින් කියන්න. එය ක්‍රම සීයකින් – දහසකින් තේරුම් ගැනීම මට භාරයි මදක් හෝ බොහෝවක් වේවා, අරුත් පමණක් මට කියා දෙන්න. මට වැඩක් වන්නේ අරුතෙන් පමණි. බොහෝ අකුරුවලින් වැඩක් නැත්මය

මෙසේ කී පසු තෙරණුවෝ ‘යෙ ධම්මා හේතුප්පභවා’ ආදි ගාථාව දේශණා කරනු ලැබුවා. හරිම පුදුමයි. ඒ මහා ප්‍රාඥ වූ අපගේ සාසනයේ ධර්ම සේනාධිපති නමින් පසු කාලයේ හැඳින්වූ මෙකල උපතිස්ස පරිව්‍රාජක තෙමේ ඒ ගාථාවේ පළමු දෙපදය අසා දහසක් නයින්යුතු සෝවාන් පෙලෙහි පිහිටියා. ඉතිරි පද දෙක අසන අතරතුර සෝවාන් වී අවසන් වුණා. හෙතෙම සෝවාන් වී සෙසු විශේෂඥාන නොලබන කල්හි මෙහි කුමක් හෝ වෙනත් කරුණක් විය යුතු යයි තෙරණුවන් අමතා මෙසේ කියා සිටියා. ස්වාමීනි, මින් ඉදිරියට දහම් නොදෙසන්න, මෙපමණක්ම ප්‍රමාණය. ස්වාමීනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ කොහිද? ඇවැත්නී වේළුවනාරාමයේය. ස්වාමීනි, එසේ නම් ඔබවහන්සේ පළමුව වඩින්න. මට තව යහළුවෙක් සිටියි. යමෙක් පළමුව නිවන දුටුවොත් ඔහු අනිකාට දැන්විය යුතුයයි අපේ කතිකාවක් ඇත. මම ඒ ප්‍රතිඥාවෙන් මිදී මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන්ම බුදුන් හමුවට එන්නෙමියි තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා පිරිවැජි අරම බලා නැවත වඩින්නට වුණා.

උපකාර වූ මුලාශ්‍ර – ධම්ම නාවා සූත්‍ර වර්ණනාව , අගසවු වස්තුව

Ape Budu Hamuduruwo 337

අපේ බුදුහාමුදුරුවෝ 337 (සන්තිකේ නිධානය)

 

අපේ බුදු හාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 01

අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළවීමට පෙර, සැරියුත් මුගලන් අගසවු දෙදෙනා එක් අසංඛයකුත් කප් සියදහසක්ම පාරමිතා පුරා දෙව්ලොව ඉපිද ඔවුන්ගෙන් පළමු තැනැත්තා දෙව්ලොවින් චුතව, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ ‘උපතිස්ස’ නම් වූ රජගහනුවරට නුදුරු බමුණු ගමෙහි හැටපන් කෝටි සියයක ධන සම්පත් ඇති ගම්දෙටු බමුණාගේ රූපසාරී බැමිණියගේ කුස පිළිසිඳ ගත්තා. දෙවැන්නාද එම ගමට නුදුරු, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ කෝලිත ගමෙහි එපමණ වූම ධන සම්පත් හිමි ගම් දෙටු බමුණාගේ මුගලන් නම් බැමිණියගේ කුස පිළිසිඳ ගත්ත. තවත් සුවිශේෂ දෙයක් තමයි මේ දෙදෙනා සංසාරයේ බොහෝකල් හොදම යාලුවෝ වශයෙන් එකටම පැමිණි අය . පාරමී පෙරුවෙත් එකටමයි. අගසවු තතතුර ප්‍රර්ථනා කලෙත් එකම බුදුවරයෙකු යටතේ. ඒ වගේම මෙම අවසන් අත්මභාවයේ මෙලොව එලිය දුටුවේත් එකම දිනෙක, ඉහත කි පරිදී එකිනෙකට නුදුරෙන් පිහිටි ගම් දෙකක උසස් බ්‍රාහමණ කුලයක. ඒ දෙකුලයේම පිරිස පරම්පරා සතක පමණ කාලයක සිට ඔවුනොවුන් එකට බැදුණු යහළුවන් ලෙස කාලය ගෙවු අය. ඒ බැමිණියන් දෙදෙනාටම එකම දවසෙහි ගැබ් පෙරහැර ඇතිවුනා වගේම ඒ දෙදෙනා දසමස් ඇවෑමෙන් පසු එකම දිනයේ පුතුන් දෙදෙනෙක් වැදුවා. නම් තබන දිනයෙහි සාරී බැමිණියගේ පුතාට උපතිස්ස ගම දෙටුකුලයේ පුතා නිසා උපතිස්සයයි නම් තැබූවා. අනිත් තැනැත්තා කෝලිතගම දෙටු කුලයේ පුතා නිසා කෝලිත යයි නම් තැබූවා.

දෙමාපියන්ගේ බොහෝකල් සිට පැමිණි ඇසුරත් මිත්‍රත්වයත් නිසා ඔවුන් වැලි සෙල්ලම් කරන කාලයේ පටන්ම එකිනෙකා යහළුව, කෙමෙන් තුරුණු වියට පත්වූනා. දෙදෙනාටම පන්සියයක්, පන්සියයක් බැගින් තරුණයෝ පිරිවර වශයෙන් හිටියා. එක් තැනැත්තෙක් රන්දෝලා පන්සියයක්ද දෙවැන්නා අජානීය අසුන් බැඳි රිය පන්සියයක්ද පිරිවරින් යුතුව උයනට හෝ ගං තෙරට හෝ ගොසින් නිතර විනෝද වෙන්නට වුනා. පුදුම වාසනාවන්ත ජිවිත. ඔවුන් බොහෝ ආත්මභාව වල ඒ අයුරින්ම යහළුවන් වශයෙන් එක්ව සැප වින්දා. එකල රජගහනුවර කලින් කලට පවත්වන ‘ගිරග්ග සමජ්ජ’ නම් රඟදැක්මක් තිබුණා. සවස් කල මුළු මගධ වැසියෝ ද – පසිඳු කැත් කුමරුවෝ ද නුවර වීදි මැදට රැස්ව මනාව සැකසූ මැසි හා ආසනවල හිඳිමින් රැඟුම් අසිරිය නරඹන්න වුනා. සුපුරුදු පරිදී එදිනත් උපතිස්ස කෝලිතද පිරිවර සමග එහි ගොස් පණවන ලද අසුන්වල අසුන්ගත්තා. දෙදෙනාම එකට හිඳගෙන බලමින් සිනාසිය යුතු තැන සිනාසෙන්නටත් දුක්විය යුතු තැන දුක්වෙන්නටත්, තෑගි දියයුතු තැන තෑගි දෙන්නටත් වුණා ඔවුහු මෙසේ එක් දිනක් සමාජය බලා සිටියදී, ඥානය මුහුකුරා ගොස් තිබුණු හෙයින් පෙර දිනවල මෙන් සිනාසිය යුතු තැන සිනාසීමක් හෝ දුක් විය යුතු තැන දුක්වීමක් හෝ තෑගි දිය යුතු තැන තෑගි දීමක් හෝ සිදු නොවුණා. දෙදෙනාම කිම මෙහි බැලිය යුත්තක් ඇද්ද? මේ සියල්ල වර්ෂ සියයක් යාමට මත්තෙන් සදොස් බවට, නොපිළිගන්නා බවට පත්වෙයි. අප විසින් එක් මෝක්ෂධර්මයක් සොයා යායුතු යයි සිතමින් හුන්නා. උපතිස්ස රැඟුම් අසිරිය දකිමින්ම, රැස්වූ මහා ජනකායද දැකලා අනේ, මෙපමණ ජනතාවක් හිටියත් මෙතරම් ප්‍රීතියෙන් අද සිටියත් මේ අය තව අවුරුදු සියයක්වත් නොපැමිණ මරණයට පත්වෙනවා නේද කියලා සිතුවා. හරියට මරණය අවුත් නළලෙහි සිටියාක් මෙන් ඔහුට දැනුණා. ඒ තමයි සසරේ පුරුද්ද. කෝලිතටත් එසේම සිතුණ. නන් අයුරු රඟන රැඟුම් පැවතියත් එයින් එකකටවත් සිත ගියේ නැහැ.. හුදෙක් සංවේගය පමණක්ම පහළ වුණා .

රැඟුම නිමා වී ආපසු යන පිරිස අතරට එක්වූ ඒ යහළුවන් දෙදෙනා ද තම පිරිවර සමග එක්ව ‘මිතුර, කෙසේද? නැටුම් බැලීමෙන් ඔබ නොසතුටු වීදැ’යි කෝලිත උපතිස්සගෙන් අසා සිටියා. උපතිස්ස තම අදහස සැළකොට, ඒ කරුණුම කෝලිතගෙන් ද විචාරනු ලැබුවා. ඔහුද තම අදහස පවසා, ‘මිතුර, පැවිදි වී නොමැරෙන මග (අමතං) සොයන්නෙමු, එන්නැ’යි කියා සිටියා. ‘මිතුර, එය මැනවැ’යි උපතිස්සද එකඟ වුනා. හරිම පුදුමයි. මේ අඹ යහළුවෝ දෙන්නම අර අනෙක විදි සම්පත් අතහැර දමා නැවත රජගහනුවරට පැමිණිය.

ඒ කාලයෙහි රජගහනුවර සංජය නම් පිරිවැජියෙක් වාසය කළා. ඔවුන් තරුණයන් පන්සියයද සමග සංජය වෙත පැමිණ පැවිදිව කිහිප දිනකින්ම තුන්වේදය හා සියළුම පිරිවැජි දහමද ඉගෙන ගත්තා. ඔහු කියා දුන් දහමේ මුල මැද තිබුණත් අගක් තිබුනේ නැහැ. ඉතින් ඔවුන් ඉගෙන ගත් දහමෙහි මුල-මැද-අවසානය විමසමින්, අවසානයක් නොදැක, ‘මේ දහමෙහි මුල, මැද පැහැදිලිය. අවසානය නො පෙනෙයි. මෙහි අප ඉගෙන ගත් දෙයට වඩා වැඩියෙන් දැනගත යුතු බවට පැමිණීමක් නැතැ’යි ගුරුතුමාගෙන් විමසා සිටියා. ගුරුතුමාත් සත්‍යවාදී පුද්ගලයෙක් ඔහු අද වගේ නොදන්නා දේ දන්නා හැටියෙන් පවසා ගෝලයන්ව රවට්ටුවේ නැහැ. ඇත්ත කිවා. ‘මම ද එසේ පැමිණිය යුතු අවසානයක් නොදකිමි’යි සංජය පිරිවැජි ඔවුන් දෙදෙනා ඇතුළු පිරිසට කියා සිටියා. ‘එසේනම් අපිට මෙහි අවසානය සොයන්නට අවසර දෙන්න යනුවෙන් ඔවුන් සන්ජය ගුරුවරයාගෙන් ඉල්ලා සිටියා. ‘කැමති පරිදි සොයවු’ යනුවෙන් ගුරුතුමා ද ඔවුන්ට අවසර දුන්නා. මෙසේ ගුරුතුමාගෙන් අවසර ලත් ඔවුහු ‘නොමැරෙන බව’ සොයමින් ඇවිදිමින් දඹදිවම පතළ වුනා. කැත් කුල ආදී වියතුන්ගෙන්ද පැන විචාරන ලැබුවත් , මතු මතුත් ඒ ගැන විමසුවද අවසානයක් නොපෙනේ යන්න තමයි ඒ උගතුන්ගේත් අවසාන පිළිතුර වුනේ. ඔවුන් මේ නිසා මොතරම් ප්‍රසිද්ධියට පත්වුනාද කීවොතින් උපතිස්ස, කෝලිත නම් කී සැණින්ම , ‘මොවුන් කවුරුන්ද? අප නම නොදනිමු’යි කියන අයෙකු නම් නැතිවම ගියා. එපමණටම ඔවුන්ව හඳුනනු ලැබූවා.

උපකාර වූ මූලාශ්‍ර – ධම්ම නාවා සූත්‍ර වර්ණනාව , අගසවු වස්තුව