අපේ බුදුහාමුදුරුවෝ 339 (සන්තිකේ නිධානය)

 

අපේ බුදුහාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 03

මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන්ම බුදුන් හමුවට එන්නෙමියි අස්සජී තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා උපතිස්ස පරිව්‍රාජකයා ආරාමය බලා පිටත්ව ගියා. කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා දුරසිටම දැක අද මගේ යහළුවාගේ මුහුණ වෙනත් දිනවලදී මෙන් නොවේ. ඒකාන්තයෙන්ම මොහු නිවන (නිවීම) සොයා ගන්නට ඇතියි සිතා, ඔබ නිවන් ලැබුවෙහිදැයි ඇසුවේ නොවිසිල්ලෙන්.. උපතිස්සද එසේය ඇවැත්නි, ප්‍රතිඋත්තරදී යථොක්ත ගාථාවම සජ්ජායනා කරනු ලැබුවා. ඒ ගාථා කෙළවර කෝලිතද සෝවාන් පෙලෙහි පිහිටා මෙසේ විමසනු ලැබුවා.

ඒ බලවත් ගාථා රත්නය මෙසේයි.

යෙ ධම්මා හෙතුප්පභවා

තෙසං හෙතුං තථාගතො ආහ

තෙසං ච යො නිරොධො

එවංවාදී මහාසමණො

එහි තේරුම මහාවග‍්ග-අට‍්ඨකථාමහාඛන්‍ධකයෙහි සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපබ‍්බජ‍්ජාකථාහි මෙලෙස දක්වනවා.

යෙ ධම්මා හෙතුප්පභවා” හෙතුප්‍රභවයෝ නම් පඤ්චස්කන්‍ධයෝය. එයින් මේ පිළිබඳ දුඃඛසත්‍යය දක්වාලන්නේය. “තෙසං හෙතුං තථාගතො ආහ” ඔවුන්ගේ හෙතු නම් සමුදය සත්‍යයයි. එද තථාගතයන් වහන්සේ වදාළ සේකැයි දක්වාලන්නේය. “තෙසං ච යො නිරොධො” ඒ සත්‍ය ද්වයයෙහි යම් නොපැවැත්මක් යම් නිරොධයක්වේද, එද තථාගතයන් වහන්සේ වදාළ සේක. එයින් මේ පිළිබඳ නිරොධ සත්‍යය දක්වාලන්නේය. මෙහි මාර්‍ගසත්‍යය වනාහි ස්වරූප වශයෙන් නොදක්වන ලද්දේ ද, නයවශයෙන් දක්වන ලද්දේ වේ. නිරොධය දැක්වූ කල්හි එයට පමණුවන මාර්‍ගය දක්වන ලද්දේම වේ. නොහොත් “තෙසං ච යො නිරොධො” යන මෙහි ඔවුන්ගේ යම් නිරොධයක්වේද, නිරොධූපායයෙක් වේදැ’යි මෙසේ සත්‍යද්වය දක්වන ලද්දේවේයයි දතයුතුය. දැන් ඒ අර්‍ත්‍ථයම ප්‍රතිපාදනය කරණුයේ “එවං වාදී මහාසමණො”යි කීයේය.

ඒ සමගම පසුගිය ලිපියෙහි “උපතිස්ස පරිව්‍රාජක තෙමේ ඒ ගාථාවේ පළමු දෙපදය අසා දහසක් නයින් යුතු සෝවාන් පෙලෙහි පිහිටියා.” යනුවෙන් සඳහන් කළා. එහි දහසක් නය ක්‍රමය බළන්ගොඩ ආන්නදමෛත්‍රිය නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතය ග්‍රන්ථයෙහි 344 පිටුවෙහි මෙසේ සංශික්පත වශයෙන් සඳහන් කොට තිබෙනවා.

සුද්ධික පටිපදා, සුද්ධික සුඤ්ඤතා සුඤ්ඤත පටිපදා, සුද්ධික අප්පණිහිත පටිපදා යන කොටස් පසෙහි එක් එක් කොටස චතුෂ්ක පංචක නය විසින් ගුණිතව ලෝකෝත්තර ධ්‍යානයෙහි නය දශයෙකි. ධ්‍යාන, මාර්ග සතිපට්ඨාන, සම්‍යක්ප්‍රධාන, සෘද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොධ්‍යංග, සත්‍ය, සමථ, විදර්ශනා, ධර්ම ස්කන්ධ, ආයතන, ධාතු, ආහාර, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත, යන ධර්ම විස්ස කෙරෙහි එකි එකී ධර්මයකට යට කී දස දස නය වන බැවින් සියල්ල ම නය 200 කි. ඒ ඡන්ද චිත්ත විරිය විමංසා විසින් ගුණිත ව මිශ්‍රක නය 800 ක් වේ. ඡන්ද චිත්තාදින් මිශ්‍රිත නුවූ අමිශ්‍ර නය ද දෙසීයකි. එවිට සියල්ල නය දහසෙකි. විස්තර විභංග ප්‍රකරණයෙහි සත්‍යවිභංගාදියෙන් දත යුතු.

උපකාර වූ මුලාශ්‍ර

ධම්ම නාවා සූත්‍ර වර්ණනාව , අගසවු වස්තුව,

සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපබ‍්බජ‍්ජාකථා මහාවග‍්ග-අට‍්ඨකථාමහාඛන්‍ධකං

බළන්ගොඩ ආන්නදමෛත්‍රිය නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතය ග්‍රන්ථයෙහි 344 පිටුව

error: Content is protected !!