Ape Budu Hamuduruwo 361

අපේ බුදුහාමුදුරුවෝ 361 (සන්තිකේ නිධානය)

 

කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදි වීම 01

බුදුන් වහන්සේ විසින් අනු දැන වදාළ තවුස් පැවිද්දන් අට දෙනා.

මෙලෙස අපගේ භාග්‍යවතුන් වහන්සේ ආපන නම් ග්‍රාමයට එක්දහස් දෙසිය පනහක් වූ භික්ෂු සංඝයා සමග වැඩම කරනු ලැබුවා. එවිට ඒ ග්‍රාමය තුල අප මහා බුදුරජාණන් වහන්සේ පිළිබන්ධව මෙලෙස යහපත් කීර්තිරාවයෙක් ගොඩ නැගුණා.

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් ද රහත් සේක. මේ මේ කරුණෙන් ද සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් ද අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් ද සුගත සේක. මේ මේ කරුණෙන් ද ලෝකවිදු සේක. මේ මේ කරුණෙන් ද පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් ද බුද්ධ සේක. මේ මෙම කරුණෙන් ද භාග්‍යවත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි යනුවෙන්.

එකල කෙණිය ජටිල තාපසයාත් එම ග්‍රාමයෙහි ම අනෙකුත් තවුස් පැවිද්දන් හා සමග ඔවුන්ට ඇප උපස්ථාන කරමින් ජීවිකාව ගෙන ගියා. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් සියලු තවුස් පැවිද්දන් වන්නේ යැයි තවුස් පැවිද්දන් වර්ග අටක් පිළිබන්ධව විනය පිටකයේ විග්‍රහ කොට තිබෙනවා.

ඒ මෙලෙසයි, තාපසයෝ අටවැදෑරුම්ය.

1.සපුත්තභරියා

2.උඤ්ඡාචරිය

3.අනග්ගිපක්කික

4.අසාමපාකික

5.අසමමුට්ඨක

6.දන්තවක්කලික

7.පවත්තඵලභොජී

8.පණඩුපලාසික. යනුවෙන්

1.සපුත්තභරියා :- එහි යමෙක් කෙනිය ජටිලයා මෙන් පවුලක් තබා ගෙන තපස් පැවිදි භාවයේ වසත් ද ඔවුහු සපුත්තභරිය නම් වනවා.

2.උඤ්ඡාචරිය :- යමෙක් සකල ආත්මභාවය පැවිද්දාට අයුතු යැයි ගොයම් කපන, මඩින තැන්වල වී, මුං, මෑ, තල ආදිය ඇද ගෙන පිස අනුභව කරත්ද, ඔවුහු උඤ්ජාචරිය නම් වනවා.

3.අනග්ගිපක්කික :- යමෙක් කමතින් කමත හැසිර වී ගෙනවුත් කොටා අනුභව කිරීම නුසුදුසු යයි ගම් නියම්ගමෙහි සහල් ශික්ෂාව ගෙන පිස අනුභව කරන්නේ ද ඔවුහු අනග්ගිපක්කික නම් වනවා.

4.අසාමපාකික :- යමෙක් පැවිද්දාට තමාම පිසූ අහරින් කවර ප්‍රයෝජනයක් දැයි ගමට පිවිස පිසූ ශික්ෂාව ගනින් ද ඔවුහු අසාමපාකීක නම් වනවා

5.අසමමුට්ඨක :- යමෙක් දින දින ශික්ෂාව සොයා යාම පැවිද්දාට දුක් යයි ගල් ගෙඩියකින් අඹ ආදී ගස්වල පොතු කොටා කත් ද ඔවුහු අසමමුටඨික නම් වනවා

6.දන්තවක්කලික :- යමෙක් ගලින් පොතු කොටා හැසිරීම දුක් යැයි (මෙම කොටස අඩුයි)

7.පවත්තඵලභොජී :- දත්වලින් ම පොතු ගලවා කෑම පැවිද්දාට දුක් යයි ගල් කැට දඬු කැබලි ආදියෙන් ගසා වැටුණු ගෙඩි අනුභව කරත්ද ඔවුහු පවත්තඵල භෝජී. නම් වනවා

8.පණඩුපලාසික :- යමෙක් ගල් කැට දඬු කැබලි ආදියෙන් හෙළා පරිභෝගය පැවිද්දාට අසාරුප්‍යයයි ඉබේ වැටුණු මල්පල වියලි කොළ කමින් යැපෙත්ද ඔවුහු පණ්ඩු පලාසික නම් වනවා.

ඔවුන් ද තෙවැදෑරුම් වනවා. උසස් (උක්කට්ඨ) මැද (මජ්ඣිම) මෘදු (මුදුක) යනුවෙනි. එහි යමෙක් හුන් තැනින් නො නැගිට අත පොවන තැනම වැටුණු දේ ගෙන කත් ද ඔවුහු උක්කට්ඨ නම් වනවා. යමෙක් එක් ගසකින් තවත් ගසකට යත්ද ඔවුහු මැද නොහොත් මධ්‍යම නම් වනවා. යමෙක් ඒ ඒ රුක් මුලට ගොස් සොයා ගෙන කත්ද ඔවුහු මෘදුක නම් වනවා.

මේ තවුස් පැවිදිනන් මේ තවත් සතර අකාරයකට මේ අයුරිනුත් සංග්‍රහ වන බව බුද්ධ දේශනාවේ පවසනවා. එනම්, මේවා අතරින් සපුත්තභරියා, උඤ්ඡාචරිය, යන කොටස් දෙක දන් ගෙන වාසය කරනවා. අනග්ගිපක්කික අසාමපාකිකයෝ ගිනිහල්ගෙයෙහි භජනය කරනවා. අනග්ගි අසමමුට්ඨක දන්ත වක්කලිකයෝ චාරිකාවේ යෙදෙමින් ගස්වල කඳ, මුල්, පල බොජුන් වශයෙන් ගනිමින් වාසය කරනවා

පණ්ඩුපලාසිකයො පවත්තඵල භෝජනය ඇසුරු කරයි යනුවෙන් තව දුරටත් එලෙස විග්‍රහ වෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් සියලු තවුස් පැවිද්ද නිර්දේශ කරන ලද්දේ වෙයි’ යනුවෙන් විනය පිටකයේ සඳහන් වනවා.

උපකාර වූ මූලාශ්‍ර

විනය පිටකය භෙසජ‍්ජක‍්ඛන්‍ධකයේ මහාවග‍්ගපාළිය,

Ape Budu Hamuduruwo 360

අපේ බුදුහාමුදුරුවෝ 360 (සන්තිකේ නිධානය)

 

තුරිත චාරිකා, අතුරිත චාරිකා

අංගුත්තරාපෙසු ජනපදයට ආසන්නයේ ආපන නම් නියම් ගමක් පිහිටා තිබුණා. එම නියම ගම ආපන නමින් හැඳින්වීමට හේතුව ඒ නියම්ගමෙහි ආපන ශාලා විසි දහසක් පමණ තිබීමයි. මෙසේ එහි ආපණ බහුල බැවින් එම නියම් ගම ආපණ යනුවෙන් ම ප්‍රසිද්ධ ව තිබුණ බව පෝතලිය සූත්‍ර වර්ණනාවේ සඳහන් වනවා.

තුරිත චාරිකා

 තුරිත චාරිකා, අතුරිත චාරිකා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ චාරිකා දෙ ආකාර වනවා. දහම් අවබෝධ කළහැකි තැනැත්තන්, දුරක සිටියත් වහා ඔවුන් වෙත යාම තුරිත චාරිකාවයි. උදාහරණ වශයෙන් මහා කස්සප උදෙසා කල පෙර ගමන ගත හැකියි. එම ගමනෙහි දී භාග්‍යවතුන් වහන්සේ මොහොතකින් ගවු තුනක් වැඩිය. ආළවක දමනයට, එමෙන්ම අංගුලිමාල දමනයට තිස් යොදුනක් වැඩියා. පුක්කුසාති හමුවට යොදුන් හතළිස් පහක දුරක් වැඩියා. මහා කප්පින වෙනුවෙන් යොදුන් එකසිය විස්සක්. ධනිය හමුවීමට ගමන් මග සත්සිය යොදුනක්, මේ අකාරයෙන් යම් පුද්ගලයෙක් අරම්භයාම හෝ ඒ වෙනුවෙන් ම කල ගමන “තුරිත චාරිකා” යනුවෙන් හැඳින්වෙනවා.

අතුරිත චාරිකා

ගම් නියම්ගම් නගර අනුපිළිවෙළින් දිනපතා යොදුනක් අඩ යොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්‍රහ කරන ගමන “අතුරිත චාරිකා” නමින් හැඳින්වෙනවා. මේ චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය අන්තො මණ්ඩලය යන මේ මණ්ඩල තුනෙන් එකක හැසිරෙනවා.

එහි මහා මණ්ඩලය නවසියයක් යොදුන් වනවා. මධ්‍යම මණ්ඩලය හයසියයක් යොදුන් වනවා. අන්තො මණ්ඩලය තුන්සියයක් යොදුන් වනවා. යම්කලෙක මහා මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්ද මහා පවාරණයෙන් පවරා ශුක්ල පක්ෂයෙහි පළමු වන දිනයෙහි මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙනවා. එවිට එහි හාත්පස යොදුන් සියයක් එකම කෝලාහලයක් බවට පත් වෙනවා. කලින් කලින් පැමිණි පිරිසට ආරාධනා සඳහා ඉඩ ලැබෙනවා. එවිට ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මහා මණ්ඩලයට ගලා එනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගම් නියම්ගමෙහි දවසක් දෙකක් වසන සේක් මහජනයාට ආමිෂ පිළිගැනීමෙන් අනුග්‍රහය දක්වමින් ධර්ම දානයෙන් ඔවුන්ට නිර්වාණයට උපනිශ්‍රය වූ කුසල් වඩමින් නව මසකින් චාරිකාව අවසන් කරනවා.

එමෙන්ම ඇතුළු වස භික්ෂූන්ගේ සමථ විදර්ශනා කටයුතු වේ නම් මහා පවාරණයෙන් නො පවරා පවාරණ සංග්‍රහ දී ඇසල පුන් පොහෝදින පවාරණය කොට නිකිණි මස පළමු වන දින මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම මධ්‍ය මණ්ඩලයට පැමිණෙනවා. මෙලෙස මධ්‍ය මණ්ඩලයෙහි චාරිකාව සිව්මසකින් නිම කරනු ලබනවා. එවිට ඉහත කියූ පරිද්දෙන් ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මධ්‍ය මණ්ඩලයට ගලා එනවා. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන් ම ලෝකයට අනුග්‍රහය දක්වමින් අට මසකින් ඒ චාරිකාව නිම කරනවා.

සිව්මසක් විසූ වස් ඇති වුවත් භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුතු සත්ත්වයෝ මුහුකුරා නොගිය ඉඳුරන් ඇත්තෝ නම්, ඔවුන්ගේ ඉඳුරන් මුහුකුරා යාම අපේක්ෂාවෙන් තවත් එක්මසක්, දෙමසක් තුන්මසක් සිව්මසක් වුවද එහිම වැඩ සිට ඉන් අනතුරුව මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම යනවා. ඉහත කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය අන්තො මණ්ඩලයව ගලා එනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයාට අනුග්‍රහ දක්වමින්, සත් මසකින් හෝ සය මසකින් හෝ පස් මසකින් හෝ සිව් මසකින් හෝ චාරිකාව අවසන් කරනව.

මෙසේ මේ මණ්ඩල තුනෙහි යම්තැනෙක චාරිකා කරනුයේ ලාභ සත්කාර අරමුණින් නොවේ. දුප්පත්, බාල, දිරූ, රෝගී වූවවන්, ආදී අසරණ පුද්ගලයන් හට තථාගතයන් වහන්සේ මෙලෙස චාරිකාවෙහි හැසිරෙන විට ඔවුන්ට තථාගත දර්ශනය ලැබීමට භාග්‍ය උදා වෙනවා. එහි දී යම් අය සිත් පහන් කර ගන්නවා. සමහර අය ධර්මය අවබෝධ කර ගන්නවා, මගඵල නිවන් ලබනවා, කෙනෙක් මල් දම් ආදියෙන් පුදනවා, සමහරු හැන්දෙන් ශික්ෂාව පිරිනමනවා,. ඇතමෙක් මිථ්‍යා දර්ශනය අත්හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වනවා. මෙලෙස එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සුඛ පිණිස පවතී යැයි මෙසේ ලෝකයාට අනුකම්පාවෙන් චාරිකා කරනවා.

තවද කරුණු හතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිනව. සංඝා විහාර වශයෙන්, ශරීර පහසුව පිණිස, අර්ථ උත්පත්ති කාලයක් කැමති බැවින්, භික්ෂූන්ට සිකපද පනවනු පිණිස ඒ ඒ තැන මුහුකුරා ගිය ඉන්ද්‍රිය ඇති අවබෝධ කළ යුතු සතුන්ට අවබෝධය ලබා දෙනු පිණිස යනුවෙන්.

තවත් කරුණු සතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘බුදුන් සරණ යන්නාහුය කියා හෝ’ දහම් සරණ යන්නාහුය කියා හෝ ‘සඟ සරණ යන්නාහුය කියා හෝ ‘මහත් වූ දහම් වැස්සෙන් පිරිස සන්තර්පණය කරන්නෙමුයි කියායි.

තවත් කරුණු පසකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘පාණාතිපාතයෙන් වෙන් වන්නාහුය. අදින්නාදානයෙන්, කාමේසු මිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වෙන්නාහුය කියා හෝ යනුවෙන්.

තවත් කරුණු අටකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙනවා. එනම් ‘ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යාන, චතුර්ථධ්‍යානය ආදී පිළිවෙළින් ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නා අය සඳහා

තවත් අට කරුණකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙනවා එනම් . ‘සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සකුරදාගාමි මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරහත් මාර්ග ඵල සාක්ෂාත් කරන්නාහුය කියා හෝ යනුවෙන්.

මෙම අතුරිත චාරිකාවද මෙහි චාරිකායැයි අදහස්කරන අතර එයද දෙ වැදෑරුම් වනවා. ඒ ‘අනිබද්ධ චාරිකා නිබද්ධ චාරිකා යනුවෙන්. එහි ගම් නියම්ගම් නගර පිළිවෙළ වශයෙන්ම හැසිරේ නම් මෙය අනිබද්ධ චාරිකා නම් වනවා. එකම අවබෝධ කළ යුතු සත්ත්වයකු පිණිස හැසිරේ නම් මෙය නිබද්ධ චාරිකා නම් වනවා.

ඉතින් මෙලෙස අංගුත්තරාප ගමට බුදුරජාණන් වහන්සේ වැඩියේ භික්‍ෂුන් වහන්සේලා එක්දහස් දෙසිය පනසක් සමගයි. එහි විශේෂයක් වන්නේ මෙම භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ශ්‍රාවක සන්නිපාතයෙහි එක්රැස් වූ එහි භික්‍ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා වීමයි.

උපකාර වූ මූලාශ්‍ර

අම්බට්ඨ සූත්‍ර වර්ණනාව, පෝතලිය සූත්‍ර වර්ණනාව,

සේල සූත්‍රය

Ape Budu Hamuduruwo 359

අපේ බුදුහාමුදුරුවෝ 359 (සන්තිකේ නිධානය)

 

විලෙන් පැන නැගී මහාමාහී ගංගාව.

බුදුරජාණන් වහන්සේ මෙලෙස අඞ්ගුත්තර පෙදෙසේ චාරිකාවේ යෙදෙමින් මෙණ්ඩක සිටුවරයාගේද භාර්යාව වු චන්ද පදුමාගේ ද පුතණුවන් වන ධනඤ්ජය සිටුවරයාගේ ද, ලේලිය වන, සුමනා දේවිය ගේද, මිණිබිරිය වු, විසාඛා වගේද, දාසයා වු පුණ්ණද, යන මේ අයගේ සෝවාන් ඵලයට උපනිශ්‍රය දැක භද්දිය නගරයට ගොස් ජාතිය වනයේ බොහෝ කලක් වාසය කරනු ලැබුවා. ඒ සියල්ලම ඒ අකාරයෙන්ම සිදුවුනා. මෙන්ඩක සිටුවරයාට ඒ නම ලැබූ අකාරය සහ ඔහුගේ භාග්‍යවන්ත භාවය පිළිබදව තව විස්මය ජනක බොහෝ කරුණු ලියන්නට තියෙනවා. එහෙත් එය වෙනයම් දිනයකට තබා අඞ්ගුත්තරාප දනව්වේ ආපණ නම් නිගමයට පැමිණි කෙණිය සේල දෙදනා පිළිබදව ලියන්නට සිතුවේ ඉන් පසු ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වුයේ ඔවුන් දෙදෙනා නිසා.

 අංගුත්තරාප එසේත් නැතිනම් අංගුත්තරාපෙසු ජනපදයේ උතුරු දෙසින් ‘ආප’ නම් ගංගාවක් තිබුණා. උත්තර ගංගාව එම නියම් ගම ආසන්නව පිහිටි බැවින් ‘උත්තරාපාති’ යනුවෙන් ද එම ගම හැඳින්වුණා . ඇත්තෙන්ම ඒ ආප නමින් හැඳින්වුයේ ඒ ගමට උතුරු දෙසින් පිහිටා තිබූ තවත් නමකින් හැදින්වෙන “මහාමහි” කියන ගංගාවටමයි

මේ එම ගංගාව පැන නැගෙන අයුරු පිළිබඳව සඳහන් විස්තරයත් හරිම ලස්සනයි. ඒ නිසා ඒ පිළිබඳවත් ලියන්නට හිතුවා. මේ දඹදිව යොදුන් දසදහසක් පමණ වෙනවා. එහි යොදුන් හාර දහසක පමණ පෙදෙසක් ජලයෙන් යටව ‘මුහුද’ යැයි හැඳින්වෙනවා. එහි තුන් යොදුනක පමණ පෙදෙසක මිනිස්සු ජිවත් වෙනවා. යොදුන් තුන් දහසක පමණ පෙදෙසක හිමාලය පිහිටා තිබෙනවා. එය උසින් යොදුන් පන්සියයකි. අසූහාර දහසක් කඳු මුදුනින් යුතුයි. හාත්පසින් ගලායන ගංගා පන්සියයකින් එම පෙදෙස පෝසිත මෙන්ම මනහරද වෙනවා. පූරළාස සූත්‍ර විස්තරයෙහි කියන ලද පරිදි පළලින් ද, ගැඹුරින් ද යොදුන් පණහක් පණහක් බැගින් වූ යොදුන් එකසිය පණහක පමණ බිම් පෙදෙසක් වසා පැතිරුණු අනොතත්ත විල කණ්ණමුණ්ඩ විල, රථකාර විල, ඡද්දන්ත විල, කුණාල විල, මන්‍දාකිනී විල, සීහප්පපාතක විල ආදී මහාවිල් සත පිහිටා සිටියා.

ඒ විල් අතරින් අනොතත්ත විලට විශ්වයෙන් ලැබුණේ සුවිශේෂී අනුග්‍රහයක්. අනොතත්ත විල සුදස්සන, චිත්ත, කාල, ගන්‍ධමාදන, කෙලාස යන කඳු පහකින් වටව තිබුණා. මෙයින් සුදස්සන කඳුපව්ව සිය යොදුනක් උසයි, එය රන්මය වූ, ඇතුලතට නැමුණු කපුටකුගේ මුවක් ලෙස මුළු විලම වසා සිටින බව කියනවා. චිත්තකූටය මුළුමනින්ම රුවනින් කළා සේද, කාල නම් කූටය අඳුන්මය ලෙසින්ද පිහිටා සිටියා. ගන්‍ධමාදන පව්ව සානුවක් සේ, ඇතුලත මුං පැහැයෙන් නොයෙක් නොයෙක් ඔසුපැලවලින් ද යුතුවද, අමාවක පොහෝදින රාත්‍රියට දිලිසෙන ගිනි අඟුරු මෙන් පෙනී සිටියේ ඒ ඔසුපැලවල තියෙන යම් ගුණයක් නිසා වෙන්නට ඇති. කෙලාසකූටය රිදීයෙන් නිමවූවා. ඒ සියළුම කඳු පව් සුදස්සන කුළ මෙන් සම උසින් යුතුව ඒ විල ආවරණය කළා සේ පැතිර සසිටියා. දේව බලයෙන් ද නාගයන්ගේ බලයෙන් ද සැමතැනටම වැසි වැස්සා. ඒ කඳු මුදුන්වලට එකතු වූ ඒ සියලු වැසි ජලය අනොතත්ත විලටම ගලා පැමිණියා. සඳ හිරු දකුණු දෙසින් හෝ උතුරු දෙසින් හෝ ගමන් කරමින් කඳු පව් අතරින් විල බබළවන්නට වුණා. හිරු සඳු කෙළින් ගමන් කරද්දී බැබළීමක් වන්නේ නැහැ. ඒ නිසාම ‘අනොතත්ත’ යනුවෙන් ඒ විල හැඳින්වුණා

අනොතත්ත විල මනහර ගල් පුවරුවලින් ද, මසුන් ඉදිබුවන් නොමැති, පලිඟුවන් පිරිසිදු ජලයෙන් ද යුතු මැනවින් පිළියෙල වූ නාන තොටවල් වලින්ද අලංකාර වුණා. ඒ පිළිබඳව මනා විස්තරයක් මීට පෙරද මා විසින් අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ ලියා තිබෙනවා. එම තොටුපල වලින් බුදු, පසේබුදු, මහරහත්හු ඉසිවරු වැනි උත්තම පුරුෂයන් පැන්පහසු වුණා. දෙවිවරු, යක්කු උයන්කෙළි සඳහාත් මෙහි පැමිණියා.එහෙත් මිනිස් ඇසුරෙන් තොරවුනා.

විලෙහි සතර පැත්තෙහි සිංහ, මුව, ඇත් මුව, අස් මුව, ගව මුව ලෙස මුව සතරක් තිබුණා. එය ගංගා සතරක ආරම්භය ද වුණා. සිංහ මුවෙන් නික්මෙන ගංගාවේ ඉවුරෙහි බොහෝ සිංහයෝ සිටියා. ඇත්, අස්, ගව මුවින් නික්මෙන ගංගා ඉවුරු ඇසුරු කරමින් ඒ ඒ සත්තු වාසය කළා. නැගෙනහිර දෙසින් නික්මෙන ගංගාව අනොතත්ත විල තෙවරක් පැදකුණු කොට, අනෙක් ගංගා තුන කරා නොපැමිණ, හිමවතට බටහිර දෙසින්, මිනිස් වාසයෙන් තොර පෙදෙසකින් මහ සයුරට එක්වුනා. බටහිරින් ද උතුරෙන් ද නික්මෙන ගංගා ද එසේම විල පැදකුණු කොට, හිමවතට බටහිර දෙසින්ද, හිමවතට උතුරු දෙසින්ද මිනිස් වාසයෙන් තොර පෙදෙසකින් මහ සයුරටම එකතු වුණා. දකුණු දිසාවෙන් නික්මෙන ගඟ තෙවරක් අනොතත්ත විල පැදකුණු කොට ගල්තලාවෙහි නොවක්ව ගලාගොස්, කඳු පව්වෙහි වැදී, එයින් තුන්ගවු පමණ ජල දහරක් ඉහළට නැගී, සැටයොදුනක් අහසින් ගලා ගොස්, ‘තියග්ගල’ නම් ගල්තලයෙහි වැදී, ජල ධාරා වේගවත්ව බිඳී යොදුන් පණහක් පමණ වූ ‘තියග්ගල’ නම් පොකුණ සකස් වුණා. පොකුණු ඉවුර බිඳ, ගල්තලයට පිවිසෙන ජල පහර සැටයොදුනක් ගලා ගොස්, තද පොළව බිඳගෙන, සැටයොදුනක් උමගින් ගොස්, විජ්ඣ නම් පව්වෙහි ගැටී, අත්ලෙහි ඇඟිලි පහ මෙන්, දිය දහරා පහක්ව විහිදී ගියා.

මෙසේ ගලා පැමිණි ඒ දිය කඳ ඒ ඒ තැන්වල දී විවිධ නම් වලින් හැඳින්වුණා. එම දිය දහරා අනොතත්ත විල පැදකුණු කොට ගිය තැන, ආවට්ට ගඟ (වටසුළි ගඟ) යැයි කියනු ලැබුවා. ගල්තලාවෙහි සැටයොදුනක් නොවක්ව ගලා ගිය තැන්හි කාල ගංගා (කළු ගඟ) නම් වුණා. අහසින් සැටයොදුන් ගිය තැන ආකාස ගංගාව හෙවත් අහස් ගඟ නමින්ද, තියග්ගල ගල්පව්වෙහි පර්ස් යොදුනක් පැතිරුන තැන තියග්ගල නම් පොකුණද යනුවෙන්ද, ඒ පොකුණු ඉවුර බිඳ ගල්තලයට පිවිස සැටයොදුනක් ගියතැන උම්මග්ග ගංගා හෙවත් උමං ගඟ යනුවෙන්ද හැඳින්වුණා. මෙසේ පැමිණ විජ්ඣ නම් පව්ව හරහා වැටුණු ජල දහරා පහ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙන් හැඳින්වුණා. මෙසේ ඒ මහා ගංගා පහ හිමාලයෙන් ඇරඹුනා, මෙලෙස ගලා පැමිණි මහාමහී ගඟට උතුරෙන් ‘ආපො’ නම් පෙදෙස වේද, ඊට ආසන්නව ඇති ජනපදය අංගුත්තරාප යනුවෙන් හැඳින්වුණා.

බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස මේ අංගුත්තර ජනපදයේ “උත්තරාපාති” නම් පෙදෙසට විශේෂයෙන් පැමිණයේ යම් පුද්ගලයන් දෙදෙනෙකු සසරෙන් එගොඩ කිරිමටමයි. ඒ අය ගැන අපි වැඩිය අසා නැහැ.

උපකාර වූ මූලාශ්‍ර

සුන්දරිකභාරද්වාජ සූත්‍ර වර්ණනාව, (පූරළාස සූත්‍රය), සේල සූත්‍රය

Ape Budu Hamuduruwo 358

අපේ බුදුහාමුදුරුවෝ 358 (සන්තිකේ නිධානය)

 

විශාඛාව (මිගාරමාතාව) ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ හමුවීම සහ සෝවාන් ඵලයට පත්වීම.

දන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් අග්‍රය යන ආශීර්වාදය බුදුරජාණන් වහන්සේ වෙතින් විශාඛා මිගාරමාතාව ලබාගත්තත් එහි මූල බීජය හටගනු ලබන්නේ මීට කල්ප ලක්ෂගණනකට පෙර පියුමුතුරා බුදුරජාණන් වහන්සේ අභියසයි. පියුමුතුරා බුදුන්ගේ කාලයේ ඇය හංසවතියෙහි කුල ගෙයක ඉපිද සිටියා. ඒ කාලයේත් මෙකල වගේම නිතරම බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් දර්මය ශ්‍රවණය කිරීමට කැමැත්තක් දැක්වූවා. එක් දවසක් එලෙස ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසමින් සිටින විට එක් උවැසියක දායිකාවන් අතුරින් අගතැන්හි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින් දහම් කොට ඇයද ඒ තනතුරම පැතුවාය. ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇයට ඒ වරම ලැබුණා. ඉන් පස්සේ කල්ප ලක්‍ෂයක් දෙවිමිනිසුන් අතුරෙහි සැරිසරා කාශ්‍යප බුද්ධකාලයෙහි නැවතත් මෙළොව ඉපදුණා. ඒ කිකී කාශි රජුගේ නිවසෙහි සිටි සොහොයුරියන් සත්දෙනාගෙන් සියල්ලනටම බාලයා හැටියට. ඒ සොහොයුරියන් සත් දෙනාගේ නම් තමයි.

1.සමණී

2.සමණගුත්තා

3.භික්‍ඛුනී

4.භික්‍ඛුදායිකා

5.ධම්මා

6.සුධම්මා සහ

7.සංඝදාසී යන අය. මේ සත් සොහොයුරියෝ වූවා. ඔබ පුදුම වේවි ඒ අය මෙකල අපගේ සාසනයේ ප්‍රධාන චරිත.

මම මිට පෙරත් වෙස්සන්තර ජාතකය අවසානයේ මේ ගැන ලියා තිබෙනවා වගේ මතකයි. ඔවුන් මෙකල පිළිවෙළින්

1.ඛෙමා

2. උපපලවණ්ණා

3.පටාචාරා

4.ප්‍රජාපතී ගොතමි

5. ධම්මදින්නා

6. මහාමහා සහ සත් වැනි වූ

7. විශාඛා වැනි ප්‍රබල චරිත.

ඒ අය අතරින් සඞ්ඝදාසී තොමෝ එක් බුද්ධාන්තරයක් දෙවි මිනිසුන් අතුරෙහි සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි අඟුරට භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුපුත් ධනඤ්ජය සිටුගේ අගමෙහෙසියවූ සුමනා නම් දේවියගේත් කුසෙහි උපන්නා. ඔවුන් ඇයට විශාඛායයි නම් කළා. මේ කාලේ මිට පෙර පැවසූ පරිදී අපේ බුදුහාමුදුරුවෝ සැරියුත් මුගලන් දෙනමට අගසවු තනතුරු ප්‍රධානය කිරීමෙන් අනතුරුව භද්දිය නගරයට වඩිමින් සිටියේ. ඒ විශේෂ හේතුවක් නිසා. ඒ ඇයට සත්අවුරුදු වන කාලය වනවිට ඇයගේද, සේල බමුණාගේද අනෙක් ධර්මාවබෝධ කරවිය හැකි නෑදෑයන්ගේද හේතුසම්පත් දැක මහබික්සඟන විසින් පිරිවරන ලදව චාරිකාවෙහි හැසිරෙමින් එරටෙහි ඒ නුවරට සැපැමිණියා.

ඒ කාලයේ මෙණ්ඩක ගෘහපති තුමා ඒ නුවර සිටි මහ පින්වතුන් පස්දෙනා අතුරින් ජ්‍යෙෂ්ඨයාවී සිටුතනතුරක් කරමින් සිටියේ. ඔහුව රජ්ජුරුවන්ට මහා සම්පතක්. ඒ මහා පින්වතුන් පස්දෙනා තමයි

1. මෙණ්ඩක සිටු

2. චන්‍දපදුමා නම් වූ ඔහුගේම අගමෙහෙසිය

3. ඔහුගේම පුත් ධනඤ්ජය

4. ඔහුගේ බිරියවූ සුමනාදේවි සහ

5.මෙණ්ඩක සිටාණන්ගේ පුණ්ණ නම්වූ දාසයාද යන අයයි.

මෙණ්ඩක සිටුපමණක්ම නොවයි බිම්සර රජුගේ අණ පවතින භුමියේ අමිතභොගී නම්වූ පස් දෙනෙක් ද වුණා . ඒ අය නම්

1. ජොතිය

2. ජටිල

3. මෙණ්ඩක

4. පුණ්ණක හා

5. කාකවලිය යන අයයි.

ඔවුන් සියලූම දෙනා මහා ධනවතුන්. දැන් ඔබට තේරෙන්නට ඕනේ මෙණ්ඩක සිටුතුමා ධනවතුන් අතරත් පින්වතුන් අතරත් අගතැන්පත් ව සිටි බව. එදා භාග්‍යවතුන් වහන්සේත් වැඩම, කලේ මේ පින්වන්ත මෙණ්ඩක සිටුතුමා ජීවත්වුණ නුවරට. ඔවුනටත් ඒ වනවිට උන්වහන්සේගේ පැමිණීම දැනගන්නට ලැබිලා තියෙන්නට ඇති. භාග්‍යවතුන්වහන්සේ සැපත්වනබව අසා මෙණ්ඩක සිටුතුමා පුත් ධනඤ්ජය සිටුගේ දූ විශාඛාදැරිය කැඳවා මෙහෙම කීවා.

“දුව, නුඹට ද මඟුලකි, අපට ද මඟුලකි. ඔබගේ පරිචාරිකා දැරියන් පන්සිය සමඟින් රිය පනසියයක නැඟී දැස්සන් පනසියයක් විසින් පිරිවරනා ලදුව භාග්‍යවතුන්වහන්සේට පෙර ගමන් කරව ‘ය

ඇයද සීයාගේ වචනය අසා එසේ කළා. ඇය කාරණාකාරණයන්හි දක්ෂතාව ඇති බැවින් යානයෙන් යා යුතු දුර යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් යායුතුව ඇති දුර පාගමනින් ගොස් භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ එකත්පසෙක සිටියා. එවිට ඇයට වයස අවුරුදු හතක් කියා මා අසා තිබෙනවා. අපගේ ශාස්තෘන්වහන්සේත් ඇයගේ පැමිණීම බලපොරෝතුන්ම ඉන්න ඇති. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ ඇයට චරිත වශයෙන් දහම් දේශනා කරනු ලැබුවා. ඒ දෙසුම අවසානයේ ඇය සෝවාන් ඵලයෙහි පිහිටා හෙට දිනය සඳහා ශාස්තෘන්හන්සේට නිමන්ත්‍රණයකොට දෙවැනි දිනයෙහි තම නිවසෙහි ප්‍රණීත වූ කෑ යුතු හා බිදිය යුතු දෙයින් බුදුපාමොක් බික්සඟන වළඳවා මේ ක්‍රමයෙන් ම අඩ මසක් මහ දන් දුන්නා. මෙසේ ශාස්තෘන්වහන්සේ භද්දිය නුවරෙහි කැමැතිපරිද්දෙන් වැඩ වාසය කරනු ලැබුවා.

උපකාර වූ මූලාශ්‍ර – විසාඛාවත්‍ථු ඛුද‍්දකනිකාය

Ape Budu Hamuduruwo 357

අපේ බුදුහාමුදුරුවෝ 357  (සන්තිකේ නිධානය)

 

බුදුන් දැකීම ප්‍රතික්ෂේප කල  අගසවු දෙනමගේ ගුරුවරයා වූ සංජය

ඉතින් මේ විදිහට සියල්ලම යහපත්ව සිදුවුනා. එවලෙහි අගසවු දෙනම බුදුරජාණන් වහන්සේට  වැඳගෙනම නිසලවම සිටියා. දැන් පරිසරයම නිහඬයි. සාරිපුත්ත මොගල්ලාන දෙනමට බුදුරජාණන් වහන්සේ වෙත පවසන්න යම්  කරුණක් තිබ්බා. ඒ තමයි ඔවුන්ගේ ගුරුවරයා සංජය පිළිබධව. දැන් තමයි හොඳම වෙලාව. ඔවුන් බුදුපියාණන් වහන්සේට වන්දනා කරමින්ම මෙලෙස පවසන්නට පටන් ගත්තා.

ඔවුන් ස්වාමීනි, අපි දෙදෙන ගිහිගෙයි සිටින කාලයේ ගිරග්ගසමජ්ජය බැලීමට ගියෙමු යි අස්සජි තෙරුන් හමුවෙහි සෝවාන් ඵලයට පැමිණීම දක්වා වූ සියලු වර්තමානකාලික කථා පුවත පවසන්නට වුණා, (මීට පෙර මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ලියා තිබෙනවා)  ඉන් පස්සේ තම ගුරුවරයා කොතරම් ආයාචනය කෙරුව ද බුදුන් හමුවීමට නොපැමනීම සම්බන්ධව මෙලෙස කියා සිටියා.  

ස්වාමීනි, අප අපේ ආචාර්යයන්ට ඔහුගේ ලබ්ධියෙහි නිසරු බව අප විසින් පෙන්වා දුන්නා. පෙන්වා දී , ඔබ හමුවට ඒමෙහි වටිනාකමද කියා දුන්නා. එහෙත් අභාග්‍යක මහත ඔහු එක්පයින්ම කියා සිටියේ දැන් මා හට තවත් කෙනෙකුගේ  අතවැස්සකු වීමට බැරි බවයි. ඊට හේතුව වුනේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම ඔහුගේ ශිෂ්‍යභාවය ගත් පසු ඔවුන්ගේ පිනට පිරිවර වැල නොකැඩී සුවඳ මල් ආදී දෑ රැගෙන ඔහු වෙත ඇදී ඒමයි. එහෙත් දැන් තත්වය වෙනස්. ඔවුන් ඒ බව ඔහුට පෙන්වා දුන්නා. ඇදුරුතුමනි දැන් මිනිස්සු සුවඳ මල් ආදිය ගෙන ගොස් බුදුරදුන්ම පුදන්නට යනවා.  එදා මෙන්  ඔබව  පුදන්නට එන්නේ නැහැ.  ඉතින් එවිට ඔබට අනාගතයේ  කුමක් සිදු වේද? ඔවුන් අසා සිටියා. එහෙත් බුදු කෙනෙකුගේ පහස සංසාරය පුරාවට සොයා පැමිණි විමුක්තිය තම දෙපතුල වෙතට ම පැමිණ සිටියත් අධික මාන්නය මිත්‍යා දෘෂ්ටිය ඔහුගෙන් එය වසන් කරනු ලැබුවේ හරිම අවාසනාවන්ත ලෙස. එය අපටත් හොඳ පාඩමක්. එහෙත් ඔහු බුදුරජාණන් වහන්සේ ව විවේචනයට භාජනය කලේ නැහැ. ඒ වෙනුවට ඔහු මෙවැනි ප්‍රශ්නයක් මා වෙත යොමු කලා බුදු පියාණන් වහන්ස.

සාරිපුත්ත, මෙලොව වැඩියෙන් සිටින්නේ පණ්ඩිතයෝ ද, නැතහොත් මෝඩයෝ දැයි ඔහු  අපෙන් ඇසුවා. ඇදුරුතුමනි, මෝඩයෝ බොහෝ ය, පණ්ඩිතයෝ අල්පයි අපි උත්තර දුන්නා. එසේ නම් පණ්ඩිතයෝ පණ්ඩිත වූ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යනවා. මෝඩයෝ මෝඩ වූ මා සමීපයට එනවා. ඒ නිසා ඔබ දෙපළද යන්න. මට එන්නට බැහැ දැන්.

 ඒ ඇසු තථාගතයන් වහන්සේ, මරණෙනි, සංජය තමන්ගේ මිසදිටු බව නිසා අසාරය සාර ලෙසත්, සාරය අසාර ලෙසත් ගත්ත. ඔබලා තමන්ගේ ඥානවන්ත කම නිසාම  සාරය සාර ලෙසත් අසාරය අසාර ලෙසත් දැන අසාරය හැර සාරයම තෝරා ගත්ත යැයි වදාරමින් මෙම ගාථාව දේශනා කරනු ලැබුවා.

“අසාරෙ සාරමතිනො, සාරෙ චාසාරදස‍්සිනො;

තෙ සාරං නාධිගච‍්ඡන‍්ති, මිච‍්ඡාසඞ‍්කප‍්පගොචරා.

සරු දෙය නිසරුයයි නිසරු දෙය සරුයයිද ගත්

වැරදි දැකුම ඇතියන්හට සාරයක් කිසිදාක නොලැබේ

“සාරඤ‍්ච සාරතො ඤත්‍වා, අසාරඤ‍්ච අසාරතො;

තෙ සාරං අධිගච‍්ඡන‍්ති, සම‍්මාසඞ‍්කප‍්පගොචරා”ති.

සරු දෙය සරුමයයි නිසරු දේ ඒ ලෙසම දුටු

හරි කල්පනා ඇති අය සැම කල්හි නිවනට යති

එහි අසාරෙ සාරමතිනො යනුවෙන් සඳහන් වන්නේ  සිව්පසය දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියයි. ඊට ආශ්‍රය වන ධර්මදේශනාදිය අසාර නම් වනවා. එහි සාරදර්ශීව සිටින අය යනු අර්ථයි. එමෙන්ම සාරෙවාසාරදස්සිනො යනු දශවස්තුක සම්‍යදෘෂ්ටියයි, ඊට ආශ්‍රය වන ධර්මදේශනාදි කරුණු සාර නම් වේ. ඒ කරුණු ගැන මේවා සාර නැතැයි ගත් අසාරදර්ශකයෝ යනු අර්ථයි. තෙ සාරං යනු ඒ මිථ්‍යාදෘෂ්ටි ග්‍රහණය ගෙන සිටියා වූ අය කාමවිතර්කාදි වශයෙන් මිථ්‍යා සංකල්පයට යටත් වී, සීල සාරය, සමාධි සාරය, ප්‍රඥා සාරය, විමුක්ති සාරය, විමුක්තිඥානදර්ශනසාරය, පරමාර්ථ සාරය යන මේ අවස්ථාවලට නො පැමිණෙන බවයි. මෙලෙස තව දුරටත් අට්ඨ කථාවන්හි එම ගාථා විස්තර වනවා.

 බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ මේ ගාථා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියා කියලා සඳහන්. ඒ වගේම  රැස්වූවන්ට එය සාර්ථක ධර්ම දේශනාවක් වුනා කියලත් පෙළෙහි සඳහන්.  ඉතින් අගසවු කථාවස්තුව මෙලෙස නිම වෙනවා.

උපකාර වූ මූලාශ්‍ර –  සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු