අපේ බුදුහාමුදුරුවෝ 359 (සන්තිකේ නිධානය)

 

විලෙන් පැන නැගී මහාමාහී ගංගාව.

බුදුරජාණන් වහන්සේ මෙලෙස අඞ්ගුත්තර පෙදෙසේ චාරිකාවේ යෙදෙමින් මෙණ්ඩක සිටුවරයාගේද භාර්යාව වු චන්ද පදුමාගේ ද පුතණුවන් වන ධනඤ්ජය සිටුවරයාගේ ද, ලේලිය වන, සුමනා දේවිය ගේද, මිණිබිරිය වු, විසාඛා වගේද, දාසයා වු පුණ්ණද, යන මේ අයගේ සෝවාන් ඵලයට උපනිශ්‍රය දැක භද්දිය නගරයට ගොස් ජාතිය වනයේ බොහෝ කලක් වාසය කරනු ලැබුවා. ඒ සියල්ලම ඒ අකාරයෙන්ම සිදුවුනා. මෙන්ඩක සිටුවරයාට ඒ නම ලැබූ අකාරය සහ ඔහුගේ භාග්‍යවන්ත භාවය පිළිබදව තව විස්මය ජනක බොහෝ කරුණු ලියන්නට තියෙනවා. එහෙත් එය වෙනයම් දිනයකට තබා අඞ්ගුත්තරාප දනව්වේ ආපණ නම් නිගමයට පැමිණි කෙණිය සේල දෙදනා පිළිබදව ලියන්නට සිතුවේ ඉන් පසු ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වුයේ ඔවුන් දෙදෙනා නිසා.

 අංගුත්තරාප එසේත් නැතිනම් අංගුත්තරාපෙසු ජනපදයේ උතුරු දෙසින් ‘ආප’ නම් ගංගාවක් තිබුණා. උත්තර ගංගාව එම නියම් ගම ආසන්නව පිහිටි බැවින් ‘උත්තරාපාති’ යනුවෙන් ද එම ගම හැඳින්වුණා . ඇත්තෙන්ම ඒ ආප නමින් හැඳින්වුයේ ඒ ගමට උතුරු දෙසින් පිහිටා තිබූ තවත් නමකින් හැදින්වෙන “මහාමහි” කියන ගංගාවටමයි

මේ එම ගංගාව පැන නැගෙන අයුරු පිළිබඳව සඳහන් විස්තරයත් හරිම ලස්සනයි. ඒ නිසා ඒ පිළිබඳවත් ලියන්නට හිතුවා. මේ දඹදිව යොදුන් දසදහසක් පමණ වෙනවා. එහි යොදුන් හාර දහසක පමණ පෙදෙසක් ජලයෙන් යටව ‘මුහුද’ යැයි හැඳින්වෙනවා. එහි තුන් යොදුනක පමණ පෙදෙසක මිනිස්සු ජිවත් වෙනවා. යොදුන් තුන් දහසක පමණ පෙදෙසක හිමාලය පිහිටා තිබෙනවා. එය උසින් යොදුන් පන්සියයකි. අසූහාර දහසක් කඳු මුදුනින් යුතුයි. හාත්පසින් ගලායන ගංගා පන්සියයකින් එම පෙදෙස පෝසිත මෙන්ම මනහරද වෙනවා. පූරළාස සූත්‍ර විස්තරයෙහි කියන ලද පරිදි පළලින් ද, ගැඹුරින් ද යොදුන් පණහක් පණහක් බැගින් වූ යොදුන් එකසිය පණහක පමණ බිම් පෙදෙසක් වසා පැතිරුණු අනොතත්ත විල කණ්ණමුණ්ඩ විල, රථකාර විල, ඡද්දන්ත විල, කුණාල විල, මන්‍දාකිනී විල, සීහප්පපාතක විල ආදී මහාවිල් සත පිහිටා සිටියා.

ඒ විල් අතරින් අනොතත්ත විලට විශ්වයෙන් ලැබුණේ සුවිශේෂී අනුග්‍රහයක්. අනොතත්ත විල සුදස්සන, චිත්ත, කාල, ගන්‍ධමාදන, කෙලාස යන කඳු පහකින් වටව තිබුණා. මෙයින් සුදස්සන කඳුපව්ව සිය යොදුනක් උසයි, එය රන්මය වූ, ඇතුලතට නැමුණු කපුටකුගේ මුවක් ලෙස මුළු විලම වසා සිටින බව කියනවා. චිත්තකූටය මුළුමනින්ම රුවනින් කළා සේද, කාල නම් කූටය අඳුන්මය ලෙසින්ද පිහිටා සිටියා. ගන්‍ධමාදන පව්ව සානුවක් සේ, ඇතුලත මුං පැහැයෙන් නොයෙක් නොයෙක් ඔසුපැලවලින් ද යුතුවද, අමාවක පොහෝදින රාත්‍රියට දිලිසෙන ගිනි අඟුරු මෙන් පෙනී සිටියේ ඒ ඔසුපැලවල තියෙන යම් ගුණයක් නිසා වෙන්නට ඇති. කෙලාසකූටය රිදීයෙන් නිමවූවා. ඒ සියළුම කඳු පව් සුදස්සන කුළ මෙන් සම උසින් යුතුව ඒ විල ආවරණය කළා සේ පැතිර සසිටියා. දේව බලයෙන් ද නාගයන්ගේ බලයෙන් ද සැමතැනටම වැසි වැස්සා. ඒ කඳු මුදුන්වලට එකතු වූ ඒ සියලු වැසි ජලය අනොතත්ත විලටම ගලා පැමිණියා. සඳ හිරු දකුණු දෙසින් හෝ උතුරු දෙසින් හෝ ගමන් කරමින් කඳු පව් අතරින් විල බබළවන්නට වුණා. හිරු සඳු කෙළින් ගමන් කරද්දී බැබළීමක් වන්නේ නැහැ. ඒ නිසාම ‘අනොතත්ත’ යනුවෙන් ඒ විල හැඳින්වුණා

අනොතත්ත විල මනහර ගල් පුවරුවලින් ද, මසුන් ඉදිබුවන් නොමැති, පලිඟුවන් පිරිසිදු ජලයෙන් ද යුතු මැනවින් පිළියෙල වූ නාන තොටවල් වලින්ද අලංකාර වුණා. ඒ පිළිබඳව මනා විස්තරයක් මීට පෙරද මා විසින් අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ ලියා තිබෙනවා. එම තොටුපල වලින් බුදු, පසේබුදු, මහරහත්හු ඉසිවරු වැනි උත්තම පුරුෂයන් පැන්පහසු වුණා. දෙවිවරු, යක්කු උයන්කෙළි සඳහාත් මෙහි පැමිණියා.එහෙත් මිනිස් ඇසුරෙන් තොරවුනා.

විලෙහි සතර පැත්තෙහි සිංහ, මුව, ඇත් මුව, අස් මුව, ගව මුව ලෙස මුව සතරක් තිබුණා. එය ගංගා සතරක ආරම්භය ද වුණා. සිංහ මුවෙන් නික්මෙන ගංගාවේ ඉවුරෙහි බොහෝ සිංහයෝ සිටියා. ඇත්, අස්, ගව මුවින් නික්මෙන ගංගා ඉවුරු ඇසුරු කරමින් ඒ ඒ සත්තු වාසය කළා. නැගෙනහිර දෙසින් නික්මෙන ගංගාව අනොතත්ත විල තෙවරක් පැදකුණු කොට, අනෙක් ගංගා තුන කරා නොපැමිණ, හිමවතට බටහිර දෙසින්, මිනිස් වාසයෙන් තොර පෙදෙසකින් මහ සයුරට එක්වුනා. බටහිරින් ද උතුරෙන් ද නික්මෙන ගංගා ද එසේම විල පැදකුණු කොට, හිමවතට බටහිර දෙසින්ද, හිමවතට උතුරු දෙසින්ද මිනිස් වාසයෙන් තොර පෙදෙසකින් මහ සයුරටම එකතු වුණා. දකුණු දිසාවෙන් නික්මෙන ගඟ තෙවරක් අනොතත්ත විල පැදකුණු කොට ගල්තලාවෙහි නොවක්ව ගලාගොස්, කඳු පව්වෙහි වැදී, එයින් තුන්ගවු පමණ ජල දහරක් ඉහළට නැගී, සැටයොදුනක් අහසින් ගලා ගොස්, ‘තියග්ගල’ නම් ගල්තලයෙහි වැදී, ජල ධාරා වේගවත්ව බිඳී යොදුන් පණහක් පමණ වූ ‘තියග්ගල’ නම් පොකුණ සකස් වුණා. පොකුණු ඉවුර බිඳ, ගල්තලයට පිවිසෙන ජල පහර සැටයොදුනක් ගලා ගොස්, තද පොළව බිඳගෙන, සැටයොදුනක් උමගින් ගොස්, විජ්ඣ නම් පව්වෙහි ගැටී, අත්ලෙහි ඇඟිලි පහ මෙන්, දිය දහරා පහක්ව විහිදී ගියා.

මෙසේ ගලා පැමිණි ඒ දිය කඳ ඒ ඒ තැන්වල දී විවිධ නම් වලින් හැඳින්වුණා. එම දිය දහරා අනොතත්ත විල පැදකුණු කොට ගිය තැන, ආවට්ට ගඟ (වටසුළි ගඟ) යැයි කියනු ලැබුවා. ගල්තලාවෙහි සැටයොදුනක් නොවක්ව ගලා ගිය තැන්හි කාල ගංගා (කළු ගඟ) නම් වුණා. අහසින් සැටයොදුන් ගිය තැන ආකාස ගංගාව හෙවත් අහස් ගඟ නමින්ද, තියග්ගල ගල්පව්වෙහි පර්ස් යොදුනක් පැතිරුන තැන තියග්ගල නම් පොකුණද යනුවෙන්ද, ඒ පොකුණු ඉවුර බිඳ ගල්තලයට පිවිස සැටයොදුනක් ගියතැන උම්මග්ග ගංගා හෙවත් උමං ගඟ යනුවෙන්ද හැඳින්වුණා. මෙසේ පැමිණ විජ්ඣ නම් පව්ව හරහා වැටුණු ජල දහරා පහ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙන් හැඳින්වුණා. මෙසේ ඒ මහා ගංගා පහ හිමාලයෙන් ඇරඹුනා, මෙලෙස ගලා පැමිණි මහාමහී ගඟට උතුරෙන් ‘ආපො’ නම් පෙදෙස වේද, ඊට ආසන්නව ඇති ජනපදය අංගුත්තරාප යනුවෙන් හැඳින්වුණා.

බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස මේ අංගුත්තර ජනපදයේ “උත්තරාපාති” නම් පෙදෙසට විශේෂයෙන් පැමිණයේ යම් පුද්ගලයන් දෙදෙනෙකු සසරෙන් එගොඩ කිරිමටමයි. ඒ අය ගැන අපි වැඩිය අසා නැහැ.

උපකාර වූ මූලාශ්‍ර

සුන්දරිකභාරද්වාජ සූත්‍ර වර්ණනාව, (පූරළාස සූත්‍රය), සේල සූත්‍රය

error: Content is protected !!