අපේ බුදුහාමුදුරුවෝ 356 (සන්තිකේ නිධානය)

 

සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 05

එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සරද තාපස නමින් සිටි අපේ සාරිපුත්ත තෙරණුවන්ගේ එදත් හොඳම යහළුවා වුවේ අපේ බුදුන් කලද අඹ යහළුවා වූ මුගලන් තෙරුනුවන්මයි. උන්වහන්සේගේ නම එකල සිරිවඩ්ඪ නම් වුනා. බලන්න කල්‍යාණ මිත්‍රත්වයේ තරම. සරද තාපස තුමා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වෙතින් අගසවු තනතුර සඳහා ආශීර්වාද ලත් සැණින්ම මතක්වුනේ තමාගේ හොදම යහළුවා වූ සිරිවඩ්ඪ ගැනයි. උන්වහන්සේ තමාගේ අතවැසි තෙරුන් ළඟට ගොස් යහළුවූ සිරිවඩ්ඪ කෙළෙඹියාට පණිවුඩයක් ඒ මොහොතේම යැවුවා.

 ස්වාමීනි, මගේ යාළුවාට මෙසේ කියනු මැනවි, ඔබේ යාළුවූ සරද තවුසන් විසින් ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර ප්‍රාර්ථනා කරන ලදි. ඔබ දෙවෙනි ශ්‍රාවක තනතුර පතනු මැනවි.

මෙසේ කියා තෙරවරුන් පිටත්වීමට පෙරම වෙනත් මඟකින් ගොස් සිරිවඩ්ඪගේ ගෙදොර ඉදිරියෙන් සිටගත්තේ පසුව තමාම යා යුතුයි කියා හෝ ඔහු ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතා සිතූ බැවින් වෙන්නට ඇති. සිරිවඩ්ඪ තෙමේත් වහාම මගේ ආර්යයන්වහන්සේ බොහෝ කලකින් පැමිණියේයයි අසුනක වඩාහිඳුවා තමන් මිටි අසුනක හිඳ, ස්වාමීනි, ඔබේ අතවැසි පිරිස දක්නට නැත්තේ ඇයිදැයි විමසනු ලැබුවේ විමතියෙන්.

යහළුව එසේය. අපේ අසපුවට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ වැඩියා. අපි ශක්ති පමණින් උන්වහන්සේට සත්කාර කරනු ලැබුවා. ශාස්තෘන්වහන්සේ සියල්ලන්ටම දහම් දේශණා කළා. . දේශනා කෙළවර මා හැර සෙස්සෝ අර්හත්වයට පැමිණ පැවිදිවූනා. මම ශාස්තෘන්වහන්සේගේ අග්‍රශ්‍රාවක සහ නිසභතෙරුන් දැක අනාගතයෙහි උපදින ගෞතම නම් බුදුන්ගේ සසුනෙහි අගසවු තනතුර පැතුව. ඔබද ඒ බුදුන්ගේ ශාසනයෙහි දෙවෙනි ශ්‍රාවක තනතුර පතන්නැයි කියා ඉල්ලා සිටීමටයි මේ පැමිණියේ. එවිට ස්වාමීනි, බුදුවරුන් සමඟ කටයුතු කිරීමට මට පුරුදු නැතැයි සිරිවඩ්ඪ කියා සිටියා. බුදුවරුන් සමඟ කරන කථා මට භාරය. ඔබ හොඳට සත්කාර සම්මාන සූදානම් කරන්නැයි සරද තවුසා ඔහුගේ බිය පහකරමින් කියා සිටියා.

ඔහුගේ වචන ඇසූ සිරිවඩ්ඪ තම නිවේසද්වාරයෙහි ප්‍රමාණයෙන් අටකිරියක්වූ (අමුණු සතරක බිම් ප්‍රමාණය) බිම් පෙදෙස සමතලාකොට වැලි අතුරුවා ලදපස්මල් ඉස නිල්මානෙල් වියනක් ඇති මණ්ඩපයක් කරවා බුද්ධාසනයක්ද සකස් කොට සෙසු භික්ෂූන්ටද ආසන පිළියෙළ කරවා මහත් වූ සත්කාර සම්මාන සූදානම්කොට බුදුන්ට ආරාධනා කිරීම සඳහා සරද තවුසාට සංඥාව ලබා දුන්නා.

ඉන්පස්සේ සරද, බුදුන් ප්‍රමුඛ සංඝයා කැඳවාගෙන ඔහුගේ නිවසට පැමිණියා. සිරිවඩ්ඪද පෙර ගමන් කොට තථාගතයන් වහන්සේගේ අතින් පාත්‍රය ගෙන මණ්ඩපයට ප්‍රවේශ කරවනු ලැබුවා. ඉන් පස්සේ පැනවූ අසුන්හි වැඩහුන් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පැන් පිළිගන්වා ප්‍රණීත බොජුන් වළඳවා බක්කිස අවසානයෙහි බුදුන් ප්‍රමුඛ සංඝයාට පිරිකර වශයෙන් රෙදිපිළි පිළිගන්වා, ස්වාමීනි, මේ ආරම්භය ස්වල්ප මාත්‍ර වූ තැනක් ගැනීම සඳහා නොවෙයි, මේ ලෙසින් ම සත් දිනක් මාගේ ආරාධනය අනුකම්පාවෙන් ඉවසනු මැනවැයි ඉල්ලා සිටිය. ශාස්තෘන්වහන්සේ ද එය ඉවසා වදාරනු ලැබුවා. ඉන් පසුව ඔහු ඒ ආකාරයෙන් ම සත් දිනක් මහ දන් පවත්වා භාග්‍යවතුන්වහන්සේට වැඳ ඇඳිලි බැඳ ගෙන සිට මෙසේ කියා සිටියා. .

“ස්වාමීනි, මාගේ යාළුවූ සරද යම් ශාස්තෘන්වහන්සේ නමකට අග්‍රශ්‍රාවක වීම සඳහා පැතුවේද, මම උන්වහන්සේගේ ද්විතීය ශ්‍රාවක බව පතන්නෙමි.”

ශාස්තෘන්වහන්සේ ද අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන බව දැක, මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.

 ‘ඔබ මෙයින් අසංඛ්‍ය කල්පලක්ෂයක් ගෙවුණු තැන ගෞතම නම් බුදුන්ගේ ද්විතීය ශ්‍රාවක භාවයට පත්වන්නේය’. බුදුන්ගේ ප්‍රකාශය ඇසූ සිරිවඩ්ඪ අතිශයින් ප්‍රීතියට පත්වුණා. ශාස්තෘන්වහන්සේ භුක්තානුමෝදනා කොට විහාරයට ම වැඩමකලා.

‘මහණෙනි, මේ මගේ පුතුන් විසින් එදා කළ ප්‍රාර්ථනාවයි. ඔවුහු ප්‍රාර්ථනා තැබූ ලෙස ම තනතුරු ලැබුවා. මම මුහුණු බලා තනතුරු නොදෙන්නෙමි’යි වදාරනු ලැබුවා. ඔවුන්ගේ සැකයද, චෝදනාවද එයින් ම සිඳී ගියා. දැන් ඔබට තේරුම් යන්න ඕනේ ඔබ විසින් කරනු ලබන අධිෂ්ඨානය කොතරම් වැදගත් ද යන්න.

උපකාර වූ මූලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු

error: Content is protected !!