Ape Budu Hamuduruwo 381

අපේ බුදුහාමුදුරුවෝ 381 (සන්තිකේ නිධානය)

 

කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන

බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 02

ලෝකයේ බොහෝ රටවල වසරකට දේශගුණික වශයෙන් ඍතු සතරක් පවතිනවා. ඒ ශීත ඍතුව, වසන්තය,ගිම්හානය, සහ සරත් ඍතුව යනුවෙන්. ශ්‍රී ලංකාවේ වෙසෙන අපිට මේ අත්දැකීම නැතත් විදේශීය රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයනට මේ අත්දැකීම තියෙනවා. ශීත ඍතුවේ ඇතිවෙන අධිල ශීතල නිසා ඇතිවෙන කටුක අත්දැකීමෙන් මිදෙන්නට මිනිසුන් සතා සීපාවුන් පමණක් නෙවෙයි ගහකොළ පවා බලා සිටින්නේ වසන්තය එනේතෙක්. එදා රජගහ නුවරටත් ශීත ඍතුව සමුගෙන වසන්තයේ අරුනලි නැගෙමින් තිබුනේ. ගහකොළ දළුලමින් මල්පිපෙමින් මුළු පරිසරයම වර්ණවත් වෙලා. අධික සීතලත් නැති අධික රස්නෙත් නැති හරිම සෞම්‍ය කාල පරිච්චේදයක් ඒ මොහොත.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයේ සිට දැන් මාස අටක් ගතවෙලා. කාළුදායි තෙරුන්ගේ පැමිණීමෙනුත් දින හත අටක්ම පහුවෙලා. ශීත ඍතුව මියැදෙමිනුයි පවතින්නේ. තෙරුන් වහන්සේ නවම් මාසයේ පූර්ණමි දිනයේ මෙසේ සිතන්නට වුණා. දැන් හේමන්ත කාලය ඉක්මවා ගිහින්. වසන්ත කාලයේ අරුනලි පතිතවෙමින් පවතින්නේ. මිනිසුන් විසින් ශස්‍ය ගොයම් ආදිය උදුරා කපා මාර්ගය හෙළි පෙහෙළි කොට අවසන්. මාර්ගයේ හමුවන හමුවන තැන නිල්වන් තණවලින් වැසී ගිහින්. රුක්ලිය පිපුණු වනමලින් නොපිපුණු පොහොට්ටු වලින් පිරිලා. තුරුළිය සිපගනිමින් හමා එන මදනල සිසිලසත් වනමල් වල සුවදත් රැගෙන එනවා. දැන් කිඹුල්වත් පුරය දක්වා ඇති මාර්ගය බුදුරජුන්ගේ ගමනට සුදුසු ලෙස සැරසිලා. දසබලයන් වහන්සේගේ ඤාතීන්ට සංග්‍රහ කිරීමට මේ සුදුසුම කාලයයි. මෙහෙම සිතලා බුදුන් වෙත එළඹ ගාථා හැටකින් කිඹුල්වත්පුර වැඩීම සඳහා යන ගමන්මග මෙලෙස වර්ණනා කරන්නට වුණා.

අංගාරිනො දානි දුමා භදන්තෙ, ඵලෙසිනො ඡදනං විප්පහාය,

තෙ අච්චිමන්තොව පභාසයන්තී, සමයො මහාවීර භගීරසානං

හිමියනි මෙවිට රුක් හිස් සහළඟුරු වගේ

පරඬැල් සලා පල දැරුමට ළඟයි වගේ

ඒ රුක් පහන්සිළු මෙන් බබලමින් නැගේ

සැකිකුලවුන්ට අත දෙත මේ කලැයි හැඟේ

දුමානි ඵුප්ඵානි මනොරමානී, සමන්තතො සබ්බදිසා පවන්තී,

පත්තම්පහාය ඵලමාසසානා, කාලො ඉතො නික්ඛමනාය වීර

විරුවනි එරුක් මල් බරවී මනහරය

සුවඳින් පුරාලයි සැමදෙස පරිසරය

පලබරවනුව සැරසෙයි පරඬැල් හැරය

මෙතැනින් නික්මෙන්ට දැන් කාලය හරිය

නෙවාති සීතං නපනාති උණ්හං, සුඛාඋ අද්ධනියා භදන්තෙ,

පස්සන්තු තං සාකියා කොළියාච, පච්ඡාමුඛං රෝහිණිං තාරයන්තං

වැඩි සීතලක් නැත වැඩි උණුසුමක් නැත

මහමග යන්ට සුන්දර රිතු ගුණය ඇත

රෝහිණි නදිය තරණය කොට ඔබ වඩිත

සැකි-කෝළියෝ පැළදිග දෙස බලනු ඇත

ආසාය කසතෙ ඛෙත්තං, බීජං ආසාය වප්පතී,

ආසාය වාණිජා යන්තී, සමුද්දං ධන හාරකා,

යාය ආසාය තිට්ඨාමි, සා මෙ ආසා සමිජ්ඣතු

සිතැඟි ලෙස කෙත් සැකසේ – සිතැඟි ලෙස බිජු වැපිරේ

දනය ගෙන යන වෙළඳ ජනයා – සිතැඟි ලෙස මහ සමුදුරේ යති

මමද යම් සිතැඟියක සිටිනෙමි

පුනප්පුනං චෙව වපන්ති බීජං, පුනප්පුනං වස්සති දෙවරාජා,

පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා, පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං

යළි යළි බිජුවට වපුරාලන්නේ

යළි යළි මහවැසි දහර වසින්නේ

යළි යළි ගොවියන් කෙත් සකසන්නේ

යළි යළි රටවෙත වියැට ඇදෙන්නේ

පුනප්පුනං යාචනකා චරන්තී, පුනප්පුනං දානපතී දදන්තී,

පුනප්පුනං දානපතී දදිත්‍වා, පුනප්පුනං සග්ගමුපෙන්තිඨානං

යළි යළි ඉල්ලා ඇවිදිති යදියෝ

යළි යළි ඔවුනට දෙති දන්පතියෝ

යළි යළි දන් දී ඒ දන්පතියෝ

යළි යළි යහපත් තැනකට සැපැතියෝ

වීරො භවෙ සත්ත යුගං පුනෙතී, යස්මිං කුලෙ ජායති භුරිපඤ්ඤෙ,

මඤ්ඤමහං සක්කති දෙවදෙවො, තායාභිජාතො මුනි සච්චමානො

පවුලක මහ පැනැති විරුවකු උපන්විට

හත්මුතු පරපුරක් යෙයි පිරිසිදු බවට

හැකිවේයයි සිතමි දෙවි දෙවි වූ ඔබට

ගැළපෙයි එයින් ඔබ සත්‍යය යන නමට

සුද්ධොදනො නාම පිතා මහෙසිනො, බුද්ධස්ස මාතා පන මාය නාමා,

යා බොධි සත්තං පරිහරිය කුච්ඡිනා, කායස්ස භෙදා තිදිවම්හි මොදතී

ඔබගේ පියතුමා සුදොවුන් නම් වේය

ඔබගේ මව්තොමෝ මායා නම් වේය

බෝසත් කුසදරා සිට ඈ මියැදේය

ඉන්පසු තුටුවෙමින් දෙව්ලොව වැජඹේය

සාගොතමී කාලකතා ඉතොචුතා, දිබ්බෙහි කාමෙහි සමංගිභූතා,

යා මොදතී කාම ගුණෙහි පඤ්චගි, පරිවාරිතා දෙවගණෙහි තෙහිතෙ

ඒ ගෝතමිය කලුරියකොට මින් චුතව

දෙව්ලොව කම් සැපෙහි හැම අඟකින් යුතුව

පස්කම් ගුණෙන් ඈ දැන් මොනවට තුටුව

සැප විඳිනීය දෙව්ගණ පිරිවර ඇතුව

 

උපකාර වූ මුලාශ්‍ර

සූත්‍ර අටුවාව සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ග්‍රන්ථාරම්භ කථා

සූත්‍ර අටුවාව. කාළුදායි ථේර අපදාන වර්ණනාව කුදුගත් සඟිය අටුවා වඅපදාන අටුවාව ථේර අපදාන. කුණ්ඩධාන වර්‍ගය

 
 

Ape Budu Hamuduruwo 380

අපේ බුදුහාමුදුරුවෝ 380 (සන්තිකේ නිධානය)

 

කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන

බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට පැමිණීම. 01

මෙතැන් සිට ඔබ හට කියවන්නට ලැබෙන්නේ අප මහා බුදුපියාණන් වහන්සේව රජගහනුවර සිට කිඹුල්වත් පුරය දක්වා දින හැටක් තිස්සේ යොදුන් සැටක් මහා කාලුදායි තෙරුන්වහන්සේ විසින් වැඩමවාගෙන පැමිණි සුන්දර කතා වස්තුවයි .

මෙයින් කල්ප ශතසහස්‍රයකට පෙර පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළවුනා. උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සර්වඥ බවට පත්ව ‘අනෙකජාති සංසාරං’ යනාදී උදානය පවසා දින සතක් බෝමැඩ ගතකර බිම තබන්නෙමියි පය බිම තැබුවා. ඒ මොහොතේ මහපොළව පැලී මහත් වූ පද්මයක් ඉහලට පැන නැංග. එහි පත්‍රයක් රියන් අනූවක්. කෙසරු රියන් තිහක්. කර්ණිකාව දොළොස් රියනක් . කල නවයක් පමණ රේණු වුණා.

ශාස්තෲන් වහන්සේ වනාහි උසින් අටපනස් රියන් වුණා. උන්වහන්සේගේ බාහු දෙක අතර පරතරය දහඅට රියනක්. නළල රියන් පහක්. අත්පා රියන් එකොළොහක්. උන්වහන්සේගේ රියන් එකොළොසක් වූ පාදයෙන් දොළොස් රියන් කර්ණිකාව පිරිමදිනවිට කලනවයක් පමණ රේණු පනස්අට රියනක් පමණ උසට අහසට පැන නැගී ඉසින ලද මනෝසීල කුඩු මෙන් දසත පැතිරුණා. ඒ හේතුවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේව පදුමුත්තර ලෙස හැඳින්වූවා.

ඒ දවසේ ලෝකජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති, ඒ මහා පිරිපුන් දේහයකින් යුතු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහමඟ චාරිකාවේ හැසිරෙමින් සිටියේ. ඒ මොහොතේ මහපොළව පලාගෙන පැමිණි මහා පියුමන් සුපුරුදු ලෙසම එදත් උන්වහන්සේගේ ශ්‍රී පාද පිළිගනිමින් සිටියා. මැනවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද සමග කිරිබත් ද රැගෙන සුවිශේෂී කෙනෙකු උන්වහන්සේව පිළිගන්නට මහමග බලා සිටියා. ඒ තමයි වර්තමානයේ අපේ බුදුරජාණන් වහන්සේව ශුද්ධෝදන රජතුමා වෙතට වඩම්මවාගෙන ගිය කාලුදායි මහරහතන් වහන්සේ. අප සාසනයේ උදායි නමින් තෙරුන් තුන්දෙනෙකු සිටියා. ඒ ලාලුදායි, කාලුදායි, මහා උදායි යනුවෙන්. ඒත් මේ ඔබ කියවන්නේ ඒ අතරින් සිටි “කුලයන් පහදවන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූ කාලුදායි මහරහතන් වහන්සේ ගැනයි.

මහාවීර වූ පදුමුත්තර බුදුරජාණෝ එදා ඒ භෝජනය වැළඳූවා. මල් රැගෙන පැමිණි මහජනයාට එකල කාලුදායි උපාසක තුමාව පෙන්වා උන්වහන්සේ මෙහෙම කතාවක් කීවා.

“ලොව ඉෂ්ට වූ මනවඩන ප්‍රිය වූ උතුම් ජලජ පුෂ්පයෝ වෙති. ඒ මලින් මා පිදූ මෙතෙමේ ඉතා අමාරු කටයුත්තක් කළේය.

මාහට මල් පිදූ, උතුම් ආහාර පිදූ මොහු අනාගතයේ කවරෙකු වන්නේ දැයි පවසමි. ඒ මාගේ වචනය සාවධානව අසවු.

මෙතෙම මේ පිනෙන්ම දහඅට වරක් දෙව්රජව උපදින්නේ ය. ඔහුගේ පුණ්‍ය විපාකයෙන් දිව්‍යමය සුවඳින් යුතු උපුල්, පියුම්, බෝලිද්ද ආදී මල් අහසේ වියනක් මෙන් සිටින්නේය.

සක්විති රජව විසිපස්වරක් උපදින මෙතෙම පෘථිවි රාජ්‍යය පන්සිය වරක් දරන්නේය.

මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.

කුශල මූලයෙන් මෙහෙයූ සතුටු සිතැති මෙතෙම ශාක්‍යයන්ගේ සතුට ඇති කරන ඥාතියෙක් වන්නේය.

පසුව පැවිදිව ආශ්‍රව ප්‍රහීණ කරන මෙතෙමේ පිරිනිවන් පාන්නේය.

ලෝකබන්‍ධු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිවුපිළිසිඹියා පත් වූ, කොටැ නිමැවූ කටයුතු ඇතිවූ, ආශ්‍රව රහිත වූ මෙතෙම

 කුලයන් පහදවන්නවුන් අතරින් අග්‍රස්ථානයේ පිහිටුවන සේක.

මෙලෙස විවිරණ ලැබූ උන්වහන්සේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරමින් පැමිණ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ මවගේ කුසෙහි පිළිසිඳගන්නා දවසෙහි, ඔහුද කපිලවස්තු නගරයෙහි ම ඇමතියකුගේ ගෙහි පිළිසිඳ ගත්තේ ඒ ප්‍රාර්ථනය ඉෂ්ඨ කරගැනීමට. උන්වහන්සේ උපන්නේත් බෝධිසත්ත්වයන් වහන්සේ මෙලොව පහලවූ දිනයෙමයි. ඒ තරමටම ඔහුගේ උපතත් මේ බුද්ධ ශාසනයට වැදගත් එකක් වුණා. එදවස ම ඔහු දුහුල් සුඹුළුවෙක හොවා බෝධිසත්ත්වයන් වහන්සේ ළඟට ගෙන ආවා. බෝධිසත්ත්වයන් වහන්සේ සමග බෝරුක, රාහුල මාතාව, සතරමහා නිධාන, කන්ථක, ආනන්ද, ඡන්න, කාලුදායි යන මේ සත එක් දවසෙක උපන් බැවින් සහජාත නම් වුනා. ඉන්පසු ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි ඔදවැඩුණු සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායී යනුවෙන්ම නම් ලැබුවා. මදක් කාලවර්ණ ස්වභාවය ඇති බැවින් කාලුදායී යනුවෙන් හඳුන්වනු ලැබුවා. . ඔහු බෝධිසත්ත්වයන් සමග කුමර කෙළි කෙළින්නේ වැඩිවිය පත්විය. ඔහු මෙලෙස රාජකීය පවුල අතරත් නෑයන් අතරත් පමණක් නෙවෙයි බෝධිසත්වයන් වහන්සේගේද සිත තදින්ම දිනාගත්තා. දැන් ඔබට තේරෙන්නට ඕනේ මේ බුදුසසුනේ සියලූම සුවිශේෂී කාරනා අහඹු ලෙස සිදු නොවූ බව. පාපතර පුද්ගලයන් මුසු නොවූ බව. ඔවුන් ඒ ඒ කටයුතු සඳහාම කල්ප ලක්ෂ ගණනින් පෙරුම් පුරමින් කණ්ඩායමක් ලෙස පැමිණි මහා සත්පුරුෂයින්.

උපකාර වූ මූලාශ්‍ර

සූත්‍ර අටුවාව – සන්තිකෙ නිදානකථා කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ග්‍රන්ථාරම්භ කථා

සූත්‍ර අටුවාව – සම්පසාදනිය සූත්‍ර වර්ණනාව දික් සඟිය අටුවාව පාථීක වර්ගය අටුවාව

සූත්‍ර අටුවාව -. කාළුදායි ථේර අපදාන වර්ණනාව කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ථේර අපදාන 4. කුණ්ඩධාන වර්‍ගය

සූත්‍ර අටුවාව – අවිදූරෙනිදානකථා කුදුගත් සඟිය අටුවාව අපදාන අටුවාව ග්‍රන්ථාරම්භ කථා

Ape Budu Hamuduruwo 379

අපේ බුදුහාමුදුරුවෝ 379 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 15

ශාස්තෘන්වහන්සේගේ සිරුර දෙතිස් මහා පුරුෂලක්‍ෂයෙන් විචිත්‍රවත්. මහකසුප් තෙරුන්ගේ සිරුර සත්මහා පුරුෂලක්‍ෂණයෙන් විචිත්‍රවත්. ඒ උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ සතක් තිබූ නිසා. උන්වහන්සේ රන්මුවා මහ නැවක පසුපසෙන් බඳින ලද කුඩා නවුකාවක් සේ ශාස්තෘන්වහන්සේගේ පියෙන් පිය ළුහු බැන්දා. ශාස්තෘන්වහන්සේ මඳක් මඟ ගොස් මගින් බැස එක්තරා ගසක් මුල හිඳීමට කැමති බවක් පෙන්වනු ලැබුවා. අතීතයෙහි බොහෝ බුදු පසේබුදුරජාණන් වහන්සේලා ඇතුළු ලක්ෂ ගණනින් මහා සංඝරත්නයට උපස්ථාන කොට පුරුදු තෙරුන්වහන්සේට ‘ශාස්තෘන්වහන්සේ හිදිනු කැමැතිසේකැ’යි දැනගැනීමට මොහොතක්වත් ගතවුනේ නැහැ. උන් වහන්සේ ක්ෂණයකින් තමා විසින් පොරවන ලද පටසළුවෙන් තැනූ දෙපට සිවුර සතරට නමා අසුනක් මෙන් පැනවූවා.

මීට පෙර කියවූ පරිදී උපතින්ම මහා ධන නිධානයන්ට උරුම කම් කියූ මහා ධනකුවේරුකුව සිට ඒ සියල්ල හැරදමා මහණ දිවියට අතුලුවුන පිප්ඵලී කුමරා බුදුරජාණන් වහන්සේට ගිහිකල තමා විසින් පොරවන ලද පටසළුවෙන් තැනූ දෙපට සිවුර සතරට නමා තමයි අසුනක් ලෙස පැනවුයේ. එය කොතරම මටසිලිටු වෙන්නට ඇතිද, ඒ මොහොතේ ශාස්තෘන්වහන්සේ එහි හිඳ අතින් සිවුර පිරිමදිමින් කාශ්‍යපය, ඔබගේ මේ පට පිළියෙන් කළ සඟළසිවුර මෙලෙක්ය’යි කියා සිටියේ එය අගය කිරීමට වඩා ඔහුට තවත් සුවිශේෂ උරුමයක් ලබාදීමට. ඒ තමයි සංසාරයේ පතා පැමිණි පරිදී බුද්ධ සාසනයක එකම එක් ශ්‍රාවකයෙකුට පමණක් උරුම වන බුදුරජාණන් වහන්සේගේ සඟලසිවුර දැරීමට අවස්තාව සලසා දීමට.

 තෙරුන්වහන්සේ, ශාස්තෘන්වහන්සේ මගේ සඟළසිවුරේ මෙළෙක් බව කියන සේක පොරවනු කැමැති වනසේකැ’යි දැන, ස්වාමීනි, භාගයවතුන් වහන්සේ සඟළ සිවුර පොරවන සේක්වායි පැවසූවේ ඉමහත් ගෞරවයෙන් වගේම භක්තියෙන්. ‘කාශ්‍යපට, නුඹ කුමක් පොරවන්නෙහිද? කාශ්‍යපය, ඔබට මේ පරිභෝගයෙන් දිරුණු පාංශුකූලය දැරීමට හැකි වන්නෙහිද?

කාශ්‍යප, මාවිසින් මේ පාංශුකූලය ගන්නාලද දිනයේ මේ දියමත පිහිටි මාහොළොව කම්පාවුනා. බුදුවරුන්ගේ පරිභෝගයෙන් දිරුණු මේ සිවුර නම් අල්පගුණ ඇත්තෙකු විසින් දැරීමට නොහැකියි. ප්‍රතිබලසම්පන්න ප්‍රතිපත්ති ඇත්තෙකු විසින් දැරීමටද නොහැකියි. එහෙත් ප්‍රතිබලසම්පන්න ප්‍රතිපත්ති පිරීමෙහි සමත්වන්නාවූ ජාතිපංශුකූලිකයෙකු විසින් දැරීමට වටීය’යි වදාරා තෙරුන් සමඟ සිවුර මාරුකරගනු ලැබුවා.

මෙලෙස සිවුරු මාරු කොට තෙරුන්විසින් පොරවන ලද සිවුර භාගයවතුන්වහන්සේ පෙරවනු ලැබුවා. තෙරුන්වහන්සේ ශාස්තෘන්වහන්සේගේ සිවුර පෙරවනු ලැබුවා. ඒ මොහොතේ අචෙතනිකවු මේ පොළොවද, ‘ස්වාමීනි, දුෂ්කර ක්‍රියාවක් කළසේක. තමන් පෙරවූ සිවුර ශ්‍රාවකයාට දුන් විරූවක් නම් නැත. මම නුඹවහන්සේගේ ගුණය දැරීමට නොහැකි වෙමියි කියන්නාක් මෙන් දිය කෙළවරකොට කම්පා වුණා. තෙරුන්වහන්සේද, මාවිසින් බුදුන්වහන්සේගේ පරිභෝග චීවරය ලබනලදී. කිම මාවිසින් දැන් කළයුතු මින් වැඩි දෙයක් ඇද්දැයි උඩඟුබවක් නොකොට බුදුන් සමීපයෙහිම තෙළෙස් ධුත ගුණයන් සමාදන්වී සත්දිනක් පමණක් පුහුදුන්ව අටවැනි දින උදෑසන සිවුපිලිසිඹියා සමඟ රහත්බවට පැමිණිය. ශාස්තාන්වහන්සේද ‘කස්සපො භික්‍ඛවෙ චන්‍දූපමො කුලානි උපසංකමති අපකස්සෙව කායං අපකස්ස චිත්තං නිච්චං නවො කුලෙසු අප්පගබේභා’ යන මේ ආදී සූත්‍රයන්ගෙන් තෙරුන් පසසා පසු කල්හි මේ කාශ්‍යප සංයුත්තරය අර්‍ත්‍ථ ාත්පත්ති කොට මගේ සසුනෙහි ධුතවාදී භික්‍ෂූන් අතුරෙන් මහාකාශ්‍යප තෙමේ අග්‍රයයි තෙරුන්වහන්සේ තනතුරෙහි තබනු ලැබුවා. මෙන්න මෙහෙම තමයි අපේ බුදුහාමුදුරුවන් සමග ඉදිරි දර්මදූත මෙහෙවරට අසුමහා ශ්‍රාවකයන් අතරේද මහා ශ්‍රාවකයෙකු බඳු වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක්වුණේ.

කාශ්‍යපයන් වහන්සේ ගේ පියා කාශ්‍යප නම් බමුණු පරපුරට අයත් වුණා. ඒ නිසා පැවිදි වූ තැන් පටන් බුදුරජාණන් වහන්සේ ගොත්‍රනාමයෙන් සංඝයා ඇමතු නිසා පිප්පලී යන නම අභාවයට ගියා. කාශ්‍යප යන නමින් ම උන්වහන්සේ හැඳින්වුණ. සංඝයා අතර උරුවිල්වා කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප වැනි කාශ්‍යපලා තව බොහෝ දෙනෙක් වැඩසිටි නිසා උන්වහන්සේ ඒ අතරින් මහා කාශ්‍යප යන ගෞරව නාමයෙන් ප්‍රකට වුණා.

උන්වහන්සේගේ ආදරණිය බිරිඳ භද්දාකාපිලානී පසුකලෙක රහත්බවට පැමිණ පූර්වේනිවෙසානුස්මෘති ඥානයෙහි අගතැන්පත් වූවා. බොහෝකලකට පසු බුදුරජාණන් වහන්සේ දෙව්රම්හි ආර්‍ය සංඝසමූහයා මැද වැඩසිටිමින් , භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබනා අවස්ථාවේ, ඇය පෙර විසූ කඳපිළිවෙල සිහිකරන්නවුන්ගෙන් අග්‍රස්තානයෙහි තබනු ලැබුවා. ඒ උත්තමාවිය පිළිබඳව ඔබට පසුව කියවන්නට ලැබේවි.

 

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව

සංයුත්ත නිකාය අටුවාව නිදාන වර්ගය – අටුවාව 4. කස්සප සංයුක්තය 1. කස්සප වර්ගය

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය අටුවාව ඒකක නිපාත අටුවාව එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

භද්දාකාපිලානි තෙරණිය අඞ්ගුත්තර නිකාය අටුවාව ඒකක නිපාත අටුවාව එතදග්ග පාළිය ථෙරී පාළි වර්‍ණනාව

Ape Budu Hamuduruwo 378

අපේ බුදුහාමුදුරුවෝ 378 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 14

නිකැළැල් ආදරයක මහිම. සංසාරය පුරවාටම දුක සැප බෙදාගනිමින් කුසල් දහම් පාරමී වඩමින් දිවිහිමියෙන් පතිවත රකිමින් පැමිණි පෙම්වතුන් දෙදෙනෙක් මෙම සංසර සාගරයෙන් සදහටම සමුගන්නා මොහොතේ මේ මහපොළව, “මහමෙර ආදිය දරාසිටි සක්වල ගල, මහහඬින් කම්පා වීම දිගටම පැවතියා. අහස හෙන හඬ දෙමින් සුලං හැමුවා. සක්වල පර්වතය මහත් නාද පවත්වන්නට වුණා. ඒ නිසා ඒ මත පිහිටි සියල්ල මහ හඬ නගමින් කම්පා වෙන්නට පටන්ගත්තා.

ඒ මොහොතේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවන මහවෙහෙරෙහි ගඳ කිළියෙහි වැඩ සිටියා. පොළොව කම්පා වන ශබ්දය අසා කවරකු නිසා මේ පොළොව කම්පා වේදැයි සිහිකරන විට පිප්ඵලී මානවකයාද භද්දකපිලානිද මා උදෙසා අපමණ සැපත් හැරපියා පැවිදිවූ බව දැන ගත්තා. ඔවුන් වෙන්වන තැන දෙදෙනාගේම ගුණබලයෙන් මේ පොළොව කම්පාව වූ බව දුටුවා. එය දැක මාවිසිනුදු මොවුනට සංග්‍රහ කළ යුතුයයි ගඳකිළියෙන් නික්ම තමන් වහන්සේම පාසුවුරු ගෙන අසූමහ සව්වන් අතුරෙන් කිසිවෙකුටද නොඅමතා තනිවම තුන්ගව් මග පෙරගමන් කොට රජගහ නුවරටද නාලන්දාවටද අතුරෙහි බහුපුත්තක නම්වූ නුගරුක්මුල්හි පළක් බැඳ වැඩසිටියා. එහි විශේෂත්වයක් තිබ්බා. උන්වහන්සේ වැඩ සිටියේ තවත් එක්තරා පාංශුකූලිකයෙකු මෙන් නොවෙයි. සම්මා සම්බුදුවරයෙකුගේ ස්වභාවය ප්‍රකටවන බුදුවෙස් ගෙන අසූරියන් ඝන බුදුරැස් විහිඳුවමිනුයි වැඩ සිටියේ. ඒ මොහොතේ පර්‍ණජත්‍ර, ශකටචක්‍ර, කූටාගාරාදිප්‍රමාණවූ බුද්ධරස්මීහු ඔබමොබ සැළෙමින් දුරට විහිදෙමින් සඳදහසක්, හිරුදහසක් නැගසිටි කල මෙන ඒ වනලැහැබ එකළු කළා. බබළන තරුගණයාගෙන් පිරි අහස මෙන්ද පිපුණු නෙලුම් මහනෙල් ඇති දිය මෙන්ද දෙතිස් මහාපුරුෂලක්ෂණ ශ්‍රියෙන් වන කෙළවර දිලෙන්නට වුණා. සාමාන්‍යයෙන් නුගරුකේ කඳනම් සුදුපාටයි. කොල නිල් පාටයි, ගෙඩි රතුයි, එහෙත් ඒ දවසෙහි සියක් අතු ඇති ඒ නුගගස රන්වන් වූ එකම වර්ණයෙන් බැබළුණා.

ඈත තියාම තමා ඉදිරියේ ඇති වනලැහැබ විවිධ වර්ණ රටාවන්ගෙන් බැබලෙන අයුරු උන්වහන්සේ දුටුවා. උන්වහන්සේ ඒ දෙසට පැමිණෙන විට අපේ බුදුරජාණන් වහන්සේ සවනක් බුදුරැස් විහිඳවමින් ඒ නුගරුක මුල වැඩසිටිනවා. මේ දීර්ඝ සංසාරයේ බොහෝ බුදුවරු දැක ඇති උන්වහන්සේ ඒ බුදුරුව දුටු සැණින්ම හඳුනාගත්තා. මහා කාශ්‍යප තෙරුන්වහන්සේ ‘මෙතෙම මගේ ශාස්තෘවරයා වන්නේය. මෙතුමා උදෙසා මම පැවිදි වූයේ වෙමි’යි දුටුතැන් පටන් නැමී නැමී පැමිණ තුන් තන්හි වැඳ, ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෘවරයාය. මම ශ්‍රාවකයා වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මගේ ශාස්තෘවරයාය. මම ශ්‍රාවකයා වෙමි’යි කියන්නට වුනා. ඒ ශ්‍රද්ධාව සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකුට ඇතිවෙන ශ්‍රද්ධාවක් නෙවෙයි. අති ප්‍රභල ශ්‍රද්ධාවක්. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ඒ කාරණයම මුල්කොට උන්වහන්සේව මෙලෙස ආමන්ත්‍රණය කරනු ලැබුවා.

 ‘කාශ්‍යපය, මේ ගරුකිරීම ඔබ පොළවට කරන්නෙහි නම් එය පොළවටද දැරීමට නොහැකි වන්නේය. එහෙත් තථාගතයන්වහන්සේගේ මෙබඳු ගුණමහත්වය දන්නාවූ ඔබවිසින් කරලද ගරුකිරීම මගේ ලොමකුදු සැලීමට නොහැකි වෙයි. කාශ්‍යපය, හිඳගන්න, ඔබට උරුමය දෙන්නෙමි’යි මහත් කරුණාවෙන් පවසනු ලැබුවා. ඉන්පසේ බුදුන්වහන්සේ ඔහුට අවවාද තුනින් උපසම්පදාව ලබාදී බහුපුත්තක නුගරුක් මුලින් නික්ම තෙරුන් පිටුපසින් එන ශ්‍රමණයා කොට මගට පිළිපන්නා.

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව

Ape Budu Hamuduruwo 377

අපේ බුදුහාමුදුරුවෝ 377 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 13

තෙරුන් වහන්සේ මුලින් ම ගමන් කරමින් පසුපස හැරී බලා මෙසේ සිතුව. “මේ භද්‍රකාපිලානිය, මුළු දඹදිවට ම අගනා ස්ත්‍රියක් . ඇය මා පසුපස පැමිණීම සුදුසු දෙයක් නොවේ. ඇතමෙක් මෙසේ සිතීමටද පුළුවන් . ඒ “මේ දෙදෙනා පැවිදි වූවත් වෙන්වීමට නොහැකිව නුසුදුසු හැසිරීමක් කරති” යනුවෙන්. ඇතැම්හු මනස දූෂණය කරගෙන ආපාගාමී වෙන්නටත් පුළුවන්. මැය අත්හැර මම තනිව ම යාම සුදුසුය”

ඉදිරියෙන්ම වැඩමකරන තෙරණුවෝ දෙමං සන්ධියකට පැමිණ ඒ මැද නැවතුන. භද්‍රාවද පසුපසින් පැමිණ, උන්වහන්සේට වැඳ පසෙකින් සිටියා. ඉක්බිති ඇයට “භද්‍රාවනි! නුඹ වැනි ස්ත්‍රියක් මා පසුපස එනු දැක, මේ දෙදෙන පැවිදි වුවත් වෙන්වීමට නොහැක්කෝ වෙති” සිතා අප කෙරේ සිත් දූෂිත කරගෙන මහජනයා අපාය පුරවන්නෝ වෙති. මේ පාරවල් දෙකකි. එකකින් ඔබ යනු මැනවි. අනිකින් මම යමියි පැවසූවා. භද්‍රාවද “ආර්ය පුත්‍රය! එසේය. පැවිද්දන්ට ස්ත්‍රියනම් කිලුටකි. පැවිදිවීත් වෙන් නොවෙති”යි ජනයා අපගේ දොස් දකිති. නුඹවහසේ එක් පාරක යන්න. දැන් අපි වෙන්වෙමු”යි තෙවරක්ම පැදකුණු කොට, සිවුතැනක හිඳ පසඟ පිහිටුවා වැඳ, තෙරුන්ගේ දසනිය එක්වී බබලන ඇඟිලි සහිත පාදෙක අල්ලාගෙන මෙසේ පවසන්නට් වුණා

 “කල්ප ලක්‍ෂයක් පමණ වූ දීර්ඝ සංසාරයේ කරන ලද මිත්‍ර කථාබස් ඇති අපගේ සබඳතාව, අදින් පසු බිඳී යයි. නුඹවහන්සේ ‘දක්ඛිණ ජාතික’ නම් වේ. එනිසා නුඹ දකුණු දෙස පාරෙන් යනු මැනවි. මා මාතුගාම නම් වේ. මාහට වම්පස මාර්ගය සුදුසුය”යි මෙසේ පවසා වම් පැත්තෙහි මාර්ගයට බැස ගමන් ආරම්භ කළා. ඔවුන්ගේ වෙන්වන වේලාවෙහිදී මේ මහපොළව, “මම සක්වල ගල, මහමෙර ආදිය දරාසිටීමට සමත් වුවත් නුඹලාගේ ගුණමහිමය දරාගැනීමට නොහැකෙමි”යි පවසන්නාක් මෙන් මහහඬින් කම්පා වුණා. අහස හෙන හඬ දෙමින් සුලං හැමුවා. සක්වල පර්වතය ද මහත් නාද පවත්වන්නට වුණා.

උපකාර වූ මුලාශ්‍ර

චීවර සූත්‍ර වර්ණනාව