Ape Budu Hamuduruwo 391

අපේ බුදුහාමුදුරුවෝ 391 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 06

රුවන් සක්මන සහ නිර්මිත බුදුරුවක් මැවීම. 02

 මෙලෙස මිණිමුතුවැල්ලෙන් ගැවැසුණු මවනලද රුවන්මය සක්මන උදාහිරු මෙන් සියලු දිශා බබළවන්නට වුණා. ධීර වූ දෙතිස්මහපුරිස්ලකුණින් යුත් පස්මරුන් දිනූ සම්බුදුරජාණන් වහන්සේ ඒ සක්මන්හි බබළමින් සක්මන් කළා.

ඉන් අනතුරුව අපගේ බුදුපියාණන් වහන්සේ “නිර්මිත බුදුරුවක් මවන්නෙමි’යි අභිඥාපාදක ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට, ‘පාසිවුරු ගැනීම, ඉදිරි බැලීම්, පසුපස බැලීම්, අත්පා හැකිලීම, දිගහැරීම සමානවම සිදුකරන බුදුවරයෙක් වේවායි කාමාවචර සිත්වලින් පරිකර්මකොට, පෙරදිග යුගන්ධර පරික්‍ෂේපයෙන් මතුවන සඳමඬල පලාගෙන නික්මෙන්නා මෙන් ඒවායි, රූපාවචර සිතින් අධිෂ්ඨාන කරනු ලැබුවා. මේ දර්ශනයෙන් මිනිසුන් පමණක් නෙවෙයි දිව්‍ය ප්‍රජාවද අමානන්දයට පත්වුණා .

දේව සමූහයා එය දැක අන්න තවත් සඳක් උදාවූයේදැයි කියන්නට වුණා. ඉන්පසු ඒ නිර්මිත බුදුරුවගෙන් පැමණි ආලෝකය මඳක් ළංවූ විට ‘සඳක් නොවේ ඒ සූර්යයෙක් උදාවූයේය’යිද, තවත් ආසන්න වූ විට, දෙව් පුත්‍රයෙක් යනුවෙන්ද, පසුව ‘දෙව් පුත්‍රයෙක් නොවේ. එක් මහා බ්‍රහ්මයෙක් යැ’යි ද තවත් ආසන්න වූ විට ‘මහා බ්‍රහ්මයකු නොවේ. වෙනත් බුදුවරයෙක් පැමිණේ’ යැයි ද, විවිධ අදහස් පළකරන්නට වුණේ විපිළිසරව.

එහි සිටි පුහුදුන් දෙවිවරු මෙසේ සිතූවා. ‘එක් බුදුවරයෙකු සඳහා මෙපමණ දේව සන්නිපාතයක් වුණා. බුදුවරු දෙදෙනෙක් වූ විට කෙතරම් මහත් දේව සන්නිපාතයක් වේද?’ ආර්ය දෙවිවරු මෙසේ සිතූවා. ‘එක ලෝකධාතුවක බුදුවරු දෙනමක් නම් නැත. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ හා සමාන බුදුරුවක් මවන්නට ඇති’ යනුවෙන්.

නිර්මිත බුදුරුවේ සිරුරින් නික්මුණු ෂඩ්වර්ණ රැස් දහරා නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගේ සිරුර මත පතිත වුනා.. නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගෙන් නික්මෙන රැස්දහරා නිර්මිත බුදුරුවේ සිරුර පුරා විසිරෙන්නට වුණා. ඒ දෙ බුදුවරුන්ගේ ශරීරයන්ගෙන් නික්මුණු රාශි ජාලා උඩට නැගී භවාග්‍රයේ ගැටී, ඉන් නැවත හැරී අවුත් දෙවියන්ගේ මස්තක පර්යන්තයෙන් බැස සක්වල මුවවිටෙහි පිහිටිය. මුලු මහත් සක්වල ගැබම රන්මය වක් වූ ගොනැසි සහිත චේතිය ඝරයක් මෙන් බැබලුණ. දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලකට රැස්වී බුදුවරුන් දෙදෙනා වහන්සේගේ රශ්මි ජාලා ගර්භයට පිවිස සිටිය.

එහි රැස් වූ සියලු දෙවියෝ දෙව්ලොවැ හටගත් මදාරාමල් ද පියුම් ද පරසතුමල් ද සක්මනෙහි විසුරුවන්නට වුණා. දසදහසක් සක්වළ දේවසමූහයෝ සතුටු සිත් ඇතිව උන් වහන්සේලා හට වන්දනාමාන කරමින් සතුටු වෙමින්, තුටුපහටු වෙමින්, වඳිමින් රැස් වෙමින් සිටියා. තව්තිසාවෙහි දෙවියෝ ද යාමයෙහි දෙවියෝ ද තවත් තුසිතයෙහි දෙවියෝ ද නිර්‍මාණරතියෙහි දෙවියෝ ද පරනිර්මිතවසවරතී දෙවියෝ ද ඔදවැඩිසිත් ඇතිව සතුටු වෙමින් ලෝකනායකයන් දෙස බලා සිටියා. දෙවි ගඳඹ මිනිස් යක් යන මොවුන් සහිත නා ගුරුළු යන මොහු ද තවත් රකුසෝ ද සත්ලොවට හිතානුකම්පා ඇති උන් වහන්සේ අහස්හි උදා වූ සඳ සෙයින් දකිනු ලැබුවා, ඒ එක්කම ආභස්සර බඹුහු ද, සුභකිණ්ණ බඹහු ද, වෙහප්ඵල බඹහු ද,අකනිටා බඹහු ද, ඉතා පිරිසිදු සුදුවත් හැද පෙරෙවියාහු මුදුනෙහි ඇඳිලි බැඳ සිටියා.

ඒ අවස්ථාවෙහි තවත් ආශ්චර්‍ය්‍යයක් වුණා, ජිනරාජයන් වහන්සේ සත්ලොවට හිතානුකම්පා ඇතිසේකැ’යි ඒ පෙළහර දක්වන විට සඳුන්සුණු මුසු පස් පෑ දිස්නා මදාරාමල් ද විසිරෙන්නට වුණා. අහස්හි දිවසළු ද බබලන්නට වුණා.

ඔබ වහන්සේ ලොසත්නට ශාස්තෲ වූහ,. කෙහෙලි වැන්නහ. ධ්වජයක් වැන්නහ. යාගස්තම්භයක් වැන්නහ. පිළිසරණයහ. ප්‍රතිෂ්ඨා වූවහ. ප්‍රදීපයක් වැන්නහ. දෙපා ඇතියනට උතුම් වූවහ’යි. දසදහස්ලෝධාභි මහත් ඍද්ධි ඇති දෙවියෝ තුටුපහටු වෙමින්, ප්‍රමුදිත වෙමින්, පිරිවරා සිට නමස්කාර කරනු ලැබුවා.

දෙවියෝ ද දෙවඟනෝ ද ප්‍රසන්න වූ සතුටුසිත් ඇතිව පස්වනන් මලින් නරශ්‍රේෂ්ඨ වූ බුදුන් පුදන්නට වුණා. දිව්‍යසමූහයෝ ප්‍රසන්න සිතින් සතුටුසිත් ඇතිව ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුන් වන්දනා කරමින් පස්වනක් මලින් පූජා කරනු ලැබුවා. මෙලෙස ගථා සැත්තෑ තුනකින් වර්ණනා කරමින් බොහෝ විස්තර බුද්ධවංශ පාළියෙහි රත්නචඞ්ක්‍රමණ කාණ්ඩයෙහි සඳහන්ව තිබෙනවා.

බෝසතුන් මෙලොව ජන්ම වූ දිනයේ අග්ගෝ හමස්මි ලෝකස්ස , ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස, සෙට්ඨෝ හමස්මි ලෝකස්ස

අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝ යනුවෙන් මම ලොවට අග වෙමි මම මුළු ලොවට දෙටු වෙමි මම ලොවට උතුම් වෙමි

මෙය අවසන් උපත වෙයි. මෙයින් මතු උපතක් නැත. යනුවෙන් කියූ ප්‍රීති වාක්‍යයේ සත්‍යතාව මෙහදී තම නෑයන්ගේ නෙත් ඉදිරියේ තහවුරු කරනු ලැබුවා.

උපකාර වූ මුලාශ්‍ර –

රතනචංකමන කාණ්ඩ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව බුද්ධවංශ අටුවාව

රතනචඞ‍්කමනකණ‍්ඩො ඛුද‍්දකනිකායො බුද‍්ධවංසපාළි

පුරාභෙදසූත්‍ර නිර්දේශ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව මහානිද්දෙස අටුවාව

යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය කුදුගත් සඟියපටිසම්භිදාමාර්‍ගය. මහා වර්‍ගය ඥාන කතා

මහා සමය සූත්‍රය දික් සඟිය අටුවාව මහා වර්ගය අටුවාව

කුදුගත් සඟිය මහානිර්දේශය තුවට්‌ටක සූත්‍ර නිර්දේශය

 

Ape Budu Hamuduruwo 390

අපේ බුදුහාමුදුරුවෝ 390 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 05

රුවන් සක්මන සහ නිර්මිත බුදුරුවක් මැවීම. 01

ඉතින් මේ විදිහට දෙවියන් මිනිසුන් බඹුන් විසින් ඔවුනොවුන් නොදුටු මිනිසුන් දෙවි බඹුන් වගේම නිරි සතුන් එකිනෙකා බුද්ධ ආනුභාවයෙන් දුටුවා. මිනිසුන්ට වගේම දෙවියන්ටත් සතර අපා බිය උපදින්නට ඇති. ඒ වගේම මිනිසුන්ට දෙව් තලයන්හි අසිරියත් දෙවියන්ට තමන්ට ඉහළ දෙවුතලවල අසිරියත්, බ්‍රහ්ම ලෝකවල දෙවු තලයන්ට වඩා ඇති ශාන්තමය ගුණයනුත්, සහ ප්‍රභාශ්වර රශ්මිනුත් දකින්නට ඇති. එහෙත් ඒ මහේශාඛ්‍ය දෙවිවරුන්ට නරෝත්තම වූ මේ සර්‍වඥයෝ මෙ බඳු කෙනෙකුන්ය, ලොවට හිත වූ සර්‍වඥයන් වහන්සේගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් මෙ බඳුවේය, බුද්ධබලය මෙබඳු යැයි මේ අයට අසීමිත බුද්ධ බලය ගැන වැටහීමක් නැති බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඒ වගේම මාගේ ඥාති ආදිකොටගත් සදේවමනුෂ්‍යයෝ ද නරෝත්තම වූ මේ සර්‍වඥයෝ මෙ බඳු කෙනෙකුන්ය, ලොවට හිත වූ සර්‍වඥයන් වහන්සේගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් මෙ බඳුවේය, බුද්ධබලය මෙබඳු යැයි මේ අයටද අසීමිත බුද්ධ බලය ගැන වැටහීමක් නැති බව බුදුරජුනට පෙනුණා. ඊට හේතුවක් තිබුණා. තවත් ඍද්ධි වර්ග දහයක් තිබුණා. එනම්

1.අධිෂ්ඨාන ඍද්ධි

2.විකුර්වණ ඍද්ධි

3.මනෝමය ඍද්ධි

4.ඤාණවිප්ඵාර ඍද්ධි

5.සමාධි විප්ඵාර ඍද්ධි

6.ආර්ය සෘද්ධි

7.කර්මවිපාකජ ඍද්ධි

8. පුඤ්ඤවතො ඍද්ධි

9.විජ්ජාමය ඍද්ධි

10.භාවනාමය ඍද්ධිය කියායි.

ඒ ඒ අවස්ථාවන්හි යහපත් ප්‍රයෝග හේතුවෙන් සද්ධර්ම අර්ථයෙන් කරන ලැබූ මෙවැනි ප්‍රයෝගත් සෘද්ධි නමින් හැඳින්වුණා. මේවා වෙන් වෙන් වශයෙන් විස්තර කිරීමට ඉඩ පහසුකම් නොලදත් මේ සියලු සෘද්ධින් අභිබවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ෂඩ් අසාධාරණ බුද්ධ ඥාන මෙහයවිමෙන් කරනු ලැබූ සෘද්ධින් වෙනත් අයට කල හැකිවූයේත් ප්‍රකට වුයේත් නැහැ. ඒ නිසාම “ලෝක විවරණ” නමැති මහා ප්‍රතිහාර්යෙන් පසු මේ මහා දේව සහ බ්‍රහ්ම සන්නිපාතය හමුවේ පෙන්වීම සඳහා තවත් දැවැන්ත බුදුරජාණන් වහන්සේ නමකටම පමණක් කල හැකි ආශ්චර්යක් කිරීමට ඒ මහා කරුණිකයාණන් වහන්සේ මුලපිරුවා.

ඒ තමයි මේ මහා සක්වලවල් අතර අහසෙහි මුක්තාමණි ආදි රත්නයෙන් අලඞ්කෘත වු චඞ්ක්‍රමණයක් නොහොත් රුවන් සක්මනක් මැවීම සහ නිර්මිත බුදුරුවක් මැවීම. උන්වහන්සේ බොහෝ අවස්ථාවල මෙම නිර්මිත බුදුරුව මැවීමෙන් දෙවිවරුන්ගේ සිතේ හටගත් එහෙත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා හෝ බුද්ධ ගෞරවය නිසා හෝ බුදුන් හමුවේ ප්‍රකාශයට පත් නොකළ ගැටළු සහ ප්‍රශ්න වලට නිරිමිත බුදුරුව අනුසාරයෙන් අස්සවා පිළිතුරු දුන්නා. මෙයත් එවැන්නක්.

දසදහසක් සක්වළ අතර ස්වර්ණමය ස්ථම්භ මත මැවුනු රුවන් සක්මන.

එවිට බුදුරජාණන් වහන්සේ “මම අනුත්තර වූ බුද්ධානුභාවය දක්වමි. අහස්හි මුක්තාමණි ආදි රත්නයෙන් අලඞ්කෘත වු චඞ්ක්‍රමණයක් මවාලමි” . සිතූ සැනින්ම ප්‍රාසාද පර්‍වත වන වෘක්‍ෂාදියෙහි සිටි බූමාටු දෙවියෝ ද සිව්මහරජයෙහි දෙවියෝ ද තව්තිසායෙහි දෙවියෝ ද යාම දෙවියෝ ද තුසිත දෙවියෝ ද නිර්‍මාණරතී නම් දෙව්ලොවැ දෙවියෝ ද පරනිර්මිත වශවර්තී නම් දෙවියෝ ද සොළොස් බඹතල වැසි දෙවියෝ ද සතුටු සිත් ඇතිව මහත් වූ ඔල්වරසන් දෙන්නට වුණා.ඒ එක්කම බුදුරජාණන් වහන්සේ ඕදාත කසිනයට සමවැද දහසක් සක්වළ ආලෝක වේවා’යි අධිෂ්ඨාන කරනු ලැබුවා.

දේවලෝක සහිත වූ පෘථිවිය ද අසංවෘත වූ බොහෝ ලෝකාන්තරිකයෝ ද ඒකාලෝක වුණා. එසැනින්ම එහි පැවති ඝණ අඳුරද නැසුනා. ඒ අසිරිමත් පෙළහර දැක දේවමනුෂ්‍යයයෝ සතුටු වුණා. එපමණක් නෙවෙයි. දෙව් ගඳඹ මිනිස් රකුස් යන මොවුන් සහිත මේ ලොව ද අන් දෙව්ලෝ ද යන උභයලෝකයෙහි ද යට අවීචිය ආදි නරකයන්හි ද උඩ අජටාකාශයෙහි ද සරසමින් දසදහසක් සක්වළ ද පැතිර පැවති මහත් වූ අප්‍රමාණ වූ ආලෝකයක් උපන්නා.

ඒ සමඟම මිනිසුන් අතර උතුම් වූ පසැස් ඇති ලෝනාහිමි වූ අපේ බුදුරජාණන් වහන්සේ සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද පරිදී දෙවිමිනිසුන්ට වන වැඩ සලකා එහි මනාව නිමවූ සියලු රුවනින් නිමවන ලද සක්මනක් මවනු ලැබුවා. එම සක්මන දසදහසක් සක්වළෙහි පිළිවෙළින් සිටි ස්වර්ණ ස්ථම්භ මත ප්‍රපාතවත් ලෙස විද්‍යාමාන වුණා. ඒ වගේම රුවන්මය වූ සක්මනෙහි රන් පැහැති දීප්තිමත් ආලෝකයෙන් ඒ දෙපස සර්‍වස්වර්‍ණමයභූමියක් සේ බබලවන්නට වුණා.

 

උපකාර වූ මුලාශ්‍ර

 රතනචංකමන කාණ්ඩ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව බුද්ධවංශ අටුවාව

 රතනචඞ‍්කමනකණ‍්ඩො ඛුද‍්දකනිකායො බුද‍්ධවංසපාළි

 කුදුගත් සඟිය මහානිර්දේශය තුවට්‌ටක සූත්‍ර නිර්දේශය

 
 

Ape Budu Hamuduruwo 389

අපේ බුදුහාමුදුරුවෝ 389 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 04

දෙව්ලොව බඹලොව අවීචිය මිනිසුනට ඇස් ඉදිරිපිට පෙන්වූ ලෝක විවරණය නම් පෙළහර

මේ අසිරිමත් අවස්ථාවේ මනුලොව විතරක් නෙවෙයි, දෙවුලොවත් ප්‍රීතිඝෝසා පවත්වන්නවා. අහස්තලයත් දෙවුන් ඹබුන්ගෙන් පිරි පැවතියා. දෙවියන් ඉහල අහස්තලයෙහි සිට බුදුරජාණන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ඒ අසිරිමත් පෙළහර නරඹමින් සිටියේ. එහෙත් දෙවියන්ට මිනිසුනුත් මිනිසුනට දෙවියන්වත් පෙනුනේ නැහැ. හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුනේ ඒ ආශ්චර්යය දෙසට. මේ අවස්ථාවේ අපේ බුදුහාමුදුරුවෝ තවත් සුවිශේෂී ප්‍රාතිහාර්යයක් ගෙනහැර පෑවා. එය හඳුන්වන්නේ “ලෝක විවරණය” එසේත් නැතහොත් “ලෝකය විවෘතවීම” යන නමින්.

ලොකයාගේ ප්‍රසාදය ඇතිකරන නිසා මෙය “ලොකප්‍රසාදක ප්‍රාතිහාර්ය” යනුවෙනුත් හඳුන්වනු ලැබුවා. මේ අවස්ථාවේදී අපගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ මේ අවස්ථාවේ සුවිශේෂී අලෝකධාරාවක් මගින් උඩින් භවාග්‍රයද, යටින් අවීචිය යන මේ අතරතුර සියලු ලෝක ඒකාලෝක කොට සියලු සතුන්ට එකෙනෙකාව දර්ශනය කරවන ලෙස අධිෂ්ඨාන කරනු ලබනවා.

මෙම පෙළහැර මිනිස් ලොවේ මිනිසුනට විතරක් නෙවෙයි, දෙව් බඹුන්ටත් විරලව කල්ප කාලාන්තරයකට පසු දක්නට ලැබෙන විරළ ප්‍රතිහර්යක්. මෙහිදී “ලෝක විවරණ” නම් සෘද්ධිය දෙයාකාරයෙන් සිදුකරනු ලබනවා. පළමුව ඔවුන් ඉන්නා ඒ ඒ ස්ථානයන්හී සිටින්නට හැර ඔවුන්ගේ ඇස් ඉදිරියේ සජීවීව සිටින්නාක් අයුරින්ම ඔහුට එම දිව්‍යලෝකය බ්‍රහ්මලෝක සතර අපායන් පෙන්වනු ලබනවා. එසේත් නැතිනම් ඔහු හෝ ඇයව එම ස්ථානයට සෘද්ධියෙන් යවමින් හෝ රැගෙන යමින් ඒ ඒ ස්ථානයන්හි දර්ශන සජීවීව පෙන්වන්නට සලස්වනවා. හරියටම ආයුෂ්මත් නන්‍ද තෙරුන්ව දෙව්ලොවට රැගෙන ගියා වගේ.

 බුදුරජාණන් වහන්සේ විසින් එදා මෙලෙස එම පෙළහර පවත්නා විට රැස්වී සිටි රජවරු ප්‍රමුඛ ශාක්‍ය වංශිකයන් සිටි අයුරින්ම ඒ ඒ ස්ථානයන්හි සිටින්නට හැර චාතුම්මහාරාජිකයේ සිට අකනිටා බඹලොව දක්වා ඒ ඒ තැන තම තමන්ගේ විමානයන්හි ක්‍රීඩා කරන්නා වූද, දිව්‍යානුභාවයෙන් බැබලෙන්නා වූද, මහත් වූ දිව්‍ය සම්පත් අනුභව කරන්නා වූද, ශාන්ත වූ සමවත් සුව විඳින්නා වූද, ඔවුනොවුන් ධර්‍ම සාකච්ඡා කරන්නා වූද, සියලු දෙවියන් බුද්ධානුභාවයෙන් තමතමන්ගේ මසැසින්ම දකින්නට සැලැස්සුව. මිනිසුනට විතරක් නෙවෙයි දෙව් බඹුනට පවා මේ දර්ශන පෙනෙන්නට සැලැස්සුවා.

 එසේම පොළොව යට අටමහ නරකයන්හිද, සොළොස් ඔසුපත් නරකයන්හි ද, ලෝකන්තර නිරයෙහි ද, යන ඒ ඒ තැන මහ දුක් අනුභව කරන සත්ත්‍වයන් දකින්නටද, එපමණක් නොවෙයි, දස දහසක් ලෝක ධාතූන්හි දෙවියෝ මහත් වූ දේවානුභාවයෙන් තථාගතයන් වහන්සේ වෙත එළඹ ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇතිව ඇඳිලි බැඳ නමස්කාර කරමින් ඇසුරු කරත්ද, , බුදු ගුණ ඇතුලත් ගාථා ගෙනහැර දක්වමින් ස්තුති කරත් ද, අත්පොළසන් දෙත් ද, සිනාසෙත් ද, ප්‍රීතිය හා සොම්නස ප්‍රකාශ කරත් ද ඒ සියල්ලම තම ඇස් ඉදිරිපිටම පෙන්වමින් “ලෝක විවරණ” නම් ඒ මහා ප්‍රාතිහාර්ය ද ප්‍රථම වතාවට පවත්වනු ලැබුවා. බෝසත් වියේ පටන් අන්නතවූ කාල පරිච්චේදයක පාරමී දම් පුරන්නට අනේකවිදී දුක් ගැහැට විඳ උදවු උපකාර කල ඒ ගෞතම ජනපදයට කෘතඥ පූර්වක වුයේද, සදාකාලිකව සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය මාන්නය සිඳ බිඳලනු ලැබුවේද ඒ අයුරින්.

 

උපකාර වූ මුලාශ්‍ර

 නිදාන කථා – කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා

 ඛුද‍්දකනිකාය – උදාන පාළි – නන්ද වග්ගය – නන්‍ද සූත්‍රය

 විසුද්ධි මාර්ගය – ඉද්ධිවිධ නිද්දේසය – දසඉද්ධිකථා

රතනචංකමන කාණ්ඩ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව බුද්ධවංශ අටුවාව

 
 

Ape Budu Hamuduruwo 388

අපේ බුදුහාමුදුරුවෝ 388 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 03

භවාග්‍රය දක්වා විහිදුණු තථාගත දේහ රශ්මීන් සුදොවුන් රජුගේ තෙවන වන්දනාව.

මෙලෙස යමක මහා ප්‍රාතිහාර්ය පාන අවස්ථාවේ තවත් සුවිශේෂී දෙයක් වුණා. ඒ නම් සුවිශේෂී බුදුරැස් මාලාවක් උන්වහන්සේගේ දේහයේ විවිධ තැන් පාදකකොටගෙන නික්මීමයි. ඒ මෙලෙසයි.

යමක මහා ප්‍රාතිහාර්ය කරන්නා වූ, තථාගතයන් වහන්සේට, යමක මහා ප්‍රාතිහාර්ය බලයෙන්ම, උන්වහන්සේගේ දේහයේ කෙහෙ, රැවුල්, ඇස් ආදී නීල වර්ණ පැවති ස්ථානයන්ගෙන් නිල් රශ්මීහු නික්මෙන්නට වුණා. අහස් තලය අඳුන් සුණු විසුරුවන ලද්දක් මෙන්ද, නිල්පැහැති උම්මා පුෂ්ප ( දියබෙරලිය මල්) හා නිලුපුල් පෙතිවලින් වැසුණාක් මෙන්ද, සෙලවී වැටෙන මැණික් තල් නටුවක් මෙන්ද, විසුරුවන ලද මොණර ඇස් පිලෙන් තැනූ වස්ත්‍රයක් මෙන්ද දිස්වුණා.

එවෙන්ම සමෙන් ද, ඇස් වලින් ද, වැනි කහපැහැති ස්ථානයන්ගෙන් කහ රශ්මීහු නික්මෙන්නට පටන් ගත්තා. දස දිග රන්රස විසුරුවන්නාක් මෙන් රන් වස්ත්‍ර දිගහරින ලද්දාක් මෙන්ද, කොකුම් සුණු කිණිහිරි මලින් ගැවැසී ගත්තාක් මෙන්ද බබළන්නට වුණා.

මස් ලේ හා ඇස් ආදී රත් ස්ථානයන්ගෙන් ලෝහිත(රත්) රශ්මීහු නික්මුණා. දෙයාකාර වශයෙන් දිසා ප්‍රදේශ රත්සිරියල් සුණුයෙන් වර්ණගැන්වූ ආකාරයෙන්, මනාව ඉදුණු, දියකළ ලාකඩ රස ඉසින්නාක් මෙන්, රත් කම්බිලියකින් වටකළාක් මෙන්ද, දෑසමන් එරබදු වද යන මල්වලින් ගැවසී ගත්තාක් මෙන්ද, බැබළෙනවා .

අස්ථීන්ගෙන්ද, දන්තයන්ගෙන්ද, නේත්‍රයන්හි ශ්වේත වර්ණ

 (සුදු පැහැ) ස්ථානයන්ගෙන් ශ්වේත රශ්මීහු නික්මෙනවා. යමක වශයෙන් දස දිශාවන්හි රිදී පර්වත මුදුන්වලින් ඉසිනු ලබන කිරි දහරා ගැවසී ගත්තාක් මෙන්ද, දිගහරින ලද රිදී තහඩු වියනක් මෙන්ද, පතිතවන රිදී තල් නැටි මෙන්ද, කොඳ, සුදු මානෙල්, නික, සමන්, දෑසමන් ආදී මල්වලින් ගැවසී ගත්තාක් මෙන්ද බබළනවා.

අත්ල, පතුල ආදී මඳ රත් ස්ථානයන්ගෙන් මදටිය පැහැති රශ්මීහු නික්මෙනවා. යමක වශයෙන් දිසා ප්‍රදේශ පබළු දැලකින් වටකළාක් මෙන්ද, රතු කටුකරඬු විසිරවූවා මෙන්ද බබළනවා.

සියුම් රෝම නිය ආදී ප්‍රභාශ්වර ස්ථානයන්ගෙන් ප්‍රභාශ්වර රශ්මීහු නික්මෙනවා. යමක වශයෙන් දිසා ප්‍රදේශ දවහත් තරු (පහන් තාරකාව) රාශියකින් පිරුණාක් මෙන්ද විදුලි පටලයකින් පිරුණාක් මෙන්ද බබළන්නට වුණා.

මාංජ්‍යෙෂ්ඨ ප්‍රභාශ්වර වර්ණ වනාහි ඒ ඒ සිරුරු පෙදෙස්වලින් නික්මුණා. මෙසේ ඒ සවනක් රැස් නික්ම ගන මහපොළවම ආවරණය කළා.

දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ගන මහපොළොව වැසීයන රන්පිඩක් මෙන් වුණා. එයින් නොනැවතී මහපොළොව බිඳගෙන යට ජලයටත් වැටුණා. පොළොව දරා සිටින්නා වූ හාරලක්‍ෂ අසූදහසක් යොදුන් ගඟ ජලය රන් කළසින් ඉසිනු ලබන ලිහිල් වූ ස්වර්ණයක් මෙන් වුණා. ජලය විනිවිද වාතය ගත්තා. නවලක්‍ෂ සැටදහසක් යොදුන් ගණන වාතය ඔසවන ලද රත්කඳන් මෙන් වුනා. වාතය විනිවිද යට අජටාකාශයටද පැන නැගුනා.

මතු භාගයෙන් උඩට ද නැගී චාතුර්මහා රාජිකයන් ගත්තේය. ඔවුන් විනිවිද තාවතිංස දෙවියන් ද එයින් යාම දෙවියන් ද එයින් තුසිත දෙවියන් ද එයින් නිම්මානරතී දෙවියන් ද එයින් පරනිම්මිත වසවත්ති දෙවියන් ද එයින් බ්‍රහ්මලෝකවාසී බ්‍රහ්මයන් ද එයින් වේහප්ඵල බ්‍රහ්මයන් ද එයින් පංච සුද්ධාවාසීන් ද විනිවිද සතර අරූපීන් කරාද පැමිණියා. ඒ සතර අරූපීන් ද විනිවිද අජටාකාසයට පන්නා.

සරසින් අනන්ත ලෝකධාතූන්ට පැන්නා. මේ තැන්වල ද චන්ද්‍රයන්ගේ චන්ද්‍රප්‍රභා නැති වුනා. සූර්යයන්ගේ සූර්යප්‍රභා නැති වුනා. තාරකා රූපයන්හි තාරකා රූප ප්‍රභා නැති වුනා. දෙවියන්ගේ, උයන් විමන කල්ප වෘක්‍ෂයන්ගේ මෙන්ම ශරීරයන්හි ආභරණයන්හි යන සියලු තන්හි ප්‍රභාවක් නැතිව ගියා. ත්‍රිසහස්‍රී, මහාසහස්‍රී ලෝකධාතුයෙහි ආලෝකය පැතිරවීමේ සමත් මහා බ්‍රහ්මයා ද සූර්යෝද්ගමනයෙහි දී කදෝපැණියකු මෙන් වුනා. චන්ද්‍ර, සූර්ය, තාරකා රූප, දේවතා, උයන්, විමාන, කප්රුක් පිරිසිඳීම් පමණක් පෙනුණා. මේ සෑම තැන බුදුරැස්ම පැතිරුණා.

රජතුමා ඒ ආශ්චර්යන් දැක මහා ප්‍රීතියෙන් මෙලෙස පවසන්නට වුණා. “ස්වාමීනි, ඔබගේ උපන් දිනයෙහි අසිත තවුසාණන්ට වැඳීම පිණිස ඔබ යොමු කළ කල්හි ඔබගේ පාද පෙරළී අවුත් බමුණාගේ හිස්මුදුනේ පිහිටියේය, මම එය දැකද, ඔබගේ පා වැන්දෙමි. මේ මගේ පළමු වන්දනයයි. වප්මඟුල් දවසේදී දඹගස් සෙවනේ සිරියහනක හුන්නා වූ ඔබ දඹගස් සෙවනේ පළඟින් සිටීමද දඹරුක් සෙවන නොවෙනස්ව සිටීමද දැක පා වැන්දෙමි. ඒ මගේ දෙවෙනි වැඳීමයි. දැන් මේ නොදුටුවිරූ ප්‍රාතිහාර්ය දැක ඔබගේ පාද වඳිමි. මේ මගේ තෙවෙනි වැඳීමයි.” රජතුමා දොහොත් නගා වැඳුම් පිදුම් කළ සැණින්ම භාග්‍යවතුන් වහන්සේට නොවැඳ සිටීමට සමත් එකම ශාක්‍යයෙක් වත් නොවුණා. ඒ මහා පෙළහරත් රජතුමාගේ වැඳීමත් ඒ සියලු ශාක්‍යයන්ගේ මාන්නය සුණු විසුණු කරනු ලැබුවා.

 

උපකාර වූ මුලාශ්‍ර

යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව, පටිසම්භිදාමග්ග අටුවාව. මහා වර්‍ගය ඥාන කතා

අභිධර්ම අටුවාව – නිදානකථා ධම්මසංගණී අටුවාව ග්‍රන්ථ ආරම්හ කතා

සූත්‍ර අටුවාව – නිදාන කථා කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා

 
 

Ape Budu Hamuduruwo 387

අපේ බුදුහාමුදුරුවෝ 387 (සන්තිකේ නිදානය)

 

ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 02

ත්‍රිවිධ ප්‍රාතිහාර්යයෝ

දැන් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මාන්‍යයෙන් පිරි ශාක්‍යයන්ට ඉහලින් අහසෙහි වැඩ සිටිනවා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය පෑමට. ප්‍රාතිහාර්යයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය, ආදේසනා ප්‍රාතිහාර්ය, අනුසාසනා ප්‍රාතිහාර්ය යයි ත්‍රිවිධාකාර වනවා. නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම ඉද්ධි ප්‍රාතිහාර්යයි. මෙයත් එවැන්නක්. උන්වහන්සේ මෙවැනි ප්‍රාතිහාර්යය ඒ තරම්ම අගය කරනු ලැබුවේ නැහැ. ඒ නිසාම චාරිත්‍රානුකූලව එවැන්නක් කරනු ලැබුවේ ඉතාමත් සීමිත අවස්ථාවන්හි පමණයි.

ප්‍රකට ප්‍රාතිහාර්ය සහ අප්‍රකට ප්‍රාතිහාර්ය

 ප්‍රාතිහාර්ය පෑමේදී ප්‍රාතිහාර්යපාන පුද්ගලයාගේ පෙනී සිටීම සහ නොපෙනී සිටීම අයුරින් එය දෙයාකාර වනවා. එනම් ප්‍රකට ප්‍රාතිහාර්ය සහ අප්‍රකට ප්‍රාතිහාර්ය වශයෙන්. අප්‍රකට ප්‍රාතිහාර්යයෙහිදී සෘද්ධිය පෙනෙනවා. එහෙත් ඒ සෘද්ධිය කරනු ලබන සෘද්ධිමතා අන් අයට පෙන්නේ නැහැ. එය මහක සූත්‍රයද බ්‍රහ්ම නිමන්තණික සූත්‍රයද කියවා දැනගත හැකියි. නැතිනම් මෙම ලිපි පෙළෙහිම ඉදිරියේදී අවස්ථානුකුලව ලියවේවි. එහෙත් ප්‍රකට ප්‍රාතිහාර්යයෙහිදී සෘද්ධියද, සෘද්ධිමතාද අන් අයට පෙනෙනවා. මෙම යමක මහා ප්‍රාතිහාර්යත් එවැන්නක්. ප්‍රකට ප්‍රාතිහාර්යක්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේව හැමෝටම පෙනෙනවා.

තථාගතයන් වහන්සේලාගේ කායබලය හා ඤාණබලය

තථාගතයන් වහන්සේලාගේ බලය දෙයාකාරයකින් හඳුන්වනු ලබනවා. ඒ කායබලය හා ඤාණබලය වශයෙන්. එහි කාය බලය හඳුන්වනු ලබන්නේ සද්දන්ත ඇත්කුල අනුසාරයෙන්. ඒ ගැනත් මීට පෙර ලියා තිබෙනවා. ඒත් මෙවැනි ආශ්චර්යමත් ප්‍රාතිහාර්යක් පාන්නේ එවැනි කායබලයකින් නෙවෙයි. ඤාණබලයෙන්. ඤාණ බලය පෙළෙහි විවිධ තැන්වල විවිධ අකාරයෙන් දක්වනවා. දසබල ඤාණය මජ්ඣිම නිකායෙහි දැක්වෙනවා. චතුර් වෛශාරද්‍ය ඤාණය, අට පිරිස්හි අකම්ප්‍ය ඤාණය, සිව්යෝනි පිරිසිඳ දක්නා ඤාණය, පඤ්චගති පිරිසිඳ දක්නා ඤාණය සංයුක්ත නිකායාගත තෙසැත්තෑ ඤාණ, සත් සැත්තෑ ඤාණදැයි මෙසේ අන්‍ය වූ නොයෙක් ඤාණ වශයෙන් විවිධාකාර ඤාණ දහස් ගණනක් ඇති බව පටිසම්භිදාමග්ග අටුවාවේ බලකථා කතාවන්හි සඳහන්. එම ඤාණ මෙහිදී ඤාණබලය යනුවෙන් අදහස් කරනවා. මෙම යමක මහා ප්‍රාතිහාර්යය සම්මා සම්බුදුවරු පානු ලබන්නේත් එවැනි සුවිශේෂී බුද්ධ ඥාන බලයකින්. ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ෂඩ් අසාධාරණ ඤාණ නමින් හඳුන්වන බුදුවරුනට පමණක්ම පිහිටන සුවිශේෂී බුද්ධ ඥාන සයකින් එකක්. ඒ සම්මා බුදුරජාණන් වහන්සේලා හට පමණක් සාධාරණ වූ පසේ බුදුවරු සහ අනෙකුත් ශ්‍රාවකයන්ට අසාධාරණ වූ ඒ ඤාණ සය මෙසේ යි .

ෂඩ් අසාධාරණ ඤාණ

  1. ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය
  2. ආසයානුසය ඤාණය
  3. යමකමහාපාටිහාරිය ඤාණය
  4. මහාකරුණාසමාපත්ති ඤාණය
  5. සබ්බඤ්ඤුත ඤාණය
  6. අනාවරණ ඤාණය යනුවෙන්.

මෙම ඤාණ පිළිබඳව මීට පෙර ලියා තිබෙනවා. යමක පාටිහාරිය ඤාණය නම් යමාමහ පෙළහර පෑමේදී උදව් කරගන්නා ඒ සුවිශේෂී .ඤාණයයි.

ඒක වචන නිර්මිතයෝ සහ බහු වචන නිර්මිතයෝ

තවත් මෙහිදී සිහිපත් කලයුතු සුවිශේෂී කරුණක් තිබෙනවා. ඒ එකම අවස්ථාවේ විවිධ ඉරියව් මැවීම සහ එකම අවස්ථාවෙහි යුගලයන් මෙන් එකම ඉරියව් මැවීම යනුවෙන්. මේ දක්ෂතාවය තිබුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් චූලපන්‍ථක තෙරුන්වහන්සේට විතරමයි. උදාහරණයක් වශයෙන් චූලපන්‍ථක තෙරුන් වහන්සේද විවිධ ඉරියව්වලින් යුත් භික්‍ෂූන් දහසක් මවනු ලැබුවා. විශේෂත්වය වුණේ මේ එක් අයෙක් වෙන් වෙන් වශයෙන් විවිධ ක්‍රියාකාරකම් වල නියැලුනා. කෙනෙකු පඬු පොවයි, එක් අයෙක් සක්මන් කරයි, එක් අයෙක් බවුන් වඩයි ආදී වශයෙන්. එහෙත් අන් අයට කලහැක්කේ සෙවනැල්ල මෙන් එකම ඉරියවු පවත්වන විවිධ අනුරුව මැවිමයි. ඔවුනට විවිධ ඉරියව් සමන්විතයින්ගේ විවිධ රූපයන් නිර්මාණය කිරීමක් සිදුකල නොහැකියි. නිර්මිත රූ කරන කියන දෑ සෘද්ධිමතා සමාන වූවාම වනවා. සිටීම් හිඳීම්, කථාකිරීම්, තෘෂ්ණීම්භූතාදියෙහි සෘද්ධිමතා යම් යම් දැයක් කරයිද, නිර්මිතයද ඒ ඒ දැයම කරනවා. එහෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යමා මහා පෙළහර පෑමේදී මෙලෙස බහු නිර්මිතයන් ප්‍රාතිහාර්ය තුල දක්වනවා. තවත් විශේෂත්වයක් තියෙනවා. චූලපන්‍ථකභික්ෂූන් වහන්සේලා වැනි සුවිශේෂී ශ්‍රාවකයන් වහන්සේලා මේ අය මෙවැනි දෑ කරත්වායි වෙන් වෙන්ව ආවර්ජනා කොට අදිටන් කිරීමෙන් ඒ විවිධ කාර්යය කරන්නාවූ නිර්මිතයන් බිහිවනවා. එහෙත් තථාගතයන් වහන්සේලා ඒකාවර්ජන අධිෂ්ඨානයෙන්ම නානාප්‍රකාර නිර්මාණ සිදුකරනවා.

යමක මහා ප්‍රාතිහාර්ය පෑම.

මාන්නයෙන් හිස උදුම්මාගත් ශාක්‍යයන් ඇස් ලොකු කොටගෙන මුව ඇරගෙන අහසෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දෙස නෙත් හෙලාගෙන හිටියා. මෙතෙක් නිසලව සිටි බුදුපියාණන් වහන්සේගේ දේහයින් එක්වරම උඩුකයින් මහා ගිනිජාලාවක් පිටවෙන්නට පටන්ගන්නවා. ඒ එක්කම යටිකයින් මහා දියදහරක් දසත විහිදෙනවා. ඒ හා සමගම උන්වහන්සේ යටිකයින් මහා ගිනිකඳක් පවත්වන්නට වනවා. ඒ සමගම උඩුකයින් දියදහර පවත්වනවා. පෙරපසින් ගිනිකඳ පවත්වනවා, පසුපසින් දියදහර පවත්වනවා; පසුපසින් ගිනිකඳ පවත්වනවා, පෙරපසින් දියදහර පවත්වනවා; ඒ සමගින්ම දකුණැසින් මහා ගිනිකඳක් පිටවෙන්නට පටන්ගැනෙනවා,, වමැසින් දියදහර පවත්වනවා; වමැසින් ගිනිකඳ පවත්වනවා, දකුණැසින් දියදහර පවත්වනවා; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වනවා, වම්කන්සිළින් දියදහර පවත්වනවා; වම්කන්සිළින් ගිනිකඳ පවත්වනවා, දකුණුකන්සිළින් දියදහර පවත්වනවා; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වනවා, වම්නැහැසිළින් දියදහර පවත්වනවා; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වනවා, දකුණු නැහැසිළින් දියදහර පවත්වනවා; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වනවා, වම්දසරියෙන් දියදහර පවත්වනවා; වම්දසරියෙන් ගිනිකඳ පවත්වනවා, දකුණුදසරියෙන් දියදහර පවත්වනවා; දකුණතින් ගිනිකඳ පවත්වනවා, වමතින් දියදහර පවත්වනවා; වමතින් ගිනිකඳ පවත්වනවා, දකුණතින් දියදහර පවත්වනවා; දකුණුපසින් ගිනිකඳ පවත්වනවා, වම්පසින් දියදහර පවත්වනවා; වම්පසින් ගිනිකඳ පවත්වනවා, දකුණුපසින් දියදහර පවත්වනවා; දකුණුපයින් ගිනිකඳ පවත්වනවා, වම්පයින් දියදහර පවත්වනවා; වම්පයින් ගිනිකඳ පවත්වනවා, දකුණුපයින් දියදහර පවත්වනවා; එක් එක් ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වනවා, ඇඟිලි අතුරින් දියදහර පවත්වනවා; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වනවා, එක් එක් ඇඟිල්ලෙන් දියදහර පවත්වනවා; එක් එක් රෝමයෙන් ගිනිකඳ පවත්වනවා, එක් එක් රෝමයෙන් දියදහරපවත්වනවා; එක් එක් රෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එක් එක් රෝමකූපයෙන් දියදහර පවත්වනවා; නීල යැ පීත යැ ලෝහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්‍රභාස්වර යැ යන ෂඩ්වර්‍ණයන්ගේ රස්මිහු යුග්ම පවත්වනවා. ඒ මහා ගිනි ජාලාවෙන් මුළු පරිසරයම ආලෝකමත් වෙන්නටත් උණුසුම් වෙන්නටත් ඇති. ඒ එක්කම ඒ මහා ජල ධාරාව ගිනි ජාලාවෙන් හටගත් පරිසරයේ උණුසුම මකා මුළු උද්‍යානයම සිහිල් කරන්නටත් ඇති.

උපකාර වූ මුලාශ්‍ර

යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව, පටිසම්භිදාමග්ග අටුවාව. මහා වර්‍ගය ඥාන කතා

ඉද්ධිවිධ ඤාණ නිර්දේශ වර්ණනාව

බල කථා – කුදුගත් සඟිය අටුවාවපටිසම්භිදාමග්ග අටුවාව- යුගනද්ධ වර්‍ගය

යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය -යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය සහ යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව – කුදුගත් සඟිය අටුවාව -පටිසම්භිදාමග්ග අටුවාව. මහා වර්‍ගය ඥාන කතා