අපේ බුදුහාමුදුරුවෝ 79

 

ඵුස්ස බුදුහාමුදුරුවෝ 01

ඒ කල්පයේ තිස්ස බුදුරජාණන්වහන්සේට පස්සේ ලෝකයේ ආයුෂ අනුක්‍රමයෙන් හානියට පත් වෙන්නට පටන් ගත්තා. පිරිහුණා ආයුෂ නැවතත් අවුරුදු අනූදහසක් දක්වා වැඩි වුනායින් පස්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණ. උන්වහන්සේගේ නම ඵුස්ස.

උන්වහන්සේත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම මේ සසර ගමන අවසන් කිරීමට පෙර අවසන් දිව්‍ය තලය ලෙස ඉපදුනේ තුසිත දිව්‍යලෝකයේ  .අනේක අප්‍රමාණ සැප සම්පත් භුක්ති විදිමින් උන්වහන්සේ අවුරුදු ලක්ෂ ගණනක් තුසිත දිව්‍ය ලෝකයේ ගත කළා. අවසානයේ  අනෙකුත් බෝසතාණන් වහන්සේලා හට වගේම  උන්වහන්සේටත් දස දහසක් සක්වල දෙවිවරුන් රැස්වී දැන් ලොව ඉපදෙන්නට කාලය යැයි ආරාධනය කළා. උන්වහන්සේ පස්මහ බැලුම් බලා ඒ ආරාධනය පිළිගෙන තුසිත දෙව්ලොවින් චුතව කසීනුවර ජයසේන රජුගේ අග මෙහෙසිය වූ සිරිමා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තා. ඒ මොහොතෙත් අතීතයේ මෙන් ම අසාමාන්‍ය දෙතිස් පෙර නිමිති ලෝකයේ  විද්‍යාමාන වුණා. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් වහන්සේ මෙලොවට බිහිවුණේ සිරිමා මල් උයනේ. පුන පුනා  නොකිව්වත් පිලිසිදගත් දා  පටන්  බුදු වන තෙක් සෑම බෝසත්වරයෙක් ම  දෙවිවරුන්ගේ විශාල ආරක්ෂාවක් යටතේ  ඉන්නෙ කියලා නැවත මතක් කරන්න ඕනේ. ඒ ගැන වැඩි විස්තර සිද්ධාර්ථ කුමාරයාගේ උපතේදී කිව හැකියි .

උන්වහන්සේත් අවුරුදු හය දහසක්  ගිහිගෙයි වාසය කලා. ඒ සඳහාම ගරුළ,  හංස, සුවන්නභර නමින් අනේක විධ සැප සම්පත් සහිත ප්‍රසාද තුනක් ඉදි වී තිබුණා. උන්වහන්සේගේ අග බිසව වූයේ කිසාගෝතමියයි. කිසා ගෝතමිය ප්‍රමුඛ තිස් දහසක් පමණ අතිශය රූමත් ස්ත්‍රීන් උන් වහන්සේට උපස්ථාන කළා. ඒ සියල්ලම ගිහි ගෙයි රඳවා ගැනීමට කල උපක්‍රම.

සෙමෙන් කාලය ගත වෙද්දි ඵුස්ස බෝධිසත්වයන් වහන්සේට දෙවියන් විසින් සතර පෙර නිමිති  පෙන්වා දෙනු ලැබුවා. එදිනම කිසාගෝතමිය අනුපම නම් පුතු මෙලොවට  බිහිකළා. පුතු මෙලොවට බිහි වූ දිනයේම ඒ මහා බෝසතානෝ සරසන ලද ඇත් කඳ මත නැගී මහබිනික්මන් කර පැවිදි දිවියට ඇතුළත් වුණා. කෝටියක් පිරිවර ද  උන්වහන්සේ ඒ අනුව යමින් පැවිදි දිවියට ඇතුළත් වුණා. ඒ පිරිසත් සමඟ හය මසක් ම ප්‍රධාන වීර්යය වැඩු වා. ඉන් අනතුරුව ඒ මහා බෝසතාණෝත් අනිකුත් බෝසතාණන් වහන්සේලා වගේම බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ පිරිසෙන්  හුදෙකලා වුනේ වෙසක් පොහෝ දිනයට  සතියකට මත්තෙන්. වෙසක් පොහෝ දිනයකට එළිය වැටුණේ අවිද්‍යා ගණ අන්ධකාරේ දුරලන තවත්  දිනයකට හිරු උදා කරමින්. ඒ වන විටත් සිරිවඩ්ඪා සිටි දියණිය මීකිරිබත් පිළියෙල කරමින්  සිටියේ. ඇය විසින් පූජා කරන ලද මීකිරි බත් උදෑසනින්ම  වැළඳු ඒ මහා බෝසතානෝ ඇට්ටේරිය වනයෙහි දී දිවාවිහාර  කොට සවස් වරුවේ  සිරිවඩ්ඩ නම් තාපසයා දුන්  අටතණමීට ගෙන නෙල්ලිබෝධිය වෙත පැමිණ අටතිස් රියන් තණ ඇතිරිය අතුරා බුදු බවට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග මහණ වූ කෙළක් භික්ෂූන් ධර්මාවබෝධයට සමත්බැවු දැක අහසින් අවුත් සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි  බැස උන්වහන්සේලා මැද දම්සක් පවත්වන්නට වුනා. එදා කෙළලක්ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය වුනා.

යම් කාලෙක බරණැස නුවර සිරිවඩ්ඩ නැමති සිටුවරයෙකු මහා සම්පත් අතහැර තවුස් පැවිද්දෙන් පැවිදි දිවියට අතුලුවුනා. උන්වහන්සේත් සමග පැවිදිබිමට ඇතුළු වූ පිරිවර අනුලක්ෂයක් පමණ වුනා. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ධර්මය දේශනා කළා. එවිට ඒ අනුලක්ෂයකට දෙවැනි ධර්මාභිසමය වුනා.

තවත් දිනක සිය පුත් අනුපුම කුමරුට ධර්මය දේශනා කරනු ලැබුවා. එකල අසුලක්ෂයකට තෙවන ධර්මාභිසමය වුනා. ඒ මහාකාරුණිකයාණෝ මෙලෙස ලක්ෂ ගණනින් මිනිසුන් සංසාර දුකෙන් එතෙර කරවන්නට වුනා.

error: Content is protected !!