අපේ බුදුහාමුදුරුවෝ 56

 

සුමේධ බුදුහාමුදුරුවෝ 01

පදුමුත්තර බුද්ධ වංශ කතාව අවසාන කරනකොට ඒ අටුවාචාරීන් වහන්සේලා මෙහෙම කතාවක් කියනවා.

“මෙතැන් පටන් පාරමී පිරිමාදියෙහි නැවත නැවත ආ අරුත් හකුළුවා විශේෂ අර්ථ පමණක් දක්වමින් යමි. ඉදින් කී දේ ම පුන පුනා කියන්නම් ද එවිට කවදානම් මේ අර්ථ වර්ණනය නිම වන්නේ ද ?”

ඉන් අදහස් වෙන්නේ මින් පෙර කරනු ලැබූ අර්ථ වර්ණනා නැවත නැවතත් නොකරන බවයි. ඊට හේතුව බුදුවරුන්ගේ අර්ථ වරුණ නම් කියා නිම කළ නොහැකි බවමයි.

පියුමතුරා බුදුන් පිරිනිවී උන්වහන්සේගේ සසුනද අතුරුදහන් වූ පසු සැත්තෑකප් ලක්ෂයක් බුදුවරු ලොව පහල උනේ නැහැ . මෙතැන් පටන් තිස්කප් ලක්ෂයකින් මතු එක් කපෙක සුමේධ සුජාත නම් බුදුවරු දෙනමක් ලොව පහළ වුනා. එහි ප්‍රඥාධික සුමේධ නම් බෝසතාණෝ පෙරුම් පුරා තුසී පුර ඉපිද එයින් චුතව සුදස්සන නුවර සුදත්ත නම් රජුගේ අගමෙහෙසිය සුදත්තා නම් දේවියගේ කුස පිළිසිඳ දස මස් ගෙවීමෙන් සුදුසුන් නුවර වලා විවර ගත තරුණ හිරු මෙන් මවුකුසින් මෙලොවට බිහි වුනා. උන්වහන්සේ අවුරුදු නව දහසක් ගිහිගෙයි ගත කළා . උන්වහන්සේට සුචන්‍දක, කොඤච හා සිරිවඩ්ඪ නම් රමණීය ප්‍රසාද තුනක් වුනා. සුමනා දේවිය ප්‍රමුඛ හතලිස් අට දහසක් ස්ත්‍රින් උන් වහන්සේට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරනු ලැබුවා .

උන්වහන්සේගේ මහා තේජසින් පිරි රූප රූපශ්‍රීය පිළිබඳ ව ගාථා කිහිපයකින් විශේෂ වර්ණනාවක් කර තිබෙනවා. අට්ඨකථා ආචාර්යවරු ඒ ගාථා මෙලෙස අරුත් ගන්වනවා.

උන්වහන්සේ මහත් තේජස් සම්පන්න යි . උන්වහන්සේගේ දෙනෙත් සෝදා ඔප දමා තිබූ මිණි ගුලියක් වැනි නුවන් යුගලක් කියලයි කියන්නේ . ඒ නේත්‍රා මුදු සිනිදු නිල් පැහැති සියුම් පිහාටුවෙන් වට වී අතිශයින් දීප්තිමත්ව බැබළුණා. පිරිපුන් සරා සඳ වන් මුහුණක් ඇති අසූ අටරියන් පමණ උස වූ පිරිපුන් සිරුර අන් අයට නැති දේහධාරී ස්වභාවයකින් යුක්ත වූ බව කියනවා . බ්‍රහ්මර්ජුගාත්‍ර ඇති සෘජුව උස් වූ ශරීරයක් ඇති දෙව්නුවරක තැනූ රන්තොරණක් වැනි ප්‍රභාෂ්වර වූ දේහය නිරන්තරයෙන්ම බැබළුණ බවත් ඒ ගාථා වලින් කියනවා. ඒ වර්ණනාව එතැනින් නිමයි.

සුමනා දේවියට පුනබ්බසුමිත්ත නම් කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුනා. උන්වහන්සේ අනුව යමින් සිය කෝටියක් මිනිස්සු පැවිදි වූනා. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින නකුල නිගමෙහි නකුල සිටු දියණිය දුන් පරම මධුර මීකිරිබත් වළඳා සල්උයන්හි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන මිදෙල්ල (කොළොම්) බෝමුල තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විසි රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල නසා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි භව්‍ය පුද්ගලයන් බලන සේක් තම බාල සොහොයුරු සරණ කුමරු ද සච්චකාල කුමරු ද ඇතුළු තමන් සමග පැවිදි වූ කෙළ සියයක් වූ පිරිස ද සිවුසස් අවබෝධයට සමත් බව දැක අහසින් වැඩ සුදස්සන නුවර අසල සුදසුන් උයනෙහි බැස දම්සක් දේශනා කරනු ලැබුවා . එහිදී කෙළ ලක්‍ෂයක සත්ත්වයන්ට ධර්මාවබෝධය වුනා. එය සුමේධ බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ධර්‍මාභිසමය ලෙස ඉතිහාසයට එක් වුනා.

 
error: Content is protected !!