අපේ බුදුහාමුදුරුවෝ 414 (සන්තිකේ නිදානය)

 

නන්ද කුමරු සහ ජනපද කල්‍යාණි පෙම් යුවළ. 01

නන්ද කුමරු පැවිදි කරවීම.

බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කළ දෙවැනි දිනයේ තවත් සුවිශේෂී රාජකීය උත්සවයක් යෙදිලා තිබුණා. ඒ තමයි නන්ද රජ කුමරුගේ රාජ්‍යාභිෂේකය, ගෘහ ප්‍රවේශය, ආවාහය යන මංගල කරුණු තුන. බුදුරජාණන් වහන්සේටත් එදින දානය සඳහා ආරාධනා කොට තිබුණා. නන්ද කුමරු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ජිවිතයේ දී එකට හැදී වැඩුන සහෝදරයා. ප්‍රජාපති ගෝතමියගේ පුතා. ඇත්තෙන්ම නන්ද කුමාරයාට උපතේ සිටම තම ආදරණීය මෑණියන්ගේ ආදරයද අහිමිවුණේ සිදුහත් කුමරු රැක බලාගැනීමට ප්‍රජාපති ගෝතමිය ඔහුව සේවිකාවන්ට බාරදුන් නිසා. බුදුරජාණන් වහන්සේට සංසාරයේ සිට පැමිණි තව බොහෝ ගණුදෙනු නිමාකිරීමට තිබෙන බවක් අතීත කතා පුවත් කියවීමේදී පෙනෙන්නට තිබෙනවා. මෙම දුක්ඛිත සංසාර සාගරයේ තව එක් දිනක් හෝ ඒ කිසිවෙකුටවත් සැරිසැරීම සඳහා හිඩැසක් නොතැබීමට උන්වහන්සේ වග බලාගත්තා. ඒ විතරක් නෙවෙයි මේ අතරින් බොහෝ දෙනා අසූ මහා ශ්‍රාවක තනතුරු පතා කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි අය. මෙම යුවළත් එලෙසමයි. ඒ දෙදෙනා අතරින් නන්ද කුමරුගේ අතීත ප්‍රාර්ථනාව මුලින්ම ඔබට කෙටියෙන් කියන්නම්.

නන්ද කුමරු මීට පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර සිටුගෙයක ඉපිද වියපත්ව නිතර එම භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසන්නට යන්නට පුරුදුවෙලා සිටියා. නිතරම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ මුණගැසෙන ඔහුට දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ඉන්‍ද්‍රියසංවර භික්‍ෂූන්ගෙන් අගතනතුරෙහි තබනු දුටුවා. ඔහු “මම ද එම තනතුර ලබමි” යි පතා සිතෙහි තබාගෙන භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු මහා සංඝරත්නයට ද පූජා සත්කාර කරමින් මහදන් පැවැත්වනු ලැබුවා. දන් දී “මම ද අනාගතයේ පහළවන ඔබ වැනි ම වූ යම් ලොව්තුරු බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේ මෙබඳු වූ ශ්‍රාවකයෙක් වෙමි” යි ප්‍රාර්ථනා කරනු ලැබුවා.

එතැන් පටන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහිම සැරිසරන්නට වුණා. කොතරම් පින් කලත් මේ සංසාර සාගරයේ මිනිස් දෙව්ලොව පමණක් නොවෙයි උප්පත්තිය ලබා දෙන්නේ. විටින් විට තිරිසන් ආත්මභාවයන්හීත් සැරිසරන්නට වනවා. ඒ නියාම ධර්මය අනුවම ඔහු අත්‍ථදස්සි බුදුරදුන් ගේ කාලයේදී විනතා නම් නදියේ විශාල කැස්බෑවෙකුව උපන්නා. දිනක් ඒ ශාස්තෲන් වහන්සේ නදියෙන් එතෙරවනු කැමතිව ගං ඉවුරෙහි සිටිනු දුටු කැස්බෑවා උන්වහන්සේ එතෙර කරවනු කැමතිව බුදු පාමුල වෙතට පිහිණා. පැමිණියේ සංසාරයේ පුරුද්දටම වෙන්නට ඇති කියලා තමයි මට හිතෙන්නේ. ඔහුගේ අදහස දුටු ශාස්තෲන් වහන්සේ කැස්බෑවාගේ පිටට වඩිනු ලැබුවා. දැඩි සේ සතුටට පත් කැස්බෑවා ඉතා වේගයෙන් දිය පහර සිඳගෙන වහාම උන්වහන්සේව එම නදියෙන් එතෙර කරවනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා කොට, මතුවෙහි ලැබෙන සම්පත් වර්ණනා කරමින් වඩිනු ලැබුවා.

මේ උතුම් පින්කම් නිසා කාමසුගතීන්හිම සැරිසැරූ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි කපිලවස්තුවේ සුද්ධෝදන මහරජුගේ පුතු ව මහාප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි ඉපදුනා. ඔහුට නම් තබන දවසේ “සියලු නෑ සමූහයා සතුටු කරවමින්, නන්දනය කරමින් උපන් බැවින් ඔහුට “නන්ද” යැයි නම් තබනු ලැබුවා.

දැන් ඔබට තේරෙන්නට ඕන මේ සියල්ලම අහඹු සිදුවීම් නොවන බව. එදින ඒ මහා කාරුණිකයාණන් වහන්සේ නන්ද කුමරුගේ මාළිගාවට පැමිණියේත් ඔහුගේ අතීත ප්‍රාර්ථනාව මල්ඵලගන්වන්නට වෙන්නට ඇති. විවාහය කියන්නේ තවත් මහා බන්ධනයක්. ඒ නිසාම විවාහයට පෙරම උන්වහන්සේ නන්ද කුමරුව රාජමාළිගාවෙන් විහාර භූමිය වෙත රැගෙනයාමට උපක්‍රමයක් යෙදුවා. දාන කටයුතු අවසානයේ තම පාත්‍රය, අසලින්ම සිටි නන්ද කුමරුට දී ඔහුව පැවිදි කරන අදහසින් නිහඬවම වඩින්නට වුණා. නන්ද කුමරුත් ඉමහත් ගෞරවයෙන් කිසිවක්ම නොකියා උන්වහන්සේගේ පසුපසින් පියමැන්නා. මෙම පණිවිඩය එදින විවාහ මංගල්‍ය සඳහා තම දික් වූ කෙස්කළඹ හැඩකරමින් සිටි ජනපද කල්‍යාණි කුමරිය වෙත යන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඇය වේගයෙන් කවුළු දොරටුව වෙත පියමැන්නා. එවිට එසේ යන්නා වූ කුමරා දැක “හිමියනි, වහා ම ආපසු එන්නැ” යි කියා ආදරයෙන් කුමරු දෙස බැලුවා. එහෙත් කුමරු ‘පාත්‍රය ගනු මැනවැ’ යි කීමට අසමත් ව බුදුරජාණන් වහන්සේගේ පසුපසින් විහාරය තෙක්ම පියමැන්නා. පැමිණි පසු ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යෝජනාවක් බුදුරජාණන් වහන්සේ විසින් නන්ද කුමරු වෙත යොමු කරනු ලැබුවා. නන්ද, මහණ වෙන්නට කැමතිද? ඔහු නිරුත්තර වුණා. අතිසුන්දර රූප රැජිනක් සමග විවාහය, රාජාභිෂේකය, ඇතුළු බොහෝ කාරණා අභියස මහණ වීමට කවුද කැමති වෙන්නේ? ඔහු නිහඬ වුනේ බැහැ කීමට බැරිකමට නෙවෙයි. බුද්ධ ගෞරවයට වගේම තම සහෝදර ප්‍රේමයට. බුදුන් වහන්සේ ඒ නිමේෂය අපතේ යන්නට ඉඩ දුන්නේ නැහැ. එහි දී බුදුන් වහන්සේ කුමරු නො කැමැත්තෙන් සිටිය දී ම පැවිදි කරනු ලැබුවා. මෙසේ උන් වහන්සේ කපිල වස්තු පුරයට වැඩි තුන් වැනි දිනයේ දී නන්ද කුමරුන් වන තම සහෝදරයාව පැවිදි කරනු ලැබුවා. යුද්ධයකින්, කුමන්ත්‍රණයකින් හෝ ජීවිත හානියකින් අහිමිවන තාවකාලික රාජකීය කිරුළ වෙනුවට සදාකාලික ශාන්ත සුවය හිමිකරගත් තවත් ගෞරවනීය මහා ශ්‍රාවකයකුගේ කිරුලු අභිෂේකයක ආරම්භය එසේ සිදුවුණා.

උපකාර වූ මුලාශ්‍ර

නන්‍ද ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවථේරගාථා අටුවාව – දුක නිපාතයදෙවැනි වර්‍ගය

සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාවජාතක අටුවාවග්‍රන්‍ථාරම්භ කථා

නන්ද සූත්‍ර වර්ණනාව කුදුගත් සඟිය අටුවාවඋදාන අටුවාවනන්ද වර්ගය

නන්‍ද තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය අටුවාවඒකක නිපාත අටුවාවඑතදග්ග පාළියසිවුවෙනි වර්‍ගය