අපේ බුදුහාමුදුරුවෝ 401 (සන්තිකේ නිදානය)
මෙතරම් ආශ්චර්ය අද්භූත විවිධ දර්ශන දැකීමෙන් බුදුන් දැකීමට පැමිණි සියල්ලෝම වගේ මහත්වූ ශ්‍රද්ධාවෙන් මෙන්ම තුෂ්නිම්භූතව සිටියේ. ඒ වගේම දැනුන අධික වෙහෙසත් නිසා ඉක්මනින්ම වන්දනා කොට නිවෙස් බලා යන්නට ඇති. ඒ අතර තවත් රජවරු ඇමතියෝ සිටුවරු වගේ ප්‍රභූ පිරිස් විශාල ප්‍රමාණයක් ඉන්නට ඇති. පිය රජතුමා ඇතුළු නෑ පිරිසත් එලෙසම භාග්‍යවතුන් වහන්සේට වැඳ පිටත් වුනා. එහෙත් එයත් තව ධර්මතාවයක්ද මන්දා කිසිම කෙනෙකුට පහුවදාට දානය සඳහා තම නිවසට හෝ මාළිගයට ආරාධනය කිරීම සඳහා මතක් වුනේ නැහැ. මම එහෙම ලිවේ ඇයි කියලා ඉදිරි පරිච්චේදය කියවනවිට ඔබට තේරේවි. පොඩි පිරිසකුත් නෙවෙයි බුදුන් ඇතුළු විසිදහසක් සංඝ පිරිවරක්.
භාග්‍යවතුන් වහන්සේ ඇතුළු පිරිස නිග්‍රෝධාරාමයේම රාත්‍රිය ගතකලා. ඒ අපේ බුදුහාමුදුරුවන්ට තවත් සුවිශේෂී වූ දිනකිහිපයක ආරම්භය මෙලෙස නැවතත් සනිටුහන් වුණා. හිතන්න නිග්‍රෝධ තෙරුන්ගේ පිනට පහලවුන සල්මලින් පිරුන අතිරමණීය උයනක වසන්තයේ හිරු උදාවෙන තවත් එක් සුන්දර උදෑසනක සුවය. වසන්තය අවසානයේ ගිම්හානය ආරම්භයේ හොඳින් හිරු පෑයූ මෙවැනි උදෑසනක් ගැන ශ්‍රී ලංකික ඔබට බොහෝ අත්දැකීම් නොතිබුනත් ශීත සෘතුවෙන් බැටකන බොහෝ විදේශවල පදිංචි අපගේ ශ්‍රී ලාංකිකයනට ඉතාම හොද අත්දැකීම් තියෙන්නට ඕනේ.
එදත් ඒ වගේ සුන්දර උදෑසනක්. උයන පුරා පිපී තිබුණ සල්මල් සහ අනෙකුත් මල් වර්ගවලින් හමා එන සුවඳින් මුලුපරිසරයම නැහැවිල. අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ තමා ජිවත් වුන රාජධානියේ. එහෙත් හිරු හවරට යන්නට පෙර විසිදහසක් සංඝයා වහන්සේ ඇතුළු තමන් වහන්සේත් දානය සඳහා පිටත්ව යා යුතුයි. එහෙත් කිසිවෙකුගෙන්වත් ආරාධනයක් නැහැ. කිසිවෙකුත් පෙරමගට පැමිණ පාත්‍ර සිවුරු ගන්නට හිටියේත් නැහැ. උන්වහන්සේටත් ප්‍රශ්ණයක් මතුවුනා. ඒ තමයි කොයි නිවහනටද කුමන අනුපිළිවලිකටද දැන් දානය සඳහා වඩින්නේ කියලා. බලන්න බුදුකෙනෙකුගේ අනතිමානී ගුණය. කෙලින්ම රජමාලිගාවට යන්නට සිතුවේත් නැහැ. අවශ්‍යනම් තම ඥාතීන්ගේ ගෙවල් වලටත් යන්න පුළුවන්, එහෙම නැතිනම් තමන් දන්නා සිටුවරු කුල පුතුන් ඕනෑතරම් ඉන්නට ඇති. එතැනින් පටන් ගන්නටත් පුළුවන්. ඒත් උන්වහන්සේ ඒ සියල්ලම පසෙකින් තබලා මෙහෙම දෙයක් කල්පනා කළා. අතීතයේ විසූ බුදුවරයෝ නෑකුලය සතු නුවරෙහි පිඬුපිණිස හැසුරුණාද, එවැනි අවස්ථාවලදී , උත්පටිපාටියෙන් ඉසුරුමත් ජනයන්ගේ ගෙට පමණක් වැඩියාද, නැතහොත් සපදානචාරිකාවෙහි හැසුරුණහුදැ’යි ආවර්‍ජනය කරනු ලැබුවා. ඒවිට එකද බුදුවරයකුගේ හෝ පිළිවෙළ වරදවා වැඩි ගමනක් නොදැක ‘මා විසින්ද දැන් මේ වංශය මේ ප්‍රවෙණිය දැඩිව ගතයුතුය, මත්තෙහිද මාගේ ශ්‍රාවකයෝද මටම, අනුව හික්මෙන්නාහු පිණ්ඩාචරියවත පුරන්නාහ’යි සිතමින් වීථියෙහි කෙළවර පිහිටි නිවෙසෙහි පටන් ගෙපිළිවෙළින් ගෙපිළිවෙළිට ක්‍රමානුකුලව පිඬුපිණිස හැසිරෙන්නට වුනා.
උපකාර වූ මුලාශ්‍ර
මහාධම්මපාල ජාතකය (447) කුදුගත් සඟිය අටුවාව ජාතක අටුවාව10. දසක නිපාතය
රාහුලවත්‍ථුකථා මහාවග‍්ග-අට‍්ඨකථාමහාඛන්‍ධකං