අපේ බුදුහාමුදුරුවෝ 385 (සන්තිකේ නිදානය)
ශුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශකයින්
බුදුරජාණන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා පිළිගැනීම. 02
මෙලෙස නිග්‍රෝධ ශාක්‍ය වංශිකයාගේ පිනට පහල වූ නිග්‍රෝධ උයන කොතරම් රමණීය උයනක් වන්නට ඇතිද? ඒ නිසාම රජතුමා ඇතුළු සියලුම ශාක්‍ය වංශකයින් ඒකපාර්ශිකව නිග්‍රෝධ උයන බුදුරජුන් ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා වැඩ සිටීම සඳහා යොදාගැනීමට එකඟ වුණා. ඔවුන් රජුගේ අනුග්‍රහයෙන් ඒ උයන රාජකීය උත්සවයක් සදහා සරසන අයුරින් සරසා රාජශ්‍රීයෙන් බබළවන්නට ඇති. ඒ වනවිටත් සුන්දර වසන්තය අභියස සියලු ගහකොළ දළු දමා හරිත වර්ණයෙන් බැබළෙමින් තිබුණා. සරත් සෘතුව අවසානයේ සහ වසන්තය ආරම්භයේ පිපෙන සුවහසක් මල් වලින් ඒ උයන බබලන්නටත් ඇති. ඒ විතරක් නෙවෙයි නිග්‍රෝධ බ්‍රාහ්මණයාගේ පිනට ඇදහැලෙන සල් වැසි තව තවත් පරිසරය මනස්කාන්ත කරන්නටත් ඇති. බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ උත්තම මහා සඟ පිරිස වෙසක් පුර පසොළොස්වක දින ඒ සල් වැසි වියන් අතරින් නිග්‍රෝධ උයනට ඇතුළු වුණා.
ශාක්‍ය රජවරු ඇතුළු ශාක්‍ය වංශකයින් “අපගේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් දකින්නෙමු” යි රැස්ව නිග්‍රෝධාරාමය භාග්‍යවතුන් වහන්සේටත් භික්‍ෂු සංඝයාටත් වාසයට එලෙස සුදුසු ලෙස සකස් කොට රාජ කුමාර කුමරියන් සුවඳමල් ආදිය ද අත් ඇතිව පෙරගමන් කොට ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කරවූවා. අපේ භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් මහරහතුන් විසින් පිරිවරන ලඳුව පනවන ලද බුද්ධාසනයෙහි වැඩසිටියා. සියලු කටයුතු එලෙස සැලසුවත් උපතින්ම මානයෙන් දැඩි ශාක්‍යයෝ ශාස්තෲන් වහන්සේට වන්දනා කිරීමට තරම් නිහතමානී වුනේ නැහැ. ඒ වෙනුවට ඒ ශාක්‍යයෝ ‘සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ අපට වඩා ඉතා ළදරුමය, කනිටුය, සොහොයුරාගේ පුතෙකි, අපගේ මුනුපුරාය ආදිය සිතමින්, ළදරු රාජකුමාරයන්ට මෙසේ කීවා. නුඹලා වඳිවු. අපි නුඹලාගේ පිටුපසින් ගොස් හිඳින්නෙමු’යි කියා තරුණ කුමාර කුමරියන් ඉදිරියට යවා ඔවුන් පසුපසට වී සිටියා.
භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ මෙම අදහස දකිනු ලැබුවා. සමහරවිට එය රහතන්වහන්සේලා හටත් දැනෙන්නට ඇති. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමයෙන් කරනු ලැබුවේ ඔවුන්ගේ මේ අධික මානය බිඳහෙළීමට කටයුතු කිරීමයි. ඊට හේතුව මේ අවස්ථාව පාදක කොටගෙන ඉදිරියේදී ඉන් බොහෝ දෙනෙක් සෝවාන් මාර්ග සහ ඵල යන උතුම් නිර්වාන මාර්ගයට අවතීරණය වීමයි. අධික මාන්නය මේ මූලික පියවර සඳහා ඇති විශාලතම බාදකයයි. එහෙත් මෙවැනි අයගේ මාන්නය බිඳ හෙලීම ඒ තරම්ම ලේසි කටයුත්තක් නෙවෙයි. ඒ නිසාම ඒ මහා කාරුණිකයාණෝ ඔවුන්ගේ අධික මාන්නය මර්දනය කිරීමට ගණ්ඩබ්බ රුක්මුල පෑ යමක ප්‍රාතිහාර්ය හා සමාන ප්‍රාතිහාර්යක් දැක්වීමට තීරණය කරනු ලැබුවා. මහාබෝධි මණ්ඩපයේදී කරන ලද ප්‍රාතිහාර්ය ද, ඤාති සමූහයා මැද කරන ලද ප්‍රාතිහාර්යද පාටික පුත්‍ර සමූහයා ඉදිරියේදී කරන ලද ප්‍රාතිහාර්ය සියල්ලද ගණ්ඩබ්බ රුක්මුලදී (අඹගස මුලදී) කරන ලද ප්‍රාතිහාර්ය එක හා සමාන වුණා. උන්වහන්සේ ඒ සඳහා අභිඥාපාදක සතරවෙනි ධ්‍යානයට සමවදින්නට වුණා. මුළු පරිසරයම නිහඬයි. හැමෝගෙම නෙත් සමාධියට වැද සිටින භාග්‍යවතුන් වහන්සේ වෙත යොමුවෙලා.
උපකාර වූ මුලාශ්‍ර
විනය අටුවාව – රාහුලවත්ථුකථා මහවග අටුවාවමහාඛන්‍ධක වර්‍ණනාව
සුත්‍ර අටුවාව – දසවර ගාථා කුදුගත් සඟිය අටුවාව ජාතක අටුවාව මහා නිපාතය. මහාවෙස්සන්තර ජාතකය
සුත්‍ර අටුවාව – නිදාන කථා කුදුගත් සඟිය අටුවාව චරියාපිටක අටුවාව ග්‍රන්ථාරම්භ කථා
සුත්‍ර අටුවාව – මහාපරිනිබ්බාන සූත්‍ර වර්ණනාව දික් සඟිය අටුවාවමහා වර්ගය අටුවාව