අපේ බුදුහාමුදුරුවෝ 382 (සන්තිකේ නිධානය)
කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන
බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 03
අසූ මහා ශ්‍රාවකයන් අතර කුලයන් පහදවන්නවුන් අතරින් අග්‍රස්ථානය ලද්දේ කාළුදායි මහරහතන් වහන්සේයි.විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක උසස් කුලයන්ට අයිති පිරිස් පහදවිම ලේසි කටයුත්තකුත් නොවන බව අපි සැවොම හොඳින් දන්නා කරුණක්. උන්වහන්සේ ඒ කාර්යය සඳහා කොතරම් දක්ෂද කියලා ඔබට මේ උන්වහන්සේ විසින් සජ්ජායනා කරන ලද ගාථාවන්හි ගැඹුරු අර්ථ ලෙස බැලුවොත් තේරේවි.
“පස්සන්තු තං සාකියා කොලියා පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං” රෝහිණී නම් නදිය ශාක්‍ය කෝලිය ජනපද දෙක අතරින් උතුරු දෙස සිට දකුණු දෙසට ගලා යනවා. රජගහ නුවර ද ඒ රෝහිණී නදියට පෙරදිගින් පිහිටිය. එනිසාම රජගහ නුවර සිට කපිල වස්තුවට යන විට ඒ රෝහිණී නදිය තරණය කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ පශ්චිම (බටහිර) දිසාවට මුහුණ ලා වැඩම කළ යුතුවනවා. මෙසේ “පැසුළු දිගට මුහුණ ලා රෝහිණී නදිය තරණය කරන බුදුපියාණන් වහන්සේ ශාක්‍යකෝලිය ජනපදවාසීහු දකිත්වා” යන ප්‍රකාශයෙන් කිඹුල්වත් පුර ගමනට භාග්‍යවතුන් වහන්සේව තව තවත් උත්සාවන්ත කරනබව පෙනෙනවා වගේම ඉන් එක්වරින් ශාක්‍ය සහ කෝලිය යන පාර්ශව දෙකටම යහපතක් වනබව පෙන්වනවා.
තම ආයාචනාත්මක ප්‍රාර්ථනාව උන්වහන්සේ දැන් උපමාවකින් මෙලෙස දක්වනවා. “අසාය කසතෙ ඛෙත්තං” ගොවියා කෙත සීසානුයේ ද බීජ වපුරනුයේ ද හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙමිනි. “ආසාය වාණිජායන්ති” ධන උපයනු කැමති වෙළෙන්දෝ ධනාශාවෙන් මුහුදු තරණය කර විදේශයන්ට යෑමට නැව් නැගෙති. “යාය අසාය තිට්ඨාමි”, මම ද මෙහි ආශාවක්, ප්‍රාර්ථනාවක් ඇතිව, ඔබ වහන්සේගේ කපිලවත්‍ථුවට වැඩවීමට කැමැත්තෙන් සිටිමි. “සා මෙ අසා සමිජ්ඣතු” යන්නෙන් “නුඹවහන්සේ කපිලවත්‍ථුවට වැඩවිය යුතු වේ” යන අදහසද ගෙන දෙනවා. එම ක්‍රියාව කරවනු කැමති සිත මෙහි දී “ආසාය” කැමැත්තෙන් යනුවෙන් අදහස් වනවා මෙන්ම එය ආශ්‍රවයෙක් ද නොවන බව වනවා.
ගමන් මඟ වර්ණනා කරමින් නොයෙක්වර ආරාධනා කිරීමට සිදු වූ බවට හේතුව “පුනප්පුනං” යනාදී ගාථාවලින් කියැවෙනවා. එහි අර්ථය මෙසේය. “එක්වරක් වපුරා සම්පූර්ණ නොවූ කල්හි ගොවියෝ දෙවනුව ද තෙවනුව ද බීජ වපුරති. වැසි දෙවියෝ ද එක්වාරයක් ම වැසි නොවස්වති. කලින් කලට, වරින් වර, නැවත නැවත වැසි වස්වති. ගොවියෝ ද සීසානුයේ එක්වරක් නොවෙති. මහත් අස්වැන්නක් ලැබීමට පස, මඩ මෘදු කිරීමට කෙත නැවත නැවත සීසාති. එක්වරක් ධාන්‍ය ගෙනවුත් කොටුගෙවල් පිරවීම ප්‍රමාණවත් නොවේ. නැවත නැවත කොටුගෙවල් පිරවීම් වශයෙන් සහල් ආදි ධාන්‍ය රට තුළට නැවත නැවත ගෙනෙයි.
යාචකයෝ ද යදිමින් නැවත නැවත පවුල් වෙත පැමිණෙති. එක්වරක් යැද පිටත නොයති. දානපතියෝ ද නැවත නැවත දන් දෙති. එක් වරක් දී නොසෑහෙති. දිය යුතු දේ දන්දෙන දානපතීහු දානාදී පින්කම් නැවත නැවත සිදුකර නැවත නැවත සවර්ගයේ උපදිති. ප්‍රතිසන්‍ධි වශයෙන් දෙව්ලොවම ඉපදෙති. එනිසා මම නැවත නැවත ඔබවහන්සේට ආරාධනා කරමි. භාග්‍යවතුන් වහන්ස, මාගේ මනෝරථය මස්තකප්‍රාප්ත කරනු මැනවි.”
දැන් යම් අර්ථයක්, යහපතක් සඳහා ශාස්තෲන් වහන්සේ කපිල වස්තුවට යායුතු වේද එම කාරණය “වීරො හවෙ” යන ගාථාවෙන් දක්වයනවා. එහි අර්ථය මෙසේයි.
“යම් කුලයක වීර වික්‍රමාන්විත, මහා ප්‍රඥාවන්ත, ඥානවන්ත පුද්ගලයෙක් උපදින්නේ ද, ඒ උතුම් පුද්ගලයා නිසා ඒකාන්තයෙන්ම පරම්පරා සතක, පියා, සීයා ආදී ලෙස, සත් පරම්පරාවක් සත්වන පියා දක්වාම පිරිසිදු වනවා, නින්දා අපහාස සෝදා හරියි” යැයි මෙසේ ලොව අදහසක් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ ලොව සියලු දෙවියන්ටම වඩා උසස් ව “දෙවොතිදෙව” යනුවෙන් හඳුන්වනවා. පාපයෙන් වැළකීමෙන් ද යහපතෙහි පිහිටීමෙන් ද යුතු ඔබවහන්සේට වඩා පවිත්‍ර වූ උතුමෙක් ලොව නැතැයි සිතනවා. කුමක් නිසාද? “තයාභිජාතො මුනි සච්චනාමො” ඔබවහන්සේ ආර්‍ය්‍ය ජාතියෙහි උපන් බැවින් ලැබූ “මුනි” නම් ඇති නිවා. මුනිවරයෙක්ව ආත්මාර්ථ පරාර්ථ සාධනයත් මෙලෝ පරලෝ සුගතියත් ගෙන දෙන බැවින් ද චතුරාර්ය සත්‍ය තනිවම අවබෝද කරගත් බැවින් ද “මුනි” නම් වනවා. “මුනි” නාමය සත්‍ය වූ, ඔබ වහන්සේටම සුදුසු වූ නාමයක්. එනිසා සත්ත්‍වයන්ට ඒකාන්තයෙන් ම උභයාර්ථ සිද්ධිය සැලසීම සඳහා ඔබවහන්සේගේ ගමන උපකාරී වනවා. එබැවින් කිඹුල්වතට වඩිනු මැනවි.
මෙලෙස සැටක් පමණ ගාථාවලින් සෑදුණු ගැඹුරු අර්ථයෙන් බුදුරදුන්ගේ කුල(පිය) නගරයට පැමිණීමේ ගමන වර්ණනා කරනු ලැබුවා. මෙහි අර්ථ රසය අපට වඩා දස දහස්වාරයකින් බුදුරජාණන් වහන්සේට වැටහෙන්නට ඇති. සියල්ල සාවධානව අසා සිටි අපේ බුදුහාමුදුරුවෝ උදායි, කුමක් නිසා මෙලෙස මිහිරි ස්වරයෙන් ගමන වර්ණනා කරන්නේදැයි අසා සිටියා. එවිට ස්වාමීනි, ඔබ වහන්සේගේ පියා, සුද්ධෝදන මහරජතුමා ඔබව දකිනු කැමතිව මග බලා සිටිනවා. ඒ වගේම ඤාතීන්ට සංග්‍රහ කිරීම සුදුසුය බවත් යටහත් පහත්ව කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ ” උදායි යහපති. එසේ කරන්නෙමි. ඤාතීන්ට සංග්‍රහ කිරීමට භික්‍ෂු සංඝයාට දැනුම් දෙන්න. ගැමිවත් සම්පූර්ණ කරන්නැයි භික්‍ෂූන්ට කියන්න. එවිට ස්වාමීනි යහපතැයි තෙරුන් වහන්සේ ගෞරවයෙන් කියා සිටියා. ඔබ මෙම කොටස අවසානය දක්වා හොඳින් අවධානයෙන් යුතුව කියවුවානම් මෙතක් කල් නොමැති වශාල ගෞරවයක් කාළුදායි මහරහතන් වහන්සේ කෙරෙහි ඇතිවිය යුතුයි.
උපකාර වූ මුලාශ්‍ර
සූත්‍ර අටුවාව සන්තිකෙනිදානකථා කුදුගත් සඟිය අටුවාවඅපදාන අටුවාවග්‍රන්ථාරම්භ කථා
සූත්‍ර අටුවාව. කාළුදායි ථේර අපදාන වර්ණනාව කුදුගත් සඟිය අටුවාවඅපදාන අටුවාවථේර අපදාන. කුණ්ඩධාන වර්‍ගය
සූත්‍ර අටුවාව – කාළුදායී ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාව ථේරගාථා අටුවාව. දසක නිපාතය
සූත්‍ර අටුවාව – සන‍්තිකෙනිදානකථා ඛුද‍්දකනිකාය අට්ඨකථා අපදාන-ග්‍රන්‍ථාරම්භකතා