අපේ බුදුහාමුදුරුවෝ 370 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 06

ඉන් අනතුරුව ඒ අඹුසැමි යුවළද දිවි ඇතිතෙක් කුසල් කොට දෙව්ලොව ඉපිද නැවතත් ඉන් නික්මී මේ මහා භද්‍ර කල්පයේම කාශ්‍යප සම්මාසම්බුදුන් වහන්සේගේ කාලයෙහි බරණැස අසූකෙළක් ධනය ඇති සිටිවරයකුගේ පුතෙක් වී, ඇය එබඳුවූම වූ සිටුවරයකුගේ දියණියක් වීද උපන්නා. හරිම පුදුමයි ඒ දෙන්නගේ සංසාර බැඳීමත්. වැඩිවිටය පත් ඔහුට ඒ සිටු දුවම විවාහය සඳහා කැඳවාගෙන ආවා. එහෙත් තවමත් ඇයට පූර්ව භවයේ පසේබුදුරජාණන් වහන්සේට පාත්තරය පුරවා පල්වූ මඩවලකින් ගත් මඩ දුන් විපාකය විපාක දීමට අවස්ථාව යෙදී තිබුනේ නැහැ දෙවුලොවම සිටි නිසා. එහි විපාකය පටන් ගත්තේ මේ මොහොතේ. පෙර නොදුන් විපාක ඇති ඒ කර්‍මයාගේ ආනුභාවයෙන් පතිකුලයට පිවිසි කෙණෙහි එළිපත්ත තුළදීම ඇයගේ සියලු සිරුර තුලින් විවර කළ වැසිකිළියක් මෙන් දු ගඳ සතර දිග විසිර යන්නට වුනා. සිටු කුමරා මේ කාගේ ගඳක්දැයි විමසා සිටිනවිට කුමරියන්ගේයයි අසා ‘ගෙන ගොස් හැරලව’යි පැමිණි රියෙන් ම කුල ගෙයට නැවතත් හරවා යවනු ලැබුවා. ඇයව මෙලෙස පලවා හැරීමෙන් පසු සිටුවරයා තවත් විවිධ පුද්ගලයින්ට විවාහ කොට දුන්නා. අවසානයේ ඒ සත් තැනෙන් ම පෙර පරිදි ම ආපසු හරවා එවනු ලැබුවා ය.

ඒ කාලයේම කාශ්‍යප දශබලයන් වහන්සේ පිරිනිවන් පානු ලැබුවා. උන්වහන්සේට ඝන පාෂාණ සුණෙන් කළ බිමින් යුතුව රත්‍රන් ගඩොලින් යොදුනක් උස චෛත්‍යයක් ගොඩනැඟීමට අරඹුවා. ඒ චෛත්‍යය කරවන විට ඒ සිටුදුවට මෙහෙම සිතුනා. මම සත් තැනෙක්හි ආපසු හරවා එවනු ලැබූවා. ඉතින් මට ජීවිතයෙන් කවර වැඩක්ද, එලෙස සිතු ඇය තමාගේ ආභරණ භාණ්ඩ උණු කොට රියනක් දිග වියනක් පළල අඟල් සතරක් උස රන් ගඩොලක් කරවනු ලැබුවා. සමහර බුද්ධෝත්පාද කාල වල ආයුෂ අවුරුදු ලක්ෂයක් තරමටම දීර්ඝ මෙන්ම මිනිසුනුත් නිරෝගීයි කෙලෙස් අල්පයි, ඊට සාපේක්ෂව විශාලයි. ඉතින් ඒ චෛත්‍ය කෙරුනෙත් මහා විශාලට. එවැනි දීර්ඝායුෂ ඇති බුදුරජාණන් වහන්සේලා පිරිනිවීමෙන් පසු ධාතු විසිරෙන්නේ නැහැ. එකට ඝනව පිහිටනවා. ඉතින් ඒ නිසාම නිමවෙන්නේ එකම එක චෛත්‍යයක්. එයත් මහ විශාලයි. මිනිසුන් නිමකරන චෛත්‍ය වටකොට දෙවියන්ද බඹුන්ද චෛත්‍ය හදන නිසා එහි විශාලත්වය මෙතෙකැයි කියන්නට බැහැ. මේ ලිපි පෙලෙහිම මිට පෙර එවැනි චෛත්‍යයක් ගැන විස්තර කොට තියෙනවා. ගඩොලක් මෙතරම් විශාල වන්නට ඇත්තේ එවැනිම විශාල චෛත්‍යයක් නිසා වෙන්නට ඇති.

ඉතින් ඇය හිරියල් මනෝසිලා පිඬක් ගෙන උපුල් බඳුන් අටක් රැගෙන චෛත්‍යය කරන තැනට ගියා. ඒ වෙලාවේ එක් ගඩොල් පෙළක් පිරිකෙව් කොට එන්නා වූ සම්බන්‍ධක ගඩොලක අඩුවක් ව පැවතියේ හරියටම මේ රත්‍රන් ගඩොලට ඉඩ සලසා බලා සිටියා වගේ. සිටුදුව ‘මේ ගඩොල මෙහි තබව’යි වඩුවාට කීවා. ‘මෑණියනි, සොඳුරු වේලාවෙහි පැමිණියා වෙහි. තමාම තබන්නැ’යි වඩුවා කීයා සිටියා.ඇය හිරියල් මනෝසිලා තෙලෙන යොදා ඒ බදාමෙන් ගඩොල පිහිටුවා ඒ මත්තෙහි උපුල්බඳුන් අටින් පුදා වැඳ උපනුපන් තැන කයින් සඳුන්සුවඳ හැමේවා මුවින් උපුල් සුවඳ හැමේවායි ප්‍රාර්‍ත්‍ථනා කොට චෛත්‍යය වැඳ පැදකුණු කොට යන්නට ගියා.

ඒ එක්කම හරිම පුදුම සිදුවීමක් වුණා. ඇයව ප්‍රථමයෙන්ම සරණපාවා දුන් සිටු පුත්‍රයාට හදිසියේම ඇයව සිහිවුණා. ඒ මොහොතේ නගරයේද නැකත් කෙළියක් ප්‍රකාශවුනා. ඒ සඳහා රාජ රාජ අමාත්‍ය ආදී සියලු ප්‍රභූවරු සහභාගී වනවා. ඔහුද ඒ සඳහා පැමිණ සිටියා. දැන් ඔහුට යෝජනා කල සිටු දියනියත් මෙහි පැමිණිය යුතුයි. ඔහුගේ සිත කීවා. මෙහි කැඳවාගෙන එන ලද සිටුදුව කොහි ඇද්දැ’යි ඔහු උපස්ථායකයන්ගෙන් ඇසුවා. ‘ස්වාමීනි, කුලගෙහිය’යි ඔවුහු කියා සිටියා. ‘ඇය කැඳවාගෙන එන්න. ඇය හා සමග නැකත් කෙළි කෙළිමි’යි ඔහු පැවසුවා. උපස්ථායකයන් ඒ කියූ වහාම ඇය වෙත පැමිණියා. ඔවුන් පැමිණ ඇය අසල සිටිනවිට ‘දරුවනි, කුමක් නිසා පැමිණියහුදැයි’ඇය විසින් විමසා සිටියා. එවිට ඔවුන් නැකත් කෙළි සඳහා ඔබ තුමියව රැගෙන එන ලෙස සිටුතුමා ආරාධනය කල බව පවසා සිටියා. එහෙත් එවැනි උත්සව සභාවකට යන්න තරම් දැන් ඇය සතුව ස්වර්ණාභරණ නැහැ. ඒ සියල්ල පූජා කරලා. ‘දරුවනි, මවිසින් අබරණ බඩුවලින් චෛත්‍යය පුදනලදී. මට එවැනි උත්සවයකට යන්නට අබරණ නැතැ’යි කීකල්හි ඔවුන් ගොස් සිටුපුත්‍රයාට ඒ බව සැළ කොට සිටියා. ‘ඇය කැඳවාගෙන එවු, පළඳනා ලබාදෙන්නෙමු ’යි එවිට සිටුතුමා පවසා සිටියා. ඔවුන් ඇයව කැඳවාගෙන එනු ලැබුවා. ඇය පැමිණීමත් සමග පුදුම දෙයක් වුණා. ඇය ගෙට පිවිසීමත් සමඟම මුළු ගේ පුරාම සඳුන් සුවඳද නිලුපුල් සුවඳද හමා ගියා.

සිටුපුත්‍රයාට හරිම පුදුමයි. ඔහු ඇයගෙන් මෙලෙස විමසා සිටියා., “පළමුව නුඹේ සිරුරෙන් දුගඳ හැමීය. දැන් නුඹගේ සිරුරෙක් සඳුන් සුවඳ හමයි. මුවින් උපුල්සුවඳ හමයි. මේ කිමෙක්දැ’ . ඕතොමෝ මුල පටන් තමා විසින් කළ කී දෑ ඔහුට විස්තර කරන්නට වුණා. එවිට සිටු පුත්‍රයා ‘බුදුසසුන ඒකාන්තයෙන්ම සැපතට පමුණුවනසුලුය’යි ඒ රන්සෑය යොදුනක් පමණ උසවුණා. ඔහු එය ඒ හා සමාන උසවූ කම්බිලි සැට්ටයකින් වසා ඒ ඒ ස්ථානයන් රියසක් පමණවූ රන්පියුමින් අලංකාර කළා.. ඒ රන්පියුම් දොළොස් රියනක් පුරා විහිද ගියා. කොතරම් ලස්සනට තිබෙන්නට ඇතිද?. ඒ වෙන කවුරුත් නෙවෙයි. අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පූර්ව එක ජන්ම භවයක්. ඔවුන් දෙපළ එහි ආයුෂ ඇති තෙක් සිට ස්වර්‍ගයෙහි යලිත් උප්පත්තිය ලැබුවා.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය

error: Content is protected !!