අපේ බුදුහාමුදුරුවෝ 334 (සන්තිකේ නිධානය)
ප්‍රෙතයනට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව
මෙම කතාවට මුලපිරීමක් වශයෙන් මේ සටහන ලියන්නට ඕනේ කියලා සිත කිවා. එය බුද්ධ දේශනාව උපයෝගී කොටගෙන ලියවුනු “තිරොකුඩ්ඩ සූත්‍රය” ඇසුරෙන් සකසනු ලැබූවක්.
බොහෝ උත්සව, විශේෂයෙන්ම දානමාන පින්කම් කරන අවස්ථාවෙහි ඥාතිප්‍රේතයෝ තමන් පෙර විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හි ද ගෘහසන්‍ධි භිත්තිසන්‍ධි සතරමංහන්දි තුන්මංහන්දි යන මේ තැන්හි දී ඇනතබා බලා සිටිනවා කියනවා. ඒ අපටත් යමක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. ඊට හේතුවක් තියෙනවා. ඒ ප්‍රේත ලෝකයෙහි සී සෑමෙක් නැහැ.. ගව පාලනයත් එහි නැහැ.. සම්පත් ලැබීමට හේතු වූ වෙළෙඳාමෙකුත් නැහැ.. රන්රිදියෙන් කරණ ගණුදෙනුවෙක් ද නැහැ.. හුදෙක් මැරී ඒ ප්‍රේතවිෂයයට පැමිණියෝ මේ මිනිස්ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද පිනෙකින් ඒ ප්‍රේතයෝනියෙහි යැපෙනවා.
ඒත් බොහෝ වූ ආහාරපාන ද භෝජනද ද පිළියෙල ව ඇති කල්හි පවා ඒ ප්‍රේතලෝකයෙහි උපන් සත්ත්‍වයන්ගේ අකුශලකර්‍ම හේතුවෙන් ම කිසි ම නෑදෑයෙක්ට ඔවුන්ව සිහි වෙන්නේ නැහැ. මටත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා.
නෑයන් අතුරෙන් යම් කෙනෙක් ඔවුනට අනුකම්පා කරන අය වෙත්ද “මේ පින පරලොව ගිය අප නෑයනට වේවා. ඒ නෑයෝ සුවපත් වෙත්වා”යි කියා, ඔවුන් අවුත් සිටින කල්හි, ඒ නෑයන් උදෙසා පවිත්‍ර වූ ප්‍රණීත වූ කැප වූ ආහාර පාන දන් දෙනවා. ඒ ඥාති ප්‍රේතයෝ ද ඒ දන් දෙන තැනට නොයෙක් දිශාභාගයෙන් අවුත් එක් රැස් වෙනවා. තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙනු ලබන කල්හි සකසා කම් පල අදහා පින් අනුමෝදන් කරනවා. එය අනුව සතුටු වෙනවා. “යම් කෙනෙකුන් නිසා පින් අනුමෝදන් කළ කල්හි සම්පත් ලැබූ ඒ අයද, ඒ අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යී ද ස්තුති පූර්වකව ආශීර්වාද පුණ්‍යානුමෝදනා කරනවා.. ඒ නිසා දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙනවා.
යම්සේ උස් බිමකට වැටි ජලය මිටි බිම කරා ගලා බසී ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහි දී ඥාත්‍යාදීන් විසින් දුන් දානය එහි විපාක වශයෙන් ප්‍රේතයන්හට ලැබෙනවා. යම් සේ මහා නදීහු කුඩා ගං හෝ ආදියෙහි රැස් වන දියෙන් පිරුණාහු සාගරය පුරාලත් ද, එ පරිද්දෙන් ම මේ මිනිස්ලොවෙහිදී ඥාත්‍යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) ප්‍රේතයන් වෙත පැමිණෙනවා.
ඒ නිසාම . “මට මෙ බඳු ධනයක් හෝ ධාන්‍යයක් හෝ දුන්නේ ය යි ද, මගේ මේ කටයුත්ත කෙළේ ය යි ද, මොහු තුමූ මගේ නෑයෝ ය යි ද, මිත්‍රයෝ ය යි ද අසුවලා වැළි කෙළියෙහි පටන් මාගේ යහළුවා ය”යි ද මෙසේ පෙර කරණ ලද උපකාර සිහි කෙරෙමින් මිය පරලොව ගියවුන් උදෙසා දන් දිය යුතු යැයි මෙම සුත්‍ර දේශනාවේ තව දුරටත් පවසනවා.
හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැලැපීමෙක් හෝ වේ ද, එය පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනය පිණිස පවතින්නේ නැහැ. එවිට ඒ ප්‍රෙතයෝ එහි උපන් පරිද්දෙන් ම සිටිනවා. මේ ඇඩුම්වැලැපුම්වලින් වැඩෙක් නො වේ.
ඔබ විසින් ඔවුන් වෙනුවෙන්ම සඞ්ඝයා කෙරෙහි යම් දානමානාදී කුසල කර්ම කොට පින්පෙත් පමුණුවයිද, තමන්ගේ ඥාතිසමූහයා උදෙසා යම් දානයෙක් දෙන ලද්දේ ද, ඒ මේ දක්‍ෂිණාව නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හෙයින් සඞ්ඝයා කෙරෙහි සුපිහිටියේ වන්නේ ය. එ හෙයින් එය ඒ ප්‍රේතසමුහයාට දීර්‍ඝ කාලයක් හිත සැප පිණිස විපාක දෙනවා වගේම ක්ෂණිකවම එ කෙණෙහි ම ඒ කුසල විපාක ඔවුනට ලැබෙනවා. පහළවෙනවා.
මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළයුතු ඒ ඥාතිධර්‍මය යි. ඉතින් දැන් ඉතින් ඔබට තේරෙන්නට ඕනේ එහි වැදගත්කම. හැකි ඉක්මණින් ඔවුන් වෙනුවෙන් ඒ යුතුකම ඉක්මණින්ම ඉෂ්ඨ කිරීමට මමත් දැඩිව හිතට ගත්තා. ඊලග ලිපියෙන් බිම්බිසාර රජතුමාටත් වේළුවනාරාම පුජාවෙන් පසු ඒ කාර්යය අමතක වීම නිසා ඥාතීන් හැඬු හැටි සහ ඒ ප්‍රශ්නය අපේ බුදුහාමුදුරුවෝ විසඳපු සැටිත් ඔබට කියවන්නට ලැබේවි.
උපකාර වූ මුලාශ්‍ර
තිරොකුඩ‍්ඩපෙතවත්‍ථු පඤ‍්චමං – ඛුද‍්දකනිකායොපෙතවත්‍ථුපාළි – උරගවග‍්ගො
තිරොකුඩ‍්ඩසුත‍්තං ඛුද‍්දකනිකායො ඛුද‍්දකපාඨපාළි