අපේ බුදුහාමුදුරුවෝ 320 (සන්තිකේ නිධානය)
උරුවේලකාශ්‍යප ජටිල දමනය 11
ගයා තීර්ථ, සහ ගයා ශීර්ෂය
ඉතින් ඔය විදිහට මහත් වූ කරුණාවෙන් දයාවෙන් වෙහෙසෙන් තුන්දහස් පන්සියයක් පමණ වූ ප්‍රාතිහාර්ය පාමින් උරුවෙල කස්සප ඇතුළු ජටිලයන් දහස දමනය කරගත් අපේ බුදුහාමුදුරුවෝ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට පුරාණජටිලයන් වූ දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා ද සමග ගයාශීර්‍ෂයට වැඩම කරන්නට වුණා.
ගය නම් රාජර්ෂීන් විසින් කරන ලද බැවින් මෙම ගමට ගයා නමින් එකල ව්‍යහාර වුණා. මෙය ජයසිරි මහ බෝ මැඩින් තුන් ගව්වක් පමණ ඈත්හි නේරංජරා නදිය අද්දරැ වූ ගමක්. මෙ ගම සමීපයෙහි බ්‍රහ්ම ලබ්ධිකයන් පව් සෝදන පොකුණක් ද වුණා. ඒ වගේම නේරංජරාවේ තොටුපල ද ඔවුන්ගේ පාපප්‍රවාහස්ථානයක් බවට පත්වුණා. එබැවින් එ දෙපොලට ම ගයා තීර්ථ නමින් ව්‍යහාරයේ පැවතුණා. ඉන් ගම් දොරටුව සමීපයෙහි ගයා පොකුණ තෙර ලොකු ගල් සතරක් ද එහි මහත් වූ උස දිග පළලින් යුත් පැතලි ගල්ලෑල්ලක් වැනි ප්‍රදේශයක්ද ඒ ගල් සමතලාව භාවිතාකොට නිම කරන ලද ගල් ඇඳෙක් ද තිබුණා. මෙය ටංකිතමංච යනුවෙනුත් හඳුන්වනු ලැබුවා. එය ඇසුරු කොට පිහිටි සුචිලෝම යකුගේ භවනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ පසු කාලයේ වැඩ වාසය කරනු ලැබුවා. ඒ ගැන ඔබට පසුව කියවන්නට ලැබේවි.
ඒ එක්කම පසු කාලයේ දෙව්දත් තෙරුනට අජාසත් රජු කරවා දුන් විහාරයෙක් ද ගොඩනැගුනේ මේ ප්‍රදෙශයේමයි. පසුව දෙව්දත් තෙරුන් සංඝභෙදය කොටැ පන්සීයක් පමණ වූ නවක භික්ෂූන් ගෙන ආවේත් ඒ ගයා ශීර්ෂ විහාරයට යි. දැන් බුද්‍ධගයා නමින් ප්‍රසිද්‍ධ වැ ඇත්තේ බෝධිමණ්ඩ ප්‍රදේශය යි. ඉතින් බෞද්ධයිනට බොහෝ වැදහත් ස්ථාන රැසකට මෙම ප්‍රදේශය උරුමකම් කිවා.
තවත් වැදගත් දෙයක් තියෙනවා. ගයා ගම සමීපයේ ම ගයා තොටුපල ඉස්මත්තේ ගජ ශීර්ෂයක් (ඇත් ඔලුවක්) බඳු කඳු මුදුනෙක් තිබුණා. එ කඳු මුදුනේ වූ විශාල සම ගල් තලය මත දහසක් පමණ භික්‍ෂූනට විසුමට තරම් අවකාශයක් පැවතුණා කියලා කියනවා. මෙන්න මේ ස්ථානය කරා තමයි භග්‍යවතුන් වහන්සේ පියමැන්නේ. ඇයි දහසක් දෙනාට ඉන්න පුළුවන් වෙන්නත් ඕනෙනේ. ඒ ස්ථාන මාර්ග දිවැසින් දකින්නට ඇති කියලා මට හිතෙනවා. ඒ විතරක් නෙවෙයි? මේ දහසක් දෙනාටම අරහත්වයට පැමිණෙන මගද පෙන්නන්නට ඕනේ. මොකද සසරේ පිනට ඒහි භික්කු පැවිද්දෙන් පැවිද්ද ලැබුවට තවමත් මනාකොට දර්මය අවබෝධ වී අරහත්වයට පත්වී නැහැනේ. කෙලෙස් සහිතයි. ඒ විතරක්ද මෙවැනි විශාල පිරිසකට පිණ්ඩපාතය ලැබෙන්නටත් ඕනේනේ . ඒ හැම දේටම පහසුම තැන එතන වෙන්නට ඇති. ගයා තොටුපල ඉස්මත්තේ වූ ඒ විශාල ගල් තලය (ගයා ශීර්ෂයෙහි) වෙත දහසක් භික්ෂුන් සමගින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනු ලැබුවා
හැබැයි තවත් ආශ්චර්යමත් දෙයක් තියෙනවා. ඔබට මතක ඇති මම මිට කලින් මොවුන්ගේ අතීත කතාව ලීවා. කියවලා නැත්නම් “අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය) උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත” කියවන්න. එහි ඔබට මතක ඇති මේ උරුවෙල් කස්සප, ගයා කස්සප, නදී කස්සප යන අය රාජ කුමාරවරු වෙලා හිටියා. ඒ වෙලාවේ ඵුස්ස බුදුහාමුදුරුවෝ වෙත ගොස් දසසිල් සමාදන්ව තෙමසක් ශික්‍ෂාපද රකින්නට තම පිය රජුගෙන් අවසර ඉල්ලා ගත්තනේ. ඒ වෙලාවේ ඒ බුදුහාමුදුරුවන්ට අවශ්‍ය සියලු පිරිකර දානමාන දී කටයුතු පවත්වනු ලැබුවේ මොවුන් ඒ රාජකුමාරවරු හැටියට සිරින්. ඔවුන් සිල්සමාදන් වන තෙමසෙහි මෙම කාර්යය කරන්නට බැරි නිසා ඒ කටයුත්ත තමන්ගේ ඇමතියෙකුට පැවරුවා කියලා අපි කියවූවා නේ. ඔබ දන්නවද දැන් මේ මොහොතේ ඒ ඇමතියා රජවෙලා. ඒ පිනෙන් ම වෙන්නට ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඔහුට තමයි මේ ගයා ශිර්ෂයත් අයිති. සසරෙහි හැටි කල්‍යාණ මිත්‍රත්වයේ හැටි. ඒ වෙන කවුරුත් නෙවෙයි ඔබ අප කවුරුත් දන්නා බිම්සර නොහොත් බිම්බිසාර රජතුමා. ඔහුට දැන් ආයෙමත් බුදුන් ඇතුළු මෙම පිරිසට උපස්ථාන කරන්න පරිසරය සැකෙසෙමින් එනවා. ඔහුත් එහෙම අදිස්ඨාන කරාද කියලයි මට දැන් හිතෙන්නේ.
විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර
ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේගේ ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය