අපේ බුදුහාමුදුරුවෝ 318 (සන්තිකේ නිධානය)

 

උරුවේලකාශ්‍යප ජටිල දමනය 09

මෙලෙස බුදුරජාණන් වහන්සේගෙන් සමුගත් උරුවේලකාශ්‍යප ජටිල තවුසා තම ජටිල පිරිස ඉන්නා තැනට ලහි ලහියේ පියමැන්නා. ජටිල පිරිවර වෙතට පැමිණි උරුවේලකාශ්‍යප තවුසා ජටිලයන්ට මෙහෙම කියා සිටියා.

“භවත්නි, මම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි. භවත්හු යම් සේ සිතත් ද, එසේ කෙරෙත්වා”

තම ගුරුවරයා මෙහෙම කියනවානම් ඒ අය වෙන තීරණයක් ගනීවිද? ඔවුනුත් එක හඬින්ම ඔහු හා එන්නටත් භාග්‍යවතුන් වහන්සේ හමුවේ පැවිද්ද ලබන්නටත් එකඟ වුනේ හරියටම තම ගුරුතුමාගෙන් ඒ අණ ලැබෙනකම් බලහිටියා වගේ. උවුන් මෙලස කියා සිටියා.

“පින්වත් ගුරුතුමනි, අපි බොහෝ කල් පටන් මහාශ්‍රමණයා කෙරෙහි වෙසෙසින් පැහැදුනෝ වෙමු. ඉදින් පින්වතුන් වහන්සේ මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙණසේක් නම්, අපි සියල්ලෝ ම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමු”

ඉන්පස්සේ ඒ ජටිලයෝ හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර හා පිරිකරකද ද ගිනි පුදන උපකරණ ද ජලයෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියා. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කියා සිටියා. එවිට අප මහා කාරුණිකයන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරනු ලැබුවා. . ඒ ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව ද වුනා.

මට හිතෙන්නේ එදා තමයි ඔවුන්ගේ මෙතෙක් ඉතිරිව තිබු පවු ඒ නදියේ ගලා ගියේ. ඇයි සසර ගමන අවසන් කරන ප්‍රතිපදාවට බැසගත්තනේ. ගගෙන් පහල සිටිය නදීකාශ්‍යප සහෝදර ජටිල තවුසා මෙම ජලයෙහි පා වී යන හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකරකත් ද, ගිනි පුදන උපකරණ ද දුටුවා. දැකල ඔහුට හොඳටම බය හිතුණා . “අනේ මාගේ සොහොයුරාහට උවදුරක් නො වේවා” “අනේ මාගේ සොහොයුරාහට උවදුරක් නො වේවා” යනුවෙන් සිතෙන් කන්නලවු කරන්නට වුනා. එහෙම සිතලා නිකම්ම හිටියේ නැහැ. “යවු. මාගේ සොහොයුරාහට යම් විපතක් වී ඇත්දැයි දැන ගණිවු” යි යැයි කියමින් තම ජටිලයන්ව ඒ මොහොතේම පිටත් කොට හැරිය. යවලා නිකම්ම හිටියේ නැහැ ඔහුද තුන්සියයක් ජටිලයන් සමඟ ආයුෂ්මත් උරුවේලකාශ්‍යපයන් වැඩ සිටි ඉවුර දෙසට පියමන් කළා. ඒ යනවිටත් ඔහුගේ සොහොයුරා සියලුම තපස් පිළිවෙත් අත්හැර කසාවත් දරා උපසම්පදා භික්ෂුභාවයෙන් මහත් වූ සංවර ඉරියවුවකින් හිටියේ. ඔහු විමතියට පත්වුනා. විමතියෙන් සහෝදරයා ඇතුළු පිරිස දෙස බලාසිටි ඔහු “කාශ්‍යපය, මේ පැවිදිබව පළමු තවුස්බවට වඩා උතුම් ද?” යි අසා සිටියා. . “ඇවැත්නි, එසේ ය. මේ පැවිදිබව උතුම් ය” ඔහු පිළිතුරු දුන්නා. . ඉන්පසු ඒ ජටිලයෝද ඔවුන් අනුව යමින් හිසකේ ද ජටාමඬුලු ද තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද දියෙහි පා කොට යවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට ගියා. ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදිබව ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි යටත්ව කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ මොහොත එළඹෙන තෙක් කොතරම් කලක් බලා සිටියාද යැයි මේ ලිපි පෙළ කියවපු ඔබ හොදින්ම දන්නවා. නදී කාශ්‍යපත් ඔහුගේ මුළු පිරිසත් එතැන නිසා තව දුරටත් බලා සිටීමට උවමනා වුයේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ . “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. මුළුමනින් දුක් කෙළවර කරණු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි යනුවෙන් වදාරනු ලැබුවා. ඔවුන්ද පෙර පරිදිම බුද්ධ ආනුභාවයෙන් ඉබේම පහල වී ඒහි භික්ෂු පැවිද්ද ලබා සිවුරු පිරිකර සහිතව බුදුපියාණන් වහන්සේ ඉදිරියේ ක්ෂණයකින් පෙනී සිටියා. ඒ ම ඒ ආයුෂ්මත් වරුන්ට උපසම්පදාව ද වුනා.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර