අපේ බුදුහාමුදුරුවෝ 305 (සන්තිකේ නිධානය)

 

ඒරක පත්ත නා රජුගේ කථා පුවත 02

මීට ඉහත කි පරිදී, උත්තර මාණවකයා ඉතා සතුටින් එම ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා.

ඒ වෙලාවේ නාගපෙණය මත සිටින නාග මානවිකාව ලස්සනට නටමින් ගීය ගයනවා. උත්තර මානවකය සෙනග අතරින් ඉදිරියට පැමිණියා

“භවත්නී, මා විසින් පිළිතුරු ගී හදාගෙනයි ආවේ. මටත් අවස්ථාවක් දෙන්න” කියලා උත්තර මාණවකයා සෙනඟ පීරා ගෙන ඉදිරියට ගියා. නාග මාණවිකාව නටමින් ‘කිංසූ අධිප්පතී රාජා….’ යන ගීය ගැයුවා. උත්තර මාණවකයා ‘ඡද්වාරා අධිප්පතී රාජා….’ යන පිළිතුරු ගීය හඬනගා කිව්වා. ඊටපස්සේ නාග මාණවිකාව ‘කේනස්සු වුය්හති….’ යන ගීතය ගායනා කළා. එතකොට උත්තර මාණවකයා ‘ඕඝේන වුය්හතී…’ යන පිළිතුරු ගීය හඬ නගා කිව්වා. නාගරාජයා මේ පිළිතුරු ගී අසා ඉතාම සතුටට පත්වුණා.

“හප්පේ….! මදෑ. බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා. මේ පිළිතුරු ගීය මෙතෙක් කාලෙකට අසන්නට බැරිවුණා. ඒකාන්තයෙන්ම බුදුකෙනෙකු ලෝකයේ පහළ වෙලා තියෙනවාමයි” කියා සතුට වැඩිකමට නාගරාජයා වළිගය ඔසොවලා ඉතා වේගයෙන් ජලයට පහර දුන්නා. දෙපැත්තට මහා රළක් පැන නැංගා. ගංගාවේ ඉවුරු දෙපස බිඳිලා ගියා. ගවයෙකුගේ ප්‍රමාණයේ උසට දෙපස හිටපු මිනිසුන් වතුරේ ගිලුණා. නාගරාජයා එබඳුම මිනිසුන් ප්‍රමාණයක් පෙණ ගොබයෙන් වතුරෙන් ඔසොවා ගොඩබිම තිබ්බා. ඔහු උත්තර මාණවකයා ළඟට ගියා.

“ස්වාමීනී, ශාස්තෘන් වහන්සේ කොහේද වැඩඉන්නේ…?”

“මහරජ, එක් රුක් සෙවණක වැඩඉන්නවා.”

“ස්වාමීනී, එහෙම නම් අපි යමුද?” කියලා උත්තර මාණවකයා සමඟ පිටත් වුණා. මහජනයාත් ඔවුන් සමඟ පිටත් වුණා. නා රජු බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වන්දනා කරමින් හඬා වැළපෙන්න ගත්තා.

“මහරජ, මක්නිසාද අඬන්නේ…?”

“අනේ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ලැබුණා. බඩගාගෙන යන්න වුණා. බුද්ධාන්තරයක් ගෙවිලා යනවා. මේ ආත්මයෙන් චුත වුණේ නැහැ නෙව. මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ නැහැ. නුඹවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දර්ශනයක් ලැබුණේ නෑ” කියා විලාප දුන්නා.

ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“නාරජ, ඒක ඇත්ත. මනුෂ්‍ය ආත්මභාවය ඉතාමත් දුර්ලභයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයත් දුර්ලභයි. බුද්ධෝත්පාදයත් දුර්ලභයි. මේවා ඉතාමත් දුකසේ දුර්ලභවයි ලැබෙන්නේ” කියලා මෙම ගාථාරත්නය වදාළා.

කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධම්මසවනං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

ඉතා දුකසේමයි කෙනෙකු හට – මිනිස් ලොව උපතක් ලැබෙන්නේ ලද මිනිස් බව සුරැකගන්නට – නොමඳ වෙහෙසක්මයි යොදන්නේ උතුම් සම්බුදු බණ අසන්නට – නිතර කෙනෙකුට නැහැ ලැබෙන්නේ කලාතුරකින්මයි ලොවේ මේ – උතුම් සම්බුදු උපත වන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒරකපත්ත්‍ර නාගරාජයා ආදි කොටැති ඒ පිරිසට දහම් දෙසනු ලැබුවා.

“මනුෂ්‍යත්වය දුර්ලභ ය. සත්ත්වයන් ගේ දිවි පැවැත්වීම දුකසේ කටයුතු ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය. බුදුවරුන්ගේ පහළ වීම දුර්ලභ යැ”යි විස්තරයෙන් දහම් වදාරනු ලැබුවා. . දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය වුනා.

කල්ප ගණනක් බලාගෙන සිටියත් එදා නාගරාජයාට භාග්‍යවතුන් වහන්සේ මුණගැහුණා කියලා පලක් වුණේ නෑ. මාර්ග ඵල ලබන්නට නොහැකි වුනා. මිනිස් ලොව ඉපිද සිටියා නම් මාර්ගඵල ලැබීමේ අවස්ථාවක් තිබුණා. නාගයෝනියෙහි ඒ අවස්ථාව නෑ. දැන් බලන්න මිනිස් ලොව විසිදහසක් අවුරුදු මහණදම් පිරූ පින මතුකරගන්න බැරිවුණේ ඉතා සුළු දෝෂය පවා සිහි කරමින් පසුතැවුණු නිසයි. මෙය අප කාටත් හොඳ පාඩමක් නේද?