අපේ බුදුහාමුදුරුවෝ 303 (සන්තිකේ නිධානය)

 

ඒරක පත්ත නා රජුගේ කථා පුවත 01

මේ ඔබ කියවන්නට යන්නේ තම සංසාරික ගමනට ඉතාමත් වැදගත් පණිවිඩයක් දෙන කතා පුවතක්. විශේෂයෙන්ම තම අතින් යම් ඇවැතක් වරදක් සිදුවුනත් එය ගැන සිත සිතා ලතවිම තමාට මෙලොව මෙන්ම පරලොවද අවැඩක් ගෙනෙන බව මෙයින් මනාවට ප්‍රකාශ වෙයි. එමනිසා තමා විසින් නොදන්නා කමින් හෝ නොදැනුවත්ව කරනු ලැබූ සියලු අකුසල් අමතක කොට කුසල්ම මෙනෙහි කරන්න. එයින් සතුටු වන්න.

පෙර කස්සප සම්මා සම්බුද්ධ ශාසනයෙහි තරුණ භික්ෂුවක් ලෙස සිටියදී ගංගාවක නැවක නැගී වඩින අතර ඒරක නම් වූ තණ පඳුරක කොළයක් අල්ලා ගත්තේ සමහරවිට සෙල්ලමට වගේ වෙන්නට ඇති. සැඩ පහර වේගයෙන් ගලන විටත් උන්වහන්සේ එය අත් හරියේ නැහැ. සැඩ පහරේ සැරට ඒරක පඳුරත් කඩාගෙන එම යාත්‍රාව දියඹෙහි ඇදී ගියා. සාසන විනයෙහි භික්ෂුවකට ගස් කැපීම තබා කොලයක් කැඩීම පවා වරදක්. පාදයෙහි පිහිටි ඇගිලිවලින් පොලව සෑරීමවත් කිරීම බරපතල වරදක්. ඉතින් විනය ගරුක වූ උන්වහන්සේ ඒ අත්වරදින් සිදු වූ ස්වල්ප මාත්‍ර වු එම ඇවත ගැන සිත සිතා ලතවෙන්නට වුනා මිසක් පොහොය කිරීමේදී එම ඇවත කමා කොට ගැනීමටවත් උත්සහවන්ත වුනේ නැහැ.

ඒ දිරඝායුෂ පැවැති කාලයක්. මෙලෙස වර්ෂ විසිදහසක් කල් අරණ්‍යයේ මහණ දම් කරද එම සිදුවීම සිතෙන් අමතක කිරීමට නොහැකි වුණා. අපවත්වන විට ඒරක පඳුරේ සිඳලීම මහ බරක් ලෙස සිතා ඇවත දෙසීමට කැමති වුවත් ඒ සඳහා අනෙක් තෙරනමක් සොයා ගැනීමටද නොහැකි වුණා. මගේ ශීලය පිරිසිදු නොවේයයි උපන් විපිළිසර සිත් ඇතිව ඉන් චුත වී ඒරක ගසක නැවක් (ඔරුවක්) පමණ නාගරාජයෙක් ව නාගයෝනියේ උපන්නා. ඔහුගේ නමද “ඒරක පත්ත” නම් වුණා. ඔහු උපන් කෙනෙහි පූර්ව ආත්මභාවය බලා මෙපමණ කලක් මහණ දම් පිරුවත් අවසානයේ අහේතුක ආත්මභාවයක මැඩියන් කන ස්ථානයක උපන්නේ යයි දුක්වෙන්නට වූනා. ඔහුට ඉක්මනින්ම මෙම මරු කතරින් නික්ම යන්නටද උවමනවද තිබ්බා. ඒත් කෝ බුදුකෙනෙක් ඒ සඳහා?

මෙහෙම යනකොට ඔහුට පසුකලෙක ලස්සන දියණියක් ලැබුනා. ඔහු ඒ මනරම් දියමත මහ පෙනය ඔසවා දුවණිය ඒ පෙනය මත තබා නටවමින් විශේෂ රැඟුමක් ද ගායනයක් ද ඇය ලවා ඉදිරිපත් කරමින් එය නරඹන ජනීජනයා හට ගීතයකින් ප්‍රශ්ණයක් ඉදිරිපත් කළා. .ඒ යම් උපායක් වශයෙන්. ඒ ගී පැනයෙන් ඇසුවේ මේ කෙලෙස් ගංගාවෙන් කෙලෙස එගොඩ වේද කියලා කෙටියෙන් කිවොතින්. ඒ කාන්තයෙන්ම එයට පිළිතුරු දෙන්න බුදු බණ අසා තියෙන්න ඕනේ. බුදුබණ අසන්නට නම් බුදු කෙනෙකු මේ මිහිතලය මත යළිත් පහල වෙන්නට ඕනේ.. “ඒකාන්තයෙන් මම මේ උපායෙන් බුදුන් උපන්විට ඔහුගේ උපන්බව අසන්නෙමි. යමෙක් මගේ ගීයට පිළිතුරු ගීයක් නිවැරදිව පවසයිද ඔහුට මහත් සැප සම්පත් සමග මේ මගේ රූපශ්‍රීයෙන් අග තැන්පත් දියණිය පාවා දෙන්නෙමි. මෙලෙස මෙම නාග රාජයා අඩ වසකට වරක් පෙහෙවස් දිනයෙහි ඒ දියණිය පෙනය මත තබාගෙන නටවමින් ඇය ලවා මෙම පැනය ගිතානුසරයෙන් මිනිසුන්ට ඉදිරිපත් කරනු ලැබුවා.

කිංසු අධිප්පති රාජා – කිංසු රාජා රජ්ජිස්සරෝ කථංසු විරජෝ හෝති – කථං බාලෝති වුච්චති

කුමක් නිසාදෝ රජු හට ‘අධිපති’ යැයි පවසන්නේ කුමක් නිසාදෝ රජු හට ‘රජිසුරු’ යැයි පවසන්නේ කෙලෙසින්දෝ ලොවේ කෙනෙක් ‘විරජ’ බවට පත්වන්නේ කෙලෙසින් සිටිනා කෙනාද ‘බාල’ නමට නිසි වන්නේ

සියලු දඹදිවවාසීන් අතර මෙය ප්‍රසිද්ධ වුණා. නාග මානවිකාව පාවා ගැනීමට හැමෝම උත්සුක වුණා. තම තමන්ගේ නැණ පමණින් පිළිතුරු ගී පද බඳිමින් ගායනා කරන්නට පටන් ගත්තා.එවිට ඇය ඒවා වැරදියි කියා ප්‍රතික්ෂේප කරන්නට වුණා. ඔය අයුරින් අඩමසක් පාසා පෙණය මත සිට ගායනා කරමින් බුද්ධාන්තර කල්පයක් ගෙවිලා ගියා.