අපේ බුදුහාමුදුරුවෝ 300 (සන්තිකේ නිධානය)

 

ප්‍රථම රහතුන් එකොළොස් දෙන අතරට පැමිණි විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති සිටු කුමාරවරු

ආයුෂ්මත් යසතෙරුන් වහන්සේට සිටි යහළුවන් අතරින් සුවිශේෂී එකම පවුලේ උපන් හොදම යහළුවෝ සතර දෙනෙක් සිටියා. එනම් බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වූ විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති, යන සතර දෙනායි. ඔවුනට “යසකුලපුත්‍රයා ඉසකේ රවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ යැ” යි අසන්නට ලැබීමට වැඩිකලක් ගියේ නැහැ. එය ඇසීමෙන් ඔවුනට “යම් සස්නෙක යස තෙමේ පැවිදි වූයේ නම්, ඒ ධර්‍මවිනය (ශාසනය) ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් පහළ වුණා. ඔහු ආයුෂ්මත් යසතෙරුන් සිටි තැනට සොයාගෙන එදිනම ගියා.. ගොස්, ආයුෂ්මත් යසතෙරුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටිය. ඉන්පසු ආයුෂ්මත් යසමහණතෙමේ ඒ ගිහි යහළුවන් සිවු දෙනා කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩම කළා. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක උන්නා. පසෙක හුන් ආයුෂ්මත් යසමහණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වු විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන මේ සිවු දෙන මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා” යි සැළ කර සිටියා. හොද මිත්‍රයෝ නිවනට යන්නෙත් තනියෙන් නොවෙයි. අනිත් යහළුවන්වත් අරගෙනමයි.

යහළුවන් සතරදෙනාට දර්මය දේශණා කිරීම

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ගේ ඉල්ලීම පරිදී ඔවුන්ටත් පිළිවෙළකථාව වදාරනු ලැබුවා. එනම් දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමයන් දුක්සහිත බව, ලාමක බව, කෙලෙසීමට හේතු වනබ,ව හා නෙක්ඛම්මයෙහි අනුසස් ද දේශණා කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සත්‍යයාවබෝධයට සුදුසු සිත් ඇතියවුන් කොට, මොළොක් සිත් ඇතියවුන් කොට, නීවරණයන්ගෙන් තොර වූ සිත් ඇතියවුන් කොට, ඔද වැඩි සිත් ඇතියවුන් කොට පහන් සිත් ඇතියවුන් කොට, එය දත් කල්හි බුදුවරයන්ගේ තමා ම උසස් වූ ධර්‍මදේශනාව වූ දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුරාර්‍ය්‍ය සත්‍යය දේශණා කරනු ලැබුවා.

යහළුවන් සොතාපත්ති ඵලයට පැමිණීම

එවිට පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් හොඳින් සායම් අල්ලාගන්නේ යම් සේ ද, එසේ ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම ‘යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොට ඇතැ” යි යන පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ග ඤාණය පහළ වුණා. ඉන්පසු ඔවුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මොනවට දෙසන ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාරනු ලැබුවා.

රහතුන් එකොලොස්නමක් ලොව පහල වීම.

ඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාවක් වුණා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැහැමි කතාවෙන් අවවාද කරනු ලැබුවා. අනුශාසනා කරනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් අවවාද කරණු ලැබූ අනුශාසනා කරණු ලැබූ ඒ භික්‍ෂූන්ගේ චිත්තයෝ තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගෙණ ආශ්‍රවයන් කෙරෙන් මිදී ගියා. එලෙස රහත්හු එකොළොස් දෙනෙක් මෙලොවට බිහිවුණා.

ආයුෂ්මත් යසතෙරුන් වහන්සේගේ ගිහි කල්හි යහළුවන් වූ බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වූ විමල සුබාහු පුණ්ණජි ගවම්පති යන සතර දෙනාට “යසකුලපුත්‍රයා ඉසකේ රවුල් බැහැර කරවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ යැ” යි අසන්නට ලැබුනා. එය ඇසීමෙන් ඔවුනට “යම් සස්නෙක යස තෙමේ පැවිදි වූයේ නම්, ඒ ධර්‍මවිනය (ශාසනය) ලාමක නො වේ. ඒ පැවිද්ද ලාමක නො වේ ය” යි සිතක් පහළ වුණා. ඔහු ආයුෂ්මත් යසතෙරුන් සිටි තැනට සොයාගෙන එදිනම ගියා.. ගොස්, ආයුෂ්මත් යසතෙරුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටිය. ඉන්පසු ආයුෂ්මත් යසමහණතෙමේ ඒ ගිහි යහළුවන් සිවු දෙනා කැඳවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩම කළා. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක උන්නා.. පසෙක හුන් ආයුෂ්මත් යසමහණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වු විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන මේ සිවු දෙන මාගේ ගිහිකල්හි යහළුවෝ ය. භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට අවවාද කරණ සේක්වා” යි සැළ කර සිටියා.

උපකාරක ග්‍රන්ථ

මහාක‍්ඛන්‍ධකං/ චතුගිහීසහායපබ‍්බජ‍්ජා