අපේ බුදුහාමුදුරුවෝ 271 (සන්තිකේ නිධානය)

 

මංගල ධර්ම දේශණය සඳහා සුදුස්සන් සෙවීම

මෙලෙස ලෝක ධර්මතාවයනට අනුව බුදුරජාණන් වහන්සේට ආරාධනය කරනු ලැබූ සහම්පතී මහා බ්‍රහ්මරාජෝත්තමයන් වහන්සේ නික්ම ගිය පසු අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් යුක්තව මෙලෙස ලොව දෙස බලන්නට විය. එය තවදුරටත් සුත්‍ර දේශනාවේ උන්වහන්සේගේ වචනයෙන්ම මෙලෙස විස්තර වෙනවා.

“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. කවරෙකුට මම මේ ධර්මය පළමුවෙන් දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරගන්නේද? මහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම අවබෝධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, ආළාරකාලාමතෙම මින් සත්දවසකට පෙර කාලක්‍රියා කළේයයි’ කීය. මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලක්‍රියා කෙළේය යන ඥානය පහළවිය.

“මහණෙනි, ඒ ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසූයේ නම් වහාම අවබෝධකරගන්නේයයි සිත් විය.

“මහණෙනි, ඒ මට මම කවරෙකුට පළමුව ධර්ම දේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කරන්නේදැයි සිත් විය. මහණෙනි, ඉක්බිති මට මේ උද්දක රාමපුත්තතෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම දැනගන්නේ යයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, උද්දකරාම පුත්ත තෙම ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේය යන ඥානය මටද පහළ විය. ඒ මට කවරෙකුට මම පළමුව ධර්මදේශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබෝධ කර ගන්නේදැයි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇතිවිය. යම් කෙනෙක් මට ප්‍රධාන වීර්ය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භික්ෂූහු මට බොහෝ උපකාරී වූහ. මම පළමුකොට පස්වග මහණුන්හට ධර්මදේශනා කරන්නෙම් නම් යෙහෙකි. මහණෙනි, ඒ මට දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස් විය. මහණෙනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භික්ෂූන් දුටුවෙමි.

“මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව්වෙහි කැමතිතාක් කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එතනට යන්නට පිටත් වුනෙමි.

උරුවේලායෙන් පිටත් වීම සහ උපක අජිවකයන් හමු වීම

 භාග්‍යවතුන් වහන්සේ කිහිප දිනක් මෙලස බෝ මැඩ අසලැ වාසය කොට, ඉන්පසු, බරණැස් නුවර බලා අටළොස් යොදුන් මහ මඟට පිළිපනු ලැබුවා. මෙසේ වඩනා උන්වහන්සේට බෝ මැඬටත් ගයාවටත් අතරෙහි දී උපක නම් ආජීවකයෙක් හමු වුණා. ඔහු බුදුරජාණන් වහන්සේ දැක පැහැදී, “ආයුෂ්මතාණෙනි, ඔබ ගේ ඇස් ආදී ඉන්ද්‍රියයෝ ඉතාම ප්‍රසන්නයි. ශරීර වර්ණය පිරිසිඳුය. ඔබ කිනම් ශාස්තෘවරයක්හු උදෙසා පැවිදි වූ ද නොහොත් ඔබ ගේ ශාස්තෘන් වහන්සේ කවරෙක් ද? කාගේ ධර්මයෙක් ඔබට රිසියෙයි දැ?” යි අසනු ලැබුවා.

එ විට ඔහුට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

“සියලු ත්‍රෛභූමක ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතුර් භූමක ධර්මයන් දැනගත්තාවූ, සියලු ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ, සියලු ත්‍රෛභූමික ධර්මයන් පහකළාවූ, නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ, මම තෙමේම චතුස්සත්‍යය අවබෝධකොටගත හෙයින් අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද?

“මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිතවූ ලෝකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශාස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මාසම්බුද්ධ වෙමි.

“අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්‍රය පැවැත් වීම සඳහා කසීරට බරණැස් නුවර බලා යමි,

එවිට උපක ආජීවකය මෙලෙස පවසනු ලැබුවා.

“ඇවැත්නි, ඔබ යම්සේ ප්‍රකාශ කෙරෙහිද එසේ නම් ඔබවහන්සේ අනන්තජින නම් වන්නට සුදුසුය.”

 බුදුපියාණන් වහන්සේ උන්වහන්සේව හඳුන්වා දුන් සැටි

“උපකය, යම් කෙනෙක් අන් අයෙකුගේ උපකාරයකින් තොරව, තමා විසින්ම නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම් වෙමි’යි දේශණා කරනු ලැබුවා.

එහෙත් ඔහු හට ඒ මොහොත වනවිටත් ධර්මාබෝධයට පින මෝරා තිබුනේ නැහැ. ඒ නිසාම බුදුරජුන් එසේ කි කල උපක නම් ආජීවකතෙම ‘ඇවැත්නි, එසේත් විය හැකියයි’ කියා හිස වනා අන් මඟකින් තමා පැමිණි අරමුණු කරා යන්නට ගියා.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය පොතෙහි උපග්‍රන්තයන්හි තවදුරටත් මෙලෙස සඳහන් වෙනවා.

බෝ මැඩටත් ගයාවටත් අතර තුන් ගව්වක් ඇතුළත දී හමු වූ බව පපංචසුදනී පාසරාසි සූත්‍ර අටුවායෙන් පෙනේ. උපක ආජීවකයා වංගහාර ජනපදයට ගොස් එහි වැදි ගමෙක, තමා අර්ධපාල නම් රහත් කෙනෙකැයි හඟවා කලක් වැස ඉක්බිති ඔවුන් කෙරේ කලකිරී බුදුරජාණන් වහන්සේ ජේතවනයෙහි වසන කල එහි ගොස් පැවිදිව විදසුන් වඩා අනාගාමි විය.

උපකාරක ග්‍රන්ථ

මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » ඔපම්මවග්ගය » අරියපරියෙසන සූත්‍රය,

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය

error: Content is protected !!