අපේ බුදුහාමුදුරුවෝ 267 (සන්තිකේ නිධානය)

 

සත්සතිය 05 -06

මංගල ධර්ම දේශණය නොවූ ප්‍රථම දේශණය සහ බුදුරජාණන් වහන්සේට එල්ල වූ ප්‍රථම චෝදනාව

බදුරජාණන් වහන්සේ තව දුරටත් උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වාසය කරමින් සිටියා.

උරුවෙලාවෙහි නමෙහි නමෙහි අර්ථය

උරුවෙලා යනු මහාතලයයි, මහවැලිගොඩය යන අර්ථයයි, නැතහොත් උරු යනු වැලියයි කියනු ලබනවා. වෙලා යනු සීමාවයි, ඉවුර ඉක්මවා යන හේතුවෙන් ගෙනෙන ලද වැලි උරුවෙලායි යනුවෙන්ද හැඳින්වෙනවා. අතීතයෙහි බුදුන් නූපන් කල්හි කුලපුත්‍රයෝ දසදහසක් තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පෙදෙසෙහි වාසය කලා. ඔවුන් දවසක රැස්වී කතිකාවතක් කළා. “කායකර්ම, වාකර්මයෝ නම් අන්‍යයන්ටද ප්‍රකට වෙත්. මනෝ කර්මය වනාහි අප්‍රකටය. එබැවින් යමෙක් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා, විතර්කයක් හෝ විතර්කනය කරයිද හෙතෙම එහි පාත්‍රගාටුවෙන් වැලි ගෙනවුත් විසුරුවිය යුතුයි.” මෙසේ එම පිළිවෙත අනුගමනය කිරීමෙන් පසුකලෙක එහි පිළිවෙලින් මහවැලි ගොඩක් බවට පත්වුණා. ඉන්පසු පැසුළු ජනතාව එය වටකොට චෛත්‍ය ස්ථානයක් කරනු ලැබුවා. ඒ උදෙසා එම ස්ථානයට උරුවෙලායයි කියනු ලැබුවා. මෙසේ ඉවුර ඉක්මවා ගෙනෙන ලද වැලි උරුවෙලායි යනුවෙන්ද හැඳින්වූවා.

බුදුරජාණන් වහන්සේ බුදුවුන අලුත උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වාසය කරන අතර තුර වූ විශේෂ සිද්ධියක් මෙලස බුද්‍ධාපචායන සූත්‍රයෙහි විස්තර කරනවා. එම සූත්‍රයද ද අට්ඨ කතාවද කියවා බලා මෙය පස්වෙනි සතියේම සිදුවූ සිදුවීමක් බව තහවුරු කර ගත්තා පමණක් නෙවෙයි බුද්ධත්වයෙන් පසු දේශණා කරනු ලබන ප්‍රථම මංගල දේශණාව වන චතුරාර්‍ය සත්‍ය දේශණාව නොවූ තවත් දේශනාවක් පිළිබඳව දැනගැනීමට ලැබුණා . එම සිදුවීම මේ ආකාරයට බුද්‍ධාපචායන සූත්‍ර දේශනාව අනුසාරයෙන් බුද්ධ වචනයෙන්ම මෙලෙස සඳහන් කරනවා.

’’මහණෙනි, එක්තරා කාලයෙක්හි මම බුදුවූ අලුත, උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වසමි. මහණෙනි, එකල්හි, දිරූ, වෘද්‍ධවූ, මහථවූ, කල්ගිය වයසට පැමිණි බොහෝ බ්‍රාහ්මණයෝ මම යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ මා සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාකොට නිමවා එකත් පසෙක සිටියාහුය.

’’මහණෙනි, එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණයෝ, ’භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි, බමුණන් නොවඳියි කියාද, උපස්ථාන නොකරයි කියාද, අසුනින් නිමන්ත්‍රණ (හිඳීමට කීම) නොකෙරෙයි කියාද, යන මෙය අප විසින් අසන ලදී. භවත් ගෞතමයන් වහන්ස, එය එසේමද? භවත් ගෞතමයන් වහන්සේ, දිරූ, වෘද්‍ධවූ, මහථ, කල්ගිය, වයසට පැමිණි බමුණන්ට නොවඳින්නේද, උපස්ථාන නොකෙරේද, අසුනින් නිමන්ත්‍රණය නොකරයිද, භවත් ගෞතමයන් වහන්ස, එය නුසුදුසුය.’’

වැඩිමහලු වුවත් ගෞරවයට පාත්‍රනොවන අඳබාල ස්ථවිරයන්

’’මහණෙනි, ඒ මට මේ ආයුෂ්මත්හු ස්ථවිරයන් හෝ (වැඩිමහල්ලා) ස්ථවිර බවට පත්කරණ ධර්මයෝ නොදනිති. මහණෙනි, ඉදින් උත්පත්තියෙන් අසූ වයස්වූ හෝ අනූ වයස්වූ හෝ වර්‍ෂ සියයක්වූ හෝ වෘද්ධයෙක් වේද, හෙතෙම නොකල්හි කියන්නේ වේද, නොවූවත් කියන්නේද, අනර්ත්‍ථයෙන් කියන්නේද, අධර්මයෙන් කියන්නේද, නොහික්මීමෙන් කියන්නේ වේද, හෘදයෙහි තබා නෙගත යුතු වචනය කියන්නේද, කරුණු සහිතව නොකියන්නේද, සීමා නොදක්වා කියන්නේද, ලෞකික, ලෝකොත්තර අර්ත්‍ථය නැතිව කියන්නේද, හුදෙක් ඔහු අන්‍ධබාල ස්ථවිරයෙකි යන සංඛ්‍යාවටම පැමිණෙයි.

තරුණ වුවත් වැඩිමහලෙකු ලෙසින් ගෞරවයට පාත්‍රවන පණ්ඩිත ස්ථවිරයන්

’’මහණෙනි, ඉදින් තරුණවූ, ලපටිවූ, කථ කෙස් ඇති, යහපත් යෞවනයෙන් යුක්ත, පළමුවෙනි වයසෙහි සිටි බාලයෙක් වේද, හෙතෙම සුදුසු කාලයෙහි කියයිද, අර්ත්‍ථයෙන් කියයිද, ධර්මයෙන් කියයිද, විනයෙන් කියයිද, සුදුසු කාලයෙන් කරුණු සහිතව කියයිද, සීමා දක්වා කියයිද, අර්ත්‍ථ සහිතව කියයිද, හෘදයෙහි තැන්පත් කර ගත යුතු වචන කියයිද, හුදෙක් හෙතෙම පණ්ඩිත ස්ථවිරයෙකි යන සංඛ්‍යාවට යයි.

ඔවුනට ලැජ්ජා හිතෙන්නටත් ඇති. ඔවුන් සියලූම දෙනා නිහඬව තව දුරටත් අසා සිටියා.

උපකාරක ග්‍රන්ථ

අඞ්ගුත්තරනිකාය »චතුක්කකනිපාතපාළි » බුද්‍ධාපචායන සූත්‍රය

error: Content is protected !!