අපේ බුදුහාමුදුරුවෝ 26

 

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 09

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ ඌර්ණ රෝමකූප ධාතුව

විජිතාවී සක්විති රජ තුමා ගැන බොහෝ විස්තර මට ත්‍රිපිටකයේ හමුවුනේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ අනෙකුත් සක්විති රජවරුන් ගැන ලියලා තියෙන පොදු කරුණු බොහෝ තැන් වලින් උපුටා ගත්තා. ඒ දීඝනිකාය » මහාවග්ගපාළි » මහා සුදස්සන සූත්‍රය, ඒ වගේම දීඝනිකාය » පාථිකවග්ගපාළි » චක්කවත්ති සීහනාද සූත්‍රය සහ එහි අටුවාවන් ඒ වගේම බුද්ධවංශ අට්ඨකතාව යන ග්‍රන්ථ වලින්. ඔබට මා ලීවාට වඩා ඉතාමත් රසවත් විස්තර මේ සුත්‍ර කියවීමෙන් ලබාගන්න පුළුවන්.

සක්විති කිරුළ කියන්නේ මේ පෘථිවි තලයේ ලෞව්කික මිනිසෙකුට පැමිණිය හැකි ඉහළම කිරුළ විතරක් නෙවෙයි පෘථිවි තලය මත ලැබිය හැකි උපරිම සැප වගේම බලය ලබන පදවිය. ඒ වගේම පෘථිවි තලය මත ලැබිය හැකි ඉහළම ලෝකෝත්තර කිරුළ තමයි බුද්ධත්වය. මේ පදවි යුගලයම ලැබෙන්නේ උත්තරීතර මනුෂ්‍යරත්නයකට. ඒ නිසාම උපතේදීම මෙවන් උත්තරීතර මනුශ්‍යරත්නයකට පිහිටන විශේෂ දේහලක්ෂණ තිස්දෙකක් වෙනවා. ඒවා දේහ ලක්ෂණ විද්‍යාවේදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වශයෙන් හඳුන්වනවා.

බුදුවරයෙකුට හා සමානවම සක්විති රජතුමෙකුටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක හා සමානව පිහිටනවා. එහෙත් එකම එක වෙනසක් තියනවා. ඒ දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස නොහොත් ඌර්ණ රෝම කූපයයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත් දිළෙන රිදී බුබුළක් මෙන් රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියනවා.

එමෙන්ම එය යම් තැන්වල භුරිදත්ත නාගරාජයා තුඹස මත දරණ ලා සිටින ආකාරය ට සමාන කරන අතර නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන් බබළන බව වර්ණනා කරයි. මේ සියල්ල බුදුහාමුදුරුවන්ට පිහිටි ඌර්ණ රෝම කූපයේ ලක්ෂණයි. එහෙත් සක්විති රජතුමාගේ මේ රෝමකූපය රත්රන් පාටින් යුක්ත වෙනවා වගේම එය වමට කැරකී අග කොටස පහතට බර වී තිබෙනවා. එය පමණයි ඇති එකම වෙනස.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කරනවා නම් එය සතර අකාරයකට විස්තර කරන්න ඕනේ  ඒ මේ ආකාරයට

  1. ඒ එක් එක් මහා පුරුෂ ලක්ෂණ සඳහා කර තිබු කුසල කර්මය.
  2. ඒ මහා පුරුෂ ලක්ෂණයට උපමාව
  3. මහා රූප ලක්ෂණය
  4. එහි වර්තමාන ආනිසංස

දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් මම ලියන්නේ නැහැ. එය පහසුවෙන්ම සොයාගත හැකි නිසා.
අප මහා කරුණිකයාණන් වහන්සේට අද වගේම එදාත් ඒ මහා දෙතිස්පුරුෂ ලක්ෂණ තිබුනා.
ඒ වගේම සක්විති රජකෙනෙකුට පමණක් විශේෂ වූ ඍද්ධි සතරක් තියනවා කියලා මහා සුදස්සන සුත්‍රයේ කියනවා. එය මෙලෙසයි.

සක්විති රජුන්ගේ සතර ඍද්ධි

  1. සක්විති රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප සොභා ඇති දැකීමට ප්‍රියවූ සතුට ගෙනදෙන්නාවූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත වෙනවා.
  2. රජු සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත්වන්නෙක් වෙනවා වගේම දීර්ඝායු ඇත්තෙක් වනවා.
  3. සක්විති රජු අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් වනවා. . රොග අඩු කෙනෙක් විය. ඉතා මඳද නොවූ වැඩිද නොවූ, සමව ආහාර දිරවන ගින්නෙන් යුක්ත වනවා.
  4. එලෙසම සියලු රටවැසියන්ට වගේම ගෘහපතීන්ටද බ්‍රාහ්මණ ගෘහපතීනටද ප්‍රියවනවා, මනාපවනවා. හරියටම යම්සේ පුත්‍රයන්ට පියා ප්‍රියවේද, මනාප වේද එමෙන්ම සක්විති රජද ගෘහපතින්ටද, බ්‍රාහ්මණ ගෘහපතීන්ට ප්‍රියවනවා. මනාපවනවා. ඒ නිසාම රජතුමා අශ්වරථයේ නැග වීථි සංචාරය කරන අවස්ථාවේ සෙමින් රථය පදවන ලෙස ඔවුන් වැඳ වැටි ඉල්ලා සිටිනවා. ඒ වෙනකක් නිසා නෙවෙයි වැඩි වෙලාවක් දැක ගැනීමට. අප මහා බෝසතාණන් වහන්සේද මේ මහා සතර වැදෑරුම් ඍද්ධියෙන් යුක්ත වුනා.

මේ සියල්ලම සඳහන් කලේ සක්විති කිරුළත් එහි පාරිශුද්ධ භාවයත් එහි අසම සම බලයත් එහෙත් අවසානයේදී ඔබ අප වෙනුවෙන් ලොවෙහි ඒ ශ්‍රේෂ්ඨ වූ කිරුළද බෝසත්වරයන් විසින් අතහරින බව පැවසීමටය.

 
error: Content is protected !!