අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)249
දශබලඥාන
අසිරිමත් බුදුගුණ වරුණ 43
සවන තථාගත බලය
සත්වයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියන් දියුණු වුණු නුවුණු බව දන්නා නුවණ. 01
‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති, යම්’ පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’
මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් මෝරා ඇති බව හා නැති බව දැනෙන්නා වු ඉන්ද්‍රිය පරෝපරියත්තඤාණය එක් තථාගත බලයක් බව ය. ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ ඒ සත්වයෝ නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන් ගේ ඉන්ද්‍රිය තත්ත්වය සලකා බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක. එසේ දැන කරන ධර්ම දේශනය සර්වාකාරයෙන්ම සාර්ථක වේ. පුද්ගල තත්ත්වය නො දැන දහම් දෙසන්නවුන් ගේ දේශනා සාර්ථක වන්නේ කලාතුරකිනි. විඟඬ්ගපාළියෙහි මේ ඥානය විස්තර කර ඇත්තේ:-
‘ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුචිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.’
යනුවෙනි ‘තථාගත තෙමේ සත්ත්වයන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිත දනිති, අධිමුක්ති දනිති. නුවණැසෙහි මඳ රාගාදි රජස් ඇත්තා වූ ද, නුවණැසෙහි බොහෝ රාගාදි රජස් ඇත්තා වූ ද, තියුණු ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, නො තියුණු ශ්‍රාඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් ආශයාදිය ඇත්තා වු ද, නොමනා ආශයාදිය ඇත්තා වූ ද, ධර්මය තේරුම කර දීම පහසු වූ ද, ධර්මය තේරුම කර දීම අපහසු වූ ද, මඟ පල ලැබීමට භව්‍ය වු ද, මඟ පල ලැබීමට අභව්‍ය වු ද සත්ත්වයන් දනිති’ ය යනු එහි තේරුම ය. අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශයාදිය දන්නා නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය බව එයින් දක්වන ලදී.
ආශය යනු වාසය කරන ස්ථානය ය. යමෙක් යම්කිසි කරුණක් මෙය මෙසේමය යි තදින් පිළිගෙන එය ම මූලකාරණය කරගෙන එහි පිහිටා කටයුතු කෙරේ නම්, ඒ කරුණත් වාසස්ථානයකට සමාන වන බැවින් එයට ද ආශයයි කියනු ලැබේ. ‘සත්තානං ආසයං පජානාති’ මෙහි ආශය නමින් කියැවෙන්නේ එබඳු කරුණු ය. මිථ්‍යාදෘෂ්ටිය හා යථාභූතඥාන නම් වු සම්‍යක්දෘෂ්ටිය එබඳු කරුණූ දෙකකි. මෙහි ආශය නමින් කියනුයේ ඒ ධර්ම දෙකය.
ලෝකයෙහි ඇතමෙක් ආත්මය නිත්‍ය දෙයකැයි ගනිති. ඇතැමෙක් ආත්මය ශරීරය සමඟම නැසෙන අනිත්‍ය දෙයකැ යි ගනිති. ඇතමෙක් ආත්මය පර්‍ය්‍යන්තයක් නැති විශාල දෙයකැයි ගනිති. ඇතෙමෙක් පර්‍ය්‍යන්ත පරිච්ජේදය ඇතියකැයි ගනිති. ඇතැමෙක් ශරිරය ආත්මය යන දෙක ම එකකැ යි ගනිති. ඇතමෙක් ශරීරය ආත්මය යන දෙක දෙකකැ යි ගනිති. ඇතමෙක් ආත්මය මරණින් පසුද ආත්මය නිරෝගීව ඇතැය යි ගනිති. ඇතැමෙක් මරණින් පසු ආත්මයක් ඉතිරි නො වෙතැයි ගනිති. ඇතමෙක් මරණින් මතු ඇතැමුන්ගේ ආත්ම ඇත, ඇතැමුන්ගේ ආත්ම නැතය යි ගනිති. ඇතැමෙක් මරණින් මතු ආත්මයක් ඇත්තේ ද නො වේ නැත්තේ ද නොවේ යයි ගනිති. මරණින් මතු ආත්මය ඇතය යි ගැනීම ශාශ්වත දෘෂ්ටි නම් වේ. ආත්මය මරණින් සිඳේය නැතිවේ ය කියා ගැනීම උච්ජේද දෘෂ්ටි නම් වේ. ශාස්වත දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ ශාශ්වත දෘෂ්ටිය මුල් කර ගෙන ය. උච්ජේද දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ උච්ජේද දෘෂ්ටිය මුල් කර ගෙන ය. එබැවින් ඒ දෘෂ්ටි දෙක ඔවුනට වාසස්ථානයක් බඳු වන බැවින් ආශය නම් වේ.
ලෝකයෙහි ඇතමෙක් සත්පුරුෂාශ්‍රය ලැබ සද්ධර්මශ්‍රවණය කොට ශාශ්වතෝච්ජේද සංඛ්‍යාත දෘෂ්ටි දෙකට නො බැස අවිද්‍යා දී හේතුන්ගේ හා සංස්කාරාදි ඵලයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්නා වු අනුලෝමිකක්ෂාන්තිය යි කියනු ලබන විදර්ශනා ඥානය ලැබ ඒ විදර්ශනා ඥානය අනුව එහි පිහිටා ක්‍රියා කෙරෙති. ඇතමෙක් යථාභූතඥාන නම් වු මාර්ගඥානය ලැබ එහි පිහිටා එයට අනුව ක්‍රියා කෙරෙති. එබැවින් විදර්ශනාඥානය හා මාර්ගඥානය ද ආශය නම් වේ. ශාශ්වතෝච්ජේද දෘෂ්ටි දෙක ලාමක සත්වයාගේ ආශය ය. අනුලෝමිකක්ෂාන්තිය හා මාර්ගඥානය ශුද්ධ සත්වයන්ගේ ආශය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන්ගේ ආශය දැන ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක.
ශාශ්වතදෘෂ්ට්‍යාදිය ආශය කොට ඇත්තා වූ පුද්ගලයන් තුළ ඒ දෘෂ්ට්‍යාදිය නිරතුරු ව පවත්නේ නොවේ. පුද්ගලයා අන් සිතකින් අන්‍යක්‍රියාවක යෙදී ඉන්නා අවස්ථාවේදී ද තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයා ගේ ආශය දන්නා හ. එබැවින් තමන් වහන්සේ වෙත පැම්ණෙන කා හටත් ඔවුන්ගේ ආශය බලා සුදුසු සේ දසම් දෙසීම තථාගතයන් වහන්සේට කළ හැකිය. ධනය රැස් කර ගෙන අඹුදරුවන් ඇති කරගෙන පස් කම් සැප විඳිමින් එහි ඇලී ගැළී සිටින ඇතැම්හු නෛෂ්ක්‍රම්‍යගරුකයෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇත්තෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය යනු කාමයන් හැර දැමීමේ අදහස ය. තථාගතයන් වහන්සේ එ බව දනිති. ඒ බව දැන ඔවුනට සුදුසු ධර්මයක් දේශනය කළ කල්හි ඔවුන් කෙරෙහි යටපත් වී ඇති නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය මතු වී අවුත් මඟපල ලබති. ඇතැමෙක් පැවිදි වෙති.
තථාගතයන් වහන්සේ බුදු වු අලූත ලෝකයෙහි රහතුන් සැටඑක් නමක් ඇති වූ පසු ඒ රහතුන් ලෝකයේහි ධර්මය පැතිරවීම සඳහා පිටත් කර යවා උරුවෙල් දනවුවට වැඩම කරන සේක්, අතරමග එක් වනයක පිවිස ගසක් මුල වැඩහුන් සේක. එදින භද්‍රවර්ගික නම් කුමාරවරු තිස් දෙනෙක් ද කම් සැපයෙන් විනෝදය ලබනු රිසියෙන් ස්ත්‍රීන් ද කැඳවා ගෙන ඒ වනයට පැමිණ සිටියෝ ය. බිරියක් නැති කුමරෙකු විසින් එදා කැඳවාගෙන ආ ගණිකාවක් ඔවුන්ගේ බඩු ද ගෙන පලා ගියාය. කුමාරයෝ ඇය සොයමින් වනයෙහි ඇවිදිනාහු තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ වෙත ගොස් ‘ස්වාමීනි, ස්ත්‍රියක් දුටුසේක් දැ’ යි විචාළහ. ‘කුමාරවරුනි, තෙපි කුමට ස්ත්‍රියක් සොයන්නහුදැ’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමීනි, අපගේ එක් යහළුවෙක් ඔහුට බිරියක් නැති බැවින් ගණිකාවක් කැඳවා ගෙන ආවේ ය. ඕ අපගේ ප්‍රමාදයක් බලා බඩුත් ගෙන පළා ගියා ය. අප යහළුවාට උපකාර පිණිස ඇය සොයමින් ඇවිදින්නෙමු’ යි ඔවුහු කීහ. එකල්හි තථාගතයන් වහන්සේ ‘කුමාරවරුනි, තොපට ගැහැනියක සොයමින් ඇවිදිනවාට වඩා තමන් ගැන සෙවීම නරකදැ’ යි වදාළහ. ‘ස්වාමීනි අපට තමන් ගැන සෙවීම නම් වඩා හොඳය’ යි ඔවුහු කී හ. ‘එසේ නම් කුමාරවරුනි, හිඳිගනිව් තොපට දහම් දෙසමි’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුහු තථාගතයන් වහන්සේ වැඳ දහම් අසනු පිණිස හිඳගත්තෝ ය. අන් ධර්මධරයෙක් නම් කාමයෙන් මත්ව මෙසේ වනයෙහි සල්ලාල කමින් ඇවිදිමින් සිටින ඒ පිරිසිට කාමායෙන් ඈත්ව වෙසෙන උදාර අදහස් ඇතියන්ටම සුදුසු වන කෙලෙසුන්ට විරුද්ධ වන මේ ධර්මය දේශනය නො කරන්නේ ය. ඔවුන් විසින් දහම් දෙසන්නට ආරාධනා කළ ද ඔවුහු දහම් දෙසීමට සුදුසු පිරිසක් නො වෙති යි’ සිතා දහම් නො දෙසන්නාහ. තථාගතයන් වහන්සේට ඔවුන් තුළ ඇති නෛෂ්ක්‍රම්‍ය ගරුකත්වය නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය පෙනෙන බැවින් ඔවුනට දහම් දෙසූ සේක, දහම් ඇසුවා වූ ඔවුනට ඒ ධර්මය අවබෝධ වී සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත ධර්මචක්ෂුස පහළ වී සැම දෙනම තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
මජ්ඣිමනිකාය » මූලපණ්ණාසපාළි » සීහනාදවග්ගො » මහා සීහනාද සූත්‍රය
අඞ්ගුත්තරනිකාය » දසකනිපාතපාළි » මහාවග්ගො » දසබල සූත්‍රය
සංයුත්තනිකාය » නිදානවග්ගපාළි » නිදානසංයුත්තං » දසබලවග්ගො » දසබල සූත්‍රය
විභංගප්ප්‍රකරණයේ ඤාණවිභංගය හා එහි අටුවාව,
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේගේ සුවිසි මහා ගුණය ග්‍රන්ථය