අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)228

 

ෂට් අසාධාරණ ඤාණ 07

අසිරිමත් බුදුගුණ වරුණ 22

 

03 යමක ප්‍රාතිහාර්ය ඤාණය.

හැඳින්වීම

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසාධාරණ ඤාණ හය අතරින් තුන්වන ඤාණය, යමක මහා ප්‍රාතිහාර්ය ඤාණයයි. ප්‍රතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප්‍රතිහාර්ය ඥානය ලෙස හඳුන්වනව. මෙය සම්මා බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබිය හැකි සුවිශේෂී ඥානයන්ගෙන් එකක්. අතිශය දුෂ්කර කාර්යයක් වන යමක ප්‍රතිහාර්ය පෑම රහතන් වහන්සේලාට අර්හත්වයේ අනුහසින් කළ නොහැකිය. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප්‍රතිහාර්ය පෑමට අසමත් වනවා.

යමක ප්‍රාතිහාර්ය පෑමට හේතු.

ඒ යමක ප්‍රාතිහාර්ය ඤාණයෙන් සර්වඥයන් වහන්සේ ලොවට යමාමහ පෙළහර පා වදාළ අවස්ථා කිහිපයක් තිඛෙනවා. ඒ යමාමහ පෙළහර පෑමෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගල සන්තානවල ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් අවදි කරවලා, ඒමඟින් චිත්ත ප්‍රසාදය ඇති කරවලා චිත්ත සමාධියත්, විපස්සනා ඤාණයන් පහළ කරවමින් මාර්ගඵල නිවන් අවබෝධ කරවා දීමයි.

යමක ප්‍රාතිහාර්ය පෑ අවස්ථා ගණන

මේ විදියේ ප්‍රාතිහාර්යන් පෑවේ අවස්ථා පහකදී පමණක් බව සඳහන් වනවා. එයින් අවස්ථා තුනක් ජීවමාන කාලයේදීත් අවස්ථා දෙකක් පිරිනිවීමෙන් පසු බවත් සඳහන්. පරිනිර්වාණයෙන් පසු අවස්ථා දෙක සිදුවුනේ ශ්‍රි ලංකාව තුල. බුද්ධ අධිෂ්ඨාන බලයෙන් ථූපාරාම චෛත්‍යය රාජයාණන් වහන්සේ තුළ දකුණු අකුධාතුන් වහන්සේ නිදන් කරන උත්සවයේ දී ඒ ධාතූන් වහන්සේ අහසට පැන නැඟී යමාමහ පෙළහර පෑම සිද්ධ වුනා.

නැවත රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ තුල ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කරන උත්සවයේ දී, එලෙසින් ම නිර්මිත බුදුරුවක් මැවී මේ  සක්වළ ටම පෙනෙන හැටියට යමාමහ පෙළහර පෑම සිද්ධ වුනා. ඒ අතුරින් ථූපාරාම චෛත්‍යයේ පැවැත්වූ ප්‍රතිහාර්යයෙන් සිංහල කුල දරුවෝ තිස් දාහක් දෙනා පැවිදි වී සිව්පිළිසිඹියා ඤාණලාභීව අරහත්වයට පත් වුනා.

රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතූ නිධාන දවසේ දී, දැක්වූ ප්‍රතිහාර්ය දැකල දෙවියන්, බ‍්‍රහ්මයන්, මනුෂ්‍යයන් අතුරින් දොළොස් කෝටියක් දෙනා සිව්පිළිසිඹියා ඤාණලාභීව අරහත්වයට පත්වුණා.

ඒ විදියේ යමක මහාප්‍රාතිහාර්ය පළමුවෙන් ම පවත්වා වදාළේ ලොවට ධර්මානුසාසනා කරන්නට හෝ ධර්මාවබෝධ කරවන්න නෙවෙයි. දෙවියන්ගේ සැක දුරුකරන්ටයි. ඒ තමයි බෝධිමූලයේ දී බුදුවීමෙන් දෙවන සතිය අන්තයේ බුදුවීමෙන් 14 වන දවසේ දී බෝධීමූලයේ දී යමාමහ පෙළහර පා වදාළ අවස්ථාව. එයට හේතුව වූයේ, පළමුවන සතියේ පර්යංකය නොලිහා නිවන් සැපම විඳිමින් වැඩහිටිය. බෝධිමූලයේ දී, වජිරාසනයේ දී දෙවන සතියේ දී කළගුණ සැලකීම් ශීර්ෂයෙන් ඒ වජිරාසනයෙන් බිමට වැඩම කරලා බෝධීන් වහන්සේටත්, වජිරාසනයටත්, අනිමිස ලෝචන පූජාවෙන් පූජා කළා දින හතක් ම. මෙය දුටුවා වූ දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද සිතුවා, සිද්ධාර්ථයන් වහන්සේගේ අභිප්‍රාය තාම සඵල වෙලා නෑ නේද කියලා. මේ බෝධීන් වහන්සේ දිහාවෙත් වජිරාසනය දිහාවෙත් බලාගෙන ඉන්නේ ඒ නිසා නේද කියලා සැක හිතුවා. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල දකින්න බැහැනේ. තවමත් බුදුවෙලා නැහැ කියලයි ඔවුන් හිතුවේ. ඒ නිසා ඔවුන්ගේ සැකය දැනගත් තථාගතයන් වහන්සේ, 14 වන දවසේ දී බෝධීන් වහන්සේට ඉහළින් අහසට පැන නැඟී, රුවන් සක්මනක් මවා, යමාමහ පෙළහර පා වදාළා. එයින් මේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සැකය දුරු වී සර්වඥයන් වහන්සේ බුදුබවට පත් වුනා නේද කියලා සියල්ලෝම පිළිගත්තා.

දෙවෙනි වරට යමාමහ පෙළහර පෑම සිද්ධ වුණේ ඤාති සමාගමේ දී. ඒ කියන්නේ කාළුදායි ̃ මහ රහතන් වහන්සේගේ මාර්ග වර්ණනාවන් අනුව, සුදොවුන් මහරජතුමාණන්ගේ ආරාධනය නිසා, රජගහනුවර වේළුවනාරාමයේ සිට විසිදහසක් මහ රහතන් වහන්සේලා සමඟ කපිලවස්තු නුවරට වැඩම කරන්න පටන් ගත්තේ මැදින් මස පුරපසළොස්වක පොහෝ දවසේ. දවස් හැටකින් එම ස්ථානයට වැඩියා. එම ස්ථානයේ මවුපස ඤාතීන් අසූදහසක්, පියපස ඤාතීන් අසූදහසක් පිරිස විශාල ජනසමූහයක් එක්කාසු වී සිටියා නිග්‍රෝධාරාමයට. ඛේමක ̃ කියන ශාක්‍ය රජතුමාගේ නිග්‍රෝධ ̃ කියන උයන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට එදා සඟසතු කොට පූජා කළා. ඈත අතීතයේ පහළ වූ සර්වඥයන් වහන්සේලා ඤාති සමාගමේ දී ඤාතීන්හට බුදුමහිමය දක්වනු පිණිස යමාමහ පෙළහර පෑම සිදුකර ඇති බව දැනගත් තථාගතයන් වහන්සේ ද, අහසට පැන නැඟී රුවන් සක්මනක් මවා, නිර්මිත බුදුරුවක් මවා, සවනක් ඝන බුදුරැස් විහිදුවමින්, ප්‍රශ්නෝතර සාකච්ඡාවක් ද කරමින්, ඉරියව් මාරුකරමින්, ශ්‍රී ශරීරයෙන් ගිනිකඳ, ජලකඳ නිකුත් කරමින් යමාමහ පෙළහර සිද්ධ කළා. වෙස්සන්තර ජාතකය ද, එදා දේශනා කළා. මහපොළොව ද කම්පා වුනා. පොකුරු වැසි වැස්සා. එදා දිනයේ දී කෝටි ලක්ෂයක්, දෙවියන් රහත් වුනා. අසංඛෙය්‍ය අසංඛෙය්‍ය බැගින් පිරිස සෝවාන් වුනා. සකදාගාමි වුනා. මේ තමයි දෙවෙනි යමාමහ පෙළහර පෑමේ අවස්ථාව. මේ ඤාති සමාගමේ දී යමාමහ පෙළහර පෑම සිය ̈ සර්වඥයන් වහන්සේලාගේ ධර්මතාවක්, චාරිත්‍රයක්.

තුන්වැනි යමාමහ ප්‍රාතිහාර්ය සිදුවුණේ බුදුවීමෙන් හත්වැනි අවුරුද්දේ ඇසළ පුර පසළොස්වක පොහෝ දවසේ. මේ තමයි තීර්ථක මාන මර්දනය සඳහා පා වදාළ ප්‍රාතිහාර්ය. මෙයත් සියලුම සර්වඥයන් වහන්සේලා පවත්වනු ලබන ප්‍රාතිහාර්යයක්. ඒ කියන්නේ සියලූම සර්වඥයන් වහන්සේලා බුද්ධත්වයෙන් හත්වන වර්ෂයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දවසේ, තව්තිසා භවනට වැඩම කරනවා තෙමසක් අභිධර්ම දේශනය සඳහා. සමහර බුද්ධ ශාසන කාලයන්හි දී තීර්ථකයන් ඇත්තේම නැහැ. නමුත් අර චාරිත්‍රය සම්පූර් ණ වනු පිණිස සියලූම සර්වඥයන් වහන්සේලා ඒ දවසේ දී යමාමහ පෙළහර පවත්වලයි තව්තිසාවට වැඩම කරන්නේ.

කුමක් නම් තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය වේද? මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට අසාධාරණවූ යමක ප්‍රාතිහාර්ය දක්වයි.

උඩුකයින් ගිනිකඳ පවතියි. යටිකයින් දිය දහර පවතියි. යටිකයින් ගිනිකඳ පවතියි. උඩුකයින් දිය දහර පවතියි.

පෙර කයින් ගිනිකඳ පවතියි. පසුකයින් දිය දහර පවතියි. පසු කයින් ගිනිකඳ පවතියි. පෙර කයින් ගිනිකඳ පවතියි.

දකුණු ඇසින් ගිනිකඳ පවතියි. වම් ඇසින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පවතියි. දකුණු ඇසින් ගිනිකඳ පවතියි.

දකුණු කණින් ගිනිකඳ පවතියි. වම් කණින් දිය දහර පවතියි. වම් කණින් ගිනිකඳ පවතියි දකුණු කණින් දිය දහර පවතියි.

දකුණු නාස් පුඩුවෙන් ගිනි කඳ පවතියි. වම්නාස් පුඩුවෙන් දිය දහර පවතියි. වම් නාස් පුඩුවෙන් ගිනිකඳ පවතියි. දකුණු නාස් පුඩුවෙන් දිය දහර පවතියි. දකුණු උරහිසින් ගිනිකඳ පවතියි. වම් උරහිසින් දියදහර පවතියි. වම් උරහිසින් ගිනිකඳ පවතියි. දකුණු උරහිසින් දියකඳ පවතියි.

දකුණු අතින් ගිනිකඳ පවතියි. වම් අතින් දියකඳ පවතියි. වම් අතින් ගිනිකඳ පවතියි. දකුණු අතින් දියදහර පවතියි.

දකුණු අංසයෙන් ගිනිකඳ පවතියි. වම් අංසයෙන් දිය දහර පවතියි. වම් අංසයෙන් ගිනිකඳ පවතියි. දකුණු අංසයෙන් දිය දහර පවතියි.

දකුණු පාදයෙන් ගිනිකඳ පවතියි. වම් පාදයෙන් දිය දහර පවතියි වම් පාදයෙන් ගිනිකඳ පවතියි. දකුණු පාදයෙන් දිය දහර පවතියි.

ඇඟිල්ලකින් ඇඟිල්ලකින් ගිනිකඳ පවතියි. ඇඟිලි අතරින් දිය දහර පවතියි. ඇඟිලි අතරින් ගිනිකඳ පවතියි. ඇඟිල්ලකින් ඇඟිල්ලකින් දිය දහර පවතියි. එක් එක් රෝමයකින් ගිනිකඳ පවතියි. එක් එක් රෝමයකින් දිය කඳ පවතියි. රෝම කූපයකින් රෝම කූපයකින් ගිනිකඳ පවතියි රෝම කූපයකින් රෝම කූපයකින් දිය දහර පවතියි.

ඒ අවස්ථාවේ සකල ශරීරයෙන් නීල පීත ලොහිත ඔදාත මංජ්‍යෙෂ්ට ප්‍රභාස්වර යන සවණක් රැස් පවතියි.

ඉන් අනතුරුව නිර්මිත බුදුරුවක් මවා භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරනසේක. නිර්මිත බුදුරජතෙම සිටින්නේ හෝ හිඳින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනසේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ හිඳින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනසේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ සිටින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සයනය කරන සේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ සිටින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. නිර්මිත බුදුරජ තෙම සක්මන් කරයි. භාග්‍යවතුන් වහන්සේ සිටිනසේක් හෝ වැඩහිඳිනසේක් හෝ සයනය කරනසේක් හෝ වෙති. නිර්මිත බුදු රජතෙම සිටින්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරණසේක් හෝ වැඩහිඳිනේ හෝ සයනය කරණසේක් හෝ වෙති. නිර්මිත බුදුරජ තෙම හිඳින්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරණසේක් හෝ සිටිනසේක් හෝ සයනය කරණසේක් හෝ වෙති. නිර්මිත බුදුරජතෙම සයනය කරන්නේ වෙයි. භාග්‍ය වතුන්වහන්සේ සක්මන් කරණ සේක් හෝ සිටිනසේක් හෝ හිඳිනසේක් හෝ වෙත්. මෙය භාග්‍යවතුන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඤාණ නම් වේ.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » යමකපාටිහීරඤාණනිද්සදේසය.

error: Content is protected !!