අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)213

 

අසිරිමත් බුදුගුණ වරුණ 06

උන්වහන්සේ මෙසේ “සුගත” නම් වූ සේක 02

අප භාග්‍යවතුන් වහන්සේගේ “සුගත” නම් වූ ගුණය පිළිබඳව විශුද්ධි මාර්ගයේ සඳහන් පිළිවලින් සංශික්ප්ත වශයෙන් මිට පෙර සදහන් කළා. උන්වහන්සේගේ ඒ සුන්දර වූ වැඩපිළිවල ලෝකෝත්තර වූ ආර්යෂ්ඨාංගික මාර්ගයේ නිවන දක්වාත්, ලව්කික ලෝකයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් නිවී යනතෙක් එදිනෙදා ආහාරපාන ගැනීම, ඇවිදීම, වචන හසුරවීම, හිඳගැනීම නැගිටීම සැතපීම වැනි සරළ කරුණු පවා මෙම තුන් ලොවෙහිම කිසිවෙකුට සමාන කල නොහැකි අයුරින් ගෙන ගිය ශ්‍රේෂ්ඨ වැඩපිළිවලක් නිසා උන්වහන්සේ මෙම දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ “සුගත” නම් විශේෂ නාමයකින් හඳුන්වනවා. එහි ගිහි පැවිදි අපටද ආදර්ශමත් බොහෝ කරුණු ඇති නිසා උන්වහන්සේගේ සාමාන්‍ය ලෞකික ලොව තුල පරිනිර්වාණය දක්වා ගෙවුණු දිවිය තව දුරටත් බ්‍රහ්මායු සුත්‍රය අනුසාරයෙන් මෙලෙස ලියන්නට සිතුවා.

දෙපා හසුරවන ආකාරය ත්‍රිපිටකයේ සදහන් අයුරු

“ඒ භවත් ගෞතමයන් වහන්සේ පියනගන සේක් දකුණු පසින් පළමුව යන සේක. උන්වහන්සේ ඉතා දුර පාදය නොඔසවනසේක. ඉතා ළඟ පාදය ද නොතබන සේක. උන්වහන්සේ ඉතා ඉක්මණින් නොවඩිනසේක. ඉතා සෙමින් ද නොවඩිනසේක. පිරිසෙන් වෙන්ව නොවඩිත්, දණහිසින් දණහිස ගටමින් නොවඩින්නාහ. ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් නොවඩින්නාහ. උන්වහන්සේ වඩිනසේක් කලවය උඩට නොනැමෙයි. කලවය පහළට නොනැමෙයි. කලවය දැඩිකොට පය නොතබයි. කලවය එහා මෙහා නොසලවයි. වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට කයම සෙලවෙයි, කයින් වෙර ගමනින් නොවඩිත්. උන්වහන්සේ උඩ නොබලනසේක. යට ද නොබලනසේක, වට පිට බලමින් ද නොවදින සේක, වියදඬු පමණම ඉදිරියට ( අඩි හයක පමණ ප්‍රමාණයක් ඉදිරියට) බලත්. ඉන් එහා උන්වහන්සේගේ කිසිම ආවරණයක් නැති ඤාණයෙන් (අණාවරණඤාණ) බැලීම වෙයි. එයින් කියවෙන්නේ උන්වහන්සේ වඩිනා විට අඩි හයක පමණ ප්‍රමාණයක් දෙස නේත්‍රා යොමුවුනත් ඊට එහා ඇති සියලු දර්ශණ ආවරණය වී නැති බවයි.

උඩුකය හසුරවන ආකාරය ත්‍රිපිටකයේ සදහන් අයුරු

උන්වහන්සේ ගෙයක් තුළට ඇතුල්වනවිට කය පහළට නොනමන සේක. ඊට හේතුව උළුඅස්ස උන්වහන්සේගේ උස ප්‍රමාණයට වඩා උසින් අඩුනම් එය ඉබේම බුදුරජාණන් වහන්සේගේ කයේ ප්‍රමාණයට උස් වීමයි. කය උඩට ද නොඔසවන සේක, කය දැඩිකොට නොතබයි. කය එහා මෙහා නොසොළොවයි. ඒ භවත් ගෞතමයන්වහන්සේ වනාහි හැරී බලනසේක් සියලු කයම හරවා බලයි.

අසුන්ගන්නා අයුරු ත්‍රිපිටකයේ සදහන් අයුරු

උන්වහන්සේ ඉතාදුර ඉතා ළංවද ආසනයට නොයත්. “අතින් තදකොට ආසනයෙහි නොඉඳිත්. ආසනයෙහි කය නොහෙළත්, උන්වහන්සේ ඇතුළුගෙහි හුන්නේ හස්ත විකාර නොකරත්. පාද විකාර නොකරත්. පයක් පිට පයක් දමා නොහිඳිත්. ගොප් මස්පිට ගොප්මස (බත්කෙන්ඩ) නගා නොඉඳිත්, නිකට අත තබා නොහිඳිත්. උන්වහන්සේ ඇතුළුගෙහි බියවූ ස්වභාවයෙන් නොඉඳිත්. උන්වහන්සේ භය නොවූ කම්පා නොවූ නොසෙල්වෙන තැති නොගෙන පහවූ ලොමුදැහැ ගැනීම් ඇතිව නිවන් ඇසුරු කරන සිත් ඇතිව ඒ භවත් ගෞතමයන් වහන්සේ ඇතුළු ගමෙහි වැඩ හිඳිත්.

පාත්‍රය භාවිතාකල අයුරු

“උන්වහන්සේ පාත්‍රයට වතුර පිළිගැනීම සදහා පාත්‍රය උඩට නොඔසවත්, පාත්‍රය පහලට නොනමත්, පාත්‍රය දැඩිකොට නොතබත්, පාත්‍රය එහාමෙහා නොසොළොවයි, උන්වහන්සේ පාත්‍රයට වතුර වැඩියත් නොව අඩුවත් නොව පිළිගන්නා සේක, උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගිනසේ පාත්‍රය නොසෝදනසේක, පෙරල පෙරලා පාත්‍රය නොසෝදන්නාහ, පාත්‍රය බිම තබා අත් නොසෝදන්නාහ, අත් සේදූ කල්හි පාත්‍රය සෝදන ලද්දේවෙයි, පාත්‍රය සේදූකල්හි අත් සෝදනලද්දේ වෙයි, උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරත් නොව ඉතා ළඟත් නොව දමනසේක, උන්වහන්සේ බත් පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමත්, පාත්‍රය පහලට නොනමත්, පාත්‍ර තදකොට නොතබත්, පාත්‍රය එහා මෙහා නොසොළොවත්, උන්වහන්සේ බත් වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නා සේක.

ආහාර වැළඳීම

ඒ භවත් ගෞතමයන් වහන්සේ බතින් හතරෙන් කොටසක් පමණ ව්‍යඤ්ජන පිළිගන්නා සේක. බත් ආලොපය ව්‍යඤ්ජනයෙන්ම වැඩිමනත් නොකරන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ මුඛයෙහි බත් පිඩු දෙතුන් වරක් පෙරළා වළඳනසේක. උන්වහන්සේගේ කිසි බත් උලක් නොබිඳී කයට නොපැමිණෙයි. උන්වහන්සේගේ මුඛයෙහි කිසි බත් උලක් ඉතුරු නොවෙයි. ඉක්බිති නැවතද බත් පිඩක් මුඛයට පමුණුවයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ රසය දැන ආහාර වළදනසේක. රස තෘෂ්ණාවෙන් රස විඳිමින් නොවළඳනසේක, ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි අංගඅටකින් යුක්තවූ ආහාරය වළඳනසේක.

මල්ලවපොර බැදීම පිණිස, මද වැඩීම පිණිස, ශරීරයේ අඩු තැන් පිරවීම පිණිස, අලංකාරය පිණිස නොවළඳනසේක. යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස දුක් නැතිකරගැනීම පිණිස බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳන සේක. මෙසේ පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවන්නෙමි යන්න මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. වරද නැති බවද, පහසු විහරණයද, වන්නේය’ යන අදහසින් වළඳන සේක

පාත්‍ර පරිහරණය

උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයට වතුර පිළිගන්නා සේක් පාත්‍රය උඩට නොනමනසේක. පාත්‍රය පහලට නොනමනසේක. පාත්‍රය නොඔබන සේක. පාත්‍රය එහා මෙහා නොසොළොවත්. උන්වහන්සේ පාත්‍රජලය ඉතා වැඩිත් නොව අඩුත් නොව පිළිගන්නාසේක. උන්වහන්සේ “බුලු බුලු” යන ශබ්ද නගනසේ පාත්‍රය නොසෝදන සේක. පෙරළ පෙරළා පාත්‍රය නොසෝදන සේක. “පාත්‍රය බිම දමා අත නොසෝදන්නාහ. අත සේදූ කල්හි පාත්‍රය සෝදනලද්දේ වෙයි. පාත්‍රය සේදූ කල්හි අත සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍ර ජලය ඉතා දුරද ඉතා ළඟද නොදමන්නාහ. උන්වහන්සේ වළඳා අවසන්ව පාත්‍රය ඉතා දුරද, ඉතා ළඟද, බිම නොතබනසේක. පාත්‍රයෙහි බලාපොරොත්තුව අත්හරින්නේද නොවෙත්. සීමාව ඉක්මවා රක්නේද නොවෙත්.

දන් වැළඳීමෙන් පසු හැසුරුණු ආකාරය

උන්වහන්සේ වළඳා අවසන්වී මොහොතක් නිශ්ශබ්දව හිඳිනසේක. අනුමෝදනාවට කාලය නොඉක්මවනසේක. උන්වහන්සේ වළඳා අවසානව අනුමෝදනා කරන සේක. ඒ බතට නින්දා නොකරනසේක, අන් බතක් බලාපොරොත්තු නොවනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිසට දක්වයි. කුශල ධර්මයෙහි සමාදන් කරවයි. උත්සාහවත් කරවයි, සතුටු කරවයි. උන්වහන්සේ ඒ පිරිසට ධර්ම කථාවක් දක්වා, කුසල ධර්මයන්හි සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා, හුනස්නෙන් නැගිට වඩින සේක.

සිවුරු පැළඳීම

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ කයෙහි සිවුර හනුඇටයෙන් උඩට පොරවා උදරය පෙනෙනසේ නොවඩියි, එක් උරයක් පොරවා තනය පෙනෙනසේ නොවඩියි, කයෙහි සිවුර දහඩියෙන් ඇලෙනසේ තදකොටද නොවඩිනසේක, සිවුර කයින් වෙන් වූයේද නොවේ, ඒ භවත් ගෞතමයන්ගේ කයින් සිවුර වාතයෙන් ඉවතට නොයවයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි, සිවුරෙහි රජස්දැලි නොගැල්වෙයි.

ආරාමය තුළ වැඩසිටීම සහ ධර්ම දේශණය

උන්වහන්සේ ආරාමයට වැඩියේ පැනවූ අස්නෙහි වැඩ හිඳිනසේක. හිඳ පාදයන් සෝදන්නාහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ පාදයන් සැරසීමෙහි නොයෙදෙන සේක. උන්වහන්සේ පාදයන් සෝදා පර්යංක බැඳ කය කෙලින් තබා සිහිය එළවාගෙන වැඩ හිඳිනසේක. උන්වහන්සේ තමාහට විනාශය පිණිස අනුන්පෙළන්නේ විනාශය පිණිස නොසිතන සේක. දෙදෙනාගේම විනාශය පිණිස නොසිතන සේක. තමාට හිතවූවක් අනුන්ට හිතවූවක් දෙදෙනාටම හිතවූවක් සියලු ලෝකයටම හිතවූවක් ඒ භවත් ගෞතමයන් වහන්සේ සිතමින් වැඩහිඳින සේක. උන්වහන්සේ ආරාමයට වැඩියේ පිරිසට ධර්මය දේශනා කරනසේක. ඒ පිරිස උසස් තන්හිලා කථා නොකරන සේක. ඒ පිරිස පහත් තන්හිලා කථා නොකරනසේක. ධර්ම කථාවෙන්ම ඒ පිරිස දක්වත්. කුසල් දහම් සමාදන් කරවත්. උත්සාහවත් කරවත්. සතුටුකරවත් පැහැදිලිවද, දැනීමෙහි පොහොසත් බවද, මිහිරි බවද, කනට සුව බවද, විහිදී නොයනබවද, නොවිසිරෙන බවද, ගැඹුරු බවද, බොහෝ නාද ඇති බවද යන අංග අටන් යුක්තවූ ඝොෂයක් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙයි. පිරිසේ පමණට ශබ්ද නගන ස්වරයන්වූ සේක. උන්වහන්සේගේ ඝොෂය පිරිසෙන් පිටතටද නොයයි. ඒ භවත් ගෞතමයන් විසින් ධර්මකථාවෙන් දක්වන ලද්දාවූ කුසල් දහම්හි සමාදන් කරවන ලද්දාවූ, උත්සාහවත් කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ඔව්හු උන්වහන්සේ හැරයාමට නොකැමැත්තෙන් හුනස්නෙන් නැගිට ‘පින්වත්නි, වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේ අපි බලන්නෙමු. සිටියාවූ උන්වහන්සේ බලන්නෙමු. ඇතුළුගමට වඩින්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඇතුළුගෙහි තුෂ්ණිම්භූතව වැඩ උන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. වළඳා අවසන්වී අනුමෝදන් කරන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට වඩින්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට ඇතුල්ව නිශ්ශබ්දව වැඩඋන්නාවූ, උන්වහන්සේ දුටුවෙමු. ආරාමයට පැමිණි පිරිසට දම්දෙසන්නාවූ උන්වහන්සේ දුටුවෙමු. ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳුය. මෙබඳුය, මෙයටත් වඩා අධික ගුණ ඇතිසේකැයි ගුණ කියමින් යන්නාහ.”

මෙම කෙටියෙන් පැවසු බුදුරජාණන් වහන්සේලාගේ “සුගත” ගුණය ලියා අවසන් කල නොහැක.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය

බ්‍රහ්මායුසුත්‍රය (මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » බ්‍රාහ්මණවග්ගය » බ්‍රහ්මායුසුත්‍රය)