අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)205

 

ආසවක්ඛය ඤාණය පහළවීම සහ පටිපදාඤාණ දස්සණ විසුද්ධිය (පච්ඡිම යාමය)

තථාගතයන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යාවක් දක්වා වදාරා තිබෙනවා. අම්බට්ඨ සූත්‍රයෙහි පමණක් අෂ්ට විද්‍යාවක් දේශනය කර තිබෙනවා. මේ ත්‍රිවිද්‍යාවන් බුද්ධත්වය කරා යන ගමනේ ප්‍රථම යාමයේ මජ්ජිම යාමයේ සහ පච්ඡිම යාමයේ යන යාමයන්හි පහල වන්නේ අනුපිළිවෙලින්.

ත්‍රිවිද්‍යාව නම්

  1. තමන්ගේ ද සෙස්සන්ගේ ද පෙර ඉපද සිටි ජාති පිළිවෙළ නාමගෝත්‍රාදි වශයෙන් දක්නා වූ පූර්වේනිවාසානුස්මෘති ඥානය,
  2. ඒ ඒ සුගති දුර්ගති භවවලින් ච්‍යූතව කර්‍මානුරූපව නැවත ඒ ඒ භව වල උපදනා සත්ත්වයන් දක්නා දිව්‍යංචක්ෂූරභිඥානය,
  3. දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි දැන කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කර නිවන් රසය මතු කර දෙන අර්හන්මාර්ගඥානය, නොහොත් ආසවක්ඛය ඤාණය.

උන්වහන්සේ “ආසවක්ඛය ඤාණය” ලබාගත් සැටි “භයබෙරව” සූත්‍රයේ වැඩිදුරටත් මෙලෙස බුද්ධ ශ්‍රී මුඛ දේශනාවෙන්ම සඳහන් වනවා.

“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයැයි සතුසේ දත්තෙමි. මේ දුක් නැති කිරීමයැයි තතුසේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයැයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය.

“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.

“බ්‍රාහ්මණය, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය”

පටිපදාඤාණ දස්සණ විසුද්ධිය

මෙලෙස විදර්ශනා මාර්ගයට පිළිපන් මහාසත්ත්වයන් වහන්සේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පරීක්ෂා කරන අතර පංචස්කන්ධයේ පහළ වීමත් විනාශයත් දුටු දකිනු ලැබුවා. (උදයව්‍යය ඥාන) ස්කන්ධයන්ගේ පහළවීමත් විනාශයත් වඩ වඩා බලත්ම වඩ වඩා ස්කන්ධ භංගය ම ප්‍රකට වැ පෙනෙන්නට වුනා. තමන් ඉදිරියෙහි සිටින ව්‍යාඝ්‍රයකුගේ අයා ගත් මුඛයම පෙනෙන්නා සේ ඉතා බලවත් වී මරණය ම පෙනෙන්නට විය. සියලු ස්කන්ධ පංචකය හුදු මරණය නම් දැයෙකින් ම සැදුණාක් මෙන් වැටහිණ. (භංගානුපස්සනඤාණය පහළ වුනා.)

මේ අනුව තව දුරටත් භංගය අනුව බලන සේක් භවත්‍රය ගත සියලු සංස්කාරයන් ව්‍යාඝ්‍ර සර්පාදීන් මෙන් භයක් කොට, භයට කාරණ කොට දුටුවා. (භයතොපට්ඨාන ඤාණය ලැබූ සේක.) මෙසේ සංස්කාරයන් භය වශයෙන්, භය උපදවන්නන් වශයෙන් බලත් බලත් ම භවත්‍රය මුළුල්ල ගිනිගත් කිහිරඟුරු වලක් සේ ජාති ජරාදී එකළොස් ගින්න ඇවිල පවත්නා ප්‍රතිෂ්ඨා රහිත තැනක් සේ පෙනුණා. “භවය මෙ නම් ජාති ජරාදි දුකින් යුක්ත ය” යි භවත්‍රයයේ ම දෝෂ දුටුවා. (ආදීනව ඤාණය ලැබූ සේක.)

ආදීනව ඤාණයෙන් සංස්කාරයන්ගේ දෝෂ බලන කල්හි තමන් සර්ප මුඛයට අසුවූ මැඩියකු සේ ද, දැලෙක අසු වූ මසකු සේ ද, හැඟී යෑමෙන් තුන් භූමියට අයත් සියලු ධර්මයන්ගෙන් මිදෙනු කැමැති නුවණ ඇති වුනා . (මුච්චිතුකම්‍යතා ඤාණය පහළ විය.)

එයින් මිදෙන උපාය සොයන සේක්, චණ්ඩ මෘගයන් ඇති වනයකට වන්නකු ඉන් පැන යෑමට ඒ මේ අත මඟක් සොයා ඇවිදින්නාක් මෙන්, යළිත් සංස්කාරයන් අනිත්‍යාදී ත්‍රිලක්ෂණයට නඟා සම්මර්ශනය කරනු ලැබුවා. (පටිසංඛානුපස්සනා ඤාණය)

මෙසේ විදසුන් වඩන කල්හි දුරාචාර දෝෂයෙන් කලකිරී හරනා ලද භාර්යාවක සැඩොලුන් ගේ සමාගමයෙකැ සිටිනු දැක ද, ආලයක් හෝ අමනාපයක් නැති වැ උදාසීන වන්නාක් මෙන්, දොස් දැක්මෙන් කලකිරුණු, ඇල්ම හැර දැමූ, සංස්කාරයන් මධ්‍යස්ථ වැ බලනා නුවණ (සංඛාරුපෙක්ඛා ඤාණය) පහළ වුනා.

මෙහි කී උදයව්‍යය ඤාණය පටන් කොට සංඛාරුපෙක්ඛාඤාණය තෙක් වූ අෂ්ට ඥානයෝ මහබෝසතාණන් වහන්සේ විසින් පෙරැ බුදුවරයන් වෙත පැවිදි ව ධර්මය ඉගෙන විදර්ශනා වැඩීමෙන් ලත් නිසා අළු යට ගිනි පුපුරු මෙන්, කුටියක් තුළැ ඇවිලෙන පහන් මෙන් සිටි නිසා වහාම අවදිව පැන නැග්ගා.

ඒ අයුරින් පරිදි වූ සංඛාරුපෙක්ඛාඤාණය පුරුදු කරන මහසතාණන් වහන්සේ ගේ ශ්‍රද්ධාව තව තවත් බලවත් වුනා, වීර්යය මනාව වැඩුණා, සිහිය මොනවට එළැඹ සිටිය. සිත සුසමාහිත වුනා. සංස්කාරෝපේක්ෂාව (සංස්කාරයන් මධ්‍යස්ථ ව බැලීම) ඉතා තියුණු වුනා.

සංඛාරුපෙක්ඛාව (සංස්කාරෝපේක්ෂාව) සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් සම්මර්ශනය කරමින් නැවැතැ භවාංගයට බැස ගත්තා. ඉන්පසු, භවාංගයට අනතුරු වැ සංඛාරුපෙක්ඛා ඤාණයෙහි ආ පරිදි ම අනිත්‍යතාදි ත්‍රිලක්ෂණ අරමුණු කරමින් මනොද්වාරාවර්ජන සිත පහළ වුනා. ඒ සමගම යටැ පහළ වූ උදයව්‍යය ඥානාදි අෂ්ට ඥානයන් ගේ කෘත්‍ය සංසිද්ධියටත් මතු පහළ විය යුතු වූ බෝධිපාක්ෂික ධර්මයනටත් අනුකූල වැ, චතුස් සත්‍යයන් මුවහ කරන අවිද්‍යාව බිඳ හරිමින්, අනිත්‍යාදි තිලකුණු සර්වප්‍රකාරයෙන් ප්‍රකට කෙරෙමින්, සියලු ලෞකික විදර්ශනාවන් ගේ මුදුන් පැමිණ මහා කුශල ජවන ගත ඥානත්‍රයය පිළිවෙළින් බලවත් වැ පහළ වුනා. (සච්චානුලොමික ඤාණය පහළ වුනා.)

error: Content is protected !!