අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 164

 

සිදුහත් කුමරු ශිල්ප දැක්වීම. 01

මෙලෙස සිදුහත් කුමරා මේ තුන් ප්‍රාසාදයේ වෙසෙමින් ඒවායේ නිතර පැවැත්වෙන නෘත්‍යගීතා දී දකිමින් අසමින් මහත් සිරි සැපතින් වැඩෙමින් තරුණ වියට පැමිණුනා. සතලිස්දහසක් නිළියෝ බෝසතුන්ව සතුටු කළා. අප මහා බෝසතාණන් වහන්සේ දෙව්ලොව අප්සරාවන් පිරිවරාගත් දිව්‍ය රාජයෙක් මෙන් අලංකෘත නලගනන් විසින් පිරිවරන ලදුව පිරිමි පහස නැති ඒ ප්‍රාසාද තුළ සතුටින් කාලය ගත කළා. මේ සියලු මායාවන් මෙලෙස පැවතියේ බුද්ධත්වය කරා යන ගමන වෙනස් කිරීමට. එහෙත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතාවන්ට එයද අභියෝගයක් වුණේ නැහැ.

 ඤාතීන්ගේ දෝෂාරෝපණය

මෙසේ මහත් සම්පත් විදිමින් කල්ගත කරන අතර එක් දවසක් ඤාති සමුහයා අතර මෙබදු කථාවක් ඇතිවුනා . “සිදුහත් කුමරු ක්‍රීඩාලෝලී ව සිටියි. කිසි ශිල්පයක් නොහදාරයි. යුද්ධයක් ආ කල්හි කුමක් කරන්නේද?” රජතුමා බෝසතුන් වහන්සේ කැදවා මෙසේ විමසනු ලැබුවා.

“දරුව, ඔබ ඤාතීන් සිදුහත් කුමරු කිසි ශිල්පයක් නොහදාරා ක්‍රීඩාවෙහි නිරත ව සිටියි කියති. යුද්ධයක් පැමිණි කල්හි කුමක් කරන්නට සිතා සිටින්නෙහිද?”

එවිට කුමරා මෙසේ පිළිතුරු දුන්නා.

“පියාණෙනි, මා හට දිනපතා ශිල්ප හැදෑරීමේ අවශ්‍යතාවක් නැහැ. මගේ ශිල්ප දැක්වීම සඳහා නුවර බෙර හසුරවනු මැනවි. මෙයින් සත් වන දවස ඤාතීන්ට ශිල්ප දක්වමි. “

 ශිල්ප දැක්වීම පිළිබඳව අඬබෙර පැතිරවීම

රජතුමා කුමරු කී අයුරින්ම අණබෙර පතුරුවා බෝසතාණන් හට ඒ බව දන්වා සිටියා. කුමරා “පියාණෙනි යහපතැ යි, මෙයින් සත්වැනි දිනයේදී රාජංගනයේ ශිල්ප දක්වන්නෙමියි” පවසා තම මාලිගාව වෙත පියමැන්නා.

රජු නගරයේ බෙර හඬ නංවා දුනු ශිල්පීන් කැඳවනු ලැබුවා. සැටදහසක් දුනුවායෝ ඒ සඳහා ඒකරාශී වුනා . ඔවුන් විවිධ දක්ෂතා වලින් කෙළපැමිණියන්. රජු ඔවුන් හට රැස් කළ කාරණාව දන්වා සිටියා. නගරවාසීන්ද ශිල්පය බැලීම සඳහා බෙර හඩ නංවා රාජාංගණයට රැස්කරවනු ලැබුවා. රාජ රාජ අමාත්‍යවරුන් ශාක්‍ය වංශිකයන් ඇතුළු සියලු නෑයන් පිරිවරාගෙන රජතුමා ඇතුළු පවුලේ සැමද නියමිත දිනයේදී රාජාංගනයට පැමිණියා. සිදුහත් කුමරු ගුරුතුමා විසින් දෙනලද දුන්න, කිණිහිර, සන්නද්ධ සැට්ටය, හිස් පළඳනාව ඇතුළු සියලු ආරක්ෂක උපකරණද, ශිල්ප දැක්වීමට ඇවැසි සියලුම අංගෝපාංග වලින් ද සමන්විතව පැමිණ රජතුමා සමීපයට ගොස් එකත් පසෙක සිටියා. ඉන් පසු නියමිත වේලාව පැමිණි කල රජු කුමරු අමතා “පුත දැන් ශිල්ප දැක්වීම සඳහා සුදුසු කාලයයි කියාසිටියා.

 ඊතල වැළක්වීමේ ශිල්පය

කුමරු හණ රෙද්ද ඇතුළතින් තිබූ සළුව ඉවත්කොට සන්නාහ සන්නද්ධ හැට්ටයත් උරහිස් හිස් පළඳනාත් ඉවත්කොට එළු අඟක බහා තිබූ දුන්නෙහි පබුළු වර්ණ දුනුදිය නංවා කිණිහිර පිටෙහි බැඳ කඩුව වමතින් ගෙන දියමන්ති අග ඇති නාරාවය (යකඩ හුල) නියපිටින් පෙරළමින් හණරෙද්ද විවරකොට පොළොවට ගසා බිඳ, අලංකාර වූ ඇත් පැටවකු මෙන් නික්ම ගොස් රජුට ගෞරව දක්වා සිටියා. ඒ දැක මහජනයා ප්‍රීති ඝෝෂා කරන්නට වුනා .විවිධ නාද නංවන්නට වුනා . අත්පොළසන් දෙන්නට වුනා . ඉන්පසු කුමරා රජතුමනි ඔබතුමාගේ දුනු ශිල්පීන් අතර සිටින අක්ෂණවේදීන්, වාලවේදීන්, ශබ්ද වේදීන්, ඊතල විදින්නන් යන සතර ධනුර්ධරයන් කැඳවන්නැයි කියා සිටියා. ඒ අනුව රජතුමා විසින් ඔවුන්ව කැඳවනු ලැබුවා.

බෝධිසත්ත්වයෝ රාජ අංගනයෙහි චතුරස්‍රය අභ්‍යන්තරයේ කරවා තිබූ මණ්ඩපයේ කොන් සතරෙහි කැඳවනු ලැබූ දූතයන් සතර දෙනෙකු තබා එකිනෙකාට ඊතල තිස් දහසක් බැගින් දී එකිනෙකාට සමීපව ඒවා බෙදා දෙන්නෙකුද රඳවා තබා ඔහු දියමන්ති අගින් යුත් යකඩ හුල්කටුව බැගින් ගෙන්වාගෙන මණ්ඩපය මැද සිට “මහරජතුමනි, මේ ධනුර්ධයන් සතර දෙනා එකවර ඊතල දමා මා හට විදිත්වා, මම මේ සියල්ල නවත්වන්නෙමියි කියා සිටියා. රජතුමා හට තම පුතු පිළිබඳව බිය දැනෙන්නට ඇති. එහෙත් ඊටත් වඩා ඔහුගේ පෞරුෂත්වය පිලිබඳ ඇති විශ්වාසය බලවත් වෙන්නට ඇති. රජතුමා දුනුවායන් හට “එසේ කරව්” යනුවෙන් අණකරනු ලැබුවා. එහෙත් ධනුර්ධරයෝ බොහෝ බියට පත්වුණා. ඔවුන් යටහත් පහත්ව රජු වෙත් පැමිණියා. පැමිණ මෙසේ පවසනු ලැබුවා.

දුනු හේවායන් බියට පත්වීම.

මහරජතුමනි,

අපි අකුණු සැරින් විදින්නන්, ඝන අදුරේ විදින්නන්, ශබ්ද වේදීන්, ආයුධවේදීන් ඊතල ආදී දෙයින් නානාවිධ උපක්‍රමයන්ගෙන් විදින්නන්. අපගේ කුමරා තවමත් තරුණ වියේ පසුවෙයි. එම නිසා අපහට විදිය නොහැකිය. එයට හේතුව සුලු අත්වැරදීමක් නිසා ජිවිත හානියක් සිදුවිය හැකියි. එහෙත් කුමරාගේ තීරණයට හිසනැමීමට මිස වෙනස් කිරීමට ඔවුනට හැකිවුයේ නැහැ. බෝධිසත්ත්වයන් වහන්සේ නැවතත් ඔවුන්ව තමන් සිටිය යුතු ස්ථාන වලට විසිරුවා හැරියා.

ඊතල වැළක්වීමේ ශිල්පය

ඔවුන්ට අකමැත්තෙන් වුවද රාජ අණට කීකරු වීමට සිදුවුනා . ඔවුන් සතර දෙනාම එකවර සතර දෙසින් ඊතල එවනු ලැබුවේ කොතරම් වේගයෙන්ද යත් එක්කෙනෙක් සතු තිස්දහසක් ඊතල නිමවීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ වගේම ඒ ඊතල ගුවන සිසාරා එල්ලය කරා පියඹා යන සද්දයෙන් මුළු රාජාංගනයේම අහස්කුස ගිගුම් දුන්නා. බෝධිසත්ත්වයන් වහන්සේ නාරස්සනෙන් පහරදී ඒ සියලු ඊතල තමා අභියස බිම හෙලනු ලැබුවා. අවසානයේ හීතල හඬ පමණක් ගුවනේ ඉතිරිවෙමින් දුනුවායන්ගේ ඊතල ක්ෂය වුනා . ඔහු ඊතල අවසන් වූ බව දැන ඊතල හඬ අවසන්වීමට පෙර පලාගොස් රජු සමීපයේ සිටගත්තා. සතුට වැඩි වුනා ම දුගීජනයා එය මුළු සර්වන්ගයෙන්ම ප්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම උද්ධාමයට පත් මහජනයා හඬ නගන්නට වුනා , අත්පොළසන් දෙන්නට වුනා , ගල් උඩ යන්නාක් මෙන් අමුතු ආකාරයට දුවන්නට වුනා , අසුරු පහර දෙන්නට වුනා , මහා කෝලාහලයක් කර වස්ත්‍රාභරණයෙන් දමා ගැසුවා.

රජතුමා පුතුගෙන් මෙලෙස ප්‍රශ්න කොට සිටියා.

රජතුමා – ” පුත මේ කුමන ශිල්පයද?

කුමරුන් – ” පියාණෙනි, මෙය ඊතල වැළක්වීමේ ශිල්පයයි.

රජතුමා – මෙම ශිල්පය වෙනත් කිසිවෙක් දන්නෙහිද?

නැත පියාණෙනි, මා හැර මුළු දඹදිව් තලයම අන් කිසිවෙක් නැත මහරජතුමනි. එ පමණක් නො ව, අන්අයට අසාධාරණ වූ ශිල්ප ක්‍රම දොලසක් දන්නෙමි.

රජතුමා – එසේ නම් වෙනත් ශිල්පයක් දක්වව.

සැළකිය යුතුයි. – මෙහි දක්වන ලද ශිල්ප දැක්වීම පිළිබඳව වැඩි විස්තරයක් අවිදුරේ නිධානයේ සඳහන් නොවේ. ඒ වෙනුවට එහි “ශිල්ප දැක්වීමේදී අනෙකුත් දුනු හේවායනට අසාධාරණ වූ කුමරුන්ට පමණක් සාධාරණ වූ ශිල්ප ක්‍රම දොළසක් සරභංග ජාතකයේ පරිදී දත යුතු” යැයි සඳහන් කොට ඇත. එම නිසා මෙම ශිල්ප දැක්වීම එතැනින් උපුටාගත්තකි.

error: Content is protected !!