අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 163

 

බුද්ධත්වය මග හැරවීම සඳහා නිමවූ තුන් ප්‍රාසාද, රම්‍ය සුරම්‍ය සුභ

මෙතැන් සිට ලියැවෙන ලබන ප්‍රසාද තුන පිළිබඳ විස්තර මා විසින් උපුටා ගන්නා ලද්දේ බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමිපාණන් වහන්සේගේ බුද්ධ චරිතය පොතෙනි. ඊට හේතුව වූයේ ජාතකට්ඨකතාවේ ඒ පිළිබඳව සුළු විස්තරයක් ඇතත් වැඩි විස්තරයක් සොයා ගැනීමට මා හට කාල වේලාවක් නොමැති වීමයි. එබැවින් මේ අවස්ථාවේදී බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමිපාණන් වහන්සේ හට ගෞරවපූර්වකව පුණ්‍යානුමෝදනා කර සිටින්නෙමු.

උතුරු දඹදිව කාලගුණය ශීත ඍතුව, ග්‍රීෂ්ම ඍතුව, වර්ෂා ඍතුව යනුවෙන් ඍතු තුනක්ව පවතී. ශීත ඍතුවට අයත් මාස සතරෙහි දැඩි සීතලද, ග්‍රීෂ්ම ඍතුවට අයත් මාස සතර, දැඩි උෂ්ණය ද, වැසි ඍතුවට අයත් මාස සතර තොරතෝංචියක් නැති වැස්ස ද වශයෙන් පවතිනවා. එබැවින් සමහරු තමන්ට අහිතකර ඍතු ගුණය ඇති මාසවල සෞම්‍ය ඍතු ඇති වෙනත් පෙදෙස් වලට යන්නට පුරුදුව සිටියා. තවත් ඉතා ධනවත් සිටුවරු රජ කුමාරවරු වැන්නන් තමන් ඉන්නා පෙදෙසේම වෙනස්වන ඍතු ගුණය අනුව එයට ගැලපෙන පරිදි නිවාස පිළියෙළ කරවාගෙන ඒ ඒ ඍතුවලදී ඒවාට මාරුවෙමින් සුවපහසුවෙන් ජීවිතය ගත කළා. යසකුල පුත්‍රයාට ද සිය පියා විසින් මෙලෙස ඍතුවලට සරිලන සේ නිමවූ ප්‍රසාද තුනක් කරවා තිබුණු බව මහා වග්ග පාලියේ දැක්වෙනවා. ඒ වගේම මීට පෙර ඔබ හට රාජභෝජන සැකසීම පිළිබඳව ලියූ ලිපි පෙළට පාදක වූ කොළිවිස සොණ තෙරණුවන්ගේ කථා වෘත්තයේ ද මෙවැනිම ප්‍රසාද තුනක් ඒ තෙරණුවන් සිටුවරයෙකුගේ පුතෙක් වශයෙනි ගිහි ගත කල ජීවිකාව කරන අවස්ථාවේදී තම පියා විසින් නිමවා තිබූ බව අංගුත්තර නිකායට්ඨකථා වෙහි සඳහන් වනවා.

රම්‍ය ප්‍රසාදය

ඒ එකක් පිළිවෙලින් බෝසතාණන් වහන්සේ සොළොස් වියට පාතැබුවා. රජතුමා බෝසතාණන් වෙනුවෙන් හේමන්ත, ග්‍රීෂ්ම, වර්ෂා යන ත්‍රිවිධ ඍතුවලට සුදුසු පරිදි මාලිගා තුනක් කරනු ලැබුවා. සිද්ධාර්ථ කුමරාහට සීත ඍතුවේ දී වාසය කිරීමට නිමවූ ප්‍රාසාදය රම්‍ය නම් වුනා . එය මහල් නවයකින් යුක්ත වූවක්. එම ප්‍රාසාදය උණුසුම ගන්වනු පිණිස එකකට එකක් අනුක්‍රමයෙන් මිටි වන ලෙසට එහි දොර කවුළු සිදුරු නැති වන සේ මනාව හේත්තු කොට නිමවා තිබුණා. ඒ එක්කම බිත්තිවල ඇවිලෙන මහා ගිණිදැල් සිතුවම් කොටද තිබුණා සියලු බුමුතුරුණු කම්බල වස්ත්‍ර වලින්ම සාදවා තිබුණා. එහිදී පරිභෝග කරන තිර, වියන්, සහ හැට්ට, හඳනා, පොරෝනා, වස්ත්‍ර ද හිස්වෙලුම් ආදිය දුහුල් වස්ත්‍ර වලින් නිමවා තිබුණා. සේවකයන් විසින් පහය තුළ උණුහුම ඇතිවන පිණිස දොරවල් ජනෙල් ද දහවල් හැර තබා රාත්‍රී කාලයෙහි වසා තබනු ලැබුවා.

 සුරම්‍ය ප්‍රාසාදය

ග්‍රීෂ්ම ඍතුවේ වාසය කිරීමට නිමවූ ප්‍රාසාදය සුරම්‍ය නම් වුනා . එය පස් මහලකින් යුක්ත වූවක්. එහි මහල්ද උසින් දිගින් පළලින් වැඩි කොට දොර ජනෙල් විවර සහිත කොට දැල් කවුළු ඇති කොට කරවනු ලැබුවා. බිත්තිවල නිල් මහනෙල් මල්, හෙල පියුම්, රත් පියුම් වැනි දියේ හටගන්නා මල්ද සිතුවම් කොට තිබුණා. බුමුතුරුණු, තිර, වියන්, සැට්ට, හඳනා,පොරෝනා වස්ත්‍ර හිස් වෙලුම් ආදිහු දුහුල් රෙද්දෙන්ම නිමවුනා . ප්‍රාසාදය අවට තැන තැන ජලයන්ත්‍රිකා කරවා තිබුණා. ඒ මගින් වැසි වස්නා සමයේ මෙන් නිතර පාහේ දියදහර විහිදෙන්නට වුනා . තැන් තැන්හි මඩ පිරවූ ඔරු තබවා ඒවායේ පස්වණක් පියුම් රෝපණය කොට තිබුණා. ප්‍රාසාදයේ දොර කවුළු දහවල්හි වසාද තබා රාත්‍රියේ විවර කොටද තැබුවා.

 සුභ ප්‍රාසාදය

බෝසත් කුමරු හට වැසි සාර මාසයෙහි විසීම පිණිස නිමවූ ප්‍රාසාදය සුභ නම් වුනා . ඒ මහල් සතෙකින් යුක්ත වූවක්. ශිතයත් උණුහුමත් ප්‍රමාණවත්ව ඇති වන්නට එහි මහල් වඩා මිටිත් වඩා උසත් නොවනසේ මැදුම් පමණින් කරවා තිබුණා. සමහර දොර කවුළු හොඳට හේතු වන ලෙසටද සමහරක් එතරම් හේත්තු නොවන ලෙසටද නිමවා තිබුණා. බිත්තිවල කිසි තැනක ගිනිජාලාද කිසිතැනක ජලජ පුෂ්ප ද සිතුවම් කොට තිබුණා. ඇතැම් දහවල් විවෘතව ද රාත්‍රියේ වසන ලද්දේ ද වුනා . සෙසු කවුළු දහවල් වසා තබා රාත්‍රියේ විවර කොට තැබුවා.

මෙලෙස සිදුහත් කුමරා මේ තුන් ප්‍රාසාදයේ වෙසෙමින් ඒවායේ නිතර පැවැත්වෙන නෘත්‍යගීතා දී දකිමින් අසමින් මහත් සිරි සැපතින් වැඩෙමින් තරුණ වියට පැමිණුනා. සතලිස්දහසක් නිළියෝ බෝසතුන්ව සතුටු කළා. ඒ අප මහා බෝසතාණන් වහන්සේ දෙව්ලොව අප්සරාවන් පිරිවරාගත් දිව්‍ය රාජයෙක් මෙන් අලංකෘත නලගනන් විසින් පිරිවරන ලදුව පිරිමි පහස නැති ඒ ප්‍රාසාද තුළ සතුටින් කාලය ගත කළා. මේ සියලු මායාවන් මෙලෙස පැවතියේ බුද්ධත්වය කරා යන ගමන වෙනස් කිරීමට. එහෙත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතාවන්ට එයද අභියෝගයක් වුණේ නැහැ.