අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 151

 

බෝසත් උපත සත්පියවර සහ සත් පෙරනිමිති

මහාමායා දේවිය දෙව්දහ නුවරට පිටවීම.

මිට ඉතත ලිපියෙන් කිවේ බෝසතාණන් වහන්සේ මවු කුස තුල පිළිසිඳගත් පසුව මවුතුමියට ලැබෙන අත්විශේෂ දේවාරක්ෂාව පිළිබඳව. එසේ විශේෂිත ආරක්ෂාවක් යටතේ සිටි මහා මායා දේවි තොමෝ පිරුණු තෙල් පාත්‍රයක් ගෙනයන්නාක් මෙන් කුසෙහි බෝසතුන් පරිහරණය කොට දස මසක් ගතකලා. මෙසේ කාලයාගේ ඇවෑමෙන් පිරිපුන් ගැබ ඇතිව, ස්වකීය ඥාති ගෘහයට යනු කැමැතිව, දේවයිනි, මම දේවදහ නුවර සිය කුල ගෙදරට යනු කැමැත්තෙමි යි යනුවෙන් සුදවුන් මහරජාණන්ට සැලකර සිටියා. රජතුමාද මැනවැයි පිළිගෙන කිඹුල්වත් පුර සිට දෙව්දහ නුවර දක්වා මග සම කොට කෙසෙල්, පුන්කලස්, කොඩි ආදියෙන් අලංකාර කරවා දේවිය රන් සිවිකාවක හිදුවා ඇමතියන් දහසක් ලවා සිවි කොටා ඔසවා මහත් පිරිවරින් ගම්බිම් බලා පිටත්කොට යවනු ලැබුවා. කිඹුල්වත් සහ දෙව්දහ දෙනුවරට ම පොදු වූ ලුම්බිණි වන නම් අති රමණීය මගුල් සල් උයනක් තිබුණා. එදවස එහි සල් ගස් මුල පටන් අතු අග දක්වා එක පැහැයෙන් මල් වලින් පිරී පැවතියේ බෝසත් ආගමනය පිළිගන්න වගේ. අතු අතරත් මල් අතරත් පස්වන් බමරු සමුහයාද විවිධ කුරුළු රංචු ද මිහිරි හඩ විහිදුවමින් ඒ මේ අත හැසිරෙන්නට වුනා. මුළු ලුම්බිණි සල් උයනම දෙව් ලොව චිත්‍රලතා වනය මෙන්ද මහානුභාව ඇති රජුගේ සුසැදු අවන්හලක් මෙන් ද වුනා.

ලුම්බිණි උයන

මේ අති රමණීය සල්වනය දුටු දේවිය එහි සිරි නරබනු රිසි වුවා. ඇමතියෝ දේවිය රැගෙන මල් වනයට පිවිසිය. එහි සිරි නරඹමින් සිටි අවස්ථාවේ ඇයගේ ශරීරය දුර්වල වුනා. එවිට ඇයව මගුල් සල්ගස වෙත ගෙනගොස් සයනයක් පනවා තිරවලින් වටකරනු ලැබුවා. මංගල සල් ගස යට සිටි ඇයට අලංකාර මලෙන් ගහන සල් අත්තක් අල්ලාගනු කැමති වූවා. ගතවූයේ නිමේෂයයි. සල් අත්ත මනාව නවන ලද වේබඩක් මෙන් නැමී දේවියගේ අතට පත්වුණා. ඕ තොමෝ අත දිගුකොට අත්ත අතින් අල්ලා ගත්තා. එකෙණෙහිම දේවියගේ විළිවාතය සෙලවුනා. පිරිවර ජනයා එතැනින් ඉවත්වුණා. සුද්ධාවාස බ්‍රහ්මයෝ සතර දෙනෙක් රන් දැලකින් බෝසතුන් පිළිගෙන මවට පෙන්වා දෙවියනි, ප්‍රීතිවනු මැනවි, ඔබට මහා පිනැති පුතෙක් උපන්නේයැයි කියා සිටියා. ඔවුන්ගේ අතින් පිළිගනු ලැබුවේ සතර මහා දෙවියන් අදුන් දිවි සමින් නිමකළ සියුම් ඇතිරිල්ලකින් පිළිගනු ලැබුවා. ඔවුනගේ අතින් රජදරුවන් සියුම් රෙදි සුඹුලුවකින් පිළිගත්තා.

බෝසත් උපත

වෙනත් සත්ත්වයෝ මව් කුසින් බිහිවන කල පිළිකුල් අපවිත්‍ර දෙයින් තැවරී ඉඳිකටු සිදුරකින් එලියට එනසේ බොහෝ වූ දුකට පත්ව මෙලොව එලිය දකිනවා. ඒත් බෝසතාණන්වහන්සේලා එසේ නො වෙයි. බෝසතාණන්වහන්සේලා වනාහි ධර්මාසනයෙන් බසින ධර්ම කථිකයෙක් මෙන්ද හිනි මගකින් බස්නා පුරුෂයෙක් මෙන්ද දෙඅත් දෙපා දිගු කොට කෙලින් නැගී සිටිමින් මව් කුසට අයත් කිසි අපවිත්‍ර දෙයකින් නො තැවරී පිරිසිදු ව පැහැදිලි ව කසී වස්ත්‍රයක් තබන ලද මැණිකක් මෙන් බබලමින් මව් කුසින් නික්මෙනු ලබනවා.

බෝසත් උපතතේදී මහපොළවෙන් පැන නගින සිසිල් සහ උණුසුම් දිය දහර

බෝසත් උපතකදී පරිභෝජනයට ගැනෙන ජලයද අන්‍යයනට සාධාරණ නැහැ. බෝසතාණන්වහන්සේටත් බෝසත් මවටත් උවැටන් පිණිස පොළොවෙන් දිය දහර දෙකක් නික්මෙනවා. එකකින් සිතල වතුරද තවකෙකින් උණුසුම් වතුරද වනවා. උණුසුම් වතුර රන් තටාකයකටත් සිසිල් ජලය රිදී තටාකයකටත් ඉබේම වැටෙනවා. එම ජලය පෘථිවි තලයේ කිසිම අශුචියක් සමගින් අසමිශ්‍රයි. අන් අය රත්‍රන් භාජන වල ගෙනා වතුර ඒ වතුර තරමට පිරිසුදු නැහැ කියනවා. එමගින් බෝසතුන්ගේද බෝසත් මවගේද සිරුරෙහි විඩාව නිවා සිසිල් බව ඇති කරනු ලබනවා. 

දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත්කුමරු පිළිගනිම.

ඉහතින් කී ලෙසම බෝසතාණන්වහන්සේ රන් දැලින් පිළිගෙන සිටි බ්‍රහ්මයන්ගේ අතින් සතර වරම් රජවරු මංගල සම්මත සුවපහස ඇති දෙතුන්පට කළ අදුන් දිවි සමින් පිළිගතතා. ඔවුන්ගේ අතින් මිනිස්සු දුහුල් පිළිසුඹුළුවකින් පිළිගත්තා. මිනිසුන්ගේ අතින් මිදුණු බෝසතාණන්වහන්සේ පොළොවෙහි සිට පෙරදිග බැලුවා. දහස් ගණන් සක්වල එකම මිදුලක් මෙන් ඔහුට දිස්වූනා. එහි සිටි දෙව් මිනිසුන් මහා පුරුෂයාණෙනි, මෙහි ඔබ හා සමාන කෙනෙකු ද නැත. එසේනම් ඔබට වඩා උසස් කෙනෙකු කෙසේ ලැබේ දැයි කියනු ලැබුවා. මේ අයුරින් සිවු දිශා ද සිවු අනුදිශා ද යට දිශා ද උඩ දිශා ද යන දශ දිශාව බලා තමා හා සමාන කෙනෙකු නොදැක උතුරු දෙස බලා සත් පියවරක් ඉදිරියට ගමන් කළා. මහබඹහු සේසත දරමින් ද සුයාම දෙවි පුත් මල් විදුනාවද අනෙක් දෙවියෝ උණහිස ආදී සෙසු රාජ කකුධ භාණ්ඩ ද දරමින් බෝසතුන් සමග ගමන් කළා. සත් වැනි පියවරෙහි සිටි බෝසතාණන්වහන්සේ “ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත .”ආදීනයින් සිංහ නාද කලා. 

සත්පියවර සහ සත් පෙරනිමිති

මෙළොවට බිහිවූ මොහොතේම සත්පියවරක් තැබීම අපේ බුදුපියාණන් වහන්සේ විතරක් නෙවෙයි. මෙතෙක් පහල වූ සියලුම බුදුවරුන්ද මතු පහල වන බුදුවරුන් විසින් ද කරනු ලබනා ලෝක ධර්මතාවයනට අයිති නියාම ධර්මයක්. ඒ සත් පියවරේ තේරුම් මෙලෙස අට්ඨ කතාවේ පැහැදිළි කරනවා.

මෙළොවට බිහිවූ මොහොතේම මෙලෙස සත්පියවරක් තැබීම අපේ බුදුපියාණන් වහන්සේ විතරක් නෙවෙයි. මෙතෙක් පහල වූ සියලුම බුදුවරුන්ද මතු පහල වන බුදුවරුන් විසින් ද කරනු ලබනා ලෝක ධර්මතාවයනට අයිති නියාම ධර්මයක්. ඒ සත් පියවරේ තේරුම සහ ඒ මොහොතේ ඇති වූ සුවිශේෂ සිද්ධීන් මෙලෙස අට්ඨ කතාවේ පැහැදිළි කරනවා.

 
  1. මෙහි සම පාද වලින් පොළොවේපිහිටීම සතර සෘද්ධිපාදයාගේ ලැබීමට පෙර නිමිත්තය.
  2. උතුරට අභිමුඛ බව මහජනයා මැඩ පවත්වා යාමට පෙර නිමිත්තය.
  3. සත්පියවරක් ගමන්කිරීම සප්ත බෝජ්ජංගයන් ලැබීමට පෙර නිමිත්තය.
  4. දිව්‍ය සේසත් දැරීම විමුක්ති ජත්‍ර ප්‍රතිලාභයට පෙරනිමිත්තය.
  5. පංචරාජකකුධ භාණ්ඩයෝ පංච විමුක්තීන් ලැබීමේ පෙරනිමිතිය.
  6. දිශාවන් බැලීම අනාවරණ ඥානය ලැබීමේ පෙරනිමිත්තය.
  7. උතුම් වචනය කීම නොහොත් සිංහ නාදය දම්සක් පැවැත්වීමේ පෙරනිමිත්තය.