අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 146

 

ත්‍රිවිධ මහා කෝලාහල

බෝසතාණන්වහන්සේ තුසිත දෙව් ලොව වාසය කරන කාලයේ අපේ මනු ලොව බුදුන් වහන්සේ පහළ වීම පිළිබද ආන්දෝලනයක් ඇති වුනා. ලෝකයෙහි එලෙස ප්‍රධාන වශයෙන් මහා ආන්දෝලන තුනක් ඇතිවෙනවා. එය මහා කෝලා හල නොහොත් තුන් කෝලා හල යනුවෙනුත් හඳුන්වනවා.

ත්‍රිවිධ මහා කෝලා හල

1.ලෝක විනාශ වීමේදී ඇතිවෙන ආන්දෝලනය,

2.බුදුන් වහන්සේ නමක් ලොව පහළ වීමේදී ඇතිවෙන ආන්දෝලනය,

3.සක්විති රජ කෙනෙක් පහළ වීමේදී ඇතිවෙන ආන්දෝලනය වශයෙන්.

ලෝක විනාශයේ ආන්දෝලනය

ලෝක විනාශයට වසර දහසක් තිබිය දී (සමහර තැන ලක්ෂයක් වශයෙන්ද සඳහන් වනවා) ලෝකබ්‍යුහ නම් කාමාවචර දෙවියෝ හිස කෙස් විසුරුවා හැඩූ මුහුණින් යුතුව අතින් කදුළු පිසමින් රතු වස්ත්‍ර හැද ඉතා අප්‍රියජනක වෙස් ධරමින් මිනිසුන් අතර හැසිරෙමින් මෙසේ දන්වනු ලබනවා.

නිදුකාවරුණි,මෙයින් වසර දහසක් ඇවෑමෙන් ලෝක විනාශය වන්නේය. මහමුහුද සිදී යන්නේය. මේ පොළොව හා මහා මේරු පර්වත රාජයා දැවී විනාශ වන්නේය.

නිදුකාවරුණි,

1.මෛත්‍රීය වඩව්.

2.පීඩිතයන් කෙරෙහි දයාව දක්වව්.

3.සුඛිතයන් කෙරෙහි සතුටු වව්.

4.ලෝක ධර්මයෙහි මැදහත් වව්.

5.මව්පියන්ට උවැටන් කරව්.

6.කුල දෙටුවන්ට ගරු කරව්. මේ ලෝක විනාශයේ ආන්දෝලනයයි.

බුද්ධ ආන්දෝලන​ය

බුදුන් වහන්සේ ලොව පහළ වීමට වසර දහසක් තිබියදී ලෝක පාලක දෙවිවරු, නිදුකාවරුණි, මෙයින් අවුරුදු දහසක් ගත වූ පසු බුදුන් වහන්සේ ලොව පහළ වන්නේය යි ඝෝෂා කරමින් ලොව පුරා ඇවිදිනවා. මේ බුද්ධ ආන්දෝලනයයි.

චක්‍රවර්ති ආන්දෝලනය

සක්විති රජ ලොව පහළ වීමට සියවසක් තිබියදී දෙවියෝ ජනයිනි,මෙයින් සියවසක් ගිය පසු සක්විති රජෙක් පහළ වන්නේය යි ඝෝෂා කරමින් ඇවිදිනවා. මේ සක්විති ඝෝෂණයයි.

මේ ත්‍රිවිධ ඝෝෂණ අති මහත් වනවා. මුළු මහත් සක්වල දක්වාම පැතිරෙනවා. මෙසේ බුද්ධ ඝෝෂණය ඇසු දෙවියෝ ඒ බෝධිසත්වයන් වහන්සේ වැඩ වසන්නේ කොහේදැයි සොයන්නට වනවා. ඉන්පසුව සියලු සක්වල දෙවියෝ එක්රැස්ව අසවල් සත්ත්වයා බුදු වන්නේයැයි නියම වශයෙන් දැන ඔහු වෙත එළඔ ආයාචනා කිරීම විශ්වයේ තවත් ධර්මතාවයක් මත සිදුවන ක්‍රියාවලියක්. එසේ කරන්නේද බෝසතාණන් වහන්සේ හට දෙව්ලොවින් චුතවීමේ පෙර නිමිති පහළ වූ පසුවයි.

දෙව්ලොවින් චුතවීමේ පූර්ව නිමිති පස

අපි මරණයට පත්වන්නට පෙර මෙදිනට මනුලොවින් චුතවනවා යනුවෙන් පූර්ව වැටහීමක් නැහැ. ඒත් දෙවියනට එහෙම නොවෙයි. දෙව්ලොවින් චුතවීමට දින හතකට පෙර ප්‍රධාන පූර්ව නිමිති පහක් උපදිනවා. ඒවා මෙලෙසයි.

  1. පැළඳ සිටින දිව්‍යමය මල් මැලවෙයි.
  2. වස්ත්‍ර කිලිටි වෙයි.
  3. කිහිලිවලින් දහඩිය ගලයි.
  4. ශරීරයේ ප්‍රභාෂ්භාවය නැති වී දුර්වර්ණ වෙයි.
  5. ඔවුන්හට තම දෙව් අසුන තව දුරටත් ප්‍රිය නොවේ.

මෙහි පැළඳ සිටි මල් වශයෙන් හඳුන්වන්නේ ඔවුන් දෙව්ලොව පිලිසිදගත් දිනයේ පළදින ලද මල්මාලයි. ඒවා හැටහත්දහසකට අධිකයි. ඒ විතරක් නෙවෙයි. අවුරුදු පනස්හත්කෝටියක් පරනොවී පවතියි. එදිනට ඒවා මැල වෙන්නට පටන්ගනී. වස්ත්‍රද එලෙසමයි. ඒවාත් කිලිටි වන්නට පටන් ගැනේ. උපතේ සිට මේ දක්වා දෙවියන්ට උණුසුමක් හෝ සීතක් දැනෙන්නේ නැත. එහෙත් පූර්ව නිමිති සමග ඒ තත්ත්වය වෙනස් වී ශරීරයෙන් බින්දු බින්දු වශයෙන් දහදිය ගැලීමට පටන්ගනී. දෙව් දුවරු උපතේ සිට වයස දහසයට පැමිණියවුන් ලෙසද දේවපුත්‍රයන් විසි වයස් පැමිණි අය මෙන්ද පෙනෙයි වටෙහෙයි. එහෙත් අවසාන දින කිහිපය තුල මෙම තත්ත්වය වෙනස් වෙයි. ඔවුන්ගේ ප්‍රභාශ්වර භාවය දුරු වී දුර්වර්ණ වීමට පටන් ගනී. තාරුණ්‍යජවය ගිලිහි ක්ලාන්ත ස්වභාවය හටගනී. එතෙක් කලක් ඔවුනට දෙව්ලොව ගැන කලකිරීමක් ඇතිවන්නේ නැත. එහෙත් අවසාන දින කිහිපයේ ඔවුනට තම ආසනයේ භවනේ ඇලීමක් නැති වී යයි. ඔවුන් බියට පත්වෙයි. ක්ලාන්ත වෙයි. ඒ නිසාම මෙවැනි අවස්ථාවල ඔවුන්ගේ සිත සැනසීමට සක්දෙවිඳු ඔවුන්ව නන්දන උයනට රැගෙන යන බව පවසයි. එහි අසිරිය දැක ඔවුන්ගේ සිතෙහි බිය කල කිරීම පහව යයි. ඉන් අනතුරුව සක්දෙවිඳු ඔවුන්හට මනුලොවට ගොස් නැවතත් පින් දහම් කොට මෙහි එන ලෙස දන්වයි. මෙය ඒ පංචාකාර පූර්ව නිමිති පිළිබඳව කෙටි හැඳින්වීමකි. එලෙස සිත සාදාගන්නා දෙවිවරු නන්දන උයනේ සිට දෙව්ලොවින් චුත වෙයි. එහෙත් බෝසත්වරු එලෙස බිය නොවෙයි.