අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 145

 

සදෙව්ලොවේ පරසතු ක්‍රීඩාව

පරසතු, අසාවතී මල්ගස් වලට සාත්තු කරන දෙවිවරු

දෙව්ලොවදී සෑම අවශ්‍යතාවයක්ම සිතුපමණින් ඉටුවෙනවා කියලා හිතුවට එහෙම වෙන්නෙත් නැහැ. දෙව්ලොව ආසාවතී නමින් අති රමණීය මල් වැලක් තියනවා. එහි මල් හටගැන්විම පිණිස දෙවිවරු වර්ෂ දහසක් පමණ උපස්ථාන කරනවා කියනවා. පරසතු පිපෙන කාලයට එක් වසරක් උපස්ථානයට යනවා. ඒ කියන්නේ එහෙත් මල්ගස්වලට සාත්තු කරන්න ඕනේ. ඒ සම්බන්ධව බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා.

සියක් යොදුනක් සුවඳ විහිඳුවන පරසතු මල්

මහණෙනි, යම් කාලයක තාවතිංස දෙවියන්ගේ පරසතු මල්ගස කොබෝලීල පඩුපැහැ වේද එවිට මහණෙනි, තව්තිසා දිවියයෝ සතුටු වෙති. පරසතු ගස දැන් පඩුපැහැ ගැන් වී ඇත. තව නොබෝ කලකින්ම හරිත පැහැ වන්නේය. යම් කලක තාවතිංසා දෙවියන්ගේ පරසතු රුක කොබෝලීල හරිත පැහැගැනීමේදී අළුත් මොට්ටු හටගනී. මල් මොට්ටු හටගනී. මල් කැකුළු ඇතිවේ. එවිට තව්තිසා වැසි දෙවියෝ සතුටු වෙති. පරසතු රුක දැන් මල් කැකුළු හටගනී. නොබෝ කලකින් පිපුණු මල් ඇතිවන්නේය. මහණෙනි පරසතු රුක මල්පිපුණු විට පනස් යොදුනක් පැහැය විහිදුවන්නේය. සියක් යොදුනක් සුවද විහිදෙන්නේය. මෙය පරසතු ගසේ ආනුභාවයයි.

මල් නෙලන දෙව්ලොව මදනළ

පරසතු යනු මල්පිපුණු කල මෙහි ගසට නැගීමක් හෝ කෙක්කක් ගෙන අතු පාත් කිරීමක් හෝ මල් දෑතින් නෙලාගැනීමක් හෝ මල් එකතුකර පැසකට දැමීමක් හෝ කරනු ලබන්නේ නැත. ඒ සියල්ල සිදු කරනු ලබන්නේ සුවිශේෂ වාතයකිනි. හරිම පුදුමයි මල් නෙලන වාතයක් නැගී මල් නැටියෙන් සිදියි. පිළිගන්න වාතයෙන් පිළිගනී. අතුරන වාතයකින් කර්ණිකා කේසර කොල ඉවත්කර අතුරයි. ප්‍රවේශ කරන වාතයෙන් සුධර්මා දේවසභාවට ප්‍රවේශ කරයි. අමදින වාතයකින් පරමල් අස්කරයි.

පරසතු ක්‍රීඩාව

සුධම්ම සභාව මැද ධර්මාසනය වෙයි. යොදුනක් පමණ දිග රුවන් අසුනෙහි ඉහළින් යොදුන් තුනක් පමණ සේසතක් දරයි. ඉන් අනතුරුව සක්දෙව් රජුට ආසනය අතුරනු ලබයි. ඉන්පසු දේවපුත්‍රයින් තිස්තුන් දෙනාද, අනතුරුව මහේසාක්‍ය දෙවියන් සහ අනෙකුත් දෙවියන්ට මල්කර්ණිකාම ආසන වෙන්කරයි. දෙවියෝ දේවසභාවට පිවිස හිඳගනිති. ඉන්පසු මල්රේණු උඩට නැගී ඉහළ මල්කෙමිවල වැදී වැටෙමින් දේවතාවන්ගේ තුන්ගවූ පමණ වූ ශරීර මතට වටේ. එම විචිත්‍ර වර්ණ මල් රේණු ඔවුන්ගේ ශරීර මතට පාවී විත් වැටෙමින් විචිත්‍ර වර්ණයෙන් සිතුවම්කල කලෙකමෙන් බබලනු ලබයි. මෙසේ ඔවුන් පරසතු ක්‍රීඩා රසානුභාවය සදහා රැස් වෙයි. මාසයේ අටවන දිනවල දෙව්ලොව මහා ධර්ම දේශනාවක් වෙයි. එය පැවැත්වෙන්නේ මිට ඉහත ලිපියේ කි පරිදී සුධර්මා දේව සභාවේදීය. පවත්වන්නේ සනංකුමාර මහා බ්‍රහ්මයා හෝ සක්දෙවිදුන් හෝ ධර්මකථික භික්‍ෂුවක් හෝ ධර්ම කථික අන්‍ය දිව්‍ය පුත්‍රයෙක් හෝ විසින්.

ඔබ ගැන ලියන දෙවිවරු

පක්‍ෂයේ අටවක දිනවල සිව්වරම් රජුන්ගේ අමාත්‍යවරු ද තුදුස්වක දිනවල වරම් දෙවිවරුන්ගේ පුත්‍රයෝ ද……………….. පෞර්ණමී දිනවල සතරවරම් දෙවිවරුද නික්මී රන්පතක් හා දෑහිගලක් ගෙන ගම් නියම්ගම් රාජධානිවල සැරිසරයි. අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ පන්සිල් රකී. මාසයේ පෙහෙවත් රකී. මව්පිය උපස්ථානය කරයි. අසවල් තැන උපුල් අත් සියයක මල්කලයක් පුජා කළා.පහන් දහසක් දැල්වූවා. අකල් දහම් දෙසුම් පැවැත්වුවා.ජත්‍ර වේදිකා, මුදුගරාදිවැට, ගර්භ වේදිකා,සීහාසන,සීහ සෝපාන,කරවන ලදී.ත්‍රිවිධ සුචරිත ක්‍රියා පුරන ලදී.දසකුසල දහම්වල යෙදිණි.මේ ආදිය දෑ ගිගුලෙන් රන්පතෙහි ලියාගෙන ගොස් පංචසිඛ දෙවියන්හට දෙනු ලබයි. පංචසිඛ දෙව්පුත් මාතලී දෙව් පුත්ට දෙයි. මාතලී දෙව්පුත් ඒවා එකතුකොට සක්දෙව් රජුට දෙයි. පින් කරන්නෝ අඩු නම් පොත් කුඩා වෙයි. මහජනයා පමාවෙන් වාසය කරයි. අපාය පිරෙයි. සදෙව් ලෝ හිස් වේ යයි ඔහු නොසතුටු වෙයි. පොත් ලොකු වන්නේ නම් එය දැක මහජනයා අප්‍රමාදයෙන් වාසය කරයි. සතර අපාය හිස් වේ. සදෙව්ලෝ පිරෙන්නේය. බුදු සසුනෙහි පින් කොට පැමිණි කල්හි මහ පින්වතුන් පෙරටුකොට නැකත් කෙළි ලබමු යයි සතුටු වෙයි. ඒ පොත් රැගෙන සක්විති රජ කියවයි. ඔහුගේ ස්වභාවික ශබ්දයෙන් කියනවිට දොළොස් යොදුනක් දුර ඇසෙනවලු. උස්හඬින් කියනාවිට යොදුන් දහසක් සියලු දෙව් නගර වසා පැතිරේ.මෙසේ දෙවිවරු ධර්මශ්‍රවණය සඳහා රැස්වෙනවා. මෙයට පවාරණය ගැනීම සඳහා රැස්වීම කියලත් කියනවා.

 
 
 
 
error: Content is protected !!